English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
ප්‍රධාන ජනමාධ්‍ය ආයතන හා සංවිධාන ජනතාව ඉදිරියේ අද අර්බුදයකට ලක්වෙලා. - හිටපු රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක සුදර්ශන ගුණවර්ධන
(2019-02-04)

<< Go Back


ජනවරමට, ව්‍යවස්ථාවට විරුද්ධ දෙයක් වෙද්දි සමාජයේ ඕනම දැනුවත් කණ්ඩායමකට සිදුවෙනවා ස්ථාවරයක් ගන්න. මේ ප්‍රධාන මාධ්‍ය සංවිධාන පසුගිය කුමන්ත්‍රණ අවස්ථාවේදී මොකක්ද කළේ. විකාශකයන්ගේ සංගම් මොනවද කළේ? මාධ්‍ය නිදහස ගැන කතා කරන සංවිධාන ඇරියේ නෑ. ප්‍රජාතන්ත්‍රවාදය ගැන, මැතිවරණ ගැන, මැතිවරණ නිරීක්ෂණ ගැන කතා කරන සංවිධාන, කොහෙද හිටියේ? ඒ අයට අද සිද්ධ වෙනවා තමන් දිහා හැරිලා බලලා, ස්වයං විවේචනාත්මක වෙන්න.

ජනමාධ්‍යයේ භූමිකාව අද ගැඹුරු සාකච්ඡාවකට ලක් වී තිබෙනවා. එය සාධනීය තත්ත්වයක්. අද මාධ්‍ය ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හා සමාජ මාධ්‍ය වශයෙන් අවෙන් කරනවා. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය අඩුවැඩි වශයෙන් විධායකය විසින් රාජ්‍ය බලය පැහැර ගැනීමේ දී එයට පක්ෂවයි ක්‍රියා කළේ. සමාජ මාධ්‍ය ඊට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කලා, මහජනයා දැනුවත් කිරීම සහ ජනතාව බලමුළු ගැන්වීමේ කාර්යභාරයක් කලා. මෙහෙම වෙන්නේ ඇයි කියලා අපි හොයලා බලන්න ඕනා. ?

විධායක ජනාධිපතිවරයා සතු බලතල ගැන යම් වෙනස් කමක් 19 වෙනි සංශෝධනයෙන් ඇති කලා. ඒක භාවිත තත්ත්වයක් තුළ අවුරුදු 40 ක් තිස්සේ විධායක ජනාධිපතිවරයාට තිබෙන බලතල ගැන අවිඥාණික විශ්වාසය ඒ මාධ්‍ය තුළ වැඩ කරා කියන කියන එක. දෙවෙනි කරුණ තමයි මේ මාධ්‍ය සම්බන්ධයෙන් ගත්තහම. මේ මාධ්‍ය පැවැත්වීම සඳහා විද්යුත් මාධ්‍ය ( ගුවන්විදුලිය හා රූපවාහිනි මාධ්‍ය ) රජය විසින් නිකුත් කරන බලපත්‍ර මගින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ බලපත්‍රය නිකුත් කරන්නේ ජනමාධ්‍ය අමාත්‍ය විසින්. මේ සංඛ්‍යාත ලබා දෙන්නේ විදුලිය සංදේශ නියාමන කොමිසම විසින්. මේ කොමිසම ජනාධිපතිවරයා යටතේ පවතින්නේ. ඒ නිසා ජනමාධ්‍ය ආයතනයක සංඛ්‍යාත සම්බන්ධයෙන් මේ කොමිසමට ජනමාධ්‍ය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ නිසා විද්යුත් මාධ්‍ය ප්‍රවේසම් වෙනවා විධායක සමග ගැටුම් ඇති කර නොගන්නට.

