English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
දිග්ගැස්සෙන කොරෝනාවේ ආර්ථික කොරෝනාව - දුලාන් දසනායක
(2020-04-23)

<< Go Back
Share |   


මේ වන විට කොරෝනා වසංගතය දිග්ගැස්සෙන ලකුණු පහළ වී තිබේ. මේ වෛරසය සඳහා එන්නතක් සොයා ගැනීමට දිගු කලක් ගත වනු ඇති බවත් තවදුරටත් මෙම තත්වය දිගට ඇදී යනු ඇති බවත් පසුගියදා ලෝක සෞඛ්‍ය සංවිධානය මාධ්‍ය හමුවක් කැඳවමින් ජිනීවා හිදී ප්‍රකාශ කරන ලදී.

ශ්‍රී ලංකාවට පෙර මෙම වෛරසය හඳුනා ගත් රටවලද තත්වය තවමත් සුබදායක නොවේ. චීනයේ නැවත නැවතත් ආසාධිත රෝගීන් හමුවන බවට වාර්තා වේ. එසේ නම් තත්වය බරපතළය. මාලදිවයිනෙන් වාර්තා වන ආකාරයට ඔවුන්ගේ අවසන් රෝගියා හමුවී මාසයකට පසු අප්‍රේල් 15 වනදා තවත් රෝගියකුට මෙම වෛරසය ආසාධානය වී ඇත. එම රෝගියාට වෛරසය ආසාධානය වූයේ කෙසේදැයි අද වන විටත් සොයා ගෙන නැත. මේ තත්වය තුළ කොරෝනා තත්වය තවත් කලක් දිගට පවතිනු ඇතැයි අපට නිගමනය කළ හැක.

පරීක්ෂණ ප්‍රමාණවත් නෑ

ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් හමුවීම එක්වරම වේගවත් වූයේ පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීමත් සමගය. මෙම පරීක්ෂණ ප්‍රමාණය වැඩි කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු ක්ෂේත්‍රයේ දැනුමැති අය ආණ්ඩුවට අවධාරණය කරන ලදී. නමුත් ආණ්ඩුව ඒ ගැන අවධානයක් යොමු කල බවක් දැකිය නොහැකි විය. මෙම පරීක්ෂන ප්‍රමාණය මේ තරමින් හෝ වැඩි කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇත්තේ බොහෝ ප්‍රමාද වෙමිනි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද දින (අප්‍රේල් 23) ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් පරීක්ෂණ ප්‍රමාණවත් පරිදි සිදු නොකිරීම පිළීබඳ කණගාටුව පළ කරයි. ඔවුන් විසින් මාර්තු 31 වන දින ජනාධිපතිවරයාට යොමු කල ලිපිය අනුව සෞඛය බලධාරීන් ක්‍රියාත්මක නොවී ඇති බවත් පෙන්වා දෙයි.

පරීක්ෂණ ප්‍රමාණවත් නොවීම ආර්ථිකයට බලපෑම

මේ වන විට ලංකාවේ ආර්ථිකය ඇත්තේ දරුණු අගාධයකට වැටෙමින්ය. එසේ නම් ආර්ථිකය යළි පණ ගැන්විය යුතුය. යළි පණ ගැන්වීමට නම් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිරිස් පවසන පරිදි ප්‍රමාණවත් ලෙස පරීක්ෂණ කටයුතු සිදු කල යුතුය. ප්‍රමාණවත් පරිදි පරීක්ෂන සිදු කර යම් සහතිකයක් ලබා දීම ආණ්ඩුවේ වගකීමකි. ලංකාවට ආර්ථිකය පණ ගැන්වීමට නොහැකි වන්නේ මේ පරීක්ෂණ ප්‍රමාණවත් පරිදි සිදු කර නිසි සහතිකය ලබා නොදීමය.

පරීක්ෂන සිදු කිරීම අතින් ලංකාව සිටින්නේ ලෝකයේ අවම මට්ටමේය. එය ඉතා දරුණු තත්වයකි. යම් පමණකට හෝ ප්‍රමාණවත් ලෙස ලංකාව පරීක්ෂණ සිදු කිරීම ආරම්භ කලේ මෑතකදීය. එහිදී රෝගීන් සැලකිය යුතු ප්‍රමාණයක් තහවුරු වීම සිදු විය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන පරිදි පරීක්ෂණ ප්‍රමාණය ප්‍රමාණවත් නොවේ. එසේ නම් එකී පරීක්ෂණ ප්‍රමාණය වැඩි කොට අදාළ සහතිකය ලබා දී ආර්ථික කටයුතු ආරම්භ කිරීමට මග පෑදීම ආණ්ඩුවේ වගකීමකි.

