English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ලංකාවේ පාස්කු ප්‍රහාරය හා I.S.I.S ව්‍යාප්තිය!
(2020-04-22)

<< Go Back
Share |   


2019 පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ කිතුනු දේවස්ථාන සහ කොළඹ හෝටල් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරය එසේ මෙසේ එකක් නොවෙයි. 300 කට ආසන්න පිරිසකට මරු කැඳවමින්, 500 ක රෝහල් ගත කළ එම ප්‍රහාරය පසුගිය දශකයේ සිදුවුණු දරුණුතම ත්‍රස්ත ප්‍රහාරයයි. අයිසිස් (I.S.I.S.) හෙවත් “ඉස්ලාමික් ස්ටේට් ඔෆ් ඉරාක් ඇන්ඩ් සිරියා” ත්‍රස්ත සංවිධානය එම ප්‍රහාරයේ වගකීම බාර ගත්තේය.  පසුගිය 2019 මාර්තු 15 වැනිදා නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් පල්ලි දෙකට එල්ල වූ වෙඩි ප්‍රහාර එල්ල විය. වෙඩි තැබිම කළේ ඕස්ට්‍රේලියානු ජාතික සුදු අන්තවාදියෙකි. සුදු ජාතිකයා කළ එම ප්‍රහාරයට එකට එක කිරීමක් ලෙස, පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවට පහරදීමක් කළ බව පැවැසුණත්, ප්‍රහාරයේ වගකීම බාරගත් I.S.I.S ත්‍රස්ත සංවිධානය ඒ බව තහවුරු කර නොමැත. ඉතා සැලැසුම්සහගතව, මහා විනාශයක් කළ පාස්කු ඉරිදා ප්‍රහාරය කිසිසේත් සුළුකොට තැකිය නොහැක. මන්ද, ශ්‍රී ලංකාවට එල්ල වූ ප්‍රහාරය භූගෝලීය දේශපාලනික වශයෙන් මුළු මහත් දකුණු ආසියාවට විශාල බලපෑමක් සිදු කිරීමට සමත් වී තිබේ.    

ඉරාකයෙන් සහ සිරියාවෙන් අඩපණ වුණු I.S.I.S ත්‍රස්ත සංවිධානය, ඔවුන්ගේ බලය පෙන්වීමට තෝරා ගෙන ඇත්තේ දකුණු ආසියාව බව ශ්‍රී ලංකාවට එල්ල වූ මෙම ප්‍රහාරවලින් තවත් පැහැදිලි වෙයි I.S.I.S සංවිධානය ලොව බිහිසුණු මෙන්ම බලවත් ත්‍රස්ත සංවිධානය බවට පත් වූයේ 2014 දී සිරියානු යුද්ධයත් සමඟය. I.S.I.S ත්‍රස්තයන්ගේ ආරම්භය වසර ගණනාවක් ඈතට දිවයයි. කෙසේ නමුත් 2003 දී ඇමෙරිකන් හමුදා ඉරාකයේ සදාම් හුසේන් පාලනය පෙරළා දැමූ අවස්ථාවේදී, සදාම් හුසේන්ගේ බාත් දේශපාලන පක්ෂ සාමාජිකයන් I.S.I.S නමැති කුඩා ඉස්ලාමීය අන්තවාදී කල්ලිය සමඟ එක් වී සිටි අතර, මොවුන් අල් කයිඩාවට සහාය දක්වන්නන් විය. සිරියානු සිවිල් යුද්ධය ආරම්භ වූයේ, සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ට එරෙහිව විපක්ෂ කණ්ඩායම් අවි අතට ගැනීමත් සමඟය. එවකට ඇමෙරිකන් ජනාධිපති වූයේ බැරැක් ඔබාමාය. ඇමෙරිකාව, ප්‍රංශ සහ බ්‍රිතාන්‍යය අවි ආයුද දෙමින් සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම් ශක්තිමත් කළේය. I.S.I.S ත්‍රස්තවාදීන් අසල්වැසි ඉරාකයේ සිට සිරියාවට පැමිණි අතර බටහිරින් ලැබුණු අවි ආයුධවලින් ඔවුන් ශක්තිමත් විය. බිහිසුණු අන්තවාදී ප්‍රතිපත්ති නිසා අල් කයිඩාව, I.S.I.S සංවිධානය සමඟ සබඳතා අත්හැරියේය. ඒ අනුව I.S.I.S කල්ලිය ලොව ප්‍රබල ත්‍රස්ත සංවිධානයක් ලෙස නැගී සිටීම ඇරැඹිණි.

