English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
අපි ගැටගැහිලා තියෙන්නේ වී වගාවත් එක්ක මිස රෝස මල් එක්ක නෙමෙයි – අශෝක හදගම
(2016-01-29)

<< Go Back
Share |   


ආණ්ඩුවක් මාරු වෙලා අලුත් ආණ්ඩුවක් ඇවිත් දැන් අවුරුද්දක් ගත වෙලා. මිනිස්සු ආණ්ඩු මාරු කරන්නේ පවතින ආණ්ඩුව තමන්ගේ වුවමනා එපා කම්, දිවි පෙවත සහ බලාපොරොත්තු සමග නොගැලපෙන ගමනක යෙදෙන විටයි. 2015 ජනවාරි 8 වෙනිදායින් පස්සේ රටේ ජනතාව අලුත් ආණ්ඩුවත් එක්ක අලුත් යුගයක් උදාවනු ඇතැයි අපේක්ෂා කළා.  අඩු වැඩි වශයෙන් අලුත් ආණ්ඩුව යටතේ අපේක්ෂාවන් ඉටු නොවුනා නොවෙයි.  ප්‍රකාශනයේ සහ භාෂණයේ නිදහස නැවත භුක්ති විඳින්නට හැකි වීම ඒ අතරින් අතිශය වැදගත්. එහෙත් අලුත් රජය ද මෙතෙක් පැවති රජයන් ගේ වැඩපිළිවෙලින් චින්තනමය වශයෙන් වෙනස් වූ  විප්ලවීය ගමන් මගක නියැලෙන බවක් පෙනෙන්නට නැහැ.

රටක සංස්කෘතියක් වර්ධනය වන්නේ ධාරා දෙකක් ඔස්සේ. එක් ධාරාවක් ‘සම්ප්‍රදාය’ (Tradition) ලෙස ද අනික ‘සැලසුම්ගත’ ( Planned) ලෙසද හඳුනා ගන්න පුළුවන්. සම්ප්‍රදාය පරිනාමය වෙමින් වෙනස් වෙන ප්‍රවාහයක්. (Flow). සැලසුම් සහගත සංස්කෘතික වර්ධනය රටේ ආර්ථික සංවර්ධනය හා බැඳුනු ක්‍රියාවලියක්. (Process ). නිදහසින් පසු අපේ සංවර්ධන සැලසුම් වල කලා හා සංස්කෘතිකාංග සංවර්ධනය කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් යොමු වෙලා නැහැ.  කලා සහ සංස්කෘතික සංවර්ධනය වෙනුවෙන් ක්‍රමවත් වැඩපිළිවෙලක් යටතේ රජයේ අය-වැයෙන් ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන් කිරීම නාස්තියක්, ආර්ථිකයට බරක්ය යන මිත්‍යාවෙන් ගැලවෙන්නේ නැතිව අප සංවර්ධනය ගැන සිහින මැවීම ම නිෂ්ඵල දෙයක්. හුදු ජාතික ආදායම පිළිඹඳ මිනුම් දඬු ඉක්මවා ගිය සැබෑ මානව සංවර්ධන ඉලක්කයන් කරා රටේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය මෙහෙයවෙන සැලසුමක් අලුත් රජයට ද පවතින බවක් පෙනෙන්නට නැහැ. සංවර්ධන ඉලක්කයන් අතරට සංස්කෘතික ඉලක්කයන් ඇතුලත් නොකිරීම නිසා අපට මග හැරෙන දෑ බොහෝයි.

රටක සංස්කෘතිය අර්ථ ගැන්වීමේදී කලා සහ සෞන්දර්ය ක්ෂේත්‍රයේ පරාමිතීන් ට හිමිවන්නේ වැදගත් තැනක්. අප හැම විටම සංස්කෘතිය යන්න හඳුනා ගන්න උත්සාහ කරනුයේ අතීත උරුමයක් ලෙස පමණයි. සංස්කෘතිය යනු ගල්වුනු ප්‍රපංචයක් නෙවෙයි. එය හැම විටම පවතින දෑ අතික්‍රමණය කරමින් වර්ධනය වන ගතික යමක්. මේ තත්වය හඳුනා නොගෙන ‘සංස්කෘතිය රැකගැනීම’ වෙනුවෙන් නගන සටන් පාඨ හිස් අවකාශයක් තුල ඇසී වියැකී යන ප්‍රලාපයන් පමණයි. පවත්නා ආර්ථික නියාමයන් ට අනුව මිලක් නැති සියලු දේ සංවර්ධනයෙන් සහ සංසරණයෙන් ඉවත් වෙනවා. සංස්කෘතිකාංග සුරක්ෂිත කර ගැනීමට නම්, අනාගතය සඳහා වැඩි දියුණු වීමට නම් ඒවා වෙළඳ පොළ තුල සංසරණය වන දෑ බවට පත් විය යුතුයි. ඒවාට ඉහල මිලක් ලැබෙනුයේ ත්, සංස්කෘතික නිෂ්පාදන කර්මාන්තයේ ගුණාත්මක වර්ධනයක් ඇති කල හැක්කේත් මේ සංස්කෘතික භාණ්ඩ සඳහා ඉහල ඉල්ලුමක් ඇති වන විටයි.  එසේ වන්නේ පාරිභෝගික සමාජය සංස්කෘතික භාණ්ඩ වැඩි වැඩියෙන් පරිභෝජනයට පෙළඹවීම හරහායි. ඒ සඳහා ජන ජීවිතය සංස්කෘතික විය යුතු වෙනවා. මිනිස් ජීවිතය යනු කන, බොන ලිංගිකව හැසිරෙන මූලික සත්ව අවශ්‍යතා වලින් ඉහලට ඔසවා තැබුණු යමක් බව වටහා ගත යුතු වෙනවා. අපගේ අධ්‍යාපන සැලසුම් සකසා ගතයුතු වන්නේ මේ පුළුල් දෘෂ්ඨියෙන් යුතුවයි.

