English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
වධහිංසාවෙන් තොර ශිෂ්ට සමාජයක් බිහි කිරීමට ඇති ගැටලු - දුලාන් දසනායක
(2019-04-07)

<< Go Back
Share |   



කෲර අමානුෂික හෝ අවමන් සහගත සැලකීම් හෝ දඩුවම් හා වධහිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සම්මුතියට ශ‍්‍රී ලංකාව පාර්ශවකරුවකු වූයේ අද ඊයේ නොව මීට වසර විසි පහකට පමණ පෙර එනම් 1994 වසරේදීය. මෙම වසර 25ක කාලය තුළ එකී සම්මුතියට පාර්ශවකරුවකු වීමෙන් ශිෂ්ට සමාජය බලාපොරොත්තු වුනු අරමුණු ඉටු කර ගැනීමට ශ‍්‍රී ලංකාව සමත් වී ඇත්ද? එය ප‍්‍රශ්නාර්ථයකි.

මෙම සම්මුතියේ පාර්ශවකරුවකු වීමටත් පෙර සිටම සියලූ ආකාරයේ වධහිංසාවෙන් හා කෲර අමානුෂික හා අවමන් සහගත සැලකිලිවලින් හා දඩුවම් වලින් වැළකීමේ අයිතිය පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකමක් ලෙස රටේ මූලික නීතිය වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාව මගින් ස්ථාපිත කර තිබුණි.

ඉන් ඔබ්බට ගොස් ඉහත කී සම්මුතියේ පාර්ශවකරුවකු වීමෙන් පසු එකී පනතේ කරුණූ බලාත්මක කිරීම උදෙසා 1994 අංක 22 දරණ වධදීමට හා අනිකුත් කෲර, අමානුෂික හෝ නින්දිත සැළකීමට හෝ දඩුවම්වලට එරෙහිව වූ සම්මුති පනත සම්මත කිරීම මගින් වධහිංසාව අපරාධ වරදක් ලෙස ස්ථාපිත කරන ලදී. එකී පනතේ 2 වන වගන්තිය අනුව යම් තැනැත්තතෙකුට වධදෙන යම් තැනැත්තකු වරදකට වරදකරු වන අතර එම වරද සිදු කිරීමට තැත් කරන ආධාර හා අනුබල දෙන හා සිදු කිරීමට කුමන්ත‍්‍රණය කරන අයද වරදකරුවන් වෙයි.  මහාධිකරණයේ පැවැත්වෙන නඩු විභාගයකින් පසු මෙවන් වරදකට වරදකරු වන්නන්ට අවුරුදු හතකට නොඅඩු හා අවුරුදු දහයකට නොවැඩි කාලයක් දෙආකාරයකින් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමක හා දඩ මුදලක්ද ඇතුළත් දඩුවමක් එම පනත අනුව හිමි විය යුතුය.

මෙම නීති රාමුව ලංකාව තුළ ප‍්‍රායෝගිකව ක‍්‍රීයාත්මක වන්නේ නම් ලංකාවේ ආණ්ඩුව පවත්වාගෙන යන්නේ යැයි ජාත්‍යන්තර ප‍්‍රජාවට කියනු ලබන  වධහිංසාවට සම්බන්ධව කිසිදු ඉවසීමක් නොදැක්වීමේ ප‍්‍රතිපත්තිය” (Zero tolerance policy on torture) අනවශ්‍ය එකක් වනු ඇත. ආණ්ඩුවට මෙම ප‍්‍රතිපත්තිය පවත්වාගෙන යන්නේ යැයි නිරන්තරයෙන් කීමට සිදු වන්නේ තවදුරටත් ලංකාව තුළ පොලීසිය ඇතුලූ රාජ්‍ය ආයතන මගින් සැලකිය යුතු මට්ටමින් වධහිංසාව ක‍්‍රියාත්මක වන බැවින් හා එකී වධහිංසා කිරීම් සාධක සහිතව ජාත්‍යන්තර සංවිධාන එළිදරව් කර ගෙන ඇති බැවිනි.

1994 අංක 22 දරණ වධදීමට හා අනිකුත් කෲර, අමානුෂික හෝ නින්දිත සැළකීමට හෝ දඩුවම්වලට එරෙහිව වූ සම්මුති පනත යටතේ අදාළ පරිදි නඩු පැවරෙන්නේද?

