English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම අපේ පක්ෂවල දේශපාලන වාසියට යොදා ගත යුතු දෙයක් නොවේ
(2019-03-31)

<< Go Back
Share |   



ශ්‍රී ලංකා ආණ්ඩුවේ සම-අනුග්‍රාහකත්වයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පසුගිය සතියේ ශ්‍රී ලංකාව පිළිබඳ අලුත් යෝජනාවක් සම්මත කරගෙන තිබේ. 2015 දී ශ්‍රී ලංකාවේ සම-අනුග්‍රාහකත්වයෙන්ම සම්මත කර ගත් යෝජනාවක් ප්‍රකාරව ඉදිරි කටයුතු කිරීම සඳහා තවත් අවුරුදු දෙකක කාලයක් ශ්‍රී ලංකාවට ලබා දීමට මේ අලුත් යෝජනාවෙන් සම්මත වී තිබේ.

2015 යෝජනාව ප්‍රකාරව ශ්‍රී ලංකාව කටයුතු කිරීමට බැඳී සිටි කාරණා අතර එක් ප්‍රධාන කරුණක් වුණේ, ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් කරන ලදැයි කියන, ජාත්‍යන්තර මානව අයිතීන් සහ මානුෂීය නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ සොයා බැලීමට අධිකරණ යාන්ත්‍රණයක් පිහිටුවීමයි.



මේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හෙවත් ජිනීවා යනුවෙන් හැඳින්වෙන ප්‍රපංචය, මෙරට දේශපාලන පක්ෂවලට, විශේෂයෙන් ප්‍රධාන පක්ෂ දෙකට, එක පැත්තකින් තමන්ගේ දේශප්‍රේමයේ ඔදතෙද ප්‍රදර්ශනය කිරීමටත්, අනිත් පැත්තෙන් ප්‍රතිවාදීන්ගේ ද්‍රෝහීත්වය පිළිබඳ චෝදනා එල්ල කිරීමටත් එක දිගටම වාහකයක් කරගෙන තිබේ. එහෙත් එකී ප්‍රධාන පක්ෂ දෙක බලයේ සිටි ඒ ඒ කාලවල මානව හිමකම් කවුන්සිලයේ මේ කියන කාරණයට අදාළ කටයුතු සම්බන්ධයෙන් පක්ෂ දෙකම අනුගමනය කර ඇත්තේ බොහෝ දුරට එක සමාන ප්‍රතිපත්තියකි.

ශ්‍රී ලංකාවේ සිදුවිණැයි කියන මානව හිමිකම් උල්ලංඝණයන් සහ යුද අපරාධ පිළිබඳ වගවීම සහතික කරලීමේ ශ්‍රී ලංකාව පැත්තෙන් වන ප්‍රතිඥාව නිල වශයෙන් මුලින්ම ජාත්‍යන්තරයට දුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයි. ඒ, 2019 මැයි මාසයේ යුද්ධය අවසන් වීමෙන් සතියකට පසුව, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන්-කී-මූන් සමග ඒකාබද්ධ ප්‍රකාශනයක් නිකුත් කිරීමෙනි.

ඊළඟට, මේ ඒකාබද්ධ ප්‍රකාශනයේ සඳහන් ප්‍රතිඥාවන් ඉටු කරලීම කෙරෙහි තමන් සූදානම් බවට සහතිකයක් වශයෙන්, ශ්‍රී ලංකාවම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත තමන්ගේ යෝජනාවක් ඉදිරිපත් කොට සම්මත කර ගත්තේය. එහෙත් ඉහත කී ඒකාබද්ධ ප්‍රකාශනයත්, අනතුරුව තමන් විසින්ම මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කොට සම්මත කර ගත් ප්‍රතිඥාවත් ප්‍රකාරව කටයුතු කිරීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව දිගටම අසමත් වීම නිසා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා 2010 දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තමන්ට උපදෙස් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර කමිටුවක් පත්කෙළේය. එය දරුස්මාන් කමිටුව නමින් හැඳින්වෙයි. මේ කමිටුව ශ්‍රී ලංකාවට ඉතා හානිකර වාර්තාවක් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා වෙත 2011 දී ඉදිරිපත් කෙළේය. එම වාර්තාවට අනුව, යුද්ධයේ අවසාන මාස කිහිපයේදී පමණක් සිවිල් වැසියන් 40,000 ක් ජීවිතක්ෂයට පත්ව තිබුණි.


