English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
මුස්ලිම් සමාජය දැන් හැමෝටම බියෙන් ජීවත්වෙන්නේ?
(2019-05-06)

<< Go Back
Share |   

මුස්ලිම් සමාජය දැන් හැමෝටම බියෙන් ජීවත්වෙන්නේ?

රට තුල උද්ගතව තිබෙන තත්ත්වය වෙනස් කිරීම සඳහා මුස්ලිම් ජනසමාජය සතු වගකීම හා ඔවුන් ඒ සඳහා කරන යෝ්ජනා මොනවාද යන්න සම්බන්ධයෙන් සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සංගමයේ සම්බන්ධීකාරක (තරුණ අංශය )  නුෂ්රත් නව්ෆල් මවුලවි සමග කල සාකච්ඡාවක් මේ.


මුස්ලිම් සමාජය නියෝජනය කරන ආගමික නායකයකු ලෙස පසුගියදා ඇති වූ සිදුවීම ඔබ දකින්නේ කොහොමද?

පොදුවේ අරන් ලැබුවොත් අන්තවාදී පිරිස් හැම ආගමකම ඉන්නවා. බෞද්ධ, හින්දු, කිතුණු, ඉස්ලාම් මේ හැම එකකම එවැනි අය ඉන්නවා. ඒ අය ත‍්‍රස්තවාදී කි‍්‍රයා සිදු කරන්නේ කුමන පරමාර්ථයෙන් ද කියන්න අපි දන්නේ නැහැ. ඒ නිසා කුමන ආකාරයක වුණත් අන්තවාදයට අපි විරුද්ධයි. මේ දේවල් මනුෂ්‍ය සමාජයට හොඳ දේවල් කියලා අපට කියන්න බැහැ.

එහෙත් මෙවැනි සංවිධාන තමන්ගේ සමාජය තුල කි‍්‍රයාත්මක වන බව තේරුම් ගන්තම ඒ බව වගකිව යුතු පාර්ශවයන් දැනුවත් කිරීම ඔබගේ වගකීමක් නේද?

අපි මීට කාලයකට ප‍්‍රථම ඉස්ලාම් වියතුන්ගේ සංවිධානය ලෙස ඒකරාශී වී 2014-2015 වසර වල පැවති රජයටත්, වර්තමාන රජයටත් ආරක්ෂක අමාත්‍යංශයටත්, බුද්ධි අංශයටත් ගිහින් මේ පිලිබඳ සවිස්තරාත්මක තොරතුරු ලබා දී තිබෙනවා.


පොඩි පිරිසක් එකතු වෙලා, අන්තවාදී ලෙස කි‍්‍රයා කරන බවක් අපට පේනවා. මේ පිලිබඳව කරුණාකරලා හොයලා බලන්න කියලා අපි කිව්වා. දැන් බලනකොට ඒ පිලිබඳව මේ අය සොයා බැලීමක් සිදු කර නැති බවයි අපට හිතෙන්නේ. ඔවුන් හිතන්න ඇති මේ අය එච්චර දුරට හැදෙන්නෙ නැති වේවි, යුද්ධයේ අත්දැකීම් තියෙන නිසා ඒකට මේ අය බය වේවි කියලා. නැත්නම් මෙහෙම වෙන්නේ නැහැනේ.

මෙවැනි ත‍්‍රස්ත කි‍්‍රයා සඳහා ඉස්ලාමීය ඉගැන්වීම් වලින් අනුබලයක් ලැබෙනවද?

කෙනෙකුට මරාගෙන මැරෙන්න කියලා ඉස්ලාම් ආගමේ කොහේවත් කියලා නැහැ. ඇත්තටම ඒ විදියට මරණයට පත් වීම ලොකු පවක්.

ඒත් ඉස්ලාම් නොවන අනෙකුත් ආගම් අදහස අය මිථ්‍යා දෘෂ්ඨිකයන් ලෙස සලකා පිරිසිදු ඉස්ලාමය වෙනුවෙන් ඔවුන් ඝාතනය කර කලාට කමක් නැහැ කියලා කුරානයේ සඳහන් වන බවට චෝදනා නැගෙනවා ?

