English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
අන්තවාදයට පිළිතුරු ඇත්තේ අන්තවාදය තුළද?
(2019-05-06)

<< Go Back
Share |   



අන්තවාදයට පිළිතුරු ඇත්තේ අන්තවාදය තුළද?

අද අමතක වී ඇති බවක් ඇතැමුන් පෙන්නුම් කලත් ශ‍්‍රී ලංකාවට ඇත්තේ තිස් අවුරුදු යුද්ධයක බිහිසුණු බෝම්බ මැදින් ඉදිරියට ආ ඉතිහාසයකි පසුගිය පාසකු ඉරිදා බෝම්බ ප‍්‍රහාර වලට පෙර ඉතා බිහිසුණු බෝම්බ ප‍්‍රහාර ශ‍්‍රී ලංකාවාසී ජනතාව අත් විද ඇත. දෙමළ බෙදුම්වාදී අරගලය තුළ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල කළේ එකී අරගලයේ මධ්‍ය අවධියකය. ඉස්ලාම් අන්තවාදය මරාගෙන මැරෙන ප‍්‍රහාර වැලකින් ආගමික අන්තවාදී සටන ආරම්භ කර තිබේ.

අමතක වී ගිය දෙමළ බෙදුම්වාදී අරගලය

දෙමළ බෙදුම්වාදී අරගලයට යම් ඓතිහාසික විකාශනයක් තිබේ. දෙමළ ජනයාට පාලන බලයේ සාධාරණ බෙදීමක් පිළිබඳ අවිහිංසාවාදී ඉල්ලීම් වලින් එය ආරම්භ විය. දෙමළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකයන් ගෙන ගිය එම සටනේ ඉල්ලීම් කිසිවකට ආණ්ඩු විසින් ප‍්‍රතිචාර නොදැක්වීම තුළ දරුණු සන්නද්ධ අරගලයක් දක්වා දිග්ගැස්සුනි.

ඉංග‍්‍රීසීන් විසින් දෙමළ ක‍්‍රිස්තියානි පාසල් වැඩි වැඩියෙන් ආරම්භ කිරීම තුළ වැඩි වශයෙන් ඉංග‍්‍රීසි බස හැසිරවිය හැකි උගතුන් දෙමළ සමාජය තුළ යටත් විජිත ශ‍්‍රී ලංකාවේ අවසන් භාගය තුළ බිහි වී තිබුණි’’. ඉංග‍්‍රීසි උගතුන්ට විවෘත වී තිබූ රාජ්‍ය සේවයේ සැලකිය යුතු පංගුවක් දෙමළ ජාතිකයන්ට වෙන් වී තිබුණි. මේ පිළිබඳව සිංහල බහුතර සමාජය තුළ යම් විරෝධයක් නිදන්ගත වී තිබූ අතර යටත් විජිත විරෝධී ව්‍යාපාරද ජන වර්ග පදනම් කර ගෙන බිහි වීමත් තුළ සිංහල බෞද්ධ යටත් විජිත විරෝධී ව්‍යාපාර තුළ දෙමළ විරෝධයද ගැබ් වී තිබුණි. අනගාරික ධර්මපාලතුමා විසින් ආරම්භ කල එකී් සිංහල බෞද්ධ ව්‍යාපාරයේ කූටප‍්‍රාප්තිය 1956 මැතිවරණ ජයග‍්‍රහණය යැයි කිව හැක. 1956 මැතිවරණය තුළ ජය ගන්නේ අනගාරික ධර්මපාල බිහිකල සිංහල බෞද්ධ ව්‍යාපාරයේ මතවාදයයි. සිංහල රාජ්‍ය භාෂාව කෙරුණි. රාජ්‍ය සේවයට සම්බන්ධ වීමට සිංහල ප‍්‍රවීණතාවය අනිවාර්ය කෙරුණි. දෙමල ජනයාට එවකට වරප‍්‍රසාදිත ලෙස සැලකුණු රාජ්‍ය සේවයට ඇතුල් වීමට බාධා එල්ල කරන ලදී. දෙමළ විරෝධතා පැන නැගුනි. එවකට අගමැති බණ්ඩාරනායක මහතාට මෙහි ආදීනව පෙනුනද ඔහුට එය වෙනස් කිරීමට සිංහල බෞද්ධ බලවේගය ඉඩ නොදෙන ලදී. අවසානයේ ඔහු ඝාතනය විය. දෙමළ අරගලය දිග්ගැස්සුනිි. දෙමළ ජනයා පාලන ව්‍යුහයෙන් පිටමං කිරීම දිගටම සිදු විය.

