English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
ගෝලීය ත‍්‍රස්තවාදය ගෝලීය ධනවාදයේ නිර්මාණයක් වන්නේ කෙසේද?
(2019-05-12)

<< Go Back
Share |   



ගෝලීය ත‍්‍රස්තවාදය ගෝලීය ධනවාදයේ නිර්මාණයක් වන්නේ කෙසේද?

ගෝලීයකරණය යන සංකල්පයේ නූතන අර්ථ නිරූපණය නිර්මාණය වන්නේ 1970 දශකය තුළ ය. 2000 වර්ෂයේ දී ජාත්‍යයන්තර මූල්‍ය අරමුදල IMF විසින් ගෝලීයකරණයේ මූලික අංග හතරක් හඳුනාගන්නා ලදි. එනම් 1. වෙළඳාම සහ ගනුදෙනු 2. ප‍්‍රාග්ධනය හා ආයෝජනය. 3. සංක‍්‍රමණය සහ 4. දැනුම ව්‍යාප්ත කිරීමයි. ගෝලීයකරණය මූලික වශයෙන් ආර්ථික සාධකය මත පදනම් වූ සංකල්පයකි. ධනේෂ්වර ආර්ථිකයේ නිදහස් ප‍්‍රාග්ධන ගලායාම තහවුරු කරන මූලෝපායික න්‍යාය ලෙස ගෝලීකරණය හඳුනාගත හැකිය. ඒ අනුව වර්තමානය වනවිට ගෝලීය වශයෙන් නිර්මාණය වී ඇති සෑම අර්බුදයක්ම ගෝලීයකරණයේ ප‍්‍රථිඵලයන් ලෙස හඳුනාගැනීම වඩාත් පහසුය. ගෝලීය ත‍්‍රස්තවාදය ද එවැන්නකි.

ඇෆ්ගනිස්ථානය

1993 දෙසැම්බර් 05 දා බි‍්‍රතාන්‍යයේ Independent පුවත්පත පුවතක් පළ කර තිබිණි. එහි සඳහන් වූයේ සෝවියට් රතු හමුදාවන්ට එරෙහිව ඇෆ්ගනිස්ථානයේ සටන් වදින ඔසමා බින් ලාඩන් නම් විමුක්ති සටන්කාමියකු පිළිබඳවයි. පසුකාලීනව ලෝකයටම තර්ජනයක් වූ Al-Qaeda ජාලයේ නායකයා වන්නේ මොහුයි.

1978 දී ඇෆ්ගනිස්ථාන කොමියුනිට්ස් පක්ෂය විසින් ඇෆ්ගනිස්ථානයේ බලය දිනාගැනීමෙන් අනතුරුව සෝවියට් සමූහාණ්ඩුවට පක්ෂපාති පාලනත‍්‍රන්ත‍්‍රයක් ස්ථාපිත කරන ලදි. ඇෆ්ගනිස්ථානය යනු ආර්ථික වශයෙන් වැදගත් ඛණිජ සම්පත් බහුල වූ භූමියකි. එබැවින් සෝවියට් හිතවාදී පාලනයක් ඇෆ්ගනිස්ථානය තුළ නිර්මාණය වීම ඇමරිකා එක්සත් ජනපදයට ආර්ථික වශයෙන් සහ දේශපාලනික වශයෙන් නොරිස්සුම් සහගත විය. ඒ අනුව ඇමෙරිකානු කුමණ්ත‍්‍රණයක ප‍්‍රථිඵලයක් ලෙස 1979 දී ඇෆ්ගන් ජනාධිපති නූර් මොහොමඞ් තාරික් ඝාතනයට ලක්විය. අස්ථාවර වූ ඇෆ්ගනිස්ථාන ප‍්‍රජාතාන්ති‍්‍රක ජනරජය සෝවියට් රතු හමුදාව විසින් ආක‍්‍රමණය කරන ලදි. 1979 සිට 1989 දක්වා දශකයක කාලයක් සෝවියට් රතු හමුදා සහ ඇමෙරිකානු ආධාර ලැබූ ඉස්ලාමීය අන්තවාදී මුජහිදීන් කැරළිකරුවන් අතර පැවති දරුණු ගැටුම් අවසානයේ සෝවියට් හමුදා ඇෆ්ගන් භූමියෙන් ඉවත් විය. ඇෆ්ගන්- සෝවියට් යුද්ධයෙන් ප‍්‍රතියුක්ත ජයග‍්‍රහණයක් ඇමෙරිකාවට හිමි වුවද ඇමෙරිකානු ආධාර ලැබූ මුජහිදින්වරු කණ්ඩායම් වශයෙන් සංවිධානය වීම සහ ඔවුන් ස්වාධීන ලෙස කි‍්‍රයා කිරීම තුළ ඇෆ්ගනිස්ථානයේ දේශපාලන අස්ථාවරත්වය තවදුරටත් වර්ධනය වීමට හේතු විය. තලේබාන්, අල්-කයිඩා, ඉස්ලාමීය ජිහාඞ් සංවිධානය, හිස්බාහි ඉස්ලාම් සංවිධානය වැනි සංවිධානයන්ගේ නැඟීසිටීම ඇමෙරිකාවට ස්වකීය අරමුණ ඉටු කරගැනීමට බාධාවක් වූ බැවින් 2001 වසරේ දී ඇමෙරිකානු හමුදා විසින් ඇෆ්ගනිස්ථානය ආක‍්‍රමණය කර නොනවතින යුද්ධයක් ආරම්භ කරන ලදි.

