English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
රජයේ දුර්වල සෞඛ්‍ය ප්‍රතිපත්තිය හමුවේ වසංගත තත්වය උත්සන්නවීමේ අවධානමක්.
(2020-04-24)

<< Go Back
Share |   


අප්‍රේල් 16 වැනි දා කොලඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ කාන්තාවක් කොලඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී කොවිඩ්-19 ආසාදිතයෙකු වශයෙන් හඳුනා ගනු ලැබුනි. පුවත් වාර්තාවලට අනුව, ඉන්දියාවේ සංචාරය කර පැමින දින 14ක නිරෝධායන කාල සීමාවක් ද ගත කර තිබුනු ඇයට රෝග ලක්ෂණ පහල ව ඇත්තේ දින 33කට පසු ව ය.  ආන්ඩුව දක්ෂ ලෙස රෝගය පාලනය කර ගැනීමට සමත් වී ඇතැයි යන චිත්‍රයක් මහජනතාවගේ සිත් තුලට කා වැද්දවීමට තම ප්‍රචාරක යාන්ත්‍රනය මෙහෙයවමින් සිටී. “සාමාන්‍ය ජනතාව අතරින් ලෙඩ්ඩු එන්නේ නෑ. දින ගනනාවක සිට ලෙඩ්ඩු වාර්තා වෙන්නේ නිරෝධායන කඳවුරුවලින් පමණයි. ඒ තත්ත්වයට ගන්න අපට පුලුවන්කම ලැබුනා” යැයි සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි    ප්‍රකාශ කලා ය.  ලංකාවේ රෝගීන් අඩුවෙන් වාර්තා වීමට හේතුව රෝගය සනාථ කර ගැනීමේ PCR පරීක්ෂනයන්ගේ දැඩි අප්‍රමානවත්භාවය බව වෛද්‍ය විශේෂඥයෝ මීට පෙර සඳහන් කලහ. පසු ගිය සිකුරාදා සහ සති අන්තයේ දී රෝගීන් 30 දෙනෙකුට වඩා තහවුරු කර ගැනීමට හැකි වුනේ PCR පරීක්ෂණ දෛනික ව පන්සියයකට ආසන්න ගනනක් සිදු කිරීමට පටන් ගැනීමත් සමගයි. එසේ පරීක්ෂනයට ලක් කෙරෙන අයගෙන් සියයට පහක් ආසාදිත බව තහවුරු කෙරෙන බවත් එම ප්‍රතිශතය ස්ථාවර අගයක පවතින බවත් නිල වාර්තාවන් හි සඳහන් වෙයි. එය ඉතා ඉහල අගයකි. එ මගින් පෙන්නුම් කෙරෙන්නේ දිනකට කෙරෙන පරීක්ෂන සංඛ්‍යාව ප්‍රමානවත් පරිදි ඉහල දැමුවහොත් ආසාදිතයන් බව තහවුරු කෙරෙන සංඛ්‍යාව දැවැන්තව ඉහල නගින බවයි. 

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහට අනුව ලංකාව තවමත් පවතින්නේ මූලාශ්‍රය දන්නා පොකුරු වශයෙන් අසාදිතයන් වාර්තා වන තෙ වැනි අදියරේ ය. “රෝගයේ අවදානම පහ ව ගොස් ඇති බවක් අපට පැවසිය නොහැකි ය” යයි අනිල් ජාසිංහ අප්‍රේල් 18 වැනි දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කලේ ය. “සාමාන්‍ය ජනතාව අතරින් ලෙඩ්ඩු එන්නේ නෑ” යන සෞඛ්‍ය ඇමතිගේ ප්‍රකාශය නිවැරදි නොවන බව මේ නිවේදනයෙන් ගම්‍ය වෙයි. ආන්ඩුවට හිතවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ පවා දිවයින පුවත්පතට පවසා ඇත්තේ “වසංගතය හමුවේ රට ඉන්නේ කොතනද යන්න ගැන නිවැරදි චිත්‍රයක්” ඔවුන්  හමුවේ නොමැති බවයි. අලුත්ගේට අනුව දිනකට පරීක්ෂන 1500ක් කල හැකි වුවත් මේ වන විට කෙරෙන්නේ පරීක්ෂන 500ක් පමනකි. ආසාදිතයන් සමීප ව ඇසුරු කල අය 3000ක් පමන පිරිසක් හඳුනා ගෙන ඇති නමුත් ඔවුන් තවමත් පරීක්ෂනවලට යටත් කොට නොමැති බව ද ඔහු පවසයි. ඔවුන් සිටිනා ප්‍රදේශ මොනවාද යන කාරනා රටට එලිදරවු කල යුතු බවත් එසේ නොමැති ව අවදානම නිවැරදි ව තක්සේරු කල නොහැකි බවත් ඔහු කියා සිටී. සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන වසංගත රෝග විද්‍යා අංශය සංඛ්‍යාලේඛන හෙලිදරවු නොකරන බවට ද අලුත්ගේ එහිදී “බරපතල ලෙස” චෝදනා කරයි.