මෙම පනත යටතේ නඩු පැවරීමේ බලය ලබා දී ඇත්තේ නීතිපති වරයාටය. නමුත් නීතිපති වරයාට විමර්ශනයන් කිරීමේ හැකියාවක් නැත. අදාළ විමර්ශනයන් කිරීමේ හැකියාව ඇත්තේ පොලීසියටයි. පොලීසිය විසින් අදාළ විමර්ශනයන් පවත්වා ඒ පිළිබඳව වාර්තාවක් නීතිපතිවරයාට යැවූ පසු නඩු පැවරිය යුතුද නැද්ද යන්න නීතිපතිවරයා විසින් තීරණය කර නඩු පැවරීම සුදුසු නම් අදාළ මහාධීකරණයන්හි නඩු පවරනු ලබයි. ඒ ආකාරයට ක‍්‍රියාත්මක වෙමින් මෙම පනත යටතේ නීතිපතිවරයා විසින් පවරන ලද නඩු ප‍්‍රමාණය පිළීබඳ විමසීමක් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ නීති අංශය මගින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් සිදු කරන ලදී.

ඔවුන් විසින් ලබා දුන් සංඛ්‍යාලේඛන අනුව ඉහත පනත පැනවූ වර්ෂ 1994 සිට මේ දක්වා පනවා ඇත්තේ නඩු 115ක් පමණි. නඩු පවරා ඇත්තේ මේ තරම් අඩු ප‍්‍රමාණයකට වුවද ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් එක්සත් ජාතීන්ගේ වධහිංසාවට එරෙහි කමිටුව වෙත ලබා දුන් වාර්තාවක (ශ‍්‍රී ලංකාව රජය සිය කාලාන්තර වාර්තාව වර්ෂ 2016 භාරදෙන අවස්ථාවේ* දැක්වෙන්නේ වර්ෂ 2010 සිට වර්ෂ 2016 අගෝස්තු මස 31 වන දින දක්වා ඔවුන්ට වදහිංසාව පිළීබදව පමණක් පැමිණීලි 3,404ක් ලැබී ඇති බවයි. එකී වාර්තාවේ සඳහන් අදාළ පැමිණීලි ලැබී ඇති මධ්‍යස්ථානද ඇතුළත් වගුව පහත දැක්වේ.

කාර්යාලය 2010 2011 2012 2013 20142015
2016.08.31 දක්වා
ප‍්‍රධාන කාර්යාලය
 369358
 389380
329
315
160
 අම්පාර  15   
17
07
15
06
02
02
 අනුරාධපුර  
 5958
40
69
53
40
14
 බදුල්ල   
 0412
01
19
11
00
01
 මඩකලපුව  
 0003
03
04
00
07
05
 කල්මුනෙයි 
 0204
07
07
09
03
03
 යාපනය  
 0203
04
00
02
00
02
 මහනුවර  
 2935
28
28
28
18
04
 මාතර  
 7581
59
63
28
23
10
 ත‍්‍රිකුණාමලය   
 0507
02
10
02
02
03
 වව්නියා   
 0601
02
05
21
10
04
එකතුව    566    579    542    600    489    420    208 566 579 542 600 489 420 208
(මෙම වාර්තාව www.ohchr.org වෙබ් අඩවිය තුළින් බාගත කර ගත හැක)

මෙම සංඛ්‍යාලේඛන අනුව පැහැදිලි වන්නේ මෙම පනත යටතේ නඩු පැවරීමේ බරපතළ අඩුවක් පවතින බවයි. අදාළ හිංසකයන්ට විරුද්ධව නඩු පැවරීම රාජ්‍යය මගින් සිදු නොකෙරෙන්නේ නම් අදාළ නීති පැනවීම අර්ථ විරහිත වෙයි.

වධහිංසාව වැඩිවශයෙන් සිදු කරන්නේ පොලිස් නිලධාරීන් විසින්ය. වධහිංසා පනත යටතේ නඩු පැවරීමට නම් වධහිංසාව සිදු වීම පිළිබඳ විමර්ශනය සිදු කල යුත්තේද පොලීසියයි. පොලීසිය විසින් පොලීසියේම නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණ සිදු කිරීමේදී එකී පරීක්ෂණ කුමනාකාරයක් ගනු ඇතිද?

