English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
අලුත් ආණ්ඩුවටත් ප්‍රජාතන්ත්‍රවාදය මග හරින්න බැහැ
(2020-01-02)

<< Go Back
Share |   


‘සිවිල් සමාජ හා වෘත්තීය සමිති එකමුතුව’ විසින් පසුගිය ජනාධිපතිවරණය සමයේ ප්‍රතිපත්ති මාලාවක් නිකුත් කරමින් ජනාධිපති අපේක්ෂකයෙක්ගෙන් සිවිල් සමාජ සංවිධාන බලාපොරොත්තු වන ප්‍රතිසංස්කරණයන් පිළිබඳව කතිකාවක යෙදුණි. 2019 නව රජයක් හා ජනාධිපතිවරයෙක් බිහිවීමත් සමඟ 2015 ට පෙර සිටම ප්‍රජාතන්ත්‍රවාදි වටිනාකම් වෙනුවෙන් පෙනී සිටි සිවිල් සමාජ සංවිධාන වලින් සැදුම් ලත් මෙම සාමූහිකයේ ස්ථාවරය සහ අපේක්ෂාව කුමන ආකාරයෙක් එකක්දැයි යන්න පිළිබඳව ‘සමබිමේ’ රුවිනි අයේෂා ‘සිවිල් සමාජ හා වෘත්තීය සමිති එකමුතුවේ’ සම කැඳවුම්කරු පිලිප් දිසානායක සමඟ සංවාදගත විය.

පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණක් හදා ගැනීම සම්බන්ධයෙන් 2015 ට පෙර සිටම සිවිල් සමාජ සංවිධාන වලට අපේක්ෂාවක් තිබුණා. පසුගිය කාලය තුළ මේ පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට මොකද වුනේ?

2015 ජයග්‍රහණය ලැබෙන්නෙත් මේ විදියට ගොඩනඟාගත් පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හරහායි. නමුත් ඒ පෙරමුණ අපිට දිගටම පවත්වා ගෙන යන්න බැරි වුනා. මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ගේ නායකත්වයෙන් ලංකාවේ සිවිල් සංවිධාන එක පොකුරට එකතු වෙලා තමයි ඒ පෙරමුණ හැදුනේ. එමඟින් ඉදිරිපත් වුනු යම් ප්‍රගතිශීලි යෝජනා පසුගිය යහපාලන රජය තුළ යම් පමණකින් ක්‍රියාත්මක වුණා. ඒක අපි ලබපු ජයග්‍රහණයක්. ස්වාධීන ආයතන ඇති කිරීම, තොරතුරු දැන ගැනීමේ පනත මූලික අයිතිවාසිකමක් කිරීම, 19 වන සංශෝධනය හඳුන්වා දීම වැනි ප්‍රගතිශීලි ජයග්‍රහණ කිහිපයක් ලබා ගත් නමුත් ඒ තත්ත්වය එතනින් එහාට පවත්වා ගෙන යාමේ වැඩපිළිවෙළක් සිවිල් සමාජ සතුව තිබුණේ නැහැ. යහපාලන ආණ්ඩුවට වැඩ පිළිවෙළක් තිබුණෙත් නැහැ සිවිල් සමාජ එක්ක එකතු වෙලා වැඩ කටයුතු කරන්න. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම, සංහිඳියාව ගොඩ නැංවීම සඳහා වන යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම, වැරදිකරුවන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීම වැනි සිවිල් සමාජය බලාපොරොත්තු වූ දේවල් ඒ ආණ්ඩුවෙන් ඉටු වුණේ නැහැ. ඒක නිසා අපිත් එක්ක වැඩ කරපු සිවිල් සමාජ නායකයින් ඒ පිළිබඳව කළකිරීමට ලක් වුණා. ඒ නිසා එයාලා විසිරුණා. එහි ප්‍රතිඵලය පසුගිය ජනාධිපතිවරණ ප්‍රතිඵලය තුළින් දකින්න ලැබුණා. සියළුම කණ්ඩායම් එකට එකතු වීම ඇතුලේ තමයි ජයග්‍රහණය කියන දේ තියෙන්නේ. අපි බෙදුනොත් ජයග්‍රහණය ලබා ගන්න එක ප්‍රායෝගිකව හුඟක්ම දුෂ්කර දෙයක්.

ජිනීවා යෝජනා වල 1/30 යෝජනාව ක්‍රියාවට නැංවීමට පැවති යහ පාලන ආණ්ඩුව දිගින් දිගටම කල් ඉල්ලුවා. සංහිඳියාව මෙරට තුළ ස්ථාපිත කරවීම සම්බන්ධයෙන් පැවති රජය සාධාරණ මැදිහත් වීමක් කලා කියලා ඔබ හිතනවද?

