English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
හරි වැරදි පිළිබඳ හැඟීම නැති වීම .....
(2016-04-26)

<< Go Back
Share |   


මිනීමැරීම යනු රාජ්‍යය සහ ජනතාව විසින් වළකාලිය යුතු බරපතල වරදක්ය යන හැඟීම අහිමි කර ගත් සමාජයක කුමන තත්වයක් ඇති වේද? කාන්තාවන්, ළමුන් හෝ වෙනත් ඕනෑම කෙනෙකු ලිංගික අපහරණයට ලක් කිරීම, ස්ත්‍රී දූෂණය, කොල්ලකෑම සහ සොරකම, කප්පම් ගැනීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම වැනි වෙනත් ඕනෑම කාරණයක් සම්බන්ධයෙන්ද මේ ප‍්‍රශ්නයම අපට ඇසිය හැකිය. පුද්ගලයන්ට එරෙහිව සිදුවිය හැකි එවැනි තවත් බොහෝ වැරදි අපට අවශ්‍ය නම් ලේඛනගත කළ හැකිය.

ඊළඟට, මහජන ජීවිතයට අදාළ තවත් වැරදිත් තිබේ. බලය අභ්‍යාස කරන පුද්ගලයන් මහජන දේපල සොරකම් කිරීම බරපතල වරදක් වශයෙන් යම් සමාජයක් නොසළකතොත් තත්වය කුමක් වේද? බලය අපහරණය කිරීම තම අයිතියක් වශයෙන් එවැනි අයවළුන් සැළකුවොත් තත්වය කුමක් වේද? එසේම, තමන්ට අදාළ වැදගත් කාරණා සම්බන්ධයෙන් දේශපාලඥයන් සහ පාලකයන් තමන්ට බොරු කීම ජනතාවක් විදිහට කර බාගෙන භාර ගත්තොත් කුමක් වේද? සමාජයට එරෙහි මෙවැනි වැරදිවල ලැයිස්තුවත් ඉතා දීර්ඝ එකකි.

මෙවැනි වැරදි හඳුනාගෙන ඒවා වැළැක්විය යුතු බව, පුරාතනයේ සිට පැවති සෑම ශිෂ්ටාචාරයක් තුළම පිළිගත් ධර්මතාවකි. සදාචාරමය වශයෙන් පිළිගත හැකි දේවල් කවරේද, පිළිගත නොහැකි දේවල් කවරේද යන්න පිළිබඳ යම් අදහසක් සෑම ශිෂ්ට සම්පන්න සමාජයකම කාවැදී තිබේ. ඇත්ත වශයෙන්ම, ‘ශිෂ්ට සම්පන්න’ යන්න බොහෝ විට අදාළ වන්නේම, හරි වැරැුද්ද පිළිබඳ අදහස් වර්ධනය කොට බලාත්මක කිරීමත්, ඒවා සමාජයකට නැතිවම බැරි අදහස් වශයෙන් සංරක්ෂණය කර ගැනෙන ආචාර ධර්ම පද්ධති ගොඩනගා ගැනීමත් කෙරෙහි ය. මෙම අදහස් වර්ධනය කර ගැනීමටත්, ආරක්ෂා කර ගැනීමටත් මිනිස් වර්ගයා දීර්ඝ කාලයක් තිස්සේ අරගල කොට තිබේ. රටක වෙසෙන සෑම පුද්ගලයෙකු තුළම ඒවා රෝපණය කිරීමට කටයුතු කොට තිබේ. අවාසනාවකට, හරි වැරැද්ද පිළිබඳ ඒ හැඟීම බරපතල ලෙස කඩා ඉහිරුණු අවස්ථාද ඉතිහාසයේ තිබේ. එහි ප‍්‍රතිඵලය වී ඇත්තේ මහා ව්‍යසනයන් ය. එවැනි කාලවල, බොහෝ කොට දාර්ශනික හෝ ආගමික ව්‍යාපාරවල, නැත්නම් රාජ්‍ය බලය සහිත දේශපාලන නායකයන්ගේ ප‍්‍රයත්නයන් මත, සුසිරිත සම්බන්ධයෙන් වන ප‍්‍රකට අධිකරණ සම්ප‍්‍රදායන් උත්පාදනය වී තිබේ.

