English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
වධහිංසාවට විරුද්ධ වීමට නීතිය දැනගත යුතුම නැහැ! - නදී වාසලමුදලිආරච්චි
(2019-11-26)

<< Go Back
Share |   


වධහිංසාවට විරුද්ධ වීමට සෑම පුද්ගලයෙකුටම අයිතියක් ඇත. ඊට හේතුව නම් එය තමන්ගේ මුලික අයිතිවාසිකමකි. එය ව්‍යවස්ථාවට ඇතුලත් දෙයකි. ඒ නිසාම වධහිංසාවට ලක් වීම සම්බන්ධයෙන් තමන්ට අත්දැකීමක් තිබීම අත්‍යවශ්‍ය නොවන අතර වෙන අයෙකුට සිද්ධ වෙන වධහිංසාවකදී වුව ඊට එරෙහි වීමට, කථා කීරීමට සාමාන්‍ය පුරවැසියෙකු ලෙස ඔබට මෙන්ම මටද අයිතියක් ඇත. මුලිකවම තවත් පුද්ගලයෙක් විසින් පුද්ගලයෙකුව හිංසාවට හෝ පීඩාවට ලක් කිරිම, මානසිකව හෝ ශාරිරිකව අතවරයට හෝ හිංසනයට ලක් කිරිම මුලික මනුෂ්‍ය සංහතියේ ඇති විනයට විරුද්ධය. මේ නිසා පළමු කාරණය වන්නේ  තව කෙනෙකුට හිංසනයක් නොවන ආකාරයට තමන් හැසීරිමට වගබලා ගත යුතුය. දෙවැනි කාරණය වන්නේ සමාජයේ එසේ හිංසනයක් සිදුවන්නේ නම් පුද්ගලිකව ඒ වෙනුවෙන් පෙනී සිටීමය. පෙනී සිටිමේ අයිතියක් ඔබට ඇතුවා සේම පෙනී සීටීම සඳහා ඔබට හෘද සාක්ෂියක් තිබිය යුතුය, පුරවැසියෙක් ලෙස හෘද සාක්ෂිය ඇති කර ගත යුතුය. ඒ වගකිවයුතු පුරවැසියන් ලෙසය. ඊළඟ කරුණ නීතියය. මුලික අයිතිවාසිකම් දැන ගැනීමට නීතිය හැදෑරීමට අවශ්‍ය නැත. නීතිය පිලිබඳ අවශ්‍ය වන්නේ යම් සවිඥාණකත්වයක් පමණි. නීතිය හැදෑරීම සියලු දෙනාටම කළ හැකි දෙයක් නොවන බව මා දනිමි. නමුත් සමාජයේ ජිවත් වද්දි මුලික අයිතිවාසිකම් පිලිබඳව, නීතියේ හැසීරීම පිළිබඳව සහ නීතිය විසින් අපව පාලනය කරන ආකාරය හෝ නීතිය අපට යොදා ගත හැකි ආකාරය පිලිබඳ කිසියම් අවබෝධයක් තිබිය යුතුය. යහ සමාජයක පුරවැසියා වගකීම් සහගත විය යුතුය. පුරවැසියා විසින්ම ආණ්ඩුවක් හෝ රජයක් පත් කරනු ලබයි. එවිට ආණ්ඩුව පුරවැසියාගේ අයිතිවාසිකම් රැක ගැනීම සඳහා රාජ්‍ය බලය යොදා ගන්නේය. ඒ රාජ්‍ය බලය අනියම් ආකාරයකින් තමන්ට හෝ තවකෙකුට බලපෑම් සහගත වන්නේ නම් ඒ පිලිබඳ ඔබට අවබෝධයක් තිබිය යුතුය. මට නොව අනෙකාටයි වෙන්නේ කියා ඉවසා සිටිනතාක් ඔබට ඇතැම් විට දැනෙන එකක් නැත. එමෙන්ම නැඟී නොසිටිනු ඇත. නමුත් එය හෙට ඔබට විය හැකිය.

