English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
කොරෝනා කාලේ බොරු වසංගත අන්තර්ජාලයෙන් පැතිරෙන හැටි!
(2020-04-14)

<< Go Back
Share |   


කොවිඩි 19 ලෝක ව්‍යාප්ත වසංගතය විසින් සමාජ මාධ්‍ය සමාගම් වලට සාවද්‍ය තොරතුරු ව්‍යාප්ත කිරීම සම්බන්ධව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට බලකරමින් සිටියි. එයට වඩාත් ආසන්න සහ ප්‍රබල උදාහරණය වන්නේ මාර්තු මස 31 වැනිදා  බ්‍රසීල ජනාධිපති, ජායීර් බොල්සොනාරෝ ගේ වීඩියෝවක් ‍ෆේස් බුක්, ට්විටර් සහ යූ ටියුබ් සමාජ මාධ්‍ය තුළින් ප්‍රචාරය වීම, එම සමාජ මාධ්‍ය හිමිකාර සමාගම් විසින් තහනම් කිරීමට කටයුතු කිරීමයි. එම වීඩියෝව තුළින් ඔහු නව ‍කොරෝනා වෛරසය ට ප්‍රතිකාරයක් ලෙස මැලේරියා රෝගය මර්දනයට යොදාගත් ක්ලෝරෝක්වින් (chloroquine) නම් බටහිර ‍‍‍ඖෂධය භාවිතා කරන්නැයි උපදෙස් දෙයි. ඇමරිකා එක්සත් ජනපදයේ Turning Point USA නම් ලාභ නොලබන  ආයතනයේ නිර්මාතෘ චාලි කර්ක් විසින්ද එම තොරතුරු පිළිබඳ දැන්වීමක් පළ කර තිබුණද එයද පසුව ඉවත් කිරීමට කටයුතු කරන ලදි.

ලෝක නායකයකුගේ බොරු ප්‍රචාර

මාර්තු 20 වැනිදා පවත්වන ලද මාධ්‍ය  හමුවකදී ‍ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්  එම  ඖෂධය භාවිතා කිරීම සම්බන්ධයෙන් එකඟතාව පළකරමින් කරන ලද ප්‍රකාශය නිසා උත්තේජනය ලැබ ක්ලෝරෝක්වින් පිළිබඳ සාවද්‍ය තොරතුරු  ලෝකය පුරා වේගයගෙන් පැතිර යන්නට වූයේය. එම මාධ්‍ය රැස්වීමට දින තුනකට පසු එක් පිරිමියකු ක්ලෝ‍රෝක්වින් ලෙස සිතා, ගන්නා ලද ඖෂධයක් නිසා ජීවිතක්ෂයකට පත් වූ අතර ඔහුගේ බිරිඳ එම හේතුව නිසාම රෝහල් ගත කිරීමට සිදු විය. ලෝක නායකයකු විසින් ක්ලෝරෝක්වින් පිළිබඳ සාවද්‍ය තොරතුරු පැතිරවීමට අදාළ තොරතුරක් ප්‍රචාරය කිරීම සියළුම ප්‍රධාන සමාජ මාධ්‍ය සේවාවන් විසින් තහනම් කරන ලද්දේ ඊට සතියක් ගත වූ තැනය.

ක්ලෝරෝක්වීන් පිළිබඳ  ආරංචිය යනු සාවද්‍ය තොරතුරු ව්‍යාප්ත වීම සම්බන්ධ සරළ උදාහරණයකි, එම නිසාම සමාජ මාධ්‍ය ජාලා සමාගම් වලට ඒ පිළිබඳ පැහැදිලි ස්ථාවරයකට ලේසියෙන්ම පැමිණය හැකිය. ‍එම ඖෂධය නව කොරෝනා වෛරසය මැඬ පැවැත්වීමට භාවිතා කරන්නැයි වෛද්‍යවරුන් නිර්දේශ කර නොමැති තත්වයක් තුළ එසේ පවසන ඕනෑම කෙනෙක් සිදු කරන්නේ සාවද්‍ය තොරතුරු පැතිරවීමයි. ආයතනික එකඟතාව ඇති නම්, එවැනි මාරාන්තික "ප්‍රතිකර්මයක්" පිළිබඳ පැතිරෙන සාවද්‍ය තොරතුරු ව්‍යාප්තිය නැවැත්වීමට එම සමාගම් වලට ‍ලේසියෙන්ම ප්‍රතිපත්ති සැකසිය හැකිය.