ඉස්ලාම් ආගමේ එවැනි දෙයක් කියලා නැහැ. මේ අයට කුරාණය තියෙන දේවල් වැරදි විදියට කවුරු හරි උගන්වලා තියෙනවා.අපි ඒ මුල තමයි හොයන්න ඕනා. අයි.එස්.අයි.එස්. සංවිධානය කියන්නේ ලංකාවේ ආරම්භ වුනු සංවිධානයක් නෙමෙයි. ඔවුන් අන්තර්ජාතික ලෙස අපරාධ සිදු කරන කල්ලියක්. මේ අයගේ කි‍්‍රයා මොනවද කියලා අපි විග‍්‍රහ කරලා බැලූවොත් ඔවුන් වැඩියෙන්ම ගාතනය කරලා තියෙන්නේ මුස්ලිම් සමාජයම බව පේනවා. එහෙම නම් කුමන හෝ ආගමක තමන්ගේම අයව මරන්න කියලා ලියවිලා තියෙනවද? නැහැනේ. එහෙම නම් මේ අය කව්ද? ලෝකය තුල කවුරුන් විසින් මේ අයව නිර්මාණය කලේද?

මේ අයට මෙවැනි ත‍්‍රස්ත කි‍්‍රයා සිදු කිරීමට අවශ්‍ය සියලූ පහසුකම් ලබාදෙන්නේ කව්ද? ඇයි මේ අය අනෙක් අය විතරක් නැතුව මුස්ලිම් අයවත් මරන්නේ ? මං එහෙම කියන්නේ අනෙක් අය මරන්න ඕනෑ කියන එක නෙමෙයිතමේ අයට එහෙම බෙදීමක් නැති බව හඟවන්නයි. ඒ නිසා මෙන්න මේ ගැන අපි අවධානය යොමු කල යුතුයි.



මේ රටේ පාරම්පරික මුස්ලිම්වරුන්ට විරුද්ධ විවිධ ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් සකී‍්‍රයව කටයුතු කළේ අදක ඊයෙක නෙවෙයි නේද?

ඔව් ඒක ඇත්ත. ඒත් මෙතන ප‍්‍රහාරය එල්ල කලේ වහබ්වාදය හෝ සුෆිවාදය හෝ අනුගමනය කරන අය නොවෙයිත ඊටත් එහා ගිහින් ඒ අය විසින්ම වෙනම ආගමක් හදාගත් ත‍්‍රස්තවාදී කල්ලියක්. මේ අයි.එස්.අයි.එස්. කණ්ඩායමට සම්බන්ධ බොහෝ දෙනා මුස්ලිම් ලබ්ධිකයන් විදියට තමයි පෙනී ඉඳලා තිබුණේ. ඒක ඉස්ලාම් විදියට සමාජය පිලිගන්න ඕනෑ. ආගම්වල කිසිම ත‍්‍රස්තවාදයක් නැහැ. මුස්ලිම් ආගමේ විදියට නිරායුද මිනිසුන් මැරීම පාපයක් විදියටයි සලකන්නේ්. මේ සම්බන්ධයෙන් මුස්ලිම්වරු කිහිප දෙනෙක් මේ වෙද්දි අත්අඩංගුවට පත් වී තිබෙනවා. මේ අය ඉස්ලාමීය ඉගැන්වීම් වැරදි ආකාරයට අවබෝධ කර ගැනීම නිසා තමයි මෙවැනි ඛේදවාචකයක් සිදු කිරීමට සම්බන්ධ වෙලා තියෙන්නේ?

මේ තත්ත්වය නිසා සමස්ත මුස්ලිම් සමාජයටම කිසියම් අභියෝගයක් එල්ල වී තිබෙනවා. ඔබ විසින් එය තේරුම් කරගන්නේ කොහොමද?

ලංකාවේ ඇතිවුණු මේ සිද්ධියේදී ඇඟිල්ල දික් වුණේ සමස්ත මුස්ලිම් සමාජයටයි. ඒ නිසා අද බෞද්ධ, කිතුනු, හින්දු, මේ හැමදෙනාම මුස්ලිම් ප‍්‍රජාව දිහා බලන්නේ මෙයත් ත‍්‍රස්තවාදියෙක්ද? කියන බියමුසු හැඟීමකින්. මේ අය එහෙම බලන්න ඔනෑ කියලා හිතලා බලනවා නොවෙනේන පුළුවන්. එහෙත් යථාර්ථය එයයි. කිසියම් කණ්ඩායමක් විසින් හෝ එක පාර්ශ්වයක් විසින් හෝ එවැනි ත‍්‍රස්ත කි‍්‍රයාවක් කළාම ඒ මුුළු මහත් සමාජය දිහාම අපි ඒ කෝණයෙන් බැලීමට පෙළඹීම මනුෂ්‍ය ස්වභාවයයි. අය අප තේරුම් ගත යුතුයි. ”අප මේ අයට කොච්චර උදව් කර තිබෙනවද? ඒත් ඔවුන් අපි දිහා බලන්නේ මෙහෙමනේ. ” කියලා හිතනවා. ඒ අයට අපි බැනලා තේරුමක් නැහැ. මේ යථාර්ථය අපි තේරුම් ගන්න ඕනා. ඇත්තටම කිව්වොත් මේ ප‍්‍රශ්නෙදි මුස්ලිම් සමාජයක් විදියට අපිත් බයේ තමයි ජීවත් වෙන්නේ. අද වෙද්දි බෞද්ධ.කිතුනු, හින්දු සමාජයට තිබෙන බය මොකක්ද?