ආර්ථිකයේ තත්වය

ලංකාවේ ආර්ථිකය මේ වන විට ගල් ගැසුනු මට්ටමකට පත් ව ඇත. ආදායම් ගලා එන්නේ ඉතා අල්ප වශයෙනි. මත් පැන් අලෙවි නොවේ, ලොතරැයි අලෙවි නොවේ, රජයට රථවාහන දඩ අහිමි වී ඇත, රජයේ කාර්යාල වලින් දිනකට එකතු වන අතිවිශාල මුදලක් අහිමි වී ගොසින්ය. මේ රජයේ දෛනික ආදායම් වලට වී ඇති තත්වයයි. එසේ නම් ඉතාම සුළු වශයෙන් අසීරුවෙන් සිදු කරන අපනයන ආදායමක් පමණක් රජයට මේ වන විට ලැබේ. රජයේ බදු ආදායම් ඉතා සීඝ්‍ර ලෙස පහළ යනු ඇත.

විදේශ ණය

පසුගිය වසරේ සංඛ්‍යාලේඛන අනුව ලංකාවට ඇති මුළු විදේශ ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 52310කි. මෙම ප්‍රමාණය අපේ දළ දේශීය නිෂපාදිතයේ ප්‍රතිශතයක් ලෙස 58.7%කි. බොහෝ අය සිතන්නේ අපට යම් සහනයක් මේ යටතේ ගත හැකි බවයි. නමුත් මෙම මුළු විදේශ ණය වලින් ඩොලර් මිලියන 12150ක්ම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වලින් ලබා ගත් ඒවාය. ඒවායින් 50%කටත් වඩා මිලදී ගෙන ඇත්තේ යුරෝපය හා එක්සත් ජනපද මූල්‍ය ප්‍රභවයන්ය. මෙම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා අපට ඉතා ආසන්න දින වලදී ඩොලර් බිලියන ගණනින් මුදල් ගෙවීමට සිදු වෙයි. ඒවා වළකා ගත නොහැක. ලෝකයම අර්බුදයක ගිලී ඇති මොහොතක අපට එතරම් විශාල සහනයක් ලබා ගත් ණය සඳහා ලබා ගත හැකි නොවනු ඇත.

අපට තවත් ප්‍රදානයන් හා ණය මේ අර්බුදයට සහනයක් ලෙස ලබා ගත හැකි වීමට ඉඩ ඇත. අප මෙහිදී චීනයෙන් හොඳින්ම ප්‍රවේශම් විය යුතුව ඇත. මේ අර්බුදකාරී අවස්ථාවේදීත් අපට යුරෝපා සංගමය හා එක්සත් ජනපදය ප්‍රදානයක් ලබා දෙද්දී චීනය ලබා දුන්නේ අඩු පොළියට ණයකි. චීනය බොහෝ දුරට අවස්ථාවාදීය. දූෂිතය. චීනයේ ණය උගුලට හසු වූ රටවල් ගණනාවක් උදාහරණ ලෙස පැවසිය හැක. ඒ උගුලට හසු වී ගැලවූනු රටක් අප අසා නොමැත. අපව තව තවත් චීන ණය උගුලේ හිර කිරීමට මෙය ඔවුන් අවස්ථාවක් කර ගන්නවා නිසැකය.

ඇගළුම් ක්ෂේත්‍රය

ඇගළුම් ක්ෂේත්‍රය අපේ ආර්ථිකයේ ජීවනාලිය බඳු ක්ෂේත්‍රයකි. GSP + සහනය නැවත ලබා ගැනීමත් සමග එම ක්ෂේත්‍රය ඉතා ඉක්මනින් තව තවත් දියුණුවට පත් විය. මේ වන විට ඇගළුම් ක්ෂේත්‍රයේ සෘජු සේවා නියුක්තිය 990,000 ඉක්මවන බව ආයෝජන මණ්ඩල වාර්තා කියයි.

