English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
කොවිඩ්-19 ගැන වැරදි වාර්තා ලැබුණේ සාම්පල් පිටට යවපු නිසා - රවී කුමුදේශ්
(2020-05-09)

<< Go Back
Share |   


පිළියන්දල මාළු වෙළෙන්දෙක්, බණ්ඩාරණායකපුර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, යුධ හමුදා සෙබළෙක්, ජාතික රෝහලේ නිලධාරිනියක් ඇතුළු සැලකිය යුතු පිරිසකට කොවිඩ්-19 රෝගය ඇති බව පීසීආර් පරීක්ෂණ ප‍්‍රතිඵල වලින් තහවුරු වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියනු ලැබීය. එහෙත් පසුව සෞඛ්‍ය අමාත්‍යාංශයම කීවේ ඒ අයට කොවිඩ්-19 රෝගය නැතැයි පසුව ලැබුණු වාර්තාවකින් තහවුරු වූ බවය. මෙය සාමාන්‍ය පුරවැසියන්ට මහා අපභ‍්‍රංශයක් වී තිබේ. මෙතෙක් කොවිඩ්-19 පිළිබඳව ලැබී ඇති දත්ත ගැනද සැකයක් ඇතිව තිබේ. කොවිඩ්-19 රෝගය ඇති බවට වැරදි වාර්තා බොහොමයක් ලැබී ඇත්තේ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනාගාරයෙන්ය.

දැන් ඇතිව තිබෙන ආන්දෝලනය ඇතිවීමට පෙර සිටම ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනාගාරය ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයට පිටින් ඇති රසායනාගාරවලට කොවිඩ්-19 සැකසහිත රෝගීන්ගේ නිදර්ශක ලබාදීම පිළිබඳව විරෝධය ප‍්‍රකාශ කළ විද්වත් වෘත්තික ආයතනයක් ඇත. ඒ වෛද්‍ය රසායනාගාර විද්‍යා වෘත්තියවේදීන්ගේ විද්වත් ආයතනයයි.

එහි සභාපති රවී කුමුදේශ් පීසීආර් පරීක්ෂණ පිළිබඳව මේ වන විට ඇතිව තිබෙන අවිශ්වාසය සහ සැකය පිළිබඳව අප සමඟ කතාබහ කළේය.

පී.සී.ආර් පරීක්ෂණ ප‍්‍රතිඵල වැරදීම ගැන පැහැදිළි කිරීමක් කළොත්..

පී.සී.ආර් පරීක්ෂණය ගැන පොඩි වැරදි අදහසක් සමහරුන්ට තියෙනවා. සීයට 70ක් නිවැරදියි, සීයට 30ක් වැරදියි කියලා. ඒක වැරදි මතයක්. මුලින්ම අපි ඒ වැරදි මතය නිවැරදි කරගන්න  ඕනෑ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉතාම ඉහළ නිලධාරීන් පවා ඒ වැරදි මතය රූපවාහිනියෙන් ප‍්‍රචාරය කරමින් ඉන්නවා. ඒ අදහස සීයට සීයක් වැරදියි.  ඕනෑම රසායනාගාර පරීක්ෂණයක නිරවද්‍යතා ප‍්‍රතිශතයක් තියෙනවා. ඒත් ඒකෙන් කිසිසේත්ම කියැවෙන්නේ නැහැ පිළිගත් රසායනාගාරයක් රෝගියාට වැරදි පරීක්ෂණ ප‍්‍රතිඵල නිකුත් කරනවා කියලා. ඒ වගේම සිය දෙනෙක්ට ප‍්‍රතිඵල ලැබුණොත් ඒකෙන් තිහක් අනිවාර්යයෙන් වරදිනවා කියලා අදහස් වෙන්නේත් නැහැ.

ඒ කියන්නේ, දැන් වැරදි ප‍්‍රතිඵල නිකුත් වෙලා තියෙන්නේ මේ ප‍්‍රතිශත කතාව නිසා නෙවෙයි..

ඔව්, දැන් මතුවෙලා තියෙන්නේ වෙනම ප‍්‍රශ්නයක්. රසායනාගාර පරීක්ෂාවන් සඳහා ලංකාවේ නෛතික අයිතිය තියෙන්නේ ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වුණ වෛද්‍ය රසායනාගාර විද්‍යා වෘත්තියවේදීන්ට. ඒක පිළිගත් වෘත්තියක්. ඒ වෘත්තිකයෙක් වෛද්‍ය රසායනාගාර විද්‍යාව හැදෑරීමේදී මෙවැනි තත්වයන් සම්බන්ධයෙන් ගතයුතු ක‍්‍රියාමාර්ග ඉගෙනගන්නවා.

