English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
අපරාධය සහ ආරක්ෂාව පිළිබඳ සංකල්පය - නීතිඥ බැසිල් ප‍්‍රනාන්දු
(2019-06-08)

<< Go Back
Share |   



බැසිල් ප‍්‍රනාන්දු මහතා කලක් ජේෂ්ඨ නීතිඥයෙකු වශයෙන් ශී‍්‍ර ලංකාවේ කටයුතු කරනු ලැබ, පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජේෂ්ඨ නියොජිතයෙකු ලෙස කාම්බෝජියාව, ලාවෝසය ඇතුලූ රටවල් ගනනාවකම සේවය කලාය. වර්තමානයේ හොංකොං හි පිහිටි ආසියානු මානව හිමිකම් කොමිසමේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කරනු ඔහු ශී‍්‍ර ලංකාවේ පවතින සමාජ ආර්ථික හා සංස්කෘතික ගැටලූ පිළිබදව ලිය වූ පර්යේෂණාත්මක ග‍්‍රන්ත කිහිපයක කතෘ වරයෙකු ද වේ.

ශී‍්‍ර ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨ චින්තකයෙකු වන ඔහු ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ප‍්‍රවර්ධනය කිරීම සදහා විශාල සේවයක් පසුගිය කාලය තුළ ඉටු කර තිබේ. තවද ඔහු විශිෂ්ඨ කවියෙකු ලෙසද ප‍්‍රසිද්ධියක් උසුලයි. අයිතිය වෙබ් අඩවිය විසින් කළ ඉල්ලීමක් මත වර්තමානයේ ශී‍්‍ර ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයන් පිළිබදව විග‍්‍රහයක යෙදෙමින් ලිපි මාලාවක් ඉදිරිපත් කිරීමට නීතිඥ බැසිල් ප‍්‍රනාන්දු මහතා අප සමග එකගවීම පිළිබදව අයිතියේ ස්තුතිය එතුමන් වෙත ඉදිරිපත් කරමු. එම ලිපි මාලාවේ පලමුවැන්න පසුගිය ජුනි 6 දා ආරක්ෂාව යනු කුමක්ද යන මැයෙන් අප වෙබ් අඩවියේ පළ විය. මෙය එහි දෙවැන්නයි.

අපරාධය සහ ආරක්ෂාව පිළිබඳ සංකල්පය - නීතිඥ බැසිල් ප‍්‍රනාන්දු



ජනතා ස්වෛරීභාවය රැඳී පවතින්නේ පොදුවේ පිළිගත් නීති පද්ධතියක් හා එම නීති කි‍්‍රයාත්මක කිරීමට කැපවුනු සංස්ථාවන් මගින් බවත්, එම සංස්ථාවන් අතර යුක්තිය පසිඳලීමට සම්බන්ධ වූ සංස්ථාවන් ප‍්‍රධාන තැනක් ගන්නා බවත් පසුගිය පරිච්‌ෙඡ්දයේදී අපි සාකච්ඡා කළෙමු.
 
නීති පද්ධතියක් තුළ ජනතාවගේ ආරක්ෂාව සපයා දීමේ ප‍්‍රධාන මූලෝපාය ලෙස ඈත අතීතයක සිට බොහෝ රටවල් වල නිර්මාණය කරගත් ක‍්‍රමය වූයේ යම් ක‍්‍රියාවන් අපරාධ ලෙස නම් කර එම ක‍්‍රියාවන්හි නියැලූන අයට දඩුවම් කිරීමේ ක‍්‍රමෝපායයි. ජීවිතයේ පැවැත්මට හා පොදුවේ ජන ජීවිතයේ පැවැත්මට අහිතකර වන්නා වූ කි‍්‍රයාවන් අපරාධ වශයෙන් නම් කර ඒවා එම රාජ්‍ය තුළ කිරීමට තහනම් කරන ලද ක‍්‍රියා ලෙස පොදු දැනීමක් සමාජය තුළ ඇති කිරීම ම`ගින් එම ක‍්‍රියාවන් වළක්වා ගත හැකිය හෝ ඉතාමත් අඩු මට්ටමකින් තබා ගත හැකිය යන පූර්ව නිගමනය අපරාධ සංකලපයේ වර්ධනයට හේතු වූයේය.