අපිත් එක්ක මෙච්චර කල් ආශ‍්‍රය කරපු මුස්ලිම් සහෝදරයාත්, අයි.එස්.අයි.එස් සංවිධානයේ කෙනෙක් ද? ඔවුනුත් වහාබ් අන්තවාදී පුද්ගලයන් ද? කියන එක පමණයි. එහෙත් අද මුස්ලිම් සමාජය මේ ත‍්‍රස්ත කි‍්‍රයාව නිසා ත‍්‍රස්තවාදීන්ටත් අනෙකුත් ජාතීන්ටත් ආරක්ෂක අංශවලටත් හැමොටම බයෙනුයි ජීවත්වෙන්නේ්.

ඔබ ඔහොම කිව්ට අපට අපේ මිතුරන් කෙරෙහි එහෙම ලොකු අවිශ්වාසයක් නෑ. මොකද ඒ අය අපිත් එක්ක එකට පාසැල් ගිය අය. ඔවුන්ගේ සිතුම් පැතුම් අපි හඳුනනවා. ඒත් පස්සේ කාලෙක මේ තත්ත්වය වෙනස් වුණා. ඔවුන් ජාතියක් ලෙස වෙනම ජීවත් වෙන්න පටන් ගත්තා. මුස්ලිම් සමාජයක් විදියට අපි පොඩි කාලයක් තුළ ඈත් වෙලා ජීවත් වී තිබෙනවා. මේකට හේතුව අපි ජාතීන් ලෙස වෙන්ව පාසැල් අධ්‍යාපනය ලැබීමට යොමු වීම නේද? මෙතනින් නේද අපේ වෙන්වීම සිද්ධ වුණේ?

ඇත්තටම මේකට වග කියන්න ඕනෑ සිංහල සමාජයවත්, හින්දු සමාජයවත් කිතුනු සමාජයවත් නොවෙයිත මේ රට පාලනය කරපු උදවියයි.

ඒ අය තමයි මේ තත්ත්වය නිර්මාණය කළේ. අපි ළමයි අරන් පාසැල් ගියාම ”ඔයාලා සුළු ජාතීන් නිසා අපට මේ පාසැලට ගන්න පුළුවන් 2.5% යි” කියලා කියනවා. එතකොට පාසැලක් අහිමි වෙන මුස්ලිම් ළමයා කොහේ ගිහින්ද ඉගෙනගන්නේ? හැම අම්මා, තාත්තා කෙනෙකුගේම බලාපොරොත්තු වන්නේ ”තමන්ගේ දරුවා හොඳට ඉගෙනගෙන මේ රටේ ඉහළ තැනකට ඒවි, ඒ වගේම හොඳ පුරවැසියන් වේවි”කියලා. ඒ නිසා ඒ ළමයින්ට උගන්වන්න පාසැල් ඇති කරන්න මුස්ලිම් සමාජය උත්සාහ ගත්තා. එහෙත් රජයට දුර දැක්මක් තිබුණා නම් ඒ කලෙම මේවා නවත්වලා. නෑ හැමෝම එකම පාසැලකට යන්න ඕනෑ. ඒකට අවශ්‍ය පියවර අපි ගන්නවා කියලා කියන්න තිබුණා. ඒත් එහෙම කළේ නෑහැ. ඒ නිසා අද බෞද්ධ, හින්දු, කතෝලික, මුස්ලිම් විතරක් නෙවෙයි, විවිධ තාරාතිරම්වල පාසැල් ඇති වී තිබෙනවා.

ඔබ ගියෙත් රජයේ සිංහල පාසැලකට නේද? 

