English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
රෙජීමයට වඩා මෛත‍්‍රිගේ ගමන් මඟ යහපත්.........එ්ත් ගැටළු තිබෙනවා !
(2015-04-09)

<< Go Back
Share |   


ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ ක‍්‍රියාකාරකම් අතර උතුරු නැගෙනහිර හා දකුණ ඒකාබද්ධ කරමින් සාමය හා සංහිඳියාව ගොඩනැංවීම සඳහා දියත් කරනු ලබන වැඩසටහන් භාරව කටයුතු කරන උතුරු නැගෙනහිර සම්බන්ධිකාරක ඇන්තනි ජේසුදාසන් සමඟ උතුරේ ඉඩම් නැවත ලබාදීම සම්බන්ධව අයිතිය සිදුකළ සංවාදයයි මේ.
 
උතුරේ ජනතාව වෙත ලැබීම් මෙන්ම නොලැබීම් පිළිබඳවත් හිමිවීම් මෙන්ම අමිහිමි වීම් පිළිබඳවත් ඔබ සංවිධානය මෙන්ම විශේෂයෙන් ඔබ උතුරු නැගෙනහිර සාම ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක හැටියට නිවරැදි තොරතුරු දන්නා බවයි අපගේ විශ්වාසය. පසුගිය වසර ගණනාවක් තිස්සේ උතුරු නැගෙනහිර යුද්ධයෙන් බැට කෑ ජනතාව එක හඩින් ඉල්ලා සිටියා ඔවුන්ගේ ගම් බිම් වලට නැවත යන්නට අවසර දෙන්න කියා. නමුත් ඒවා බිහිරි අලින් හට වීණා වයන්නා සේ කිසිම ඵලක් ලැබුවේ නැහැ. නමුත් නව ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති හා වැඩපිළිවෙළ යටතේ උතුරේ දමිළ මිනිසුන්ගේ මුල් ගම්-බිම් ඉඩ-කඩම් යළිත් ඔවුන් අතට පත්කරමින් යම්තාක් දුරකට මෛති‍්‍ර ආණ්ඩුව විසින් මිනිසුන්ට සහනයක් ලබාදෙමින් සිටිනවා.
 
මිනිසුන් වෙනුවෙන් ක‍්‍රියාකරන මානව ක‍්‍රියාධරයෙක් විධියට ඔබ කෙසේද මේ නව ප‍්‍රවනතාව තක්සේරු කරන්නේ ?

පසුගිය දා ජනාධිපතිතුමා අගමැතිතුමා ඇවිත් තිස්නවදහස් ගණනක ජනතාවකගෙන් (පවුල් නවදහස් ගණනක්) ඉඩම් නිවාස නැවත ලබාදී තිබෙන්නේ 60 දෙනෙකුට පමණයි. පෞද්ගලීකව මා මෙය දකින්නේ මිනිසුන්ව රැවැට්ටුවා වගේ වැඩක් කියලයි.

ඔබ කොහොමද ස්ථිර වශයෙන් ම ඔය සංඛ්‍යා පිළිබඳව ප‍්‍රකාශ කරන්නේ ?

ඒක තමයි ඇත්ත. මේ සංඛ්‍යා සම්බන්ධයෙන් සෑම දමිළ පුවත්පතකම වාර්තා වුණා. රාජ්‍ය නායකයින් දෙදෙනාම පැමිණිලා, විශාල වියදමක් යොදවලා, ලොකු උත්සවයක් පවත්වලා තමයි මේ 60 දෙනෙකුට ඉඩම් ලබාදීලා තියෙන්නේ. නමුත් ඒක ප‍්‍රශ්නයක් මොකද එදා ජනාධිපතිතුමාගේ පදවි ප‍්‍රාප්තියට වියදම් කළෙත් ඉතාම ඉතාම අවම මුදලක්.
 
