English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
මරණ තුනක් මැද ජනපතිට පැණි කෑ හැකිද? - නීතිඥ දුලාන් දසනායක
(2020-05-02)

<< Go Back
Share |   


ශ්‍රී ලංකාව පසුගිය පෙබරවාරි අවසාන භාගයේ සිට ගෝලීය වසංගතයක් වන කොරෝනා උවදුරට ගොදුරු විය.  එකී ගෝලීය වසංගතය දිග්ගැස්සුනු ආර්ථික අර්බුදයකට ලෝකය යොමු කර ඇත. ශ්‍රී ලංකාව වැනි අධික ණයබරතාවයක් සහිත ගෙවුම් ශේෂයේ බරපතළ හිගයක් සහිත විදේශ විනිමය සංචිතය පහළම මට්ටමක රටකට මේ ආර්ථික අර්බුදය දරා ගත නොහැකි ලෙස බලපානු ඇති අතර දැනටමත් එය බලපා ඇත. මේ බරපතල අර්බුද දෙක ලංකාවට මේ මොහොතේ අනිවාර්යයෙන්ම අත්විඳීමට සිදු වන අර්බුද වුවද මේ අර්බුද දෙකට ව්‍යවස්ථා අර්බුදයකුත් ඕනෑ කමින් කැඳවා ගන්නා ආකාරයක් ජනාධිපතිතුමාගේ ක්‍රියාකාරීත්වය අනුව පෙනේ.

වසංගත අර්බුදය හා ආර්ථික අර්බුදය

කොරෝනා ලංකාවට ආ මුල් අවස්ථාවේදීද ජනාධිපතිවරයා සිතා සිටියේ තනි ගේමක් ගසා වීරයෙක් වීමට හැකි බවය. යුද්ධය කිරීමේ වගාඩම්බර කතා ඉදිරියට ආවේ ගෝලයන්ගේ මුවින් නොව එතුමාගේ මුවින්මය. අවසානයේ කොරෝනා මිලිටරියටද වැළඳුනි.  මේ සම්බන්ධයෙන් ප්‍රවේශ විය යුත්තේ යුද්ධය ජයග්‍රහණය කිරීමට ප්‍රවේශ වූ ආකාරයට නොව සෞඛ්‍යමය ප්‍රවේශයකින් බවට ප්‍රකාශ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සිදු විය. කෙසේ හෝ කොරෝනා මර්ධක බලකායේ ප්‍රධානත්වය සෞඛ්‍ය අංශයේ ප්‍රධානියෙකුට හෝ එතුමාගේ කැබිනට් මණ්ඩලයේ සෞඛ්‍ය ඇමතිනියට හෝ ලබා නොදී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට ලබා දීමට ජනාධිපතිවරයා කටයුතු කරන ලදී. සෞඛ්‍ය අංශ ඉතාමත් උනන්දුවෙන් කොරෝනා මර්ධන සටන අරඹා තිබුණු අතර සැලකිය යුතු රෝගීන් පිරිසක් සුව කිරීමටද ඔවුන්ට හැකි විය. අගමැතිවරයාට අනුවම මෙරට සෞඛ්‍ය අංශ මුව ආවරණ අතින් මසා ගනිමින් ධෛර්ය සම්පන්න ලෙස සේවය කරන ලදී. කොරෝනා උවදුරෙන් මිලිටරිය රැක ගැනීමට නොහැකි වීම මත කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළ යන ලදී. හමුදාපතිවරයාට අනුවම මේ සෙබළුන්ට කොරෝනා වැළදුනේ කොරෝනා රාජකාරී වල නිරත වීම නිසාය. කොරෝනා රාජකාරී සිදු කල සෙබළුන්ට නිසි ආරක්ෂිත මෙවලම් ලබා නොදුන් බව අද වන විට ප්‍රසිද්ධය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධානී වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ප්‍රකාශ කලේ “PPV” ඇඳුම් ලබා දී තිබුනේ නම් තත්වය මේ ආකාරයට නොවනු ඇති බවයි.

කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය දිග් ගැස්සී රට විවෘත කර ගැනීමට නොහැකි වීම මත රටේ ආර්ථිකයේ පරිහාණිය එන්න එන්ම දරුණු වෙමින් ඇත. ආණ්ඩුවේ දේශපාලන සැලසුම්ද අවුල් කිරීමකට ලක් වී ඇති නමුත් රටේ ජනතාවට බලපාන්නේ ආර්ථිකය පරිහාණියට පත් වීමය. විශේෂයෙන් රටේ ආර්ථිකයෙන් 50%කට වැඩි පංගුවක් දරණ බස්නාහිර පළාත විවෘත කිරීමට නොහැකි වීම බරපතළ ආර්ථික ගැටලුවකට මග පාදා ඇත. නොවිධිමත් ආර්ථිකය සිදු කරන ජනයාගෙන් බහුතරයක ආදායම් මාර්ග අහිමි වී ඇති අතර පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් කප්පාදුව රැකියා කප්පාදුවක් දක්වා දිග් ගැස්සී ඇත. ආර්ථිකය තිබෙන්නේ දරුනු ව්‍යසනයක් මුව විටය. (ආර්ථික අර්බුදය විස්තරාත්මකව මෙම වෙබ් අඩවියේ ලිපියකින් සාකච්ඡා කර ඇත. කියවන්න http://www.aithiya.lk/n_view.php?id=3935)

ව්‍යවස්ථා අර්බුදය

මේ අර්බුද දෙකට අලුතින්ම ආණ්ඩුව ව්‍යවස්ථා අර්බුදයක් එක් කර ගැනීමට සූදානම් වෙයි. ඒ මැතිවරණය පවත්වන දිනය හා පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධ කාරණා මුල් කොට ගනිමිනි. ආණ්ඩුවට හැකි ඉක්මනින් මැතිවරණය පැවැත්වීමේ දේශපාලන අවශ්‍යතාවයක් පැවැති බව මේ වන විට ජනතාවට අවබෝධයක් ඇත. කොරෝනා වැනි ගෝලීය වසංගතයක් ලංකාව තුළට පැමිණ ඇති අවස්ථාවක පාර්ලිමේන්තුවට තවත් කාලයක් තිබියදී ජනාධිපතිවරයා ඔහුට ඒ සම්බන්ධයෙන් ව්‍යවස්ථාපිතව බලය හිමි වූ පළමු අවස්ථාවේම එනම් මාර්තු 02 වන දින පාර්ලිමේන්තුව විසුරුවාහරිනු ලැබීය. එකී විසුරුවාහැරීමේ නිවේදනය අනුව මැතිවරණය පවත්වන දිනය අප්‍රේල් 25 වන දිනය විය. එහි ව්‍යවස්ථානුකූලව නව පාර්ලිමේන්තුව කැඳවන දිනය හා නාමයෝජනා කැඳවන දිනය යනාදී සියලු කරුණු අන්තර්ගත විය.

ඒ අතරවාරයේ ලංකාවේ කොරෝනා ආසාධිත රෝගීන් ප්‍රමාණයේ යම් වර්ධනයක් සිදු වූ අතර ජනයා අතර සාධාරණ බියක් කොරෝනා පිළිබඳ පැතිරෙන්නට විය. මුහුණු පොත හරහාද ලොක් ඩවුන් ශ්‍රී ලංකා නමින් රැල්ලක් ඇති වූ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් තවත් සෞඛ්‍ය අංශත් රට වසා දමන ලෙස රජයට බල කරන ලදී. නමුත් රජය එම තීරණය ගැනීමට කල් මරමින් සිට අවසානයේ නාමයෝජනා ලබා ගැනීම සිදු කිරීමට ඉඩ ඉතුරු කොට රට පුරා ඇඳිරි නීතිය පනවන ලදී. නාමයෝජනා ලබා ගත් පසු මැතිවරණ කොමිසම සිදු කළේ කළ යුතු පරිදිම මැතිවරණය කල් දැමීමය. ඒ ව්‍යවස්ථානුකූලව දින 14කින් ඔබ්බටය. කොරෝනාවේ තත්වය බරපතළ වීම නිසා මැතිවරණ කොමිසම ජනාධිපතිවරයා අමතා ලිපියක් ලියමින් සාධාරණ කරුණු කිහිපයක් එතුමාගේ අවධානයට යොමු කරන ලදී. ඔවුන්ගේ කරුණු මෙසේ පෙළ ගස්වමු.

