English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
ජනතාව බිය ගැන්වීම දේශපාලන ව්‍යාපෘතියක් ද?
(2019-05-08)

<< Go Back
Share |   



ජනතාව බිය ගැන්වීම දේශපාලන ව්‍යාපෘතියක් ද?

අද දෙවන දිනට රජයේ පාසැල් විවෘත වූ අතර අද ද සාමාන්‍ය තත්ත්වයට පත් වූවා යැයි කිව හැකි තරම් සිසුන් සංඛ්‍යාවක් පාසලට පැමිණ තිබුණේ නැත. මේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයක් නොවන්නේ 30 අවුරුදු යුද්ධයක අවස්ථාවකදීවත්, කොලඹ ප‍්‍රදේශයන් හී බෝම්බ පිපිරුම් සිදුවූ කාලයේවත් මේ අයුරින් අධ්‍යාපන පද්ධතිය බිඳ වැටුණේ නැත. අධ්‍යාපන බලධාරීන් පාසැල් විවෘත කිරීමට සැරසී කි‍්‍රයාකරද්දීත්, ළමුන් සහ පාසැල් බිඳ වැටුණේ නැත.

මේ සඳහා විවිධ තත්ත්වයන් බලපෑ බව පෙනේ. එනම් අප්‍රේල් 21 වෙනි දින සිදුවූ අනපේක්ෂිත, බිහිසුණු බෝම්බ පිපිරීම් මාලාව නිසා ඇති වූ බලපෑම සහ කම්පනය ප‍්‍රධාන හේතුවකි. එම පිපිරීම් සියල්ල සිදුවූවායැයි සැලකෙන්නේ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර වලිනි. දැන් දැන් ඒ ගැනද සැක සංකා මතුවෙමින් තිබුණ ද, ජනතාවගේ සිත් සතන් තුළ මුල් බැස ගෙන ඇත්තේ ඒවා සියල්ල මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර වලින් සිදුවූ ඒවා බවයි. ඒ වගේම තවත් විශාල බෝම්බකරුවන් හා බෝම්බකාරියන් සිටින බවට පැතිර යන ආරංචිය තවත් එකකි. කොළඹ ජලයට වස මිශ‍්‍ර වී ඇති බවට පැතිර ගිය ආරංචි සම්බන්ධයන් නිල ප‍්‍රකාශන ලැබී නොමැති නමුත් ජනතාව ඒවා ද දැඩි ලෙස විශ්වාස කරනු ලබයි. පසුගිය සතිය පුරාම ජනතාව කැළඹුණේ කොළඹ පාලම් පිපිරවීමේ ආරංචිය නිසායි. මේ නිසා දින කිහිපයක් ජනතාව බියෙන් සලිත වී සිටියහ. මෙම ප‍්‍රචාරයන් සිදු කරන්නේ කව්ද යන්න ගැටලූවක් වුවත්, ඒ නිසා සමාජයට විශාල බලපෑමක් සිදු කරනු ලබයි.



මේ සියල්ල මෙන්ම කාදිනල් මැල්කම් රංජිත් පියතුමා විසින් රෝමානු කතෝලික දේවස්ථානයන්හී දේව මෙහෙයන් දැන් සති දෙකක් තිස්සේ පැවැත්වීම අත්හිටුවීම නිසා රට තුල සාමාන්‍ය තත්ත්වයක් නොමැති බවට පැතිර යන ආරංචිය සනාථ කිරීමට ජනතාවට ලැබුණු මගපෙන්වීමකි. එහිදී එතුමා පැවසුවේ එතුමාට තවත් පහරදීම් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බවයි. නමුත් මෙහිදී සිදුවූවේ එය නොවේ. ලංකාවේ බොහෝ පලාත් වල අනෙකුත් සභාවන් පසුගිය ඉරුදින දේවමෙහෙයන් ආරක්ෂක අංශවල සහයෙන් සහ ඔවුන්ම සදාගත් ආරක්ෂණ වැඩ පිළිවෙලක් අනුව පවත්වන ලදි. මේ සඳහා විශාල ජන සහභාගිත්වයක් ලැබුණු බව ආරංචි මාර්ග පවසයි.
අද දින මෙතෝදිස්ත සභාවේ රදගුරු ආසිරි පෙරේරා දේවගැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවති පැවති මාධ්‍ය හමුවකදී කියවුණේ පසුගිය ඉරුදින මඩකලපුවේ බෝම්බ පිපිරීම සිදුවු සියොන් දේවස්්ථානයේ බැතිමතුන් විසින් පසුගිය ඉරුදිනම දේවමෙහෙයක් පැවැත්වූ බවයි. මේ සඳහා 350 කට අධික බැතිමතුන් පිරිසක් සහභාගි වූ බවයි.