ඒ සම්බන්ධයෙන් දක්වපු නොසැලකිල්ල යහපාලන ආණ්ඩුව අතින් සිද්ධ වෙච්ච බරපතළ වැරැද්දක්. අපි රටක් විදියට එක්සත් ජාතීන්ගේ සංගමයට පොරොන්දු වුණේ මේ රටේ මේ රටේ සුළු ජාතිකයන්ට සිදුවුනු දේවල් සම්බන්ධයෙන් සාධාරණ ක්‍රියා මාර්ග ගන්නවා කියලයි. ඒ පොරොන්දුව උඩ සුළු ජාතිකයින් විශාල ඡන්ද ප්‍රමාණයකින් පහුගිය ආණ්ඩුව ජයග්‍රහණය කරවීමටත් කටයුතු කළා. ඒ විශාල බලාපොරොත්තුවක් ඇතුවයි. නමුත් ඒ පොරොන්දු ඉටු කරන්න යහපාලන ආණ්ඩුවට බැරි වුණා. මූලික පියවර කිහිපයක් ඒ වෙනුවෙන් ගත්තත් ඒකෙන් ජනතාවට සෑහීමකට පත් වෙන්න බැරි වුණා. ඉතින් ඒක බරපතළ අඩුපාඩුවක් සහ බරපතළ වැරැද්දක් බව මම හිතනවා. ඒ වැරැද්ද දැන් වෙලා ඉවරයි. ඒක මග ඇරලා අලුත් ආණ්ඩුවට වුනත් ගමනක් යන්න නොහැකි වේවි. මේ යෝජනා ක්‍රියාවට නැංවීම කියන්නේ ආණ්ඩුවක් හැටියට මේ රටේ ප්‍රගතිශීලි ජනතාවත් ජාත්‍යන්තර ප්‍රජාවත් සමඟ එකට එකතු වෙලා එකඟ වුනු කොන්දේසි මාලාවක්. ඒ සඳහා විකල්ප නැහැ. ඒ නිසා මේ මාර්ගයේම තමයි අලුත් ආණ්ඩුවටත් යනවා නම් යන්න තියෙන්නේ. මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයට දමා ගැනීමේ වගකීම අපි හැමෝටම තියනවා. අපි බලන්න ඕන අපි ගොඩ නගපු, ආරක්ෂා කරපු ඒ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව කොහොමද තව දුරටත් පවත්වා ගන්නේ කියලා. ඒ වෙනුවෙන් අපිට සිදුවෙනවා 2015 ගොඩ නගපු ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නැවත ගොඩ නගන්න. ජනතාව විමුක්ති පෙරමුණ, දෙමළ සන්ධානය ඇතුළු අනෙකුත් ප්‍රගතිශීලි දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, සිවිල් සමාජ සංවිධාන සියල්ල එකතු වෙලා ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම සඳහා වන පෙරමුණක් ගොඩ නැගිය යුතු වෙනවා. ඒ සඳහා දැනටමත් මූලික සාකච්ඡා ආරම්භ වෙලා තියෙනවා.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ‘සිවිල් සමාජ හා වෘත්තීය සමිති එකමුතුව’ එක් දේශපාලන න්‍යාය පත්‍රයක් වෙනුවෙන් පෙනී සිටි බවට චෝදනාවක් තියෙනවා.

අපි 2015 බලයට පත් කළේ දේශපාලන පක්ෂයක් නෙමෙයි. පොදු වැඩ පිළිවෙළක්. ඒ පොදු වැඩපිළිවෙළ වෙනුවෙන් කඬේ නෙමෙයි සුපර්මාකට් එකට හරි යන්න ඕන. ඒ කඬේ යාම ඇතුළෙ පැවති ආණ්ඩුව කරපු වැරදි වලට එරෙහිව අපි පෙනී හිටියා, විවේචන ඉදිරිපත් කළා. නමුත් ඒ විවේචන සාධාරණ විවේචන මිස සීමාව ඉක්මවා ගිය ඒවා නෙවෙයි. සීමාව ඉක්මවා විවේචන කිරීමේ ප්‍රතිඵලය තමයි මේ වනවිට ලැබී තිබෙන්නේ. ඒ වගේම පහුගිය දිනවල සිදු වූ පාස්කු ප්‍රහාරයෙන් පසුව රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් ජනතාව තිගැස්මකට ලක්වුණා. ප්‍රගතිශීලි ජනතාව කලකිරීමට ඒකත් හේතුවක් වුණා. ජාතික ආරක්ෂාව එහෙම නැත්නම් ජනතාවගේ ආරක්ෂාව සැපයීම ආණ්ඩුවේ ප්‍රධාන වගකීමක්. ඒ වගකීම හරියට ඉටු නොවුන බව ඒ ආණ්ඩුවත්, ආරක්ෂක අංශත්, ඒ සම්බන්ධයෙන් හිටපු සියළුම අනෙකුත් පාර්ශවත් පිළි අරගනු ලැබූවා. මේ සියල්ල තව විදියකට 2015 අපි විසින් ආරම්භ කළ ප්‍රගතිශීලී ව්‍යාපාරයටත් බලපෑවා. දැන් වුණත් අපි ප්‍රමාද නැහැ. අපිට පුළුවන් අපි ආරම්භ කල වැඩපිළිවෙල පුළුල් කරමින්, අපි දිනා ගත්ත ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය ආරක්ෂා කරගනිමින් ඉදිරියේදි කටයුතු කරන්න.

මේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය ඔබ ඇතුළු ‘සිවිල් සමාජ හා වෘත්තීය සමිති එකමුතුව’ බලාපොරොත්තු වූ දෙයක්ද?

මට පෞද්ගලිකව හිතුනේ නැහැ මේ රටේ සිංහල බෞද්ධ ඡන්ද වලින් විතරක් ජනාධිපතිවරයෙකුට පත් වෙන්න පුළුවන් කියලා. නමුත් එසේ කළ හැකි බව ඔවුන් ඔප්පු කරලා පෙන්නුවා. මේ රටේ සිවිල් සංවිධාන හා අනෙකුත් ප්‍රගතිශීලි ව්‍යාපාර ඒ ගැන අවතක්සේරුවකිනුයි හිටියේ. සිවිල් සමාජ සංවිධාන ස්වාධීනව තම තමන්ගේ විවිධ වැඩ කටයුතු කරගෙන හිටියා මිසක් මේ කාරණාවට මුහුණ දෙන්න වැඩපිළිවෙළක් හැදුවේ නැහැ. මේක අපි ගැඹුරින් සාකච්ඡා කරන්න ඕන විෂයක්. අපි හිතුවා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වෙලා ඉවරයි, දැන් අපි හැමෝටම අපේ වැඩ කරගෙන යන්න පුළුවන් කියලා. දැන් අපිට තේරෙනව එහෙම ඉස්සරහට තනි තනියෙන් වැඩ කරන් යන්න පුළුවන් කමක් නැහැ කියලා. කළකිරීම් වෙන්න, අමනාප වෙන්න, අක්‍රීය වෙන්න සිවිල් සමාජ සංවිධාන වලට ඕන තරම් හේතු සාධක තියෙන්න පුළුවනි. නමුත් කළ යුත්තේ කළකිරීමට පත් වෙලා පසු බෑමවත්, යම් යම් කාරණා හදාගෙන මුළු ගැන්විලා ඉදීමවත් නෙමෙයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වන ඒ අරගලය අඛණ්ඩව ඉස්සරහට ගෙනියන එකයි.

මේ ඡන්ද ප්‍රතිඵලය පහුගිය මහ මැතිවරණය එක්ක සසදා බලද්දි දකුණු පළාත් වල 8% ක 10% ක ඡන්ද ප්‍රතිශතයක වැඩිවීමක් වෙලා තිබුණා. මේ වැඩිවුනු ඡන්ද පැහැදිලිව පාවෙන ඡන්දයි. 2015 දි මේ පාවෙන ඡන්ද ටික දිනා ගැනීමේ කාර්යය සිවිල් සමාජ සංවිධාන විසින් සිදු කළා. මෙවර සිවිල් සමාජ නායකයෝ පැවැති ආණ්ඩුව සම්බන්ධයෙන් කළකිරිලා ආණ්ඩුවට බැන්නා. අපිත් බැන්නා. ඒ බැනීමේ වාසිය අනෙක් පාර්ශවය අත්පත් කරගත්තා. මේ සිදුවුනු වැරැද්ද ගැන අපි සරලව නොහිතා ගැඹුරින් සිතිය යුතු බව මගේ යෝජනාවයි.

ජනාධිපතිවරණයට පෙර ‘සිවිල් සමාජ හා වෘත්තීය සමිති එකමුතුව’ විසින් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එළි දැක්වුවා. නව රජයක් බලයට ඒමත් එක්ක ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ වටිනාකම ඉවර වුණාද?

