English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගත යුත්තේ කෙසේ ද? ක‍්‍රියාවලිය ආශ‍්‍රිත අභියෝග
(2016-02-13)

<< Go Back
Share |   


[මෙහි පළමු කොටස +  දෙවන කොටස මීට පෙර පළවිය.]

මෑත සතිවල දී, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් විවාදයක් සිදු වී ඇත. වර්තමාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ සවිස්තරාත්මකව දක්වා තිබෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියා පටිපාටිය (82 හා 83 වගන්ති) අනුගමනය කිරීමට අදහස් කරන බව, ආණ්ඩුව නිසැක වශයෙන් ම පැහැදිලි කර ඇත. පාර්ලිමේන්තුව තුනෙන් දෙකේ බහුතර ඡන්දයකින් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කළ යුතු අතර, ඉන් පසුව ජනතාව ජාතික ජනමත විචාරණයක දී එම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුමත කළ යුතු ය.

ඉහත සැකෙවින් දක්වා ඇති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සඳහා වන තාර්කික පදනම සලකන කල, පාර්ලිමේන්තුව හෝ පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම හෝ සම්මත කිරීම, සුදුසු නොවන බව පැහැදිලි ය. පාර්ලිමේන්තුව යනු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ නිර්මාණයක් වන අතර, ස්වෛරී ජනතාවගේ අභිමතය පිළිබිඹු කළ යුතු යැයි ද දේශපාලනඥයන්ගෙන් ජනතාව ආරක්ෂා කළ යුතු හා දේශපාලනඥයන් හමුවේ ජනතාව බල ගැන්විය යුතු යැයි ද අපේක්ෂිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට යටත් විය යුතු වේ. සක‍්‍රිය හා ඵලදායක ජනතා සහභාගිත්වයකින් තොරව පාර්ලිමේන්තු කමිටුවක් විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සැලසුම් කිරීම, අවශ්‍යතාවන් අතර බරපතළ ගැටුමකට තුඩු දෙන්නකි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ දී, වඩා පුළුල් වූත්, සියල්ලන් වැඩි වැඩියෙන් ඇතුළත් කර ගන්නා වූත් ප‍්‍රවිෂ්ටයක් අවශ්‍ය බව දැන සිටි දකුණු අප‍්‍රිකාව හා නේපාලය වැනි සමහර රටවල්වල දී, නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම හා සම්මත කිරීම සඳහා සියල්ලන් ඇතුළත් කර ගත් ආණ්ඩුක‍්‍රම සම්පාදක මණ්ඩලයක් පත් කිරීම වැනි සුවිශේෂ පියවරයන් යොදා ගෙන, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදන කාර්යයේ අසමසම ස්වභාවය පිළිගත් බව සහතික කෙරිණ. ආණ්ඩුක‍්‍රම සම්පාදක මණ්ඩලයකට, නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම හා සම්මත කිරීම සඳහා, සංස්ථාපන බලතල ඇත. ව්‍යවස්ථාවෙන් බැහැර වූ එවැනි ක‍්‍රියාවලියක් සඳහා ජනතාවගෙන් වරමක් ලැබී නැති නිසා, එවැනි විකල්පයක් ශ‍්‍රී ලංකාව තුළ නො වී ය. එපමණක් නො වේ. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවන් කෙටුම්පත් කිරීම න්‍යාය විරෝධී වුව ද, ප‍්‍රායෝගික සලකා බැලීම් හා දේශපාලනික යථාර්ථයන් විසින් ඉල්ලා සිටින්නේ, ජනතාව විසින් තෝරා පත් කරන ලද නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියට නායකත්වය දිය යුතු බව යි. කෙනෙකුට කළ හැක්කේ, ඔවුන් තම සාමාන්‍ය ව්‍යවස්ථාදායක කාර්යයන්හි දී මෙන් නො ව, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදනය හා බැඳී තිබෙන සුවිශේෂ වගකීම් හඳුනා ගෙන කටයුතු කරති යි, බලාපොරොත්තු වීම පමණකි.

