English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
ආරක්ෂාව ගැන වෘත්තීය මතයට සවන් දෙමු ! - අතිගරු ආසිරි පෙරේරා රදගුරුතුමා
(2019-05-09)

<< Go Back
Share |   



ආරක්ෂාව ගැන වෘත්තීය මතයට සවන් දෙමු !
අතිගරු ආසිරි පෙරේරා රදගුරුතුමා
මෙතෝදිස්ත සභාවේ මහානායක

පසුගිය අපේ‍්‍රල් 21 වෙනි දින සිදුවූ ප‍්‍රහාරයෙන් කිතුනු ජනතාව දැඩි කම්පනයකට මුහුණ දුන්නා. කතෝලික සභාවන් දෙකකට සහ මඩකලපුවේ නිදහස් සභාවකට එල්ල වු ප‍්‍රහාරයන් නිසා විශාල ජීවිත ප‍්‍රමාණයක් අහිමි වුනා. මේ නිසා කතෝලික සභාවේ ලංකාවේ අධ්‍යාත්මික නායකයා වන අතිගරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වෙන වැඩි අවධානයක් යොමු විය. නමුත් අනෙක් කිතුනු සභාවන් හී නායකයින් සහ ගිහියන් මේ තත්ත්වයෙන් පීඩාවට පත්වූවන් වෙනුවෙන් ද, සමාජ සංහිඳියාව වෙනුවෙන් ද මාධ්‍යට නොපෙනෙන සේවයක් සිදු කරමින් සිටිනවා. මෙවැනි නායකයන්ට මාධ්‍යයේ තැනක් හිමිවන්නේ නොවේ.

ඒ නිසාම අයිතිය වෙබ් අඩවිය ලද අරාධනය අනුව මෙතෝදිස්ත සභාවේ මහානායක රදගුරු ආසිරි පෙරේරා දේවගැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් 2019 මැයි මස 07 වෙනි දින කොල්ලූපිටියේ පිහිටි මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවට සහභාගි විය. මේ එහිදී ඔවුන් දැක්වූ අදහස් ය.


සිදුවීමෙන් පසුව ක්ෂණික ප‍්‍රතිචාර දැක්වූවෝ

පසුගිය දිනවල සිදුවුනා වූ ඒ පාස්කු ඉරුදින ප‍්‍රහාරය කරණකොට ගෙන ශ‍්‍රි ලංකාව තුළ සිටින හැම දෙනාම විශාල කම්පනයකට පත් වුනා. අපි බලාපාරොත්තු වුනු දෙයක් නෙමෙයි මේක. නමුත් ඒ සිදුවීම හරහා විශේෂයෙන්ම අපගේ දේශයට, අපේ ජනතාවට, ආගම්,ජාති,බේදයකින් තොරව සෑම දෙනාටම මේ උද්ගතව වූ තත්ත්වය හැම අතකින්ම බලපෑවා. දැන් සිදුවීමට සති 03 ක් කිට්ටුවෙන් එනවා මේ සිද්ධිය සිදුවෙලා. අපි දැන් කොතනද ඉන්නේ? අපි කොතනටද යන්න ඕනා කියලා මේ හමුව තුලින් යම් පණිවිඩයක් දීමට අප කැමතියි.

අපේ දේශයේ ආරක්ෂක අංශවලට මේ සිද්ධිය සිදුවූ වහාම, ඒ ඛේදවාචකයන් සිදුවූ සෑම තැනකටම ගිහිල්ලා ඒ තුවාලවූ අය, මියගිය අය, අසරණ වූ අය ගැන දැක්වූවා වූ කරුණාව ගැන, දුන්නාවූ සියලූ උපකාර ගැන, සියලූ දෙනාටම අපි ස්තුතිය ප‍්‍රකාශ කරනවා. ඒ වගේම ඒ පාස්කු ඉරුදින සිදුවීමෙන් පස්සේ, රට තුල ඇති වෙන්නට පුළුවන් කම තිබුණා වූ නොයෙකුත් ආකාර කැරලිකාර කි‍්‍රයාවන් මර්ධනය කරමින්, ඒවා සිදුවෙන්නට ඉඩනොදී කි‍්‍රයා කිරීම ගැන ආරක්ෂක අංශවලටත්, පොලිසි වලටත්, විශේෂයෙන් ස්තුති වන්න වෙනවා. මන්ද ඒ වෙලාවේ දී යම් ආකාරයකින් ඒ වෙලාවේ තමන්ගේ සිත් වල කැළඹීමක් ඇති වෙච්ච ජනතාව කුපිත වෙලා කි‍්‍රයාත්මක වුනා නම්, ලොකු ලේ හැලීමක් අපේ දේශය තුළ සිද්ධ වෙන්න තිබුණා. නමුත් ඒ සියල්ල වලක්වා ගන්න හැකි වුණේ, අපගේ ආරක්ෂක අංශ සහ පොලිසිය ඒ වෙලාවෙදි සෘජුව සිටිමින්, කි‍්‍රයාත්මක වෙමින්, ඒ සියල්ලෙන් අපේ දේශය වලක්වා ගැනීම නිසයි.



