English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ජිනීවා : ක්ෂීර සාගරය කැලඹිණි - ජයනි අබේසේකර
(2020-02-28)

<< Go Back
Share |   


ඉවත්වීමට හේතු

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරය පසුගිය 24 වැනිදාවේ ආරම්භ විය. එය එළැඹෙන මාර්තු 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. එහි ලංකාව සම්බන්ධයෙන් වන සාකච්ඡාව වෙත බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ. ඒ යහපාලන රජය විසින් 2015 සහ 2019 වසරවලදී සමඅනුග්‍රහකත්වය දැක්වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 සහ 40/1 යෝජනාවලින් වහා ඉවත් වීමට රජය තීරණය කර තිබීම හේතුවෙනි. මෙම යෝජනාවෙන් ඉවත් විය යුතු බවට ආණ්ඩුව දක්වන හේතු පසුගිය 21 වනදා විදේශ කටයුතු අමාත්‍යංශ නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.

ඒ අනුව,

01. 2009 වසරේ යුද්ධය අවසන්වීම යනු රටේ ජීවත් වීමේ අයිතිය සියලු‍ ශ්‍රී ලාංකිකයන් වෙත ප්‍රතිෂ්ඨාපනය කිරීමක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය හඳුනාගෙන ඇති අතර ලංකාවට එරෙහි යෝජනා තුනක් 2012 සිට 2014 දක්වා බලෙන් සම්මත කරගෙන තිබීම.

02. පසුගිය රජය සමඅනුග්‍රහය දැක්වූ 30/1 යෝජනාවලිය යනු ලංකාවේ විදේශ ප්‍රතිපත්තියට එරෙහිව යන එවක අමාත්‍ය මණ්ඩලයේ, පාර්ලිමේන්තුවේ, ජනාධිපතිවරයාගේ සහ පොදුවේ මහජනනතාවෙගේ අදහස් නොසලකා ඉදිරිපත් වූ යෝජනාවකි.

03. යුද්ධයේ තත්ත්වයන් සහ මියගිය පුද්ගලයන් සම්බන්ධයෙන් මෙම යෝජනාවලියේ ඇතුළත් කරුණු සාවද්‍යය වීම.

04. මෙමගින් රටේ ජාතික ආරක්ෂාව අනතුරේ හෙලු‍ අතර පාස්කු ප්‍රහාරය ඇති වීමටද එය බලපෑවේය.

05. මෙම යෝජනාවලිය රටේ ස්වාධිපත්‍යයට සහ අභිමානයට කැළලකි.

06. පසුගිය ආණ්ඩුවට මෙම යෝජනාවලියේ නිසි ප්‍රගතියක් පෙන්වීමට නොහැකි වූයේ මෙම යෝජනාවලිය වැරදි විනිශ්චයක් මත ගෙන ආ එකක් නිසාය.

07. මෙම යෝජනාවලිය රටට අනවශ්‍ය බරකි. මෙය පිටුපස සිටින්නේ දෙමළ ඩයස්පෝරාව, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සහ ජනමාධ්‍ය සහ සිවිල් සංවිධානයන්ය.

08. මෙමගින් ආරක්ෂක හමුදා අපකීර්තියට පත්කරවනු ලැබූ අතර වාර්ගික සමගිය කෙරෙහි මෙම යෝජනා අහිතකර බලපෑමක් එල්ල කළේය.

09. 2019 දී පසුගිය රජය මෙම යෝජනාවලියේ පරාමතීන් අඩු කිරීමට උත්සාහ දැරීම තුළ පෙනී යන්නේ යෝජනාව නිවැරදි එකක් නොවන බවයි. විශේෂයෙන්ම පසුගිය රජය මිය ගිය පිරිස පිළිබඳ, ආරක්ෂක හමුදාවලට එරෙහි චෝදනා පිළිබඳ, විදේශ විනිශ්චයකාරවරුන් යොදා ගැනීම, ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණය පිළිබඳව සිය විරෝධතාවයන් එල්ල කර ඇත.

10. 2019 දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රාජපක්ෂට ජනතාව ලබාදුන් ජනවරමෙන් මෙම යෝජනාවලිය ජනතාව අතර ප්‍රතික්ෂේප වී ඇති බව පැහැදිලිය.

