English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
නිදහස් භාෂණය පිළිබඳ ශ‍්‍රී ලාංකීය පාඩමක් ...
(2016-02-24)

<< Go Back
Share |   



ශ‍්‍රී ලංකාවේ යාපනේ පැවති ගාලූ සාහිත්‍ය උත්සවයේදී මම කතාවක් පැවැත්වුයෙමි. රටේ දකුණුදිග ගාල්ලෙන් බිහි වූ මෙම සාහිත්‍ය උළෙල පසුගිය දශකයක කාලය තුළ ශ‍්‍රී ලාංකීය සංස්කෘතික අන්තරීක්ෂයේ දීප්තිමත් එළියක් විහිදුවා තිබේ. මේ වසරේදී එම උළෙල දකුණෙන් එළියට ගියේය. ඒ, කන්ද උඩරට නුවරට සහ උතුරේ යාපනයටයි.

මෙම උළෙල උතුරේ අග නගරයට ගෙන යාම ඉතා වැදගත් ය. දෙමළ ඊලාම් කොටි සංවිධානය සහ ශ‍්‍රී ලංකාවේ හමුදාව අතර සිදු වූ රුදුරු යුද්ධය අවසන්ව අවුරුදු හතක්වත් තවම ගතව නැත. උතුරේ බොහෝ දේවල් නැවත පිළිසකර කොට තිබේ. එහෙත්, යුද්ධයේ අවතාර තවමත් යාපනේ හොල්මන් කරයි. වෙඩි උණ්ඩවලින් දැදුරු වු අනේක ගොඩනැගිලි මෙන්ම, යුද්ධාවසානයේ නැති වූ දහස් ගණන් ජීවිත තවම එහි හොල්මන් කරති.

එම පසුබිම තුළ, යාපනය වැනි තැනක නිතර සිදු නොවන ආකාරයෙන් පැවති මේ උළෙල හේතුවෙන් ඉතා පුළුල් අදහස් හුවමාරුවකට අවස්ථාව සැපයුණි. සාකච්ඡාව ඇරැඹුණේ, දෙමළ අනන්‍යතාව හැඩගැස්වීමේ සහ අර්ථ නිරූපණය කිරීමේ දීර්ඝ වූත්, වැදගත් වූත් ඉතිහාසයක් ඇති දෙමළ සාහිත්‍ය ඇසුරිනි.

පළාතේ වෙසෙන ජනතාවගේ හැඟීම් ගැන සැළකිලිමත් වෙමින් උළෙලේ සංවිධායකයන් මෙය පැවැත්වීමට කටයුතු යොදා තිබුණේ දෙමළ භාෂාවෙනි. එසේ වෙතත්, විශේෂය වන්නේ, සෑම සාකච්ඡා මණ්ඩප සාමාජිකයෙකු මෙන්ම සභාවේ සිටි බොහෝ දෙමළ ලේඛකයන්ද ඊට විරෝධය පාමින්, එය ඉංග‍්‍රීසියෙන් පැවැත්විය යුතුව තිබුණු බව පෙන්වා දීමයි. ‘‘අපි අපිටම කතා කරගෙන වැඩක් නැතැ’’ යි එක් කෙනෙක් කීය.

එය මා ඊට පෙර දැක පුරුදු තත්වයක් නොවේ. ප‍්‍රජා අනන්‍යතාව පිළිබඳ විවිධ සාකච්ඡාවලට යුරෝපයේදීත්, ඇමරිකාවේදීත් මා සහභාගී වී තිබේ. එහෙත් බටහිර දී බොහෝ විට අනන්‍යතා දේශපාලනයේ අරමුණ වන්නේම ‘‘තමාටම කතා කර ගැනීම’’ වන බව මගේ අත්දැකීමයි. එක සංස්කෘතියක් විසින් (විශේෂයෙන් වරප‍්‍රසාදිත සංස්කෘතිය විසින්) වෙනත් සංස්කෘතියක සංකේත සහ අදහස් ප‍්‍රයෝජනයට ගනු ලැබීම හෙවත් ‘‘සංස්කෘතික අනුයෝජනය’’ හෙළාදැකීම අද මෝස්තරයක් වී ඇති බව මෙහිදී පෙන්වා දිය හැක. එම තත්වය නිසා විටෙක විකාර පියවරද ගෙන තිබේ. උදාහරණයක් වශයෙන්, බි‍්‍රතාන්‍යයේ එක් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයක්, මෙක්සිකෝවේ සම්ප‍්‍රදායික විලාසිතාවක් වන් ‘‘සොම්බ්‍රෙරෝ’’ තොප්පි විශ්ව විද්‍යාල භූමිය තුළ පැළඳීම සහ විශ්ව විද්‍යාලයේ යෝග පංති පැවැත්වීම තහනම් කර තිබීම දැක්විය හැක. මොවුන් මෙහිදී අමතක කරන එක් කාරණයක් තිබේ. එනම්, එකිනෙකාගෙන් ණයට නොගන්නා, එකිනෙකාගෙන් සොරකම් කර නොගන්නා සහ එකිනෙකාගෙන් අත්පත් කර නොගන්නා සංස්කෘතියක් ලෝකයේ කොහේවත් නැති බවයි.

