English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ශ්‍රී ලංකාවේ ආර්ථිකයට COVID -19 බලපෑම!
(2020-04-09)

<< Go Back
Share |   


පසුගිය මාර්තු 30 නිමා වූ  ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර (SLDB) වෙන්දේසියට ඉල්ලුම් කරුවන්ගේ ආකර්ශනයක් ලැබී නැත. මේ වෙන්දේසියට එක්සත් ජනපද ඩොලර් මිලියන 220 ක් වටිනා බැදුම්කර නිකුත් කර තිබූ මුත් 30 වැනිදා නිමා වන විට ඉල්ලුම් ලැබී තිබුනේ ඩොලර් මිලියන 22.3 ක් පමණකි. මහ බැංකුව ඉන් ඩොලර් මිලියන 12 ක ඉල්ලුම් ප්‍රමාණයක් පිළිගෙන තිබේ. මෙම ඉල්ලුමෙන් බහුතරයක් මහ බැංකුව අපේක්ෂා නොකළ පරිදි කෙටිකාලීන ඒවාය. COVID -19 ආසාදනය මගින් ලෝවාසීන්ගේ ආර්ථික ක්‍රියාකාරීත්වය අඩපන කර තිබිය දී ආයෝජකයන් අවදානමකට මුහුණ දීමට ඇති නොකැමැත්ත මෙසේ SLDB වෙළදපල පසුබෑම මගින් ප්‍රදර්ශණය වී ඇත්තේ ය.

ජනාධිපතිගේ යෝජනාව

මේ ප්‍රතිඵලය මධ්‍යයේ අප්‍රේල් 01 වැනිදා ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් එම ලේකම් කාර්යාලය විසින් ජනමාධ්‍ය වෙත නිකුත් කෙරිනි. එය කියන්නේ සංචාරක ව්‍යාපාරය, අපනයන, විදෙස්ගත රැකියා ලාභීන්ගෙන් ලැබෙන ආදායම් සහ ණය හා කොටස් වෙළෙඳපලේ විදේශ ආයෝජන මත රදා පවතින ආර්ථිකයක් සහිත ශ්‍රී ලංකාව වැනි අවදානමට පත් සංවර්ධනය වන රට වලට සහන සලසන ලෙස අන්තර් ජාතික මූල්‍ය ආතයන වලින් ඉල්ලා සිටින බවය.

අනතුරුව හෙතෙමේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටියේ තම රටේ ණය අත්හිටුවීමට හෝ ණය නැවත පෙළගැස්වීමට හෝ ඉඩ දෙන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ  (IMF) කලමනාකාර අධ්‍යක්ෂ, ලෝක බැංකු සභාපති, ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති හා ද්විපාර්ශවීය ණය සපයන මුල්පෙළේ රටවල නායකයන් එකග කර ගන්නා ලෙසයි.

මේ කියන්නේ ලංකාවේ 'ආර්ථිකය' පදනම් වන්නේ නිශ්පාදනය පදනම් කරගත්තාවූ ආර්ථිකයක් ලෙස නොව මිනිසුන් ආනයනය (සංචාරකයන්) - අපනයනය (ප්‍රධාන කොට ගෘහ සේවිකාවන් හා තවත් එවැනි ශ්‍රම සූක්ෂ්ම කටයුතු මුලික වූ රැකියාවන් සදහා මිනිසුන් සහ ගැහැනුන්) මුල් කරගත් වෙළෙඳ පලක් හා ණය කන්දරාවක් මත බවත් ය.

මෙවන් ඉල්ලීමක් ඉදිරිපත් කිරීමේ දී ගත් ණය කන්දරාවන් ගෙවාගත නොහැක්කේ මන්ද යන ප්‍රශ්ණයට හේතු දැක්වීම සාමාන්‍ය වුවද මෙහි එවැන්නක් නැත. COVID 19 නිසා ණය හිර විමට තව කල් තිබේ. එසේ නම් මේ ගෙවාගත නොහැකි තරමට ගත් ණය ගියේ කොහාට ද?

