English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය ඇයි?
(2016-02-02)

<< Go Back
Share |   



ජනතා පරමාධිපත්‍යය

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක මුලික අරමුණ විය යුත්තේ ජනතා පරමාධිපත්‍යය සුරැකීමයි. ජනතා පරමාධිපත්‍යය යනු වචනයට සීමාවිය යුත්තක් නොවේ. එමගින් ගම්‍ය වන්නේ පාලනයට පමණක් නොව රට ක‍්‍රියාත්මක වන පාලන සහ සංවර්ධන ක‍්‍රියාදාමයන්ගේ සහභාගීත්වයට ඇති පරම අයිතියයි. එය රටක සියලුම ජනතාව සතු වි නමි ජනතා පරමාධිපත්‍යය සුරැකෙනු ඇත. ඒ තුල සියඑ රටවැසියන්හට තමන් රටෙහි පුරවැසියන් බවත් සමාන අයිතිවාසිකම් ඇත්තවුන් බවත් හැගී යයි.

ශ‍්‍රී ලංකාව තුල මෙම ජනතා පරමාධිපත්‍යය ක‍්‍රියාත්මක නොවි, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළින් විධායක ජනාධිපතිවරයකු පත්වන හෙයින් ද එතුමන් සතු අසීමිත බලතල මගින් ද ජනතා පරමාධිපත්‍යය බල රහිත කොට තිබේ. මෙම නිසාම ජනතාව සතු බලය ක‍්‍රියාවිරහිත වී ඒක පාර්ශ්වයකට හෝ යම් කොටසකට බලය කේන්ද්‍ර ගත කර ගත හැකි තත්ත්වයක් පවතී.

මෙලෙස ජනතා බලය ක‍්‍රියා විරහිත වු විට තමන් රටේ පුරවැසියන් නො වන බව ඇතැම් ජන කොටස් වලට හැගී යනු ඇත. රටෙන් වෙන් වීමට හෝ ස්වාධීන වීමට යම් යම් කොටස් තැත් කරනු ලබන්නේ මේ හෙයිනි. තම සුරක්‍ෂිතභාවය තමන් ජිවත්වන රට තුල නොමැති නම් මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් වීමත් ඒ සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වීමත් වලකා ලිය නොහැකිය. ශ‍්‍රි ලංකාව තුල ජීවත් වන ඇතැම් කණ්ඩායම් තුළ තමන් දෙවනි ඝනයේ පුරවැසියන් යන්න ප‍්‍රකාශයට පත්කරන ක‍්‍රීයාකාරකම් බොහොමයක් පසුගිය කාළය තුල දක්නට ලැබීය. විශේෂයෙන්ම සුලු ජන කණ්ඩායම් වලට එරෙහිව සාධාරණය සිදු වුවා ද යන්න ප‍්‍රශ්නයට භාජනය වී තිබේ.

ශ‍්‍රී ලංකාව තුල ගොඩනැංවෙන නව ව්‍යවස්ථාව තුළින් ප‍්‍රකාශයට සහ ක‍්‍රියාවට පත්විය යුත්තේ සියලුම ජන කණ්ඩායම් තමන් රටේ පුර්ණ අයිතිය ඇති ජන කණ්ඩායම් බවට සහතිකවීම සහ ක‍්‍රියාත්මක වීම තුළින් සියල්ලන්ම රටේ පුරවැසියන් බවට පත්කර ගැනීමයි. එක් ජන කණ්ඩායමක් තවත් ජන කණ්ඩායමකට වඩා උසස් තත්වයෙන් තැබීමෙන් සිදුවන්නේ ද ජනතාව බෙදීමක් සහ ඊට එරෙහි වන ව්‍යපාර මතුවීමකි.

