English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ප්‍රචණ්ඩත්වය අත්දැකපු සමාජයක් සුවපත් කිරීමට සත්‍ය පිලිබඳ ගවේෂණයක් අවශ්‍යයි! - ප්‍රවීණ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය
(2019-11-21)

<< Go Back
Share |   


 වධහිංසාව

“මමද වධහිංසාවට ලක් වු පුද්ගලයෙකි. නමුත් 1971 වැනි කාලයකදී පොලිසියෙන් කරන වධහිංසා වලට අද වගේ සමාජ අනුමැතියක් තිබුණේ නැත. එවකට තිබුණේ සම්පුර්ණ විරෝධයකි. අධිකරණය තුලද විශාල විරෝධයක් පැවතුණි. පසුකාලීනව අප යුද්ධ දෙකකට මැදි විය. ඒ 88 රැ89 භීෂණයට හා තිස් වසරක යුද්ධයකටය. මේ කාලයේදි අප සියලුදෙනාම ප්‍රචණ්ඩත්වය අත්දුටුවෙමු. අද  සිටින තරුණ පරපුරේ මානසිකත්වය තීරණාත්මකව හැඩගස්වන සාධකය වන්නේ යුද්ධයය. යුද්ධය යනු ප්‍රචණ්ඩත්වයය. ප්‍රචණ්ඩත්වයක් අත්දුටු සමාජයක අපි සිටින්නෙමු. මෙවැනි සමාජයක් සුවපත් කිරීමට නම් සත්‍ය පිලිබඳ විශාල ගවේෂණයක් අවශ්‍ය වේ. සත්‍ය කොමිසන් සභාවක් ඇවැසිය. පහරදීම්, අත්අඩංගුවට ගැනීම්, වධහිංසා පැමිණවීම් සම්බන්ධයෙන් සාකච්ඡාවක් අවශ්‍යය. මේවා වසා දමා සමාජයට යා නොහැකිය. ප්‍රචණ්ඩත්වය අත්විඳපු, ප්‍රචණ්ඩත්වය ජයග්‍රහණය කළ හැකි බව උතුරේ මෙන්ම දකුණේ ජනතාවද සිතූහ. එවන් හිටපු සමාජයක් නැවත ප්‍රචණ්ඩත්වය හොඳයැයි පවසමින් ඒ තුලට යාමට උත්සහ ගනිමින් සිටින බව මා දකිමි. නමුත් මේ මතය පරාජය කළ හැකි බව මා සිතමි. ඒ ඕනෑම පුද්ගලයෙකු ප්‍රචණ්ඩත්වයේ ගොදුරක් විය හැකි බව පෙන්වා දීම මඟිනි. ලංකාවේ පොලිසියකට ගියහොත් අපිට ගුටිනොකා සිටීමේ අයිතිවාසිකමක් ඇත. පාසලකදී දරුවන්ට ගුටිනොකා සිටීමේ අයිතිවාසිකමක් ඇත. විවාහක බිරිඳකට සැමියාගෙන් ගුටිනොකා සිටීමේ අයිතිවාසිකමක් ඇත. මෙවැනි ප්‍රචණ්ඩත්වයට විරුද්ධ මතවාදය මානව හිමිකම් වල මුලධර්මයක් වන වර්ගය, ජාතිය, ස්ත්‍රී- පුරුෂ භාවය, වැඩිහිටි, මහලු කියන කිසිම වෙනසකින් තොරව සෑම පුද්ගලයෙකුටම අයිතියක් තිබේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිර්දෝෂි පුද්ගලයන් අත්අඩංගුවට පත් වෙනවා අප දුටුවෙමු. අත්අඩංගුවට ගත් සැණින් කෙනෙකුව නීත්‍යානුකූලව වරදකරුවෙකු කළ නොහැකිය. මේ පිලිබඳ මහජන මතයක් ,සංවාදයක් ඇති කරමින් ඉදිරියට ගෙන යා යුතුය.”

