English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
අතුරුදහන්වුවන්ගේ කාර්යාලය, විෂයානුබද්ධ කණ්ඩායම් සමග මීට වඩා හොඳ ගනුදෙණුවක් තිබිය යුතුයි - අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ සභාපති
(2016-06-15)

<< Go Back
අතුරුදහන්වුවන්ගේ කාර්යාලය, විෂයානුබද්ධ කණ්ඩායම් සමග මීට වඩා හොඳ ගනුදෙණුවක් තිබිය යුතුයි - අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ සභාපති
ශ‍්‍රි ලංකාවේ සිදුවී ඇති අතුරුදහන්විමි පිළිබඳ පැමිණිළි විමර්ෂනය කිරීම සඳහා 2013 වසරේ දි ජනාධිපති කොමිසමක් ආරම්භ කළ අතර නොයෙකුත් අඩුපාඩුකම් දෝෂාරෝපණ සහිතව මෙපමණ කාලයක් පුරාවට එම කොමිසම ක‍්‍රියාත්මක විය. එහෙත් එම කොමිසම  ලබන මස එනම් ජුලි මස 15 වෙනිදා විසුරුවා හරිනු ලබන බව වාර්තා වෙයි. එම කොමිසම විසුරුවා හැරීමට පදනම් වන්නේ පසුගිය මස ආරම්භ කළ අතුරුදහන්වුවන් පිළිබඳ කාර්ලය බැව් වාර්තා වෙයි.

මන්ද ශ‍්‍රි ලංකාව තුළ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට ප‍්‍රති උත්තර සැපයීමට බැඳී සිටින ශ‍්‍රි ලංකා රජය, ඊට පිළිතුරු දෙමින් මෙම නව කාර්යාල ක‍්‍රියාත්මක කළ යුතුව තිබිණි.

අතුරුදහන්වුවන්ගේ ස්මාරකය - රද්දොළුව හන්දිය

අතුරුදහන්වුවන් පිළිබඳ සොයා බැලීම සඳහා ශ‍්‍රි ලංකා රජය විසින් පත්කළ නව කාර්යාලය හා එහි ක‍්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් , අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ සභාපති ,ප‍්‍රකට මානව හිමිකම් ක‍්‍රියාධර බි‍්‍රටෝ ප‍්‍රනාන්දු අයිතිය හා මෙසේ ප‍්‍රකාශ කළේය.  

ලංකාවේ අතුරුදහන්වුවන් සම්බන්ධයෙන් මැදිහත්ව ක‍්‍රියාකරන්නෙකු ලෙසට රජයේ මෙම පියවර ගැන ඔබේ මතය කුමක්ද ?
 

සංහිඳියාව ඇතිකිරිම සඳහා රජය ජීනිවා මානව හිමිකම් කවුන්සිලය හා පොරොන්දු වු ප‍්‍රකාර මෙසේ කාර්යාලයක් විවෘත කිරිම ගැන සතුටු වෙනවා. අපි අපේක්‍ෂා කරන සංහිඳියාවේ කුළුණු හතරෙන් එකක් තමයි, අතුරුදහන්වුවන් පිළිබඳව සොයා බලන කාර්යාලයක් පිහිටුවිම. කැබිනට් එක හරහා මේ කාර්යාලය ආරම්භ කරන්නට රජයට අවසර ලැබිලා තිබෙනවා සහ ඒ ඔස්සේ රජයට නිල අයිතියක් දැන් ලැබී තිබෙනවා මේ කාරණය සම්බන්ධයෙන් සොයා බැලීම් කටයුතු නිසි ආකාරයෙන් දියත් කරන්නට.

මේ සම්බන්ධයෙන් අතුරුදහන්වුවන්ගේ පවුල්වල ඥාතින් දරණ මතය කුමක්ද ?   

මේ සම්බන්ධයෙන් ඔවුන් තුළ විවිධ විවේචන තිබෙනවා. උතුරු නැගෙනහිර ඥාතින්ගේ අදහස වෙන්නෙ මෙසේ කාර්යාලයක් දැමීම පමණක් ප‍්‍රමාණවත් නැති බවයි. යුක්තියක් ඉටු නොවී, නීතිමය කාරණා ඉටු නොවී කාර්යාලක් දැමීම ප‍්‍රමාණවත් නැහැ කියා තමයි උතුරේ නැගෙනහිර අතුරුදහන්වුවන්ගේ පවුල්වල ඥාතීන් කියා සිටින්නෙ. ඒ අතර, දකුණ කියා සිටින්නේ මේ කාරණය තුළදි රණවිරුවන්ට යම් යම් අනතුරු සිදුවනවා කියා යම් යම් විරෝ්ධතාවන් මතුවන්නට ඉඩ තිබෙනවා කියන එක, නමුත් 1971න් පසුව ප‍්‍රථම වතාවට තමයි මෙවැනි වු දෙයක් රජයක් විසින් යෝජනා කරලා තිබෙන්නෙ.

