English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
ප‍්‍රගීත් එක්නැළිගොඩ - බලෙන් නිහඬ කළ තිස් වසක අරගලකාරී ජීවිතයක්
(2019-01-26)

<< Go Back


අපේ ජීවිතවලට ලහි ලහිව අන්ධකාරය කඩාවැටෙමින් තිබූ භීම සමයෙක, මානවීය මිත‍්‍ර සන්ධානයට මුල් ඇදෙන්නට හැකි ගැඹුරම තැනුත්, අවස්ථාවාදී උපයෝගීතාවට පාවෙන්නට හැකි ඉහළම ඉම් පෙදෙසුත් ගැන ඉතා කෙටි නමුත් ඊයම් බරු සා බර පාඩමක් කියා දුන් නොඋස්, සුනංගු මිනිසෙක් අපේ සුරක්ෂා ස්ථානය වූ අඳුරු මහල් ගොඩනැගිල්ලේ පියගැට පෙළ බැස කොළොම්පුරේ අනන්ත මංමාවත් මැද මැකී ගියේ ය. ඒ 2009 ජනේරුවයි.

වසරකට පසු 2010 ජනේරුවේ ඒ මිනිසා රළ නඟන රණකාමයෙන් සැදී කොළොම්පුර ජනී ජනයා මැද, විලෙහි ලෑ ලූණු මිටක් සේ අදිසි වන විට අප සිටියේ එතැනින් සැතපුම් දස දහස්ගණන් දුර දැවැත්ත නගර මැද හිස ගිනිගෙන දුවන ජනී ජනයා අතරේ, සුනංගුව හේතුවෙන් මැකී වියැකී යමිනි.

ප‍්‍රගීත් එක්නැළිගොඩ නම් මිනිසා අතුරුදහන්ව අදට පස්වසකි. මනුෂ්‍යභාවයේ ලංසුව දිනෙන් දින සිල්ලරව යන බිමක ”ඔහුට සිදුවූයේ කුමක්දැ” යි අසන කඩහඬවල් ගණන වැඩිය. උදුරා ගැනෙන මනුස්ස ජීවිතවල වටිනාකම පුද්ගල උසට,මහතට,දිගට,පළලට පර්යාය වන්නේ යයි අදහන කොදෙව්වක පිළිතුරු බඳින්නට සිදුවීමම ඛේදයකි.

ඉඳින් අද අපි ඔහු ගැන කිසිත් නොකියන්නෙමු. ඔහු සුස්මනය කළ බිම්කඩෙහි, ඔහු සමඟ එකට සුස්මනය කළවුන්ගෙන් කිහිප දෙනෙකුට ඔහු ගැන කියන්නට ඉඩ හරිමු.

 
සන්ධ්‍යා එක්නැළිගොඩ

තවත් එක් අතුරුදහන්වූවකු සේ මතකයෙන් පවා වැළලී යාමට නියමිත තිබූ ප‍්‍රගීත් අද වනතුරුත් අදෘශ්‍යමාන තලයක ජීවමාන කරවන්නී ඔහුගේ බිරිය සන්ධ්‍යා පි‍්‍රයංගනී එක්නැළිගොඩ ය. කෙතරම් දුෂ්කර කර්තව්‍යයක් වුව පස්වසක් පුරාවට ඇය අයෝමය දිරියකින් එය සිදු කළාය.

සන්ධ්‍යා පළමු වතාවට ප‍්‍රගීත් දකින්නී 88 අගදී ඇන්ටන් මාකස්ගේ ස්තී‍්‍ර මධ්‍යස්ථානයේදී ය. ඇය එහි සේවය කරමින් සිටියාය. ඔහුට තවත් විවිධාකර වෘත්තීය සමිති සමඟ මෙන්ම ස්තී‍්‍ර මධ්‍යස්ථානය සමඟ ද පයුරු පාසානම් තිබිණි.
 