එම නිසා ආණ්ඩුව, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය තුළ ජනතාව ක‍්‍රියාකාරී ලෙස සම්බන්ධ වීමට අවශ්‍ය කරන විධිවිධාන සම්පාදනය කිරීමට උත්සාහ කරන්නා වූත්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය තුළ සහභාගි වීමේ දී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් තම සුවිශේෂ වගකීම් හඳුනා ගන්නා බව සහතික කරන්නා වූත්, ඒ අතරවාරයේ වර්තමාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ පවත්නා සංශෝධනය කිරීමේ හා අවලංගු කිරීමේ ක‍්‍රියා පටිපාටි ද අනුගමනය කරන්නා වූත් ක‍්‍රියාවලියක් යෝජනා කර ඇත. උපරිම ජනතා සුපරීක්ෂාවට හා සම්බන්ධයට පහසුකම් සැපයෙන අයුරින්, නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක හරය සාකච්ඡා කිරීම සඳහා පමණක් අවධානය යොමු කිරීමට, පාර්ලිමේන්තුව (ආණ්ඩුක‍්‍රම සම්පාදක මණ්ඩලයක් ලෙස නො ව) ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවක් ලෙස අසුන් ගත යුතු යැයි එය යෝජනා කර ඇත. ඉන් පසුව, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර, එවිට පාර්ලිමේන්තුවට තුනෙන් දෙකේ බහුතර ඡන්දයකින් එය සම්මත කළ හැකි ය. මෙය ඉටු වූයේ නම් එවිට, ජාතික ජනමත විචාරණයක දී අනුමත කිරීම සඳහා, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ජනතාව වෙත ඉදිරිපත් කරනු ලැබේ.

සමහර විරුද්ධ පක්ෂ නායකයන්, වඩා යහපත් විකල්පයක් ඉදිරිපත් කිරීමෙන් තොරව, ඉහත සැකෙවින් දක්වා ඇති ක‍්‍රියාවලියට විරුද්ධ වී තිබීම කණගාටුවට කරුණකි. මෙම නායකයන්ගෙන් බොහෝ දෙනෙක්, 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කළ තැන් සිට ම ඊට විරුද්ධ වී ඇති අතර, එය අවලංගු කොට ඒ වෙනුවට නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බව, නැවත නැවතත් අවධාරණය කර ඇත. ආණ්ඩුව යෝජනා කර ඇති ක‍්‍රියාවලිය ගැන සැකසංකා පවතින්නේ නම්, ඔවුන්ගේ යුතුකම වන්නේ, ඉහත සැකෙවින් දක්වා ඇති ව්‍යවස්ථානුකූල ආණ්ඩුව පිළිබඳ ප‍්‍රමුඛතම මූලධර්මවලට අනුකූල වූ, වඩා යහපත් විකල්පයක් යෝජනා කිරීම යි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය හර සාරධර්ම හා මූලධර්ම ආරක්ෂා කිරීම සඳහා ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වර්ධනය කරන ලද මූලික අංග පද්ධතිය ශ‍්‍රී ලංකාව තුළ දී ද අදාළ කර ගත හැකි ය යන තර්කය හාස්‍ය ජනක ය. ඉන්දියානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කරන ලද්දේ, ඉන්දියාව නිදහස ලැබ කෙටි කලකින් ආණ්ඩුක‍්‍රම සම්පාදක මණ්ඩලයක් විසින් සිදු කරන ලද්දා වූත්, සියල්ලන් ඇතුළත් කර ගත්තා වූත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වූත් ආණ්ඩුක‍්‍රම සම්පාදන ක‍්‍රියාවලියකින් පසුව ය. ඉන්දියානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව, එවක බලයේ සිටි පක්ෂයේ ප‍්‍රයෝජනය පිණිස සැලසුම් කරන ලද පක්ෂග‍්‍රාහී ලියවිල්ලක් නො වී ය.