එහෙත් සෙමින් නමුත් වඩාත් අන්තරායකාරී ලෙස පැතිරෙන නව කොරෝනා වෛරසය පිළිබඳ සාවද්‍ය තොරතුරු නැවැත්වීම එතරම් පහසු නැත. සැබවින්ම දැඩි තීන්දු ගැනීමට අසමත් පරිපාලනයක් සහිත මාධ්‍ය ආයතන සහ වෙබ් අඩවි, සියළු තහංචි නොතකා  කොරෝනා වෛරසය පිළිබඳ අසත්‍යය ව්‍යාප්ත කිරීම සඳහා  වඩාත් ශක්තිමත් ක්‍රමඋපායන් ගොඩනඟමින් සිටියි.

ලැව් ගිනි සේ පැතිරුණු අතීත බොරුවක්

ලෝක ව්‍යාප්ත නව කොරෝනා වසංගතය තවමත් පවතින්‍නේ එහි මූලික අදියරේ නිසා මුල සිට අවසානය දක්වා එම තත්වය පිළිබඳ මතුවන, විවිධ කුමන්ත්‍රණ ගැන කියැවෙන කතාන්දර සම්බන්ධයෙන් හරි චිත්‍රයක් මවා ගැනීම මේ මොහොතේ කළ නොහැකිය.  එහෙත් සාවද්‍ය තොරතුරු සමාජය තුළ ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි තේරුම්ගැනීමට 2019 වසරේ දෙසැම්බර් මස ඔස්ට්‍රේලියාවේ සිදුවුණු  ඓතිහාසික ලැව් ගින්න පැතිර ගිය

කාලවකවානුව සළකා බලමු. "කළු ගිම්හානය" ලෙස නම් කරනු ලැබූ එම ලැව් ගින්න නිසා ඔස්ට්‍රේලියාවේ අක්කර මිලියන 1.5 ක් විනාශ වූ අතර බොහෝ අය එම සිදුවීම නිර්වචනය කළේ කාළගුණ විපර්යාසය නිසා අත්විඳින්නට සිදු වු මාරාන්තික විපාකයක් ලෙසය.

අති දක්ෂිණංශික අවරගණයේ මාධ්‍ය භාවිතාවක යෙදෙන, Infowars  වෙබ් අඩවියේ වාර්තාකරුවෙකු වන පෝල් ජෝසප් නමැත්තා විසින්  ලැව් ගිනි පිළිබඳව අලුත් මතයක් ප්‍රකාශයට පත් කරමින්, එම විනාශය සිදුවූයේ කාළගුණ විපර්යාස නිසා යැයි යන මතය සහමුලින්ම වෙනතකට හරවන ලදි.  ඔහු  2020 ජනවාරි තුන්වැනිදා summit.news නම් ඔහුට අයත් යැයි සැලකෙන ‍වෙබ් අඩවියක ලිපියක් පළ කල අතර ඔස්ට්‍රේලියාවෙ සිදුවුණ ලැව්ගිනි වලට හේතුව දේශගුණ විපර්යාස නොව "වනාන්තර ගිනි තබන්නන් සහ විදුලි කෙටීම්ය" යන කාරණාව පළමුවරට එහිදි මතු කළේය.

එම සමස්ත ලිපිය සකස් වී තිබුණේ, 7 News Sydney නම් මාධ්‍ය ආයතනය විසින් පළකරන ලද, එම මහා ව්‍යසනයට වනාන්තර ගිනි තබන්නන් වග කිව යුතු දැයි සොයා බැලීමට අවශ්‍ය පොලිස් විමර්ශන සිදුවෙමින් පවතින්නේ යැයි කියැවෙන, ඉතාමත් නොමඟ යවන සුළු ට්විටර් පණිවිඩයක් පදනම් කොට ගනිමිනි. එය ඉතාමත් අසත්‍ය තොරතුරකි. ඔස්ට්‍රේලියාවේ බහුතරයක් ලැව් ගිනි ඇති වන්නේ විදුලි කෙටීම් මඟිනි. 2019 සැප්තැම්බර් සිට 2020 ජනවාරි දක්වා ක්වින්ස්ලන්ඩ්වල සිදූවු ලැව්ගිනි 1048 කින් මිනිසුන් විසින් හිතා මතා හෝ නොසැලකිලිමත් ගිනිතැබීම් හේතුවෙන් ලැව්ගිනි ඇතිවී තිබුනේ 114 පමණි.  එහෙත් එම සත්‍ය කාරණාව, දූෂමාන ආරංචි පැතිරීයමට බාධාවක් වූවේ නැත.