මේ පිළිබඳව වැදගත් අනාවරණයක් පසුගියදා රාජගිරියේ පැවැති වධහිංසාවට එරෙහි ශ‍්‍රී ලංකා කමිටුවේ නියෝජිත හමුවේදී නීතීඥ ඩියෑන් උයන්ගොඩ මහත්මිය සිදු කළාය. ඇය ඇතුලූ මානව හිමිකම් ක‍්‍රියාධරයන් කිහිපදෙනෙක් විසින් පසුගිය දිනක ශ‍්‍රී ලංකා පොලීසියේ නීති අංශ ප‍්‍රධානී හමුවු අවස්ථාවේ 1994 අංන 22 දරණ ඉහත කි පනත යටතේ නඩු පැවරීම් පිළිබඳ කරුණු දක්වා ඇත. ඔහුට අනුව මේ සම්බන්ධ සියලූම විමර්ශන වාර්තාවන් නීතිපති වෙත යොමු විය යුත්තේ ඔහු හරහායි. එකී වාර්තාවන් යැවීම හෝ නොයැවීම පිළිබඳව තීරණය කරන්නේ ඔහුය. ඔහු තවදුරටත් පවසා ඇත්තේ අපාරාධකාරයන් ආරක්ෂා කිරීමට ඔහුට අවශ්‍ය නොවන බවත් අපරාධකාරයන්ට එරෙහි වධහිංසාවන් පිළිබඳ විමර්ශන වාර්තා පදනම් කරගෙන නඩු පැවරුවහොත් ඒ මගින් අපරාධකාරයන්ට නීතිමය රැකවරණ ලැබෙන බවත්ය. ඔහුගේ මේ අනුකම්පාව අපරාධකරුවන්ට එරෙහි පොලිස් වධහිංසාවලට පමණකැයි ඔහුට සහතික විය හැකිද? අපරාධකරුවා තීරණය කරන්නේ ඔහුද? අපරාධකරුවන්ට පොලීසියට පහර දීමට හැකි යැයි නීතියක් රටේ තිබේද?

මෙම පනත යටතේ නඩු පැවරීම් මේ තරමින් අඩු වීමට ප‍්‍රධානතම හේතුව පැහැදිලිය. පොලීසියේ නීති අංශයේ ප‍්‍රධානියාගේ මතය මෙය නම් පහළ නිලධාරීන් ගැන කවර කතාද? ඔවුන් මේ පිළිබඳ පරීක්ෂණ උනන්දුවෙන් නිසි පරිදි සිදු කරනු ඇතැයි සිතිය හැකිද?

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාව වධහිංසාවලින් තොර වීමේ නිදහස යටතේ මූලික අයිතිවාසිකම් සම්බන්ධ නඩු පැවරීම්

මූලික අයිතිවාසිකම් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණය තුළ පැවරීම වින්දිතයකුට ලේසි පහසු කටයුත්තක් නොවේ. ශ්‍රේෂ්ඨාධිකරණ වෙබ් අඩවියේ පළ කරන ලද මූලික අයිතිවාසිකම් නඩු තීන්දු පරිශීලනය කිරීමේදී පෙනී යන්නේ වධහිංසාවෙන් තොර වීමේ නිදහස එනම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාව කඩ වීම සම්බන්ධව 2008 වසරේ සිට 2018 වසර දක්වා කාලය තුළ ශ්‍රේෂඨාධිකරණය මගින් ලබා දී ඇති නඩු තීන්දු ප‍්‍රමාණය 42ක් බවයි.
මූලික අයිතිවාසිකම් කඩ වීමක් සිදු වුනි යැයි තීරණය කරන ලද නඩු තීරණ වලදී වින්දිතයන්ට වන්දි ලබා දීම හා වෙනත් සහනයන් ලබා දීමට ගරු ශ්‍රේෂ්ඨාධීකරණය කටයුතු කර තිබේ. ලැබී තිබෙන තොරතුරු අනුව එකී වන්දි මුදලේ ප‍්‍රමාණය රුපියල් ලක්ෂ පහ ඉක්මවා නැත. බොහෝ අවස්ථාවල ලැබී ඇත්තේ රුපියල් ලක්ෂ දෙකකට අඩු වන්දි මුදලකි. වන්දි මුදලේ ප‍්‍රමාණය කෙසේ වෙතත් වධහිංසාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත් වීමද අගය කල යුතුය.