පුද්ගලයාගේ පැවැත්මට මෙන්ම සමාජයේ පැවැත්මටද බාධක වන්නා වූ කි‍්‍රයාවන් ඉතිසාහයේ මුල් යුගයේදී නම් කරන ලද්දේ සාදාචාරාත්මක නොවන කි‍්‍රයාවන් ලෙසය. එක් එක් රටවල ඉතිහාසය දෙස බලන විට එම සාමාජයන් තුළ පිළිගත්තා වූ මූලික සදාචාරාත්මක පැවතුම් හා ගතිගුණ පිළිබඳ සංකල්පයන් වර්ධනය වීම දැක ගත හැකිය. ඈත අතීතයේ ජීවත් වු මිනිසුන් හා ඊට පසු කාලයන්හිදී ටිකෙන් ටික වර්ධනය වූ මිනිස් සමාජයන් වල ප‍්‍රධානම වෙනස වූයේ මෙම සදාචාරාත්මක සංකල්පයන්ගේ වැඩිදියුණු වීමයි. ලංකාව සම්බන්ධයෙන් ගත්කළ බෞද්ධ ඉගැන්වීම් වලින් ඉතාමත් සරුසාර ලෙස වැඩුණු සාදාචාරාත්මක ගුණාංගයන් පිළිබඳව පැහැදිළි ප‍්‍රකාශයක් සිදු වූවා මෙන්ම එය සමාජ ගත කිරීම සඳහා නිතරම ඒවා පිළිබඳව ජනතාව දැනුවත් කිරීම් විවිධ ආගමික කි‍්‍රයාවන් තුළින් සිදු කෙරින. මේ අනුව මිනීමැරීම හෝ සත්ව ඝාතනය, කාමයේ අනිසි ලෙස හැසිරීම ආදී වශයෙන් මිනිසුන් නොකළ යුතු පැවතීමේ ගුණයන් සමාජ ගත කරනු ලැබීය. එමෙන්ම මිනිසුන් විසින් කළ යුතු දේද සදාචාරාත්මකව නිර්වචනය කෙරිණ. එකිනෙකාට උපකාර වීම, ආදරයෙන් කරුණාවෙන් සැලකීම, හිතවත්කම හා සහජීවනය ආදී වශයෙන් මිනිස් සමාජයේ සාමාජිකයන් එකිනෙකා කෙරෙහි කටයුතු කළ යුතු වන්නේ කෙසේද යන්නද සාදාචාරාත්මක වශයෙන් නිර්චචනය කරන ලදි.

සදාචාරාත්මක වශයෙන් පිළිගැනුනු මුලික සංකල්පයන් ක‍්‍රියාවේ යෙදවීම සඳහා යොදා ගන්නා ලද්දේ එම සම්ප‍්‍රදායන් කඩන්නන්ට මරණයෙන් පසු සිදුවන ද`ඩුවම් හා එම සම්ප‍්‍රදායන් රකින්නන්ට මරණින් පසු එසේ කිරීම නිසා ලැබෙන යහපත් ප‍්‍රඵිපල පිළිබඳ සංකල්පයද නිර්මාණය කිරීමෙනි.

මෙම සදාචාරාත්මක සංකල්ප හා අපරාධ පිළිබඳ සංකල්ප අතර ඇති ප‍්‍රධාන වෙනස නම් අපරාධයක් කළ අයෙකුට මේ ජීවිතයේදීම ද`ඩුවම් කිරීම රජයට පැවරෙන වගකීමක් බවට ඇතිවුනු පිළිගැනීමයි. එය හුදෙක් හොඳ නරක පිළිබඳව ආචාරධර්මශීලී සංකල්පයට වඩා ප‍්‍රායෝගික වූත් කි‍්‍රයාවට දැමිය හැකි වූත් දෙයක් බවට පත්විය.

උදාහරණයක් වශයෙන් මිනීමැරීම සාදාචාරාත්මක නොවනවා පමණක් නොව එය බරපතල අපරාධයක්ද වෙයි. එය බරපතල අපරාධයක් බවට ප‍්‍රකාශයට පත් කර ඇත්තේ නීතිය මගිනි. එසේ නීතිය නිර්මාණය කිරීමේදීම එම වරද කරන තැනැත්තාට දිය යුතු ද`ඩුවමද ප‍්‍රකාශයට පත් කරනු ලබයි. අතීත කාලයේදී ජීවිතයක් නැති කරන්නාට තමන්ගේ ජීවිතයෙන් ඊට වන්දි ගෙවිය යුතුය යන සංකල්පය පැවතියේය. පසුකාලීනව ලෝකයේ බොහෝ රටවල ඇත්තේ එවැනි වරදක් කරන කෙනෙකු ජීවිතාන්තය දක්වා සිරද`ඩුවමට යටත් කොට සමාජයෙන් ඈත් කොට තැබිය යුතු බවය. ඔහු සමාජයට අහිතක් කිරීමට කිරීමට ඉඩ ඇති බව ඔහුගේ අතීත ක‍්‍රියාවෙන් ඔප්පු කර ඇති නිසා ඔහු සමාජයේ නිදැල්ලේ හැසිරීම අනෙත් අයට විශාල අගතීන් ඇති කළ හැකි තත්ත්වයක් නිර්මාණය කළ හැකි නිසා ඔහු සමාජයෙන් ඈත් කොට හිරේ දැමීම වැනි ද`ඩුවම් ඇති කරන ලද්දේ මෙම අපරාධය කිරීම මගින් තමන් තමාම අමාරැුවේ දමා ගන්නා බව පිළිබඳ සංකල්පය සමාජගත කිරීම සඳහාය.