පසුගිය වසරේ ඇගළුම් ක්ෂේත්‍රය ලංකාවට ලබා දුන් අපනයන ආදායම ඩොලර් බිලියන පහක් පමණ වේ. එය සමස්ත අපනයන ආදායමේ ප්‍රතිශතයක් ලෙස 44%කි. ඇගළුම් ක්ෂේත්‍රය ආර්ථිකයට සිදු කරන බලපෑම ඉන් පෙනේ. අද වන විට මෙම ඇගළුම් ක්ෂේත්‍රය කම්පනයට ලක් වී ඇත. ප්‍රමුඛ පෙළේ ඇගළුම් ආයතන සේවක වැටුප් කප්පාදුවකට සැරසෙයි. සේවක කප්පාදුවක තොරතුරුද වාර්තා වෙයි. මේ ක්ෂේත්‍රයේ ආදායම් අහිමි වීම රටක් ලෙස දරා ගත නොහැකි ආර්ථික කඩා වැටීමකට මග පාදනු ඇත

සංචාරක ක්ෂේත්‍රය

පශ්චාත් යුද සමය තුළ ලංකාවේ සීඝ්‍රයෙන්ම දියුණු වූ ක්ෂේත්‍රයකි සංචාරක ක්ෂේත්‍රය. වෙනත් ව්‍යාපාරික කටයුතු සිදු කරන ලද ව්‍යාපාරිකයන් පවා හෝටල් ක්ශේත්‍රයේ ආයෝජන සිදු කරන ලදී. ඉහළ පෙලේ සංචාරක හෝටල් ශ්‍රී ලංකාවේ ඉදි වෙමින් පැවතුණි. පසුගිය සමයේ ලෝන්ලි ප්ලැනට් නම් ලොව පිළීගත් සගරාව ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කරන ලදී. පාස්කු ප්‍රහාරයෙන් යම් කඩා වැටීමකට ලක් වුනද එය නැවත පණ ගන්වා ගැනීමට හැකියාව ලැබුණි.

පසුගිය වසරේ සංචාරක ක්ෂේත්‍රයේ මුළු ඉපයීම් ප්‍රමාණය ඩොලර් මිලියන 4381කි. සංචාරක සේවයේ සෘජු සේවා නියුක්කිය 169,003කි. පසුගියදා සංචාරක ක්ෂේත්‍රයේ අර්බුදය පිළිබද පැවැති අන්තර්ජාල සම්මන්ත්‍රණයේදී කියවුනේ මෙම ප්‍රමාණයෙන් 80%කට අධික ප්‍රමාණයක් හෝටල් ක්ෂේත්‍රයේ රැකියා සිදු කරන බවය. සංචාරක ක්ෂේත්‍රයේ වක්‍ර රැකියා නියුක්තිය 219,484කි.

මේ ආකාරයට ආර්ථිකයේ විශාල පංගුවකට හිමිකම් කියන සංචාරක ක්ෂේත්‍රය බරපතළ අනතුරක මේ වන විට පවතී. මෙම ක්ෂේත්‍රය තවත් දිගු කාලයක් යන තෙක් නැවත පණ ගැන්විය නොහැකි මට්ටමේ කරුණු මේ වන විට ලෝක පරිමාණව උද්ගත වී තිබේ.

විදේශ සේවා නියුක්තිය

මේ අර්බුදය තුළ ශ්‍රී ලංකාවේ අර්බුදයට ලක් වන තවත් ක්ෂේත්‍රයක් නම් විදේශ රැකියා ක්ෂේත්‍රයයි. විදේශ සේවා නියුක්තිය තුළින් ශ්‍රී ලංකාව  උපයන ආදායම ඩොලර් මිලියන 7015කි. අද වන විට සියලුම විදේශ ශ්‍රමිකයන් පාහේ නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ඉල්ලමින් සිටියි. බොහෝ දුරට අති විශාල ශ්‍රමිකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. එවිට ඔවුන්ගේ ආදායම අහිමි වනවා පමණක් නොව ඇගළුම් හා සංචාරක ක්ෂේත්‍රයේ රැකියා අහිමි වන ගොඩට ඔවුනුත් එකතු වෙයි. මේ ආකාරයට රැකියා අහිමි වීම් සියලු ක්ෂේත්‍ර වල සිදු වීමට නියමිතය.

සේවා නියුක්තිය

ශ්‍රී ලංකාවේ මුළු සේවා නියුක්තිය මිලියන 8 කි. ඉන් රජයේ සේවකයන් 14.5%ක් වන අතර 43.4%ක් පෞද්ගලික අංශයේය. නොවිධිමත් රැකියා අංශයේ සේවා නියුක්තිය 42.2%කි.