ඒ අනුව මෙවර ආණ්ඩුව ජිනීවා යන්නේ මෙම යෝජනාවෙන් ඉවත් වන බවට වන පණිඩුඩයද රැගෙනය. විදේශ කටයුතු අමාත්‍ය දිනේශ ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ, ඇතුළු කණ්ඩායමක් ආණ්ඩුව නියෝජනය කරමින් ජිනීවා ගොස් තිබේ. මෙම සැසිවාරය ආරම්භ කිරීමට මත්තෙන් විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහිශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ පිළිබඳ 2019 මාර්තු 40/1 දරන යෝජනාව සම්බන්ධයෙන් සිය සමඅනුග්‍රාහකත්වය ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය පිළිබඳව, මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිනි තානාපති එලිසබෙත් ටිචි-ෆිස්ල්බර්ගර් දැනුවත් කිරීමට කටයුතු කර තිබේ. පෙබරවාරි 27 වැනි දින මහ කොමසාරිස්වරියගේ ශ්‍රී ලංකාව පිළිබඳ වාචික කරුණු දැක්වීම්වලට අමාත්‍ය දිනේශ් ගුණවර්ධන විසින් ප්‍රතිචාර දැක්වීම සිදුකෙරන බව ජිනීවාහි නිත්‍ය දුත මණ්ඩලය (ලිපිය ලියන මෙහොත වන විට) මාධ්‍ය වෙත දන්වා තිබේ.

ආණ්ඩුවේ යෝජනා

ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරිපත් වී තිබෙන්නා වූ මෙම යෝජනාව ඉවත්කර ගැනීම ද ඇතුළත්ව අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ යෝජනා පහ අමාත්‍ය දිනේශ් ගුණවර්ධන විසින් පසුගිය 26 වැනි දින කවුන්සිලයේ ඉහළ මට්ටමේ අංගය අමතමින් ඉදිරිපත් කළේය.

එම යෝජනා සරලව පහත පරිදි වේ.

01. යෝජනා සම්මතයේ සමඅනුග්‍රාහකත්වයෙන් ඉවත්වීමට ශ්‍රී ලංකාව ගත් තීරණය ප්‍රකාශයට පත් කිරීම.

02.එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එහි නියෝජිතායතන සමඟ අඛණ්ඩව කටයුතු කිරීම හා ඔවුන්ගෙන් දේශීය ප්‍රමුඛතා හා ප්‍රතිපත්තිවලට අනුකූලව, අවශ්‍ය පරිද්දෙන්, ශක්නුතා වර්ධන හා තාක්ෂණික සහයෝගය ලබාගැනීම.

03. දේශීයව නිර්මාණය කරනු ලැබ ක්‍රියාත්මක කෙරෙන සංහිඳියා හා වගවීමේ ක්‍රියාදාමයක් ඔස්සේ තිරසර සාමය ළඟා කර ගැනීමට රජය තුළ ඇති කැපවීම ප්‍රකාශයට පත් කිරීම හා මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය වීම් පිළිබඳ චෝදනා විමර්ශනය කළ පූර්ව ශ්‍රී ලාංකික විමර්ශන කොමිසම් වාර්තා සමාලෝචනය කිරීමටත්, ඒවායෙහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය තක්සේරු කොට නව රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනු පිණිස, ක්‍රියාත්මක කළ හැකි පියවර යෝජනා කිරීමටත්, ශේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයකු යටතේ විමර්ශන කොමිසමක් පත්කිරීම.

04. නිසි ප්‍රජාතන්ත්‍රවාදී හා නෛතික ක්‍රියාදාම ඔස්සේ, මෙතෙක් නොවිසැඳී ඇති ගැටලු‍‍ නිරාකරණය කිරීම හා අවශ්‍ය තැන්හි ආයතනික ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම.

05. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රාජ්‍යවල සහයෝගය ඇතිව යෝජනා සම්මතය අවසන් කිරීමට කටයුතු කිරීමෙහිලා ශ්‍රී ලංකා රජය තුළ ඇති ආධ්‍යාශය ප්‍රකාශයට පත්කිරීම.