තීරණාත්මක අවස්ථාවේදී වුවත් දේශපාලන සංහිඳයාවක් නොමැතිකම

ඒ වගේම අපට නොයෙකුත් අන්දමින් දේශපාලන නායකයින්ගේ කතාවන්ට ඇහුම් කන් දෙන්න සිද්ධ වුනා. ඔවුන් එක් එක් ආකාර මත සිදුවෙච්ච සිද්ධීන් පිළිබඳව ප‍්‍රකාශ කලා. ඒ සියල්ල මධ්‍යයේ මම හිතන්නේ ශ‍්‍රී ලාකික ජනතාවක් හැටියට, ආගම් බේද,ජාති බේද, වලින් තොරව, දේශපාලනික පක්ෂ බේද වලින් තොරව, අපේ දේශය නැවත නගා සිටුවීමට, කි‍්‍රයා කිරීම අවශ්‍ය වෙනවා. එ නිසා මම විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා. අපේ දේශයේ සිටින, සියලූම දේශපාලන නායකයන්ගෙන්, ජනාධිපතිතුමා, ඇගමැතිතුමා, ඒ වගේම විරුද්ධ පක්ෂයෙන් නායකතුමා. ඒ වගේම පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්, කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් යන සියලූම දෙනාගෙන් මම විශේෂ ඉල්ලීමක් කරනවා. රටේ පොදු ජනතාව මුල් කරගෙන, පොදු ජනතාවට මේ වෙලාවේ ඇති වී තිබෙන පීඩාව, ඔවුන්ගේ සිත්වලට මේ වෙලාවේ ඇති වුනාවූ වේදනාව තේරුම් අරගෙන සංවේදීව කතා කරමින්, සෙනඟගේ ජීවිත නැවත ගොඩනගන්නට, ඔබගේ නායකත්වය කරුණාකරලා දෙන්න. මේ වෙලාවේ බොරදියේ මාළු බාන්න යන්න එපා. තමන්ගේ නියාමයන්ට වලට, තමන්ගේ අදහස් වලට, අනුව පමණක් කි‍්‍රයාකරන්නේ යන්නේ නැතුව, ඔබ එකිනෙකාගේ අදහස් විමසමින්, පක්ෂ අතරේ අදහස් විමසමින්, රටේ දේශපාලන නායකයන් අතරේ හොඳ සංවාදයක් ඇති කරගනිමින් මේ වෙලාවේ ඔබ ඔබ අතරේ තිබෙන ඒ වාද බේද මුල් කරගන්නේ නැතුව, ජනතාව වෙනුවෙන් සහනය සැලසීමට කටයුතු කරන ලෙස. මම විශේෂයෙන් ඉල්ලීමක් කරනවා.

පාස්කු ඉරිදා සිදුවීම සිදුවෙලා පළමුවෙනි දවස් තුන හතරේ අපි දැක්කා යම්කිසි විදියක ධනාත්මක දෙයක් දේශපාලන නායකයන් අතරේ. අපි එකතුවෙලා මේක විසඳන්න ඕනා කියලා කිව්වා. නමුත් අවාසනාවකට පළමුවෙනි සතිය පහුවෙනකොට ආපහු එක එක්කෙනා තමන්ගේ කඳවුරු බැඳගෙන එක එක්කෙනාට චෝදනා එල්ල කරන තත්ත්වයක ඉන්නේ. මේක හොඳ තත්ත්වයක් නෙමෙයි. ආගමික නායකයන් හැටියට අපි දේශපාලන නායකයන්ගෙන් ඉල්ලනවා තමන්ගේ කඳවුරු තර කරගන්නේ නැතුව මේ වෙලාවෙදි ඔක්කෝම එකතු වෙලා මේ පොදු ප‍්‍රශ්නයකට මුහුණ දෙන්න. දෝෂාරෝපණය කරලා වැඩක් නැහැ. එයින් ජනතාවට ඇති ප‍්‍රයෝජනයක් නැහැ. මේ තත්ත්වයන්ගෙන් මිදිලා රටේ ජනතාව වෙනුවෙන් තමන්ගේ වැඩ කොටස කරන්න කියලා. ඒක අපි ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙනවා.