”ඒත් මට ප‍්‍රගීත් එක්ක මුළින්ම හරියට කතා කරන්න ලැබුණේ ’89 මුල. එතකොට එයා ඇන්ටන් මාකස්ගේ කොළඹ වෘත්තීය සමිති කාර්යාලයට සම්බන්ධයි. මං ගියේ ඔහු ලවා මගේ ළමා පොතකට චිත‍්‍ර අන්දගන්න. මං යනකොට ප‍්‍රගීත් මොකක්දෝ වැඩක්. චිත‍්‍රයක් අඳිනවා. විනාඩි විස්සක් විතරම ඔළුවවත් නූස්සා ඔහු වැඬේ කරගෙන ගියා. ඒක සත්‍යජිත් රායිගේ චිත‍්‍රයක්. ”සිනේසිත්” සඟරාවට. එයා ඒක හරි අපූරුවට අඳලා තිබුණා.” පළමු මතක හිටින හමුව ගැන අඩසියවස් අඩක් එපිට ස්මරණයන් වෙත සන්ධ්‍යා ආපසු යන්නීය එලෙසිනි.

1991 අගදී ඇය ස්තී‍්‍ර මධ්‍යස්ථානයෙන් ඉවත්වන්නීය. සේවාදායකයාට එරෙහිව නඩු කියන්නීය. ස්තී‍්‍ර මධ්‍යස්ථානය සමග පැවති හිතවත්කම් නොතකා ප‍්‍රගීත් සන්ධ්‍යාගේ නඩුවට උදව් කරන්නේය.  ”අපිට අසාධාරණයක් වුන බවත්, අපේ සටන සාධාරණ බවත්, පිළිගත් ප‍්‍රගීත් එවැනි සටනක් කරන්නේ කොහොමදැයි නොදැන හිටි අපට හුගක් උදව් කළා. ප‍්‍රගීත් එතකොට මගේ යාළුවෙක් විතරයි.” 92‘ දී යාළුකම පෙමකට පෙරැුළී, 92 අග ඔවුහූ විවාහ වෙති. එහෙත් සන්ධ්‍යා ඔහුගේ වතගොතක්, අතීතයක් ගැන දැන සිටි දෙයක් නැති තරම් ය. ඔහු ඒවා කීවේ නැත. නොකී නිසා ඇය ඇසුවෙත් නැත. ”මට ඒවයෙන් වැඩක් තිබුණෙත් නෑ.” ඇය කියන්නීය.
 
”එතකොට මොනවද සන්ධ්‍යා ප‍්‍රගීත් ගැන විවාහ වෙනකොට දැනගෙන හිටියේ?” 

”ප‍්‍රගීත් එක්නැළිගොඩ කියලා පුද්ගලයෙක් හිටියා. දක්ෂයි. නිශ්ශබ්දයි. කල්පනාකාරීයි. කතා කරන වචන කිහිපය තියුණුයි. උපහාසයෙන් අනූනයි. විහිදුණු දක්ෂතා තිබුණා. අඳින්න පුළුවන්. ලියන්නත් දක්ෂයි. අඩු පහසුකම් යටතේ වැඩ කරන්න පුළුවන්. අපූරු කාටූන් ශෛලියක් තිබුණා. විවිධ දේවල් ගැන සොයා බලන්න පර්යේෂණ කරන්න පුදුම උනන්දුවක් දැක්වූවා. පර්යේෂණ විෂයයන් විවිධයි. ගොවිතැනේ ඉඳලා රසායනික අවි දක්වා” 

ජනතා විමුක්ති පෙරමුණු දේශපාලන නිසා ගෙදරින් එළියට බට ප‍්‍රගීත්, වසර ගණනකට පසු නැවත ගෙදර යවන ලද්දේ සිය පියාණන්ගේ අභාවය පිළිබඳ සතියක් පමා වූ විදුලි පුවත විසිනි. ඒ විවාහයට කලිනි.     ”එදයින් පස්සේ ඔහු කවදාවත් ගෙදර ගිහින් නෑ. කොටින්ම අදටත් මං ඔහුගේ පවුලේ අය ගැන තොරතුරක් දන්නේ නෑ.” සන්ධ්‍යා කියන්නීය.

”ප‍්‍රගීත් ඉන්න කාලේ ගෙදර නිතරම පිරිලා. වෙලාවක් අවේලාවක් නැතිව විවිධ අය ඔහු සොයා ආවා. ඇතැමුන් විවිධ වැඩ කරවාගන්න. ලියන, අඳින වැඩ, මුද්‍රණ වැඩ, ප‍්‍රචාර වැඩ. සමහරු ආවේ කතා කර කර ඉන්න.”