තමන් අල්ලා ගත් ප්‍රදේශ එක් කරමින් I.S.I.S ත්‍රස්තවාදීන් ඔවුන්ගේ ඉස්ලාමීය රාජ්‍යය පිහිටුවීය. අබු බකර් අල් බග්ඩාඩිගේ නායකත්වය යටතේ I.S.I.S සංවිධානය ශක්තිමත් වූයේ ලොව නන්දෙසින් මුස්ලිම් තරුණ තරුණියන් සිරියාවට ගොස් I.S.I.S සංවිධානය සමඟ එක් වීමෙනි. අල්ලාගත් බටහිර සොල්දාදුවන්, වෛද්‍යවරුන්, සහන සේවකයන්, මාධ්‍යවේදීන් දණ ගස්වා, බෙලි කපා ඝාතනය කරමින් I.S.I.S ත්‍රස්තයෝ ඔවුන්ගේ භීෂණය ප්‍රදර්ශනය කරන්න විය. බටහිර රටවල I.S.I.S මුස්ලිම් වැසියන් තම තමන්ගේ රටවල ප්‍රහාර සිදු කරන්න විය. ප්‍රංශයේත් මහා බ්‍රිතාන්‍යයේත් බිහිසුණු I.S.I.S ප්‍රහාර සිදුවිය. 2014 වසරේ I.S.I.S ත්‍රස්තවාදීන් ඔවුන්ගේ ඉස්ලාම් දේශය පිහිටුවීමේ අදහස ප්‍රචලිත කරද්දී, ඉන්දුනීසියාව, මැලේසියාව, ඉන්දියාව, ශ්‍රී ලංකාව ආදී රටවලින් ද මුස්ලිම් වැසියන් සිරියාවට ගොස් I.S.I.S සංවිධානය සමඟ අත්වැල් බැඳ ගත් බව බුද්ධි අංශ අනතුරු ඇඟවීය. ඊට අමතරව, මැදපෙරදිග, අප්‍රිකා සහ ආසියා රටවල ක්‍රියාත්මක ඉස්ලාමීය අන්තවාදී කල්ලි එක පයින්, I.S.I.S සංවිධානයට සහාය දීමට ඉදිරිපත් විය. මුළුලෝකම ආවරණය වන අයුරින් I.S.I.S සංවිධානය පිහිටුවීමට බලාපොරොත්තු වන  

ඉස්ලාමීය රාජ්‍යයට තමන් ද සහාය දෙන බවට එම ඉස්ලාමීය ත්‍රස්ත කල්ලි ප්‍රතිඥා දුන්නේය. අද වනවිට පිලිපීනය, ඉන්දුනීසියාව, මැලේසියාව ආදී මුස්ලිම් රටවල I.S.I.S හිතවාදී මූලධර්මවාදී ත්‍රස්ත කල්ලි ක්‍රියාත්මක වෙයි. කිතුනු දේවස්ථාන ඉලක්ක කර ගනිමින් බෝම්බ පුපුරුවයි. පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ගුටරේට්ස්, “මානව හිමිකම් පැත්තකට දමා” එම ත්‍රස්ත කල්ලි මැඩලීමට හමුදාව මෙහෙයවයි.  

ඉරාකයේ I.S.I.S ත්‍රස්තවාදීන්ගේ බිඳ වැටීම සිදුවුණු බව ඉරාක රජය ප්‍රකාශ කළේ 2018 දීය. ඒ සඳහා ඉරාක රජයට ඇමෙරිකාවේ, ඉරානයේ සහ කුර්දිස්ථාන සටන්කාමීන්ගේ සහාය හිමිවිය. සිරියාවෙන් I.S.I.S ත්‍රස්තවාදීන් අඩපණ කළේ යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළේ පසුගිය පෙබරවාරියේය. සිරියානු අර්බුදයේදී රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් සිරියානුවට සහාය දැක්වීය. ඊට එක් හේතුවක් වූයේ මැදපෙරදිග කලාපයේ ඇති එකම රුසියානු හමුදා කඳවුර සිරියාවේ පිහිටුවා තිබීමය. සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජය ෂියා මුස්ලිම්ය. I.S.I.S සංවිධානය සුන්නි මුස්ලිම්ය. එහෙයින්, සිරියානු සටන් බිමට, ඉරානය ඔවුන්ගේ හමුදා එවීය. සිරියාවේ අසල්වැසියකු වන තුර්කිය ද හමුදාව එව්වේ I.S.I.S ත්‍රස්තයන්ට එරෙහිව සටන් කිරීමටය. ඇමෙරිකාවේ පොදු සතුරා I.S.I.S වුවත්, I.S.I.S පරාජය කිරීමට ඇමෙරිකාව එක් වූයේ කුර්දි සටන්කාමීන් සමඟ පමණය. ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යය සංකල්පය බිඳ වැටුණත්, I.S.I.S සංවිධානය අඩපණ වූබව පැවැසුවත් ඔවුන්ගෙන් ලොවට ප්‍රබල අනතුරක් ඇති බව ඇමෙරිකාවේ CIA ඇතුළු බුද්ධි අංශ රැසක් අනතුරු අඟවන්න විය. දේශපාලනික අස්ථාවරත්වය සහ කඹ ඇඳිලි හේතුවෙන් රටේ ආරක්ෂක තත්ත්වය දුර්වල මට්ටමක පැවැති බැවින්, I.S.I.S ත්‍රස්ත සංවිධනයේ හිතවාදීන්ට 2019 පාස්කු ඉරිදා  ශ්‍රී ලංකාවේ කිතුනු දේවස්ථාන සහ හෝටල් ඉලක්ක කර ගනිමින් පහරදීම පහසුවක් වූ බව ජගත් දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.  