අපරාධ පිළිබඳ සංකල්පයෙහි අඩංගු වන්නේ මිනිමැරීම වැනි අපරාධ පමණක් නොවේ. තමන් ජීවත්වන වාතාවරණය විනාශ කිරීම පිළිබඳ වැරදි ද, දේපල හානි කිරීම පිළිබඳ වැරදි ද, එමෙන්ම සමස්ථ ජනතාවගේ ආරක්ෂාවට පොදුවේ බලපාන ක‍්‍රියාවන් පිළිබඳව ද අපරාධ නීතිය මගින් විධිවිධාන යොදා ඇත. උදාහරණයක් වශයෙන් තමන්ගේ කැමැත්තෙන් එකමුතුභාවයට පැමිණ රාජ්‍යයක් පිහිටුවා ගත් මිනිසුන්ට කරන විශාල හානියක් සේ එම රාජ්‍ය තන්ත‍්‍රය බිඳ දැමීමට කරන උත්සාහයන් සලකනු ලැබීය. ඒ අනුව එයට ඉතා උපරිම දඩුවම් පැමිණවීම පිළිබද සංකල්පයද වර්ධනය විය. එමෙන්ම ත‍්‍රස්තවාදී කි‍්‍රයා ආදිය පිළිබ`දව ද අපරාධ නීතිය තුළ සංකල්ප ගොඩනැගී ඒවා පිළිබ`දව ද නීති පැනවීම සිදු විය. ඒ ආකාරයෙන් සමාජයට අහිතකර වන්නා වූ  ඕනෑම ක‍්‍රියාවක් අපරාධයක් සේ සලකනු ලැබීමට නීති නිර්මාණය කිරීම  ඕනෑම ස්වෛරී ජනතාවකට ඇති අයිතියකි. එම අයිතිය පෙර ප‍්‍රකාශ කළ ආකාරයට ඔවුන්ගේ නියෝජිතයන් මගින් පාර්ලිමේන්තුව වැනි සංස්ථාවන් තුළින් කරනු ලබයි.

අපරාධය පිළිබඳව ඇති එම අදහස් ඒවා කි‍්‍රයාත්මක කරවා ගැනීම සඳහා පවතින උපක‍්‍රමයන් සමාජ ස්ථාවරත්වයේ මූලිකම අත්තිවාරම සේ පවතී. බරපතල අපරාධ පිළිබඳව ලිහිල් සංකල්්පයන් ඇති කිරීමෙන් සිදු වන්නේ සමාජ ස්ථාවරත්වයේ එම මූලික පදනමට පහර දීමයි. එසේ කිරීමේ ප‍්‍රතිඵලය වන්නේ එම සමජය ටිකෙන් ටික අරාජික තත්වයකට පත්වීමයි. එනම් පාලනයෙන් තොර සමාජයක් බවට පත්වීමත් ඒ නිසා සමාජය තුළ විශාල ප‍්‍රමාණයක ගැටීම් වැඩිවීමකුත් අවබෝධය අඩු වීමකුත් අධෛර්්‍යය පැතිරී යාමකුත් ආදිය සිදුවීමයි. බරපතල අපරාධ පිළිබද නොසලකනු ලබන්නා වූ සමාජය සංවිධානාත්මක භාවයෙන් ඈත් වන සමාජයක් බවට පත්වේ. සමාජ සංවිධානය බිඳී යන තරමට අරාජික තත්වය වඩ වඩාත් ගැඹුරු වේ. මේ නිසා අපරාධ පිළිබඳව ඉතා ගැඹුරු අවබෝධයක් හා ඒවා වළක්වා ගැනීම සඳහා අධිශ්ඨානශීලී ක‍්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් මහජනයා විසින් පත් කර ගන්නා ලද පාලකයන් මගින් ප‍්‍රකාශයට පත් විය යුතුය. අපරාධ පිළිබඳ  නොසැලකිලිමත්භාවයක් දක්වන පාලකයා එම සමාජයට විශාල වශයෙන් ගැටලූ ඇති කරන හා විශාල විනාශයක් කරා එම සමාජය යොමු කරන පාලකයෙක් බවට පත්වෙයි. එවැන්නන් පාලනයට නුසුදුස්සෝ වෙති. පාලනයට සුදුසුකම් ලැබිය හැක්කේ අපරාධ පිළිබඳ අදහස සාධාරණ ආකාරයට නිර්මාණය කිරීමත් එසේ සාධාරණව නිර්මාණය කරන ලද නීති ඔස්සේ අපරාධ වශයෙන් නීති ගත කළ කි‍්‍රයාවන් කරන  ඕනෑම කෙනෙකුට දඩුවම් කිරීමේ අධිශ්ඨානය පවතින බව කි‍්‍රයාවෙන් පෙන්නුම් කිරීම තුළය.

