English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
සමාජය නැවත ගොඩනැගිය යුතුයි - ජයතිලක බණ්ඩාර
(2019-06-04)

<< Go Back
Share |   



සමාජය නැවත ගොඩනැගිය යුතුයි
ජයතිලක බණ්ඩාර

යුද්ධයකින් පස්සේ වුවත් යුද්ධය පැවතිච්ච ලේ ගලා ගිය මහ පොළොවේ ගස්වැල් හට ගන්නවා. ඒ ගස්වැල් වල දළු එතිලා වැඩෙනවා. මල් ඵල ගන්නවා. නමුත් ඒ මල් වල සුවඳ නෑ. ඒ මල් වල පෙර පැවති ලස්සන නෑ. ඒ මල් පෙති වල මළ බැඳෙනවා. එහෙමයි අපි සාහිත්‍යයේ කියන්නේ. සාහිත්‍යය එසේ කිව්වත්, සත්‍ය සිදුවීමක් වෙන්නේ ඒ පරිසරයක, මිනිස්සු මරාගත්ත පරිසරයක, වෙඩි හඩට කන් හුරු වෙච්ච පරිසරයක, මිනිස් අඳෝනාවල් අහපු පරිසරයක, ලේ ගලාගෙන ගියපු පරිසරයක, ආත්මයක් නැති මිනිස්සු බිහිවෙනවා. ඔවුන්ගේ මනුස්සකම්, ඔවුන්ගේ කරූණාවන්ත කම් පිරිහෙනවා. යුක්තිය, සත්‍යය වෙනුවෙන් පෙනී සිටින, මිනිසුන් නැති වෙනවා. ඒ අත්දැකීම අපි ලබනවා.

අවුරුදු 30 ක් පැවති යුද්ධයක් අවසන් වෙලා අවුරුදු 10 ක් යනකොට, නැවත වරක් ඒ පොළොවෙම, බෝම්බ පුපුරනවා. ඒ පොළොවෙම මිනිස්සු මැරෙනවා. කුඩා දරුවන්ගේ සිරුරු මස් වැඳළි බවට පත් වෙනවා. අපි මොනවද ලබාගත්ත අත්දැකීම්, ඒ තිස් වසරක යුද්ධයෙන් පස්සෙත්, නැවතත් එවැනි දෙයක් සිදු නොවීම සඳහා, අපි මොනවද කළේ? අපි කිසිම දෙයක් කළේ නෑ. දේශපාලඥයින් මහා බල පොරයක, නිරත වෙලා හිටියා. ඔවුන් තරඟයට බොරු කියමින්, තරඟයට මිනිසුන් රවටා ගැනීමේ උත්සාහයක නිරත වුනා. කලාකරුවෝ මුදලාලි බවට පත් වෙමින්, තමන්ගේ කලා නිර්මාණ කරනවා වෙනුවට, මහා සංදර්ශන කරන්නට පටන් ගත්තා. ආගමික නායකයින් තමන්ගේ ආගමික කර්තෘවරුන්ගේ ඒ ගුණ සුවද පතුරුවනවා වෙනුවට, සමන්පිච්ච මල් පූජා, දහස් ගණන් පහන් පූජා, කතෝලික පල්ලි වල මංගල්‍ය වල මහා සාජ්ජ දාන්න පටන් ගත්තා. සාමාන්‍ය මිනිසුන් එදිනෙදා තමන්ගේ කටයුතු වල නිරත වුනා. මේ යුද්ධයක් නැවතත් ඇති නොවීම සඳහා ජාතීන් අතර සුහදතාවය වර්ධනය කරගැනීම සඳහා සංහිඳියාවක් ගොඩනැගීම සඳහා පෙනී සිටිය යුතු මිනිසුන් පෙනී සිටියාද? ඒ පෙනී නොසිටීම නිසා අන්තවාදයට සුදුසු පරිසරයක් ගොඩනැගීම නිසා ඇති වූ ප‍්‍රථිඵලය නොවෙයිද මේ. අපි සියලූ දෙනා ඊට වගකිව යුතුයි.