යුදෙව් සම්ප‍්‍රදාය තුළ හමුවන දස පනත එවැනි එක් අවස්ථාවකි. බයිබලයේ සඳහන් වන පරිදි එහි ප‍්‍රභවය පිළිබඳ ඇත්ත නැත්ත කුමක් වෙතත්, වැදගත් වන්නේ, එදා සමාජයට අතිශය වැදගත් කාරණා සම්බන්ධයෙන් එවැනි ආචාර ධාර්මික පද්ධතියක් එදා සකසා ගත්තේය යන්නයි. විධානයන් වශයෙන් සංගෘහිත කොට ඇති එම කාරණා දහය සෑම පුද්ගලයෙකුමත්, සෑම පරම්පරාවක්මත් පිළිපැදිය යුතු නියමයන් වශයෙන් සැළකිණ.

බෞද්ධ සම්ප‍්‍රදායේ එන ආර්ය අෂ්ටාංගික මාර්ගය, මිනිසුන් අතරේ සදාචාරමය සහ ආචාර ධාර්මික පද්ධතියක් ස්ථාපිත කෙරුණු තවත් එවැනි අවස්ථාවකි. බුදුන් වහන්සේ සහ උන්වහන්සේගේ අනුගාමිකයන් මේ ධර්ම පද්ධතිය දේශනා කරන අතරේ, ශ්‍රේෂ්ඨ පාලකයෙකු වූ ධර්මාශෝක රජු එය ස්වකීය රාජ්‍ය ප‍්‍රතිපත්තිය බවට පත්කරමින්, එය සිය රාජධානිය තුළ ව්‍යාප්ත කරලීමෙහි නිමග්න විය. රාජ්‍ය බලය යොදා ගනිමින්, සමාජ පදනමක් වශයෙන් ආචාර ධාර්මික පද්ධතියක් ක‍්‍රියාත්මක කිරීමට ධර්මාශෝක රජු කටයුතු කෙළේය. ඒ පද්ධතිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සෑම පියවරක්ම ගත්තේය. එසේ කිරීමේ පේ‍්‍රරණය ඔහුට ආවේ, ඊට කලින් සහ ඔහුගේ රාජ්‍ය කාලය තුළත් පැවති ජෛන සහ බෞද්ධ වැනි ධර්ම ව්‍යාපාර තුළිනි. මේවා ඉන්දියාව අවට වෙනත් රටවලටත් පැතිරෙමින් විශ්ව ධර්මතා බවට පත්විය. ඔහු තමාගේම පුත් මහින්ද හිමියන්ව ලංකාවට එව්වේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. ඒ ඉතිහාසය කවුරුත් දනිති.

ශිෂ්ටාචාරය වර්ධනය වෙත්ම, හරි වැරැුද්ද පිළිබඳ පොදු ප‍්‍රකාශන නිකුත් කිරීමෙන් පමණක්, වැරදි හරි ගස්සා ගත නොහැකි බව අවබෝධ විය. එසේ වූ කල, අපරාධ නඩු විභාග කෙරෙන අධිකරණ පද්ධති ගොඩනැංවුණි. නීතිමය අර්ථයකින් අපරාධ නිර්වචනය කෙරුණි. ආචාර ධාර්මික ප‍්‍රකාශයක් නිකුත් කිරීම සහ අපරාධයක් ප‍්‍රකාශයට පත්කිරීම අතර ඇති වෙනස වන්නේ, අපරාධයක් වශයෙන් සැළකෙන ඕනෑම ක‍්‍රියාවකට දඬුවම් කිරීමේ ප‍්‍රධාන බලය රාජ්‍යයට පැවරීමයි. ඒ අනුව, මිනීමැරුම මරණීය දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා වන සිර දඬුවමකින් දඬුවම් ලැබිය යුතු බරපතල අපරාධයක් තත්වයේ ලා සැළකුණි. ඒ හා සමානවම, ලිංගික අපහරණය, මත්ද්‍රව්‍ය ජාවාරම සහ දූෂණය වැනි ක‍්‍රියාවන්, ඒ ඒ ක‍්‍රියාවට නියමිත දඬුවම් යටතේ, බරපතල අපරාධ වශයෙන් අර්ථ ගැන්වුණි.