මහ කොමසාරිස්වරියගේ වාර්තාව

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය වන මිෂෙල් බැෂලේ විසින් මෙම සැසිවාරයේදී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන වාර්තාවේ අඩංගුව ද විමසා බැලීම වැදගත්ය.

ශ්‍රී ලංකා රජය මානව හිමිකම් සුරැකීම සම්බන්ධයෙන් ඉදිරි පියවර රැසක් ගෙන ඇතත්, පෙර සිදුව ඇති මානව හිමිකම් කඩවීම්වලට අදාළව ප්‍රමාණවත් පියවර ගෙන නොමැති නිසා නැවතත් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීමේ ඉඩක් ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලේ සිය වාර්තාවේ සඳහන් කර තිබේ. මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ වගකිව යුතු පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණ නොකිරීම, ඔවුන් වගකීමට යටත් නොකිරීම හා නැවත මානව හිමිකම් කඩ කිරීමට ඉඩකඩ නොමැති ලෙස ශ්‍රී ලංකාවේ මිලිටරි අංශය ප්‍රතිසංවිධානය නොකිරීම, ඉදිරියේ දී මානව හිමිකම් කඩවීමේ අවදානම් සඳහා හේතු ලෙස එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවේ සියලු‍‍ම ජන කොටස් අපේක්ෂා කළ පරිදි සාමකාමී සමාජයක් සහ තිරසාර සංවර්ධනය ළඟා කර ගැනීම සඳහා 30/1 යෝජනාව යටතේ එන කැපවීම් අත්‍යවශ්‍ය බැවින් එම යෝජනාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙස මහ කොමසාරිස්වරිය මෙමඟින් ඉල්ලා තිබේ. එහි වැඩිදුරත් සඳහන් වන්නේ, 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ශක්තිමත් කරන ලද ශ්‍රී ලංකාවේ ස්වාධීන ආයතන ඉතා වැදගත් වන බවයි. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව ස්වාධීන හා වෘත්තීයමය ලෙස මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා දිගටම සක්‍රීයව සහ ඍජුව කටයුතු කර ඇත. 2019 අපේ‍්‍රල් ප්‍රහාරයන්ගෙන් පසු පමණ ඉක්මවා ගිය පියවරයන් වැළැක්වීමේලා වන කාලෝචිත බව මහ කොමසාරිස්වරියගේ ඇගයීමට ලක්ව තිබේ. සියලු‍‍ රාජ්‍ය බලධාරීන්ගෙන් තොරතුරු ලබා ගැනීමට පුරවැසියන්ට ඇති අයිතිය සහතික කරමින් 2016 පිහිටුවනු ලැබූ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව තවත් වැදගත් ආයතනයක් බව වාර්තාව පෙන්වා දේ.

වන්දි සහ අනෙකුත් සහනදායී පියවරයන් උදෙසාත් ලංකාවේ සියලු‍‍ම ජන කොටස්වල වින්දිතයින්ගේ ඥාතීන්ට පිළිතුරු සැපයීමත් සඳහා අතුරුදහන්වූවන්ගේ කාර්යාලය සහ හානිපූරණ කාර්යාලය පිහිටුවන ලදී. ඒවායේ ස්වාධීනත්වයට තදින්ම ගරු කිරීමත් ඔවුන්ගේ බලාධිකාරය ඵලදායී ලෙස ඉටු කිරීම සඳහා ප්‍රමාණවත් සම්පත් ලබා දීමත් අත්‍යවශ්‍ය වේ. වධහිංසා පැමිණවීම් සහ අනෙකුත් මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ සියලු‍‍ චෝදනා කඩිනමින් විමර්ශනය කොට නඩු පවරන ලෙසත්, දිගු කලක් තිස්සේ පවතින සංකේතාත්මක සිද්ධීන් සඳහා වගවීම සහතික කිරීම සඳහා ඉහළම ප්‍රමුඛතාවය ලබා දෙන ලෙසත් මහ කොමසාරිස්වරිය රජයෙන් ඉල්ලා සිටී.