යාපනේ අනන්‍යතාව පිළිබඳ සාකච්ඡාව කෙරුණේ ඊට බෙහෙවින් වෙනස් වියමනකිනි. එහි වෙසෙන දෙමළ ජනතාවට, සංස්කෘතිය යනු, සෙසු ලෝකයාගෙන් ආරක්ෂා වීම සඳහා යොදා ගත යුතු මුර කපොල්ලක් නොව, එම ලෝකයා සමග නියැදීමේ මාර්ගයකි.

ඊට දින කිහිපයකට පෙර, ශ‍්‍රී ලංකාවේ අගනුවර වන කොළඹ පැවති එක් උත්සව සභාවක ප‍්‍රතිචාරය මෙයාකාරයෙන්ම මාව මවිතයට පත්කෙළේය. එහිදී මගේ මුල් කාලයේ ජීවිතය ගැන, අනන්‍යතාව පිළිබඳ මගේ හැඟීම ගැන, නිදහස් භාෂණය සහ වාරණය ගැන මගෙන් ප‍්‍රශ්න කෙරුණි. එවිට අනන්‍යතා දේශපාලනය ගැන මගේ විවේචනයත්, කෙනෙකුගේ සිත් රිදවිය හැකි අදහස් උදහස් ප‍්‍රකාශ කිරීමට ඇති කැමැත්තත් මම කියා සිටියෙමි. විශේෂයෙන්ම, ප‍්‍රංශයේ උපහාසාත්මක සඟරාවක් වන ‘‘චාලි හෙබ්දෝ’’ ප‍්‍රකාශනය කෙරෙහි එල්ල වන ජාතිවාදී චෝදනාවන්ට එරෙහිව මම කරුණු දැක්වීමි.

මේ හා සමානම සභා රැස්වීම්වල, මේ හා සමානම මාතෘකා යටතේ, යුරෝපයේදී මා කතා කොට තිබෙන අතර. ඒ සම්බන්ධයෙන් සෑහෙන විවේචනයන්ට ලක්ව ඇත්තෙමි. අනෙක් අයගේ සිත් රිදවීමට ඔබට අයිතිය ලැබෙන්නේ කෙසේදැ යි මගෙන් ප‍්‍රශ්න කොට තිබේ. නිදහස් භාෂණයේ අයිතිය ලැබෙන්නේ, එය වගකීමකින් යුතුව පාවිච්චි කිරීමේ කොන්දේසියත් සමග බව මට බොහෝ දෙනා මතක් කර දී තිබේ.

බි‍්‍රතාන්‍යයේ සිදුවූ එක් විවාදයකදී, මා සමග සාකච්ඡා මණ්ඩපයේ සිටි වෙනත් සගයෙක් ‘‘චාලි හෙබ්දෝ’’ සිද්ධිය ගැන කතා කරමින්, එම සංවාදය නිදහස් භාෂණයට පක්ෂ සහ විපක්ෂ කළු-සුදු කාරණයක් බවට පත්ව තිබීම ගැන සිය කණගාටුව පළ කෙළේය. කෙනෙකුට නිකංම නිදහසට විරුද්ධ වීමට හෝ පක්ෂ වීමට නොහැකි බවට ඔහු තර්ක කෙළේය: ‘‘කාරණය ඊට වඩා සංකීර්ණ වන බව’’ ඔහු කියා සිටියේය.

මීට අවුරුදු 200 කට ඉහතින්, වහල් ක‍්‍රමය අහෝසි කිරීම පිළිබඳ කතිකාවේදීත් මෙම සාකච්ඡාකරු සිටියේ නම් එම තර්කයම මතු කරනු ඇත්දැයි මම සිතන්නට වීමි. ‘‘කෙනෙකුට නිකංම වහල් ක‍්‍රමයට විරුද්ධ වෙන්න හෝ නිකංම ඒකට පක්ෂ වෙන්න හෝ බැහැ. නිදහස කියන්නේ ඊට වඩා සංකීර්ණ දෙයක්’’ යනුවෙන් ඔහු කියනු ඇත්ද?

කොළඹ සභාවට එවැනි ප‍්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට මට සිදු නොවුණි. එම සභාවේ සිටි පිරිස නිදහසේ වැදගත්කම, විශේෂයෙන් නිදහස් භාෂණයේ වැදගත්කම අධ්‍යාහාරයෙන් අවබෝධ කරගෙන උන්හ. ‘‘චාලි හෙබ්දෝ’’ සඟරාවේ පළ වූ කාටුන් ගැන විවේචනය කළ අයවළුන් පවා, එම සඟරාවට ඒවා පළ කිරීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටියහ.