මෙම විරසකයන් සාමකාමීව මෙන්ම ප‍්‍රචණ්ඩකාරී ලෙසින් ද විය හැකි ය. එමගින් අධිරාජ්‍යවාදී අත පෙවීම් වලකා ලිය නොහැකිය. ජනතා පරමාධිපත්‍යය විනාශ කිරිමේ ප‍්‍රධාන බලවේගය වනුයේ ස්වෝත්තම වාදයයි. එය පරාජය කිරිම ජනතා පරමාධිපත්‍යය ස්ථාපිත කිරිම වේ. එබැවින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මුලික අයිතීන් තුල සමානාත්මතාවය ඇතිවිය යුතු අතර උප වගන්තීන් ඊට පාදකව ගොඩනැංවිය යුතු ය.

නියෝජිත ප‍්‍රජාතාන්ත‍්‍රවාදය
 
රට පාලනය කරනු ලබන ආකාරය නැතහොත් පාලක පද්ධතිය සම්බන්ධව විග‍්‍රහ වීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් තුල ප‍්‍රකාශිත විය යුතු ය. වර්ථමාන ව්‍යවස්ථාව තුල රාජ්‍ය පාලනය විධායක ජනාධිපති සතුවන්නා වු අසීමිත බලතල මගින් මුලු මහත් රටවැසියාගේම නිදහස මෙන්ම ජීවත්වීමේ අයිතිය ද විනාශ වන ආකාරය අප අත් දුටුවෙමු. විධායක ජනාධිපතිවරයාට කල නොහැක්කේ ගැහැණියකු පිරිමියකු කිරිමත් පිරිමියකු ගැහැණියකු කිරිමත් යන ජේ. ආර්. ගේ ප‍්‍රකාශයේ යථාර්ථය අත්දැක්කෙමු. පෙර පැවති නියෝජිත පාලන ක‍්‍රමයට වඩා විධායක ජනාධිපති ක‍්‍රමය මගින් ජනතාව බියසුලු ගැත්තන් බවට පත්කර ගත් ආකාරය අපි අත්දැක්කෙමු. එබැවින් විධායක ජනාධිපති ක‍්‍රමය වෙනුවට විකල්පයක් නව ව්‍යවස්ථාව මගින් සොයාගත යුත්තෙමු.

සමාජවාදී රටවල නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය සෝවියටි සභා මගින් ගොඩනැංවෙන අතර ධනපති ප‍්‍රජාතාන්ත‍්‍රවාදය මත ක‍්‍රියාත්මක වන රටවල නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය කොට්ඨාශ මට්ටමින් හෝ සමානුපාතික නියෝජනත්වයක් මගින් ගොඩනැංවීමට උත්සාහ දරනු ලබයි. සියඑ දෙනාම එක්ව තීරණය ගනු ලබන සෘජු ප‍්‍රජාතන්ත‍්‍රවාදය මනෝමුලික වුවක් වේ.

මේ නිසාම නියෝජිත ප‍්‍රජාතාන්ත‍්‍රවාදය ධනපති ප‍්‍රජාතාන්ත‍්‍රවාදි රටවල ක‍්‍රියාත්මක වේ. නියෝජිත ප‍්‍රජාතාන්ත‍්‍රවාදය ක‍්‍රියාත්මක කිරිමේ දී සැලකිය යුතු කරුණු කිහිපයක් වේ. ජාති කුළ හෝ භූගෝලීය වශයෙන් ජීවත් වන කුඩා කණ්ඩායම් වල නියෝජනත්වයට විශේෂ අවකාශ සැලසීම සම්බන්ධව අවධානය යොමු කළ යුතුය. ඒ සදහා අවකාශ සැලසීමෙන් තමන් ද රටේි පාලනයට පංගුකරුවන් වන බව එම ජන කොටස් වලට ඒත්තු ගැන්විය යුතු වේ.