ජනවාර්ගික, ආගමික හා අනෙකුත් සුළුතර ජාතීන්ට, විශේෂයෙන් මුස්ලිම්වරුන්ට එරෙහිව ජාතිකවාදී සහ ආගමික කණ්ඩායම් විසින් කරනු ලබන වෛරී කතා සහ ආක්‍රමණශීලී උද්ඝෝෂණ පිළිබඳව ද මහ කොමසාරිස්වරිය සැලකිලිමත් වෙයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කිරීම හා අහෝසි කිරීම කඩිනමින් ක්‍රියාවට නංවන ලෙසත්, ත්‍රස්තවාදය මැඩපැවැත්වීමේදී මානව හිමිකම් සහ මූලික නිදහස ප්‍රවර්ධනය කිරීම හා ආරක්ෂා කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත සමඟ කටයුතු කරන ලෙසත් ජාත්‍යන්තර මානව හිමිකම් සම්මතයන්ට හා ප්‍රමිතීන්ට අනුකූල වන නව නීතියක් සම්පාදනය කිරීමටත් මහ කොමසාරිස්වරිය රජය දිරිගන්වයි.

ආණ්ඩුවේ යෝජනාව පිළිබඳව ද මහ කොමසාරිවරියගේ ප්‍රතිචාරය 27 වනදාට නියමිත වාචික දේශනයේදි ඉදිරිපත් වනු ඇත.

30/1 දක්වා ගමන් මග

ආණ්ඩුව ඉවත් විය යුතු බව අවධාරණය කර තිබෙන සහ මහ කොමසාරිස්වරිය ආණ්ඩුවේ කැපවීම අපේක්ෂා කරන 30/1 යෝජනාවලිය සහ එහි පසුබිම සමබිම ලිපි ගණනාවක් ඔස්සේ දීර්ඝව පැහැදිලි කර ඇත්තෙමු. එසේ නමුත් සැකෙවින් නැවත එහි පසුබිම පැහැදිලි කිරීම වැදගත් යැයි සිතමු.

යුද්ධය අවසාන කාලයේ බරපතළ මානව හිමිකම් උල්ලංඝනයන් සිදුවූ බවට සහ ඒ සඳහා ශ‍්‍රී ලංකා රජයට මෙන්ම එල්.ටී.ටී.ඊ. සංවිධානයටත් එරෙහිව චෝදනා එල්ල විය. මෙම පසුබිම තුළ 2009 මැයි 27දා ලංකාව පිළිබඳ යෝජනාවක් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් විය. ත‍්‍රස්තවාදය අවසන් කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා රජයට ප‍්‍රශංසා කළ එකී යෝජනාව කල් පවතින සාමයක් ඇති කිරීම සඳහා වාර්ගික ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදීම ඇතුළු ප‍්‍රතිසංස්කරණ සිදුකොට ලංකාව ඉදිරියට ගමන් කළ යුතු බව යෝජනා කළේය. මෙය මානව හිමිකම් කවුන්සිලයේ බහුතර ඡන්දයෙන් සම්මත විය. එහෙත් මේ ප්‍රශ්නය ජිනීවා යන්නට පෙරත් යුද සමයේ මානව හිමිකම් කඩවීම හා එම කාලයේ දී සිදු වූ ඝාතන සිදුවීම් 16ක් පිළිබඳව විමර්ශනය කිරීම අරමුණු කරගනිමින් 2006 වසරේ උදලාගම කොමිසම පත් කරනු ලැබූවද 2015 වසරේ එවකට අගමැති රනිල් වික්‍රමසිංහ විසින් එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන තෙක් එය නිකුත් නොකෙරුණි. කෙසේවුවත් 2009 මැයි මස යුද නිමාවත් සමඟම එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂගේ ආරාධනයෙන් එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්ව සිටි බෑන් කී මූන් ලංකාවේ සංචාරයක නිරත වූ අතර ආණ්ඩුව සහ මහ කොමසාරිස්වරයා ඒකාබද්ධව ප්‍රකාශයක් ද නිකුත් කළේය. එම ඒකාබද්ධ ප‍්‍රකාශය මගින් ලංකා ආණ්ඩුව,

1. යුද්ධයෙන් අවතැන්වූවන් කඩිනමින් පදිංචි කරන බවටත්,

2. මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ දේශීය පරීක්ෂණයක් පවත්වන බවත්,

3. යුද්ධයට තුඩු දුන් හේතු ඉවත් වන පරිදි දේශපාලන විසඳුමක් හඳුන්වා දෙන බවටත්, ප‍්‍රකාශ කළේය.