ලෝකයා වෙනුවෙන් ලංකාව ණය වීම

මෙය තේරුම් ගත හැක්කේ 03.07.2007 දා ජනාධිපතිවරයා මුලසුන දැරූ ජාතික භෞතික සැලසුම් කවුන්සිලයේ දී අනුමත කළ ජාතික භෞතික සැලැස්ම ප්‍රකාර සකසනු ලැබ 2011 ජනවාරි 11 වැනිදා අනුමත කළ ව්‍යාපෘති යෝජනාව විමසීමෙනි.

මෙය 'Sri Lanka 2011-2030 National Physical Plan and Project Proposals' ලෙසින් ලංකාණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කරන ලදී. බැලූ බැල්මටත්, එය ක්‍රියාවේ යෙදුනු ආකාරයත් සලකන කල මේ සැලැස්ම මුළුමනින්ම ගෝලීය වාණිජ හා මූල්‍ය ප්‍රාග්ධනයේ ක්‍රියාකාරීත්වය පහසු කිරීම සදහා යටිතල පහසුකම් සම්පාදනය කිරීමේ වැඩ පිළිවෙලක් බව පැහැදිලිය. රටේ ඓන්ද්‍රීය ආර්ථික ක්‍රියාකාරීත්වය වෙනුවෙන් මෙහි ඇති සැලසුම් ප්‍රමාණයෙන් ගත් කල විශාල වුවද ඒවා මේ සැලැස්මේ පෙනුම විචිත්‍රවත් කිරීමේ මායාවන් පමණක් වූයේ ය.

උක්ත සැලැස්ම මෙරටට සීමා වූවක් නොවන ජාත්‍යන්තර සැලැස්මක, ආසියාතික පාර්ශවයේ, ලාංකීය වැඩකොටස බව ද තේරුම් ගත යුතුය. එහි පෙන්වා දී ඇති 'Intergovernmental Agreement on the Asian High Way Network' අනුව මෙම අධිවේගී  හයි වේ මාර්ග ජාලය කිලෝමීටර 141,000 කින් යුක්ත වන අතර එයට අත්සන් තැබූ සාමාජික රටවල් ගණන 28 කි. ලංකාව ඉන්දියාව හා යා කරන යෝජිත වූ “ආදම්ගේ පාලම” (Adams Bridge) ද මේ සැලැස්මේ අංගයකි. මුලු ආසියාවම ආවරණය කරනු ලබන මේ ආසියාතික මාර්ග ජාලය මැදපෙරදිග දක්වා යන අතර එතැන් සිට එය යුරෝපය හරහා ලොව පුරා පැතිර යන්නක් වන්නේ ය. මෙරට ජාත්‍යන්තර හා අභ්‍යන්තර ගුවන්තොටුවලවල් සැලැස්මක් ද මෙහි අන්තර්ගත ය.

ණය ගෙන කළේ මේ අන්තර්ජාතික සැලැස්මේ මෙරට දැරිය යුතු වගකීම ඉටු කිරීමයි. සෑදූ හා සාදාගෙන යන "අධිවේගී මාර්ග" පද්ධතිය මේ අන්තර්ජාතික “High Way” ජාලය වෙනුවෙන් මෙරට ධනපති පාලකයන්ගේ වගකීම ඉටු කිරීමයි. ඒ වෙනුවෙන් යෙදවූ ප්‍රාග්ධනය “ණය” ලෙස පවතී

ඒ වෙනුවට මේ සැලැස්මේ එන ඓන්ද්‍රීය සංවර්ධන ව්‍යාපෘති වලට මේ ණය කන්දරාවන් ප්‍රාග්ධනය ලෙස යෙදවී නම්, COVID 19 ආසාදනය ප්‍රහාරයක් බවට පත් වීමට පෙරම ණය ගෙවීමට කල් දෙන්නැයි අගමැති වරයා ඉන්දියාවට ගොස් ආයාචනා කිරීම එවිට අවශ්‍ය නොවනු ඇත. බැදුම්කර වෙළෙඳපලේ  COVID ආසාදනයට අමතරව අගමැතිගේ ඒ ආයාවනය ත් බලපෑවා නිසැක ය.