අවසානයේ දෙමළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ව්‍යාපාර පිළිනොගන්නා මට්ටමක් දෙමළ තරුණයන් තුළ ඇති විය. සන්නද්ධ අරගලය විශ්වාස තබනා කණ්ඩායම් දෙමළ සමාජය තුළ බිහි විය. තරුණයන් ඒවාට සම්බන්ධ වීමේ ප‍්‍රවණාවය වැඩි විය. එකී දෙමල සන්නද්ධ ව්‍යාපාර තුළින් ඉදිරියටම පැමිණියේ එල්.ටී.ටී.ඊ ය වන අතර දෙමළ ප‍්‍රජාන්ත‍්‍රවාදී දේශපාලන නායකයන් ඝාතනය කිරීම ඔවුන් මූලිකවම අරම්භ කරන ලදී. ඇල්ෆ‍්‍රඞ් දොරේඅප්පා ඝාතනයේ සිට එකී ඝාතන ලැයිස්තුව ඉතා දිගු එකකි. දිග්ගැස්සුනු සිවිල් යුද්ධය තුළ මරාගෙන මැරෙන බෝම්බ කරුවන් බිහි කර බිහිසුණු බෝම්බ ප‍්‍රහාර විශාල සංඛ්‍යාවක් එල්ල කිරීමට ඔවුන් සමත් විය.



ඉස්ලාම් අන්තවාදය : බිහිසුණු අරම්භයක්

දෙමළ බෙදුම්වාදී අරගලයට ඓතිහාසික විකාශනයක් තිබුණත් අද ලංකාව මුහුණ දී සිටින ඉස්ලාම් අන්තවාදයට එවැනි ඓතිහාසික විකාශනයක් නොමැත. එය හුදු ආගමක් මත පදනම් වූ උමතුවකි. එය සාධාරණය කිරීමට හේතුවක් නැත. ඔවුන්ටද කියන්නට එවන් හේතුවක් නොමැති අතර ඔවුන් කියන්නේද ආගම මත පදනම් වූ ශිෂ්ට ලෝකයට නොගැළපෙන උමතු ප‍්‍රකාශයකි. දෙමළ අරගලය මෙන් නොව මෙහි ආරම්භක ප‍්‍රකාශනයම ඉතා බිහිසුණු මරාගෙන මැරෙන ප‍්‍රහාර වැළකි.

මෙම උමතු අන්තවාදී යුද්ධය අවසානයෙන් ආරම්භ කළා යැයිද කිව හැක. දෙමළ අරගලය ඉහත කී පරිදි සිංහල සමාජයේ යම් පියවරයන් හේතු කොට ගෙන ඇති වූවා යැයි කිව හැකි වුවත් මෙම අන්තවාදයට එවන් හේතුවක් නොමැත. බේරුවල, තෙල්දෙණිය හා දිගන ඇතිවූ සිද්ධි හේතු කොට ගෙන මෙම අන්තවාදී සංවිධානයේ පිරිස් බලය වැඩි වූ බවට දැනට අත්අඩංගුවේ සිටින සාමාජිකයන් පැවසුවත් මුස්ලිම් සමාජයේ ඉල්ලීම් අඛණ්ඩ ලෙස පිටු දැකීමක් පොදුවේ කිසිදු ආණ්ඩුවකින් දක්නට නොලැබුණි.

ඒ හේතුව නිසාම පොදු මුස්ලිම් සමාජයෙන් මෙම අන්තවාදී පිරිසට දැඩි විරෝධයක් එල්ල වෙමින් තිබේ. ඇතැම් ඔත්තු සැපයෙන්නේද මුස්ලිම් සමාජයෙන් වීමද පොදු සමාජයෙන් මුස්ලිම්වරුන් පීඩාවට පත් නොවන බවට සහතිකයකි.

මෙම අන්තවාදී ප‍්‍රහාරයන්ගෙන් වැඩිම පීඩාවට ලක් වූයේ කතෝලික හා ක‍්‍රිස්තියානි ප‍්‍රජාව වුවත් මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ ප‍්‍රතිචාරය විශිෂ්ඨ විය. කතෝලික පූජකයන් ඉතා විශිෂ්ට ලෙස සිය ජනයාට මෛත‍්‍රියේ පණිවිඩය සන්නිවේදනය කළේය. පොදු මුස්ලිම් සමාජයට මෛත‍්‍රිය දැක්වීය. කිසිදු හිරිහැරයක් වීමට ඉඩ නොදුන්නෝය. මුස්ලිම් කඩ වර්ජනය කිරීම  හෝ මුස්ලිම් සමාජයේ ඇදුම් පැළදුම් පිළිබද විරෝධය දැක්වීම ආදිය සිදු නොකළහ. සරළව කිවහොත් ඉස්ලාම් අන්තවාදයට අන්තවාදයෙන් නොව මෛත‍්‍රියෙන් පිළිතුරු දුන්හ.