2015 දීත් අපි මේ හා සමානව සිවිල් සමාජ ප්‍රතිපත්ති ප්‍රකාශයනයක් නිකුත් කරනු ලැබුවා. ඒ යෝජනාවලියෙන් කොටසක් දින සියයේ වැඩපිළිවෙල තුළ ක්‍රියාත්මක වුණා. එහිම ඊලඟ පියවරක් විදියට තමයි 2019 ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ප්‍රතිපත්ති මාලාවක් එළියට දැම්මේ. ඒක පක්ෂයක් ඉලක්ක කරලා කරපු දෙයක් නෙවෙයි, ලංකාවේම ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා වූ යෝජනාවලියක්. ඒ නිසා මොන ආණ්ඩුව පත් වුනත් ඒවා ගැන අවධානය යොමු කරලා පාලනය ගෙන ගියොත් අපිට රටක් ඉතුරු වෙයි කියලා හිතනවා. ඉස්සරහට මේ ආණ්ඩුව එක්ක ඒවා ගැන සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ කිසිම ආණ්ඩුවක් සිවිල් සමාජය ඉදිරිපත් කරන යෝජනා 100%ක් පිළිගනියි කියලා අපි හිතන්නේ නැහැ. නමුත් පිළිගත හැකි යෝජනා එයාලා ගාව තියෙන්න පුළුවනි.

මේ ආණ්ඩුව සමඟ ඉදිරි අවුරුදු 05 තුළ ‘ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම සඳහා වූ අරගලය සිදු කරන්න’ සිවිල් සමාජය විදියට යම් සැලසුමක් තියෙනවද?

ආණ්ඩුව මේ වනවිට ඉදිරිපත් කරලා තියනවා මානවහිමිකම් ප්‍රවර්ධනය සඳහා වූ පස් අවුරුදු සැළැස්මක්. ඒක ඉවර වෙන්නේ 2021න්. මේ ආණ්ඩුව කොපමණ දුරට එය ක්‍රියාත්මක කරනවාද, සංශෝධනය කරනවාද කියන එක ගැන අපි ආණ්ඩුව සමඟ සාකච්ඡා කළ යුතු වෙනවා. දෙවනුව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අපේ රට ගැන අවධානයෙන් ඉන්න නිසා අලුත් ආණ්ඩුවක් පත් වුණාට පස්සේ අදාළ යෝජනා ක්‍රියාත්මක කරනවා ද මොන කාලෙකින් ද ක්‍රියාත්මක කරන්නේ කියලා ඔවුන් බලා ඉන්නවා. ඒවා ගැනත් අනිවාර්යයෙන්ම අපි අධීක්ෂණය කළ යුතු වෙනවා. තවම මේ ආණ්ඩුව පත් වුණා විතරයි. ඒක නිසා මම හිතන්නේ ආණ්ඩුවට කල් දෙන්න ඕන. ඉදිරියේ මහ මැතිවරණයෙන් පස්සේ මානවහිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම සඳහා වූ ආණ්ඩුවේ වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් තවදුරටත් නිරීක්ෂණය කරන්න අපිට සිද්ධ වේවි. ඒ අතරේ මම මුලින්ම සඳහන් කළ විදියට අපේ ශක්තීන් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා පුළුල් පෙරමුණක් තැනිය යුතු වෙනවා. ඉදිරියේදි අපිට තියෙන්නේ දෙවිදියක ගමනක්. ආණ්ඩුවක් එක්කත් සාකච්ඡා කරමින්, ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම වෙනුවෙන් ක්‍රියා කරමින් තමයි මේ ගමන අපිට යන්න තියෙන්නේ. අපි ගොඩ නගපු ඒ ප්‍රජාතන්ත්‍රවාදී දියුණුව සහමුළුන්ම අත ඇරලා දාලා ගමන් කරන්න ආණ්ඩුවටත් බැහැ. ඒ දේවල් රැක ගත යුතුයි කියන ස්ථාවරයේ මේ රටේ සෑහෙන පිරිසක් ඉන්නවා. ඒ නිසා එයාලගේ මතයට පිටුපාලා මේ ආණ්ඩුව වැඩ කරයි කියලා හිතන්න අමාරුයි. එහෙම වුනොත් මේ රටේ ප්‍රගතිශීලි ජනතාව ඒකට අවශ්‍ය නිසි පියවර ගනියි මම හිතනවා.

සමබිම 89 වන කලාපයට ‘සිවිල් සමාජ හා වෘත්තීය සමිති එකමුතුවේ’ සම කැඳවුම්කරු පිලිප් දිසානායක සමඟ සාකච්ඡා කර රුවිනි අයේෂා බියගම විසින් සකස් කරන ලද ලිපියකි.
උපුටා ගැනීම - සමබිම


Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.