ඉරාකය

1979 දී බලයට පත්වන සදාම් හුසේන්ගේ නායකත්වය යටතේ ඉරාකය වඩාත් ශක්තිමත් රාජ්‍යයක් ලෙස නැගී සිටින්නට විය. හුසේන් පාලන තන්ත‍්‍රය සෝවියට් සමූහාණ්ඩුවට පක්ෂපාතී වීමත්, ඛණිජ තෙල් සම්පත ජනසතු කිරීමත් වැනි කි‍්‍රයා මාර්ග හේතුවෙන් ඉරාකය ඇමෙරිකා එක්සත් ජනදපයේ පසමිතුරු භාවයට ලක් විය. ඉරාන-ඉරාක යුද්ධය සහ ගල්ෆ් යුද්ධයට මැදිහත් වීම තුළ, ඉරාකය යනු යුධමය වශයෙන් මැදපෙරදිග බලවතෙකු බවට තහවුරු කරන ලදි. ඉරාකය විසින් අසල්වැසි කුවේටය ආක‍්‍රමණය කිරීම බටහිර බලවතුන්ගේ හෙළාදැකීමට ලක්විය. ඉරාකය විසින් ඉස්ලාමීය ත‍්‍රස්තාවාදී වෙත ආධාර සහ අනුබල සපයන බව ඇමෙරිකාව දිගින් දිගටම චෝදනා එල්ල කරන ලදි. මේ අතරතුර 2001 සැප්තැම්බර් 11 දින අල්-කයිඩා ත‍්‍රස්තවාදීන් විසින් පැහැරගත් ගුවන් යානා මගින් ඇමෙරිකානු ලෝක වෙළඳ මධ්‍යස්ථානයට සහ පෙන්ටගනයට සිදු කළ දැවැන්ත ප‍්‍රහාරයෙන් අනතුරුව එවකට ඇමෙරිකානු එවකට ඇමෙරිකානු එක්සත් ජනපදයේ ජනාධිපති ජේර්ජ්.ඩබ්.බුෂ් විසින් ප‍්‍රකාශ කළේ ඇමෙරිකාව විසින් අමෙරිකාව විසින් රාජ්‍ය ආරක්ෂාව උදෙසා ”ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයක්” ආරම්භ කළ බවය. ඉරාකය විසින් ජන සංහාරක අවි භාවිතා කරන බවට සහ ත‍්‍රස්තවාදය පෝෂණය කරන බවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ දී ප‍්‍රකාශ කළ ඇමෙරිකා එක්සත් ජනපදය 2003 දී ඉරාකය ආක‍්‍රමණය කරන ලදි. 2003 වසරේ දී ඉරාක නායක සදාම් හුසේන් අත් අඩංගුවට ගෙන නඩු විභාග කිරීමෙන් අනතුරුව දේශීය අධිකරණයක් මගින් ඔහුට මරණ දඬුවම නියම කළ අතර, අනතුරුව අස්ථාවර වූ ඉරාකය තුළ ඇමෙරිකාවට හිතවත් නුරී-අල්-මලිකි  ගේ පාලන තන්ත‍්‍රය ස්ථාපිත කරන ලදි. එහෙත් ඉරාකය පුරා සන්නද්ධ ගැටුම් උත්සන්න වූ අතර අල්-කයිඩා සංවිධානය සහ තවත් සන්නද්ධ කණ්ඩායම්් සමග ඉරාක භූමියේ දී සටන් කිරීමට ඇමෙරිකාවට සිදුවිය. 2011 වසරේ දී ඔබාමා පාලන තන්ත‍්‍රය යටතේ ඇමෙරිකානු හමුදා ඉරාක භූමියෙන් ඉවත්ව යන විට සිවිල් වැසියන් ලක්ෂයකට ආසන්න පිරිසක් මරණයට පත් වී තිබූ අතර මිලියන 4.4 ක් අවතැන් වී තිබුණි. 2014 සිට ඉරාක රජය අල්-කයිඩා ත‍්‍රස්ත ජාලයෙන් වෙන් වූ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය ISIS සමග සිවිල් යුද්ධයකට අවතීරණ විය.