ඇතැම් ක‍්‍රියාවන් අපරාධ වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීමෙන් පමණක්, රාජ්‍යයක වගකීම අවසන් වන්නේ නැත. අපරාධ විභාග කිරීමේ යාන්ත‍්‍රණ දියුණු කිරීමත් රජයේ වගකීමකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සහ නූතන පොලිස් දෙපාර්තමේන්තු වැනි ආයතන බිහි වන්නේ එයාකාරයෙනි. මෙවැනි ක‍්‍රමයක ප‍්‍රධාන රාජකාරිය වන්නේ, අපරාධ වහා විභාග කෙරෙන බවටත්, එම අපරාධ කරන අයවළුන් අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කෙරෙන බවටත්, අවසානයේ නිසි පරීක්ෂණවලින් පසුව ප‍්‍රසිද්ධියේ නඩු විභාග කොට යමෙකු වැරදිකරු වුවහොත් නීතියෙන් ඔහුට දඬුවම් පැමිණවෙන බවටත් විශ්වාසයක් ජනතාව තුළ ඇති කිරීමයි.

මෑත සියවස් ගණනාව තිස්සේ ගොඩනැගුණු ශිෂ්ටාචාරය තුළ අපරාධ නඩු විධාන පරිපාටි සංගෘහිත කොට ඒවා ක‍්‍රියාත්මක කෙරී ඇත. හරි වැරැද්ද සමාජයක් විසින් පිළිගනු ලැබීම පමණක් නොව, එය බලාත්මක කැරැවීමත් සිදුවන්නේ එයාකාරයෙනි. කෙසේ වෙතත්, මෙවැනි අපරාධ පිළිබඳ නීති පද්ධති බලාත්මක කළ නොහැකි අවස්ථා ද තිබේ. උදාහරණයක් වශයෙන්, සමාජයක් අන්තයට කඩා වැටෙන අවස්ථාවක් ගත හැකිය. මීට හොඳම උදාහරණයක් වන්නේ, පළමු ලෝක යුද්ධයෙන් පසු ජර්මනියේ ඇති වූ තත්වයයි. ජර්මනිය, ඉතාලිය සහ තවත් රටවල් ගණනාවක් තුළ ෆැසිස්ට්වාදය, එම රටවලට මහත් විනාශයක් අත්කර දෙමින් වර්ධනය විය. සාමාන්‍ය තත්වයන් යටතේ වැරදි වශයෙන් සැළකුණු ක‍්‍රියාවන්, මේ ෆැසිස්ට්වාදී තත්වය යටතේ සාමාන්‍ය ක‍්‍රියාවන් බවට පත්විය. පරම වැරදි වශයෙන් එතෙක් සැළකුණු මිනීමැරීම සහ ස්ත‍්‍රී දූෂණය වැනි බරපතල අපරාධ සිදුවුණේ සමාජයේ ‘අපතයන්’ යැයි සැළකුණු අයවළුන්ට එරෙහිව නම්, ඒවා අපරාධ වශයෙන් නොතකා හැරීමේ ප‍්‍රවණතාවක් එදා ඇති විය. ෆැසිස්ට්වාදියෙකු, කොමියුනිස්ට්වාදියෙකුව සැළකුවේ, ‘අපතයෙකු’ වශයෙනි. සාමය වෙනුවෙන් පෙනී සිටින හෝ යුද්ධයට සම්බන්ධ නොවන ඕනෑම කෙනෙකු, යුද්ධය වෙනුවෙන් සැදීපැහැදී සිටි අය ඉදිරියේ, ‘අපතයන්’ විය. එවැන්නන් ඝාතනය කිරීම බරපතල සේ ගත යුතු නැතැයි සැළකිණ.

එවැනි යුගයක, සමාජයක හරි වැරැද්ද පිළිබඳ හැඟීම බරපතල සේ හෑල්ලූවට ලක් වෙයි.

                                                                                               බැසිල් ප‍්‍රනාන්දු

ශ‍්‍රී ලංකාව බොහෝ කාලයක් තිස්සේ අර්බුදවලට ලක්වී, විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණු කැරැල්ලෙන් පටන් ගෙන එය මර්දනය කිරීමත්, අනතුරුව ගත වූ දශක කිහිපයක් තිස්සේ අත්දුටු නිරන්තර ප‍්‍රචණ්ඩත්වයත් හේතුවෙන්, එම අදියරට දැන් ළඟා වී සිටීද? ප‍්‍රචණ්ඩත්වය නිසා පමණක් නොව, ඒකාධිපති දේශපාලනික හැලහැප්පිලි නිසාත්, රටක හරි වැරැුද්ද පිළිබඳ අදහස අනතුරට පාත‍්‍ර වන්නේය. ඒකාධිපති පාලකයා, ස්වකීය හතුරන් මර්දනය කිරීම සඳහා බුද්ධි සේවා සහ වෙනත් සේවාවන් ප‍්‍රයෝජනයට ගනී. එම හතුරන්ට කුමක් වුවත්, එය වැදගත් දෙයක් සේ නොසැළකෙයි. මෙවැනි අවස්ථාවක අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේ සාමාන්‍ය ක‍්‍රියාවලිය අතහැර දැමෙන තරම කෙතෙක්ද යත්, එවැනි අපරාධ කළ තැනැත්තන් වීරයන් වශයෙන් සැළකෙන අදියරකටත් ළඟා වෙයි. එවැනි යුගයක් ඕනෑම සමාජයකට අබුද්දස්ස කාලයක් වන්නේය.