යම් පුද්ගලයෙක්ට රෝගයක් තිබෙනවාද, නැතිද කියන කාරණය ගැන වැරදි ප‍්‍රතිඵලයක් දෙන්න බැහැ. ඒක කිසිසේත්ම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මනුස්සයෙකුගේ ජීවිතය හා මරණය පිළිබඳ ප‍්‍රශ්නයක්. ඒ නිසා, මේ ප‍්‍රතිඵලයක් ලබාදීමේදී වෛද්‍ය රසායනාගාර විද්‍යා වෘත්තියවේදීන්ට විශාල වගකීමක් පැවරෙනවා. අපි ඒ වගකීමෙන් බැඳිලා ඉන්නවා.

එතකොට අපි පීසීආර් පරීක්ෂණය සීයට 30ක් වැරදියි කියලා කියන එකෙන් කියැවෙන්නේ නැහැ හැම නිදර්ශකයක්ම එහෙම විය හැකියි කියලා. පීසීආර් පරීක්ෂණකදී වරදින්න පුලූවන් සම්භාවිතාව තියෙන්නේ නෙගටිව් එක. ඒ කියන්නේ රෝගය නැති බව ප‍්‍රකාශ වීම. පොසිටිව් වීම හෙවත් රෝගය ඇති බව ප‍්‍රකාශ වීමේදී වරදින්න පුළුවන් සම්භාවිතාවය ඊට වඩා බොහොම අඩුයි. එහෙම වැරදුණොත් ඒ බොහෝවිට රසායනාගාරය ඇතුළේ සිද්ධවෙන වරදක් නිසා. රසායනාගාර පරීක්ෂණයකට තියෙනවා පූර්ව රසායනාගාර අවධිය, රසායනාගාර අවධිය හා පශ්චාත් රසායනාගාර අවධිය කියලා අවධි තුනක්. පීසීආර් පරීක්ෂණයකදී වැරදුණොත් වරදින්නේ නෙගටිව් වාර්තා බව මම කීවා. එහෙම වෙන්නේ පූර්ව රසායනාගාර අවධියේදී හෙවත් රසායනාගාරයට පෙර අවස්ථාවේදී. ඒ කියන්නේ  නිදර්ශකය ගැනීම, ප‍්‍රවාහනය කිරීම, එයට අදාල රෝගියාගේ තත්ව වගේ  කාරණා හින්දා.

රෝගය තිබෙන අයට නැති බව ප‍්‍රකාශ වීමේ යම් සම්භාවිතාවයක් තියෙනවාද?

යම් ඉඩක් තියෙනවා. මොකද, නෙගටිව් වීම විවිධාකාර හේතු මත සිදුවිය හැකියි. බොහෝ කාරණා බලපාන්න පුළුවන්. නිදර්ශකය හරියට ගත්තේ නැත්නම්, වෛරසය හරියට නොතිබුණොත්, ප‍්‍රවාහනයේදී ගැටළුවක් තිබුණොත් නෙගටිව් වෙන්න පුළුවන්. ඒත් රජයේ රසායනාගාරවලින් රෝගය තිබෙන අයට නෙගටිව් ප‍්‍රතිඵල ලබාදීම ගැන බියක් තබාගත යුතු නැහැ. රජයේ රසායනාගාරවල වැඩකරන වෘත්තිකයන් මේ සම්භාවිතාව ගැන සැලකිලිමත් වෙනවා. එයට අදාලව පියවර ගන්නවා.

දැන් සිද්ධවෙලා තියෙන්නේ පොසිටිව් වීම. ඒක විය නොහැකිද?