අරාඹි වසන්ත සහ මැදපෙරදිග අර්බුදය

2010 දී ටියුනීසියාව තුළ ආරම්භ වුණු සිවිල් සමාජ විරෝධතා මාලාවේ කූට ප‍්‍රාප්තිය වූයේ එරට ජනාධිපති බෙන් අලීට සිය ධූරය අත්හැරීමට සිදුවීමයි. මැද පෙරදිග කලාපය අරක්ගෙන සිටින ඒකාධිපතියන් බලයෙන් පහකොට, ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැවත ස්ථාපිත කළ යුතු යැයි යන අදහස ට්ටිටර්,ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ළැව් ගින්නක් සේ පැතිර ගිය අතර ඊජිප්තුවේ හොස්නි මුබාරක්, ලිබියාවේ මුවමර් ගඩාෆි සහ යේමනයේ අබ්දුල්ලා සාලේ යන පාලකයන්ගේ ආණ්ඩු, දැවැන්ත උද්ඝෝෂණ රැල්ලක් හරහා පෙරළා දැමීමට එම රටවල රැඩිකල් තරුණ ප‍්‍රජාව සමත් වූහ. එහෙත් සිරියානු හා බහරේන් විරෝධතාකරුවන් මිලිටරි බලය යොදා මර්දනය කිරීමට ඒ රටවල පාලකයෝ කි‍්‍රයා කළහ. අරාබි වසන්තය ලෙස හැඳින්වුනු මෙකී විරෝධතා රැල්ල ලොව පුරා විසිරුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ට මහත් ආශ්වාදයක් ගෙන දුන්නද, එය ඉතා කෙටි කාලයක් තුළ වාෂ්ප වුණු ප‍්‍රමෝදයක් සේ සැලකිය හැකිිය. මන්ද වර්තමානයේ එම රටවල් සියල්ල තිබුණාටත් වඩා අස්ථාවරභාවයට ඇද වැටී ඇති හෙයිණි. අවසානයේ වක‍්‍රකාරව අරාබිකරය ලෝක බලවතුන්ගේ ප‍්‍රතියුක්ත සටන් බියමක් බවට පත් විය. වර්තමානයේ සිරියාවේ බෂර්-අල්-අසාද් ගේ පාලන තන්ත‍්‍රය රුසියානු සහය මත ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය ISIS ඇතුළු සටන්කාමී සංවිධාන කිහිපයක් සමග සටන් වැද භෞමික වශයෙන් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය සීමා කිරීමට සිරියා රජයේ හමුදා සමත් වුවද ලොව පුරා එම සංවිධානය විසින් සිදු කරන ත‍්‍රස්ත කටයුතු තවමත් අවසන් වී නැත. මේ වන විට සිරියාව ලෝක ඉතිහාසයේ වඩාත් සංකීර්ණතම යුධ භූමිය බවට පත් වී ඇත. සටන් වදින කණ්ඩායම් තමන්ගේ මිතුරු පස මිතුරුභාවය හඳුනාගත නොහැකි තරමට එය ව්‍යාකූල වී ඇත. මේ වන විට 117,377 ක් පමණ සිවිල් වැසියන් පිරිසක් සිරියානු යුධ භූමිය තුළ මරණයට පත් වී ඇත.

අන්තවාදී ත‍්‍රස්තවාදයක් ද? ගෝලීය ධනවාදයේ නියමු ව්‍යාපෘතියක් ද?