එය පක්ෂ දේශපාලනයට ඉහළින් නැගී සිටී, උත්තරීතර වේ, පොදුවේ ගත් කල ඒකමතික ලියවිල්ලක් ලෙස පවතී. ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය, ජනතාව හා ඔවුන්ගේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ඔවුන්ගේ දේශපාලනඥයන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා, මූලික ව්‍යූහ පද්ධතිය වර්ධනය කළේ, එවැනි වාතාවරණයක් තුළ දී ය. එම මූලික ව්‍යූහ පද්ධතිය, ජේ.ආර්. ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතාවන් පිළිබිඹු කළා වූත්, පක්ෂග‍්‍රාහී වූත්, අතිමූලික දෝෂවලින් සමන්විත වූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකට අදාළ කිරීම, මුළුමනින් ම නුසුදුසු ක‍්‍රියාවක් වන අතර, ඉන් පෙන්නුම් කෙරෙන්නේ, ශ‍්‍රී ලාංකික යෝජනා කරන්නන්ගේ පාර්ශ්වය, එම පද්ධතියට පාදක වූ අතිමූලික තාර්කික පදනම අගය නොකරන බව යි.

නිගමනය

ව්‍යවස්ථානුකූල ආණ්ඩුව පිළිබඳ ප‍්‍රමුඛතම මූලධර්මවලට අනුකූල වන්නා වූත් මෙම අංග ඇතුළත් කර ගන්නා වූත් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගත හැක්කේ, ජනාධිපතිවරයා හා ඔහුගේ පක්ෂය ද අගමැතිවරයා හා ඔහුගේ පක්ෂය ද විරුද්ධ පක්ෂ නායකයා හා ඔහුගේ පක්ෂය ද, එක්ව වැඩ කළ හොත් සහ සුළුතර පක්ෂවල හා ජවිපෙ සහාය ද ප‍්‍රයෝජනයට ගත හොත් පමණකි. ඊළඟ මාස කිහිපය තුළ දී, මෙම පක්ෂ හා බලවේග අතර, අනිවාර්යයෙන් ම වෙනස්කම් හා තරගකාරිත්වයන් පවතිනු ඇත. කෙසේ වුව ද, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියට නායකත්වය දීමේ ඉතා වැදගත් වගකීමට උර දීම සඳහා, එවැනි බෙදීම් ඉක්මවා යාමට ඔවුන් අධිෂ්ඨාන කර ගත යුතු ය. මෙය ජනතාවට අධ්‍යාපනය ලබා දීමේ හා ජනතාව සම්බන්ධ කර ගැනීමේ ක‍්‍රියාවලියක් සමග සම්පාත විය යුතු ය. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව, හුදෙක් පහසුව අත් කර ගැනීම උදෙසා වූ දේශපාලනික ගනුදෙනුවක් නො ව, අතීතයේ පාඩම් උගෙනීම සඳහාත්, ව්‍යවස්ථානුකූල ආණ්ඩුව හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීම සඳහාත්, රට තුළ පවත්නා විවිධ දේශපාලනික, ජනවාර්ගික හා ආගමික කණ්ඩායම් අතර පුළුල් ඒකමතිකත්වයක් තිබෙන නව සමාජ ආශ‍්‍රයක් පන්නර ගැන්වීම සඳහාත් දැරෙන අව්‍යාජ ප‍්‍රයත්නයක් බව සහතික කළ හැක්කේ එවිට ය. 2016 දී ඇරඹෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය වෙනස පිළිබඳ ක‍්‍රියාවලිය, එවකට විරුද්ධ පාර්ශ්වීය එක්සත් ජාතික පක්ෂය වගකීම් විරහිතව ක‍්‍රියා කිරීම හා ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය සැබවින් ම කඩාකප්පල් කිරීම නිසා 1995-2000 ක‍්‍රියාවලිය අත් විඳි ඉරණමට, ගොදුරු නො විය යුතු ය. අපගේ දේශපාලනඥයන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ”ඇඟිලි ගැසීම” නතර කළ යුතු ය. ශ‍්‍රී ලංකාව, සැබවින් ම පක්ෂග‍්‍රාහී නොවූත්, ඒකමතික වූත්, උත්තරීතර වූත් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ලැබීමට සුදුසු ය.

Rohan Edhirisingheරොහාන් එදිරිසිංහ | Rohan Edirisinghe

- Melani



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.