1.            ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරුවාහරිනු ලැබූ පසු මාස තුනක කාලයක් ඇතුළත නව පාර්ලිමේන්තුව කැඳවිය යුතුය.

2.            ඒ අනුව පාර්ලිමේන්තුව මාර්තු 02 විසුරුවාහරින ලද බැවින් නව පාර්ලිමේන්තුව ජූනි 02 හෝ ඊට පෙර කැඳවිය යුතුය.

3.            ජූනි 02 පාර්ලිමේන්තුව කැඳවීමට නම් මැතිවරණය අඩුම තරමින් මැයි මස 30ට පෙර පැවැත්විය යුතුය.

4.            මැතිවරණය මැයි මස අවසානයේදී හෝ පැවැත්වීමට නම් ඒ සම්බන්ධ පරිපාලන වැඩ කටයුතු අප්‍රේල් 20 දින හෝ ආරම්භ කල යුතුය.

5.            එසේ අප්‍රේල් 20 වන දින හෝ ඊට ආසන්න දිනක මෙම කටයුතු ආරම්භ කිරීමට හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසම නිරීක්ෂණය කරයි.

6.            එම නිසා මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසා ගැටලුව නිරාකරණය කිරීමට කටයුතු කරන්න.

මැතිවරණ කොමිසම විසින් ඉල්ලා ඇත්තේ ඉතාමත් සාධාරණ ඉල්ලීමකි.

129 ව්‍යවස්ථාව

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 වන ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය උපදේශක අධිකරණ බලය ක්‍රියාත්මක කරයි. 129(1) ව්‍යවස්ථාව අනුව යම් නීතිය හෝ සිද්ධිය පිළිබඳ කරුණක් සම්බන්ධව ජනාධිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ලබා ගත හැක. ඒ බලය හිමි වන්නේ ජනාධිපතිවරයාට පමණි. ව්‍යවස්ථා ගැටළුවක් පැන නොනැගී පවත්වාගෙන යාම මෙම බලය ජනාධිපතිවරයාට ලබා දීමට හේතුවයි. මැතිවරණ කොමිසම ජනාධිපතිවරයාට ප්‍රකාශ කලේ එකී බලය ක්‍රියාත්මක කරමින් යම් මාර්ගෝපදේශයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා ගන්නා ලෙසයි.

නමුත් ජනාධීපතිවරයාගේ ප්‍රතිචාරය රළු එකක් වුනු අතර ඔහුගේ පිළිතුරට අනුව ශ්‍රේෂ්ඨාධීකරණයේ මතය විමසීමේ අවශ්‍යතාවයක් පැන නොනගී. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුනේ මැතිවරණය පැවැත්වීමේ වගකීම කොමිසම සතු බවත් තමන් ජනාධිපතිවරයා ලෙස අව්‍යශ සියළු ව්‍යවස්ථාපිත ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

33(ඈ) ව්‍යවස්ථාව

මැතිවරණය පැවැත්වීම මැතිවරණ කොමිසමේ වගකීමක් යැයි කියමින් මැතිවරණ කොමිසමට වගකීම් පවරන ජනාධීපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (ඈ) ව්‍යවස්ථාව අමතක වී හෝ අමතක කර ඇති බවක් පෙනුණි.