ඒ ඉඩ ඉතාම අඩුයි. පී.සී.ආර් පරීක්ෂණය වෛරසයට ඉතාම සුවිශේෂීයි. ඒ නිසා මේක පොසිටිව් වෙනවා කියන්නේ නිවැරදි රසායනාගාර ක‍්‍රමවේද යටතේ අනිවාර්යයෙන්ම පොසිටිව්. යම් රෝගියෙක්ට පීසීආර් පරීක්ෂණයකින් පොසිටිව් කියලා පෙන්නුවාට පස්සේ පසුව පීසීආර් පරීක්ෂණයකින් නෙගටිව් වෙන්න ඉඩ තියෙන්නේ රෝගියාගේ සිරුරේ ප‍්‍රතිශක්තිය ඇතිවෙලා, වෛරසය නැති වෙලා රෝගියා සුව වුණාට පස්සේ. අද දිනයේ ගත්ත නිදර්ශකයක් හෙට නෙගටිව් වෙන එක අසාමාන්‍යයයි.

ඔබ කීවා වෛද්‍ය රසායනාගාර විද්‍යා වෘත්තියවේදීන් වැරදීමේ සම්භාවිතාව ගැන සැලකිලිමත් වෙනවා කියලා. ඒ අනුව දැන් වැරදි ප‍්‍රතිඵල ලැබීමට හේතුව එම වෘත්තියවේදීන් නැති රසායනාගාරවලින් ප‍්‍රතිඵල නිකුත් කරපු නිසාද?

අපට පෙනෙන විදියට ඒක තමයි තත්වය. මේක සිද්ධවෙන්නේ උපකරණ සහ ඒවා පරිහරණය කරන වෘත්තිකයාගේ ක‍්‍රියාකාරකම් නිසා. උපකරණ වලින් දෙන වාර්තා එයට අදාල වෘත්තිකයා විදියට නැවත වතාවක් සලකා බලනවා. ඔහු උපකරණයේ තත්වයන්, එයට අදාල පාලන දර්ශකයන්, රෝගියාගේ වෛරස ප‍්‍රමාණය, රෝගියාගේ සායනික ඉතිහාසය පිළිබඳ දත්තයන් ඇතුළු කාරණා ගණනාවක් නැවත පරීක්ෂාවට ලක් කරනවා. ඒ සියළු තත්වයන් සලකා බලලා තමයි වාර්තාව නිකුත් කරන්නේ. මේ සොයාබැලීම් වලදී වරදක් තිබුණොත් අපි වාර්තාව නිකුත් කරන්න කලින් නැවත පරීක්ෂාවක් කරනවා. එහිදී නොගැලපීම් තියෙනවානම් වෙනත් ක‍්‍රමවේදයක් මගින් තහවුරු කරගැනීම කරනවා. ඒ රෝගියාගේ තත්වයට අදාලව කරුණු තහවුරු කරගැනීමට වෙනම පරීක්ෂණ තියෙනවා. එහෙම නොකර වාර්තාවක් නිකුත් කරන්නේ නැහැ.

දැන් වැරදි ප‍්‍රතිඵල ලැබීම ගැන වගකිව යුත්තේ කවුද?

ඇත්තටම සිද්ධවෙන්නේ මේකයි. මා කලින් කීව නිවැරදි ක‍්‍රියාපටිපාටිය අනුගමනය නොකරන සහ ඒ වගකීම දැරීමේ හැකියාවක් නැති, ඒ වගකීම දරන්න පුරුදුවෙලා නැති රසායනාගාර වෙත රෝගීන්ගේ නිදර්ශක හෙවත් සාම්පල් යොමු වෙනවා. ඒ නිදර්ශක යොමු වෙන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ වුවමනාවටද, වෙන කාගේ හෝ වුවමනාවටද කියා අපි දන්නේ නැහැ. මේක මුල් අවස්ථාවේ ඉඳලා සිද්ධවුණා. අපි දිගින් දිගටම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ ජනාධිපතිවරයා දක්වා පැමිණිලි කළා.

ලංකාවේ මුල්ම කොරෝනා රෝගියාව හඳුනාගත්තේත් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනාගාරයෙන් බව කියනවා. එහෙම කියද්දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපි කට ඇරගෙන බලාගෙන හිටියා. ශ‍්‍රී ජයවර්ධනපුර කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ තියෙන රසායනාගාරයක් නෙවෙයි. පළවැනිම සාම්පලය එතැනට යවනකොට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ වෛද්‍ය රසායනාගාර පහක් තිබුණා. එහෙම තියෙද්දී පළවැනිම නිදර්ශකය යැව්වේ තමන්ගේම රසායනාගාර වෙනුවට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට.

ඒකට හේතුව මොකක්ද?

