English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
වසංගතය උත්සන්න වෙද්දී ආණ්ඩුව ව්‍යවස්ථා අර්බුදයක් ඇති කරයි.
(2020-04-30)

<< Go Back
Share |   


මාර්තු 02 මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරි අතර, මහමැතිවරන දිනය ලෙස 2020 අප්‍රේල් 25 සහ නව පාර්ලිමේන්තුව ප්‍රථමයෙන් කැඳවන දිනය  2020 මැයි 14 බව මැතිවරණ කොමිෂන් සභාව (මැ.කො.ස)  නිවේදනය කලේය.  රාජපක්ෂ පාර්ලිමේන්තුව මෙසේ විසුරුවා හලේ පාර්ලිමේන්තුවේ නියමිත කාලය අවසන් වීමට තවත් මාස හයක් ඉදිරියට තිබියදීය.  පාර්ලිමේන්තුව මෙසේ විසුරුවා හරිනු ලැබූ විටක, ව්‍යවස්ථාවේ 70 (5) (අ) හා (ඇ) වගන්ති අනුව, මැතිවරනයෙන් තෝරාපත්කරගනු ලබන අභිනව පාර්ලිමේන්තුව, එය විසුරුවාහරිනු ලැබූ මාර්තු 02 සිට මාස තුනක් තුල පලමුවරට රැස්වීම සඳහා ජනාධිපති විසින් කැඳවිය යුතුවේ. මෙසේ ව්‍යවස්ථානුකූලව නව පාර්ලිමේන්තුව රැස්වියයුතු දීර්ඝම දිනය වන්නේ ජුනි 02 වන දිනයි. ඒ අනුව මැතිවරණය ජුනි 02 ට ප්‍රථම පැවැත්විය යුතුය.  පාර්ලිමේන්තු මැතිවරණ පනත හි 24(3) වගන්තිය පරිදි, යම් හදිසි තත්වයක් හේතුකොටගෙන මැතිවරනය සඳහා ජනාධිපති නියමකොට ඇති දිනය තුල එය පැවැත්වීමට නොහැකිනම් ඒ සඳහා  වෙනත් දිනයක් නියම කිරීමට මැතිවරණ කොමිෂන් සභාව (මැ.කො.ස)  හැකිය. නමුත් රටේ ඉහලම නීතිය වන ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉහත සඳහන්කල විධිවිධානයන්ට මැකොස බැඳී පවතින බැවින්,  පාර්ලිමේන්තුව විසුරුවීමෙන් මාස තුනක් ඉක්මවන දිනයක් වන ජුනි 20 දා මැතිවරණය පැවැත්වීමට මැ.කො.ස ගත් තීරනය අනීතික හා ව්‍යවස්ථා විරෝධී වේ.

මෙම අනීතිකභාවය මගින් බරපතල ව්‍යවස්ථා අර්බුදයක් නිර්මානය කරයි. මැතිවණය ජුනි 20 ට නියමකොට ඇති බැවින්, ජුනි 02 හෝ ඊට ප්‍රථම නව පාර්ලිමේන්තුව කැඳවීමේ හැකියාවක් නැත. ජුනි 02ට ප්‍රථම නව පාර්ලිමේන්තුව නොකැඳවුවහොත්, පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ජනාධිපතිගේ මාර්තු 02 ප්‍රකාශය බල රහිත තත්වයකට පත්කෙරෙන අතර, නීතිය අනුව පාර්ලිමේන්තුව විසුරුවා නොහරිනලද තත්වයකට පත්කෙරේ.  මාධ්‍යයට අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතීඥයෙකු හා දෙමල ජාතික සංධානයේ  හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.ඒ. සුමන්තිරන් ප්‍රකාශකලේ මෙම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරනයට යෑමට තමන් සූදානම් බවය.  වර්ධනය වන ව්‍යවස්ථා අර්බුදය ගැන ඉඟිකරමින් හිටපු කථානායක කරු ජයසූරිය සඳහන් කලේ මැතිවරන දිනය පිලිබඳ අධිකරනය ගන්නා තීන්දුවක් පිලිගන්නා බවත් තමන් පාර්ලිමේන්තුව යලි කැඳවීමේ සූදානමක් ඇති බවට මතුවන ආරංචි අසත්‍ය බවත්ය.   