සිදුව ඇති වධහිංසා ප‍්‍රමාණය හා නඩු පැවරූ ප‍්‍රමාණයන් සලකා බලන කල පෙනී යන්නේ වධහිංසාවෙන් තොර වීමේ නිදහස අහිමි කිරීම සම්බන්ධයෙන් මූලික අයිතිවාසිම් නඩු පවරා ඇත්තේ සිදු වූ ප‍්‍රමාණයට සාපේක්ෂව ඉතාමත් අඩුවෙන් බවයි. පවරා ඇති නඩු වලින්ද සාතිශය බහුතරයක් පවරා ඇත්තේ රාජ්‍ය නොවන සංවිධාන හා වෙනත් සංවිධාන වල සහයෝගයෙන්ය. එකී සංවිධාන නොතිබෙන්නට මූලික අයිතිවාසිකම් නඩු ගොනු වීම මෙම ප‍්‍රමාණයටත් වඩා ඉතාමත් අවම වීමට ඉඩ තිබුණි.

පොලිස් නිලධාරීන් සිදු කරන වධහිංසා ගැන පොලිස් කොමිසමේ උනන්දුව අඩුද?

මානව අයිතිවාසිකම් වලට ගරු කරමින් හා සුරකිමින්, මහජන වගවීම් සහතික කරමින්, නීතියේ ආධිපත්‍යය දිරි ගන්වන, කාර්යක්ෂම, පාරදෘශ්‍ය හා මහජන අභිලාෂයන්ට ප‍්‍රතිචාර දක්වන සේවාවක් ලෙසට ශ‍්‍රී ලංකා පොලීසිය පරිණාමනය කිරීම” සිය මෙහෙවර ලෙස ජාතික පොලිස් කොමිසම දක්වයි. මෙම මෙහෙවර ඉටු කර ගැනීම උදෙසා ජාතික පොලිස් කොමිසම ඉතා කැපවීමෙන් ධෛර්ය සම්පන්නව විවිධ කාරණා සම්බන්දව කටයුතු කරන බව පෙනී ගියත් පොලිස් වධහිංසාව සම්බන්ධ කාරණා වලදී ඔවුන්ගේ මැදිහත්වීම යම් ආකාරයක ඇල් මැරුණු ස්වරූපයක් ගන්නා බව පෙනේ.

පසුගිය වසරේ අගෝස්තු මාසයේදී බීබීසී සිංහල සේවය සමග සම්මුඛ සාකච්ඡුාවකට එක්වෙමින් ජාතික පොලිස් කොමිෂන් සභාව වෙනුවෙන් එහි ප‍්‍රධාන විමර්ශන නිලධාරී නීතිඥ ආචාර්ය මාරින්ග සුමනදාස පවසන්නේ ශ‍්‍රී ලංකා රජයේ මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ක‍්‍රියාකාරී සැලැස්ම යටතේ විශේෂ ඒකකයක් පිහිටුවා විශේෂයෙන් පොලිස් වධහිංසාවන්ට ලක්වන අය පිළීබද පියවර ගැනීමට පොලිස් කොමිසමට නියම වී තිබෙන බවයි. ඔහු එසේ නිවැරදිව පවසන පරිදි මානව හිමිකම් ආරක්ෂා කිරීම පිළීබඳ ක‍්‍රියාකාරී සැලැස්මේ එකී කටයුත්ත ජාතික පොලිස් කොමිසමට පැවරී තිබුණද අද වන විටත් එම විශේෂ ඒකකය පිහිටුවීම පිළීබඳ කිසිදු තොරතුරක් නම් වාර්තා වී නෑ. එක්කෝ එවැනි විශේෂ ඒකකයක් පිහිටුවා නෑ එසේත් නැත්නම් පිහිටුවන ලද ඒකකය පිළීබඳ නිසි ප‍්‍රචාරයක් නෑ.

පොලිස් කොමිසම මෙම වධහිංසාව සම්බන්ධ කාරණාවට සක‍්‍රීයව මැදිහත් නොවීම නිසාම එයට ලැබෙන පැමිණිලි ප‍්‍රමාණයත් ඉතා අඩු අගයක් ගන්නා බව පෙනී යයි. මානව හිමිකම් කොමිෂන් සභාවට පොලිස් වධහිංසාව පිළිබඳ 2015 වසරේ සිට ඉතා ඉහළ පැමිණිලි සංඛ්‍යාවක් ලැබෙද්දී ආචාර්ය සුමනදාසට අනුව ඔවුන්ට එකී කාලය පුරාවටම ලැබී ඇත්තේ පොලිස් වධහිංසාව සම්බන්ධ පැමිණිලි ඉතා සුලු  ප‍්‍රමාණයකි.