මෙම ක‍්‍රියාවන්ට අත්‍යාවශ්‍ය මිනිස් සම්පත් හා ද්‍රව්‍යමය හා මූල්‍ය සම්පත් ලබා දීම නීති නිර්මාණය කරන්නන්ගේම යුතුකම වේ. එනම් එය ආණ්ඩුවේ මූළිකම යුතුකමක් බවට පත්වේ. එවැනි සම්පත් ලබා දීම පාලනය කරන සෑම පාලකයෙක්ම තමන් පාලනය සමාජයේ විශාල විනාශයකට ඇද දමන්නෝ බවට පත් වෙති.
මින් පෙර දැක්වූ සේ නීතිය ක‍්‍රියාත්මක කිරීම සිදුවන්නේ මූලික වශයෙන්ම යුක්තිය පසිඳලීමේ සංස්ථාවන් තුළින්ය. අපරාධ නිරීක්ෂණය කිරීම ඒවා පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම ඒවා පිළිබඳව සාක්ෂි එකතු කිරීම ආදිය පොලිසියට පැවරෙන අතර ඒවා මත පදනම් වී නඩුපැවරීම නීතිපති දෙපාර්තමේන්තුව වැනි රජයේ අපරාධ නඩු දමන්නාගේ කාර්යය ඉටු කරන සංස්ථාවට පැවරෙනවා මෙන්ම මේ සියල්ලම නිසි ආකාරයෙන් පාලනය කරමින් නීතිය තුළ මේ සියලූම ක‍්‍රියාවන් ආරක්ෂා කිරීම අධිකරණයේ යුතුකම වේ. මෙම යුතුකම ස්වාධීනව කරගෙන යාමේ හැකියාව එම සංස්ථා වලට තිබිය යුතුය.

නීති නිර්මාණය කිරීමේ කාර්යභාරය මහජන නියෝජිතයන් අතින් කෙරෙන නමුත් නීතිය ක‍්‍රියාත්මක කරවා ගැනීමේ කටයුත්ත කෙරෙන්නේ ඒ සඳහා ගොඩනගා ඇති සංස්ථාවන්හි සේවය කරන්නන් මගිනි. එසේ එය කරන්නන්ට එය ස්වාධීනව කරගෙන යාමට ඉඩ දීමටත් ඒ පිළිබඳව ඇඟිලි නොගැසීමටත් පවතින නීතිමය රාමුව නීතිය ආරක්ෂා කිරීමේ අත්‍යාවශ්‍යම රාමුවක් බවට පත් වේ.

නීතිය සියලූ දෙනාටම එක් ආකාරයකට ක‍්‍රියාත්මක කරනවා පමණක් නොව එවා ක‍්‍රියාත්මක කිරීමද තාර්කික හා බුද්ධිමය ආකාරයෙන් නිසි ලෙස කිරීමද එය කිසියම් පුද්ගලික හෝ හිතුවක්කාර කි‍්‍රයාමර්ග වලින් තොරව කරගෙන යාමට ඉඩදීම ද සමාජයේ ස්ථාවරත්වයට අත්‍යාවශ්‍ය කොන්දේසි බවට පත් වේ.
 
