English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
පාස්කු ප‍්‍රහාරය ගැන සොයන්න තේරිම් කාරක සභාවක් ඉල්ලයි
(2019-05-10)

<< Go Back
Share |   



පාස්කු ප‍්‍රහාරය ගැන සොයන්න තේරිම් කාරක සභාවක් ඉල්ලයි

පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය පිළිබදව පුර්ව දැනුම් දීම් කර තිබිය දී පවා එම ප‍්‍රහාරය වලක්වා ගැනීම හෝ සිදු වූ හානිය අවම කරවා ගැනීම සදහා හෝ අදාල නිලධාරීන් අවශ්‍ය පියවර නොගැනීම සම්බන්ධව සොයා බැලීම සදහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් වහාම පත්කරන ලෙස සිවිල් සංවිධාන හා වෘතීතිය සමිති එකමුතුව ඉල්ලා සිටී.

එම එකමුතුව විසින් පසුගියදා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ලිපියක් ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබූ කොමිෂන් සභාවට අමතරව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් වහාම පත්කරන ලෙස ඉල්ලා ඇත. අගමැතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබූ එම ලිපිය පහත දැක්වේ.
   




06.05.2019

ගරු අග‍්‍රාමාත්‍යතුමා,                                                                                                                   අග‍්‍රාමාත්‍ය කාර්යාලය, කොළඹ

ගරු ආග‍්‍රාමාත්‍යතුමණි,

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා සිටීම

2019 අපේ‍්‍රල් මස 21 වන දින මෙරට සිදු වූ ම්ලේච්ඡු ත‍්‍රස්ත ප‍්‍රහාර හා සම්බන්ධ බුද්ධි තොරතුරු ප‍්‍රහාරයට පෙර ලැබී තිබූ බැවින් මෙම ප‍්‍රහාර වළක්වා ගත හැකිව තිබූ ඒවා බවට මේ වනවිට තහවුරු වී ඇත. මෙම ප‍්‍රහාරය සිදු වීමට පෙර ඒ පිළිබඳව දෙස් විදෙස් බුද්ධි අංශයන් අනතුරු අගවා තිබූ බවට මාධ්‍ය මගින් තොරතුරු වාර්තා විය. මෙම ප‍්‍රහාරය පිළිබඳව පූර්ව තොරතුරු වර්ෂ 2019 අපේ‍්‍රල් මස 11 වන දාතම දරණ විශේෂ ආරක්ෂක දිසාව, නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියලාල් දසනායක මහතාගේ අත්සනින් යුතු ලිපියක් මගින් දැනුවත් කළ බවට ද මාධ්‍ය මගින් තොරතුරු වාර්තා විය.

මීට අමතරව, වර්ෂ 2019 අපේ‍්‍රල් මස 04 වන දින ඉන්දියාවේ ඔත්තු සේවා විසින් ශ‍්‍රී ලංකාවේ බුද්ධි අංශයන් වෙත යොමු කරන ලද වාර්තාවක් මගින් ප‍්‍රභූන් ඝාතන තැතක්, ක‍්‍රිස්තියානි සහ කතෝලික පල්ලි ඉලක්කගත ප‍්‍රහාරයක් හා ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය ඉලක්කගත ප‍්‍රහාරයක් සිදුවීමේ හැකියාව පිළිබඳව දැනුවත් කළ බවද මාධ්‍ය වාර්තා පළ විය.



තවද, මෙම තොරතුරු පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතාගේ නියෝජිතයෙකු වන විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා විසින් වර්ෂ 2019 අපේ‍්‍රල් මස 09 වන දින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාව දැනුවත් කළ බවද, ඊට අදාළ ක‍්‍රියාමාර්ගයන් ගන්නා ලෙසට නිර්දේශකර සිටි බවට තොරතුරු වාර්තා විය.

තවද, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා විදේශීය මාධ්‍යවේදියෙකු විසින් විමසූ කරුණු කිහිපයක් සඳහා ලබා දුන් පිළිතුරු වලින් මෙම ප‍්‍රහාරයන් පිළිබඳව පූර්ව තොරතුරු දැන සිටි බවට පැහැදිලි වෙයි. මීට අමතරව අග‍්‍රමාත්‍යතුමා වන ඔබතුමාව ආරක්ෂක මණ්ඩලයට පසුගිය මාස කිහිපයක කාලයක සිට කැඳවා නොමැති බවද වාර්තා වී ඇත.  

මෙම සිදුවීම පිළිබඳ ජනාධිපතිවරයා විසින් විමර්ශන කමිටුවක් පත් කර තිබීම අගය කළ යුතු කාර්යයක් වුවත් අපගේ ස්ථාවරය වන්නේ මේ සම්බන්ධ විමර්ශනය සඳහා වඩාත් ස්වාධීන එමෙන්ම පාර්ලිමේන්තුවේ සියලූ පක්ෂ නියෝජනය වන ලෙස සකසන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම වඩා යෝග්‍ය වන බවයි.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා සියලූ මහජන නියෝජිතයන්ට හා පොදුවේ මහජනතාවට මේ සම්බන්ධ තොරතුරු ලබා දීම උත්තරීතර පාර්ලිමේන්තුවේ වගකීමක් බවද මේ මොහොතේ ඉතා ගෞරවයෙන් ඔබ වෙත අවධාරනය කරමි.

මේ සියලූ කරුනූ සැලකිල්ට ගෙන මෙම පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදී ක‍්‍රියාත්මක නොවී සිටීමේ සැබෑ චූදිතයින් ජනතාවට හෙළිදරව් කර ගැනීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හැකි ඉක්මනින් පිහිටුවීමට කටයුතු කරන මෙන් ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලමු.

ස්තුතියි,    
                                                                                                                                               මෙයට, විශ්වාසී

සමන් රත්නපි‍්‍රය, පූජ්‍ය දඹර අමිල හිමි, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර                                                                                                                                               කැදවුම්කාර මණ්ඩලය වෙනුවෙන්,



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.