‘ද හින්දු’ පුවත්පතේ මාධ්‍යවේදිනී ‘සුහාසිනි හයිදර්’ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසූ ප්‍රශ්න සහ අග්‍රාමාත්‍යවරයා ඊට දුන් පිළිතුරු පහත දැක්වේ.

ප්‍රශ්නය:- ඔබ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග දීර්ඝ සාකච්ඡා පැවැත්වූවා. එහෙත් කිසිදු ගිවිසුමක් සම්බන්ධයෙන් නිවේදනය කළේ නැහැ. විශේෂයෙන්ම යටිතල පහසුකම් සඳහා ඉන්දියාව ලබාදෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ගැන සඳහන් කළේ නැහැ. මේ සාකච්ඡා ගැන අපට කියන්න.

පිළිතුර:- අපි ගිවිසුම් කිහිපයක් ගැන සාකච්ඡා කළා. ඉන්දියාව ලැදියාව දක්වන ඇතැම් ව්‍යාපෘතිවලට අපි එකඟතාව පළ කළා. එය දෙපාර්ශවයටම සාර්ථක සහ ඵලදායී හමුවක් යැයි මා කියනවා. නිවාස ව්‍යාපෘතිය අපි ප්‍රමුඛතාව දෙන අංශයක්. ඒ සඳහා අපි තවත් අරමුදල් ඉල්ලා සිටියා. සම්පූර්ණ රටම ආවරණ වෙන නව වැඩසටහනක් අපට තිබෙනවා. ඉන් සෑම ගමක්ම ආවරණය වෙනවා. ඒ සඳහා සහයෝගය ලබාගන්න අපි බලාපොරොත්තු වෙනවා. නිවාස ව්‍යාපෘතියට අමතරව අපි තවත් ව්‍යාපෘති සම්බන්ධයෙන් සාකච්ඡා කළා.

ප්‍රශ්නය:- 2017 වසරේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ත්‍රිකුණාමලයේ බලශක්ති සහ තෙල් ව්‍යාපෘතිය ඇතුළුව යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා ආර්ථික සහයෝගීතාව වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට අත්සන් කළා. ත්‍රිකුණාමලය සම්බන්ධයෙන් ඉන්දියාව උනන්දුව දැක්වූවා. ඒවා සම්බන්ධයෙන් සාකච්ඡා කළාද?

පිළිතුර:- ත්‍රිකුණාමල ව්‍යාපෘති ගැන අපි සාකච්ඡා කළේ නැහැ. ඒත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඒ වගේම ස්වාභාවික වායු (එල්.එන්.ජී. ටර්මිනල්) පර්යන්තය සම්බන්ධයෙන් ද සාකච්ඡා කළා. ඉන්දියාව සහ ජපානය ඒකාබද්ධව නැගෙනහිර පර්යන්තයේ මුදල් ආයෝජනය කරනවා. පසුගිය ආණ්ඩුව 2017දී අත්සන් කළ කිසිදු ගිවිසුමක් ඉදිරියට කරගෙන ගියේ නැහැ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අත්සන් කළ සියලු ව්‍යාපෘති ප්‍රතික්ෂේප කළා. ඒ ව්‍යාපෘතිවලට අපි වගකියන්නේ නැහැ. මත්තල ව්‍යාපෘතිය ද අයින් කළා. විදේශීය පාලනයට අපේ ජාතික සම්පත් නතු කරන්නේ නැහැ. අපේ ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක ඉන්නවා.

ප්‍රශ්නය:- ආරක්ෂක සහයෝගීතාව වෙනුවෙන් අමතර ඩොලර් මිලියන 50ක ණය මුදලක් ලැබෙනවා. විශේෂයෙන්ම පසුගිය පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලින් පසුවයි. ආරක්ෂාව සම්බන්ධයෙන් මොනවද තීරණය කළේ?

පිළිතුර:- වැඩි වැඩියෙන් බුද්ධි තොරතුරු හුවමාරු කරගත යුතු යැයි අපි තීරණය කළා. ඒ වගේම ඉන්දියාවෙන් ලැබෙන තාක්ෂණික සහාය වගේම පුහුණුව වැඩි කළ යුතු බවත් සාකච්ඡා කෙරුණා. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් දැන් විමර්ශනයක් සිදුවෙනවා. කොමිසමක් ඒ සම්බන්ධයෙන් විමර්ශන කරනවා. ඒ සඳහා ඉන්දියාව උදවු කරාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ත්‍රෛපාර්ශවීය ත්‍රස්ත මර්දන සහ ආරක්ෂක සහයෝගීතා ව්‍යාපෘතියක් තිබුණා. 2015ට කලින් තිබුණු මේ වැඩසටහන නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා. අපි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඉතාම ඉක්මනින් මුණගැසෙනවා. බොහෝදුරට මාලදිවයිනේදී එම සාකච්ඡා පැවැත්වේවි. එය ඉදිරියට ගෙන යෑම සම්බන්ධයෙන් අපි එහිදී සාකච්ඡා කරනවා.

