English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
කොරෝනා වෛරසයට ආණ්ඩුවෙන් අත්බෙහෙත්!
(2020-04-18)

<< Go Back
Share |   


මේ දිනවල ධනේශ්වර සංස්ථාපිතයේ මාධ්‍ය කොවිඩ්-19 නව කොරෝනා වෛරසය තේමා කර ගනිමින් සංවිධානය කෙරෙන වැඩසටහන්වලින් පිරී පවති. එහෙත් මේ වැඩසටහන්වලට වෛරසවේදීන් හෝ අනුක ජීව විද්‍යාඥයන් ආරාධනා නොලබන තරම් ය. ආන්ඩුවේ ලොක්කන්, පන්දම්කාරයන්, පූජකයන්, මිලිටරි පොලිස්  ප්‍රධානීන් අතරේ මේවාට ආරාධනා ලබන එක් කන්ඩායමක් වන්නේ පාරම්පරික වෛද්‍ය කර්ම මගින් නව කොරෝනා වෛරසයට ඖෂධ නිෂ්පාදනය කලේ යැයි කියා පාන්නන් ය.   මෙ බඳු වැඩසටහන්වල පරිහානිගත ස්වභාවය කැටිකොට පෙන්වන කැපී පෙනෙන උදාහරනයක් ආන්ඩුවේ හොරනෑවක් වන අරුන පුවත්පතෙන් සම්පාදනය කෙරේ. එහි ප්‍රධාන පිටුවේ “දුමක් අල්ලා කැඳක් පොවා දින තුනෙන් කොරෝනා සුව කල හැකි බව වෛද්‍යවරුන් සොයා ගනී” යන මාතෘකාව සහිත ව වීඩියෝවක් පලකර තිබුනි.  රජයේ රෝහලක වෛද්‍යවරුන්යැයි පැවසෙන කීප දෙනෙක්, “වෛද්‍ය විද්‍යාව හදාරා නැති” ප්‍රියන්තා සේනානායක නම් තැනැත්තියකගේ නායකත්වය යටතේ කෙරෙන සාකච්ඡාවක් එහි අන්තර්ගත විය. භාවනාවෙන් “ඇසට නොපෙනෙන ශක්තීන් හා සම්බන්ධ වී” “දෙවිවරුන් වෙතින්” ප්‍රගුන කලාය කියන කැඳ පානයක් සහ දුම් හට්ටියකින් කෙරෙන දුමායනයක් මත පාදක වූ වෛද්‍ය කර්මයක් කොවිඩ්-19 ට ප්‍රතිකර්ම ලෙස යොදා ගැනීම ගැන ඔවුහු සාකච්ඡා කරති. 

ඔවුන් නිපදවා ඇති කැඳ සහ දුම් අල්ලන කුඩු විශේෂයක් කොවිඩ්-19 රෝගය සඳහා අත්දුටු ප්‍රතිඵල ලබා දී ඇති බව එහි දී පැවසේ. වැලිසර රෝහලේ ශ්වසන රෝග වෛද්‍යවරයෙකු ලෙස හඳුන්වා දෙනු ලබන අයෙක් තමන්ටත් දින කීපයකට පෙර කොවිඩ්-19 රෝග ලක්ෂන ඇති වූ බවත් තමන් දුම් හට්ටියේ ප්‍රතිකර්මය දින තුනක් භාවිත කිරීමෙන් පසු සුව වූ බවත් ප්‍රකාශ කලේ ය. තමන්ගේ ප්‍රතිකාර ක්‍රමයෙන් ඉතා වයෝවෘද්ධ අය පවා සුව වී ඇති බව ද “කොවිඩ් වෛරසය වේවා සියලු ම වෛරස් රෝගවලට මෙම දුම් හට්ටිය හොඳ ම ප්‍රත්‍යක්ෂ ඖෂධය” බව ද ඔහු ප්‍රකාශ කලේ ය. මෙ බඳු වැඩසටහන්වල නිතර දෙවේලේ තහවුරු කිරීමට උත්සාහ දරන කාරනයක් වන්නේ කොවිඩ්-19 හමුවේ “බටහිර වෛද්‍ය විද්‍යාව” සම්පූර්නයෙන් ම අසරන තත්වයකට පත්ව ඇති බවත් දියුනු රටවලට අත් ව ඇති ඉරනමෙන් ම මේ කාරනය පැහැදිලි වන බවත් ය.   එපමනක් නොව, රෝගය තවදුරටත් පැතිරයාමේ බලගතු අන්තරාය ගැන විශේෂඥයන් යලියලිත් කරන අවධාරනයන් නොතකා, වසංගතය පාලනය කර ඇති බවක් පෙන්වමින් ආන්ඩුව දසදහස් සංඛ්‍යාත කම්කරුවන් නැවත වැඩට දක්කා ගැනීමට සූදානම් වන්නේ ඔවුන්ගේ ජීවිත මුලුමනින්ම නොතකමිනි.