එහෙත් එය හුදු ප්‍රකාශයක් ලෙස සලකා කටයුතු කළ ආණ්ඩුව මෙම එකඟතා අනුව කටයුතු නොකරන බව පෙනී යෑමෙන් මහ ලේකම්වරයා විසින් ඒ සම්බන්ධව තමන්ට විශේෂඥ උපදෙස් ලබා ගැනීම සඳහා දරුස්මාන් කමිටුව පත් කළේය. ඒ සමඟ ඇති විය හැකි බැරූරුම් තත්ත්වය අවබෝධ කර ගත් ආණ්ඩුව, මානව හිමිකම් කඩවීම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසම පත් කරනු ලැබූවද එම වාර්තාවේ ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද ආණ්ඩුව සිය සුපුරුදු ඇල්මැරුණු ස්වභාවය පෙන්නුම් කළේය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස 2012දී එක්සත් ජනපදයේ අනුග‍්‍රාහකත්වයෙන් මානව හිමිකම් කවුන්සිලයට ලංකාව සම්බන්ධ යෝජනාවක් ඉදිරිපත් කෙරිණ. එම යෝජනාව මගින් ප‍්‍රකාශ කළේ එල්.එල්.ආර්.සී. කොමිසමේ නිර්දේශ ලංකා ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කළ යුතු බවත්, යුද සමයේ සිදුවූ ජාත්‍යන්තර මානුෂවාදී නීති උල්ලංඝනයන් පිළිබඳ දේශීය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත්ය. මානව හිමිකම් කවුන්සිලයේ බහුතරයෙන් සම්මත වූ මෙම යෝජනාවට ශ‍්‍රී ලංකාව ස්වකීය විරෝධය පළ කළා මතු නොව ක්‍රියාත්මක කිරීමෙන්ද වැළකුණේය. 2014 ශී‍්‍ර ලංකාව පිළිබඳ තරමක දැඩි යෝජනාවක් වූ 25/1 යෝජනාවලිය මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ සම්මත වන්නේ ඒ අනුවය. කෙසේවුවත් ඉදිරිපත් වී තිබෙන මානව හිමිකම් චෝදනා සම්බන්ධව පිළිගත හැකි දේශීය විමර්ශනයක් පවත්වන බවට පළමුවරට 2015 බලයට පත් යහපාලන ආණ්ඩුව එකඟ විය.

ශ්‍රී ලංකා ආණ්ඩුවේ ද සමඅනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, සංහිඳියාව සහ වගවීම සම්බන්ධ 30/1 දරන යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය සම්මත වන්නේ ඒ අනුවය. ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන භාගයේ සිදු වූ බව පැවසෙන බරපතළ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් වගවීම ක්‍රියාත්මක කිරීම, සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම මූලිකව අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීම ඇතුළු කරුණු ගණනාවක් ඇතුළත් එක්සත් ජාතීන්ගේ මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම පිණිස ශ්‍රී ලංකාව පොරොන්දු වූවද එය එලෙසින්ම ඉටු කිරීමට ලංකාව අසමත් වීම නිසා ලංකාණ්ඩුව 2017 වසරේ දෑ අවුරුද්දකට කල් ගත්තේය 34/1 යනු එම යෝජනාවයි. 2019 මාර්තුවේ 40/1 ලෙස නව යෝජනාවට සමඅනුග්‍රහකත්වය දැක්වූ ආණ්ඩුව නැවත වතාවක් දෙවසරටකට කල් ගත්තේය.