ජනමාධ්‍ය

“ලංකාවේ ජනමාධ්‍යද යුද්ධය හා සමාන බව මා සිතමි. මුල් කාලයේ අප දිනමිණ පුවත්පත බැලුයේ සිංහල භාෂාව ඉගෙනීමටය. නමුත් අද පත්තර බැලිය යුත්තේ භාෂාව මැරීමටය. අද මාධ්‍ය ආචාර ධර්ම පමණක් නොව භාෂාවේ ආචාර ධර්මවත් පවත්වාගෙන යන්නේ නැත. අද ජනමාධ්‍යට පැමිණ සිටින්නේ කිසිම අවබෝධයක් නැති හුදෙක් තමන්ගේ දේශපාලන, වාර්ගීක අනන්‍යතාව නිසා පැමිණි පිරිසකි. ලිවීමේ හැකියාව තිබු පමණින් ජනමාධ්‍යවේදීයෙකු වීමට නොහැකිය. ජනමාධ්‍යවේදීයෙකු වීමට නම් මුලික ආචාර දඍ්ම පාඨමාලාවේ සිට ගමන් කළ යුතුය. ඒවා නීතිපතා අභ්‍යාස කළ යුතුය. මේ කිසිවක් කිරීම කෙසේ නමුදු ලංකාවේ මාධ්‍ය ආයතන වල විවිධත්වයක් නැති බව මා දකිමි. අනෙක් කරුණ වන්නේ මනුසත්කම නැති බවය. අද කරවල විකුණනවා හා සමාන තැනකට ලංකාවේ ජනමාධ්‍ය පත්ව ඇත. අද මාධ්‍ය ආයතන වල හිමිකරුවන් විසින් මාධ්‍ය ප්‍රතිපත්ති තීරණය කරනු ලබයි. කර්තෘවරුන්ට එය අහිමිව ගොස් ඇත.

සමාජ මාධ්‍ය වල අසත්‍ය පුවත් පළවුවද ඒ තුලින් ජනතාව අතරට විශාල ලෙස පණිවිඩ ගෙන යාමේ හැකියාවක් පවතින බව මා දකිමි. එමෙන්ම අද තිබෙන ජනමාධ්‍ය නිවැරදි කිරීමටත් මහජන ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුව ඇත. රාජ්‍ය මාධ්‍ය මහජන සේවා මාධ්‍ය බවට පත් කළ හැකි නම් ශ්‍රි ලංකාවේ ජනමාධ්‍ය අතර සංස්කෘතියක් ඇති කිරිමේ හැකියාව පවතින බව මම සිතමි.”