දකුණු ආසියාවේ ප්‍රධාන පෙළේ මූලධර්මවාදී ඉස්ලාමීය කල්ලි රැසකි. ඇෆ්ගනිස්තානයේ තලේබාන්, පාකිස්තානයේ ලෂ්කාර් ඊ ජංගාවි, ලෂ්කාර් ඊ තයිබා, ජයේෂ් ඊ මොහොමද් ඒවායින් කිහිපයකි. (ලෂ්කාර් ඊ ජංගාවි, ජයේෂ් ඊ මොහොමද් පාකිස්තාන රජයේත් එරට බුද්ධි අංශයේත් අනුග්‍රහය සහ සහාය ලබන ඉස්ලාමීය ත්‍රස්ත කල්ලි යැයි පැවැසෙයි.) ඉරාකයේ සහ සිරියාවේ ප්‍රචණ්ඩත්වය පතුරුවද්දී, I.S.I.S ත්‍රස්තවාදීන් ඇෆ්ගනිස්තානයේ තලේබාන් සමඟ එක් විය. පැවැති අභ්‍යන්තර මත ගැටුම් හේතුවෙන් තලේබාන් සංවිධානය ද දෙකඩ විය. අද තලේබාන් සංවිධානයත්, තලේබාන් සහ I.S.I.S සංවිධානයත් වෙන් වෙන්ව ඇෆ්නිස්තානයේ බෝම්බ පුපුරුවයි. I.S.I.S වැනි ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයක් ආසියානු රටවල් වන ඇෆ්ගනිස්තානයේ, පාකිස්තානයේ, පිලිපීනයේ ක්‍රියාත්මක ඉස්ලාමීය කල්ලි සමඟ හවුල්වීම, එම ත්‍රස්ත කල්ලිවලට විශාල ශක්තියකි. එම කුඩා කල්ලිවලට ඔවුන්ගේ අරමුණු ඉටු කර ගැනීමට පහසුවකි. ඊට ප්‍රධාන හේතුව, I.S.I.S සංවිධානය මූල්‍යමය වශයෙන් ශක්තිමත් වීමය. I.S.I.S සංවිධානයට දකුණු ආසියානු කලාපීය රටවලින් වැඩිවැඩියෙන් සාමාජිකයන් එක් කර ගැනීම පහසුවක් වී ඇත. ඊට හේතුව, සුළුජාතික මුස්ලිම් ප්‍රජාවට සිදුවන අසාධාරණකම්ය.

ප්‍රහාරයක් එල්ල වේවි යැයි ඉන්දියාව පමණක් නොව, ඇමෙරිකා එක්සත් ජනපදය ද අනතුරු අඟවා තිබියදී ශ්‍රී ලංකා රජය ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගැනීම සැබැවින්ම කනගාටුවට කරුණකි. දකුණු ආසියා කලාපයේ රටවල් අතරේ විධිමත්, ත්‍රස්ත මර්දන ක්‍රියාවලියක් සකස් කළ යුතුය. මේ සඳහා දකුණු ආසියානු රටවල් එකමුතු විය යුතුය. පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවට එල්ල වුණු ප්‍රහාරය කිසිසේත් අනුමත කළ නොහැකි. එය ආගම් භේදයකින් තොරව ලොව සෑම කෙනෙකුම හෙළා දැක්කේය. නිදහසේ තමන් කැමැති ආගමක් ඇදහීමට රටක ජනතාවට අයිතිය තිබිය යුතුය. ජීවත් වෙන්න නිදහස තිබිය යුතුය. එම නිදහස උදුරා ගන්න තැත් කරන්නන් මනුෂ්‍යයන් නොවෙයි. I.S.I.S ත්‍රස්ත සංවිධානයේ අරමුණ පැහැදිලිය. මෙම සංවිධානයට මුළු ලොවටම තර්ජනයකි. සිරියාවෙන් සහ ඉරාකයෙන් අඩපණ වුණත්, තමන් අල්ලා ගන්නා පළාත් ප්‍රදේශ එක් කර ගනිමින් “ඉස්ලාමීය රාජ්‍යයක්” පිහිටුවීමේ අදහස තවමත් ඔවුන් බැහැර කර නැත. ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීම කෙසේ වෙතත්, ත්‍රස්ත ප්‍රහාර හරහා ඇෆ්ගනිස්තානයේ, පාකිස්තානයේ, ඉන්දියාවේ, බංග්ලාදේශයේ, පිලිපිනයේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩත්වය පතුරුවන්න I.S.I.S සංවිධානය සමත් වී අවසන්ය. I.S.I.S ත්‍රස්තවාදය පිටුදැකීමට එක් රටකට පමණක් කළ නොහැකිය. ඒ සඳහා මුළු ලොවම එක් විය යුතුය. සියලුම ජාතීන් සියලුම ආගම් අතරේ සහජීවනයක් තිබිය යුතුය.   



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.