නැවතත් රට ඉක්මනින් ගොඩගත යුතුයි

ඒ වගේම, අපගේ ජන ජීවිතය, යථා තත්ත්වයට ඉක්මනින්ම පත් වෙන්නට ඕනා. ලබන ඉරිදට සති තුනක් වෙනවා. අපි මේ කාලය තුළ ඉදිරියට ආවද? මේ ගැන අපි කතා කරන්න ගත්තොත් මට ඇහෙනවා විවිධ දේශපාලන පක්ෂ වලින් විවිධ නායකයන් ඉදිරිපත් වෙලා ඔවුන්ගේ අදහස්, ඔවුන්ගේ මත, මේ පිළිබඳව ප‍්‍රකාශ කරනවා. ඒක වැදගත්. නමුත් මේ වෙලාවේ මහජනතාව බලාගෙන ඉන්නේ මේ වැටුනු වළෙන් අපිව කව්ද ගොඩගන්නේ. මේ වැටුණු වළෙන් අපට ගොඩ එන්න, කව්ද අතහිත දෙන්නේ.? රෝමානු කතෝලික කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට, එතුමා දුන්නා වූ හොඳ නායකත්වයක්. සාමකාමී වාතාවරණයක් පැවැත්වීමට සියලූ ජනතාව උනන්දු කළා. ඒ වගේම බෞද්ධ භික්ෂූන් වහන්සේලත් , තමන්ට බාර වූ කාර්්‍යභාරය, මේ කාලපරිච්ෙඡ්දය තුළ ඉටු කළා. ඒ වගේම අනෙකුත් කිතුණු සභාවල නායකයන් ප‍්‍රකාශයන් කරමින් ජනතාව ධෛර්යයමත් කළා. දැන් අපි සියළුම දෙනා එකතුවෙලා ඉදිරි ගමනක් යන්න තියෙනවා. මේක දේශපාලනිකයි, මේක ආගමිකයි, මේක ජාතියකට අයිති වූ කාරණාවක් කියලා බෙදාගන්නේ නැතුව අපි ඔක්කෝම ශී‍්‍ර ලංාකිකයන් හැටියට, ඉදිරි ගමනක් යන්න බලන්න ඕනා.

දැන් මේ වෙලාවේ කවුරුත් අහන ප‍්‍රශ්නය තමයි අපේ ආරක්ෂක තත්ත්වය දැන් යථා තත්ත්වයට ඇවිල්ලද කියලා. දැන් මේ ප‍්‍රශ්නයට කව්ද අපිට ඇත්තෙන්ම හරියට පිළිතුරක් දෙන්නේ.?. ඒක බොහෝම වැදගත්. රටේ ආරක්ෂක තත්ත්වය එදාට වඩා යම් ප‍්‍රමාණයකට හොඳයි. දැන් එය තවත් ඉදිරියට යනවා කියලා කියන්න පුළුවන් අය කව්ද කියලා කියන්න පුළුවන් අය කව්ද? මම විශ්වාස කරන්නේ අපේ ති‍්‍රවිධ හමුදා වලත්, පොලිසියෙත්, නායකත්වය මේකට අවශ්‍ය යයි. මේක දේශපාලඥයින් විසින් පමණක් ජනතාවට ප‍්‍රකාශ කරන්න ගිහිල්ලා අද අපට එක එක පැතිවලින් එක එක අදහස් එන්නේ. මේ නිසා සමහර අය වැඩට යන්න හිතනකොට, ගෙදර අය කියනවා වැඩටට යන්න එපා මෙයා මෙහෙම කිව්වා කියලා. මම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අපගේ ති‍්‍රවිධ හමුදා නායකයින් සහ පොලිසියේ නායකයන් අපට ආරක්ෂක තත්ත්වය ගැන කුමක්ද කියන්නේ ?දැන් යථා තත්ත්වයකට යන්න පුළුවන් තත්ත්වයකද අපි ඉන්නේ? ඔවුන්ට තමයි හරියාකාරව, විද්‍යානුකූලව කල්පනා කරලා, මේකට අපට උපදෙසක් දෙන්න පුළුවන්. මේකට දේශපාලන විද්‍යාවෙන් දෙන්න පුළුවන් උත්තර නෑ. මේකට අපේ ආරක්ෂක තත්ත්වය ගැන දැනුම තියෙන, මේ වෙලාවේ තාක්ෂණය භාවිතයෙන් කටයුතු කරන ආරක්ෂක අංශ ප‍්‍රධානීන්ගේ වචනය අපට වැදගත් වෙනවා.





