English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
කොරෝනා වෛරස වසංගතය නිසා බිඳවැටෙන ගුවන් සේවා කර්මාන්තය
(2020-05-08)

<< Go Back
Share |   


ගුවන් ගමන් නැවත ආරම්භ වන විට ගුවන් ගාස්තු පහත වැටීම වෙනුවට, අවම වශයෙන් 50% කින් ඉහළ යා හැකි බව ගෝලීය ගුවන් සේවා කර්මාන්තය අනතුරු අඟවයි

ගුවන් ගමන් ඉල්ලුම බිඳවැටීමත් සමග මතු වී ඇති ගැටලු හමුවේ කටාර් ගුවන් සමාගම සිය සේවකයින් “සැලකිය යුතු” සංඛ්‍යාවක් ඉවත් කරනු ඇති බවට අනතුරු අඟවා ඇත.

එහි ප්‍රධාන විධායක අක්බාර් අල් බේකර් මේ පිළිබඳව කාර්ය මණ්ඩලයට අනතුරු අඟවා ඇති නමුත් කොපමණ සංඛ්‍යාවකට රැකියා අහිමිවේ දැයි සඳහන් කර නොමැත.

“ව්‍යාපාරයේ අනාගතය ආරක්ෂා කිරීම සඳහා තීරණවලට එළඹිය යුතු” බව කටාර් ගුවන් සමාගම පවසයි.

ගුවන් සේවා කර්මාන්තය මෙතෙක් පැවති දුෂ්කර ම කාල පරිච්ඡේදයකට මුහුණ දී සිටින අතර බොහෝ ගුවන් සමාගම් බිඳවැටීමට ආසන්න වී තිබේ.

“සත්‍ය තත්ත්වය නම්, අපට වර්තමාන සේවක සංඛ්‍යාව පවත්වාගෙන යා නොහැකි අතර ගුවන් සේවා කාර්ය මණ්ඩලය ද ඇතුළුව සැලකිය යුතු රැකියා ප්‍රමාණයක් ඉවත් කිරීමට අවශ්‍ය වෙනවා,” යනුවෙන් අක්බාර් අල් බේකර් අභ්‍යන්තර ලිපියක සඳහන් කර තිබිණි.

කටාර් රජය සතු මෙම ගුවන් සේවයේ 45,000 කට අධික පිරිසක් සේවයේ නිරත වන අතර ගුවන් යානා 240 කට වැඩි සංඛ්‍යාවක් ඇත. වෙනත් ගුවන් සමාගම්වල ආයෝජනය කිරීමේ උපාය මාර්ගයේ කොටසක් ලෙස කටාර් ගුවන් සමාගම මෙම වසරේ පෙබරවාරි මසදී බ්‍රිතාන්‍ය ගුවන් සමාගමේ හිමිකරු අයිඒජී හි කොටස් 25% දක්වා මිලදී ගන්නා ලදී.

ගුවන් ගමන් ටිකට් පත් මිල ඉහළට?

ගුවන් ගමන් නැවත ආරම්භ වන විට ගුවන් ගාස්තු පහත වැටීම වෙනුවට, අවම වශයෙන් 50% කින් ඉහළ යා හැකි බව ගෝලීය ගුවන් සේවා කර්මාන්තය අනතුරු අඟවයි.

ගුවන් යානා ඉක්මනින් නැවත ගුවන්ගත කිරීමට ගුවන් සමාගම් උනන්දු වීම තුළින් ඔවුන්ගේ ධාරිතාව ඉක්මවා කටයුතු කිරීමට සිදුවන බව ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය පවසයි.

මගීන්ගේ ඉල්ලුම අඩු මට්ටමක පැවතීමත් සමග ගුවන් ගමන් පිරිවැය අඩු කිරීම සඳහා අදාළ සමාගම්වලට පීඩන එල්ල වනු ඇත.

නමුත් ගුවන් සමාගම්වලට සිය ගුවන් යානාවල මැද ආසන හිස්ව තබා ගැනීමට නියෝග කළහොත් ඔවුන්ට ගුවන් ගාස්තු සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට සිදු වේ.

සමාජ දූරස්ථභාවය පවත්වාගැනීමේ වර්තමාන යෝජනාව යටතේ, ගුවන් සමාගම්වලට ඔවුන්ගේ ගුවන් යානාවල මැද ආසන හිස්ව තබා ගැනීමට ලැබී ඇති උපදෙස් නිසා මගීන් සංඛ්‍යාව අවම කිරීමට සිදු වේ. මෙය ඔවුන්ගේ ආදායමට විශාල බලපෑමක් එල්ල කරනු ලබයි.

රයන් එයාර් ගුවන් සමාගමේ ප්‍රධානියා වන මයිකල් ඕ ලෙයරි පැවසුවේ මැද ආසන හිස්ව තබා ගැනීම "මෝඩ ක්‍රියාවක්" බවය.

මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය ද?

වෛරස් පැතිරීම සීමා කිරීම සඳහා ගුවන් ගමන්වලදී මුහුණු ආවරණ පැළඳිය යුතු බව සමහර ප්‍රධාන ගුවන් සමාගම් මගීන්ගෙන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ද අප්‍රේල් 22 වන දා නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ එහි ගමන් කරන සියලු මගීන් ගුවන් තොටුපොළ තුළ සිට ගමනාන්තය දක්වා මුහුණු ආවරණ පැළඳ සිටිය යුතු බවය.