මෙසේ නියෝජිතයන් විසින් ගොඩනගන නීතිය ක‍්‍රියාත්මක කරවා ගැනීම සඳහා රජයේ සියලූම සංස්ථාවන් පවතී. මේ අනුව මෙම සියලූම සංස්ථාවන්ගේ සේවයේ යෙදෙන කාගේත් පරම යුතුකම වන්නේ රටේ නීතියට අනුව කටයුතු කිරීමයි. එක් අතකින් රටේ නීතියට පරිබාහිරව වැඩ කිරීම බලය අනිසි ලෙස පාවිච්චි කිරීමක් වන අතරම අනෙක් අතින් නීතියට අනුව සිදු කළ යුතු යුතුකම් නොකර සිටීමද අපරාධයක් සිදු කිරීමක් වෙයි. මෙම අවස්ථා දෙකේදීම තමන්ගේ බලය අනිසි ලෙස පාවිච්චි කරන්නන්ට මෙන්ම තමන්ගේ බලය පාච්ච්චි කිරීම නොසලකා හරින්නන්ට ද නිසි ද`ඩුවම් පැමිණවීම මගින් රාජ්‍ය සංස්ථාව නීතිය මත පදනම් වූ හා නීතිය ක‍්‍රියාත්මක කර ගැනීමේ ආයතන තුළ මුල්බැසගත් දෙයක් බවට පරිවර්තනය කර ගැනීම මහජන නියෝජිතයන්ගේම යුතුකම වේ. එය ඔවුන් නොකර හරින්නේ නම් ඔවුන්ද කරන්නේ විශාල පැහැර හැරීමක් වන අතර එම පැහැර හැරීම දඩුවම් ලැබිය යුතු වරදක් බවට පත් වේ. ඊට හේතුව නම් එම පැහැර හැරීම මගින් ජනතාවගේ ආරක්ෂාවට විශාල ගැටලූ ඇති වීමත් ඒ මගින් රජයක පැවැත්ම සාධාරණය කරන එකම කොන්දේසිය එනම්, ජනතාවගේ ආරක්ෂාව සලසා දීම අහිමි කර දමන නිසාත්ය.

නීතිය කි‍්‍රයාත්මක කර ගැනීම රජයක සියලූම සංස්ථා වලින් සිදු විය යුතු අතර ඒ අතරින් විශේෂයෙන්ම යුක්තිය පසිඳලීමේ කාර්යයේ නියුතුව සිටින සංස්ථාවන් මෙම කාර්යය ඉටු කිරීම සඳහා විශේෂඥ සේවාවවන් කරන කණ්ඩායම් බවට පත් වේ. එනම් අපරාධ පිළිබඳව නිරන්තරයෙන්ම පරීක්ෂා කරන හා ඒවා වළක්වා ගැනීම සඳහා ගත යුතු පියවර නිරන්තරයෙන්ම ගනු ලබන්නා වූ සිවිල් පොලිස් ක‍්‍රමයක්ද එසේ අපරාධ පිළිබඳව එකතු කර ගන්නා වූ තොරතුරු හා සාක්ෂි මත අපරාධ කරන්නන්ට නඩු පැවරීමේ කාර්යය කරනු ලබන නීතිපති දෙපාර්තමේන්තුව වැනි සංස්ථාවක ක‍්‍රියාකාරී පැවැත්ම ද, එම පදනම මත ඉහළින් සිට මේ සියල්ල නීතියට අනුව පාලනය කර ගැනීමේ යුතුකම ඇති අධිකරණ පද්ධතියක්ද, මහජන ආරක්ෂාව ඇති කිරීම සඳහා පවතින්නා වූ ප‍්‍රබලම සාධකයන් වේ. යම් රටක අනාරක්ෂිත භාවයක් පිළිබඳව ජනතාව තුළ දැඩි මතවාදයක් ඇති වී තිබේ නම්, ඇත්තෙන්ම සෙවිය යුතු වන්නේ පාර්ලිමේන්තුව විසින් නීති සෑදීම හා ඒවා ක‍්‍රියාත්මක කර ගැනීමට ගතයුතු පියවර ගෙන ඇත්ද යන්නත්, ඒ අනුව විශේෂයෙන්ම යුක්තිය පසිඳලීමේ සංස්ථාවන් ඔවුන්ගේ රාජකාරි නිසිලෙස ඉටු කර තිබේද යන්නත් සොයා බැලීමෙනි. එසේ සොයා බලන විට අනාරක්ෂිත භාවය ඇතිවූයේ කෙසේද යන්න ඉතා පහසුවෙන් හඳුනාගත හැකිය. එසේ හඳුනාගැනීම තුළින් එම තත්වය වළක්වා ගැනීම සඳහා පියවර ද ගෙන නැවත වරක් ජනතා ආරක්ෂාව ගොඩනැගිය හැකිය.