මේ ලඟදි දවසක අධ්‍යාපන ඇමති තුමා මහරගම දී කල කතාවක උපුටනයක් ගුවන් විදුලි ප්‍රවෘත්ති ප්‍රකාශනයක් සමග අහන්න ලැබුනා. ඔහු කිවුවේ, ගණිත සහ විද්‍යා විෂයන් සඳහා වැඩිපුර සිසුන් ඇතුලත් කරගන්නට කටයුතු කරන බවයි. විද්‍යා සහ ගණිත අංශයන් උගෙනීම සඳහා වැඩිපුර අවස්ථා ලබා දෙනවා කියලා අධ්‍යාපන ඇමති තුමාට කියන්න වෙන්නේ ඒ අංශයන් ගෙන් වැඩිපුර රැකියා අවස්ථා ඇතිවෙලා නිසා නෙවෙයි. සමාජයෙන් වැඩි ඉල්ලුමක් තියෙන්නේ ඒවා උගෙන ගැනීමට නිසා. 1977 ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන්නාට පස්සේ එවකට හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන, ඉතිහාසය, සාහිත්‍ය කන්නද කියලා කල ප්‍රකාශයක් ජනප්‍රිය දේශපාලන කතා අතර කලක් සැරිසැරුවා. දැනුත් ඉඳ හිට එය උපුටා දක්වනවා අපට අහන්නට දකින්නට ලැබෙනවා. සාහිත්‍ය (හා කලා වන්) හරියට ප්‍රගුණ කලොත් තමන්ට කන්න විතරක් නෙවෙයි, රටේ සෑහෙන පිරිසකට කන්න දෙන්න තරම් ආදායමක් උපයා ගන්න පුළුවන් බව මේ රටකරවන අයටවත්, ප්‍රතිපත්ති සැලසුම් කරන අයට වත් වැටහෙන්නේ නැහැ.

ඉන්දියාවේ මේ දිනවල ඉතා ජනප්‍රිය ලේඛකයෙක් තමයි චේතාන් බගා (Chetan Bhagat ) කියන්නේ. ඔහුගේ රචනා සම්භාව්‍ය සාහිත්‍යට අයිති වෙන්නේ නැතිව ඇති. එහෙත් ඔහු අතින් ලියවෙන පොත් මෙතෙක් ඉන්දියානු ඉංග්‍රීසි සාහිත්ත්‍යයේ වැඩිම අලෙවියක් වාර්තා කෙරෙන පොත් හැටියට ගැනෙනවා. ඔහු අධ්‍යාපන සුදුසුකම් වලින් ඉංජිනේරු උපාධිදාරියෙක්. ව්‍යාපාර කළමනාකරණ පශ්චාත් උපාධිදාරියෙක්. වෘත්තියෙන් ආයෝජන බැංකුකරුවෙකු ලෙස හොංග් -කොංග් වල Goldman Sachs මූල්‍ය ආයතනයේ වසර දහයක් පමණ සේවය කර තිබෙනවා. ආයෝජන බැංකු කරුවෙකු ලෙස සෑහෙන ආදායමක් ලැබූ කෙනෙක්. එහෙත් ඔහු විනෝදයට මෙන් ලියු නවකථා (මුල්ම නවකතාව  Five Point Someone (2004)) ඉතා ජනප්‍රිය වීම නිසා දැන් තම බැංකු රැකියාව අතහැරලා වෘත්තීය ලේඛකයෙකු ලෙස කටයුතු කරනවා. ඔහු මිලියනපතියෙක්.