ප්‍රශ්නය:- පාකිස්තානය සමඟ ආරක්ෂක හා බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීම සම්බන්ධයෙන් ඔබේ ආරක්ෂක ලේකම්වරයා අදහස් දක්වා තිබුණා. පාකිස්තානය ත්‍රස්තවාදයට සහාය දක්වනවා යැයි ඉන්දියාව චෝදනා කරනවා. මේ නිසා ‘සාර්ක්’ ක්‍රියාවලිය ද නැවතී තිබෙනවා. එහෙම බලද්දි මේක සමබර කරගන්න එක අමාරු නැද්ද?

පිළිතුර:- ඔව්, අපි මිත්‍ර රටවල්. කලාපයේ සෑම රටක් සමඟම අපි ඉතා හොඳ මිත්‍රශීලී සබඳතා පවත්වනවා. අපි චීනය සමඟත් ඉතා හොඳ සබඳතා පවත්වනවා. එහෙත් ඉන්දියාව සමඟ සබඳතාව වඩාත් ශක්තිමත්. එය තමයි අපට ඉතාම වැදගත්. ‘සාර්ක්’ ක්‍රියාවලිය ගැන මම අගමැති මෝදි සමඟ සාකච්ඡා කළේ නැහැ. මම දන්න විදියට ඉන්දියාව ඒ ගැන වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. විශේෂයෙන්ම මීළඟ හමුව පාකිස්තානයේදී තියෙන පසුබිමක. සාර්ක් සංවිධානය නිර්මාණය කිරීමෙන් පසුව අපි සැලකිය යුතු දුරක් ඇවිත් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. එය තවදුරටත් ඉදිරියට ගෙන යා යුතුයි. දැන් ‘බිම්ස්ටෙක්’ සමුළුව ද තියෙනවා.

ප්‍රශ්නය:- ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මෝදි කරුණු දැක්වූවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් ද ඒ ගැන අදහස් පළ කළා. දෙමළ ජනතාව සම්බන්ධයෙන් ඉන්දියාව ඔබේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වන දේ ගැනත් කීවා. ඔබ එයට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද?

පිළිතුර:- ඒ කරුණු අප තේරුම් අරගෙන තිබෙනවා. 2009 වසරේදී යුද්ධය අවසන්වීමෙන් පසුව උතුරේ ජනතාවට ඔවුන්ගේම මහ ඇමැතිවරයෙක් තෝරාගන්න අප අවස්ථාව දුන්නා. අපි පරදින බව දැන දැනත් එම මැතිවරණ පැවැත්වූවා. එහෙත් ඊට පස්සේ මුකුත් වුණේ නැහැ. අපි අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ පළාත් පාලන මැතිවරණය. ඉදිරිය ගැන සාකච්ඡා කරන්න අපි කණ්ඩායමක් පත් කරන්න බලාපොරොත්තු වෙනවා. එම කණ්ඩායම යාපනයට යනවා.

ප්‍රශ්නය:- 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බල බෙදීම සම්බන්ධ ඉදිරි ගමන කොහොමද?

පිළිතුර:- ඒක ගැන සාකච්ඡා කරන්න ඕනෑ. අපිට ඉදිරියට යන්න ඕනෑ. එහෙත් අපට දෙමළ ජනතාව ජීවත්වන ප්‍රදේශවල වගකීම ගන්න පුළුවන් කෙනෙක් සාකච්ඡා සඳහා වුවමනායි. ඒ නිසා හොඳම දේ මැතිවරණ පවත්වා ඔවුන්ගේ නියෝජිතයන්ට අපත් සමඟ සාකච්ඡා කරන්නැයි කීම. ඒත් මේ අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානය ශ්‍රී ලංකාවේ බහුතර ජනතාව පිළිනොගන්න එක එක දේවල් ඉල්ලනවා.