 

අපි අහන්නෙත් හේතුව මොකක්ද කියලයි. උණ රෝහලෙන් තමයි මුල්ම සාම්පලය යැව්වේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර පහු කරගෙන ජ‘පුරට ගියේ ඇයි කියලා අපි අහනවා. ඒගොල්ලෝ නොකියා කියන දේ තමයි උණ රෝහලේ ඉන්න සමහර විශේෂඥ වෛද්‍යවරුන්ට ජ‘පුර රෝහල විශ්වාසයි කියලා. වෛද්‍ය පර්යේෂණ ආයතනයට හෙවත් එම්ආර්අයි එකට සාම්පල් යැව්වොත් විවිධ ප‍්‍රශ්න නගනවාලූ, බාරගන්නේ නැහැලූ, හරවලා යවනවාලූ, කොන්දේසි දානවාලූ. ඒ නිසා ජ’පුරට යැව්වාලූ.

ඇත්තටම MRI එකෙන් කොන්දේසි දානවාද?

කොන්දේසි තියෙනවා තමයි. මේ කොන්දේසිවල වැදගත්කම මොකක්ද කියලා වැදගත්කම සනාථ වෙන්නේ ප‍්‍රතිඵල වැරදුණාමයි. වෛද්‍ය පර්යේෂන ආයතනය නිදර්ශකයක් බාරගන්නකොට අපි තත්වයන් ගොඩක් සලකා බලනවා. එහෙම කරන්නේ ප‍්‍රතිඵල වරදින්න බැරි හින්දා. මොකද වැරදි වාර්තාවක් නිකුත් කළොත්  රසායනාගාරය බාරගන්න  ඕනෑ. ඒ වගේම ඒක රෝගියාටත්, රටටත් නරක බලපෑමක් ඇති කළ හැකියි.

වැරදි වාර්තා ලැබුණාට පසුවත් ඒ රසායනාගාර වලට සාම්පල් යවලා තියෙනවා නේද?

ඇත්තටම වාර්තා වැරදීමටත් වඩා ලොකු ප‍්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි, අළුතෙන් යම් ප‍්‍රදේශයක පීසීආර් පරීක්ෂණ කරන්න පටන්ගනිද්දී සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පිට රසායනාගාරයකට සාම්පල් යැව්වේ ඇයිද කියලා. ඔය හැම නිදර්ශකයක්ම පළවැනි එක ගිහින් තියෙන්නේ ජ‘පුරට. ඒකෙනුත් විශේෂම තත්වය තමයි ජාතික රෝහලේ නිලධාරිනියකගේ සාම්පලය යවන්නේත් එතැනට. ඇය සෞඛ්‍ය අමාත්‍යාංශයෙහි සෞඛ්‍ය සේවාවේ සේවය කරමින් සිටින කෙනෙක්. සෞඛ්‍ය සේවාවේ නිදර්ශක අපි කවදාවත් වෙනත් තැන්වලට යවන්නේ නැහැ. අපි අපිම තමයි කරගන්නේ. එවැනි නිලධාරිනියකට පෞද්ගලිකව ගිහිල්ලා වුණත් වෛද්‍ය පර්යේෂන ආයතනයෙන් කරන්න තිබුණා. ඒත් ඒ නිදර්ශකය පවා සෞඛ්‍ය අමාත්‍යාංශයට ඍජු වගකීමක් නැති විශ්වවිද්‍යාලයකට යවනවා. මෙහෙම වෙන්නේ ඇයි. මෙහෙම කරන්නේ කවුද. මේ තත්වය නිසා ඇතිවෙලා තියෙන ගැටළු වලට වගකියන්නේ කවුද. මේ ගැන කරුණු හෙළිදරව් කරන්න කියලා අපි ජනාධිපතිවරයාට හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ලියුමක් ලීවා.

ජ’පුර රසායනාගාරය වගකියන්නේ කාටද?

මේක උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ තියෙන රසායනාගාරයක්. මේවා වැරදීම ගැන උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ රසායනාගාරවල සේවය කරන අයට දොස් කියන්න බෑ. ඔවුන්ගෙන් විමසීමක් පවා කරන්න බෑ. මොකද ඔවුන් කරන්නේ ස්වෙච්ඡා සේවාවක්. ඔවුන්ට මේ වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැටුප් ගෙවන්නේ නැහැ. ඔවුන්ව මේක වෙනුවෙන් පුහුණු කරන්නේත් නැහැ. ඒ නිසා ඔවුන්ට මේ ගැන කිසිදු වගකීමක් ඇත්තේ නැහැ.