මෙහි ක‍්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ඔබ දරණ මතය කුමක්ද ?

තොරතුරු සොයාබැලීම ගැන කථා කිරිමෙදි අතුරුදහන්වී ඇති පුද්ගලයින්ට සිදුවුණේ කුමක් ද කියා සොයා බැලීමයි , ඊට පසුව ඒ සඳහා යුක්තිය ඉටුවීමයි යන දෙක එකට ගමන් කළ යුතුයි. මෙය කොයි ආකාරයට ගමන් කළ යුතුද යන්න පිළිබඳව සාකච්ඡව දැනට සිදුවෙමින් පවතින බව අපි දන්නවා. නමුත් අපි කල්පනාකාරි වෙන්න  ඕනේ සංහිඳයාව පිළිබඳ කතිකාවෙදි දකුණ දක්වන ප‍්‍රතිචාරයට අපි මුහුණ දෙන්නේ කොහොමද? දකුණේ සහයෝගය විශේෂයෙන්ම සිංහල බහුතරයකගේ සහයෝගය ලබාගන්නේ කෙසේද යන්න සාකච්ඡ කරමින් ගමන් කළයුතුයි. මොකද අපිට මතකයි 1989 දි දෙමළ ජනතාවට යම්කිසි ස්වාධීනත්වයක් ගොඩනගන්න ගියාම කැරැල්ලක් ඇතිවෙලා 60000ක් මරණයට පත්වුණා, මීට බලපෑ තව හේතුන් තිබුණා. නමුත් ප‍්‍රධාන වශයෙන් දෙමළ මිනිස්සුන්ට යම් සාධාරණයක් කිරිමට විරුද්ධ වුණා. ඒ නිසා මේ නව කාර්යාලයේ ක‍්‍රියාකාරිත්වයේදිත් එහි අරමුණු සාක්‍ෂාත් කරගැනීම සඳහා දකුණේ සහය අත්‍යවශ්‍යම වන නිසා එම සහය ලබාගැනිමේ ක‍්‍රමවේදය පිළිබඳව දැඩිව කථා කළයුතුයි. නමුත් දැනට ආණ්ඩුව පැත්තෙන් මේ අවශ්‍යතාවය වෙනුවෙන් නිසි ආකාරයෙන් කටයුතු කරනවා කියලා තවම පෙනෙන්නේ නැහැ.
 
ආණ්ඩුව පැත්තෙන් මේ තබන හැම පියවරක්ම අපි අගය කරනවා, නමුත් ඒ තුළ තිබෙන අඩුපාඩු , ඒ තුළ තිබෙන විවේචන පිළිබඳව ආණ්ඩුව මීට වඩා සැළකිලිමත් වෙන්න  ඕනේ කියලා අපි දකිනවා. මේ විෂය සම්බන්ධයෙන්, අතුරුදහන්වුවන් පිළිබඳව විමසීම් කිරිම සම්බන්ධයෙන් , සිවිල් සංවිධාන හා අතුරුදහන්වීම්වලට සහ අනතුරුවලට ලක්වෙච්ච අයත් සමග මීට වඩා ශක්තිමත් ගනුදෙණුවක් මේ කාර්යාලය විසින් සිදුකළ යුතුයි.

ඇයි ඔබ එසේ කියන්නේ ? මේ නව කාර්යාලය පිළිබඳව ඔබලා වැනි දැනටමත් මේ විෂය හා සම්බන්ධව ක‍්‍රියාකරන සිවිල් සංවිධාන සමඟ රජයේ යම්කිසි කථිකාවක් තිබුණේ නැද්ද මේ කාර්යාලය ආරම්භ කරන්නට මත්තෙන් ?