අල්-කයිඩා සංවිධානය බිහිවන්නේ 1988 දීය. ඒ බටහිර මාධ්‍ය ආයතන විසින් කලකදී කොමියුනිට්ස් විරෝධී වීරයකු ලෙස සැලකූ බින්-ලාඩන් ගේ නායකත්වය යටතේය. ඇමෙරිකාව විසින් අල්-කයිඩා සංවිධානය පෝෂණය කරන්නේ ඇෆ්ගනිස්ථානයේ සෝවියට් විරෝධය වෙනුවෙන් ය. එහෙත් අවසානයේදී සිදුවන්නේ අල්-කයිඩා සංවිධානය ඇමෙරිකානු පාලනයෙන් ව්‍යුක්ත වී අනන්ය සලාෆි සුන්නි ඉස්ලාමීය ජිහාද්වාදී දෘෂ්ඨිගතිකතාවයක් තුළ ස්ථානගත වීමය. ජිහාද්වාදය ත‍්‍රස්තවාදී මතවාදයක් (Terrorist Ideology) ලෙස ලොව පුරා ව්‍යාප්ත වන්නේ අල්-කයිඩා සංවිධානය බිහිවීමෙන් පසුවය. අවසානයේ ඇමෙරිකාව ප‍්‍රමුඛ ධනේෂ්වර බටහිර රාජ්‍යයන් වෙත දැඩි තර්ජනයක් වූ මෙම ත‍්‍රස්ත සංවිධානය එහි නායකයා වූ බින්-ලාඩන් 2011 දී පකිස්ථානයේදී ඝාතනය කරන තුරුම ඉස්ලාමීය අන්තවාදී ත‍්‍රස්ත සංවිධාන අතර නායකත්වය උසුලනු ලැබීය.

1994 දී ඇමෙරිකානු ආධාර මත නිර්මාණය වන මුජහිදීන් කැරළි කණ්ඩායමක් වන තලේබාන් සංවිධානය අල්-කයිඩා සංවිධානය මෙන්ම සෝවියට් විරෝධය වෙනුවෙන් නිර්මාණය කරන ලද්දකි. එහෙත් එය භූගෝලීය වශයෙන් අල්-කයිඩා මෙන් ලෝක ව්‍යාප්ත නොවූ ඇෆ්ගනිස්ථානයට සහ පකිස්ථානයට සීමා වූ සංවිධානයක් ලෙස හඳුනාගත හැත. 1996-2001 දක්වා ඇෆ්ගනිස්ථානයේ පාලන බලය මෙහෙයවීමට මෙම සංවිධානය සමත් විය. අද වන විට ඇෆ්ගන් රජයේ සහ ඇමෙරිකා ඒකාබද්ධ හමුදාවන්ට විරුද්ධව මෙම සංවිධානය සටන් වදිමින් සිටී.

තමන් විසින්ම බිහිකරන ලද සංවිධාන අවසානයේ තමන් වෙත එරෙහි වීම මත සතුරාට එරෙහිව නව සතුරෙක් නිර්මාණය කිරීමට ධනේෂ්වරයට සිදුවිය. එහි ප‍්‍රථිඵලයක් වූයේ, අල්-කයිඩා සංවිධානයෙන් වෙන්වුණු අබුබකර් අල් බග්ඩාදී යටතේ 2014 වසරේ දී නව ත‍්‍රස්ත සංවිධානයක් ලෙස ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය ISIS බිහිවීමයි. ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය අද වන විට ඉස්ලාමීය අන්තවාදයේ ගෝඞ් ෆාදර් බවට පත් වී ඇත. වඩාත් රැඩිකල් සලාෆි ජිහාද්වාදී සුන්නි ඉස්ලාම් සංවිධානයක් වන මෙම සංවිධානය සිය ඉලක්කය ලෙස ශුද්ධ වූ ඉස්ලාමීය භූමියක් නිර්මාණය කිරීම අරමුණු කරයි. ඉරාකය සහ සිරියාව මුල්කරගත් මේ මහා ඉස්ලාමීය රාජ්‍යයේ භූමි සිතියමට අපි‍්‍රකාව, යුරෝපය සහ ආසියාවද ඇතූලත් වේ. අද වන විට ලොව පුරා කි‍්‍රයාත්මක වන බොහෝ අන්තවාදී ඉස්ලාමීය ත‍්‍රස්ත සංවිධාන පාලනය කරන ප‍්‍රධාන අක්ෂය බවට මෙම සංවිධානය වර්ධනය වී ඇත. නිර්මාණය කළ සෑම සංවිධානයක මෙන්ම ISIS සංවිධානයේ පාලනය ද අද වනවිට එහි රහසිගත නිර්මාපකයන්ගෙන් ගිලිහී ඇත.