හමුදාව අතින් සිදුවන්නේ විශාල ගැටලූ ඇති වූ අවස්ථා වල ඔවුන් කැඳවූ විට එම ගැටලූව නිරාකරණය කර දීමය. එදිනෙදා ස්වභාවික සමාජයේ පැවැත්ම සිදු වන්නේ හමුදා මැදිහත්වීම් තුළින් නොවේ. එය සිදුවන්නේ සිවිල් පොලිස් පරීක්ෂණ ක‍්‍රමය තුළත් , නීථිපති දෙපාර්තමේන්තුව වැනි රජය වෙනුවෙන් නඩු පවරන්නාගේ කාර්යය කරන සංස්ථාව තුළත් හා අධිකරණය තුළත්ය. සාමාන්‍ය කාලයක් තුළ නීතිය ක‍්‍රියාත්මක වන්නේ හා කළ යුතු වන්නේ ඒ ආකාරයෙනි. විටින් විට ගැඹුරු අරගල මතු වූ විට හමුදාව ඊට මැදිහත් වී යථා තත්වයක් ඇති කිරීමට පදනම සාදා දෙන නමුත් එසේ එම යථා තත්ත්වය හදා ගැනීම කෙරෙනවාද නැද්ද යන්න තීන්දු කෙරෙන සාධක වන්නේ ඉහත කී ආකාරයට යුක්තිය පසිඳලීමේ සංස්ථාවන් තුළිනි.



ලංකාවේ යුක්තිය පසිඳලීමේ සංස්ථාවන්ගේ ඇති වී තිබුණු විශාල පසුබෑම තුළින් වර්තමානයේ සිදුවන අනාරක්ෂිත භාවය සිදු වී ඇති බව ඉතා පැහැදිළිව පෙනේ. යම් කණ්ඩායමක් විසින් විශාල වශයෙන් ජනතාව ගැවසෙන ස්ථාන වල බෝම්බ පුපුරවා හැරීමටත් ඒ මාර්ගයෙන් ජීවිත හානි කිරීමටත් හා දේපල හානි කිරීමටත් මෙන්ම ඒ සඳහා නීති විරෝධී ආකාර වලින් මුදල් ගෙන්වා ගැනීමටත් , ආයුධ ගෙන්වා ගැනීමටත් ආදී ක‍්‍රියාවලියක් අපේ‍්‍රල් 21 සිද්ධියට පෙර අවුරැුදු ගණනාවක් තිස්සේ සිදුවෙමින් තිබූ බව දැන් හෙළිදරව් වෙමින් පවතී. එම අපරාධකාරී ක‍්‍රියාදාමය තුළ ආයුධ පාවිච්චියෙන් කෙරෙන විනාශයක් පමණක් නොව ස්ත‍්‍රීන් වඳභාවයට පත්කිරීම ආදිය මගින් කරන ජන ඝාතනයක තොරතුරුද දැන් නිරන්තරයෙන්ම සමාජ ජාලාවන් ඔස්සේ සාකච්ඡා වෙමින් පවතී.
 
මෙවැනි තත්වයක් ඇති වීමට හේතුව වන්නේ පාලකයන් විසින් යුක්තිය පසිඳලීමේ සංස්ථාවන් නිසිලෙස පවත්වා ගෙන යාමට ගත යුතු පියවර ගෙන නොමැති නිසාය. එසේ ගෙන තිබුණා නම් මේ වන විට මේ සිදුවීමට බොහෝ කාලයකට පෙර ඒ සඳහා යොමු වූවන් පිළිබඳ අවබෝධයකින්  මෙය මුලිනුපුටා දැමීමේ හැකියාව රාජ්‍යයට පැවතියේය. දැනට සාර්ථකව මෙම කාර්යයන් කරන රාජ්‍යයන් දෙස බලන විට පෙනී යන්නේ ඔවුන් නිරන්තරයෙන්ම ආරක්ෂාව පිළිබඳ ගතයුතු නෛතික පියවර නිරන්තරයෙන්ම ගැනීම සිදු වන නිසා සමාජය තුළත් ඔවුන්ගේ සංස්ථා තුළත් කිසියම් ප‍්‍රාණ ජීවයක් පවතින බවය. යුක්තිය පසිඳලීමේ සංස්ථාවන් තුළින් ප‍්‍රාණජීවය අහෝසි වී ගියහොත් හෝ අඩපණ වී ගියහොත් එහි ප‍්‍රතිඵලය වන්නේ රාජ්‍යයකට තමාගේ මහජන ආරක්ෂාව සලසාදීමට ඇති පරම යුතුකම පැහැර හැරීමට මග පෑදීමයි.