පෞද්ගලික අංශයේ රැකියා කප්පාදු කිරීමේ තත්වයක් මේ වන විටත් නිර්මාණය වී ඇත. විශේෂයෙන් ආයෝජන මණ්ඩලය යටතේ විශේෂ කොන්දේසි මත පිහිටුවා ඇති කර්මාන්ත ශාලා වල රැකියා අහිමි වීම ඉතා ඉක්මනින් සිදු වනු ඇත.

නොවිධිමත් අංශය යනු ස්වයං රැකියා, උපකාරක පන්ති, නීතිඥ, ගෘහ නිර්මාණ ශීල්පීන් වැනි වැටුප් නොලබන වෘත්තිකයන් ඇතුළත් ඛාණ්ඩයයි. මේ ඛාණ්ඩයට මෙම අර්බුදය ආරම්භයේ සිටම දැනෙන්නට විය. මේ ඛාණ්ඩයේ සියලුම අයට රුපියල් 5000ක දීමනාව ලබා ගත නොහැක. මේ ඛාණ්ඩයේ තත්වය දියුණු වීමටද කලක් ගත වනු ඇත.

මේ ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක හා පොදු තත්වයයි. මේ ආකාරයේම තවත් ක්ෂේත්‍ර ගණනාවක් බරපතළ අනතුරක පවතී. ප්‍රධාන වශයෙන්ම බරපතළ වන්නේ ආර්ථිකයට විදේශ විනිමය පොම්ප කරන ඉහත කී ප්‍රධාන අංශ අඩපණ වීමයි.

එසේ නම් අප සියලුම ආර්ථික අංශ වසා ගෙන දිගින් දිගටම සිටියහොත් සිදු වන්නේ වසංගත කොරෝනාවට වඩා භයානක ඊටත් වඩා කාලයක් අපේ ජීවිත රිදුම් දෙන ආර්ථික කොරෝනාවට මග පෑදීමය.

එක්සත් ජනපදයේ ආර්ථීකය වසා දැමීමේ ක්‍රියාවලියට එරෙහිව විරෝධතා මතු වී ඇති බව මේ සමග මතක් කල යුත්ය. ඇමරිකාවට වැඩ කරන්න ඉඩ දෙන්න යනුවෙන් ඔවුන් හඩ නගයි. ඔවුන් පවසන්නේ කොරෝනාවෙන් මරණයට පත් වීම් ගැන මෙන්ම මිලියන ගණනකගේ රැකියා අහිමි ළුීම් ගැනද සංවේදී විය යුතු බවය. මා ජාතිකවාදී ට්‍රම්ගේ ක්‍රියාවන් මුළුමනින්ම සාධාරණය නොකලත් එය එක අතකට ඇත්තය. අපේ ආර්ථිකයන් අනවශ්‍ය පරිදි වසා දැමීමෙන් සිදු වන්නේ කොරෝනාවට එහා ගිය විනාශයකි. කොරෝනාවට බෙහෙත් සොයා ගැනීමටත් මේ වසංගතයට මුහුණ දීමටත් ආර්ථිකයක් ඉතිරි විය යුතුය.

ආණ්ඩුව කොයිබටද?

ආණ්ඩුව බොහෝ තීරණ ගත්තේ ප්‍රමාද වීය. ගුවන් තොටුපළ වැසීමට ආණ්ඩුව කල් මැරුවේය. රටටම ඇඳිරි නීතිය පැනවීමටද කල් මැරුවේය. දැන් ආන්ඩුව කඩිමුඩියේ ඇඳිරි නීතිය ඉවත් කරන්නේ කිසිදු සැලැස්මකින් තොරවය. ආණ්ඩුව සිදු කල යුත්තේ මේ ඇඳිරි නීති සමයේ ඇඳිරි නීති ඉවත් කර ආර්ථිකය පණ ගැන්වීමට යම් සෞඛ්‍යාරක්ෂීත ක්‍රමවේද සැකසීමය. ඒ කිසිදු ක්‍රමවේදයකින් තොරව ආණ්ඩුව ඇඳිරී නීතිය ඉවත් කරයි.

ආර්ථිකයේ කඩු වැටීමේ තත්වය සුළු පටු නොවන වටපිටාවක දැන්වත් නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ඔස්සේ ආර්ථිකය පණ ගැන්වීම ගැන ආණ්ඩුව සිතා නැත. ජනයාගෙන් අතිවිශාල පිරිසක් මහමගට වැටීමට නියමිතය. ආණ්ඩුව සිටින්නේ ඒ කිසිවක් ගණනට නොගෙනෙද?