ලෝක බැංකුවේ ඉදිරිපත් වීම

මෙරට ජනාධිපතිවරයාගේ මතක් කිරීමට පැය ගණනකට පෙර මාර්තු 30 දා COVID 19 ආසාදනය සමාජකරණය වීමේ (Community Transmission)  අවදානම හමුවේ දකුණු ආසියාවේ හා ශාන්තිකර කලාපීය රටවලට ඇතිවී තිබෙන ආර්ථික කම්පනය අවම කර ගැනීම වෙනුවෙන් ක්‍රියා කළ යුතු බව ලෝක බැංකුව විසින් නිවේදනය කරනු ලැබිණි.

ඒ අනුව ලෝක බැංකුව දියුණු වන රට වලට COVID 19 ආසාදනයට මුහුණ දී ප්‍රකෘතිමත් වීමට ශක්තිය සැලසීම වෙනුවෙන් ඩොලර් බිලියන 14.6 ක් යුහුසුලුව යොමු කරන බව නිවේදනය කීය. මේ අතර ලෝක බැංකුව ලංකාවට ඩොලර් මිලියන 128 ක් COVID 19 ට මුහුණදීමට අවශ්‍ය භෞතික සම්පත් සම්පාදනය වෙනුවෙන් අනුමත කර තිබේ. පෙර ගත් ණය ගැන කථාවක් නැත.

ඒ අතර මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී  ලක්ෂ්මන් විසින් ලංකාවේ හා විදෙස් වල ජීවත් වන ලාංකිකයන් හා හිතවතුන් වෙත ලිඛිත ආයාචනයක් කරමින් අවධාරණය කරන්නේ, විදෙස් වලින් මෙරට ලාංකිකයන්ට එවනු ලබන විදේශ සංක්‍රාම පිළිබදව කිසිදු සොයා බැලිමක් මින් ඉදිරියට සිදු නොකරන බවයි. ඒ අනුව විදෙස් බැංකු වල රදවා ඇති විවිධ මුදල්, යථා වේවා අයථා වේවා, ශුද්ධ මුදල් ලෙස මේ රටට පැමිණීමට හැකියාව ලබා තිබේ. අනෙක් අතට මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රය මගින් ලංකාවෙන් විදේශ විනිමය පිටතට ගෙනයෑම පිලිබද දැඩි සීමා පනවා තිබේ.

මහ බැංකු අධිපතිගේ ආයාචනයත්, මේ ගැසට් නිවේදනයත් මගින් ප්‍රකාශිත දේ ඉදිරි මාස තුනක් සදහා වලංගු සේ දක්වා තිබේ. නමුත් ඒවා ඉන් ඉදිරියටත් බලාත්මක වනු ඇතැයි බලාපොරොත්තු විය යුතුය.

තුනෙන් දෙකේ දේශපාලන අර්බුදය

COVID 19 පැමිණීමට පෙර ලංකාව එළඹෙමින් සිටියේ අතිශය අර්බුදකාරී තත්වයකටය. දරුණු ආර්ථික අසමතුලිතතාවය ඉක්මවා දේශපාලන පරිසරය අතිශයින් ආතති සහගත විය. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අත්පත් කරගත් අත්තනෝමතික බලය යලි පිහිටුවා ගැනීම වෙනුවෙන් කිසිම වැදගත් හේතුවක් දැක්වීමට ආණ්ඩුව අපොහොසත්ව සිටි අතර, ඔවුන්ගේ  කිට්ටුවන්තයන් හැර වෙන කිසිවකු යලි එවන් ආඥාදායක්තවකට සහාය පල කළේ නැත. පංතිමය වශයෙන් ගත් කල ෆැසිස්ට් පන්නයේ බලයක් වෙනුවෙන් කවදත් කොතැනත් පෙනී සිටි මධ්‍යම පංතිකයන්ගේ බහුතරයක් ජනාධිපතිගේ පියවර සමග සිටිනවා විනා ඔහුට ඡන්දය දුන් සාමාන්‍ය වැඩ කරන ජනතාව අතරින් ද ඒ ගැන නම් උද්යෝගයක් පල නොවී ය.

අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල සීග්‍රයෙන් ඉහල යෑම, රුපියලේ අගය කඩා වැටීම සහ බදු අඩු කිරීම පාරිභෝගියන්ට වාසියක් නොවීය. විය යුතු පරිදිම අවම මිල නියම කිරීම උත්තරයක් වූයේ නැත. අපේක්ෂිත බදු ආදායම් ද නොලැබුනේ ය (ජනවාරියේ බදු ආදායම පසුගිය වසරේ ජනවාරියෙන් 50% කට වත් ලඟා නොවීය). හිටපු මුදල් ඇමැතිගේ අය-වැයේ අපේක්ෂිත ආදායම් වියදම් ඇස්තමේන්තු යථාර්ථයෙන් පරිබාහිර බවට මැසිවිලි නගන්නට පාලකයන්ට සිදුවී තිබුනේ ය. විදෙස් ණය ගෙවීම උභතෝකෝටිකයක් බවට පත්විය. මේ සියලු තත්වයන් යටතේ එළඹෙන මහ මැතිවරණයෙන් ජනාධිපතිවරයා පතන 2/3 බලය ලැබ ගැනීම කළ නොහැක්කක් බව කාටත් පෙනී ගොස් තිබිනි.

අනාගත “සාගතය”ට පුරවැසි සභා

කෙසේ වෙතත් එළඹ ඇති COVID ව්‍යසනය මැඩලීමේ කාරණාව හුදු මුදල් හිගතාවයේ ප්‍රශ්නයකට වඩා සැලසුම් නැති කමේ ප්‍රශ්නයකි. වත්මන් පාලකයන් දන්නේ කෝකටත් තෛලය මෙන් ත්‍රිවිධ හමුදා යෙදවීමය. ඒ මගින් කෙරෙන්නේ මිලිටරි සංස්කෘතියක් ජනිත කර ජනතාව දරදඩු ආඥාදායකත්වයකට හුරු කිරීමය. වසර 30 ක යුද්ධයෙන් සම්පූර්ණ  කරගත නොහැකි වූ දැ කොරෝනාවෙන් කිරිමය ඉලක්කය.

මේ අතර මෑත අනාගතයේ එන ලෝක ආහාර අර්බූදයක් පිළිබද සාකච්ඡාව ගෙවතුවල පැල සිටුවීමේ උද්ඝෝෂණයක් බවට පත් කර තිබේ. පුරවැසි සභා ව්‍යූහයක් සකසා ක්‍රියාත්මක කරන්නේ නම් මේ ආසාදනයට මුහුණ දී වගා කටයුතු ඉදිරියට ගෙන යෑමට ගොවි ජනතාවට බාධාවක් නැත. ගොවි ජනතාව ගොවි බිමේ වැඩ කරන්නේ උරෙනුර ගැටී නොවේ.

පවතින ප්‍රශ්නය වගා කිරීම නොව බෙදාහැරීම හා කෘෂි නිෂ්පාදන පාරිභෝගිකයා වෙත ළඟා කරලීමය. එයට කිසිම වැඩපිලිවෙලක් නැතිව ගොවි නිෂ්පාදන කුණු කොල්ලයට විකිණෙමින් තිබේ. පාරිභෝගිකයෝ එළවලුවක් ගැනීමට වාහන ශබ්දයක් එන තෙක් බලා සිටිති. ආණ්ඩුව අද කළ යුත්තේ පැල බෙදීම නොව මේ නිෂ්පාදන බෙදීමට යාන්ත්‍රණයක් සැකසීමය. (ජනතාව බොරුවට බියවද්දා තමන්ගේ යකඩ සපත්තුවට යට කරනවා වෙනුවට මෙහි දී 2015 සැප්තැම්බරයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ මුත්, ක්‍රියාත්මක නොකළ "පොකුරු ගම්මාන" සැලැස්ම පෙරට ගන්නේ නම් ඔය කියන සාගතයක් මේ COVID 19 නිසා නම් ඇති නොවනු ඇත.)