ඇරත්,  ජනාධිපතිතුමා ප‍්‍රකාශකර තිබෙනවා උතුරේ දමිළ ජනතාවට උදව් කරනවා එයාලගේ ප‍්‍රශ්නවලට සංවේදී වෙන්න කැමතියි කියලා,  නමුත් එතුමා ප‍්‍රකාශකරලා නැහැ උතුරේ අධි ආරක්‍ෂිත කළාප ඉවත් කරලා හමුදාව ඉවත් කරලා ඒ ඒ ප‍්‍රදේශවල තිබෙන ඉඩම් නිවාස නැවත ජනතාවට ලබාදෙනවා කියලා.
 
ඉතිං ඔය නැවත ලබාදීලා තියෙන්නේ අධි ආරක්‍ෂිත කළාපයේ ඉඩම් නිවාස නේද ?

ඔව්! නමුත් තවමත් රජය හා හමුදාව යටතේ පවතින ඉඩම් අක්කර ගණනාව එක්ක සැසඳීමෙදි, දීලා තියෙන්නේ සියයට 1ක් 2ක් වගේ ප‍්‍රමාණයක් පමණයි. අත්පත්කර ගත්ත ඉඩම් ගැන, මයලඞ්ඩි ප‍්‍රදේශයේ තිබුණු ස්වභාවික ධීවර වරයා පිළිබඳව කිසිම වචනයක් කථා කරන්නෙ නැහැ. එතකොට මිනිස්සුන්ට කොහොමද හිතෙන්නේ මේක සැබැවින්ම කළ දෙයක් කියලා.
 
උතුරේ මහ ඇමතිතුමත් දැඩි සේ ප‍්‍රකාශකර තිබෙනවා මේ ඉඩම් නිවාස ලබාදීම සම්බන්ධයෙන් ඒවා සාධාරණ හා ක‍්‍රමාණුකූල විය යුතුයි කියලා. ඒ වගේම ජාත්‍යන්තර ප‍්‍රමිතියට අනුව තමයි මිනිස්සුන්ගේ ඉඩම්කඩම් ලබාදෙන්නට අවශ්‍ය කියාත් එතුමා ප‍්‍රකාශකර තිබෙනවා.

නමුත් අපි එක් අතෙකින් ආණ්ඩුවට ප‍්‍රශංසා කරනවා මොකද, පහුගිය රාජපක්‍ෂ රෙජීමය හිතුවෙවත් නැති උත්සාහයක් පිළිබඳන නව ආණ්ඩුව මේ තරමින් හරි පියවරක් ඉදිරියට ගැනීම ගැන. ඒක අපි අගය කරනවා. එහෙත් මිනිස්සුන්ට දිය යුතු ඉඩම් තවත් අති මහත් ප‍්‍රමාණයක් තිබෙනවා. එච්චර විශාල ප‍්‍රමාණයකින් 60 දෙනෙකුට පමණක් ඉඩම් ලබාදීම අපිට දැනෙන්නේ ප්‍රෝඩාවක් ලෙසටයි.

මොකක්ද ඉතිං ඔය කියන ප්‍රෝඩාව ?

මේ ඉඩම් නිවාස නැවත ලබාදීමේ පිළිවෙළෙහි ආණ්ඩුවේ යටි අරමුණක් තිබෙනව. ඒක නිශ්චිත වශයෙන් අසවල් දේ යැයි කියන්න දැන්ම බැහැ. නමුත් යම්කිසි වෙනත් න්‍යායපත‍්‍රයක් තිබෙන බව දැනෙනවා. එසේ නැතිනම්, ඒ අයට තිබුණා සියලූම හමුදා කඳවුරු ඉවත් කරල අධි ආරක්‍ෂිත කළාප ඉවත් කරලා සියලූම මිනිස්සුන්ගේ ඉඩම් නිවාස නැවත ලබාදෙන්න.
 
සියගණනක මිනිස්සුන්ගෙන් 60 දෙනෙකුට විතරක් ඉඩම් ලබාදෙන්න ඇයි රටේ රාජ්‍ය නායකයින් දෙදෙනාම උතුරට ගියේ් ? නැවත පදිංචි කිරීම් භාර ඇමතිතුමාටම දෙන්න තිබුණා ඒ ඉඩම් ටික, විශාල උත්සව නොතියා එපමණ මුදලක් වැයකරන්නේ නැතිව.