බොරු බිය

වත්මන් ආණ්ඩුව ඉවත් වෙනවා යැයි කියන්නේ මෙම යෝජනාවෙන්ය. ආණ්ඩුවේ පිරිස් කවදත් මෙම යෝජනාවලිය පෙන්වූයේ බිල්ලෙකු ලෙසය. මෙමඟින් රණවිරුවන් විදුලි පුටුවට යවන බවටත් මෙය මර උගුලක් බවටත් හුදු අලංකාරෝක්ති (rhetoric) ගොඩනැගුවේ වත්මන් ආණ්ඩුවේ පිරිස් විපක්ෂයේ සිටියදීමය. එය ඔවුන්ට බලය ලබා ගැනීම සඳහා විශාල උපකාරයක් විය. විශේෂයෙන්ම පැවැති ආණ්ඩුව සංහ`ිදියා ක්‍රියාවලිය ජනතාව අතරට රැගෙන යාමේදී පෙන්වූ අතිශය දුර්වල ස්වභාවය මෙම වැරදි ප්‍රචාරයන්ට මනා පිටුවහලක් විය. විශේෂයෙන්ම ඒ සඳහා පත්කළ සංහ`ිදියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධිකරණ ලේකම් කාර්යාලය (SCRM) වැනි ආයතනවල ක්‍රියාකාරීත්වය පෞද්ගලික න්‍යායපත්‍රයන්ට සීමා වී තිබුණ බැවින් පොදු මහජනයා අතර මේ ක්‍රියාවලිය පිළිබඳ විශ්වාසයක් ගොඩනැංවීමට ඔවුන්ට නොහැකි විය.

රියර් අද්මිරාල් සරත් වීරසේකර පසුගියදා මාධ්‍යය වෙත ප්‍රකාශයක් කරමින් පැවසුවේිඅතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය මඟින් යුද සහ දේශපාලන නායකයින් දැනටමත් ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙනයාමට මංපෙත් විවෘත කර හමාර’ බවය. එහෙත් වසර හතරහමාරක් පුරා මෙම යෝජනාවලියේ නිර්දේශ මන්දගාමීව නමුත් ක්‍රියාත්මක වෙමින් තිබූ අතර අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය ආරම්භ කර වසර දෙකකටත් අධික කාලයක් ගතව තිබුනා වුවත් විදුලි පුටුවට තබා යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබා සිරභාරයට පත් එකඳු හෝ හමුදා නිලධාරියෙකු පිළිබඳව අපට අසන්නට නැත.

බලපෑම කුමක්ද?

අනෙක් අතින් මෙම යෝජනාවලියෙන් ඉවත්වනවා යැයි කියන ආණ්ඩුව ඉහත දක්වා ඇති කැබිනට් අනුමැතිය ප්‍රකාර යෝජනා පහ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර තිබේ. 30/1 යෝජනාවලියේ අන්තර්ගය සහ මෙම යෝජනා පහ හොඳින් විමසා බැලු‍ විට පෙනෙන සත්‍ය නම් 30/1 යෝජනාවට වඩා වැඩි යමක් මෙම කැබිනට් අනුමැතිය හිමි යෝජනා පහේ ද නොමැති බවයි.

වත්මන් ආණ්ඩුව මෙවර ජිනීවා ගොස් කිව්වේද යුද්ධයේ අවසන් සමයේ සිදුවූ බව කියැවෙන මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් සොයා බැලීමට දේශීය යාන්ත්‍රණයන් සකස් කරන බවය. ඒ සඳහා මේතාක් පිහිටුවන ලද පරීක්ෂණ කොමිෂන් සභාවන්හි වාර්තා පරීක්ෂා කිරීමට ශේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගෙන් සමන්විත අලු‍‍ත් කොමිසමක් පිහිටුවන බවය. ආයතනිත ප්‍රතිසංස්කරණයන් වෙනුවෙන් පියවර ගන්නා බවය. එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම එහි නියෝජිතායතනය සමඟ ද අඛණ්ඩව කටයුතු කරන බවය.