එක්සත් ජනපද ප්‍රධාන ගුවන් සමාගම් ද මගීන් සහ ගුවන් යානා කාර්ය මණ්ඩලය සඳහා නව සෞඛ්‍ය ආරක්ෂිත ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීමට නියමිතය.

ලොව පුරා ගුවන් සමාගම් බොහොමයක් ද ගුවන් ගමන් නැවත ආරම්භ කරන විට මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබේ.

ජාත්‍යන්තර ගුවන් ගමන්වලින් 90% ක් පමණ මේ වන විට අවලංගු කර ඇති නමුත්, මෙම මස සිට ගුවන් ගමන් ක්‍රමයෙන් නැවත ආරම්භ කිරීමට ගුවන් සමාගම් බලාපොරොත්තු වේ.

"වර්ජින් ඇට්ලන්ටික්"

වර්ජින් ඇට්ලන්ටික් සමාගම ද එක්සත් රාජධානියේ සේවකයන් 3,000කට වැඩි සංඛ්‍යාවක් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

කොරෝනාවෛරස් වසංගතය හේතුවෙන් ගෝලීය සංචාරක කර්මාන්තය නිශ්චල වී ඇති නිසා බොහෝ ගුවන් සමාගම් අර්බුදකාරී තත්වයකට මුහුණ පා තිබේ.

වර්ජින් ඇට්ලන්ටික් ගුවන් සේවය තුළ මේ වන විට පුද්ගලයින් 10,000 ක් පමණ සේවය කරති.

ගුවන් සමාගම රැක ගැනීම පිණිස වර්ජින් ඇට්ලන්ටික් එක්සත් රාජධානි රජයෙන් හදිසි ණය මුදලක් ලබා ගැනීම සඳහා කටයුතු කරමින් සිටියි.

"මීට වසර 36 කට පෙර ආරම්භ කළ අපි පළමු ගුවන් ගමනේ සිට බොහෝ කුණාටුවලට මුහුණ දී තිබෙනවා. නමුත් ඒ කිසිවක් කොවිඩ් -19 තරම් විනාශකාරී නොවූ අතර මේ තරම් ජීවිත හා ජීවනෝපායන් අහිමි වුණේ නැහැ," යැයි වර්ජින් ඇට්ලන්ටික් ප්‍රධාන විධායක නිලධාරී ෂයි වයිස් පැවසීය.

රයන්එයාර් ගුවන් සමාගම

කොරෝනාවෛරස වසංගතය හේතුවෙන් අවලංගු කරන ලද ගුවන් ගමන් සඳහා මගීන්ට මුදල් ආපසු ගෙවීමට මාස හයක් පමණ ගත වනු ඇතැයි රයන් එයාර් ප්‍රධානී මයිකල් ඕ ලෙයරි පවසා තිබේ.

පවුම් මිලියන 25ක මුදලක් ආපසු ගෙවීමට සිදුව ඇති අතර, අවම කාර්ය මණ්ඩලයක් සමග මෙම කාර්යය ඉටු කිරීමට ගුවන් සමාගම මහත් පරිශ්‍රමයක් දරමින් සිටින බව ඔහු බීබීසී සේවයට පැවසීය.

කොරෝනාවෛරස අර්බුදයට මුහුණ දීම සඳහා රයන්එයාර් සමාගම ප්‍රතිව්‍යුහගත කරන බැවින් එහි ශ්‍රම බලකායෙන් 15% ක් වන ලෙස රැකියා 3,000 ක් කපා හැරීමට සූදානම් වේ.

ගුවන් නියමුවන් සහ ගුවන් ගමන් කාර්ය මණ්ඩල රැකියා එහිදී ප්‍රධාන වශයෙන් කප්පාදු කිරීමට නියමිතය.

ඉතිරි කාර්ය මණ්ඩලයෙන් ද 20%ක් දක්වා වැටුප් කප්පාදු සිදුවිය හැකි බව ගුවන් සමාගම වැඩිදුරටත් පැවසීය.

සැලසුම් කළ කප්පාදුවලින් ඉතිරි වන මුදල “ඉදිරි මාස 12 තුළ ක්‍රියාත්මක වීමට පමණක් ප්‍රමාණවත්” බව ඕ ලෙයරි බීබීසී සේවයට පැවසීය.

එන්නතක් සොයාගත නොහැකි නම් “අනාගතයේදී අපට තවත් කප්පාදුවක් හා වැඩිදුර කප්පාදුවක් ප්‍රකාශයට පත් කිරීමට සිදුවනු ඇති” බව ඔහු තවදුරටත් පැවසුවේය.

මේ අතර, කොරෝනාවෛරස වසංගතය නිසා ව්‍යාපාරය බිඳවැටීමෙන් බ්‍රිතාන්‍ය ගුවන් සමාගමේ 42,000 ක ශ්‍රම බලකායෙන් රැකියා 12,000 ක් කපා හැරීමට සූදානම් වේ.

උපුටා ගැනීම BBC සිංහල



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.