දරුවෝ අයිති දෙමාපියන්ට නොවේ

දරුවෙක් ගහලා හදන්න ඕනේ යන මතයක් සමාජයේ ඇත. මුලිකවම මා මීට තදින්ම විරුද්ධ වෙමි. මන්ද? දරුවා අයිති ආණ්ඩුවටය. දෙමාපියන් තාවකාලික භාරකරුවන් පමණි. දිස්ත්‍රික් හෝ දිසා අධිකරණයට දරුවාගේ අයිතිය මුලිකවම පැවරේ. එහෙයින් අයිතිවාසිකමක් නොමැති දෙයකට ඔබට අත තැබීමට නොහැකිය. දෙවැනි කාරණය වන්නේ දරුවගේ මුලික අයිතිවාසිකම් වන්නේ හිංසනයට හෝ දඬුවමකට යටත් නොවි දරුවෙකු ලෙස වැඩීමට ඇති අයිතියය. ඒ අයිතියට දෙමාපියන් හෝ ගුරුවරුන්, වැඩිහිටියන් අත නොතැබිය යුතුය. දරුවෝ විශේෂයෙන්ම ගෘහස්ථ හිංසනයට හා පීඩනයට ලක් වේ. එසේ කිරීමෙන් වැලකීය යුතුය. එසේ කරන්නේ නම් ඔබ මනුෂ්‍යයෙකු නොවන බව මා පවසමි. දෙවැනි කරුණ වන්නේ වැඩිහිටියන් හිංසනයට ලක් වීමෙන් දරුවන් වක්‍රව හිංසනයට ලක් වේ. උදාහරණයක් ලෙස ගතහොත් ශක්තික සත්කුමාර මේ වන විට සිටින්නේ බන්ධනාගාර ගතවය. එහෙයින් ඔහුගේ දරුවන් පීඩනයට ලක්ව සිටින්නේය. එවිට ආණ්ඩුව විසින් වක්‍රව දරුවන් හිංසනයට ලක් කරන්නේය. ඔබ දන්නා පරිදි මේ රටේ කැරළි 02 ක්, තිස් අවුරුදු යුද්ධයක් තිබුණි. එමෙන්ම මේ කාලය තුල පොලිසියට හා ත්‍රිවිධ හමුදාවටම කිසියම් අධිකාරියක් අනියමාර්ථයෙන් පවරා තිබුණි. ඒ ත්‍රස්තවාදි ක්‍රියා හෝ කැරළි මර්දන මැඩපැවැත්වීම සඳහා ඕනෑම දෙයක් කළ හැකි ලෙසටය. එමෙන්ම රජය විසින්ද ඔවුන්ට බලතල පවරා තිබුණේ ඕනෑම දෙයක් කරන ලෙසටය. ඒ අනුව ඒ කාලයේ පුද්ගලයින් අතුරුදහන් වුනේ, පුද්ගලයින් මරණයට පත් වුණේ, පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව ඇතුලේම වධහිංසාවට ලක් වුයේ වැරදි කළ නිසාම නොවේය. එය ඔබත් මමත් අවංකවම දන්නා කරුණකි. රාජ්‍ය හිංසනයට ලක් වීම, පොලිසියේ හිංසනයට ලක් වීම අදටත් ඉතාම ජනප්‍රිය මාතෘකාවක් බවට පත්ව ඇත. රාජ්‍ය මර්ධනය කොතනින් ක්‍රියාත්මක වන්නේද? එහි අවිය කුමක්ද? ක්‍රමවේදය මොකද්ද? කියා සිතන්න. ඒ ඔබ ළඟම ඇති යුක්තිය ඉටු ඇති පොලිසිය, අධිකරණය විය හැකිය. කරුණාකර මේවාට එරෙහිව ඔබ නැඟී සිටිය යුතුය. සැකකරුවෙකුගෙන් තොරතුරු ලබා ගැනීම සඳහා වධහිංසාවට ලක් කිරීමට පොලිසියට අයිතියක් නැත.

මරණ දඬුවම

ජනාධිපතිවරයා විසින් නාමිකව නම් නොකළ පුද්ගලයින් සිව් දෙනෙකු එල්ලා මැරීම සඳහා කැමැත්ත ප්‍රකාශ කර තිබුණි. පුරවැසියෙකු ලෙස මා මීට එරෙහි වෙමි. පළමු කාරණය ජනාධිපතිවරයාට මෙසේ පුද්ගලික තීරණයක් ගත නොහැකිය. ජනතාවගේ පරමාධිත්‍ය බලය ඔහුට හිමිව තිබේ. එහිදි ජනතාව වන අප ඔහුට ලබය දී තිබෙන්නේ ආණ්ඩු කරන්න, රට පාලනය කරන්න, පුරවැසියන් රැක බලා ගැනීමටය. එහිදි බන්ධනාගාරයේ සිටියද සැකකරුවෙක්ද, වරදකරුවෙක්ද ඔහු යටතේ ආරක්ෂාව ලබන පුරවැසියෙකි. මේ රැකවරණය, ආරක්ෂනය ඔහුගෙන් ලැබිය යුතුය. එය ඔහුගේ වගකීමකි. එවන් පසුබිමක් තුල ඔහුට පුද්ගලයින් එල්ලා මැරීමේ හැකියාවක් නැත. ජනතාවක් ලෙස අපද මීට එකඟ වන්නේ නැත. කිසියම් පුද්ගලයෙකුගේ ජිවත් වීමේ අයිතිය පැහැර ගැනීම සඳහා කිසිදු පුද්ගලයෙකුට අයිතියක් නැත. එය ජනාධිපතිවරයාට මෙන්ම නීතිපතිවරයාටද පොදුය. එය ඔවුන්ගේ හෘද සාක්ෂියට එරෙහිය.

මරණ දඬුවමක් ක්‍රියාත්මක වීම සමාජයට වක්‍රව බලපෑම් කරනු ලබන්නකි. මරණ දඬුවමට ලක් වන පුද්ගලයාගේ පවුලේ අයද මෙහිදි පීඩනයකට ලක් වේ. බන්ධනාගාරයේ සිටින්නේ නම් ඔහු කොහේ හෝ ජිවත් වනවානේ යන සිතුවිල්ල ඔවුන්ට සහනයකි. නමුත් එල්ලා මැරීමකදි ඔවුන්ගේ සිතුවිලි අනෙක් පිට පෙරලේ. ඒ ගැන සොයා බැලීමට කිසිවෙකු නැත. ප්‍රතිශෝධනය කිරිමට වැඩපිලිවෙලක් රජයට නැති කමින් ඔහුව මරණ දඬුවමට ලක් කිරිම ඊට විසඳුමක් ලෙස මා දකින්නේ නැත. එය රජයේ අසමත්භාවයකි. මෙය දේශපාලන උගුලකි. මරණ දඬුවමට එරෙහි වන්නට ඔබට විශාල දැනුමක් අවශ්‍ය නැත.



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.