English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුයි - ජනපති
(2016-07-24)

<< Go Back
Share |   


විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවට තමන් දැරූ ස්ථාවරයේ වෙනසක් සිදු වී නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යළි අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ, වරකාපොල නගර ශාලාවේ පැවති හිටපු අමාත්‍යවරයෙකු වන ධර්මසිරි සේනානායකගේ 16 වන ගුණ සමරු උත්සවයට එක් සහභාගී වෙමිනි.

ආණ්ඩුව නියෝජනය කරන කිසිවකුට හෝ එරෙහිව දූෂණ චෝදනා සනාථ වන්නේ නම් ඔවුන්ට සමාව දීමට තමන් සූදානම් නැති බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජාත්‍යන්තරය දිනා ගන්නා විට රට පාවා දෙන බවට ඇතමුන් චෝදනා කළත් තමා කටයුතු කරන්නේ එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායකගේ හිටපු අගමැතිවරයාගේ දේශපාලන දර්ශනයේ තිබූ විදේශ ප්‍රතිපත්ති මත බවත්, ඒ හැර ලෝකයේ කිසිදු රටක් සමග වෙනත් බාහිර බැදීමක් තමාට නොමැති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, සියලු දෙනා එක්ව රටට ගැළපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කර ගත යුතු බවයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ව්‍යවස්ථා මර උගුලක් ලෙස හඳුන්වා දෙන්නේ පාර්ලිමේන්තුවේ නව ව්‍යවස්ථා සම්පාදන කමිටුවේ සිටින උදවියම බවද පැවසූ ජනාධිපතිවරයා, 1978 ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ සම්මත කරන විට ඊට විරෝධය පළ කරමින් නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව පළමුව පෙන්වා දුන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවත්, ඉන් පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිවරණ ප්‍රකාශන දෙකේමත්, මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රකාශන දෙකේමත් අඩංගු වූ නව ව්‍යවස්ථාවට දැන් විරුද්ධ වන්නේ මන් දැයි තමා නොදන්නා බවත් ප්‍රකාශ කළේය.

තමා සැමවිටම කටයුතු කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති සහ දර්ශනය ආරක්ෂා කරමින් බවද පැවසූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අද අවශ්‍ය වන්නේ සම්මුතිවාදී ආණ්ඩුව තුළ සියලූ දෙනා එක්ව රටට අවශ්‍ය පරිවර්තනයන් සඳහා කැපවීම බවද කියා සිටියේය.

ප්‍රජාතන්ත්‍රවාදී මෙන්ම මානවවාදී දේශපාලන නායකයෙකු වූ ධර්මසිරි සේනානායක චරිතය අද දවසේ දේශපාලනඥයින්ට ඉතා ආදර්ශවත් චරිතයක් බවවද පැවසූ ජනාධිපතිවරයා වංචාව, දූෂණය සහ බලය අනිසි ලෙස භාවිතා කිරීම කිසිවිටකත් එම චරිතය තුළ නොතිබූ බවද සිහිපත් කළේය.


උපුටා ගැනීම -   බීබීසි සංදේශය 

-  මෙලනි









Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.