English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
යහපාලන රජයත් කරන්නේ පසුගිය රජයත් කරපු දේම ද ? - ජනමාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල
(2019-02-06)

<< Go Back
Share |   


බණ්ධනාගාර දෙපාර්තමේන්තුවේ ආදර්ශ පාඨයම වෙන්නේ ආරක්ෂාව සහ පුනරුත්තාපනය කියන කාරණය. එතකොට බන්ධනාගාරයට සැකකරුවෙක් හෝ සිරකරුවෙක් යන්නේ අධිකරණ ක්‍රියා මාර්ගයකින්. නීතියේ සඳහන් ආකාරයට දඬුවමක් ලබා දීලා. එතනින් පස්සේ දඩුවම් කරන්න මේ රටේ කිසිම ආයතනයකට, කිසිම බලධාරියෙකුට හැකියාවක් නැහැ. එවැනි තත්ත්වයක දී තමයි බන්ධනාගාර නිලධාරීන් විසින් අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ දී පහර දෙන්නෙ පොලු මුගුරු වලින්. ඒ පහර දෙන්නේ පසුගිය වසරේ නොවැම්බර් 22 වෙනිදා. 1983 ඉඳලා ගත්තොත් සුප්‍රසිද්ධ කුට්ටුමනී ඝාතනය කරපු තැන ඉඳළම අපි දකිනවා මේ පහර දීම්, ඝාතනය කිරීම්, තියෙනවා. ඒ අතරින් මෑත දශකයේ අපි බරපතල සිදුවීම දැක්කේ වැලිකඩ බන්ධනාගාරයේ 2012 වසරේ නොවැම්බර් 09 වෙනි දින සිදුවුනු සිදුවීම. ඒ සිදුවීමට සමාන සිදුවීමක පෙර නිමිති තමයි අපි අගුණකොළපැළැස්සෙන් දැක්කේ.

මේ ආකාරයටම තමයි 2012 වසරේදී වැලිකඩ බන්ධනාගාර සිදුවීමේදීත්, සිරකරුවන්ට ආරක්ෂක නිලධාරීන් පහර දෙනවා. ඔවුන්ගේ වේදනාව, ඔවුන්ගේ කෝපය, මුදා හරින්න තමයි ඔවුන් නැවත පෙරළා ආරක්ෂක හමුදාවන්ට, පොලීසියට, බන්ධනාගාර නිලධාරීන්ට, පහර දෙන්නේ. ඒකේ දෙවන අදියරක් විදියට මහජනතාව තේරුම් ගත්තා සහ තේරුම් ගන්න උත්සාහ කලා, අගුණකොළපැලැස්සෙදි, වෙච්ච දේම තමයි එදා වැලිකඩදිත් වෙන්න ඇත්තේ කියලා.

අපි දන්නවා යහපාලන බලයට ආවෙම පසුගිය දශකයේ වෙච්ච ඝාතන, අපරාධ, විශේෂයෙන්ම වැලිකඩ බන්ධනාගාර සිදුවීම ඔවුන් හොයන බව ඔවුන්ගේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වුනා. වැලිකඩ බන්ධනාගාර ඝාතන  සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කලා. අධිකරණ කටයුතු සිදුවෙනවා. නමුත් අධිකරණ කටයුතු ඉතාමත් දීර්ඝව ඇඳි ඇඳී යනවා මිසක්, තාම යුක්තිය ඉටුවීමක් සිදුවෙලා නෑ.

මේ අතර අගුණකොළපැලැස්ස බන්ධනාගාර සිදුවීම සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කලා. නමුත් ඒකේ අවාසනාවන්ත කාරණය තමයි බන්ධනාගාරයේ මාධ්‍ය ප්‍රකාශක විදියට ඉන්න තුෂාර උපුල්දෙණිය කියන කොමසාරිස්වරයාවම තමයි මේ කමිටුවට පත් කරන්නේ. කමිටුවේ සමාජිකයෝ කරන්නේ. එතකොට බන්ධනාගාරය තුළින් වෙච්ච පහර දීම සම්බන්ධව හොයන්න අර හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ ක්‍රමයක් තමයි පාවිච්චි කරන්නේ. නමුත් අද මේ මොහොත වෙනකන්, ඒ සම්බන්ධව ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව එළිකරලත් නෑ. මොකක්ද මේ සිද්ධිය වුනේ කියලා පැහැදිලිව වාර්තා කරලත් නැහැ. ඒ වගේම ඒ සම්බන්ධයෙන් කිසිම සාධනීය පියවරක් අරගෙනත් නැහැ එතකොට සමාජ ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් විදියට අපිට මේ රජයෙන් අහන්න තියෙනවා පැහැදිලිවම ඕගොල්ලෝ කරන්නෙත්, පහුගිය කාලවල කරපු කාරණාවම නේද ? කියලා. ඒක සාධාරණ ප්‍රශ්නයක්.

පසුගිය රජය ඝාතන කරා වගේම රාජ්‍ය ආරක්ෂාව යටතේ තිබෙන බන්ධනාගාරවල සිටින සිරකරුවන්ව සහ මේ රජය පහරදීම් ඇස්පනා පිට දකිද්දි, අලුත් පරීක්ෂණ සිදුවෙන්නෙත් නැහැ. පරණ පරීක්ෂණ සිදුවන බවක් පේන්න ඇත්තෙත් නැහැ. ඒක නීතියේ ආධිපත්‍ය, යහපාලනය වෙනුවෙන් කතා කරපු මේ අයගේ පොරොන්දු ද කියලා අපිට පෙරළා අහන්න වෙනවා.

මේ රටේ ඉතා දක්ෂ පොලිසියක් ඉන්නවා. ඉතා දක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවක් ඉන්නවා. රජයේ රස පරීක්ෂවරු ඉන්නවා සහ අගුණකොළපැලැස්ස සිදුවීම් සම්බන්ධයෙන් සාක්ෂි එළිපිට පේන්න තියෙනවා. වැලිකඩ ඝාතනයත් එසේමයි. අනන්තවත් කමිටු වාර්තා, රස පරීක්ෂඛ වාර්තා, සියලු වෛද්‍ය වාර්තා ඇතුළු සියලුම දේ තියෙනවා. නවීනම තාක්ෂණය සහ දැනුම නැතත්, අවශ්‍ය අපරාධ පරීක්ෂණ කරන්න ශක්තිය තියෙනවා. නමුත් යුක්තිය ඉටු වෙන්නේ නැහැ. යුක්තිය ප්‍රමාද වෙනවා කියන්නේ මේ යාන්ත්‍රණය එන්න එන්න, මිනිස්සුගේ පිරිහීමකට පත්වෙමින් යනවා. ඉහළින් එන යම් බලපෑමක් වෙන්න පුළුවන්. දේශපාලන බලපෑමක් වෙන්න පුළුවන්. කෙසේ නමුත් ඒවා ඉටු කරමින් ප්‍රමාද කරන එක තමයි තිබෙන ගැටළුව.”



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.