1988 දී ජනතා විමුක්ති පෙරමුණ විසින් කෲර ලෙස ඝාතනය කරන ලද වාමාංශික කි‍්‍රයාදරයෙකු වූ නන්දසේන සිල්වාගේ අළු තැන්පත් කළ බඳුන වසර දහයක් තිස්සේ සිය නිවසේ තබා රැුක බලා ගත්තේ ප‍්‍රගීත් ය. 

”නන්දගේ මරණය ගැන එයා පුදුම කම්පාවකින් හිටියේ. අළු බඳුන කවදා හරි පවුලේ අයට බාරදෙන්න කියලා අපේ ගෙදර තියාගෙන හිටියා. ඒත් ඒක බාර දෙන්න කෙනෙක් හිටියේ නෑ. අන්තිමේ එයා 1998 දී නන්දෙගේ අළු කළුගෙඟ් පා කළා.”

ප‍්‍රගීත් ගේ අතුරුදහන් වීමෙන් පසු ආණ්ඩුවේ බලධරයන්ට පමණක් නොව ජනමාධ්‍යයේ ඇතැම් පොල්මක්කාරයන්ටත් තිබුණු ප‍්‍රධාන ගැටලූව වූයේ ඔහුගේ ජීවිතයේ හිමිකම නොව ඔහු මාධ්‍යවේදියෙක් ද නැද්ද යන්නයි.

”ප‍්‍රගීත් අතුරුදහන් වුණාට පස්සේ ඔහු කව්ද?කරමින් හිටියේ මොනවද කියන එක ගැන මට පොලිසියට, උසාවියට, සාක්ඛි ඉදිරිපත් කරන්න සිදුවුණා. ඔහු සම්බන්ධවෙලා හිටපු සමහර තැන්වලින් කියන්න පටන් ගත්තා ”ප‍්‍රගීත් එක්ක හිටියේ නෑ” කියලා. නිදසුනකට ”යුක්තිය”ප‍්‍රගීත් තමන් එක්ක හිටපු බව කියන්න කිසිම සාක්කියක් දුන්නේ නෑ.

ප‍්‍රගීත් හොයාගැනීමේ සටනෙදී මේ රටේ වගේම පිටරටවලත් බොහොම දෙනෙක් පුදුමාකාර සහයෝගයක් ලබා දෙනවා. ඇතැම් විට බස් එකට සල්ලි දුන්නාම මාව අඳුනගන්න කොන්දොස්තර සහෝදරවරු සල්ලි ආපහු දෙනවා. මගතොටේ හමුවන අය දිරිගන්වන සුළු වචනයක් හරි කියන්න ඉදිරිපත් වෙනවා.”

ඒත් සමහර තැන්වලින් සිදුවන කෙනෙහිලිකම් ගැන නම් කණගාටුවක් ඇති වෙනවා. මං කියන්නේ පොලිසියෙන්, උසාවියෙන්, ආණ්ඩුවේ දේශපාලකයන්ගෙන් නෙමෙයි. මිනිසුන්ගේ අයිතීන් වෙනුවෙන් වැඩ කරනවා කියන අයගෙන්මත් ඇතැම් විට එවැනි නොසලකා හැරීම් සිදුවෙනවා. වින්දිතයන් තමන්ගේ දුකම කියමින්, තමන් වෙනුවෙන් සටන් කිරීම ඒ අයට බාර දීලා ඉන්නකං ඒ අය කැමතියි. ඒත් තමන්ට අහිමි කරන ලද දේවල් ගැන වින්දිතයන් ස්වාධීනව සටන් කරන්න ඉදිරිපත් වෙනකොට ඒ ඇතැම් අයටත් ඒක රුස්සන්නේ නෑ. නමුත් මං ඒවගෙන් සැලෙන්නේ නෑ. මට ස්ථිර අරමුණක් තියෙනවා. පළමුවැන්න ප‍්‍රගීත් හොයාගන්න එක. ඔහුට වුණේ මොකක්ද? ඒකට වගකිව යුත්තේ කව්ද කියලා හොයාගන්න එක. ඊළගට ප‍්‍රගීත් වගේම මේ රටේ අතුරුදහන් කරපු, මරා දමපු මනුස්ස ජීවිතවලට සිද්ධ වුණේ මොකක්ද කියලා හොයන එක. ඒවාට යුක්තිය ඉටු කර ගැනීමට බල කරන එක. එවැනි මනුස්ස ඛේදවාචක මේ පොළොවෙන් තුරන් කිරීමේ සටනට මගේ ශක්ති පමණින් දායක වීම. දුෂ්කරයි තමයි. ඒත් ජීවිතේ තියෙනනං මං ඒකට කැප වෙනවා.