අප්‍රේල් 17 වැනි දා “කොරෝනා පරීක්ෂන සඳහා ජනතා ඉල්ලීම් ඉහලට” යන මැයෙන් දිවයින පල කල ලිපියක සඳහන් වන්නේ,  පීසීආර් පරීක්ෂන දැනට සිදු කල හැකි උපරිම ධාරිතාවෙන්වත් දෛනික ව නොකෙරෙන්නේ ඒ සඳහා අවශ්‍ය මූල්‍යමය සම්පත්වල සහ කාර්ය මන්ඩලවල සීමිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජාසිංහ පවසා ඇත. නමුත්, වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ ගුවන්තොටුපල විවෘත කරන්නේ නම් සමූහ පරිමාන පීසීආර් පරීක්ෂන අනිවාර්ය වන බවයි. කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා වීමේ දී, එම රෝගයේ ජාත්‍යන්තර අත්දැකීම් ද පෙන්වා දෙමින් වෛද්‍ය විශේෂඥයන් දිගින් දිගට ම පෙන්වා දුන්නේ වෙන්ටිලේටර් උපකරන සහිත දැඩි සත්කාර ඇඳන් සංඛ්‍යාවේ සීමිත බවත් රෝගයේ සීඝ්‍ර පැතිර යාමක් සමස්ත සෞඛ්‍ය පද්ධතියේ ම බිඳ වැට්ටවීමක් කරා යා හැකි බවත් ය. රෝගය පැතිර යාම “පාලනය කර” ඇතිබවක් පෙන්නුම් කරමින් ආන්ඩුව එම කටයුතු සාපරාධී ලෙස මග හැරියේ ය. දියුනු තාක්ෂනයෙන් සන්නද්ධ නවීන වෙන්ටිලේටර් උපකරන සපයා ගැනීමට මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරනු වෙනුවට, රුපියල් 10,00015,000ට වෙන්ටිලේටර් යන්ත්‍ර නිෂ්පාදනය කල හැකි බවට විවිධ වැඩසටහන් ඉදිරිපත් කරමින් සිටි ආන්ඩුව ගොඩවෙදකම් ප්‍රවර්ධනයට ද අනික් පසින් තම අනුග්‍රහය සම්පාදනය කලේ ය.