නමුත් අයි.එස් සංවිධානය ඒ බෝම්බය පුපුරුවා හැරීමේ වගකීම බාරගන්නවා. නමුත් ඒ බෝම්බය පුපුරුවා හරින්නට නොහැකි පරිසරයක් ගොඩනැගීමේ වගකීම කව්රුන්ද බාරගන්නේ? ඒ වගකීම ආණ්ඩුවේ සියළුම මිනිසුන් බාරගත යුතුයි. ජනාධිපති, අගමැති, ඇමති මණ්ඩලය, මන්තී‍්‍රවරු, විපක්ෂ නායකයා, මේ සියලූ දෙනාට ඒ වගකීමෙන් බැහැර වෙන්නට බැහැ. ඔවුන් සියලූ දෙනා මේ ප‍්‍රශ්නයේදී වගඋත්තරකරුවන්. අප එය තේරුම් ගත යුතුව තිබෙනවා. එය තේරුම්ගත යුතුවා පමණක් නොව, එය මහා හයියෙන් ප‍්‍රකාශ කළ යුතුව තිබෙනවා.

යම් සිද්ධියක් සිදුවූවායින් පසුව ඒ පිළිබඳව කතා කරමින් සිටීමේ වටිනාකමක් තිබෙනවා. අදහස් ප‍්‍රකාශ කිරීමේ වටිනාකමක් තිබෙනවා. නමුත් ප‍්‍රශ්නය තමන්ගේ නොවන තාක්කල් ඒ ප‍්‍රශ්නයට ලැබෙන පිළිතුර දාර්ශනිකයි කියලා දන්නවා. ඒ දාර්ශනික ප‍්‍රශ්නවලින් පමණක්, දාර්ශනික පිළිතුරෙන් පමණක් මේ ප‍්‍රශ්නයට විසඳුම් හොයන්න අපට හැකියාවක් නැහැ. ඒ නිසයි අප උත්සාහ කළ යුත්තේ නැවත වරක් මේ රට ගොඩනැගීමේ කාර්යයට උරදෙන්නට. මේ රට නැවත ගොඩනැගිය යුතුව තිබෙනවා. මුස්ලිම් අන්තවාදය කරා මුළු මහත් මුස්ලිම් සමාජයම තල්ලූ කරනවා වෙනුවට, මුස්ලිම් අන්තවාදය මුස්ලිම් සමාජයෙන් වෙන් කර හඳුනාගත යුතුව තිබෙනවා. ඒ සඳහා මුස්ලිම් ජනතාවට සහෝදරත්වයෙන් දෑත් දිගු කළ යුතුව තිබෙනවා. එපමණක් නොවෙයි, අප සතු ශක්තීන්, ගොනු කර ගනිමින් ඒ සඳහා අපි කි‍්‍රයාත්මකව දායක විය යුතුව තිබෙනවා.

අපට අමතක කරන්න පුළුවන් කමක් නෑ 83 කළු ජූලිය. 83 කළු ජූලිය වන විට එල්.ටී.ටී.ඊ සංවිධානයට ඉතා සුළු පිරිසකගේ භට පිරිසක් හිටියා. සන්නද්ධ කණ්ඩායමක් හිටියා. නමුත් 83 කළු ජූලියෙන් පස්සේ ස්වේච්ඡුාවෙන් ඒ සඳහා සහභාගි වූ සිය දහස් ගණනක භට පිරිස් එල්.ටී.ටී.ඊ සංවිධානයට ලැබෙනවා. අපි ඒ අත්දැකීම පසක් කරගත යුතුවා සේම, අන්තවාදය කරා මුස්ලිම් සමාජය තල්ලූ නොකළ යුතුව තිබෙනවා. ඒ සඳහා අපේ සහෝදරත්වයේ දෑත් මුස්ලිම් සමාජය වෙත ගොනු කළ යුතුව තිබෙනවා.