33 (ඈ) ව්‍යවස්ථාවට අනුව

මැතිවරණ කොමිසන් සභාවේ උපදෙස් මත, නිදහස් හා සාධාරණ ඡන්ද විමසීම් හා ජනමත විචාරණ පැවැත්වීම සඳහා උචිත වාතාවරණ නිර්මාණය කිරීම තහවුරු කිරීම” ජනාධීපතිවරයාගේ කාර්යයකි.

ජනාධිපතිවරයාගේ මෙම ලිපිය යැවීමත් සමග කොරෝනා අප්‍රේල් 25 වන විට අවසන් වන බවට වූ ප්‍රකාශ ආණ්ඩුවේ පාර්ශවයෙන් ඇසෙන්නට ලැබුණි. පාසල් විවෘත කිරීමේ විශ්ව විද්‍යාල විවෘත කිරීමේ දිනද නිවේදනය විය. මැතිවරණයට ග්‍රවුන්ඩ් එක සැකසීම දැකිය හැකි විය. කෙසේ වෙතත් මේ සියල්ල ව්‍යර්ථ කරමින් කොරෝනා ආසාදිතයන්ගේ ප්‍රමාණය එක විටම සීග්‍ර ලෙස වැඩි වූයේ මැයි මුල අවදානම් යැයි රජයේ වෛද්‍යවරුන් ප්‍රකාශ කළ දේ සත්‍යයක් බවට පත් කරමිනි.

70(5) ව්‍යවස්ථාව

මේ අතරවාරයේ රැස් වූ මැතිවරණ කොමිසම පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 129 වගන්තිය ප්‍රකාරව මැතිවරණ දිනය ජූනි 20 වන දින බවට ප්‍රකාශයට පත් කරන ලදී. ඔවුන් මීට පෙර ජනාධීපතිවරයාට යවන ලද ලිපිය ප්‍රකාරවම මෙම දිනය ව්‍යවස්ථාවට පටහැනිය. මෙම දිනය අනුව එසේ නම් ජනාධීපතිවරයා දැන් නව පාර්ලිමේන්තුව කැඳවන දිනයක් ප්‍රකාශයට පත් කල යුතුය. එය ව්‍යවස්ථා විරෝධී වන්නේ පාර්ලිමේන්තුව විසුරුවාහැර මාස 3කට නොවැඩි කාලයකින් නව පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවිනි.  ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 70 (5) ව්‍යවස්ථාව ප්‍රකාරව විසුරුවූ පසු අභිනව පාර්ලිමේන්තු ව කැඳවන දිනය පාර්ලිමේන්තුව විසුරුවන ලද ප්‍රකාශනයේ දින සිට මාස 3ක් නොඉක්මවන දිනයක් විය යුතුය.

දැන් මේ වන විට පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන දිනය ජූනි 20 වෙයි. අද වන විටත් නව පාර්ලිමේන්තුව කැඳවන දිනය ජනාධීපතිවරයා ප්‍රකාශයට පත් කර නැත. ඔහුට ප්‍රකාශයට පත් කිරීමට සිදු වන්නේම ව්‍යවස්ථා විරෝධී දිනයකි. ඒ ඔහු විසින් පාර්ලිමේන්තුව විසුරුවන ලද දින සිට මාස 3 කිින් එහා දිනයක් බවට එය අනිවාර්යයෙන් පත් වන බැවිනි. මේ බරපතළ ව්‍යවස්ථා අර්බුදයකි. මැතිවරණ කොමිසමට අනුව මැතිවරණ දිනය තවදුරටත් කල් යාමට ඉඩ ඇත.

මේ ව්‍යවස්ථා අර්බුදය ජනාධිපතිවරයාට ඉතා පහසුවෙන් සමනය කර ගත හැකි එකකි. ඒ සඳහා ප්‍රතිපාදන ව්‍යවස්ථාවේ පවතී.