Summit.news එතරම් ජනප්‍රිය වෙබ් අඩවියක් නොවුණත්, පෝල් ජෝශප් ගේ එම අදහස මිලියන 1.1 පමණ අනුගාමිකයන් සිටින ට්විටර් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ වේගයෙන් පැතිරී ගියේය.

දින තුනක් ඇතුළත Breitbart.com, Infowars සහ Post Millennial වැනි වෙබ් අඩවි විසින් විවිධ ස්වරූපයෙන් එම අදහස සමාජ ගත කරන ලදි. ඒ අතරින් Infowars  වෙබ් අඩවිය විසින් වඩාත් ප්‍රකෝපකාරී සහ වැඩියෙන්ම  සත්‍ය නොවන සිරස්තලයක් සහිත  වාර්තාවක් ඉදිරිපත් කොට තිබුණි.

“හිතා මතා ලැව් ගිනි ඇති කළේය යන චෝදනාව ය‍ටතේ පොලීසිය විසින් 200 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් අත් අඩංගුවට ගෙන ඇත.‍ නමුත් මාධ්‍ය සහ ප්‍රභුන් කාළගුණ විපර්යාස වෙත ඇඟිල්ල දිගු කරති.”

Post Millennial යනු මධ්‍යම පරිමාණයේ කැනේඩියානු ප්‍රවෘත්ති වෙබ් අඩවියකි. ඔවුන් ඒ සම්බන්ධයෙන් පළ කළ ලිපියේ ඇති වචන සැකැස්ම පිළිබඳ, එම අදහසේ මුල් කතෘ පෝල් ජෝසප් හෝ Infowars වෙබ් අඩවියටත් වඩා සැලකිලිමත් වී  ඇති බවක් පෙනෙයි. ලැව් ගිනි සමයේ  පුද්ගලයින් 183 දෙනෙකුට විරුද්ධව නීතිමය පියවර ගෙන ඇති බවක් ඔවුහු මුලින් සඳහන් කරති. එහෙත් නොපමාව ලිපියේ පසු අන්තර්ගතය තුළ ඔවුහු ලැව් ගිනි ඇති වීමට හේතුවිය හැකි අනිත් හේතු, එනම් දැඩි උෂ්ණත්වය සහ වියලි කාළගුණය පිළිබඳව ද සඳහන් කරති. ඔවුනට ඉදිරිපත් කිරීමට අවශ්‍ය වැදගත්ම කාරණය මතු කරන්නේ කිසිදු සමාජ මාධ්‍ය සමාගමක ඇස නොගැටීමට තරම් පරිස්සම් සහගත වෙමිනි.

කෙසේ වෙතත් මේ සියළු ලිපි වල එළඹුම එක සමානය. ඒ සියල්ලේම ලැව් ගිනි වලට හේතුව වනාන්තර ගිනි තබන්නන් බවත් එම හේතුව කාළගුණ විපර්යාස වලට බැර කරන ප්‍රභූන්ව හාස්‍යට ලක්කිරීමත් අරමුණ වි තිබුණි.

Post Millennial වෙඩ් අඩවියේ එම ලිපිය පළ වූ දිනයේම, Brietbart නම් ඇමරිකානු ප්‍රවෘත්ති වෙබ් අඩවියේද ඒ සම්බන්ධයෙන් ලිපියක් පළ වූ අතර ලැව් ගිනි වලට මිනිස් ක්‍රියාකාරකම් බලපෑ බවේය යන කාරණය මතු කරන්නට ප්‍රථම, වනාන්තර ගිනි තැබීමේ සිද්ධි කිහිපයක් පිළිබඳ තොරතුරු දක්වා තිබුනේය. එම ලිපියෙන් මූලික වශයෙන් ඇඟවුණේ ලැව් ගිනි වලට ප්‍රධාන වශයෙන් වගකිව යුත්තේ කිසියම් හඳුනානොගත් සාපරාධි, වනාන්තර ගිනි තබන්නන් පිරිසක් මිසක ඔස්ට්‍රේලියාවේ උෂ්ණාධික ග්‍රීෂ්ම කාලයේ පැවති කාළගුණික තත්වය හා ලැව් ගිනි අතර  ඇත්තේ  ඉතාමත් අල්ප සබඳතාවක් බවය.