මාධ්‍ය ක්‍රියාත්මක වෙන්නේ වෙළඳ පොළ මත පවතින විට ඒ මාධ්‍ය තමන්ගේ ග්‍රාහක, ප්‍රේක්ෂක ප්‍රජාව දිහා නිතරම බලනවා. ජනතාව මාධ්‍ය තුළින් ඈත් වූ විට, සමීක්ෂණ දර්ශක වලින් ඉවත් වෙනවා. ලංකාවේ මාධ්‍ය ප්‍රධාන වශයෙන්ම භාෂාව මත තමයි බෙදී තිබෙන්නේ. සිංහල මාධ්‍ය හා දෙමළ මාධ්‍ය වශයෙන්. මේ දෙක අතර සම්බන්ධයක් ඇත්තේ ම නෑ. හිමිකාරිත්වය සම්බන්ධයෙන් සම්බන්ධයක් තිබුණත්, භාවිතය අතර සම්බන්ධයක් නැහැ. මේ දෙක අතරේ අන්තර් පෝෂණයක් නැහැ. දෙමළ මාධ්‍ය දෙමළ සමාජය දැනුවත් කරන අතරේ, සිංහල මාධ්‍ය සිංහල සමාජය දැනුවත් කරනවා. දෙමළ ජනමාධ්‍යයේ අධිපති මතවාදය කේන්ද්‍රය වන්නේ යාපනයේ වන අතර, සිංහල ජනමාධ්‍යයේ අධිපති මතවාදය කොළඹ කේන්ද්‍රීයයි. එතකොට සිංහල ප්‍රේක්ෂකයන්ට, අසන්නට කතා කරන කොට, අවිඥානික විශ්වාසයක් තියෙනවා, ඒ ප්‍රජාව බලාපොරොත්තු වෙන්නේ 2015 ජනවාරි 08 වෙනිදා ගොඩ නගපු වෙනස ප්‍රතික්ෂේප කිරීමක් කියලා. මාධ්‍ය ආයතන ගත්ත ස්ථාවරය ප්‍රේක්ෂකයන් සම්බන්ධයෙන් වූ, සරල විග්‍රහයටත් ගැලපෙනවා.

 

මේකට එරෙහිව සමාජයේ දැනුවත් ප්‍රජාව අතරේ, මධ්‍යම පංතිය අතරේ, උගත් පංතිය අතරේ ඇති වුනු සංවාදය සහ විරෝධය ප්‍රකාශයට පත් වෙන්න පුළුවන් වුනේ සමාජ මාධ්‍ය හරහා. සමාජ මාධ්‍ය ඇති කරපු තත්ත්වය නිසා ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය පිටිපස්සට ගියා. අද ප්‍රධාන ධාරාවේ මාධ්‍ය අර්බුදයකට ගිහින් තියෙන්නේ. ප්‍රධාන මාධ්‍ය එක පාරටම ග්‍රාමීය මාධ්‍ය බවට පත් වෙලා. අද මිනිස්සු ප්‍රවෘත්ති බලන්න ජනමාධ්‍ය වෙත එන්නේ නැහැ. දැන් ප්‍රවෘත්ති ලබාගන්නේ සමාජ මාධ්‍ය හරහා. ට්විටර්, ෆේස් බුක්, වෙබ් අඩවි, යූ ටියුබ් වලින්. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තමන්ගෙන් ගැලවී ගිය, කුමණ්ත්‍රණය අවස්ථවේ දී සම්පූර්ණයෙන් ඒකපාක්ෂිකව කටයුතු කිරීම නිසා අහිමි වී ගිය සුජාතභාවය, නැවත ලබාගන්න. ඔවුන් නැවත ඔවුන්ගේ භූමිකාව ගැන සිතා බැලිය යුතු වෙනවා. අනාගතය අලුත් සොයාගැනීම් වලට සමාජ මාධ්‍ය කරන අත්හදාබැලීම්වලට, විවෘත වෙනවා.

මෑත දී විකාශකයන්ගේ ආයතනය කියලා ආයතනයක් ගොඩනගලා, ඒ ආයතනය මගින් සම්මන්ත්‍රණයක් තිබ්බා. විකාශකයන්ගේ සංසදය හදන්න මමත් සම්බන්ධ වෙච්ච කෙනෙක්. ගුවන් විදුලිය සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් මම එයට සම්බන්ධ වුනා. උප ලේකම් වශයෙන් ද කටයුතු කලා. නමුත් මේ සංවාදය ආයතනයක් වශයෙන්, මේ කුමන්ත්‍රණය අවස්ථාවේ දි, රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝණය කරන ලද අවස්ථාවේ දී, කිසිම ආකාරයේ හඩක් නංගන්න අසමත්වීම ගැන ඇත්ත වශයෙන්ම ලැජ්ජා විය යුතුයි. අද එළියට ඇවිල්ලා කතා කරනාකොට, තමන්ගේ එදා භූමිකාව ගැන ස්වයං විවේව්චනයක් නැත්නම් ඔවුන්ට කිසිම ආකාරයකට සුජාතභාවයක් නැහැ. කුමණ්ත්‍රණය අවස්ථවේදී බොහෝ දෙනෙක් උත්සාහ කලා මේක දේශපාලන ප්‍රශ්නයක් කරන්න. මේක එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ප්‍රශ්ණයක් වගේ විග්‍රහ කලා. මෙය එවැනි ප්‍රශ්නයක් නොවෙයි. මෙම ගැටලුව මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම හෝ උල්ලංඝණය කිරීම අතර විවාදයක්. එතනදී ගන්න ඕන එක පැත්තයි.




Advertisments
Facebook