මෙවන් වූ හදිසි ආපදා තත්වයන් හි දී තත්කාලීන පාලන තන්ත්‍රයන් වඩාත් සංවිධිත හා ප්‍රශ්න කිරීමෙන් තොරව ඉහලින් එන ආඥාවන් ක්‍රියාවට ලන රෝබෝ යන්ත්‍ර ලෙස ත්‍රිවිධ හමුදා යොදා ගැනීම ප්‍රත්‍යක්ෂ භාවිතාවකි. නමුත් කල් පවතින ආපදා තත්වයන් හිදී මහජන සංවිධානවලට කළ හැකි කාර්යභාරය අසීමිතය. ගම තුළ ආහාර, ඖෂධ බෙදාහැරීම, ගමේ තත්වයන් පිළිබද සැබෑ තොරතුරු අදාල අංශ වලට වාර්තා කිරීම, සාමාන්‍ය රෝගාබාධ සදහා ප්‍රතිකාර ලැබීමට කටයුතු සම්පාදනය පමණක් නොව අවශ්‍යතා අනුව ජනතාව හැසිරවීමේ දී ද ආගන්තුක බලයකට වඩා ගමේ ගරු කටයුතු ස්වාභාවික නායකයින්ට විශාල හැකියාවක් තිබේ.

රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන පරිපාලනමය, සංවර්ධන හෝ පුණරුත්ථාපන කටයුතු කුමන බල ව්‍යුහයක් යටතේ ක්‍රියාත්මක වූවද, ඒවා “ගම” නැමැති ඒකකය මුල් කර ගනී. පවතින තතු යටතේ ක්‍රියාත්මක වන්නේ සිමිත සේවා ආයතනය. පවතින තත්ත්වය කළමනාකරණය කිරීමේ විශේෂ ආයතන බිහි කර තිබේ. අද මේවා හා ගමේ පුරවැසි සභාව අතර සම්බන්ධීකරණය ගමේ සිටින රජයේ නිලධාරීන් හා ගම් මට්ටමේ සංවිධාන නියෝජිතයන් ඔස්සේ (කැමැත්ත පරිදි ප්‍රාදේශීය සභා නියෝජිතයන්) පුරවැසි සභාවට සම්බන්ධීකරණය කිරීමට හැකිය. ඒ මගින් සභාවේ භූමිකාව අර්ථවත් කළ යුතුය. ආපදාවකදී  ජනතාවගේ  ස්වාභාවික ඉදිරිපත් වීම ඉක්මවා පුරවැසියන්ගේ අවශ්‍යතා ඉටු කිරීම සදහා වන සුදුසුම ආයතන බවට මේවා පත්කළ හැකිය. අනාගත ඊනියා “ආහාර අර්බුද” ඉන් මැකී යනු ඇත්තේ ය.

සුනාමි අත්දැකීම

විනාඩි කිහිපයක් අතරතුර දී ප්‍රිතිමත් පවුල් දහස් ගණනක් කඩා බිද දමමින් එකිනෙකාගෙන් වෙන් කෙරුණි. විනාශ කෙරුණි. ලක්ෂ ගණනක් හිඟමනට ඇද දමන ලද අතර ඔවුන්ගේ නිවාස පොලවට සමතලා කෙරුණි. දහස් ගණන් මළ සිරුරු අතර ළදරුවන් ජලයේ පාවී යයි. කී දහසක් වැන්දඹුවන් වී ද? අනාථයන් බවට පත් වී ද? තමන් ඇඳ සිටි ඇදුම හැර අන් සියල්ලම අහිමි වී ගිය දස දහස් ගනන් දුප්පතුන්ගේත් ධනවතුන්ගේත් - තරුණ මහලු සැමගේත්  විලාපය - ලතෝනිය විසින් සුනාමියේ සීමා මායිමේ තිබූ ගම්මාන වල ජනයා උදව්වට කැදවනු ලැබිනි. විපතට පත් වූවන් අතර තෝරාගැනීමක් මේ ගැමියන්ට නොවිනි. ජනයා තම වගකීමට උර දෙද්දී ඔවුන් සමග, ඔවුන්ගේම කොටසක් ලෙසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පලාත් සභා මන්ත්‍රීවරුන් මෙන්ම ප්‍රාදේශීය සභා හා වෙනත් ගම් මට්ටමේ සංවිධාන ද එක්ව සිටියේ ය. කිසිවකු අතර කිසිම වෙනසක් නොවීය. කවුරුත් එක මට්ටමේ සිටිමින් සමාන වැඩ වල නිරත වූහ.