ප්‍රශ්නය:- බලය බෙදීමට වඩා සංවර්ධනයට ප්‍රමුඛතාව දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ඔබේ ස්ථාවරයත් ඔහුගේ ස්ථාවරයත් අතරේ වෙනසක් තිබෙනවද?

පිළිතුර:- නැහැ, නැහැ. ජනතාවට සංවර්ධනය අවශ්‍යයි. ඔවුන් සංවර්ධනය නොමැතිව අවුරුදු 30ක් දුක් වින්දා. ඒ නිසා මුලින්ම කළ යුත්තේ එම ප්‍රදේශය සංවර්ධනය කිරීමයි.

ප්‍රශ්නය:- ශ්‍රී ලංකාවේ නිදහස් දින උත්සවයේදී ජාතික ගීය දෙමළ බසින් ගායනා නොකිරීම සම්බන්ධයෙන් මතභේදයක් ඇතිවුණා. එයින් වැරැදි පණිවුඩයක් ගියා නම් ඔබ දෙමළ ජනතාවට සහතිකයක් දෙන්නේ කොහොමද?

පිළිතුර:- ඔබ ලෝකය දිහා බැලුවොත්, මූලික වශයෙන් ජාතික ගීය කියන්නේ එක් භාෂාවකින්. ඉන්දියාවේ භාෂා රැසක් තිබෙනවා. එහෙත් ඔබේ ජාතික උත්සවවලදී ජාතික ගීය කියන්නේ එක භාෂාවකින්. අපේ ආකෘතියත් ඒකම තමයි. මම යාපනයේ ඉස්කෝලයකට ගියාම එහේ දරුවෝ දෙමළ බසින් ජාතික ගීය කියනවා. ඔවුන්ට ඔවුන්ගේ භාෂාවෙන් ජාතික ගීය කියන්න අවශ්‍ය නම් අපේ විරුද්ධත්වයක් නැහැ. ඇතැම් දේශපාලනඥයන් මෙය ප්‍රශ්නයක් කරගෙන. රටේ මහජනතාව මේ ගැන උනන්දුවක් දක්වන්නේ නැහැ.

ප්‍රශ්නය:- මේ වසරේ ඔබේ ප්‍රධාන අභියෝගය දේශීය වශයෙන් සහ විදේශීය වශයෙන් ගෙවීමට ඇති ණයයි. මේ වසරේදී සම්පූර්ණයෙන් ගෙවීමට ඇති ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 60 ක් ඒ සඳහා ඔබ සැලැසුම් සකස් කර ඇත්තේ කෙසේද?

පිළිතුර:- ඔව්, ඒක කනස්සල්ලට කරුණක්. අපි මේ ගැන ඉන්දීය රජය සමඟත් සාකච්ඡා කළා. ආර්ථිකය යථා තත්ත්වයට පත් කරන තෙක් සම්පූර්ණ ණය ගෙවීම සඳහා වසර තුනක සහන කාලයක් දෙන්නැයි අපි ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කළා. ඉන්දීය රජය ඒ ගැන පියවරක් ගත්තොත් චීනය ඇතුළු අනෙක් රටවල් ද ඒ දේ කරාවි. කලින් ආණ්ඩුව විශාල වශයෙන් ණය ගත්තා. ඔවුන් ආර්ථිකය වැට්ටුවා. දැන් ආර්ථිකය ලොකු අවුලක් වෙලා. සියල්ල තීරණය වෙන්නේ ඉන්දියාව ගන්න පියවර මතයි.

ප්‍රශ්නය:- මේ අවුරුද්දෙදි විතරක් පොලිය විතරක් ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක් ගෙවන්න ඕනෑ. ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම මුදල. ඔබට එය කරන්න පුළුවන් ද?

පිළිතුර:- අපි එය කරන්න ඕනෑ. අපි කොහොමහරි ඒක කරනවා. මොන දේ වුණත් ණය පැහැර හරින්න අපිට වුවමනාවක් නැහැ.

ප්‍රශ්නය:- හම්බන්තොට වරායේ පාලනය නැවත ශ්‍රී ලංකාවට වුවමනා යැයි ඔබ කීවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ චීනයේ සංචාරය කරනවා. එහිදී ඔහු ඒ ගැන චීනයෙන් විමසනවද?

පිළිතුර:- අපි ඒ ගැන සාකච්ඡා කරමින් ඉන්නවා. එහෙත් එය අමාරු දෙයක්. කලින් ආණ්ඩුව වරායේ පාලනය දී අවසන්. මං හිතනවා කොන්දේසි මත චීනය අපේ ඉල්ලීමට එකඟ වේවි කියලා. අපි දිගින් දිගටම ඒ ගැන සාකච්ඡා කරනවා.