මේ දරුස්මාන් ජාත්‍යන්තර කමිටුව පත්කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සැරසෙද්දී, එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ 2011 දී තමාගේම දේශීය විමර්ශන කොමිසමක් කඩිමුඩියේ පත්කෙළේය. එය හැඳින්වෙන්නේ, ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසම’ වශයෙනි. එම කොමිසමට භාර වුණේ, ආණ්ඩුවේ සන්නද්ධ හමුදා සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් කරන ලදැයි කියන මානව හිමිකම් උල්ලංඝණයන් පිළිබඳ විමර්ශනය කොට නිර්දේශ ඉදිරිපත් කිරීම ය.

මේ ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසම’ සිය පරීක්ෂණ අවසානයේ ඉදිරිපත් කළ වාර්තාව එවක ආණ්ඩුව සැලකිල්ලට නොගනිමින් සිටි තත්වය තුළ, 2012 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව පිළිබඳ තමන්ගේ ප්‍රථම යෝජනාව සම්මත කර ගත්තේය. එම යෝජනාවෙන් ඉල්ලා සිටියේ, ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ’ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසයි. රාජපක්ෂ ආණ්ඩුව මානව හිමිකම් කොමිසමේ ඒ යෝජනාව ප්‍රතික්ෂේප කෙළේය. ඒ වෙනුවට, එකී යෝජනාවේ සඳහන් වගවීම පිළිබඳ කාරණා සම්බන්ධයෙන් තමන්ගේම වන ‘ජාතික කාර්යය සැලැස්මක්’ කවුන්සිලයට ඉදිරිපත් කෙළේය.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, හමුදාවට විරුද්ධ චෝදනා විභාග කර බැලීම සඳහා ආණ්ඩුව සාමාජිකයන් 6 දෙනෙකුගෙන් සමන්විත හමුදා අධිකරණයක් ස්ථාපිත කෙළේය.

එහෙත් ලංකා ආණ්ඩුවේ මේ ‘ජාතික කාර්යය සැලැස්ම’ පිළිබඳ සෑහීමට පත්නොවුණු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය, ’උගත් පාඩම් හා සංහිඳියා කොමිසම’ විසින් ඒ වන විටත් නිර්දේශ කොට තිබුණු දේවල්වලට අමතරව තවත් විවිධ කරුණු ශ්‍රී ලංකාව අරභයා එක් කරමින්, ඊළඟට 2013 දී ශ්‍රී ලංකාව පිළිබඳ තමන්ගේ දෙවැනි යෝජනාවත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කොට සම්මත කර ගත්තේය. ඒ යෝජනාව හරහා ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත එසේ ඉදිරිපත් කළ අලුත් නිර්දේශ අතර, බලතල බෙදාහදා ගැනීම පිළිබඳ කාරණය ද විය.

මානව හිමිකම් කවුන්සිලයේ මේ යෝජනාවට ප්‍රතිචාරයක් වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊළඟට අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා තවත් කොමිෂන් සභාවක් පත්කෙළේය. එය, පරණගම කොමිසම නමින් හැඳින්වෙයි. එහෙත් ඒ වන විට, ඊට කලින් පත්කෙරුණු හමුදා අධිකරණයෙන්, යුද්ධයේ අවසන් අදියරේදී කිසි අතුරුදහන් වීමක් සිදුව නැති බවට තීන්දු කොට තිබුණි.

එසේ තිබියදී, 2014 දී මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව පිළිබඳ තමන්ගේ ඊළඟ යෝජනාව සම්මත කරගත්තේය. ඒ මගින්, මානව හිමිකම් උල්ලංඝණයන් සහ යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට නිර්දේශ කරන ලදි. මෙවිට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා, මානව හිමිකම් උල්ලංඝණයන් සම්බන්ධයෙන් ද සොයා බැලීම සඳහා පරණගම කොමිසමට දෙවැනි වරයක් ද පැවරුවේය.