පසුගිය දා තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ ඉල්ලීමකට අනුව ජාතික පොලිස් කොමිසම දන්වා ඇත්තේ ඔවුන් වෙත වධහිංසාවන් සම්බන්ධයෙන් 2015 සිට 2017 වසර දක්වා පැමිණිලි ලැබී ඇත්තේ 11ක් පමනක් බවයි.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ මෙකී සංඛ්‍යාලේඛනවල නිරවද්‍යතාවය ප‍්‍රශ්නගත වන්නේ  පසුගියදා රාජගිරියේ පැවැති වධහිංසාවට එරෙහි ශ‍්‍රී ලංකා කමිටුවේ නියෝජිත හමුවේදි එළිදරව් වූයේ එයට සහභාගී වූ සංවිධාන මෙම සංඛ්‍යාවට වඩා පැමිණිලි පොලිස් කොමිසම වෙත යොමු කල බවට එළිදරව් වීමෙනි.

වධහිංසා පිටු දැකීම වෙනුවෙන් ජාතික පොලිස් කොමිසම ගෙන ඇති ක‍්‍රියාමාර්ග බීබීසී සිංහල සේවය වෙත විස්තර කරමින් ආචාර්ය සුමනදාස කියා සිටින්නේ පහත ක‍්‍රියාමාර්ග ඔවුන් මේවන විටත් ඒ සම්බන්ධයෙන් ගන්නා බවයි.
x    පෙර යහපත් හැසිරීම් සලකා අනෙකුත් පැමිණිලි විභාගයේදී කෙරෙන දඩුවම් ලිහිල් කිරීමේ ක‍්‍රමවේදය වධහිංසා කිරීම සම්බන්ධ චෝදනාවකදී ක‍්‍රියාත්මක නොකිරීම.
x    පොලිස් විනය වැරදි සම්බන්ධ අභීයාචනාවලදී (වධ හිංසා පැමිණවීම පිළීබඳ චෝදනා ඇති නිලධාරීන්ට* විනය නීතිය ක‍්‍රීයාත්මක කරනවා මිස අනෙකුත් අවස්ථාවලදී මෙන් සහන නොදීම.
x    වධ හිංසා කිරීම් සම්බන්ධයෙන් චෝදනා ලැබ ඇති නිලධාරීන් අදාළ චෝදනාවලින් නිදොස්වන තෙක් උසස්වීම් ලබා නොදීම.
x    වධ හිංසා පැමිණවීමට කටයුතු කල නිලධාරීන් සම්බන්ධ තොරතුරු නිරීක්ෂණ ලැයිස්තුවකට (Watch List) ඇතුළත් කර පවත්වාගෙන යන අතර, යම් කිසි නිලධාරියෙක්ට උසස්වීමක් දීමේදී එම තොරතුරු පරීක්ෂා කර බලා කටයුතු කිරීමට පියවර ගැනීම.

වධහිංසා චෝදනා පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් කර අපරාධ නීතිය යටතේ නඩු පැවරීමටද ජාතික පොලිස් කොමිෂන් සභාව කටයුතු කරන බව ආචාර්ය සුමනදාස බීබීසී සිංහල සේවය වෙත පැවසුවද ගැටලූව ඇත්තේද අපාරාධ නීතිය යටතේ නඩු නොපැවරීම තුළයි. නීතීඥ ඩියෑන් උයන්ගොඩගේ අනාවරණය අනුව අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට අදාළ වාර්තා යොමු වන්නේ පොලීසියේ නීති අංශය වෙතයි. එය නීතිපති දෙපාර්තමේන්තුවට යවනවාද නැද්ද යන්න තීරණය වන්නේ එම අංශයේ ප‍්‍රධානියාගේ අභිමතය මතයි.  නඩු පවරන්නේද නැද්ද යන කාරණාවට බලපාන්නේ ජාතික පොලිස් කොමිසමේ තීරණය නොව පොලිස් දෙපාර්තමේන්තුවේ නීති අංශ ප‍්‍රධානීගේ අභිමතයයි.