දරුවන්ගේ් අධ්‍යාපනය ආරක්ෂිතව ඉක්මනින් ආරම්භ කළ යුතුයි

අපේ ප‍්‍රර්ථනාව තව වැඩි දවසක් යන්න ඉඩ නොදී, අපේ ජනජීවිතය නැවත එන්න ඕනා ඉදිරියට. වෙළදාම් කරන අය තමන්ගේ වෙළදාම් වලට නැවත එන්න ඕනා. රැුකියා කරන අය තමන් රැුකියා කරන ස්ථානවලට ඇවිල්ලා තමන්ගේ වැඩකටයුතු වල යෙදෙන්න ඕනා. දැන අපේ පාසැල් අධ්‍යාපනය තියෙන්නේ යම් අර්බුදාකාරී අවස්ථාවක. ඒ ගැන මම විශේෂයෙන් කියන්නට ඕනා. දෙමව්පියනි අපට තේරෙනවා. ඔබ හැමට ඔබගේ දරුවා ගැන තියෙන වටිනාකම මිළ කරන්න බෑ. එ නිසා ඔබගේ දරුවන්ගේ ආරක්ෂාව ගැන ඔබට විශාල කැක්කුමක් තියෙනවා. ඒ වගේම ආරක්ෂාව නැතිවෙයිද කියන බියක් ඔබ හැම දෙනාටම ඇති වෙලා තියෙනවා. ඒක මටත් තියෙනවා. මේ වෙලාවේදී අපි තේ්රුම් ගන්න ඕනා ඉදිරි දවස්වල සාමාන්‍ය පෙළ විභාගයට දෙසැම්බර් වල පෙනී සිටින සිසුසිසුවියන්ට ඔවුන්ගේ ඉල්ලූම්පත් අත්සන් කිරීමට තිබෙනවා. මේ මාසේ 25 වෙනි දින අවසන් දිනය. මේ පාසැල් වසාගෙන සිටියොත්, විභාගයට පෙනී සිටින දරුවන්ට අවශ්‍ය තොරතුරු ලබාදීම කරගන්න බැරි වෙනවා. ඒ නිසා පාසැල්වල විදුහල්පතිවරුන්ටත්, ගුරුවරුන්ටත්, දෙමම්පියන්ටත්, මම විශේෂයෙන් ඉල්ලීමක් කරනවා. අපි සියලූම දෙනා බොහෝම තැති ගැන්මෙන් බයෙන් හිිටියා. තාමත් අපි ඉන්නවා. මට කාටවත් සහතියක් දෙන්න බෑ අපි සියයට සියයක් සුරක්ෂිතයි කියලා. අපි 30 වසරක යුද්ධයේ දී පවා යම් ආකාරයෙන් මේ වගේ භීතියට පත් වෙන මොහොතවල් තුළින් අපි ගමන් කළේ කොහොමද? අපි නැවත කොහොමද ගොඩ ආවේ? අපි කොහොමද අපේ දරුවන්ව පාසැල්වලට ගෙන ආවේ. මේක ටිකක් කල්පනාවට අරගෙන, ඔබගේ පාසැල් වල නිලධාරීන් සමග සාකච්ඡුා කරමින් දරුවන්ව ඔවුන්ව පාසැල් ජීවිතයට යොමු කිරීම, ඔබ ඉදිරිපත් වෙන්න.