මේ තත්වය තුළ, අලුතෙන් බලයට පත් වර්තමාන ආණ්ඩුව, 2015 දී තමන් ද සම-අනුග්‍රාහකයෙකු වෙමින්, මානව හිමිකම් කවුන්සිලය වෙත යෝජනාවක් ඉදිරිපත් කොට සම්මත කරගත්තේය. එහි සඳහන් අනෙක් කරුණුවලට අමතරව, විදේශ විනිසුරුවරුන් ද ඇතුළත් වන දේශීය අධිකරණ යාන්ත්‍රණයක් පිහිටුවීමට ප්‍රතිඥා දුනි. ඉන් පසු, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ආණ්ඩුවේ නායකයෝ, හමුදා කොටස් අතර සිටිය හැකි වැරදි කළවුන් දෙතුන් දෙනෙකු ගැන සොයා බැලීමට ප්‍රතිඥා දෙමින් තමන් කෙළේ, මානව හිමිකම් උල්ලංඝණයන් පිළිබඳ චෝදනාවලින් අපේ සන්නද්ධ හමුදා ආරක්ෂා කර ගැනීම බවට එදා උදම් ඇනූහ. එසේ කී ඔවුහූ ඊළඟට, විදේශ විනිසුරුවරුන් පත්කිරීමට නොහැකි බව පසුව කියා සිටියහ.

නැවතත්, 2017 දී ලංකා ආණ්ඩුව ඉහතින් කී 2015 දී සම්මත කර ගත් යෝජනාව ප්‍රකාරව කටයුතු කිරීමට තව අවුරුදු දෙකක් මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටීම හාස්‍යයට කාරණයකි. මේ වසරේදීත්, තමන්ගේ රටේ අධිකරණ පද්ධතිය තුළ විදේශ විනිසුරුවරුන් සහභාගී කර ගැනීමේ හැකියාවක් නැති බව ලංකා ආණ්ඩුව කියා සිටි අතරේම, එවැනි විනිසුරුවරුන් සහිත අධිකරණ යාන්ත්‍රණයක් පිහිටුවීමට ප්‍රතිඥා දුන් 2015 ප්‍රකාරව මෙවරත් සම-අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් සම්මත කරගත්තේය.

මේ විවිධ ආණ්ඩු, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනා සම-යෝජකත්වයෙන් යුතුව යුතුව සම්මත කරගත්තත්, එම කවුන්සිලයේ යෝජනාවන්ට විපක්ෂව පෙනී සිටියත්, ඒ හැම ආණ්ඩුවක්ම යුද්ධය තුළ සිදුවිණැයි කියන ආන්දෝලනාත්මක සිදුවීම් පිළිබඳ වගවීම පිළිබඳ කාරණය ජාත්‍යන්තරය ඉදිරියේ පිළිගෙන ඇති අතර, අනතුරුව රට ඇතුළේ ඒ පිළිබඳ කටයුතු කිරීම මගහැර තිබේ. ඉතිං, දැන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව පස්සෙන් පන්නන්නේ, ශ්‍රී ලංකාව විසින්ම දෙන ලද ලිඛිත ප්‍රතිඥා තමන්ගේ අතේ තියාගෙන ය. එබැවින් මෙය, ඒ ඒ දේශපාලන පක්ෂවලට තමන්ගේ දේශපාලන වාසිය සඳහා පාවිච්චියට ගත හැකි කාරණයක් වශයෙන් නොගත යුතුය. ඔවුන් සියල්ලන් එක්ව කළ යුත්තේ රටේ ස්වෛරීත්වය සහ අභිමානය ආරක්ෂා කර ගැනීමේ පොදු උපාය මාර්ගයක් සකසා ගන්නා අතරේම, රටේ ජීවත් වන සෑම ප්‍රජාවකටම යුක්තිය සහ සාධාරණත්වය ඉෂ්ට වන බවට වගබලා ගැනීමයි.

(2019 මාර්තු 26 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ UNHRC: Not for Parties to Gain Political Mileage නැමැති කතුවැකියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.)


 Sri Lanka Brief

Share |   


Advertisments
Facebook
www.aithiya.lk