ආහාර - සනීපාරක්ෂක කටයුතු - හැකි සැමගේ දිවි රැකීම වෙනුවෙන් ගත හැකි සියලු පියවරන් තම දෑතින් සිදු කිරීම දෙවියන් වහන්සේ විසින් ඔවුන්ට පවරා තිබුණා සේය. කිසිවෙක් රාජ්‍ය යාන්ත්‍රණයක් තිබෙනවා නොවේ ද ඒය ක්‍රියාත්මක වේද නැත් ද සිතුවේ නැත. එකිනෙකා යුද වැදී සිටි විමුක්ති කොටි භටයන් හා රජයේ හමුදා භටයන් නැගෙනහිර දී ඒ ආකාරගත ප්‍රතිවිරෝධයන් හැරපියා ගැමි ජනතාව හා එක්ව විපත්තියට කර ගැසුහ. (ජනවාරි 15 තෙක් සංඛ්‍යා ලේඛණ අනුව 30,920 ක් මළ සිරුරු සොයා ගැනුනි. මුලු මනින්ම විනාශ වූ නිවාස ගනන 90,261 කි. අතුරුදහන් වූවෝ 6,020 කි. තුවාල ලැබූවෝ 15,256 කි. බලපෑමට ලක් වූ පවුල් සංඛ්‍යාව 201,959 කි.)

මේ ඓන්ද්‍රීය ජනතා පෙලගැස්ම දේශපාලන තලයේ ප්‍රකාශයට පත් වූයේ ඒකාබද්ධ සුනාමි යාන්ත්‍රණය පිහිටුවීම දිසාවටය. ඒ අනුව උතුරු - නැගෙනහිර අපර සුනාමි සමාජ-ආර්ථික පුණරුත්ථාපනය රජයත් දෙමළ පුණරුත්ථාපන සංවිධානයත් (Tamil Rehabilitation Organization - TRO) අතර සම්බන්ධීකරණයෙන් සිදු කිරීමට නියමිත විය. නමුත් ඒ වන විට ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා හා ශ්‍රීලනිප ප්‍රධාන ලේකම් මෛත්‍රීපාල සිරිසේන අතර මෙම ක්‍රියාමාර්ගය හරස් කිරීමේ ගිවිසුමක් 2004 ජනවාරි 14 දා අත්සන් කරන ලදී. සුනාමි යාන්ත්‍රණයට එරෙහි උසාවි යෑමට ජවිපෙ පියවර ගත්තේ ය. එය මේ ගොඩනැගුණු මනුෂ්‍යත්වයට එරෙහි දරුණු තීන්දුවක් විය.

එදා සුනාමියේ දී මෙන්ම වෙනත් ඕනෑම මෙවන් යුගයක් ජනතාවගේ සාමූහික ක්‍රියාකාරීත්වය ස්වාභාවිකවම ඉහල මට්ටමකට නංවන්නේ ය. එය අක්‍රීය ප්‍රජාතන්ත්‍රීය ව්‍යූහයන් ප්‍රකෘතිමත් කර, බලගන්වා පුද්ගලවාදය වෙනුවට සාමූහිකත්වය එනම් මනුෂ්‍යත්වයේ ඓන්ද්‍රීය ස්වාභාවය පෙරට ගනී. එදා මෙදා තුර මේ පාලකයන් විරුද්ධ වන්නේ එයටයි. එදා ලිබරල් ධනපතියන්ගේ ද අනුග්‍රහයෙන් ඒ සමග සුනාමි යාන්ත්‍රණය දක්වා ජනතාව ඉදිරියට පැමිණි අතර අද සිටින පාලකයෝ එදා විපක්ෂයේ සිටිමින් වූව එම ප්‍රජාතන්ත්‍රවාදී සන්තතිය බිද හෙලා ජන ඝාතක යුද්ධයට මාවත පාදා ගත්තෝ ය.

මෙසේ එදා සිටි හා මෙදා සිටින පාලකයන්ගේ දේශපාලන අවශ්‍යතා හා බහුජන ක්‍රියාකාරීත්වය නැංවීම අතර ඇත්තේ බරපතල පරස්පරයකි. ජනතාව පාලනයට හවුල් කර ගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී පිලිවෙතක් මේ පාලකයන්ට තිබීමට කිසිම ඉඩක් ද නැත. අද මෙහි තිබෙන්නේ ජනතාව සැකසූ සුනාමි යාන්ත්‍රණය විනාශ කළ උදවියගේ පාලනයකි.

 

රණත් කුමාරසිංහ                            

05.04.2020



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.