අපට තේරෙන විදියට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පිටත රසායනාගාරවල වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන්ගේ සම්භාවිතාවය අඩුයි. ඒත් අපි කියන්නේ නැහැ ඒ රසායනාගාරවල අය ඉගෙනගෙන නෑ, ඔවුන් සුදුසු නෑ කියලා. පීසීආර් පරීක්ෂණය කියන්නේ මිනිසුන්ගේ රෝග හොයාගැනීම සඳහා කරන පරීක්ෂණයක් පමණක් නෙවෙයි. විවිධ අය විවිධ හේතු මත ඒ පරීක්ෂණ කරනවා. මේ ආයතනවල ඉන්නේ විවිධාකාර උසස් අධ්‍යාපනයන් ලබන, එයට අදාලව පරීක්ෂණය කරන අය. ඒත් අනෙක් පැත්තට ගොඩක් අය මේ පරීක්ෂණ කරන්නේ වෘත්තියක් විදියට නෙවෙයි. සමහරු විශ්වවිද්‍යාලයට අධ්‍යාපනය ලබන්නට ඇවිත්, ඒ අධ්‍යාපනයේ කොටසක් ලෙස පරීක්ෂණ කරන අය. මොන තරම් අධ්‍යාපනය ලැබුවත්, ඔවුන්ට වගකීමේ බැඳීමක් නැහැ. ඔවුන් ඇතැම් විට ආචාර්ය උපාධිය කරනවා වෙන්න පුළුවන්. ඒත් ඔවුන් ශිෂ්‍ය භාවයේ ඉන්නේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයට දරාගත නොහැකි තරම් නිදර්ශක දහස් ගණනක් එන තත්වයක් තියෙනවානම් ඔවුන්ටත් නිදර්ශක යැවීම වරදක් නෙවෙයි. ඒක තේරුම් ගන්න පුළුවන් තත්වයක්. එතැනට යවන්නේ අපට කරන්න බැරි නිසානේ. ඒත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර පහක් තිබියදී මුල්ම රෝගියාගේ නිදර්ශකයත් එතැනට යැව්වේ ඇයි. අපි දිගින් දිගටම කියන්නේ තවම සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙන ධාරිතාවෙන් සීයට 50ක්වත් පුරවලා නැති බව. අපට දැන් කරනවා වගේ දෙගුණයක් කරන්න පුළුවන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර වලින් විතරක්. ඉතින් පිට තැන්වලට දෙන්නේ ඇයි. අනෙක අවදානම් නිදර්ශක යවන්නේ ඇයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර වල ධාරිතාවය ඉක්මවපු දවසක වුණත් අවදානම් නිදර්ශක එතැනට යවන්න හොඳ නැහැ.

අවදානම් නිදර්ශක කියන්නේ මොනවාද?

පොසිටිව් වුණොත්, විශාල ගැටළුවක් ඇතිවිය හැකි නිදර්ශක. නිවැරදිම ප‍්‍රතිඵලය අනිවාර්යයෙන්ම ලැබෙන්න  ඕනෑ විදියේ නිදර්ශක. වැරදුණොත් ඉවරයි කියලා හිතෙන නිදර්ශක. හොඳම උදාහරණය කොළඹ ජාතික රෝහලේ නිළධාරිනියගේ නිදර්ශකය. ඇයට රෝගය වැළඳුනේ කොහෙන්ද කියලා දන්නේ නැහැ. ඒ වගේම ඇය රෝහලක වැඩ කරන කෙනෙක්. ඒ නිසා ඇයට රෝගය ඇතැයි දැනගන්න ලැබුණොත් මෙතෙක් කරගෙන ආපු සම්පුර්ණ ක‍්‍රියාවලිය උඩු යටිකුරු වෙනවා.

ඒ කොහොමද?