මේ සමාජය නැවත ගොඩ නගන්නේ කෙසේද? නැවත වරක් මිනිස් ජීවිතය ශී‍්‍ර ලාංකික පුරවැසියාගේ ජීවිතය යථා තත්ත්වයට පත් කරගත යුතුව තිබෙනවා. රාජ්‍ය ආයතන ආරම්භ කළ යුතුව තිබෙනවා.බැංකුවල ගනුදෙනු නැවත වරක් පවත්වා ගත යුතුව තිබෙනවා. හෝටල්වල සංචාරක ව්‍යාපෘතීන් ආරම්භ කළ යුතුව තිබෙනවා. පාසැල් විශ්ව විද්‍යාල පද්ධතීන් නැවත ආරම්භ කළ යුතුව තිබෙනවා. නමුත් එය ආරම්භ කළ යුත්තේ ආණ්ඩුවේ ව්‍යාපෘතියක් විදියට නොවෙයි. ඒ සඳහා සුදුසු පරිසරයක් අපි ගොඩනැගිය යුතුව තිබෙනවා. ආරක්ෂක අංශ සමග පැහැදිලිව සාකච්ඡුා කරමින්, ඒ ආරක්ෂාව දරුවන්ට ලබාදෙමින් ඒ පාසැල් නැවත වරක් ආරම්භ කළ යුතුමයි. ඒ සඳහා මම හිතන්නේ මානව හිමිකම් කොමිෂන් සභාව විසින් අනුමත කළ, නිර්දේශ කළ, නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කර තිබෙනවා. මේ ආරක්ෂක වැඩ පිළිවෙළ සකස් කිරීමේ දී වෙනත් ජාතීන්ගේ ශිෂ්‍යයින් ප‍්‍රජාව අපහසුවට පත් නොවෙන ආකාරයෙන් ඔවුන්ගේ සිත් සතන් කෝපයට පත් නොවන ආකාරයෙන් ආරක්ෂක වැඩපිළිවෙළවල් පවත්වාගෙන යාමට විදුහල්පතිවරුන්, ඒ පාසැල් ප‍්‍රජාවන් කටයුතුව තිබෙනවා. එපමණක් නොවෙයි, ඒ ආරක්ෂක කමිටු සඳහා සියළු දරුවන්ගේ දෙම්පියන් කිසිඳු ආගමික බේදයකින් තොරව, ජාති බේදයකින් තොරව, ඔවුන් ඒ සඳහා රැුස් කරගත යුතුව තිබෙනවා.

මෙහිදී විශේෂයෙන්ම දරුවන්ගේ මනව සුවපත් කිරීම සඳහා පැහැදිලිව ඔවුන්ගේ ආකල්පයන් යහපත් ආකල්පයන් බවට පත් කිරීම විදුහල්පතිවරුන්ගේත්, ගුරුවරුන්ගේත්, දෙමව්පියන්ගේත්, වගකීමක් බවට පත් විය යුතුව තිබෙනවා. ඉතින් පහුගිය කාලය පුරා අපි මේ සඳහා කටයුතු කළා. අපි අනුරාධපුර ශාන්ත ජොසප් දෙව්මැදුරේ ඒ දේව මෙහෙය පවත්වන ස්ථාන වලට, බෞද්ධ ස්වාමීන් වහන්සේලා, මුස්ලිම් ආගමික නායකයින් වන මව්ලවිතුමන්ලා, හින්දු ආගමික නායකයින් වන කුරුක්කල්තුමන්ලා සමග සමාජ කි‍්‍රයාදරයින් ගිහින් ශෝකය ප‍්‍රකාශ කරනවාත් සමගම මේ ආගමික සංහිඳියාව සඳහා කටයුතු කළා. ඒ විතරක් නෙමෙයි ඉන් පසුව අපි අනුරාධපුර ජුම්මා පල්ලියට ගියා. ඔවුන් ආගමික වතාවත් පවත්වන ස්ථානයට ගිහිල්ලා අපි ඔවුන්ගේ දෑත් තරයේ අල්ලා ගනිමින් ඔවුන් හා අප අතර, සහෝදරත්වය ගොඩනගන්නට, අපි උනන්දු වුනා. ඔවුන් තුළ තිබෙන ඒ සැකය, බිය තුරන් කිරීම සඳහා අපි කටයුතු කළා. ඉන් පසුව අනුරාධපුරයේ සිට කිලෝමීටර් 18 පමණ ඈතින් තිබෙන  ඉකිරිගොල්ලෑවට ගිහිල්ලා අපේ මුස්ලිම් ජනතාවත් එක්ක ආදරය සහෝදරත්වය බෙදාගත්තා. ඔවුන් හා සංවාද කළා. 

මේ කාර්ය කළ යුත්තේ නැවත වරක් ආයුධ සන්නද්ධ අරගලයකින් මේ රටේ මිනිසුන් මැරීම නතර කිරීම සඳහායි. මේ රටේ දරුවන්ගේ අනාගතය යහපත් කිරීම සඳහායි. මේ ආදරය, කරූණාව, සහෝදරත්වය, ගොඩනැගිය යුතුමයි. අප විශ්වාස කරනවා, එය ගොඩනැගිය හැකියි. එය ගොඩනැගිය යුතුයි කියලා.
 



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.