වධහිංසාව වැළැක්වීමට අදාළ මානව හිමිකම් ආරක්ෂා කිරීම පිළිබඳ ජාතික සැලැස්මේ (2017 - 2021) යෝජිත ක‍්‍රියාමාර්ග යථාර්තයක් වී ඇත්ද?

මෙම ජාතික සැලැස්ම තුළ වධහිංසාව වැළැක්වීම සඳහා එක් පරිච්ඡේදයක් වෙන් වී ඇති අතර එහි විවිධ අමාත්‍යංශ හා ආයතන වෙත වගකීම් පවරා ඇත. වගකීම් පවරා තිබුණද පස් වසරක ක‍්‍රියාකාරී සැලැස්ම දැන් තුන් වන වසර පසුකරමින් සිටියද ඇතැම් වගකීම් ඉටු වීමක් හෝ ඉටු කිරීමට අදාළ ක‍්‍රියාමාර්ග ආරම්භ කිරීමක් හෝ සිදු වී නැති බව පෙනෙයි.

අධිකරණ වෛද්‍ය නිලධාරීන්, මනෝ විද්‍යාඥයන් හා නීතීඥයන් වධහිංසාව පුද්ගල ජීවිතයට කරන බලපෑම හා අනෙකුත් මේ සම්බන්ධ අධීකරණ වෛද්‍ය විද්‍යාත්මක කරුණු පිළිබඳ පුහුණු කිරීම, එම්.එල් .ආර් වාර්තාව (Medico-Legal Report) හා එම්.එල්.ඒ වාර්තාව (Medico-Legal Assesment) මනෝවිද්‍යාත්මක බලපෑමද ඇතුල් වන පරිදි සංශෝධනයට ලක් කිරීම, පැමිණිල්ල ලැබුණු වහාම අදාළ වධහිංසා වින්දිතයන්ට මනෝ වෛද්‍ය හා වෛද්‍ය ප‍්‍රතිකාර ලබා දීමටත් වින්දිතයන් තක්සේරු කිරීමට අදාළ යාන්ත‍්‍රණයක් සැකසීම යන ක‍්‍රියාමාර්ග ගැනීම ඉහත කී ක‍්‍රියාකාරී සැලැස්ම මගින් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත පවරා ඇත. එනමුත් මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යංශය එම ක‍්‍රියාමාර්ග ඉටු කිරීම හෝ ඉටු කිරීමට ආරම්භයක් ගැනීම හෝ මේ දක්වා සිදු වී නැත.

වධහිංසාව සම්බන්ධ පැමිණිලි භාර ගැනීම, හා විමර්ශනය කිරීම සදහා පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත ස්වාධීන ඒකකයක් පිහිටුවා බලාත්මක කිරීමේ වගකීම නීතිය හා සාමය පිළීබඳ අමාත්‍යංශයට, පොලිස් දෙපාර්තමේන්තුවට, ජාතික පොලිස් කොමිෂන් සභෘවට හා නීතිපති දෙපාර්තමේන්තුවට ක‍්‍රියාකාරී සැලැස්ම මගින් පවරා තිබේ. ලැබී ඇති තොරතුරු අනුව මෙම වගකීමද මේ දක්වා ඉටු නොවී ඇති බවයි වාර්තා වන්නේ.

වධහිංසාව සම්බන්ධ ශාරීරික සාක්ෂි වාර්තාගත කිරීම කාර්යක්ෂම කිරීම උදෙසා අධිකරණ වෛද්‍ය නිලධාරීන් වැඩි ප‍්‍රමාණයක් බඳවා ගැනීම හා පුහුණු කිරීම හා අවශ්‍ය පහසුකම් සැපයීම අධිකරණ අමාත්‍යංශයට ක‍්‍රියාකාරී සැලැස්ම මගින් පවරා ඇති නමුත් මේ වන විටත් අධිකරණ වෛද්‍ය නිලධාරීන් බඳවා ගැනීමක් පිළීබඳ වාර්තා නොවෙයි. බොහෝ රෝහල්වල අධිකරණ වෛද්‍ය නිලධාරීන් නොමැති අතර ඇතැම් රෝහල්වල ප‍්‍රමාණවත් පරිදි අධිකරන වෛද්‍ය නිලධාරීන් නොමැත. මේ හේතුකොට ගෙන බොහෝ විට අදාළ වින්දිතයා අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ පරීක්ෂණයට ලක්වන්නේ සිදු වීම සිදු වී දින කිහිපයක් ගත වුනු පසුවය.