ඇයට රෝගය ඇතැයි තහවුරු වුණොත්, රෝගය සමාජ සම්පේ‍්‍රෂන තත්වයට පත්වෙලා තියෙන බව නිල වශයෙන් ප‍්‍රකාශ කරන්න සිදුවෙනවා. ඇය යටතේ 300ක් විතර සෞඛ්‍ය සේවකයන් වැඩකරලා තියෙනවා. ඔවුන් ඔක්කෝම නිරෝධායනය කරන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි, රෝගීන් කොළඹ ජාතික රෝහලට එන්න බය වෙනවා. ඉතින්, මෙවැනි දත්තයක් වැරදුණොත් ලොකු ප‍්‍රශ්නයක්. මෙවැනි නිදර්ශකයක් වෛද්‍ය පර්යේෂණ ආයතනයට නොයැව්වේ ඇයි. ඒ ගැන වගකියන්න  ඕනෑ කවුද කියන එක ප‍්‍රශ්නයක්.

අනෙක මෙවැනි වැරදීමක් වුණාම දැඩි ක‍්‍රියාමාර්ග ගන්න වෙනවා. සමහර වෙලාවට අපට දැඩි සත්කාර ඒකකයක් සම්පූර්ණයෙන්ම වහලා දාන්න වෙනවා. එක විෂබීජයක් ඇතුළුවෙලාද කියලා සැකයක් ආවොත් අපි වහලා තමයි තීන්දු ගන්නේ. අඩු තරමේ මෙවැනි සිද්ධියක් වුණාම ඒ වගේ පියවරක් ගත්තා. ඒත් දිගින් දිගටම ප‍්‍රතිඵල වරදිනකොට, සෞඛ්‍ය අමාත්‍යාංශය දිගින් දිගටම එතැනටම නිදර්ශක යැව්වා. එහෙම කරනකොට මේ කටයුත්ත බරපතල විදියට ව්‍යාකූල වෙලා.

මේ වෙනකොට ඇතැම් අය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාදෙන සියළු පරීක්ෂණ ප‍්‍රතිඵල සැක කරන තත්වයට පත්වෙලා නේද?

ඔව්, ඔවුන් දන්නේ නැහැ වැරදි වාර්තාව දුන්නේ කොතැනින්ද කියලා. දැන් මුළු සෞඛ්‍ය අමාත්‍යාංශයම සැකයට බඳුන්වෙලා. කාටහරි රෝගය තිබෙන බව වාර්තාවක් ලැබුණොත්, ඒක විශ්වාස කරන්නේ නැහැ. තවත් තැනකින් පරීක්ෂණ කරන්න කියලා ඉල්ලනවා. මේ අවිශ්වාසය වසංගතය පාලනය කිරීමේදී බොහොම නරක විදියට බලපානවා. මේ ගැටළුව ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය වගකියන්න  ඕනෑ. ඒ වගේම වරද කරන පුද්ගලයාව හොයාගන්න  ඕනෑ කියලා.

දැන් රජය විශේෂ අවධානයක් යොමු කරන්න  ඕනෑ. සමහරුන් අපෙන් අහන්නේ මේක රජය ගහන දේශපාලන ගේම් එකක්ද කියලා. රෝගය සමාජයෙහි පැතිරිලා නැති බව කියන්නට රජය ගේම් එකක් ගහනවාද කියලා අහනවා. අපි පැහැදිළිව කියන්නේ රජයේ රෝහල් රසායනාගාරවල ඉන්නේ වෛද්‍ය රසායනාගාර තාක්ෂණ නිලධාරීන්. ඒ නිලධාරීන් කිසිම දේශපාලන ගේම් එකකට ඉඩ දෙන්නේ නැහැ. දේශපාලන වුවමනා මත බලෙන් හෝ විකෘති ප‍්‍රතිඵල නිකුත් කරන්න උත්සාහ කළොත්, නිලධාරීන් නිර්නාමිකව හෝ මාධ්‍ය වලින් ඒ ගැන රටට කියයි. අපි සහතික වෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිම රසායනාගාරයකින් වරදක් වෙන්නේ නැති බව. ඒ වගේම හිතාමතා රජයේ රසායනාගාරවල පරීක්ෂණ වාර්තා විකෘති කිරීමට රජය කිසිදු උත්සාහයක් අරගෙන නෑ. අපි ඒක ඉතා වගකීමෙන් කියනවා. ඒත් මේ සැකය මතු වෙලා තියෙන්නේ පිට රසායනාගාරවලට නිදර්ශක යවන්න උත්සාහ කළ නිසා.

රේඛා නිලුක්ෂි හේරත් - අනිද්දා




Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.