ඉන්දියාවේ සංචාරයක ආව බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයෙක්, ඉන්දියානු ගෝත්‍රික චිත්‍ර ශිල්පියෙකුට, බාජු ශ්‍යාම් ( Bhajju Shyam ), ආරාධනා කරනවා තමන්ට හිමි රෙස්ටුරන්ට් එකක චිත්‍ර අඳින්න. දිල්ලියේ සිට ලන්ඩන් නුවරට යන මේ ගෝත්‍රික චිත්‍ර ශිල්පියා තමන් ගේ පරිකල්පනයට හසුවන මේ ලන්ඩන් ගමන, ලන්ඩන් නුවර, ඉංග්‍රීසි ජාතික අනන්න්‍යතා තම ඉන්දියානු ගෝත්‍රික අනන්න්‍යතා සමග මුහුවීමෙන් සහ ගැටීමෙන් උපදින චිත්‍රමය සංකල්පනා සිය ගෝත්‍රික චිත්‍ර සම්ප්‍රදායෙන් (Gond Tradition) රෙස්ටුරන්ට් එකේ සිතුවමට නගනවා. ඒ සිතුවම් එකතු කරලා පොතක් ලෙස පළකරනවා. ලන්ඩන් ජන්ගල් බුක් ( The London Jungle Book) පොතේ නම.

මේ පොතේ පිටපත් ලක්ෂ ගණනින් ලොව පුරා විකිනෙනවා. සාහිත්‍ය ට කලාවට ආර්ථික වටිනාකමක් නැහැ කියන්නේ කොහොමද ? මිලක් නැහැ කියන්නේ කොහොමද? අද අදහස්වලටත් මිලක් තියෙනවා. ඒ ආර්ථික විභවය හඳුනා ගෙන අප අපේ අධ්‍යාපන සැලසුම් හැදුවොත් සැමදෙනාම දොස්තර කෙනෙක් වෙන්න පොරකන්නේ නැහැ. හැම දෙනාම ඉංජිනේරුවෝ වෙන්න පොරකන්නේ නැහැ.  ඉංජිනේරු ක්ෂේත්‍රයේ රැකියා නැතුව ඉංජිනේරු උපාධිය ගත්ත අය බැංකු වල රස්සා වලට යනවා. වර්ග කිලෝ මීටරයක පුද්ගලික වෛද්‍ය සායන කොයි තරම් නම් තියෙනවද? මේ හැම සායනයකට ම හවසට යන දොස්තරලා, ‘අනේ අද එක ලෙඩෙක් වත් ඉන්න එපා’ කියලා ප්‍රාර්ථනා කරමින් යනවද? ලංකාවේ ලෙඩ්ඩු වැඩි දොස්තරලා වැඩි නිසා කියලා කවුරු හරි තර්කයක් ගෙනාවොත් අපට ඒක පිස්සු කතාවක් කියලා අහක දාන්න පුළුවන් කමක් නැහැ.  

‘කලා සහ සෞන්දර්ය’ ක්ෂේත්‍රය ආර්ථික වටිනාකමක් ඇති ‘කර්මාන්තයක්’ ලෙස හඳුනා නොගැනීම නිසා දරුවන්ගේ අධ්‍යාපනය පිළිඹඳ තීරණ ගැනීමේදී ඇතිකර තිබෙන්නේ අනවශ්‍ය තරඟකාරී බවක්. අසීමිත රැකියා අවස්ථා ඇතැයි විශ්වාසකෙරුණු ක්ෂේත්‍රයන්හි පවා මේ වනවිට ඇති වී තිබෙනුයේ සේවා වියුක්ති තත්වයක්.  මේ නිසාම අධ්‍යාපනය සහ රැකියා අවස්ථා අතර ඇතිවී තිබෙන අසමබරතාව පෙරලා රට තුල නිර්මානය කරනුයේ සදාතනික ආර්ථික සහ දේශපාලනික අස්ථාවරත්වයක්. සතියකට දෙතුන් පාරක් කොටුව දුම්රිය පොළ අසල විරෝධතා කීයක් නම් පැවැත්වෙනවද ? මේ ඉල්ලීම් ලබා දෙන්න එක රජයකට බැරි වෙනකොට අලුත් රජයක් පත්කරගන්නවා. ඒ රජයට බැරි වෙනකොට ආයෙත් පරණ රජයම පත් කර ගන්නවා. තමන් ඉල්ලන්නේ මොනවාද කියලා ජනතාව දන්නේ නැහැ. ඒ ඉල්ලීම් ලබා දෙන්න රජයකට වැඩපිළිවෙලක් නැහැ. වකුගඩු රෝගීන් වැඩිවෙන්නේ පසට කෘෂි රසායන එකතුවෙන හින්දා කියලා එක් අතකින් කෑගහනවා ඇහෙනවා. තවත් අතකින් පොහොර සහ කෘෂි රසායන සඳහා දෙන සහනාධාරය කපන කොට අමුඩ ගහගෙන පෙළපාලි යනවා. විරෝධතා දෙකටම නායකත්වය ලැබෙන්නේ එකම දේශපාලනයකින්. විසඳා ගත නොහැකි උභතෝකෝටිකයක අපි හිරවෙලා. ප්‍රශ්නය වෙන පැත්තකින් පරිකල්පනය කරගන්නේ නැති වුනාම විසඳුම් පෙනෙන්නේ නැහැ.

උපුටා ගැනීම - සමබිම



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.