ඔව්. මම ගියෙත් සිංහල පාසැලකට. මං ඒ අධ්‍යාපනය හමාර කරලා මවුලවි කෙනෙක් වෙන්න හිතාගෙන නුවර අරාබි පාසැලකට ගියා. ඒ අධ්‍යාපන කටයුතු ඉවර කරලා සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සංගමයට සම්බන්ධ වෙලා වෘත්තීය මාර්ගෝපදේශකයෙකු විදියට කටයුතු කළා. එදත්, අදත් මම වැඩියෙන් ආශ‍්‍රය කළේ, වැඩ කළේ සිංහල මිනිස්සු එක්ක. මගේ එක සිංහල යාළුවෙක් මට කෝල් කරලා කියනවා. ”මචං උඹට ප‍්‍රශ්නයක්ද? එහෙම ප‍්‍රශ්නයක් තියෙනවා නම් එ් දේවල් ඉවර වෙනකම් අපේ ගෙදර ඇවිත් ඉඳපන්. තියෙන විදියට කාලා අපි ජීවත් වෙමු.” කියලා. මෙන්න මේ ආශ‍්‍රය හැම ජනකොටසක් අතරේම ඇති වෙන්න ඕනෑ. ඒක පටන් ගන්න ඕනා පාසැලෙන්.



මේ ප‍්‍රශ්නයට විසඳුමක් විදියට ඔබ යෝජනා කරන්නේ මොකක්ද?

අපි හැමෝම එකට එකතු වෙලා ආගමිකයන් විදියට වෙනස් වෙන්න කලින් ලාංකිකයන් වෙන්නේ කොහොමද කියලා හිතන්න ඕනෑ. මොකද අපි හැමෝම ආගමට එන්න කලින් මේ ලෝකයට එන්නේ මනුෂ්‍යයෝ විදියට. ඊට පස්සේ මේ රටේ ලාංකේය පුරවැසියන් වෙනවා. ඊටත් පස්සේ තමයි ආගම එන්නේ. ඒ නිසා මුලින්ම අපි මනුෂ්‍යයන් විදියට ජීවත් වෙමින් රටට ආදරය කරන්න ඉගෙනගන්න ඕනෑ. ඒක උගන්වන්න හොඳම තැන තමයි පාසල. පාසල්වල අධ්‍යාපන කටයුතු යාවත්කාලීන කරලා බෙදීමක් නැතුව හැමෝටම එකට ඉගෙනගන්න පුළුවන් පරිසරයක් ඇති කරන්න ඕනෑ. ඒ පාසල්වල එක ළමයෙක් හිටියත් අදාළ ආගම උගන්වන්න ගුරුවරයෙක් ඉන්න ඕනෑ.

ඔවුන්ගේ සංස්කෘතියට අනුව ජීවත්වෙන්නත් ඒ වෙනස්කමට ගෞරව කරන්නත් උගන්වන්න ඕනෑ.එතකොට අපේ ආකල්ප වර්ධනය වෙනවා. එහෙම වුණාම වෙනස්කම පේන්නේ අභියෝගයක් විදියට නොවෙයිත පොහොසත්කමක් විදියටයි.

ඒ විවිධත්වය තුළ හැමෝටම ශ්‍රී ලාංකිකයන් ලෙස ජීවත් වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒ ලංකාව අද අපි දකින ලංකාවට වඩා ගොඩක් වෙනස් එකක් වේවි. හැමෝම සතුටින් නිදහසේ ජීවත්වෙන ලංකාව හැදේවි. අපි බෙදිලා වෙන් වෙලා මරාගන්න ගියොත් අපට රටක් තියා අපිවත් ඉතුරු වෙන එකක් නැහැ.

ඒ නිසා මේ අන්තවාදී කි‍්‍රයා නැවත ඇති නොවෙන්න මුලිනුපුටා දානවා වගේම අපි හැමෝම මේ රටේ සමඟියෙන් එකට ජීවත් වෙන්න පුළුවන් පරිසරයකුත් මේත් එක්කම හදාගන්න ඕනෑ. ඒකට පටු අරමුණු ඇතිව දේශපාලනය කරන අයත් ඒ ආකල්පවලින් එළියට එන්න ඕනෑ. අපිට ඒ අය නාවත් කමක් නෑ.

ජනතාව විදියට වෙනස් වුණොත් ඔවුන්ටත් ඉබේම එතෙන්ට එන්න සිද්ධ වේවි. ඒ නිසා මේ ප‍්‍රශ්නයට අපි එකට එකතු වෙලා මුහුණ දෙමු. එය පරාජය කර ශී‍්‍ර ලාංකේය ජාතියක් වශයෙන් එකට නැඟී සිටිමු.

වෙබ් ගොසිප් වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි.








Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.