වාර්ගික, ආගමික සහ කට්ටිවාදී ආතතීන් ශ‍්‍රී ලංකාවේ ගැඹුරින්ම තිබේ. දෙමළ කොටි සංවිධානය ලෞකික ව්‍යාපාරයක් විය. එහෙත් එය කට්ටිවාදී ව්‍යාපාරයක්ද විය. යුද්ධය සහ එහි ප‍්‍රතිවිපාක ගැන ලියැවුණු, සමන්ත් සුබ‍්‍රමානියම්ගේ ‘‘මේ බෙදුණු දිවයින’’ නැමැති ඉතා අගනා කෘතියේ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වන දැඩි මතධාරී හින්දු ආගමිකයෙකු පවසන්නේ, කොටි සංවිධානය පැරදුණේ ඔවුන් ආගම මත පදනම් නොවී භාෂාවක් මත පදනම් වීම නිසා බවයි.

ඇත්ත වශයෙන්ම, යුද්ධය අවසන් වීමෙන් පසු, ලංකාවේ අන්තවාදී ආගමික ව්‍යාපාරවල වර්ධනයක් දකින්ට ලැබේ. උදාහරණයක් වශයෙන්, දෙමළ ජනතාව වෙනුවට, මුස්ලිම් ජනතාව ඉලක්ක කර ගත් දරුණු බෞද්ධ ව්‍යාපාරයක් දැන් එරටේ බිහි වී ඇත.

ලංකාවේ ඉස්ලාම් ආගමත් වෙනස් වෙමින් තිබේ. පෙරදී එය, සාපේක්ෂ වශයෙන් ගත් විට, විවෘත වුත්, නිස්කලංක වූත් භක්තියක් විය. එහෙත් අද වන විට මොන තරම් මුස්ලිම් කාන්තාවන් ‘බුර්කා’ ඇඳුමෙන් සැරසී සිටින්නේදැයි දැකීමෙන් මම මවිත වීමි. එය, මීට දශක කිහිපයකට ඉහතදී සිතාගත හැකිව තිබූ දෙයක් නොවේ. බොහෝ ශ‍්‍රී ලාංකීය මුස්ලිම් ආගමිකයන් ශ‍්‍රමිකයන් වශයෙන් ගල්ෆ් රාජ්‍යයන් වෙත ඇදී ගොස් ඇති අතර ආපසු ඔවුන් එන්නේ ඉස්ලාම් දහමේ දැඩි මතවාදත් කරපින්නාගෙනයි.

ශ‍්‍රී ලංකාවේ ආගමික රැඩිකල්වාදය තවම පවතින්නේ ළදරු මට්ටමකයි. එය වෙනත් දකුණු ආසියානු රටවල වඩාත් පැහැදිළිව පෙනෙන්ට තිබේ. මියන්මාරයේ බෞද්ධ අන්තවාදයේ වැඞීම, ඉන්දියාවේ හින්දු අන්තවාදයේ නැගීම සහ පාකිස්ථානයේ සහ බංග්ලාදේශයේ ඉස්ලාම් අන්තවාදයේ හිස එසැවීම උදාහරණ වශයෙන් පවතී.

යාපනේ සහ කොළඹදී සභාවෙන් නැගුණු අදහස් වැදගත් වන්නේ එවැනි පසුබිමක් තුළ ය. එම අදහස බොහෝ විට බටහිරදී නොසළකා හැරේ. කට්ටිවාදී සහ මූලධර්මවාදී කණ්ඩායම්වලින් එහාට දැකීමේ හැකියාවක් ඔවුන්ට ඇති බවක් නොපෙනේ. එවැනි අදහස් සහ අන්තවාද ප‍්‍රතික්ෂේප කරන පිරිස් සිටින බව ඔවුහූ අමතක කරති. ‘‘සංස්කෘතික අනුයෝජනය’’ තහනම් කරන්නැයි ඉල්ලීමෙන් ඔවුන් කරන්නේ, අනන්‍යතාව ගැන, සංස්කෘතිය සහ නිදහස් භාෂණය ගැන ඔවුන් ඇති කරගන්නා අදහස් තුළින් කට්ටිවාදීන්ට වැඩි අවසරයක් ලබා දීම මිස ඊට එරෙහිව පෙනී සිටින්නන්ට සෙතක් සැළසීම නොවේ.

අපට අවශ්‍ය කරන්නේ වඩාත් විවෘත සමාජයක්ද, වඩාත් ආවෘත සමාජයක්ද? කොළඹදී වේවා, යාපනේදී වේවා, ලන්ඩන් නුවරදී වේවා, ප‍්‍රශ්නයේ හරය ඇත්තේ එතැනයි. සාපේක්ෂ වශයෙන් විවෘත බටහිර සමාජයේ බොහෝ දෙනා ඉල්ලා සිටින්නේ කණ්ඩායම් අතර තව තවත් බාධක ඇති කරවන ලෙසයි. නිදහසේ කොන්දේසි වඩාත් දුර්වල රටවල, වැඩි වැඩියෙන් නිදහස ලබා ගැනීමේ වැදගත්කම අවබෝධ කරගන්නා තත්වයක් දක්නට ලැබේ. අප සියල්ලන්ම ඒවාට සවන්දිය යුතුය.


කෙනන් මලික්

(2016 පෙබරවාරි 22 වැනි දා ‘ද නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පතේ පළවූ A Sri Lankan Lesson in Free Speech නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.)


- Melani







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.