 
රාජා උස්වැටකෙයියාව

ශී‍්‍ර ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ රාජා උස්වැටකෙයියාවට ප‍්‍රගීත් හා තිබුණේ කාලයෙන් දිගු වූද, ගුණයෙන් ගැඹුරු වූද ඇසුරකි. එය වෙසෙසින් 80‘ දශකයේ මැද සිට ජවිපෙ දෙවැනි නැඟිටීම ඔස්සේ පැන නැගුණු මුළු මහත් භීෂණ සමය පුරා ස්වභාවයෙන් දෘඩ එකක්ව වැඩිණි. වැඩි වශයෙන් මහනුවර ගෙවුණු මේ කාලය ”කම්කරු ගොවි ආයතනය” සෙවනේ, මාක්ස්වාදී ප‍්‍රවේශයකින් ලංකාව තුළ මානව විද්‍යා ශ‍්‍රස්ත‍්‍රීය සම්ප‍්‍රදායක් ස්ථාපිත කිරීමෙහිලා වෙහෙසුණු ආචාර්ය නිව්ටන් ගුණසිංහ ඇසුරේ පෝෂණය වූවකි. කලෙක ජවිපෙ දේශපාලනයෙහි බැ?රුම්ව නියැලූණු ප‍්‍රගීත්, 80‘ ජූලි වර්ජනය කෙරේ පක්ෂය දැක්වූ සතුරු ආකල්පයන්ට විරුද්ධව සිටගත් අතලොස්සෙහි සිටියෙකි. ජවිපෙන් කැඞී වෙන්වන ඔහු ජූලි වර්ජනයයේ විකෘති පළ විපාක ඔස්සේ මානව අයිතීන් විෂයයෙහි උනන්දු තරුණ කි‍්‍රයාකාරිකයෙකුගේ භූමිකාවට පිවිසෙයි. 83’ කළු ජූලිය විසින් ඇති කළ කම්පනය ඔහු වෙත වර්ගවාදී ගොහොරුවේ තුච්ඡුත්වය පිළිබඳ වේදනාකාරී අවබෝධය ගෙනාවේ ය. රාජා උස්වැටකෙයියාවට තරුණ ප‍්‍රගීත් හමුවන්නේ මෙකල ය.

”මේ කාල අපි ඇත්ත පත්තරේ ගිය යූනුස්ගේ කාටූන් ලොකුවට පිටපත් කරලා මහනුවර නගරයේ තාප්පවල අලවනවා. ඒක එක්තරා විදියක රහසිගත අරගලයක්. ප‍්‍රගීත් තමයි වැඩිපුරම මේ කාටූන් පිටපත් කළේ.”

”අපි. එස්.බාලකි‍්‍රෂ්ණන්ගේ ලංකා සමාජ ආයතනයේ අනුග‍්‍රහයෙන් කරගෙන ගිය විමසුම සඟරාවේ වැඩ කරන කාලයේ ප‍්‍රගීත් එහි සමීපතමයෙක්. මේ වෙනකොට ආචාර්ය නිව්ටන් ගුණසිංහත් ආපහු ලංකාවට ඇවිත් කම්කරු ගොවි ආයතනය පිහිටුවන්න මුල්වෙලා හිටියා. බර්ටි ගජමෙරගෙදර, ජයරත්න මලියගොඩ, වගේ අය එක්ක මමත්, ප‍්‍රගීත් හා සි.ජේ. අමරතුංගත් නිව්ටන් ඇසුරේ කිසියම් විදියක බුද්ධිමය ශ‍්‍රාස්තී‍්‍රය සංවාදයක නියැලිලා හිටියා. නිව්ටන්, අන්තෝනියෝ ග‍්‍රාම්ස්චි, ලූයි අල්තුසර්ථ, නිකෝස් පුලන්සාස් වගේ මාක්ස්වාදී දේශපාලන චින්තකයන් ලංකාවට හඳුන්වා දෙමින් දේශන මාලාවක් කළා. අපි එහි ශ‍්‍රාවකයන් වගේම සංවිධාන සහායකයන් විදියටත්, මේ නව දැනුම සමඟ නිරන්තර වාද, සංවාද කරන්නන් විදියටත් නිව්ටන් ඇසුරේ හිටියා. නිව්ටන්ගේ පර්යේෂණ සහායකයෙක් විදියටත් ප‍්‍රගීත් කටයුතු කළා.”