පසුගිය 40 වසරක කාලය තුළ වාර්තා වු විවිධ සිදුවීම් පරීක්ෂා කර බැලීමේදී, ලංකාව මේ අදියරට, බරපතල අපරාධ සාමාන්‍ය සිදුවීම් සේ සැළකෙන අදියරට ලඟා වී ඇති බව පෙනේ. පොළොව නුහුලන අපරාධයක් පවා විමර්ශනයට ලක්කර ගැනීමට සිදුවන්නේ ඉඳහිට ඇති වන මහා උද්ඝෝෂණ හරහා පමණක් බව පෙනෙන්ට තිබුණි. එහිදී පවා, මූලික විමර්ශන කටයුතුවලින් පසුව කුමක් සිදුවේද යන්න පිළිබඳ නිශ්චිතතාවක් නැත.

ශ‍්‍රී ලංකාවේ අනීතික භාවය ගැන ඕනෑ තරම් සාකච්ඡ කොට තිබේ. ඒවා විස්තරාත්මකව ලේඛනගත කොට තිබේ. එබැවින් ඒ ගැන මේ අවස්ථාවේ සඳහන් කිරීම අවශ්‍ය නැත. දැන් ප‍්‍රශ්නය වන්නේ, සමාජයක් වශයෙන් හරි වැරැද්ද පිළිබඳ ශ‍්‍රී ලාංකීය හැඟීම යම් ආකාරයකින් පල්ලම් බැස තිබේද යන්නයි. ඒ ප‍්‍රශ්නය අද අප අවංක සැළකිල්ලට නොගත්තොත්, අපේ සමාජය විනාශයෙන් අන්ත විනාශයට පත්වෙනු නිසැකයි.

අපරාධ පිළිබඳ ප‍්‍රශ්නය තම සමාජයේ හරි වැරැද්ද පිළිබඳ ප‍්‍රශ්නයක් වශයෙන් විභාගයට ලක්කිරීමේ වගකීමක් සෑම පුද්ගලයෙකුටම තිබේ. විශේෂයෙන්, සමාජ අභිවෘද්ධිය සඳහා අදහස් උදහස් දක්වන පුරෝගාමීන්ට ඒ වගකීම වැඩියත්ම පැවරේ. හරි වැරැද්ද පිළිබඳ ආකල්ප අභියෝගයට ලක්වන අවධීන්ම, මහා ව්‍යාපාර හටගන්නා අවධීන් ද වෙයි. බටහිර සේම පෙරදිග සමාජවලද, මහා සදාචාරමය ව්‍යාපාර පැනනැගී ඇත්තේ එවැනි අභියෝග පැවති අවධීන්හි දී ය. එමගින්, මහා ප‍්‍රාඥ ප‍්‍රවර්ධනයන් එම සමාජ විසින් අත්පත් කරගෙන තිබේ.

ශ‍්‍රී ලංකාව අද ගත කරන ඓතිහාසික මොහොත, හරි වැරැද්ද පිළිබඳ හැඟීම නැවත වරක් නිවැරදිව අර්ථ ගන්වමින් සහ බලාත්මක කරවමින් වඩාත් ස්ථාවර සමාජයක් කරා සංක‍්‍රමණය වීමේ විභවය පාවිච්චියට ගත යුතු මොහොතකි. නැතහොත් සිදුවන්නේ, මහා විනාශකාරී යුගයකින් පසු, ඊටත් වඩා විනාශකාරී යුගයකට පල්ලම් බැසීමට සිදුවීමයි.

(2016 අපේ‍්‍රල් 22 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ “Losing the Sense Of Right & Wrong” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’).


                                                                -  මෙලනි

Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.