පාලන තන්ත‍්‍රයට නියෝජිතයන් පත්කර ගැනීමේ දී වඩාත් ප‍්‍රජාතාන්ත‍්‍රවාදී ක‍්‍රමයක් ඇති කළ යුතුය. දැනට පවතින ආණ්ඩුක‍්‍රමය යටතේ ක‍්‍රියාත්මක සමානුපාතික නියෝජනත්වය සහ මනාප ක‍්‍රමය මගින් නියෝජිතයන් වශයෙන් පත්වීමට තබා අපේක්‍ෂකයකු වශයෙන් තර`ග කිරිමටවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවක් ඇතිවී නැත. දිස්ත‍්‍රික්කයන් පුරා ජන්ද කටයුතු මෙහෙය විය යුතු හෙයින් ධන බලයෙන් පිරිස් බලයෙන් හා මැර බලයෙන් පමණක් පෝෂීත වුවන්ට අවකාශ සලසා ඇත. මේ නිසාම පත්වන නියෝජිතයන් අනිවාර්යයෙන්ම දුෂණය කරපින්නා ගනු ලැබේ. නව ව්‍යවස්ථාව මගින් මීට විකල්පයක් සැපයිය යුතු වේ. ඒ තුලින් බුද්ධිමතුන්ට සහ අවංක සමාජ ක‍්‍රියාකාරින්ට නියෝජිතයන් වීමේ අවකාශ සලසා දිය යුතුය. ආසන මට්ටමින් නියෝජිතයන් පත් වීම මීට වඩා හොද විකල්පයක් වනු ඇත. එමෙන්ම සුලූ දේශපාලන පක්‍ෂ වලට නියෝජනය ලබා දීමට යමි අවකාශයක් තිබිය යුතු වේ. නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය මගින් ඒකාධිපතියකු බිහිවීම වළකාලිය යුතු ය. ඒ සඳහා හොඳම ප‍්‍රතිකර්මය වනුයේ පාලන බලය සහිත නියෝජිත මන්ත‍්‍රී මණ්ඩලයක් ස්ථාපිත කිරිමයි. පාර්ලිමේන්තුවට වග කියන විධායක අගමැතිවරයකු හා ඇමති මණ්ඩලයක් පත්කිරිම මනා යෝජනාවක් ලෙසට පෙන්වා දිය හැකිය.

බලතල බෙදාහැරීම
 
ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරැකීමට නම් රටක් තුල බලතල බෙදා හැරීමේ සීමා මායිම් සටහන් විය යුතුම ය. මේ නිසාම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ බලතල බෙදීම සම්බන්ධයෙන් විධිමත් ලෙස සලකා බැලිය යුතුය. ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය බලයන් නිර්ණය විය යුතු ය. විශේෂයෙන් අධිකරණය විධායකයට හෝ ව්‍යවස්ථාදායකයට යටත් නොවු ස්වාධීන ආයතනයක් වීමට අවශ්‍යතම විධිවිධාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින්ම සම්පාදනය විය යුතු ය. අධිකරණයේ ස්වාධීනත්වය පවත්වා ගැනීමට රටකට නො හැකි වුවහොත් අධිකරණය කෙරෙහි පැවතිය යුතු විශ්වාසනීයත්වය පලුදු වේ. එ මගින් ජනතා ව්‍යසනයන් ඇති වේ. එබැවින් බලතල බෙදාලීම සමිබන්ධව ද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුල විශේෂ අවධානයක් යොමුවිය යුතු වේ.

ජනතා අයිතීන් සුරැකීම

ජනතා අයිතීන් සුරැකීමට විශේෂ විධිවිධාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් නොවුවහොත් ජනතා අයිතීන් හෝ මානව අයිතීන් සම්බන්ධව දක්වන්නා වු සැලකිල්ල පමණක් නොව සුරැකීම ද නො වනුු ඇත. එබැවින් රට තුළ ක‍්‍රියාත්මක විය යුතු සුරැකිය යුතු මානව අයිතීන් ඉතාමත් පැහැදිලි විය යුතු අතරම එම අයිතීන් වෙනත් අතුරු ව්‍යවස්ථා වගන්ති මගින් පාලනය හෝ නිශේධනය නොවිය යුතු ය.