මිලිටරි ක්‍රමවේදයකින් පමණක් ආර්ථිකයක් ගොඩ නැගිය නොහැක. ආණ්ඩුව ඇදිරි නීතිය යොදා මිනිසුන් ගෙවල් ඇතුලට කර පසුව හිටි ගමන් ඇඳිරි නීතිය විවෘත කලේය. තදබදය ඇති වූයේ ඒ නිසාය. ප්‍රථමයෙන් ආන්ඩුව ක්‍රමවේදය සැකසිය යුතුය. අද වන විටත් අත්‍යවශ්‍ය සේවා සිදු කරන රජයේ නිලධාරීන් කාර්යාල ඇතුළට ගැනීමේ දී විෂබීජ හරණය කරන වැඩසටහනක් පිළිවෙලකට සකසා නොමැත. රජයට ආදායම් ලබන වැඩි වශයෙන් මිනිසුන් ගැවසෙන කාර්යාල විවෘත කිරීමට පෙර ඒවා විෂබීජ හරණය කොට ඒවායේ සේවකයන්ද දිනපතා ඇතුල් වීමේදී හා නිවෙස් බලා පිටවීමේදී විෂබීජ හරණය කිරීමේ වැඩ සටහනක් අවශ්‍යය. වැඩි වශයෙන් කාර්යාල හා ආයතන විවෘත කර තැබීමට ක්‍රමවේදයක් සැකසීම වැදගත්ය. එවිට තදබදය අඩුවේ. රජයේ ආයතන පෞද්ගලික ආයතන බැංකු වෙලඳසැල් පවා සේවා මුර ක්‍රමයකට ආරම්භ කිරීම ගැන සලකා බැලිය යුතුය. මේ කිසිවක් නොබලා හිටි අඩියේ ඇදිරි නීතිය ලිහිල් කල නොහැක. මේ ආදී ක්‍රමවේද මේ වන විට යුරෝපයේ, දකුණු කොරියාවේ වැනි රටවල සකසමින් අපට වඩා විශාල ආර්ථිකයන්ද පණ ගන්වා ගෙන ඉදිරියට යයි. ආණ්ඩුව මිලිටරි චින්තනය හා බලය තහවුරු කිරීමේ මැතිවරණ මංගල්ලයත් පසෙක තබා තීරණ ගත යුතුය. වහා PCR පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ දැමිය යුතුය. සෞඛ්‍ය උපදෙස් අනුව සිදුකරන විෂබීජ හරණ ක්‍රියාවලිය හා ආර්ථිකය පණ ගැනීවීමේ ක්‍රියාවලියට මිලිටරි සහය ලබා ගත යුතුය. තීරණ ගැනීමට නොවේ.

මෙම කොරෝනා අර්බුදයට මුහුණ දීමටත් ආර්ථිකයක් ඉතිරිව තිබිය යුතු බව සියලු දෙනා වටහා ගත යුතුය. ඒ අනුව ආන්ඩුව සෞඛ්‍යආරක්ෂිත ක්‍රමවේද ඔස්සේ ආර්ථිකයට පණ දීමට බුද්ධිමත්ව කටයුතු කල යුතුය. එය සිය බල උවමනාවන්ගෙන් වියුක්ත දෙයක් විය යුතුය. බල උවමනාවේ ගැලී ආණ්ඩුව ගත් සියලු තීරණ වලට වුනු දේ ආණ්ඩුව දැන් හොඳින්ම දනී. අපට ඇදිරි නීතිය ලිහිල් කිරීමට තවදුරටත් නොහැකි වී ආර්ථිකය පණ ගන්වා ගැනීමට නොහැකි වුවහොත් බරපතළ ආර්ථික ව්‍යසනයකට මුහුණ දීමට සිදු වනු ඇත. එය ස්ථිරය. එකී අර්බුදයේ සුළි සුළග දැනටමත් අපගේ ගේ තුළ ට පැමිණ ඇත. ගෙදර වහලත් ගලවාගෙන ගොස් සමස්තය විනාශ කිරීමට එකී අර්බුදයේ සුළි සුලගට අප ඉඩ දිය යුතු නැත.

-දුලාන් දසනායක-

Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.