ළමයින්ට මේ මානසික තත්ත්වයෙන් ගොඩ එන්න උදව් කරන්න

දැනට රජයේ පාසැල් පටන් අරගෙන තියෙනවා. අනෙකුත් පෞද්ගලික පාසැල් ඉක්මනින් ආරම්භ කරනු ඇතැයි අපි විශ්වාස කරනවා. මේ වෙලාවේ ගුරුවරුන්ගෙන් සහ විදුහල්පතිවරුන්ගෙන් මම එක ඉල්ලීමක් කරනු ලබනවා. අපේ දරුවෝ පහුගිය සති දෙකහාමාර තුළ ගත කළේ විශාල අතතියකින් එ වගේම ඔවුන්ගේ සිත්තුළ නොයෙකුත් පෑරෙන තුවාල සිදුවෙලා තියෙනවා. ඔවුන්ගේ හිතවතුන් සමහර අය මිය ගිහිල්ලා ඇති. තුවාල වෙලා ඇති. කරදරයට පත්වෙලා ඇති. පවුලේ සාකච්ඡුා වලදී කතා කරන දේවල් නිසා ඔවුන් බයට පත් වෙලා ඇති. මේ දරුවන් පාසැලට ආවාම පළමුවෙනි දවසේ ඉඳලා මේ ගණන් පොතයි, සිංහල පොතයි, ඉතිහාසය පොතයි අරගෙන එකපාරට පාඩම් උගන්වන්න යන්න එපා. කරුණාකරලා අපේ මේ දරුවන්ට ඔවුන් අත්දුටුවා වූ දේ ඔවුන්ගේ ජීවිත අභ්‍යයන්තරයේ ඇති වුනා වූ මේ කලබලය ගැන වචන වලින් කතා කරන්නට, කරුණාකරලා පාසැල් වල ඉඩ කඩ සලස්වා දෙන්න. සමහර විට ඒ සම්බන්ධයෙන් විශේෂ සම්මන්ත‍්‍රණයන් පවත්වන්ට ඔබට සිදුවේවි. ඒවා කරුණාකරලා ළමයින්ට ලබා දෙන්න. නැත්නම් සාමාන්‍ය පංතියේදී ගුරුවරුන් ළමයින්ට සංවේදී වෙලා ඔවුන්ට කතා කරලා කියන්න තියෙන දේ සැකය,බය, ප‍්‍රකාශ කරන්න ඉඩදෙන්න. එතකොට අපි ඔක්කේම ගල් ගැහිලා, බය වෙලා, ත‍්‍රාසයට පත්වෙලා ඉන්න මේ තත්ත්වයෙන් මිදීමට මාර්ගයක් අපිට උපයෝගී කරගන්න පුළුවන්.



කිතුණු ජනතාවත් තමන්ගේ කම්පනයෙන් ඉවතට ආ යුතුයි

කිතුනු ජනතාවගෙනුත් යමක් ඉල්ලන්න තියෙනවා. පහුගිය සති දෙකේම අපේ ඇතැම් ස්ථානවල අපි දේව මෙහෙයන පැවැත්වුවා. ඇතැම් ස්ථාන වල අපි දේවමෙහෙයන් පැවැත්වුවේ නැහැ. සමහර ස්ථානවල පල්ලි වල රැුස්වෙන්න බැරි නිසා ගෙවල් වල ජනතාව රැුස්වුනා. ඒ ගැන ස්තුතිවන්ත වෙනවා. දැන් ඉතින් අපි අපේ කිතුනු නමස්කාරය කරගැනීමට අපි උනන්දු වෙන්න ඕනා. අපේ කිතුණු විශ්වාසයේ තිබෙන, බොහෝම වැදගත් පදනම් අපි පාවිච්චි කරමින් යාච්ඤාවෙන්, දේව වචනය කියවීම තුළින් අපි එකිනෙකාව ධෛර්යයමත් කරගෙන, තව තව තැන්වල මේ වෙච්ච දේ ගැන කතා කරමින්, මේක තියෙන භයානක කම ගැන සිදුකරන සාකච්ඡුාවල් යාච්ඤා වලට යොමු කරගෙන අපි ඇදහිල්ලෙන් පියවර තබන්නට පටන් ගන්න ඕනා. ශ‍්‍ර‍්‍ර‍්‍රී ලංකා මොතොදිස්ත සභාවේ මහනායක රදගුරුතුමා හැටියට මම සියලූම මොතෝදිස්ත සභාවන් වල ජනතාවටත්, අනෙකුත් කිතුනු ජනතාවටත්, ඉල්ලීමක් කරනවා. අපි නැවතත් අපේ නමස්කර ජීවිතයට ඇතුල් වෙන්න ඕනා. අපේ නමස්කාර මොහොතවල් වලට අපි ඇතුල් වෙන්න ඕනා. ඒ සම්බන්ධයෙන් ඔබ හොඳ ප‍්‍රතිචාරයක් දක්වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.