”මගේ මතකය නිවැරදි නම් නිව්ටන් ගොවි කම්කරු ආයතනයේ කළ දේශන මාලාව අළලා පළ කළ ”අන්තෝනියෝ ග‍්‍රාම්ස්චි - කෙටි හැඳින්වීමක් ” කියන කෘතියේ වගේම නිව්ටන්ගේ උපාධි නිබන්ධනය ඇසුරෙන් පළ කළ ”උඩරට ගමක පන්ති පෙළ ගැස්ම”කෘතියේත් පිටකවර නිර්මාණය කළේ ප‍්‍රගීත්. නිව්ටන් විසින් 80’ දශකය මැද දී අවුළුවන ලද ”චූල සම්ප‍්‍රදාය හා මහා සම්ප‍්‍රදාය” පිළිබඳ ආන්දෝලනාත්මක වාදයේදී මහා සම්ප‍්‍රදායට නිව්ටන් බැට දෙනකොට ප‍්‍රගීතුත් ඔහු සමඟ සිටියා.”


නිව්ටන් ගුණසිංහ

රාජා උස්වැටකෙයියාව ඇතුළු පිරිසක් එක්සත් සමාජවාදී පෙරමුණෙන් ඡුන්ද සටන්වලට යන විට ප‍්‍රගීත් ඔවුන් අත්නොහැර යන සගයෙක් විය. ආණ්ඩුවේ හා ජවිපෙ භීෂණය මැද පැවැති පලාත් සභා’ මැතිවරණයේදී මෙන්ම 89’ මහා මැතිවරණයේදී මෙන්ම’89 මහා මැතිවරණයේදීද ප‍්‍රගීත් ඒ සටනට උරදුන් අයුරු රාජා මෙනෙහි කරයි.

” 89 පාර්ලිමේන්තු මැතිවරණයට එක්සත් සමාජවාදී පෙරමුණෙන් තරග කරනකොට අපි දෙපැත්තකින් භීෂණයට මුහුණ දීලා හිටියා. එක පැත්තකින් ආණ්ඩුවේ භීෂණය අනෙක් පැත්තකින් අවි ආමෝරා ජවිපෙ. ඒ අතරේ ප‍්‍රචාරක වැඩ සම්පූර්ණයෙන්ම සැලසුම් කළේ ප‍්‍රගීත්. ඊට අමතරව මගේ ආරක්ෂාවට හිටියෙත් ප‍්‍රගීත්. අපි මැතිවරණ රැුස්වීම්වලට ගියේ බස්වලින්. අති දුෂ්කර හා භීෂණකාරරී ගමන්. ප‍්‍රගිත් පිස්තෝලය ඉනේ ගහගෙන ”රාජා ඉස්සරහින් යන්න. මම පස්සෙන් එන්නං” කියනවා. කතාබහක් නෑ. අපිව අඳුනන්නෙ නෑ වගේ ඉන්නේ. හැබැයි ව්‍යාඝ‍්‍රයෙක් වගේ වටපිට ඉව කරමින්. දිනවද පරදිනවද කියන එක ප‍්‍රගීත්ට වැදගත් වුනේ නෑ. ඔහු ජීවිතයත් මරණයත් අතර ර් සටනේ හිටියා. ඡුන්දය ඉවර වුනාම අපට නුව ඉන්න බැරිවුණා. අපි කොළඹ ගියා. ප‍්‍රගීත්ටත් අපිත් එක්ක නුවර අතහැරලා කොළඹ එන්න සිදුවුණා.”