සබුද්ධික ජනයාගේ ක‍්‍රියාමාර්ගය විය යුත්තේ මෙයයි. එනමුත් මේ වන විටත් දරුණු මුස්ලිම් විරෝධයක් විශේෂයෙන් සිංහල බෞද්ධ සමාජය තුළත් පොදුවේ සමස්ත සමාජය තුළත් රෝපණය වනු පෙනේ. මුස්ලිම් ඇඳුමකට එල්ල වූ විරෝධයේ සිට මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කිරීම දක්වාත් අවසානයේ මුස්ලිම් ප‍්‍රජාව පොදු සමාජ හා රාජ්‍ය ව්‍යුහයෙන් ආන්තීකරණය කිරීම දක්වා මෙම විරෝධය දිග්ගැස්සෙන බව පෙනේ. මුස්ලිම් ප‍්‍රජාවේ මහජන නියෝජිතයන් වූ මුස්ලිම් දේශපාලකයන්ට එරෙහිවද මෙම විරෝධය දිග ගැස්සී ඇත. දෙමළ ජනයා ඉංග‍්‍රීසින්ගේ අධ්‍යාපනය තුළින් ඉහළට පැමිණ එවකට සමාජයේ වරප‍්‍රසාදිත වූ රාජ්‍ය සේවයේ සිටියාක් මෙන් අද වන විට මුස්ලිම් සමාජයේ පිරිස් ව්‍යාපාර ක්ෂේත‍්‍රය ඉතා ඉහළට පැමිණ ඇත. මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කිරීම පැන නගින්නේ මේ හේතුවෙනි.


දෙමළ අරගලය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහය තුළ සිදු කෙරුණු සමයේ සිංහල සමාජය දෙමළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකයන්ට එරෙහි විය. අසීමාන්තික මතවාදී ප‍්‍රහාරයක් ඔවුන්ට එරෙහිව එල්ල කරන ලදී. අවසානයේ දේශපාලන බලය අත්පත් කර ගනිමින් ඉහත කී පරිදි නෛතික බාධක එල්ල කරන ලදී. මේ සමස්ත ක‍්‍රියාලියේදී සිදු වූයේ දෙමළ සමාජය පොදු සමාජ හා රාජ්‍ය ව්‍යුහය තුළ ආන්තීකරණයකට ලක් වීමයි. අවසානයේ දෙමළ තරුණයන් අන්තවාදී සංවිධාන වලට එක් වී ඔවුන් ඔවුන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකයන් විශ්වාස නොකර සන්නද්ධ අරගලයක් පිළිබඳ විශ්වාසය තැබීය. එය දිග්ගැස්සුනු තිස් අවුරුදු සිවිල් යුද්ධයක් බවට පත්විය. ඉස්ලාම් අන්තවාදීන්ගේ ප‍්‍රහාරයෙන් පසු ඉහත විස්තර කර පරිදි දිග්ගැස්සෙන මුස්ලිම් සමාජය පොදු සමාජ හා රාජ්‍ය ව්‍යුහයෙන් පිටමං කිරීමේ ක‍්‍රියාවලිය මගින් මුස්ලිම් තරුණයන් අන්තවාදීන්ගේ ගොදුරු බවට පත් කරන තවත් දිග්ගැස්සුනු සිවිල් යුද්ධයකට මග පාදනු ඇත. අප විසින් සැබවින්ම කළ යුත්තේ මුස්ලිම් සමාජයට ළං වී එකී සමාජය තුළ අන්තවාදියා තනි කිරීම මිස සියලූ මුස්ලිම්වරුන් අන්තවාදයට තල්ලූකිරීම නොවේ. ශ‍්‍රී ලංකා රාජ්‍යයේ යහපත් ඉදිරි ගමන තීරණය වන්නේ ඉහත කී තෝරා ගැනීම මතය.

-    නීතීඥ දුලාන් ප‍්‍රභාචන දසනායක.

Share |   


Advertisments
Facebook
www.aithiya.lk