සෞඛ්‍ය අංශ විසින් වාර්තා කරන අන්දමට දැනට වෛරසය ස්පර්ශ වී ඇති පුද්ගලයින් 42,000ක් පමන රට පුරා විසිරී සිටියි. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, ලංකා වෛද්‍ය විද්‍යායතනය සහ ලංකා අනුකජීවවේද විද්‍යායතනය යන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරිපෙල සංවිධාන කිහිපයක් සිය නිවේදනයන් හි සඳහන් කරන්නේ වසංගතය පාලනය කිරීමට නම් වඩා නිවැරදිව ආසාදිතයන් හඳුනාගත හැකි “PCR පරීක්ෂන දිනකට 1,500ක් වත් සිදුකල යුතු” බවයි. “වෛරසයේ තව තවත් පුද්ගලයින්ගේ ශරීර තුලට ඇතුලුවීම වලක්වාගැනීමට නම් දැනට සිටින ආසාදිතයන්ම සෘජුව සම්බන්ධවූ පලමු ආශ්‍රීතයන් වෙන් කරගැනීම තීරනාත්මක බව” එම ආයතන වැඩිදුරටත් පවසයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග අංශය පෙන්වාදෙන්නේ එම පලමු ආශ්‍රිතයන් 2,000ක් ලංකාව තුල සිටින බවයි. රෝග ලක්ෂන පහල නොවන, එහෙත් වෛරසය ඇතුලුවී ඇතැයි සැක කරන්නන් පරීක්ෂා කිරීමේ තීරනාත්මකභාවය පැහැදිලි කරමින්, වෛද්‍ය රසායනාගාර විද්‍යා වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මාධ්‍යයට මෙසේ පැවසීය: “මාර්තු 31 වැනිදා අපි කාලයක් තිස්සේ කියපු දෙයක් ඔප්පු වුනා. එක දවසක් ඇතුලත කොවිඩ්-19 රෝගීන් 20 ක් හඳුනාගත්තා. ඒකට හේතුව තමයි රෝග ලක්ෂන නැති අයවත් පරීක්ෂාවට ලක්කිරීම. රෝග ලක්ෂන නැති අය පරීක්ෂාවට ලක් කල මුල්ම අවස්ථාව ඒක”. එම පුවත්පත් සාකච්ඡාවේදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලේ එවැනි පුද්ගලයන් පරීක්ෂා කිරීම දිගින් දිගට නොකලහොත් ආසාදිතයන් සියයට 80ක් පමන මගහැරීමේ අවදානමක් ඇති බවයි.

මෙම බරපතල තත්වය විසින් යලි යලිත් ඉස්මතු කෙරෙන්නේ පරීක්ෂන කටයුතු පුලුල් කිරීමේ දැඩි අවශ්‍යතාවයක් උද්ගතව පවතින බවයි. දැනට ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂන තුලින් පෙන්වාදී ඇත්තේ ඇතැම් රෝගීන් රෝග ලක්ෂන නොපෙන්වන නමුත් ඔවුන් වාහකයන් ලෙස ක්‍රියා කරන බවයි. තත්වය එසේ නම් ආන්ඩුව දැනට සිදුකරන පරිදි වෛරසය ස්පර්ශ වී ඇතැයි සැක කරන්නන් රෝග ලක්ෂන පහල වූ පසුව පමනක් පරීක්ෂන සඳහා යොමු කිරීම හරහා රෝගය වඩ වඩාත් සමාජගත වීමට ඉඩසැලසෙනු ඇත. පරීක්ෂන කටයුතු අප්‍රමානවත් වීමේ විපාකයන් පිලිබඳ අනතුරු ඇඟවීම් මේ සා පරිමාන වුවත් ආන්ඩුව ඊට නෑසු කන්ව සිටින්නේ ප්‍රමානවත් සෞඛ්‍ය පහසුකම් සැලසීම සඳහා ලොව පුරා පාලක පන්තීන් විසින් පෙන්නුම් කර ඇති සාපරාධී අසමර්ථභාවයේ හවුල්කරුවන් වෙමිනි. පරීක්ෂනවල අවශ්‍යතාවය පිලිබඳ මහජනතාව අතර අවබෝධය වර්ධනය වීම ආන්ඩුව විසින් දැක ගනු ලබන්නේ තමන්ට එල්ල වන අභියෝගයක් ලෙසයි. ප්‍රමානවත් ආරක්ෂක උපාංග නැති කමින් වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයන් අතර වඩෙන අතෘප්තිය සහ වැඩවර්ජන කරා එලඹීමට ඔවුන්ගේ සූදානම සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නොමැති කමින් ගම්බද සහ නාගරික දුගීන් අතුලු පීඩිත කන්ඩායම් අතරින් මතුවන විරෝධතා හේතුවෙන් දැනටමත් බරපතල සමාජ පිපිරීමක් දෙසට රට ගමන් කරමින් තිබේ.



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.