70(7) ව්‍යවස්ථාව

70(7) ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමෙන් පසු යම් හදිසි තත්වයක් උද්ගත වුවහොත් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව ප්‍රකාශනයක් මගින් කැඳවිය හැක. එසේ කැඳවන පාර්ලිමේන්තුව හදිසි අවස්ථාව අවසන් වීම හෝ මහ මැතිවරණය පැවැත්වීම යන කාරණ දෙකෙන් කලින් එළඹෙන අවස්ථාවේදී විසිරෙන බවටද එම ව්‍යවස්ථාවේ දැක්වෙයි.

එසේ නම් ජනාධිපතිවරයාට මේ ව්‍යවස්ථාපිත බලය භාවිතා කරමින් ව්‍යවස්ථා අර්බුදයෙන් රට ගලවා ගැනීමේ අවස්ථාව ඇත.

155(3) හා (4) ව්‍යවස්ථා

එසේ නැතිනම් ජනාධිපතිවරයාට 155 (3) ව්‍යවස්ථාව අනුව මහජන ආරක්ෂාවට අදාළව හදිසි අවස්ථා නියෝග පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති අවස්ථාවකදී ප්‍රකාශයට පත් කල හැකි අතර එකී නියෝග නොපමාව පාර්ලිමේන්තුවට දන්වා යැවිය යුතු වෙයි. ඒ 155 (4) ව්‍යවස්ථාව අනුවය. 155(4) ව්‍යවස්ථාව අනුව ඒ ප්‍රකාශනයෙහි පාර්ලිමේන්තුව රැස්වීමට දිනයක් නියම කර නොමැති නම් එකී ප්‍රකාශනයෙන් පසුව එළඹෙන 10වන දිනයේදී පාර්ලිමේන්තුව රැස් විය යුතුය. එසේ නැතහොත් එකී ප්‍රකාශනයේ පාර්ලිමේන්තුව රැස්වීමේ දිනය සඳහන් කළ යුතුය. එකී හදිසි අවස්ථා නියෝග ප්‍රත්‍යාදිෂ්ට කිරීමෙන් පසුව හෝ මහා මැතිවරණය පැවැත්වීමෙන් පසුව පාර්ලිමේන්තුව විසිරෙයි.

මේ අවස්ථා දෙකම ජනාධිපතිවරයාට භාවිතා කළ හැක. එසේ නැතහොත් අර්ථ නිරූපන ආඥාපනතේ ප්‍රතිපාදන ප්‍රකාරව ජනාධීපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහරින ලද ගැසට් නිවේදනය අවලංගු කල හැක.

මේ ක්‍රියාමාර්ග වලින් එකක් අනුගමනය කිරීමෙන් ජනාධීපතිවරයාට මේ ව්‍යවස්ථා අර්බුදයෙන් රාජ්‍යය වළක්වා ගත හැක. නමුත් එවැන්නක් නොපෙනේ.

150(3) ව්‍යවස්ථාව හා රාජ්‍ය මූල්‍ය

මේ සමගම පැමිණෙන්නේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ ගැටළුවයි. රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ වගකීම සම්පූර්ණයෙන් ඇත්තේ පාර්ලිමේන්තුවටයි. මේ වන විට අයවැය ලේඛනයක් ඉදිරිපත් කර නොමැති බැවින් පසුගිය වසරේ ඉදිරිපත් කල අතුරු සම්මත ගිණුම අනුව මුදල් වෙන් කොට ඇත්තේ එළඹෙන අප්‍රේල් මස 30 වන දින දක්වා පමණි. පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති පසුබිමකදී ජනාධිපතිවරයාට ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වැය කිරීමට බලය ඇත්තේ 150 (3) ව්‍යවස්ථාව ප්‍රකාරවය.