මෙවැනි තත්වයක් ඇති වූයේ කෙසේද යන්න සොයා ලැබීමේදී හුදෙක් යම් තොරතුරක් ලැබී ඒ ගැන සාකච්ඡුා නොවූවා යන්න පමණක් සෑහීමකට පත් විය නොහැකිය. එම තොරතුරු ගබා ගැනීම මෙන්ම ලබා ගත් වහාම ඒවාට අනුව ගත යුතු සාකච්ඡුා හා ක‍්‍රියාමාර්ග ගැනීමේ ප‍්‍රවණතාවය අඩපණ වී ගොස් ඇත්තේ හෝ නැති වී ඇත්තේ කෙසේද යන්න අත්‍යාවශ්‍යයෙන්ම කළ යුතු කාර්යයක් බවට පත්වේ. මේ පිළිබඳව සොයා බැලීමේදී ඇති දත්තයන් විශාල වශයෙන් ලංකාව පුරා පවතී. දැනට දශකයන් ගණනාවක් තිස්සේම යම් බුද්ධිමතුන් හා යම් ව්‍යාපාර මගින් රජයේ යුතුකම් පැහැර හැරීමේ ප‍්‍රශ්නය නිරන්තරයෙන් සාකච්ඡා කර තිබීම මෙන්ම මේ පිළිබඳව විශාල ප‍්‍රමාණයක ලේඛන ද ලියැවී ඇත. එහෙත් මේ සාකච්ඡා හෝ ලියැවිලි පරීක්ෂා කොට ඒවායින් ගතයුතු පාඩම් නිසි ලෙස ගෙන ඒවා ක‍්‍රියාත්මක කරවා ගැනීම පාලකයන්ට නොහැකි වීම නිසා වර්ථමානයේ ඇති වී ඇති අනාරක්ෂිත භාවය ඇති වී ඇත. මෙහිදී නැවතත් හැරිය යුතු වන්නේ ජනතා ස්වෛරීභාවය පිළිබඳ සංකල්පයටයි. යම් ආකාරයකින් පාලකයන් හා ඔවුන් විසින් ගෙන යනු ලබන සංස්ථාවන් හා ඔවුන්ගේ යුතුකම් ඉටු කිරීම පැහැර හැරීමක් පවතින්නේ නම් එය ජනතාවගේ ස්වෛරීභාවය මත පදනම් වුනු දේශපාලන ක‍්‍රමයක ඇති වී ඇති විශාල අර්බුධයකි. මෙහිදී නැවත වරක් මෙම තත්වය නිවැරදි කර ගැනීමේ යුතුකම පවතින්නේත් තමන්ගේ ස්වෛරීභිවය නැවත ප‍්‍රකාශයට පත් කර ගත හැකි ජනතාවකට පමණි. ජනතාව වැඩි දැනුවත්කමකින් යුතුව එමෙන්ම ආරක්ෂාව සලසා ගත හැක්කේ කෙසේද යන්න පිලිබඳ ඇති රාජ්‍ය පිළිබඳ ඇති සම්ප‍්‍රදායන් පිළිබඳ දැනුවත් කමකින් යුතුව මෙම ප‍්‍රශ්නයට මැදිහත් වීම තුළින් දැනට පැන නැගී ඇති අනාරක්ෂිත භාවය පිළිබඳ ගැටලූව වඩා ස්ථාවර සමාජයක් ගොඩනගා ගැනීම කෙරෙහි වඩා වගකීමෙන් යුතු පාලකයන් මෙන්ම යුක්තිය පසිඳලීමේ සංස්ථාවන්  හා වෙනත් රාජ්‍ය හා පුද්ගලික සංස්ථා ගොඩනගා ගැනීම කෙරෙහි යොමු කළ හැකිය.

මේ සියල්ලටම පදනම සැලූසම් කරන්නේ නීතිය මත පාලනය යන මූලික සිද්ධාන්තය තුළිනි. නීතිය මත පාලනය යන සිද්ධාන්තයෙන් මූලිකවම කියැවෙන්නේ යම් ප‍්‍රසි්ද්ධ සංස්ථාවක් හෝ පුද්ගලික සංස්ථාවක් නීතිය ක‍්‍රියාත්මක කර ගැනීමේ යුතුකම ඉෂ්ඨ කරන අවස්ථාවේදී ඔහු නීතිය මත පමණක්ම පදනම් වී එම කාර්යය කළ යුතු බවය. එසේ කිරීමේදී තමන් සතු යුතුකම ඉටු කිරීමේ වගකීම ඔවුන්ට පැවරෙනවා මෙන්ම එම යුතුකම පැහැර හැරීම කරන්නන්ද කරනු ලබන්නේ බලය අනිසි ලෙස පාවිච්චි කිරීම මගහැරීමක් වන නිසා ඒවා අපරාධයන් සේ සැලකිය යුතු බවය.