මෙයට අමතරව වින්දිතයාට හෝ වින්දිතයාගේ නියෝජිතයකුට අධිකරණ වෛද්‍ය නිලධාරියාගෙන් සිය වෛද්‍ය වාර්තාවේ පිටපතක් ලබා ගැනීමට අයිතිය ලබා දෙමින් චක‍්‍රලේඛයක් නිකුත් කිරීමේ වගකීමද අධීකරණ අමාත්‍යංශය වෙත ලබා දුන්නද එවැනි චක‍්‍රලේඛයක්ද මේ දක්වා නිකුත් වී නොමැත.

මේ ආකාරයට මානව හිමිකම් ආරක්ෂා කිරීම හා වැඩිදියුණූ කිරීම පිළිබඳ ක‍්‍රියාකාරී සැලැස්ම තුළ වධහිංසාවට එරෙහි වීම සම්බන්ධව පවරා ඇති ඉතා වැදගත් වගකීම් අදාළ ආයතන මගින් ඉටු කිරීමේ ප‍්‍රමාදයක් දක්නට ඇති අතර එය අවධානයට ලක් විය යුතු කරුණකි.

ශ‍්‍රී ලංකාව තුළ වධහිංසාව පිළිබඳ සමාජ මතය වෙනස් විය යුතුද?

”ගහන්නෙ නැතුව ළමයි හදන්න බෑ” යන ප‍්‍රකාශය කුඩා කල සිටම ලාංකේය ප‍්‍රජාව නිරන්තරයෙන් අසන්නක්. එය ජීවිතයේ කිසියම්ම හෝ මොහොතක නෑසූ කෙනෙක් ලංකාවේ නැති තරම්. ඒ තරමින්ම මිනිසුන් හරියාකාරව හදා ගත හැක්කේ ශාරීරික දඩුවම් තුළින් යන්න අප සමාජයේ මුල් බැස ගත් දෙයක්.  රටේ ඉහළම නිලයන්ගේ සිට පොදු මහජනයා තුළ මෙම මතය මුල් බැසගෙන තිබේ. තමාට හෝ තම හිතවතෙක්ට පහර දෙන තෙක්ම පොලිසිය සිදු කරන වධහිංසා පිළිබඳ සමාජය පොදුවේ පක්ෂපාතීත්වයක් දක්වන අතර එය නොකර බැරි දෙයක් ලෙස සලකයි. පවතින නීති රාමුව කොතරම් පෘථුල වුවත් වධහිංසාව වළක්වා ගැනීමට ඇති ප‍්‍රධානතම බාධකය වන්නේ මෙම වධහිංසාව අනුමත කරන සමාජ මතයයි.

ජාත්‍යන්තර දියුණූ ලෝකය තුළ අද වන විට සියලූ ආකාරයේ වධහිංසාවන් හා අවමන් සහගත සැලකිලි ප‍්‍රතික්ෂේප කර ඇති අතර ඒවා නීති මගින් පමණක් නොව මහජනයාගේ ආකල්ප තුළින්ද ඉවත් වී ඇත. කුමන තරාතිරමක කෙනෙකු වුවද වධයකට ලක් නොකළ යුතු බව ශිෂ්ඨ සමාජයේ පිළිගැනීමයි.

ලංකාවේද ඇතැම් අවස්ථාවල දී වධහිංසාවට එරෙහිව මහජනයාගේ ක්ෂණික නැගී සිටීම් වාර්තා වුවද වධහිංසාව මුලිනුපුටා දැමිය යුතු යැයි යන මතය පොදු සමාජය තුළ තවමත් ස්ථාපිත වී නොමැත.

හෙට දවසේ අපගේ ප‍්‍රධානතම අරගලයක් විය යුත්තේ එකී වධහිංසාව මුලිනුපුටා දැමිය යුතුය යන මතය පොදු සමාජය තුළ ස්ථාපිත කරවීම උදෙසා වූ අරගලයයි. වධහිංසාවෙන් තොර ශිෂ්ඨ සමාජයක් බිහි කර ගැනීම යථාර්තයක් වන්නේ එකී අරගලයේ ජයග‍්‍රහණය මතයි.


නීතිඥ දුලාන් ප‍්‍රභාචන දසනායක
 


Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.