English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ශක්තිකට නොලැබෙන අමිත්ට ලැබෙන ඇප ; එක රටක් - එක නීතියක්ද මේ ?
(2019-06-05)

<< Go Back
Share |   




ශක්තිකට නොලැබෙන අමිත්ට ලැබෙන ඇප ; එක රටක් - එක නීතියක්ද මේ ?

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ පළ කළ කෙටිකතාවක් මඟින් බුද්ධාගමට අපහාස කරන ලදැයි චෝදනා කර අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශක්තික සත්කුමාර නම් ලේඛකයාව ජුනි 18 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පොල්ගහවෙල මහේස්‍ත්‍රාත් අධිකරණය අද (04) නියෝග කළේය.

මේ අතර, ආගමික සහ ජාතික සහජීවනයට බාධා කෙරෙන ආකාරයේ අදහස් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය හරහා ප්‍රචාරණය කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මහසෝන් බලකාය නමැති ජාතිවාදී සංවිධානයේ නායක අමිත් වීරසිංහව ඇප මත මුදා හැරීමටයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළේ.

ඒ පනත සහ මේ පනත

ශක්තිකව අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ පසුගිය අප්‍රේල් 01 වනදාය. පොල්ගහවෙල පොලිසිය විසින් ඔහුව අධිකරණයට ඉදිරිපත් කරමින් චෝදනා ගොනුකර ඇත්තේ අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්ති පනත යටතේය. එම පනත යටතේ චෝදනා ගොනු කළ විට ඇප ලබාදීමට බලයක් මහේස්ත්‍රාත් අධිකරණයට නැත. මාස දෙකකට අධික කාලයක් සිරගතව සිටින්නට ශක්තිකට සිදුකර ඇත්තේ ඒ ආකාරයෙනි.

අමිත් වීරසිංහට අදාළව පොලිසිය විසින් ගොනුකර තිබුණු චෝදනා මහජන ආරක්ෂණ පනතට, එනම් හදිසි නීතිය යටතට නොගැනෙන බව ප්‍රකාශ කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද ඔහුව ඇප මත නිදහස් කර තිබුණු අතර ඔහුව අත් අඩංගුවට ගෙන තිබුණේ පසුගිය මැයි 14 වනදාය. ඒ අනුව ජාතිවාදය ඇවිළවීම සම්බන්ධයෙන් නම් දරා සිටින අමිත් වීරසිංහ මෙවර සිරගතව සිටියේ සති තුනක් පමණි.

නීතිය නැවීම

අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව පුද්ගල නිදහස සම්බන්ධ කතිකාව ශ්‍රී ලංකාව තුළ මහත් අභියෝගයට ලක්ව ඇති අතර අනීතික අත් අඩංගුවට ගැනීම්, අනීතික රඳවා තබාගැනීම් සම්බන්ධයෙන් මානව හිමිකම් සංවිධාන පවා මුණිවත රකින තත්වයක් උද්ගතව ඇත. ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය සහ එකී ජනමාධ්‍ය මඟින් පාලනය වන ජනතාව සිටින්නේ අනෙකාව තැළීමට නීතිය නැවීම සම්බන්ධයෙන් ප්‍රීතියෙන් ඉපිළෙමින් හුරේ දමමිනි.

මේ අතර "එක රටක් - එක නීතියක්" පිළිබඳ සාකච්ඡාව ද ජාතිවාදී පදනමින් කරළියට පැමිණ තිබේ. කිසිදු ජනවර්ගයකට කිසිදු ආගමකට විශේෂ වරප්‍රසාද නොදෙන එකම නීතියක් පිහිටුවීමට අප ඉහළින්ම කැමතිය. එහෙත් එක රටක් - එක නීතියක් ගැන අද කතා කරන බොහෝ දෙනෙකුට අවශ්‍ය වී ඇත්තේ සිංහල බෞද්ධ රටක් සහ සිංහල බෞද්ධ නීතියකි.

විශෙෂයෙන් නීතිය ක්‍රියාත්මක කරවන ආයතනයක් වන පොලිසිය ද මේ ප්‍රවාහය සමඟ එකට සිටගත් විට තත්වය බරපතළය.

එක නීතියද මේ ?

පොල්ගහවෙල ප්‍රදේශයේ භික්ෂුන් පිරිසක් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මහාධිකරණයෙන් මෙපිට ඇප ලබාගත නොහැකි වන පරිද්දෙන්, එනම් මාස දෙකකට අධික කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරයේ තැපිය යුතුවන ආකාරයෙන් ශක්තිකට එරෙහිව පොලිසිය චෝදනා ගොනු කරන්නේ ඒ අනුවය.

 

පසුගිය මැයි 13 වනදා මිනුවන්ගොඩ ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයින් සතු දේපළ ගිනි තබමින් එල්ල කළ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටි 32 දෙනෙකු මැයි 22 වනදා විට ඇප මත නිදහස් වන්නේ ඒ අනුවය.

එදිනම නාත්තන්ඩිය ප්‍රදේශයේ ඇතිකළ ජාතිවාදී කෝලාහලය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටි 31 දෙනෙකු මැයි 29 වනදා වනවිට ඇප මත මුදා හැරෙන්නේ ඒ අනුවය.

මිනුවන්ගොඩ ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති, ප්‍රහාරය මොහොතේ එම ස්ථානයේ සිටි බවට වීඩියෝ සාක්ෂි ඇති, ප්‍රකාශ ලබා ගැනීමට දැනුම් දුන්විට පොලිසිය මඟ හරිමින් කට්ටි පනින පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාදව අරවින්ද අත් අඩංගුවට ගැනීමට හෝ පොලිසිය ක්‍රියා නොකරන්නේ ඒ අනුවය.

කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේදී ඉස්ලාම් අන්තවාදීන් කළ පුපුරුවා ගැනීමෙන් හමුදා සෙබළුන් 11 දෙනෙකු මියගිය බවට අමූලික බොරුවක් රූපවාහිනී වැඩසටහනකදී ඉදිරිපත් කර ජනතා කැළඹවීමක් ඇති කිරීමට තැත්දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්තව හුදු ප්‍රකාශයක් පමණක් සටහන් කරගෙන ගෙදර යවන්නේ ඒ අනුවය.

වෙසක් පෝ දිනට පසුදින, එනම් මැයි 19 වනදා මුස්ලිම් මිතුරන් දෙදෙනෙකු සමඟ පන්සලක් ඡායාරූප ගත කළ බවට සහ කුරාණයක් ළඟ තබාගෙන සිටි බවට චෝදනා ලැබ අත් අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ගොනු කරන ලද අනුෂ්ක දිල්හාර සහ එකී මිතුරන් දෙදෙනා තවමත් රක්ෂිත බන්ධනාගාරගතව සිටින්නේ ඒ අනුවය.

ලැයිස්තුව තවත් දිගුය. අපට අසන්නට ඇත්තේ "එක නීතියද මේ ?" කියාය

lankanewsweb.net







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.