මෙම සටහන තුළින් අවධානය යොමු කරනු ලැබුවේ ලෝක ව්‍යාප්ත ප‍්‍රමුඛ රැුඩිකල් ඉස්ලාමීය ත‍්‍රස්ත සංවිධාන කිහිපයක් බිහිවීමේ සැබෑ ඉතිහාසය කුමක්ද? අවසානයේ එම සංවිධාන නිර්මාණ ක පාර්ශ්වයන්ගෙන් එකී සංවිධාන ස්වාධීන වූයේ කෙසේද? යන්න අධ්‍යයන කිරීමයි. ඒ අනුව සෝවියට් සමූහාණ්ඩුව බලවත්ව පැවති කාලවකවානුව තුළ ලෝක ව්‍යාප්ත රැඩිකල් ඉස්ලාමීය අන්තවාදී සංවිධාන නිර්මාණය වී නොතිබූ බව පැහැදිලිය. 1970-80 දශකය තුළ සෝවියට් බලකඳවුර වෙත පක්ෂපාතී ඉස්ලාමීය රාජ්‍යයන්ගේ තරුණ පිරිස් කොමියුනිට්ස්වාදය වෙත ගොනුවීම වැලැක්වීම සඳහා ඊට ප‍්‍රතිවිරුද්ධ ලෙස ඉස්ලාමීය අන්තවාදය වටා ඔවුන් ගොනු කිරීමට ධනවාදී බල කඳවුර විසින් සැලසුම් සහගතව සිදු කළ කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් ලෙස වර්තමාන ගෝලීය ත‍්‍රස්තවාදී අර්බුදය නිර්මාණය වී ඇති බව හඳුනාගත හැක. අද වන විට මෙම ගෝලීය ත‍්‍රස්තවාදය විසින් ඇති කර ඇති ගෝලීය යුධමය අර්බුදය හරහා ධනේෂ්වරය විසින් සිය ප‍්‍රාග්ධනය ගලා යාමට නව මාර්ගයක් නිර්මාණය කර ඇති අතර, රාජ්‍යයන් අක‍්‍රමණය කිරීමේ නව අධිරාජ්‍යවාදී වැඩ පිළිවෙළේ එක් උපකරණයක් ලෙසත් ගෝලීය ත‍්‍රස්තවාදී අර්බුදය භාවිතා කිරීමට ධනේෂ්වර රාජ්‍යයන් සූක්ෂම වී ඇත. එබැවින්, ගෝලීය ත‍්‍රස්තවාදය යනු හුදකලා අන්තවාදයක ස්වාධීන ප‍්‍රථිඵලයක් නොව ගෝලීය ධනේෂ්වරය විසින් කෘති‍්‍රම ලෙස නිර්මාණය කරන ලද්දක් බවට වඩාත් නිවැරදිව විග‍්‍රහ කළ යුතුය.

සටහන - කුසල් කාවින්ද අමරසිංහ

( පසු සටහන - මෙම ලිපිය ඔස්සේ ඉස්ලාමීය අන්තවාදී ත‍්‍රස්ත සංවිධානයන්ගේ මූලික දෘෂ්ඨිවාදී වෙනස්කම් මොනවාද යන්න සාකච්ඡුා කර නැත. මන්දයත් ත‍්‍රස්තවාදය බිහිවීමේ සැබෑ ඉතිහාසය අධ්‍යයනය කිරීමේ දී එය අත්‍යවශ්‍ය කරුණක් නොවන බැවිනි. එමෙන්ම හිස්බුල්ලා, හමාස් සහ ෆටාස් වැනි ඉස්ලාමීය අන්තවාදී නොවන විමුක්තිකාමී සංවිධාන පිළිබඳව ද මෙම සටහනේ අවධානය යොමු කර නැත. තවද ඇමෙරිකා එක්සත් ජනපදය විසින් සිය ප‍්‍රතියුක්ත යුද්ධ වෙනුවෙන් නිර්මාණය කළ ඉස්ලාමීය නොවන නිකරගුවාවේ කොන්ට‍්‍රා ( CONTRA ) වැනි ත‍්‍රස්ත සංවිධාන පිළිබඳව ද මෙහි සාකච්ඡුා කර නැත. සටහනේ අරමුණ වන්නේ ලෝක ව්‍යාප්ත ඉස්ලාමීය අන්තවාදී ත‍්‍රස්තවාදය ධනේෂ්වයේ නිර්මාණයක් බවට වන සත්‍යය තහවුරු කිරීමය 




Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.