ප්‍රශ්නය:- ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී පිටස්තර පාර්ශවවලට ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට ඉඩ නොදෙන බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී ප්‍රකාශ කළා. ඔහු අදහස් කළේ මොකක්ද? ඔහු ඇමෙරිකාවට යමක් ඇඟෙව්වාද? නැතිනම් ඉන්දියාවට? එහෙමත් නැතිනම් වෙනත් රටකට?

පිළිතුර:- මම දන්නේ නැහැ, ඔබ ඔහුගෙන් තමයි අහන්න ඕනෑ (සිනාසෙයි). අපි ඒ ප්‍රකාශයට වැඩි සැලකිල්ලකට ගත්තේ නැහැ. මොකද තවමත් කවුරුවත් අපේ දේවල්වලට මැදිහත් වෙලා නැහැ. 2015 මැතිවරණයේදී ඇරෙන්න. එතකොට හැම රටක්ම මැතිවරණයට සම්බන්ධ (මැදිහත්) වුණා. ඒත් දැන් අපි හැම රටක් එක්කම හොඳ සබඳතා පවත්වමින් වැඩ කරන්න කැමැතියි.

ප්‍රශ්නය:- ඔබ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ගැන සාකච්ඡා කළා. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සැලකිල්ලට ගනිමින්, ඔබ ජයග්‍රහණය කරනවා යැයි හිතුවොත්, ජනාධිපතිවරයාගෙන් අග්‍රාමාත්‍යවරයාටත් පාර්ලිමේන්තුවටත් බලය දුන් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරනවද?

පිළිතුර:- මුලින්ම අපි 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ගැලවෙන්න ඕනෑ. ඊට පස්සේ තමයි ඉදිරිය ගැන හිතන්න ඕනෑ. ජී.එල්. පීරිස් මහතා දැනටමත් ඒ ගැන අධ්‍යයනය කරමින් ඉන්නවා. ඊට පස්සේ මොකද කරන්න ඕනෑ කියලා අපි මත විමසනවා. දැන් ජනාධිපතිවරයාට හෝ අග්‍රාමාත්‍යවරයාට පැහැදිලි බලතල නැහැ. ඒ නිසා බලය බෙදීම ගැන අපි හිතන්න ඕනෑ. රටේ බහුතරයක් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දුන්නා. රටේ සංවර්ධනය සහ පාලනය සම්බන්ධයෙන් යම් පාලනයක් ඔහු සතුව තිබිය යුතු යැයි ජනතාවට අවශ්‍ය බව ඉන් පෙනී යනවා. අපි එයට ගෞරව කළ යුතුයි.

ප්‍රශ්නය:- ජනාධිපතිවරයා ඔබේ සහෝදරයා. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසා උද්ගත වී තිබෙන අර්බුදය නිසා ඔබත් ඔහුත් අතර ප්‍රශ්න ඇති වේවිද?

පිළිතුර:- නැහැ, නැහැ, නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැන් තිබෙන ව්‍යුහයත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නිර්මාණය වුණු අවුලත් එක්ක මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් මමත් ගෝඨාත් වගේ සහෝදරයන් දෙන්නෙක්ට විතරයි (සිනාසෙයි). වෙන කිසි ජනාධිපති කෙනෙක්ට අගමැති කෙනෙක්ට මේ ප්‍රශ්නය විසඳන්න බැහැ.

ප්‍රශ්නය:- බලයේ නැති කාලයේත් ඔබ මෙහි ආවා. අවුරුදු පහකට පස්සේ අග්‍රාමාත්‍යවරයා ලෙස නැවත මෙහි පැමිණීම ගැන මොකද හිතෙන්නේ?

පිළිතුර:- බලයේ සිටියදීත් බලයේ නැති කාලයේදීත් මට ආරාධනා කිරීම ගැන මෙන්ම මා පිළිගැනීම ගැන මම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට කෘතඥතාව පළ කරනවා. ඒ නිසා මට වෙනසක් තේරුණේ නැහැ. ඔහු ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට සූදානම් වුණ විගස ඔහු පිළිගන්න අපි සූදානම්.

උපුටා ගැනීම - ලංකාදීප

සිංහල පරිවර්තනය
හර්ෂණ තුෂාර සිල්වා