අනික දැනට ඉන්දියාවේ ජිවත්වෙන දමිළ යුධ අනාථයින් යළිත් මව්බිමට ගෙන්වා ගැනිම සහ ඒ අයට අයත් ඉඩම් නිවාස පිළිබඳව කිසිම කථාබහක් / වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නෙත් නැහැ.

ආණ්ඩුව දෙස මධ්‍යස්ථව නේද බලන්නට අවශ්‍ය, ඔබ කියු ඒ කටයුතු ඉදිරියේදි ඉටුකරාවි නේද ?

මේ යන ආකාරය දිහා බලනකොට නම් ඒ පිළිබඳව විශ්වාසයක් තබන්නට අමාරුයි. ඇතැම්විට, මිනිස්සුන්ගේ ඉඩමට ඉඩමක් දේවී කොහෙන් හරි නමුත් ඒ මිනිස්සුන්ගේ ම මුල් ඉඩකඩම් දෙයි කියන විශ්වාස කරන්න ටිකක් අසීරුයි. දැන් බලන්න, සරත් ෆොන්සේකා මහත්මයාට ලබාදුන්න තනතුර, නැවතත් මැති ඇමතිවරුන් 26 දෙනෙකු පත්කිරීම යනාදිය දෙස හොඳින් බැලූවහම යම් යම් සැක සංකා අපේ සිත්තුළ ඇතිවෙනවා. ඡන්දය වනතුරු පවත්වාගෙන යෑමක් ද කියන ප‍්‍රශ්නයත් මතුවෙනවා.

මේ ටික කාලය තුළදි දමිළ මිනිසුන්ට යහපතක් සිදුවුයේ නැහැ ම කියලා ද ඔබ කියන්නේ ?

නැහැ... යම් යම් සහන ලැබි තිබෙනවා. නිදහස පිළිබඳව එක්තරා විධියකට සෑහිමකට පත්වන්නට පුළුවන් මොකද එදා රාජපක්‍ෂ ආණ්ඩුව යටතේදි මේ දෙමළ මිනිස්සු පුදුම විධියට පීඩනයට වගේම පීඩාවට පත්වුණා. නිදහසේ ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් උද්ඝෝෂණ කරන්න බැරිවුණා. විශාල වශයෙන් තර්ජන ඝර්ජන වලට මුහුණ දෙන්න ඒ මිනිස්සුන්ට සිද්ධවුණා. නමුත් අද මේ අලූත් ආණ්ඩුව යටතේ ඔවුන්ට නිදහස ලැබිලා තිබෙනවා තමන්ගේ අවශ්‍යතාවය ගැන කථා කරන්න උද්ඝෝෂණයක් කරන්න. ජාත්‍යන්තර පරීක්‍ෂණයක්  ඕනැ කියලා කියා ගන්න ඔවුන්ට අද පුළුවන් වෙලා තිබෙනවා. නමුත් ඒ අතරත් හමුදා බුද්ධි අංශවල බලපෑම් නැතිවා නොවෙයි. නමුත් රාජපක්‍ෂ රෙජීමයට වඩා අද ඒ මිනිස්සුන්ට හුස්ම ගන්න පුළුවන් වෙලා තිබෙනවා.
 
අනික් කරුණ තමයි, රෙජීමය වගේ නෙවෙයි, මේ ආණ්ඩුව මිනිස්සු එක්ක සාකච්ඡවකට හරි සුදානම්. ඒක වටිනවා. මේ හැරුණුකොට විශාල වශයෙන් වෙනත් යහපතක් නම් තවම සිදුවී නැහැ. නමුත් අනිවාර්යයෙන් සිදුවිය යුතු යහපත් වෙනස්කම් තිබෙනවා. එතෙක් මිනිස්සු බලාගෙන ඉන්නවා.

                                                   
ජායාරූප හා සංවාදය  -  මෙලනි මානෙල් පෙරේරා


Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.