30 වසරක යුද්ධයේ දී මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් යුද තොරතුරු විශ්ලේෂකයෙක් පැවසූ අදහසක් මෙහිදී සිහිපත් කළ යුතුය. එනම් මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයන් නැවැත්විය යුත්තේ අදාල බෝම්බකරු එය ඇඳ පැලඳ ගැනීමට පෙරය. එය හැඳ පැලඳ ගත්තායින් පසුව එය නැවැත්වීම හෝ එය පාලනය කිරීම සිදුකිරීම ඉතා අපහසුය. මන්ද ඔහුට හෝ ඇයට එය ඕනෑම මොහොතක පුපුරුවා හැරීමට ඇති හැකියාවයි. මඩකලපුව බෝම්බය රමේෂ් නම් පුද්ගලයෙක් නිසා විනාශය අවම විය. නමුත් හඳුනාගත් වහාම, සැකයක් මතු වූ වහාම බෝම්බකරුවන් එය පුපුරුවා ගනී. මහා පරිමාණයෙන් ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද මෙහෙයුම් නිසා දැනට යම් පාලනයක් ඇති විය හැකිය.



එමෙන්ම ආරක්ෂිත තත්ත්වය ස්ථීර වශයෙන්ම සාමාන්‍ය අතට හැරෙනු ඇතැයි ස්ථිර වශයෙන්ම අපට කිව නොහැකිය. ඒ සඳහා දීර්ඝ කාලීන සෝදිසි මෙහෙයුම් සිදු කළ යුතුය. නමුත් ජනජීවිතය අඩාල කර ගැනීමට එය හේතුවක් නොවේ. දැනටම මුල් පෙළේ ත‍්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී ඇත. තවත් එවැනි මෙහෙයුම් මැද රට සාමාන්‍ය තත්ත්වයට පත් විය යුතුය. මේ සටන ඇත්තේ  ලොව බිහිසුණුම ත‍්‍රස්තවාදී සටන්කරුවන් හා සම්බන්ධතා ඇති දේශීය සටන්කරුවන් සමගය.

මේ ත‍්‍රස්තවාදීන්ව පරාජය කළ හැක්කේ නිවෙස් වලට වී සිටීමෙන් නොවේ. සාමාන්‍ය ජන ජීවිතයට නැවත ඉතාමත් ඉක්මනින් ළගාවීමෙනි. එයින් ඔවුන් බලාපොරොත්තු වන සමාජය බියගැන්වීම යම් පමණකට අවම කළ හැකිය. අනෙක් කරුණ වන්නේ ඔවුන් බලාපොරොත්තු වූ ලෙස මුස්ලිම් සමාජය කෙෙරෙහි වෛරයකින් කටයුතු කිරීමෙනි. එපමණක් සෑහෙන්නේ නැත. විශේෂයෙන් දැනටමත් එම අන්තවාදී අදහස් වලින් පෝෂණය වුනු තරුණ පරපුර නැවතත් සංහිඳියාවේ සමාජය දෙසට යොමු කිරීමයි. රටේ ඇතිවුනු සියළු සිවිල් යුද්ධයන් හීදී භාවිතා කරන ලද අසීමිත මර්ධනය නිසා දෙමළ තරුණ තරුණියන් මෙන්ම, ජවිපෙ මර්ධනය කිරීමට අනුගමනය කරන ලද උපක‍්‍රම හේතුවෙන් තවත් තරුණ තරුණියන් විශාල පිරිසක් එම ව්‍යාපාරයන් සමග සම්බන්ධ විය. ඒ තත්ත්වය මෙහිදී ද සිදුවිය හැකිය. ඒ නිසා සියළු නායකයන් මේ යුද මෙහෙයුම් ඒ දෙසට යොමුවීම වුවමනාවෙන්ම අඩපණ කළ යුතුය. අවසන් කරුණ වන්නේ ඉතාමත් අවධානමෙන් සිටීමත් තවත් බෝම්බයක් පිපිරවීමට ඇති අවස්ථාවන් අහිමි කිරීමෙනි.