මෙවැනි කාර්යාලයක් ආරම්භකරන්නට යනවා යැයි අදහස ඉදිරිපත් කිරීමට අමතරව එහි ටෙක්නිල් කාරණා කථා කළා මිස ඉන් එහා දෙයක් සම්බන්ධයෙන් අපි දැනුවත් නැහැ.  ආණ්ඩුව හදා තිබෙනවා ටාස්ක් ෆෝස් කියා එකක් එහි වැඩකටයුතු ආරම්භකරලා නැහැ නමුත් මෙහි මිකැනිසම් එක පිළිබඳව නැතිනම් මේ කාර්යය කෙසේ විය යුතුද පිළිබඳව ලංකාව පුරා මත විමසුමක් කළ යුතුයි නමුත් ඊට පෙර එක කුළුණක් / එක් අදහසක් එළියට පැමිණෙනවා. මෑතකදි පැවති රැුස්වීමකද ආණ්ඩුව ප‍්‍රකාශ කළා පාර්ලිමේන්තු පනතක් ඇවිත් සම්මත වන්නට පෙර නැවතත් මෙය සාකච්ඡවට භාජනය කරනවාය, මහජන අදහස් විමසනවාය ය  කියා, එසේ වනවානම් ඉතා හොඳයි කියා මා හිතනවා.

නමුත් මගේ අත්දැකීම තමයි විශේෂයෙන් ම මේ වගේ ජාතික ප‍්‍රශ්නයක දි මත විමසීමේදි ලැබෙන ප‍්‍රතිචාරය මත ක‍්‍රියාකරන්න යෑමෙදිත් බරපතල ප‍්‍රායෝගික ගැටළු මතුවීමේ ඉඩකුත් තිබෙනවා.    කතෝලිකයින් හට ස්වාධිනත්වයක් හෝ කුමක් හෝ ලබාදීම පිළිබඳව මෙරටේ ඉන්න බෞද්ධයින්ගෙන් විමසීම තේරුමක් නැහැනේ. ඒ වගේ තමයි දෙමළ ජනතාවට දෙන ස්වාධිනත්වය පිළිබඳව පහුගිය කාලය පුරාවට ම ජාතිවාදයෙන් පෝෂණය වෙච්ච දකුණෙන් විමසීම තේරුමක් තියෙනවාද යන ප‍්‍රශ්නය ඇතැම් අය මතුකරනවා. එහෙමනම් ගැටළුවක් මතුවෙනවා මෙසේ උපදෙස් ,මත විමසීම වැදගත් වෙනවාද යන්න. නමුත් මේ සම්බන්ධව සහය දක්වන කණ්ඩායම් වලින් විමසීමක් කළ යුතුයිි.
 
පහළ මට්ටමේ වින්ධිතයින් අතර මේ සම්බන්ධ සාකච්ඡව ඉතාම දුර්වලයි. සිවිල් සංවිධානවලට බැරිවෙලා තිබෙනවා මේ පිළිබඳ සාකච්ඡවක් පහළ මට්ටමට ගෙනියන්න. මේ පිළිබඳව ඔවුන් එකිනෙකාගේ අවශ්‍යතාවනුත් එකිනෙකට වෙනස්. උදාහරණයකට - සාක්‍ෂි තිබෙන අය කැමතියි ඒ පිළිබඳව ඉක්මනින් සොයා බලලා අදාළ අයට දඬුවම් කරනවානම්. මොකද ඒ අය පැහැදිළිව කියනවා මේ මේ අය තමයි තමන්ගෙ අයව පැහැරගෙන ගියේ කියලා. ඒ අතරෙ සාක්‍ෂි කිසිවක් නැති අයගෙන් ඇතැම් දෙනෙක් කියනවා තවදුරටත් සෙවීමෙන් පලක් නැහැ, අපිට ජීවත් වීම සඳහා යම්කිසි සහනයක් සහනාධාරයක් ලබාදෙන්න කියලා. ඒ වගේ විවිධ යෝජනා අදහස් තිබෙනවා.

කෙසේවෙතත්, අතුරුදහන්වුවන් පිළිබඳව එක්සත් ජාතින්ගේ ප‍්‍රඥ්පත්තිය සම්මත කිරීම අපි අවුරුදු 25ක් තිස්සේ මේ රටේ විවිධ අය ගෙනගිය අරගලයක ප‍්‍රථිපලයක් හැටියටයි මම දකින්නෙ. මෙය ඉතා හොඳ පියවරක්.  ආණ්ඩුව යමක් කරමින් සිටිනවා. ඒ කරන දේවල වේගය පිළිබඳව විවිධ අංශවලින් විවිධ චෝදනා එල්ල වෙනවා. මෙම චෝදනා අවම කරගැනීම සඳහාත් මේ සම්බන්ධයෙන් සහය දක්වන්නන්ගෙන් විමසීම් කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. 


                                                                බි‍්‍රටෝ ප‍්‍රනාන්දු




සංවාදය හා ඡායාරූප -  මෙලනි මානෙල් පෙරේරා


Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.