මෙම යෝජනාවෙන් ඉවත් වුනොත් ලංකාවේ මානව හිමිකම්වලට කුමක්වේදැයි බිබිසි සිංහල වෙබ් අඩවිය මානව හිමිකම් කොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගමගෙන් කළ විමසීමක ඇය කියා සිටියේ, ශ්‍රී ලංකා රජය ගෙන ඇති තීරණයෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා වීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රශ්නයක් ඇති නොවන බවයි.ි‍දේශපාලනඥයෝ යම් යම් තීන්දු ගන්නවා. ඒ ගැන අදහස් දක්වන්න ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට හැකියාවක් නැහැ. රජය දේශපාලනිකව ඒ ප්‍රශ්නය දිහා බලන්නේ. ඒක දේශපාලනික තීරණයක්. ඒ තීරණ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් කිසිම ආකාරයකින් බලපාන්නේ නැහැ.’ පසුගිය දා ද්‍රවිඩ ජාතික සන්ධානය ද මේ සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ප්‍රකාශ කළේ, ආණ්ඩුවේ මෙම තීරණය එළැඹෙන මැතිවරණය ඉලක්ක කර ගත් එකක් බවත් සමඅනුග්‍රාහකත්වයෙන් ආණ්ඩුව ඉවත් වුවත් එම යෝජනාවලිය එලෙසම පවතින බැවින් එයින් රටට සිදුවන බලපෑමේ වෙනසක් සිදුනොවන බවත්ය. විශේෂයෙන්ම ආණ්ඩුව ඉවත් වීමෙන් එම යෝජනාවලියට හෝ එහි ගුණාත්මකබවට හානියක් සිදු නෙවෙන බව ඔවුන් අවධාරණය කර සිටියේය.

ඇත්ත සතුරා

රාජ්‍යයේ ස්වෛරීත්වය පිළිබඳ අවංක හැඟීමක් ආණ්ඩුවට තිබේ නම් කළ යුතුව ඇත්තේ සිදුව ඇති අපරාධයන් පිළිබඳ අවංක විමර්ශනයක් සිදුකර යුක්තිය ඉෂ්ට කිරීමය. ප්‍රශ්නයට මුහුණ දීමෙන් මිස පළා යාමෙන් රැකගත හැකි ස්වෛරීත්වයක් රටකට නැත. ජිනීවා තවදුරටත් හතුරෙක් ලෙස දැකීම වෙනුවට මේ රටේ සියලු‍‍‍ ජන ප්‍රජාවන්ගේ සහය දිනා ගැනීම වෙනුවෙන් මෙම යෝජනාවලිය මාර්ගයක් කර ගැනීමට ආණ්ඩුවට අවස්ථාව තිබේ. ජිනීවා යෝජනාව හතුරෙකු ලෙස මවා පෑමෙන් කෙටිකාලීනව ආණ්ඩුවට මැතිවරණ වලින් ජයග්‍රහණය කළ හැකි වුවද ඒ වෙනුවෙන් රට තුළ පතුරවන අන්තවාදී මත නිසා ආණ්ඩුවට දිගු කාලීනව අත්වන හානිය, අත්දැකීම් බහුල පරිනත දේශපාලනඥයන් වන අගමැතිවරයාට මෙන්ම විදේශ කටයුතු අමාත්‍යවරයාටද අපට වඩා තේරෙවා විය යුතුය. සයින්දමර්දු සිදුවීමේදී එය මැනවින් පැහැදිලි වූ අතර දැන් ආණ්ඩුව ඉදිරිපත් කර ඇති යෝජනා සැබැවින්ම රට තුළ ක්‍රියාත්මක කර ගැනීමට යෑමේදී වුව ආණ්ඩුවට එල්ල විය හැකි ප්‍රධානම බාධාව විය හැක්කේ තමන් විසින්ම පැතිරවූ මතවාදයන් මිස අන් කිසිවක් නොවේ.

සයිමන් නවගත්තේගමගේ ක්ෂීර සාගර කැළඹිණ නවකතාවේ කතා නායකයා, සිය අධිරාජ්‍යයේ නායකයා වන අතරම අධිරාජ්‍යයාට එරෙහිව කැරළිගසන සොර කණ්ඩායමේ ද නායකයාය. ජිනීවා අරඹයා ආණ්ඩුවේ තත්ත්වයත් එවැනිය. ඒ නිසා දැන් ආණ්ඩුවේ අභියෝගය රාජ්‍ය නොවන සංවිධාන හෝ වෙන කවුරුවත් නොව තමන්මය. කෙසේ වුවත් ක්ෂීර සාගරය කැළඹීමෙන් මතුවන්නේ කප්රුක, අමෘතය වැනි දෑය. ඒ වාසිය රටට ලැබිය යුතුය.

555 වැනි සමබිම ඉරිදා අතිරේකය සඳහා ජයනි අබේසේකර විසින් ලියන ලද ලිපියකි.



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.