සමාජය බිය ගැන්වීම අවසන් කර සමාජය නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත්වීමට සියළු පාර්ශ්වයන් එක්ව කටයුතු කළ යුතුය. සමාජය බිය ගැන්වීම දැන් දැන් සැලසුම් සහගතව සිදුකරන බවත්, ඒ අනුව ජනතාවගේ අප‍්‍රසාදය රජය වෙතට යොමු කිරීමේ ප‍්‍රයත්නයක් තිබෙන බව පැහැදිලිය. මේ සඳහා තමන් දැනුවත්ව හෝ නොදැනුවත්ව සමහර ආගමික නායකයන් ද උපයෝගී කරගනියි. මෙම වසර මැතිවරණ වසරක් නිසා ඒ සඳහා මේ බියගැන්වීම යොදා ගැනීම ඔවුන්ගේ අරමුණ වී ඇත. රට සන්සුන්වීම ඔවුන්ට අවාසිදායකය.

දිගින් දිගටම මේ බිය පැවතුණහොත් එය ජනතාවගේ සාමාන්‍ය ජීවිතයට, ආධ්‍යාපනයට, ආර්ථිකයට පමණක් නොව මානසික සෞඛ්‍යටද බලපානු ඇත. එසේ වුවහොත් ඊට වඩාත්ම ඉක්මනින් ඊට ගොදුරු වන්නේ පාසැල් සිසුසිසුවියන්ය. ඒ තුළින් ඔවුන් මුස්ලිම් ළමුන් කෙරෙහි ද, මුස්ලිම් සමාජය කෙෙරෙහිද වෛරයකින් හා අවිශ්වාසයකින් ද පසුවනු ඇත. මේ නිසා මේ තත්ත්වයන් ජයගැනීමට නම් නැවතත් ජන ජීවිතය ඉතා ඉක්මනින්ම සාමාන්‍ය තත්ත්වයට පත්වීම අත්‍යවශ්‍ය කරුණකි. ඒ සඳහා අනවශ්‍ය බියක් ඇති කරන පුද්ගලයන් හා කණ්ඩායම් හඳුනාගෙන ඔවුන්ගේ බිය සුළු උපදෙස් මගහැර කි‍්‍රයාත්මක වන ලෙස ජනතාවගෙන් උදක්ම ඉල්ලා සිටිමු.


අද දින ( මැයි 07 ) වෙනි දින පැවති මාධ්‍ය හමුවේදී රදගුරු ආසිරි පෙරේරා ද පවසා සිටියේ ජන ජීවිතය ඉතා ඉක්මනින් සාමාන්‍ය තත්ත්වයට පත් විය යුතු බවයි. ආරක්ෂ අංශ දැන් සියල්ල සියයට සියයක් යහපත් නොමැති වුවත් පවතින ආරක්ෂක විධිවිධාන යටතේ සාමාන්‍ය තත්ත්වයට පැමිණීම ආරම්භ කළ යුතු බව ද එතුමන් පැසුවේය.

ඒ සඳහා උපයෝගී කරගත හැකි ප‍්‍රකාශයක් හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ්  සේනානායක විසින් ඉදිරිපත් කර ඇත. අතර එහි උපුටාගැනීම පහත දැක්්වේ.


https://www.army.lk/news/secy-defence-tri-service-police-chiefs-assure-full-security-all



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.