English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ස්වාමියා වධහිංසාවට ලක්වීම, අතුරුදන් වීම හරහා කාන්තාවට ඇතිවන ඍජු බලපෑම සුළුපටු නොවේ! - ලේඛිකා නදී කම්මැල්වීර
(2020-03-06)

<< Go Back
Share |   


තමන්ට සිදු වී නැතිනම්, තමන්ගේ සමීපතයෙකුට සිදු වී නැතිනම් සිදුවීමක කම්පනය මිනිසුන් අත්දකින්නේ නැත. තමන්ගේ ස්වාමිපුරුෂයා සොයා ගිය ගැහැනුන් සමඟ පොදු සමාජය එකට සිට ගත්තේ නැත. සානුකම්පිත වුයේ නැත.

අද අත්අඩංගුවට පත් වෙනවා යන වචනය තුළ ම භීතියක් මතු ව තිබේ. ඒ පහරදෙයි, වධහිංසා කරයි, ජිවිතය අහිමි වේ කියන සිතුවිලි නිසා ය. බොහෝ වේලාවට මේවාට ගොදුරු වන්නේ පුරුෂයින් පමණක් වුව ද කාත්නාවනුත් ගොදුරු වන අවස්ථා ඇත. ඇතැම් විට ස්ත්‍රීයක් වීම නිසා ම ඔවුන්ගේ තත්ත්වය තවත් කණගාටුදායක වේ. ඒ ලිංගික හිංසනයන්ට ලක් වීමෙන් ය. එය පුරුෂයින්ට මෙන් නොව කාන්තාවකට දෙගුණ, තෙගුණ වී අත්දැකීමට සිදු වන බව මා දනිමි. වධහිංසාවට ලක් වීම තුළ කාන්තාවෝ තවත් පැත්තකින් පීඩාවට පත් වේ. ඒ පොලිස් අත්අඩංගුවට පත් වන්නේ ඇයගේ සැමියා නම්, දරුවා නම් ඇය සෘජු ව බලපෑමකට ලක් වේ. ඇතැම් විට මේ ශෝචනීය තත්ත්වයට ගොදුරු වන්නේ නිවසට ආදායම උපයා දුන් පුද්ගලයා විය හැකි ය. ඔහු දරුණු ලෙස අඩම්තේට්ටම්වලට ලක්ව අඩපණ වී ගියහොත්, රෝගී වුවහොත් ඔහුව රැක බලා ගැනීම, මානව අයිතිවාසිකම් අහිමි වීම වෙනුවෙන් නඩු මඟට යාම ආදිය නිසා කාන්තාව දැඩි ලෙස පීඩාවට පත් වේ. සමස්තයක් ලෙස අප සමාජයෙන් එවැනි අයට සහයෝගයක් ලැබෙන්නේ නැහැ. මෙහි දී මගේ මතකයට නැගෙන්නේ ජෙරාඩ් පෙරේරාගේ සිදුවීම ය. ඒ සිද්ධියේ දී ඔහුගේ බිරිඳ පත් වූ අතිශය දුෂ්කරතා තත්ත්වයන් අපට තාමත් මතකයි. පොලිසියේ වධහිංසාවට ලක්ව මිය යාමට වඩා සාපකාරී තත්ත්වයක් තිබේ නම් ඒ අතුරුදහන් වීම ය. එය අපේ රටේ මෙන් ම දේශපාලන මර්දනයන් වන රටවල පාවිච්චි වන උපක්‍රමයකි. අප දන්නා පරිදි මාධ්‍යවේදීන්, දේශපාලඥයින් උතුරේ, නැගෙනහිර සහ දකුණේ භීෂණ සමයන් තුළ පුද්ගලයින් දේශපාලන හේතූ මත අතුරුදහන්ව තිබේ. මේ පිරිස අතර බහුතරයක් සිටින්නේ පිරිමි පුද්ගලයින් ය. ඔවුන් අතුරුදහන්වීම හරහා කාන්තාවන්ට අත්වෙන ඛේදනීය තත්ත්වය අපමණ ය. මේ අතුරුදහන් වීම ඇතුලේ විශාල සමාජ සංස්කෘතික ප්‍රශ්න රැසක් කාන්තාවන්ට මතු වේ. ඔවුන් වැන්දඹුවන් ලෙස සලකන්නේ නැත. ඔවුන් පත් වන්නේ අර්ධ වැන්දඹු තත්ත්වයට ය. ඔවුන් සිය සැමියා සිටිනවා ද? මැරිලා ද? දන්නේ නැත. මෙය ඉතා ම ශෝචනීය තත්ත්වයකි. එහි දී ලැබිය යුතු දේපලක් හරියාකාර ව ලැබෙන්නේ නැත. ලැබිය යුතු වන්දියක් ලබා ගැනීමට නොහැකි වේ. විශ්‍රාම වැටුපක් ලබා ගැනීමේ අවස්ථාව ඇහිරී යනු ලබයි. එමෙන් ම දරුවන්ගේ ප්‍රශ්නවලට උත්තර ලබා දීමට අපොහොසත් වීම ආදි ගැටලු රැසක් මතු වේ. මෙහි දී අප සමාජය ඉතාම අසංවේදී බව මම සිතමි. එය තමන්ට සිදු වී නැතිනම්, තමන්ගේ සමීපතයෙකුට සිදු වී නැතිනම් ඒ කම්පනය අත්දකින්නේ නැත. තමන්ගේ ස්වාමිපුරුෂයා සොයා ගිය ගැහැනුන් සමඟ පොදු සමාජය එකට සිට ගත්තේ නැත. සානුකම්පිත වුයේ නැත. සමාජයේ හැසීරිමෙන් මෙය මර්දනය කිරිමේ උපක්‍රමයක් ලෙස ඔවුන් අනුමත කරනවා ද? යන්න සැකයක් මා සිත උපද්දවමි. ඒ මේ සමාජය දක්වන නිද්‍රාශිලි පිළිවෙත නිසා ය. වධහිංසනයට ලක් කිරීම කියන දෙය පාවිච්චි කරන්න කරන්න පිරිමින්ට වඩා ගැහැනුන්ට අත්විඳීමට සිදු වේ. එහෙයින් මේ වධහිංසනයට සමස්ත සමාජය ම එරෙහි විය යුතු ව ඇත. එය සමාජයේ වගකීමක් ලෙස මම දකිමි.



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.