නමුත් 150(3) ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වන්නේ එසේ මුදල් වියදම් කල හැක්කේ අභීනව පාර්ලිමේන්තුව කැඳවන දින සිට මාස 3ක් නොඉක්මවන තෙක් බවයි. මේ වන විට අභිනව පාර්ලිමේන්තුව කැඳවන දිනයක් ප්‍රකාශයට පත් කර නැත. එසේ නම් ජනාධිපතිවරයාට මුදල් වැය කිරීමේ හැකියාව අහිමි වී යන බවට සාධාරණ තර්කයක් ගොඩ නැගේ. එය බලපාන්නේ ජනාධිපතිවරයාට පමණක් නොව භාණ්ඩාගාර ලේකම් ඇතුළු රජයේ නිලධාරීන්ටත් එය බලපායි. ඔවුන්ට අධිකරණ මුක්තියක් නොමැති බව මතක තබා ගත යුතුය.

ක්‍රියාත්මක නොවන ජනපති

මෙවන් පැටලිලි සහිත ව්‍යවස්ථා අර්බුදයක් ඇති වන්නේ ජනාධිපතිවරයා නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසාය. ජනාධිපතිවරයා දිවුරුම් දී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුරැකීමටය. එසේ නම් ඔහුට බරපතළ නොකර හැරීම් සිදු කිරීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිසි ක්‍රියාකාරීත්වය අනතුරේ හෙළිය නොහැක.

නමුත් ලංකාව මේ ගමන් කරමින් සිටින්නේ කොරෝනා වසංගතය ජනිත කරන සෞඛ්‍ය අර්බුදයත්, ඒ හරහා බිහිවන ආර්ථික අර්බුදයත් අතරට තවත් බරපතළ ව්‍යවස්ථා අර්බුදයක්ද කැඳවා ගන්නා දෙසටය. මේ අවස්ථාවේ කටයුතු කල යුත්තේ දේශපාලන බලයේ අරමුණු පසෙකලාය. ජනාධිපතිවරයාම විපක්ෂයට ලියන ලද පිළිතුරු ලිපි වල දක්වන්නේ දේශපාලන අරමුණු ඇතිව කටයුතු කරන බවයි. ජනාධිපතිවරයා ඒ තරම් පාරිශුද්ධ නම් දේශපාලන බල‍ය තහවුරු කිරීමට කෙසේ හෝ මැතිවරණය ඉක්මනින් පැවැත්වීමේ සෙල්ලම නවතා වහා විසඳිය හැකි ව්‍යවස්ථා අර්බුදය සමනය කල යුතුය. වසංගතයේ අර්බුදයත් ආර්ථික අර්බුදයත් ව්‍යවස්ථා අර්බුදය මගින් තීව්‍ර කරනු ඇත.

ටොම් බින්ග්හැම් ප්‍රකාශ කලේ අපට අවශ්‍ය වන්නේ නීතියේ පාලනය අවබෝධ කරගත හැකි පාලකයන් බවයි. (“we need leaders who better understand the rule of law ” ) රාජ්‍යයක් නීතිය මත පාලනය විය යුතුය. එසේ නම් රාජ්‍යයේ මූලික නීතිය ආරක්ෂා කිරීමත් ඒ මත වන පාලනය සහතික කිරීමත් ජනාධිපතිවරයාගේ කාර්යයකි. වසංගතය මගින් බිහිකරන සෞඛ්‍ය අර්බුදයත්, ඒ මත බිහිවන බරපතළ ආර්ථික අර්බුදයත් අතරට බරපතළ ව්‍යවස්ථා අර්බුදයකුත් කැඳවා ගනිමින් නීතියේ පාලනය අනතුරේ හෙළන තත්වයක් ඇති කරමින්, මේ ආසන්න මරණ තුන මැද පැණි කෑ හැකි යැයි ජනාධිපතිවරයා සිතන්නේ නම් එය හිතන තරම් ඔහුට ලෙහෙසි පහසු කටයුත්තක් නොවනු ඇත.

-නීතිඥ දුලාන් දසනායක-

Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.