රජයේ ප‍්‍රතිචාරය

අද දින අපි අගමැතිතුමා හමුවුනා. අපි විශේෂයෙන් අපි අහපු ප‍්‍රශ්නේ තමයි මේ රටේ ආරක්ෂාව තහවුුරු කිරීම ගැන තියෙන සහතිකය ගැන. ඔහුගේ අදහස වුනේ ආරක්ෂාව සියල්ල සම්පූර්ණයි කියලා මේ මොහොතේ කීමට නොහැකි වුනත්, මේ සම්බන්ධයෙන් විශේෂඥ දැනුම තිබෙන තුන්දෙනා වූ ආරක්ෂක අංශ ප‍්‍රධානීන් විමසලා කියන්න තියෙන දේ තමයි කිව්වේ. ඔවුන් ප‍්‍රකාශ කරලා තියෙනවා උද්ගතවූ භයානක තත්ත්වය මැඩ පවත්වලා. අත්අඩංගුවට ගත යුතු ප‍්‍රධාන ත‍්‍රස්තවාදීන් සමහර අය මියගිහිල්ල නැත්නම් ඔවුන් අත්අඩංගුවට පත්වෙලා ඉන්නේ කියන එක. තර්ජනනාත්මක තත්ත්වය මැඩපවත්වලා තියෙන්නේ කියලා කිව්වා. තවත් බොහෝ කළ යුතු බවත් කිව්වා. ජන ජීවිතය නැවත ගොඩනගාගන්න ඒක හොඳ වචනයක් අපිට. අපිට ධෛර්යයමත්වීමට එය පාවිච්චි කළ හැකියි.


බෝම්බ වලට බය නැති මිනිස්සු
ගෞ.අනුර පෙරේරා දේවගැතිතුමා
සමාජ කාර්යභාර කමිටුවේ සභාපති
මෙතෝදිස්ත සභාව


අපි ගිය ඉරිදා රදගුරුතුමා සමග ගිය ඉරිදා දිනය ගත කළේ මඩකලපුවේ. මඩකලූපුවේ බෝම්බ ප‍්‍රහාරයට ලක් වුනු දෙව් මැදුර අපි බැලූවා. ඒ දෙව්මැදුර නටඹුන් වෙලා. දැනට එය භාවිතා කරන්න බැහැ. මේ සෙනඟ ඉරිදා කොහෙද ඉන්නේ කියලා බලනකොට අපේ මොතෝදිස්ත සභාවට අයිති මඩකලපුවේ ශාලාවක සියලූ දෙනා එකතු වෙලා, නමස්කාර කරනවා. තුනහාරසියයක් හිටියා. මට කල්පනා වුනේ ඒ වෙලාවේ අපේ මේ තාම බෝම්බ ආරංචි ඇසුනු පල්ලි වහලා, බෝම්බ වැදුනු පල්ලියේ අය තුන්හාරසියයක් එකතු වෙලා. මේ අය තුළින් මේ ආරක්ෂාව පිළිබඳ තිබුණු බය තුරන් වෙලා කියන එක අපට දැනුනා. ත‍්‍රස්තවාදීන්ට දෙන්න පුළුවන් හොඳම උත්තරය මේක තමයි. ඔබ අපිට ගැහැව්වා. අපිව බය කලා. නමුත් ආයෙත් පන ගැනිලා. ශක්තිමත් වෙලා. අපේ කටයුතු කරගෙන යනවා.



කෝපය සමනය කිරීමට ක‍්‍රමයක් අවශ්‍යයි

තවත් වැදගත් කාර්්‍යභාරයක් තිබෙනවා සිද්ධ කරන්න. මේ සිද්්ධි සිදුවුනා වූ තැන්වල දරුවන්ගේ, තරුණ තරුණියන්ගේ, වැඩිහිටයන්ගේ සිත්වල තාමත් දුක් අඳෝනා තිබෙනවා. සමහරු මේ ගැන කල්පනා කරලා අඬනවා. දුක්වෙනවා. සමහරු එහෙම නෙමෙයි. ඒක තුළින් තමන්ගේ කේන්තිය, පිටකරගන්න. පළිගන්න, යම් යම් සිතිවිලි ඇති කරගන්නවා. රටේ දැනට ඇති වී තිබෙන තත්ත්වය සාමකාමී තත්ත්වයක්, පොඩි පොඩි තැන්වල පෞද්ගලික කෝන්තර ආවම බලන්නේ. ඔහු මුස්ලිම්වරයෙක්ද ?, මෙයා සිංහලයෙක්ද? මෙයාගේ ආගම මොකක්ද? මේ වගේ දේවල් තමයි හොයන්නේ හදිසි අනතුරක් වුනත්. මීගමුවේ ඇතිවුනු සිද්ධි මීගමුවේ එවැනි පෞද්ගලික දේවල්. නමුත් ඒක තුළින් හිරවෙලා තියෙන හැඟීම් එලියට එන්නට වෑයම් කරනවා, වෙර දරන බවක් පේනවා.