මුලික අයිතිවාසිකම් සඳහන් කිරීම මගින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව බලාපොරොත්තු වන්නේ රටේ පුරවැසියන් විසින් එම අයිතීන් භුක්ති විඳීමට අවකාශ සැලසීම ය. ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ නො වන මුලික අයිතීන් කිහිපයක් සම්බන්ධව අපගේ අවධානය යොමුවිය යුතු වේ. ඒ අතර ප‍්‍රධාන අයිතිවාසිකමක් වන්නේ ජීවත් වීමේ අයිතියයි.

ජීවත්වීමේ අයිතිය හුදු නාමික වශයෙන් සඳහන් වීම ප‍්‍රමාණවත් නොවනු ඇත. එම අයිතිය යටතේ හිමිවිය යුතු මුලික අවශ්‍යතා සැපයීම රජයේ වගකීමක් බව ද සඳහන් වීමෙන් එම වගන්තියේ අයිතිය ආරක්‍ෂා කර ගැනීමට පුරවැසියන්ට හැකිවනු ඇත. එලෙසම සෞඛ්‍ය අයිතිය මෙන්ම ලිංගිකභාවය සහ ලිංගික චර්යා  හුරුකම් හේතු කොට ගෙන කොන් කිරිම් හෝ වෙනස් කොට සැලකීමට භාජනය නො කිරිමේ අයිතියද නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අයිතිවාසිකම් ලෙස සඳහන් වීම සමිබන්ධව අවධානයක් යොමුවිය යුතුය. ඒ මගින් සංක‍්‍රාන්තික ලිංගිකයන් සහ සමලිංගික ප‍්‍රජාවගේ අයිතීන් සම්බන්ධව ද අවධානය යොමු කළ හැකි ය. සංඛ්‍යාත්මක ලෙස කුඩා වුවත් ඔවුන් සතු මුලික අයිතීන් ස්ථාපිත කිරිමට හැකියාවක් එමගින් ලැබෙනු ඇත.

පුරවැසි සාධාරණත්වය ස්ථාපිත කිරීම


රාජ්‍ය පාලන පද්ධතීන් තුළින් පුරවැසි අයිතිවාසිකම් සුරැකේ ද යන්න පරික්‍ෂා කිරිමට ව්‍යුහයක්  ද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළින් ඇතිකරන්නේ නම් පුරවැසියන්ට සාධාරණත්වය ඇති වේ යයි යන විශ්වාසයක් ඇතිවනු ඇත.  එම ව්‍යුහයන් ස්වාධින ආයතනයන් විය යුතු ය. එම ආයතන සකස්විය යුත්තේ පුරවැසි විශ්වාසය ගොඩනැංවෙන පරිදි ය. දැනට ඇතිකර ඇති කොමිෂන් සභා මෙයට හොදම උදාහරණ වෙයි. සෞඛ්‍ය සඳහා ද මෙවැනිම කොමිෂන් සභාවක් පත්කළ යුතු යයි ඇතැම් කොටස් මගින් යෝජනා වීම ජනතා සංවාදයකට මගපාදා ඇත.

ඉහත දැක්වීමට උත්සාහ කරනු ලැබුවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධව සමාජ සංවාදයකට භාජනය විය යුතු යයි සිතන ලද අදහස් කිහිපයකි. මේ සම්බන්ධව සංවිධාන සහ පුද්ගලයින් අවධානය යොමු කරමින් විවිධ අංශ කෙරෙහි දක්වන යෝජනා සහ අදහස් සංවාදයට භාජනය කරනු ලබන්නේ නම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදනයට ලැබෙන ජනතා සහභාගීත්වය ප‍්‍රබල වනු ඇත.

  සිරිමල් පීරිස්                                        
             
                               ජනතා සෞඛ්‍ය සංසදයේ කැඳවුම්කරු
                                             
                                             - Melani



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.