ප‍්‍රගීත්ගේ පුද්ගල චරිතය ගැන රාජාගේ නීරීක්ෂණය තියුණුය. උණුසුම්ය. එහි සංක්ෂිප්තය මෙපරිද්දෙනි.

”ප‍්‍රගීත් කියන්නේ එඩිතර, සූක්ෂ්ම, හෙමින් වැඩ කරන කෙනෙක්. හෙමින් වුණාට අඛණ්ඩව වැඩ කලා, විවේක ගත්තේ නෑ. හතිවැටුණේ නෑ. ඔහුගේ කතාබහේ බලවත් උපහාසයක් තිබුණා. දේශපාලන උපහාසයක්.හරිම විවේචනාත්මකයි. හැමෝම දකින මතුපිට දේට වඩා හැමදේකම ගැඹුරක් ඔහු දැක්කා. ඒ වගේම කිසි දේකට සැලෙන්නේ නැති මිනිහෙක්. විද්‍යාව ගැන තදබල උනන්දුවක් තිබුණු දැඩි හේතුවාදියෙක්. ඒ වගේම ඔහු තුළ හොඳ වගාකරුවෙක් හිටියා.”

”ඔහු තරමත ගුප්ත චරිතයක්. ඒ ඔහුගේ හැටි කැපී පෙනෙන්න, මතු පිටට එන්න උත්සාහ නොකළ චරිතයක්. රහසිගත දේශපාලනය කරන්න ඉතාම ගැලපෙන මිනිසෙක්. ඔහු බයත් නෑ. භීෂණ සමයේ වුණත් බය නැතිව හැමතැනම ඇවිද්දා. හැබැයි ප‍්‍රවේසමෙන්. කල්පනාවෙන්. ඔහු හරිම සූක්ෂ්මයි. රට වටේම මිතුරන් හිටියා. මිතුරන් වෙනුවෙන් දේශපාලනික මැදහත්වීම් කරද්දී එහි භයානක පලවිපාක ගැන හිතුවේ නෑ.”



ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන


තුරුණු සමාජ දේශපාලන කි‍්‍රයාකාරිකයෙකු වශයෙන් ප‍්‍රගීත්ගේ කොළඹ ජීවන පරිච්ෙඡ්දයේ ආරම්භක අවදිය ගැන සමීප අත්දැකීම් ඇත්තෙකි. ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන. ඒ 80’ දශයකය අගය. භීෂණ සමයයි.  සමාජ විද්‍යාඥයන්ගේ සංගමයේ ප‍්‍රබලයන් වූ චාල්ස් අබේසේකර, ආචාර්ය නිව්ටන් ගුුණසිංහ වැන්නන් ඇසුරට ”අධ්‍යයන කවය” නමින් අවිධිමත්ව රොක්වූ සුනිල් විජේසිරිවර්ධන, පියල් සෝමරත්න, සුනිල් බැස්ටියන්, සී.ජේ.අමරතුංග, ඇතුළු තරුණ නඩයට ප‍්‍රගීත් ද යාවජීව සමාජිකයකු ලෙස එක්විය. සුනිල් එකල මාවත සගරාවේ සංස්කාරකවරයාය.
 
” අපි සතියකට වතාවක් වගේ හමුවුණා. ඒ හමුවීම පවා සිදුවුණේ තරමක් රහසිගත.මොකද අපි හැමකෙනෙකුටම බිය කියන එක දැනෙමින් තිබුණා. මේ හමුවීම්වලදී මා ප‍්‍රගීත්ගේ බුද්ධිමය තියුණුභාවයත්, නිර්මාණාත්මත හැකියාවත් තේරුම් ගත්තා. ඔහු මේ කාලයේ යම් විදියක යටිබිම්ගත ස්වරූපයකටත් වැඩ කරමින් සිටියි. ජවිපෙ ෆැසිස්ට් ස්වරූපයට එරෙහිව. විජේවීරගේ දේශපාලනය ෆැසිස්ට්වාදී බව පෙන්වමින් ඔහු යටිබිම්ගත ප‍්‍රචාරක වැඩ පිළිවෙළක් දියත් කළා. ඔහු විජේවීරග් රුව යොදාගෙන මේ ෆැසිස්ට් ලක්ෂණ නිර්මාණාත්මක ප‍්‍රබලත්වයකින් යුතුව මතු කරන විලාසයෙන් තමයි මුලින්ම මං ඔහුගේ නිර්මාණාත්මක ඇඳීමේ හැකියාව දැක්කේ. ”