අප්‍රේල් 20 රෑ රූපවාහිනී මාධ්‍ය හරහා විකාශය කෙරුනු, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ ජනාධිපති රාජපක්ෂ අතර පැවති සම්මුඛ සාකච්ජාවේදී මෙම ව්‍යවස්ථා අර්බුදය පිලිබඳ හොඳින්ම සවිඥානික වූ රාජපක්ෂ මෙසේ සඳහන් කලේය: “යම් හෙයකින් ජූනි 02 වන විට ජන්දය තබා නව පාර්ලිමේන්තුව පත්වී නොතිබුනහොත් මට පාර්ලිමේන්තුව කැඳවන්නට පුලුවන්කමක් නැහැ. එහෙම උනොත් ඒක කරන්න වෙන්නෙ ඉදිරි දිනයකදී.” “මොනම හේතුවක් නිසාවත් පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවීමට” තමන් සූදානම් නැති බව ද ඔහු නැවතත් අවධාරනය කලේය. මෙම ප්‍රකාශයන්හි බරපතල ඇඟවුම් පවතී.  ඔහු එසේ කියන්නේ ව්‍යවස්ථා අර්බුදයක් පැන නොනැගෙන පරිදි කල හැක්කක් තිබියදී ය. එනම්, වසංගතයේ අවදානම පහව ගිය කලෙක මැතිවරණය පවත්වන තෙක්, තමන් විසුරුවා හල පාර්ලිමේන්තුව නැවත කැඳවීමයි. ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(7) වගන්තිය යටතේ ඒ සඳහා   ප්‍රතිපාදන පවතී. ආණ්ඩු ගැති  ප්‍රතිගාමී නීති උපදේශකයන් රාජපක්ෂගේ නීතිය නොතකා කටයුතුකිරීම   අනුමත කිරීම සඳහා තවත් නීතිමය සංකල්පයක් වන  “අවශ්‍යතාවයේ මූලධර්මය”  සාවද්‍යලෙස යොදාගනී. මෙම මූලධර්මය පවතින්නේ යම් කටයුත්තක් කිරීම සඳහා අවශ්‍ය  ප්‍රතිපාදන නීතිය තුල නැති දුර්ලභ අවස්ථාවන්හිදී පමනි.

වසංගතය මධ්‍යයේ මහමැතිවරණය පැවැත්වීම මුලදී (මාර්තු21) කල්දැමූ මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණයට දින නියම කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරනයේ මතය විමසන ලෙස කල ඉල්ලීම රාජපක්ෂ  ප්‍රතික්ෂේප කලේ වසංගතය හේතුවෙන් මහජනයාට විය හැකි ව්‍යසනකාරී අන්තරායද නොසලකමින් කෙසේ හෝ නොපමාව මැතිවරණය පැවැත්වීමේ තම උත්සුකය  ප්‍රකට කරමිනි.  ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර හරහා අප්‍රේල් 06 මැකොසට  ලිපියක් යවමින් “ඡන්දය ප්‍රකාශ කිරීමට මේ රටේ ජනතාවට අයිතිය ඇති බවත්, එය ඔවුන්ගේ ස්වෛරි අයිතියක් බවත්” රාජපක්ෂ සඳහන් කලේය. මැතිවරණය ඉක්මන් කරන්නේ මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තහවුරු කිරීමේ අරමුනෙන් බව ව්‍යාජ ලෙස ඇඟවීමට රාජපක්ෂ උත්සාහ කලේය. වසංගත අවදානම පවතිද්දී මැතිවරනය පැවැත්වුවහොත්  අනෙක් දේශපාලන පක්ෂ වලට නිදහසේ මැතිවරන උද්ඝෝෂනයේ යෙදීමට ඇති අවකාශය බොහෝදුරට වැලකෙන බව රාජපක්ෂ දනී.

මැතිවරණය වඩාත් කල්ගියහොත්, එම කප්පාදු වැඩපිලිවෙල කෙරෙහිත්,  කොරෝනා වසංගතය හමුවේ තම ජීවිත සම්බන්ධයෙන් ආන්ඩුවේ සාපරාධී නොතැකීම කෙරෙහිත් මහජන අප්‍රසාදය ද උත්සන්නවී, අවශ්‍ය පාර්ලිමේන්තු බහුතර බලය තහවුරු කරගත නොහැකි වෙතැයි රාජපක්ෂ ගනන් බලයි.  කොරෝනා වසංගතය තුල උග්‍රකෙරී ඇති ගෝලීය මුල්‍ය කඩාවැටීම හමුවේ වඩාත් ගැඹුරුවන මූල්‍ය අර්බුදයකට මුහුන දී සිටින රාජපක්ෂ ආන්ඩුවට, එම අර්බුදයේ සමස්ත බර කම්කරු-පීඩිත මහජනතාව මත පැටවීම හැර අන් විකල්පයක් නොමැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුලු මුල්‍ය ප්‍රාග්ධනය මගින් නිර්දේශිත දැවැන්ත කප්පාදු හරහා රාජපක්ෂ ආන්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින්නේ එම වැඩපිලිවෙලයි.



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.