මෙ වන් පසුබිමක ආන්ඩුව පත් කල කොවිඩ්-19 පර්යේෂන කන්ඩායමේ ප්‍රධානියා ද පොදු ජන පෙරමුනේ දේශපාලන අන්ඩක් හැටියට ක්‍රියා කරන වෘත්තීය සමිතියක් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ද වන අනුරුද්ධ පාදෙනිය චීනයේ සියයට 85ක් ම රෝගය මර්දනය කලේ පාරම්පරික වෙදකමින් බවත් එවන් පාරම්පරික වෛද්‍ය කර්ම පිලිබඳ යෝජනා තම කන්ඩායමට ඉදිරිපත් කරන ලෙසත් ඉල්ලා සිටියේ ය.  චීනය සම්බන්ධව පාදෙනිය ඉදිරිපත් කරන මෙම කරුනු ව්‍යාජය. චීනය වසංගතය යම්දුරකට පාලනය කර ගත්තේ, අගුලු ලෑම් මැද, පීසීආර්, සීටී ස්කෑන් ආදී නොයෙක් වෛද්‍ය පරීක්ෂන සමූහ පරිමානයෙන් සිදු කරමින්, තාවකාලික රෝහල් ඉදිකරමින් සහ සෞඛ්‍ය සේවා කම්කරුවන් ආරක්ෂිත උපකරනවලින් සන්නද්ධ කරමින් ගෙන ගිය ක්‍රියාන්විතය මගිනි.  ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ධ ලෝක ස්නායු සංගමයේ මහජන අවබෝධතා කමිටුවේ සභාපති වන මහාචාර්ය තිස්ස විජේරත්න කොරෝනා වෛරස් ආසාදිතයෙකු

බේරා ගැනීමට ඇති එක ම මාර්ගය පහසුකම් ඇති දැඩි සත්කාර ඒකකයක විශේෂඥ දැනුම ඇති වෛද්‍ය හෙද කාර්ය මන්ඩලයක් යටතේ ප්‍රතිකර්ම කිරීම බවත්, විකල්ප ප්‍රතිකර්මවලින් විය හැක්කේ රෝගය උත්සන්න වීම පමනක් බවත් අවධාරනය කලේ ය.

BBC සිංහල සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ආයුර්වේද වෛද්‍ය කොමසාරිස් චතුර කුමාරතුංග පවසා සිටියේ කොවිඩ්-19ට ප්‍රතිකාර සොයා ගත්තාය යනුවෙන් කෙරෙන ප්‍රකාශ ආයුර්වේද සිද්ධාන්තයන්ට සහ සායනික මූලධර්මවලට පටහැනි බව ය. නිරෝගී පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තිකරනය ඉහල නැංවිය හැකි පිලියම් ආයුර්වේදය සතු වුවත්, කොවිඩ්-19 ආසාදිතයෙකු රජයේ රෝහලකට යොමු වී වෛද්‍ය විද්‍යාත්මක පිලියම් සඳහා යොමු විය යුතු යැයි ඔහු එහි දී සඳහන් කලේ ය.  මෙම විවේචන සහ විරෝධතා නොතකා ආන්ඩුව එම වැඩපිලිවෙල ඉදිරියටම ගෙන යමින් සිටී. අප්‍රේල් 08 වැනි දා දිවයින වාර්තා කලේ, නිරෝධායන පනතට අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් නිසි බලධාරියා වන නිසා ඔහුගේ අනුමැතිය ලබා ගැනීමෙන් පසු “දේශීය” ප්‍රතිකර්ම ක්‍රම කොරෝනා රෝගීන්ට නුදුරේ ම භාවිතයට ගනු ඇති බව ය. “කොරෝනා රෝගය මර්දනය කිරීම සඳහා දේශීය වෙදකම පිලිබඳ ජාතික කමිටුව” මෙම අනුමැතිය කඩිනමින් ලබා ගෙන ඒවා ක්‍රියාවේ යොදවන බව කොරෝනා මර්දන ජාතික කාර්ය සාධක බලකායේ ප්‍රධානී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසා ඇත. දියුනු ම තාක්ෂනය ඇති මේ යුගයේ දී, සමෘද්ධිමත් නිරෝගී සමාජයක අත්දැකීම් ලබාගනු වෙනුවට මානව ඉතිහාසය තුල මුහුන දී ඇති දැවැන්ත ම සමාජ ව්‍යසනයට ලොවපුරා මහජනතාව මුහුන දෙමින් සිටීමේ විරුද්ධාභාසය ගැන විමසුම් සහගත වන කම්කරුවෙකුගේ හෝ තරුනයෙකුගේ චින්තන ක්‍රියාවලිය ග්‍රාම්‍යකරනය කර මොට්ට කිරීමට දැරෙන දැනුවත් විද්‍යා විරෝධී උත්සාහයක් මෙම ප්‍රචාරනයන් තුල මූලිකව ගැබ්ව පවතී.





Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.