ගම් මට්ටමින් ආගමික එකමුතුවක් අවශ්‍යයයි

පොලිසිය හා ආරක්ෂක අංශ හුඟක් කාර්ය බහුල වෙලා ඉන්නේ හුඟක් වැදගත් ආරක්ෂක කටයුතු වල යෙදී සිටිනවා. නමුත් ආගමික නායකයන් හැටියට අපිට විශේෂ යුතුකමක් වගකීමක් තියෙනවා, මේ හිත්වල තෙරපෙන, තදවෙලා තිබෙන, හැඟීම් වලට ඉඩක අවශ්‍යයයි. එය සිදුවිය යුතුයි මේ බෝම්බ ප‍්‍රහාර සිදුවුනු පලාත්වල සහ මේ සිදුවීම් නිසා කම්පනයට පත් වුනු පළාත් වල එය සිදුවිය යුතුයි. මුළු ශි‍්‍ර ලංකාවම පුරා මේ දේ සිදුවිය යුතුයි මේ වෙලාවේ. ආගමික නායකයන්ට නායකත්වයක් දෙන්න පුළුවන් හැම ගමකම, හැම ප‍්‍රදේශයකම. කාදිනල්තුමාත් කිව්වා ඒවැනි එකමුතු දේවල් ඇතිවීම අත්‍යවශ්‍යයයි කියලා. මීගමුව සහ මේ අවාසනාවන්ත සිද්ධිය සිදුවුනු තැන් වලන කොට ඒ වගේ හිත්වල සිදුවුනු වේදනා පහවී යෑම සඳහා යම් කිසි කි‍්‍රයා මාර්ගයක අවශ්‍යතාවය අපට පේනවා මේ වෙලාවේ. දිගින් දිගටම පොඩි පොඩි සිද්ධි සිදුවුනාම, ඒවා විශාල වෙලා ඒවා විවිධ හානිවලට, අනවශ්‍ය දේවල් වලට යොමු වෙන්න පුළුවන්. ඒ තුළින් මේ වෙනතුරු රැුකගෙන ආ සාමකාමී තත්ත්වය, නැති වෙලා ත‍්‍රස්තවාදීන්ගේ වුමනාවන් ඉෂ්ඨ සිද්ධවෙන්න තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්.

ආගමික නායකයන්ගේ හා සිවිල් නායකයන්ගේ කාර්්‍යභාරය

හැම ජනවර්ග කොටසකම ඉන්නවා තමන් හිතපු දේ නොසිදුවුනා කියලා හිතන පිරිසක්. ත‍්‍රස්තවාදීන් මේක කළේ යම් යම් බලාපොරොත්තු ඇතිව. අපේ සමහර කණ්ඩායම් හිතනවා මේක වුනාම මෙහෙම තමයි වෙන්න තිබුණේ කියලා. එහෙම වුනේ නෑනේ කියලා අසතුටින් ඉන්න අය ඉන්නවා. එවැනි අය අපට බැහැර කරන්න බෑ. එවැනි අයගේ සිතිවිලි වලට හැඟීම් වලට අපට දෙන්න පුළුවන් උත්තරය නැත්නම් අපට කරන්න පුළුවන් දේ මොකක්ද කියන එක, ගැන සලකන කොට එවැනි එකමුතුකම් එවැනි සංවිධානාත්මක සාකච්ඡුාවල් පක්ෂ විපක්ෂ හැමෝම එකට එකතුවෙලා, කතා කරන එක අපිට මේ වෙලාවේ කරන්න තියෙන වැදගත් කාර්යයක්. ආගමික නායකයන් හා සිවිල් සමාජය විසින් මේ කාර්යය ඉටු කළ යුතුයි.


Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.