වගකීමක් ඇති සමාජයක් වනාහී නීතිය පිළිබඳ වුවමනාවක් පවතින සමාජයකි. ලාංකික සමාජය එවැනි සමාජයක් බවට තරමක පරිවර්තනයක් යටත් විජිත කාලයන් තුළදී සිදු වූ නමුත් එය අංගසම්පූර්ණ එකක් වූයේ නැත. යටත් විජිත කාලයක එසේ වීමටත් බැරිය. ඉන්පසු කාලය තුළදී මෙම රාජ්‍ය පිළිබඳව සංස්ථා ගොඩනගා ගැනීම රජයේ මූලිකම යුතුකම වශයෙන් පැවතියේය. එහෙත් 1948 සිට මේ දක්වා පැවති එකම ආණ්ඩුවක්වත් රජයක් වශයෙන් තමන් සතුවන්නා වූ මූලික යුතුකම හෙවත් ජනතා ආරක්ෂාව සඳහා ඇති සංස්ථාවන් ගොඩනගා ගැනීම මෙන්ම එම සංස්ථා පවත්වා ගෙන යාමට අවශ්‍ය සම්පත් ලබාදීම ආදිය මගින් ස්වාධීනව මෙම කටයුතු කර ගෙන යාමට හැකි බල සංස්ථාවන් කෙරෙහි උනන්දුවක් දැක්වූයේ නැත. විශේෂයෙන්ම පසුගිය දශකයන් වලදී මෙම උනන්දුව වඩ වඩාත් නැති වී ගිය අතර වගකීම් විරහිත පාලකයන්ද, ඉතා විශාල වශයෙන් දුෂණයේ යෙදෙන්නන්ද එමෙන්ම වෙනත් රාජ්‍ය සංස්ථාවන් තුළට එම දුෂණය පැතිරී යාමට ඉඩ සැලසූ අයද බිහි වූයේය. එහි ප‍්‍රතිඵලය අපේ‍්‍රල් 21 වනදා දැක ගන්නට ලැබුනු අතර මෙම තත්වය ඉක්මනින් වෙනස් කර ගැනීම සඳහා ජනතා මැදිහත්වීමක් සිදු නොවන්නේ නම් අනාගතයේදී මෙය නැවත නැවතත් විවිධාකරයෙන් පැන නැගීමට හොඳටම ඉඩකඩ ඇත. 1971 ඇති වූ කැරැල්ල මගින් එක් ජන කණ්ඩායමක් අනෙකාගේ ආරක්ෂාව පිළිබඳව ගැටලූ ඇති කළා මෙන්ම පසුව එල්ටීටීඊ කණ්ඩායම සමඟ ගොනු වූ කණ්ඩායම් මගින් නැවත වරක් පොදුවේ රටතුළ පැවතිය යුතු ආරක්ෂාව පිළිබඳ සංකල්පය බිඳ දැමීය. දැන් මුහුණ දෙන්නේ තුන්වන අවස්ථාවකටය. එනම් මුස්ලිම් අන්තවාදී ත‍්‍රස්තවාදී කණ්ඩායම් මගින් අපේ‍්‍රල් 21 කළා මෙන් සිදු කිරීමට සැලසුම් කර ඇති විවිධ ක‍්‍රියාවන්ය. මේවා තාවකාලිකව නතර කර ගැනීමට හැකි වූවත් එයින් රටේ ආරක්ෂාව ස්ථාවර වී ඇති බවක් නොකියවේ. එම ආරක්ෂාව ඇති කර ගැනීමට නම්  නීති සාදා ගැනීම මෙන්ම නීති ක‍්‍රියාත්මක කරවා ගැනීමටත් එහිදී මුල් වන යුක්තිය පසිඳල්මේ සංස්ථාවන් ප‍්‍රාණ ජීවයක් ඇතිව වැඩ කරන ස්වාධීන සංස්ථාවන් බවට හරවා ගැනීම අත්‍යාවශ්‍ය වේ. මේ හැර ජනතා ආරක්ෂාව පිළිබඳ වෙනත් විධික‍්‍රමයක් ඇත්තේ නැත.

මතු සම්බන්ධයි..


Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.