මුස්ලිම් කුමන්ත්‍රණයක්

තවත් දින ගත විණි. එම කතාව අන්තර්ජාලය කළඹවන සිදුවීමක් බවට පත්වි තිබුණි. ජනවාරි 8 වැනිදා වන විට  එම කතාවේ තවත් වර්ධනයක් දක්නට  හැකි විය. දැන් ලැව් ගිනි වලට තවදුරටත් වගකිව යුත්තේ නිර්නාමික වනාන්තර ගිනි තබන්නන් නොව මුස්ලිම්වරුන්ය.

ඔස්ට්‍රෙලියාවේ ලැව් ගිනිවලට වගකිව යුත්තේ කාළගුණ විපර්යාසය ‍නොව මුස්ලිම්වරුන්ය.Renewamerica

"ලැව් ගිනි ඇති කළේ ජිහාඩ් සංවිධානයද?" News-Communique

"ජිහාඩ් ලැව් ගිනි - වනාන්තර ගිනි තැබූවන් අතර මුස්ලිම්වරුන් දෙසීය දෙනෙක්" - D.C. Dirty Laundry

ඉහත දක්වා ඇත්තේ ප්‍රවෘත්ති වෙබ් අඩවි තුනක “වනාන්තර ගිනි තබන්නත් සහ ලැව් ගිනි” කතාවේ නවතම විකරණයයි. සතියක් ඇතුළත් පෝල් ජෝශප් ගේ වනාන්තර ගිනි තබන කතාව මුස්ලිම් ත්‍රස්තවාදීන්ගේ කුමන්ත්‍රණ වෑයමක් බවට වෙනස් වි තිබුණි. මෙවැනි සාවද්‍ය තොරතුරු පැතිරවීම සම්බන්ධයෙන් වගකිව යුතු  කිසිදු පුද්ගලයෙක් සමාජ මාධ්‍ය නියාමකයන් අමනාපයට පත් කොට තිබුනේ නැත.

කොරෝනා වෛරසය සම්බන්ධ අසත්‍යය පැතිරුනු සැටි

Post Millennial වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරකවරයකු වූ ඇන්ඩි නෝ, අනුගාමිකයන් 300,000 ක් පමණ සිටින සිය ට්විටර් ගිණුමේ 2020 අප්‍රියෙල් පළමුවැනිදා, චීනයේ වූහාන් නගරයයේ පිහිටා ඇති වෛරස විද්‍යාව අධ්‍යනය කරන විද්‍යාගාරයක ඇතුළත දැක්වෙන ඡායාරූපයක් පළ කළේය. එම ජායාරූපයේ බැලු බැල්මට කිසිදු හිංසාකාරි ප්‍රකාශනයක් දක්නට නැත. නමුත් එම ඡායාරූපයට දක්වා ඇති ප්‍රතිචාර තුළින් මතු වී ඇත්තේ නව කොරෝනා වෛරසය චීනය විද්‍යාගාරයක නිර්මාණය කරන ලද්දක් වැනි ඇඟවීමකි.

නෝ විසින් පළ කරන ලද ඡායාරූපය නව කොරෝනා වෛරසය සම්බන්ධ අසත්‍යය පැතිරිමේ මුලාරම්භය නොවීය. එමෙන්ම ඔහු කළේ පිටතින් අහිංසක යැයි ‍පෙනෙන නමුත් දේශපාලනික යටි අර්ථයක් ඇති අදහසක් පළ කළා පමණි. එහෙත් වොෂිටන් පෝස්ට් වෙබ් අඩවිය පවසන පරිදි මෙම අසත්‍ය තොරතුරු දාමය බිහිකිරීමේ ප්‍රශංසාව හිමි වන්නේ  ප්‍රසිද්ධ එහෙත් කිසිසේත්ම විශ්වාසය තැබිය නොහැකි  මාධ්‍ය ආයතන දෙකක ක්‍රියාකලාපය නිසාය.

ජනවාරි 23 වැනිදා ඩේලි මේලි වෙබ් අඩවිය  වූහාන් වෛරස විද්‍යා ආයතනය පිළිබඳ ලිපියක් පළ කළේය. එම ලිපිය මධ්‍යයේදී  ප්‍රධාන මාතෘකාවෙන් පිට පනිමින්,  2004 වසරේ චීනයේ වෙනත් විද්‍යාගාරයකින් සාර්ස් වෛරසය  බාහිර පරිසරයට "කාන්දු" වූ බව  සඳහන් කරමින් වූහාන් විද්‍යාගාරය නව කොරෝනා වසංගතය බිහිවූ ස්ථානය වන්නට ඉඩ ඇතැයි ඇඟවෙන අදහසක් මතු කිරීමට උත්සාහ කළේය.