ඒ අතර ඔහු ”මාවත” ට සමීප වුණා. ඒ වන විට මාවත යමින් සිටියේ චීන ලයින් එකක, ජාතිකවාදී දිශාවකට. අපි මේ ප‍්‍රතිසංස්කරණයකට ලක් කරමින් එය මාක්ස්වාදී ග‍්‍රාම්ස්වියානු පාරකට ගන්න වැඩ කරමින් හිටියා. අපි එහි වූ ජාතිකවාදී දිශානතියට විරුද්ධ වෙමින් ඒ මතවාද ප‍්‍රශ්න කළා. මේකත් එක්ක ප‍්‍රගීත් අපිට තවත් සමීප වුණා. මාවත අලූතින් ප‍්‍රතිනිර්මාණය කරනකොට සඟරාව සැලසුම් කිරීම වගේම ඇතුළත සංඛේත, සිතුවම්, හා කවර බොහෝ ගණනකුත් නිමවුනේ ප‍්‍රගීත් අතින්. ඔහු මාවතට කෙටි ලිපිත් ලිව්වා. මේ කි‍්‍රයාදාමය වසර දෙක තුනක් පැවතුණා.”

අනතුරුව සුනිල් ප‍්‍රගීත් සමීප ඇසුරට වසර ගණනාවත විරාමයක් වැටෙයි. එහෙත් ප‍්‍රගීත් අතුරුදහන් වන්ට ආසන්න සමයේ ඔව්හූ නැවතත් සමීපස්ථයෝ වෙති.
   
ඒ 2008 වසර. මට නැවතත් නිතර නිතර ප‍්‍රගීත් හමුවෙන්න ගත්තා. මං මගේ ”පුරවැසි මංපෙත් ” කෘතිය අවසන් කරමින් සිටියේ. එහි පරිච්ෙඡ්දයක් තියෙනවා සිංහල සංස්කෘතියේ තියෙන අභ්‍යයන්තර ගැටලූ හා එහි අන්තර් සම්බන්ධතා ගැන. සංස්කෘතිය කියන්නේ ඉතාම ගැටලූ සහගත තැනක් කියන එන මගේ මූලික තර්කය වුණා. මේ සම්බන්ධයෙන් මට ප‍්‍රගීත් එක්ක වරින් වර සංවාද කරන්න පුළුවන් වුණා. ඒක මට මේ තර්ක ගොඩනැගීමේදී හුඟක් ප‍්‍රයෝජනවත් වුණා.”

ලංකාවේ කුළ ධූරාවලියට අයත් සියලූ තොරතුරු එක්තැන්කොට බැලූ කල්හි එම ධූරාවලිය උඩු යටිකුරු ස්වාභාවයක් දරන්නේය යන්න ප‍්‍රගීත්ගේ අදහස වූ බව සුනිල් පවසයි. සාමාන්‍ය ධූරාවලියකට ප‍්‍රතිවිරුද්ධ මේ සාමාන්‍ය ධූරාවලියකට ප‍්‍රතිවිරුද්ධ මේ ස්වභාවය ප‍්‍රගීත් ලියූ ”ශී‍්‍ර ලංකිය රාජ්‍යය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය” නම් ලිපියේ ඔහු ගොනුකරන්නේ මෙලෙසිනි.


 
ප‍්‍රගීත් විසින් නිර්මාණය කරන ලද මාවත සගරාවේ කවරයක්


”ලංකාවේ කුල ධූරාවලිය පහළට ගමන් කරන විට, ක‍්‍රමයෙන් කුඩා වී ගොස්, එය පිරමීඩයක් හිස පහළට සිටින සේ පිහිට වූ ආකාරය ගනී. එම ස්වභාවය ද ධූරාවලිය ශක්තිමත් වීමට ඇති තවත් හේතුවකි. පීඩකයා සංඛ්‍යාත්මකව විශාල වීමත්, පීඩිතයා සංඛ්‍යාත්මකව කුඩා වීමත් නිසා දුර්වල බව එහි තේරුමයි. මේ නිසා පීඩකයාට පක්ෂපාතීත්වය දැක්වීමෙන්, තම පැවැත්ම රැුකගැනීමේ පාරාධීන චින්තනයකින් කුළ සමාජ පෞරෂය සංයුක්ත වී තිබේ.”