ශක්තිමත් පාලකයා

“මෙවන් හැදෙන මත සත්‍ය මත නොවේය. පාස්කු ප්‍රහාරය සිදු වුයේ ශක්තිමත් නායකයෙකු නැති නිසා නොව රාජ්‍ය බුද්ධි අංශ වල නිසි සම්බන්ධිකරණයක් නොමැති නිසා බව මම සිතමි. එය ඉතාම සරල කරුණකි. ශක්තිමත් පාලකයෙක් යනුවෙන් අපේ සමාජය සිතන්නේ මර්ධනය කළ හැකි, කෑ ගැසිය හැකි, තවකෙකු කියන දේ අසන්නේ නැති පාලකයෙකු ලෙසය. මෙහෙම දෙයක් අප සමාජය ඉල්ලා සිටින්නේ සමාජය භය වු විට බව මම සිතමි. පාස්කු ප්‍රහාරයෙන් පසුව මේ සමාජය ගොඩක් දුරට බිය වී තිබේ. එහෙයින් ඔවුන් සිතන්නේ ශක්තිමත් පාලකයෙකු රටට අවශ්‍ය බවය. මෙවැනි දුර්වල වු පුද්ගලයින් සිටින සමාජ වල ඒකාධිපතිවරුන් බලයට පැමිණ ඇති බව නීරික්ෂණය වන කරුණකි. නමුත් මුලු ඉතිහාසයම දෙස බැලුවහොත් ඔවුන් කර ඇත්තේ සමාජය හදනවාට වඩා සමාජය තවදුරටත් මර්ධනය කිරීමය. අප්‍රිකානු, ලතින් ඇමරිකානු උදාහරණ වලින් මෙය පෙන්නුම් කරනු ලැබේ. මිලිටරි පන්නයේ ආඥාදායකයෙකු කිසිලෙසකින් රටක් දියුණු කර නැත. එමෙන්ම අයිතිවාසිකම් පිලිබඳ ඇති හැඟීම අඩු විය හැකිය. සමහරෙක් පවසන්නේ අට දෙනෙකු අතුරුදහන් කර 251 කු බේරා ගැනීමට තිබු බවය. ඒ මඟින් කරන්නේ ලංකාවේ අතුරුදහන් වු දස දහස් ගණනක් සාධාරණය කීරීමකි. මෙය වැලැක්වීමට හැකිව තිබුණේ අතුරුදහන් කරවීම් වලින් නොව බුද්ධි අංශ වල තිබු සම්බන්ධිකරණය මඟිනි. ඝාතනය මඟින්, නීතියක් නොමැතිව මිනිසුන් මරා දැමීම මඟින් ජාතික ආරක්ෂාව සැකසිය යුතු බව මෙයින් හැඟී යනු ලබයි. එය භයානකය. මෙය සියයට සියයක්ම තවම ජනප්‍රිය මතවාදයක් බවට පත්ව නැති බව මා සිතමි. මෙය පහසුවෙන්ම සම්බන්ධ කරනු ලබන්නේ ජාතියට සහ ආගමටය. මිනිසුන්ගේ ප්‍රාථමිකව හැඟීම වන්නේ ජාතිය සහ ආගමය. මේ තුලින් මිනිසුන් ප්‍රකෝප කළ හැකිය. මේ ප්‍රකෝප කිරීම තුලින් රටට ශක්තිමත් පාලකයෙකු අවශ්‍ය බව කියා සිටින බව මා දකිමි. පැහැදිලිවම මෙය අප පරාජය කළ යුතුය. ඉදිරියේදි අයිතිවාසිකම් පිලිබඳ සංවාදය ශක්තිමත්ව ගෙන යා යුතුය. ජනතාවට අයිතිවාසිකම් පිලිබඳ දැන ගැනීමට විශාල පිපාසයක් තිබේ. එය අපි දැක ඇත්තෙමු. ඒ පිපාසය අපට පිරවිය හැකි නම් අපට අභියෝගයක් එල්ල කිරිමේ හැකියාවක් පවති. එනම් ශක්තිමත් පාලකයෙකු මඟින් අයිතිවාසිකම් අහෝසි කර රට දියුණු කළ හැකි බව කියන භයානක මතවාදයටය.

ජනාධිපතිවරණ සමයේ ජාතිවාදය, ආගම්වාදය, වර්ගවාදය ඔස්සේ බලයට ඒමට උත්සහ කළහොත් යමෙකු ඉන් ශ්‍රි ලංකාවට නැවත සකසා ගත නොහැකි විනාශයක් සිදු වේ. මේ වනවිටත් මුස්ලිම් ජනතාව භයකින් පසුවන බව මා දනිමි. ඒවගේම දෙමළ ජනතාවද කාලයක් භියෙන් පසුවිය. එමෙන්ම යුද තර්ජිත ගම්මාන වල සිටි සිංහල ජනයාද භියෙන් පසු විය. එවන් භියකින් පසුවන ජනතාවක් ඕනෑම මර්ධනකාරී පාලකයෙකුට පාවිච්චි කීරිමේ හැකියාව ඇත. ඒ නිසා මැතිවරණ සමයේදි වර්ගවාදය, ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය කියන මතය එපා කියන එක සිවිල් සමාජයක් ලෙස අප සමාජය තුලට රැගෙන යා යුතුය.”



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.