ඉන් දින තුනකට පසු  එනම් ජනවාරි 26 වැනිදා දැඩි මතධාරි ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන වොෂින්ටන් ටයිම්ස් විසින්,  නව කොරෝනා වෛරසය, චීන ජීව අවි යුද්ධයට සම්බන්ධ විද්‍යාගාරයක නිපදවන්නට ඇතැයි පවසමින් ලිපියක් පළකළේය. ඒ සඳහා ඔවුහු කිසිදු ආකාරයක් සාක්ෂියක් දක්වා නොතිබුණු නමුත් ඊශ්‍රායෙල් හමුදා බුද්ධි අංශ නිලධාරියකු වන ඩැනී ෂෝ‍‍ෆා පැවැසූ දෙයක් උපුටා දක්වා තිබුනි. ඊට පසුදිනම එම ලිපිය ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන නි‍යෝජතයකු වන ජිම් බෑන්ක්ස් විසින් තම ට්විටර් ගිණුමේ පළ කර තිබුනු අතර එය‍ට 1900 ක් දෙනා කැමැත්ත පළ කර තිබුණි.

එහෙත් එම ට්ව්ටර් පණිවුඩය තවමත් අන්තර්ජාලයේ දක්නට ඇත්තේ ඇයි? වෙනත් කෙනකු විසින් ලියන ලද ලිපියක් තම ට්ව්ටර් ගිණුමේ පළ කිරීම ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ නීති වලට පටහැනි නොවන්නකි. එය ජනාධිපති බොල්සොනාරෝ ගේ වීඩියෝ පටය තුළින් පැහැදිලි අසත්‍යයක් ප්‍රචාරය වූවාට වඩා වෙනස් තත්වයකි.

එහෙත් එම ට්විටර් සහ විඩි‍‍යෝ පණිවුඩ විසින්, එම  මාරාන්තික වසංගතය පිළිබඳ  නිරවද්‍යතාව තහවුරු නොකළ තොරතුරු ජනතාව අතර පැතිරවීමට අවකාශ සපයමින්, එකම ආකාරයේ බලපෑමක් සමාජය තුළ ඇති කළේය.

මේ අතර Inforwars  වෙබ් අඩවිය සහ එහි නිර්මාතෘ ඇලෙක්ස් ‍ජෝන්ස්  ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි ඇති වීම පිළිබඳව සාවද්‍ය කතාන්දරයක්  ගොඩ නැඟීමට දායක වූවාක් මෙන් නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන්  ද එවැනිම ආකාරයේ ප්‍රබන්ධයක් නිර්මාණයට කිරීමට පසුබිම සැකසුවේය. ඒ අනුව ජෛව විද්‍යාත්මක අවි පිළිබඳ කුමන්ත්‍රණයක කතාන්දරය ජනතාව අතර පැතිරවීමට ඇලෙක්ස් ජෝන්ස් සහ ඔහුගේ වෙබ්  අඩවිය සැළකිය යුතු කාර්යයභාරයක් ඉෂ්ට කළේය.

එක්සත් රාජධානියේ පර්බ්‍රයිට් (Pirbright)නම් වෛරස් ‍රෝග නිවාරණ ආයතනයකට  නව කොරෝනා වෛරසයට සම්බන්ධ පේටන්ට් බලපත්‍රයක් ඇති බව සැළවීමෙන් පසුව ජනවාරි 22 වැනිදා ඇලෙක්ස් ජෝන්ස්,  එම වෛරසය  මිනිසා විසින් තතන ලද්දක් යැයි යන අදහස මතු කරමින්  ඒ පිළිබඳ සංවාදයක් ආරම්භ කළේය. නමුත් එම ආයතනය පේටන්ට් බලපත්‍රය ලබා ගෙන ඇත්‍තේ සුනඛයන් පමණක්  ආසාදනය වන වෙනස් කොරෝනා වෛරසයක් සම්බන්ධයෙනි. එහෙත් එම සාවද්‍ය තොරතුරු සමඟ ‍ජෝන්ස් සාර්ථක ලෙස තරඟ බිමට අවතීර්ණ වී සිටියේය.