”කුලය යන්න සංස්කෘතික ප‍්‍රවාදයක් ලෙස නැවත නැවත ප‍්‍රතිනිශ්පාදනය වන බවත්, කුළ ප‍්‍රශ්නය අවතක්සේරු කෙරුණත් එහි ගැඹුරු ව්‍යූහය විසින් ඇති කරන සංස්කෘතික බලපෑම් තියුණු බවත් ප‍්‍රගීත් තර්ක කරන්නේය.”යි සුනිල් පවසයි.

ප‍්‍රගීත් අතුරුදහන් වී වසර පහක් පිරෙන විට ලංකාව නම් විගඩමට ලොල් භූ වපසරිය ඇතුළේ ඇතැම් දෑ උඩුකුරුවද, තවත් දෑ යටිකුරුවද, බොහෝ දෑ උඩුකුරුවද තිබේ. රටට අලූත් ජනාධිපතිවරයෙක් ලැබී තිබේ. අලූත් ආණ්ඩුවක් හා කැබිනට්ටුවක් ලැබී තිබේ. ජාතික විධායක සභාවකුත් ලැබී තිබේ. 



” අතුරුදහන් වූ බව කියන ප‍්‍රගීත් විදෙස් රටක රහසිගතව දේශපාලන රැුකවරණ ලබා සිටින්නේය‘යි තෙවසරකට පෙර ජිනීවා හී එක්සත් ජාතින්ගේ වධහිංසාවලට එරෙහි කමිටුව හමුවේ කියා, අනතුරුව ප‍්‍රගීත් ඉන්නා තැනක් ” දෙයියෝ දනී ” යි ලංකාවේ අධිකරණයක් හමුවේ කී, මොහාන් පීරිස්,අගවිනිසුරු පුටුවෙන් බැස යන්නට ඔන්න මෙන්න බව ඇතැම්හූ කියති. තවෙකෙක් කියන්නෙ ඔහු එම තනතුරේ පැලපදියම් වීමට ”ඞීල් දමමින්” සිටින බව ය. ”ප‍්‍රගීත් වෙස් වලාගෙන ප‍්‍රංශයේ සුවසේ වෙසෙන්නේය”යි දිවුරා කී මන්තී‍්‍ර අරුන්දික ප‍්‍රනාන්දු නව ජනාධිපති සිරිසේනට සහාය පළ කිරීමට එක්ව සිටී. තව තවත් අය, තව තවත් තැන්වල ය. සුවසේ ය. නිවිහැනහිල්යේ ය.

එහෙත් මේ පස්වස පුරාම ප‍්‍රගීත් සොයා මංමාවත් ගානේ ඇව්ද්ද බිරිය සන්ධ්‍යා සහ දරු දෙදෙනා සංජය- හරිත්, ඊයෙත් සිටියෝ මහපාරේ ය. කොළඹ කොටුවේ දුම්රියපොළ ඉදිරිපිට ප‍්‍රගීත්ගේ කාටූන් චිත‍්‍ර එල්ලාගෙන කාෂ්ටක අව්වේ  වේලෙමිනි. ඔවුන් සිය ආදරණීයයා සමඟ, අඩුම තරමේ ඔහු වෙනුවෙන් පසිඳලූ යුක්තියක් සමඟ ආපසු ගෙදර යන්නේ කවදා ද?
 
තවත් ප‍්‍රගීත් කෙනෙකුගේ ඉරණමට ලක්විමට පෙර එය ඉවෙන් මෙන් දැන, සංක‍්‍රමණය වූ, රාජපක්ෂ රෙජීමයේ භීෂණය නිසා විදෙස්ගත මාධ්‍යවේදී,
සනත් බාලසූරිය


Advertisments
Facebook