ජනවාරි 28 වැනිදා  ඔහු කිසිදු පදනමකින් තොරව මෙසේ වාර්තා කළේය... “ ප්‍රධාන දහරාවේ ප්‍රවෘත්ති පවා සඳහන් කරන්නේ වෛරසය චීන කොමියුනිස්ට්වරුන් විසින් කැනේඩියානු විද්‍යාගාරයකින් ‍සොරකම් ඇති බවක් පෙනෙන්නට ඇති බවය.”  එම මතය තව තවත් වැඩි දියුණු කරමින් පෙබරවාරි 7 වැනිදා  ඇලෙක්ස් යෝජනා කරන්නේ, ෆෙන්ටනයිල් අබිං නිසා  ඇමරිකාව සහ චීනය අතර ඇතිවුණු විරසකයට  පලි ගැනීමක් ලෙස ඇමරිකාව විසින්  එම වෛරසය චිනයට යවන්නට ඇති බවය. ෆෙන්ටනයිල් යනු චීනය විසින් නිපදවන මෝෆින් වලට වඩා සිය ගුණයකින් පමණ ප්‍රබල කෘතිම අබිං විශේෂයකි.  එය තම රට තුළට එවීම නවත්වන්නැයි  ඇමරිකාව කළ ඉල්ලීමට චීනය

එකඟවුවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ‍චෝදනා කරන්නේ ඒ සම්බන්ධයෙන් චීනය කඩිනම් ක්‍රියාමාර්ග නොගත් බවයි.

ඉන් පසු, ජෝන්ස් ගේ දිගු කාලීන සේවකයා වන පෝල් ජෝසප් වොට්සන් විසින්, චින රජයේ ප්‍රකාශකයකු, වූහාන් වල කොරෝනා වෛරසය පැතිරයාමට ඇමරිකානු හමුදාව වගකිව යුතු යැයි පවසා ඇතැයි පෙන්වා දී එම ප්‍රකාශයද උපුටා දක්වමින් ඔහුගේ ට්විටර් ගිණුමේ පෝස්ටවුක් පළ කරන ලදි.  මේ ආකාරයෙන් ඉතා කලාතුරකින් මෙවැනි කුමන්ත්‍රණ පිළිබඳ කතාන්දර පූර්ණ චක්‍රයක් සම්පූර්ණ කරන අවස්ථාද ඇත.

මේ අතර Post Millennial වෙබ් අඩවියේ සංස්කාරකවරෙයකු වූ ඇන්ඩි නෝ විසින් තම ට්විටර් ගිණුම හරහා දිගින් දිගටම දන්වා සිටියේ  බටහිර රටවල ඇති වූ වෛද්‍ය උපකරණ හිඟයට චීනය වගකිව යුතු බවයි.

“පසුගිය මාසයේ චීනය විසින් කැනඩාව සහ ඔස්ට්‍රේලියාව වැනි බටහිර රටවලින් වෛද්‍ය උපකරණ සහ ‍ඖෂධ මහා පරිමාණයෙන් මිලදී ගන්නා ලදී.” මේ ඔහුගේ එක් ට්විටර් පණිවුඩයක අන්තර්ගතයයි. එදිනම ඇලෙක්ස් ‍ජෝන්ස් ද චීනය මුහුණු ආවාරණ සහ වෛද්‍ය උපකරණ ඇමරිකානු රජයෙන් සොරා ගත් බව Infowars වෙබ් අඩවියේ  නොවලහා කියා සිටියේය.

ජාතිවාදී වෛරය ඇවිස්සීම

මෙවැනි සාවද්‍ය කියමන් නිසා මේ වන විටත් ආසියානු - ඇමරිකානු පවුලක සමාජිකයකු පිහි ප්‍රහාරයකට ගොදුරු වී ඇත. මාර්තු 7 වැනිදා සිට ආසියානු - ඇමරිකානුවන්  වෛරී සහගත අපරාධවලට හසු වූ අවස්ථා එකොළහක් මේ වන විට නිව්යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුව වෙත වාර්තා වී ඇත. මෙවැනි සාවද්‍ය තොරතුරු ජාල දිගින් දිගටම ක්‍රියාත්කමක වන්නේ නම්   සමාජය තුළ  මෙවැනි අගතිගාමි ගිනි දැල් ඇවිලීම නොවැලැක්විය හැකි වෙනු ඇත.

-සුභාෂිනී චතුරිකා

(මෙම ලිපිය Bellingcat නම් අන්තර්ජාල ගවේෂණ වෙඩ් අඩවියේ, රොබර්ට් එවන්ස් නම් ජනමාධ්‍යවේදියා විසින් සම්පාදනය කළ How Coronavirus Disinformation Gets Past Social Media Moderators නම් ලිපිය ඇසුරෙන් සකස් කරන ලදි.)



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.