English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
සිවිල් සමාජ න්‍යාය පත්‍රය ඉදිරියට ගන්නේ කෙසේද?
(2019-11-14)

<< Go Back
Share |   


ජනාධිපතිවරණයක් ආසන්නයේ සිවිල් සමාජයේ කාර්ය භාරය සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව මහාචාර්ය ජයදේව උයන්ගොඩ සමගින් සමබිමේ ජයනි අබේසේකර මෙනවිය සිදු කළ සංවාදය සමබිම වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී

‘සිවිල් සමාජය’ ජනප්‍රිය වචනයක්. කවුද මේ සිවිල් සමාජය?

නුතන සමාජ න්‍යායට අනුව සිවිල් සමාජය කියන්නෙ රාජ්‍ය සහ රාජ්‍යට සම්බන්ධ ආයතනවලින් පිටස්තරව, රාජ්‍යයෙන් ස්වාධීනව සමාජ ක්ෂේත්‍රය තුළ පුරවැසියන්ට ක්‍රියාකිරීමට තිබෙන සමාජ, සංස්කෘතික අවකාශය. මෙතනදි පුරවැසියන් පොදු කාර්යන් වෙනුවෙන් සංවිධානය වෙනවා. නිදසුනක් විදියට යම් පුරවැසි කණ්ඩායමකට අවශ්‍ය විය හැකියි පරිසරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සංවිධානය වෙන්න. වැඩිහිටි පුරවැසියන්ට අවශ්‍ය විය හැකියි වැඩිහිටි අයිතිවාසිකම් රැක ගැනීම වෙනුවෙන් සංවිධානය වෙන්න. තවත් පුරවැසියන් කණ්ඩායමකට අවමංගල්‍යාධාර සමිතියක් හදාගන්න, තවත් පුරවැසියන් කණ්ඩායමකට මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කරන සංවිධානයක් හදා ගැනීමට වගේම තවත් කණ්ඩායමකට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සංවිධානයක් හදා ගැනීමට අවශ්‍ය විය හැකියි. මේ හැමදෙනාම සිවිල් සමාජ අවකාශය තුළ ක්‍රියාකාරන අය. ඒ අවකාශය තුළ ක්‍රියාකරන සමහර පුරවැසි කණ්ඩායම් නිර්දේශපාලනිකයි. වැඩිහිටි පුරවැසියන්ගේ අවශ්‍යතා සඳහා සංවිධානය වෙන හෝ පන්සලේ මහිලා සමිතිය හෝ දේශපාලන සංවිධාන නොවෙයි. නමුත් මානව අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්, ස්ත්‍රී අයිතිවාසිකම්, පරිසර අයිතිවාසිකම් වෙනුවෙන් සංවිධානය වෙන පුරවැසි කණ්ඩායම් අඩු වැඩි වශයෙන් දේශපාලන ක්‍රියාකාරීත්වයකට සහභාගී වෙනවා. නමුත් එයින් අදහස් වෙන්නෙ නැහැ පැහැදිලිවම දේශපාලන ක්‍රියාකාරීත්වයේ නොයෙදෙන අරමුණු සඳහා සංවිධානය වන පුරවැසි කණ්ඩායම්වල දේශපාලනික වැදගත්කමක් නැති බව. ඔවුන් ඉතා ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රීකමය වැදගත්කමකින් යුක්තයි.

නමුත් මේ අයව සිවිල් සමාජ සංවිධාන විදියට සැලකෙන්නෙ නැහැ.

ඔව්, ලංකාවේ සිවිල් සමාජ ක්‍රියාකාරිකයෝ කවුරුවත් මරණාධාර සමිතිය, මහිලා සමිතිය සිවිල් සමාජ සංවිධාන විදියට සලකන්නෙ නැහැ. මේකට හේතුව බොහෝ අයට තේරුම් ගන්න බැහැ බැලු‍ බැල්මට දේශපාලනමය නොවන අරමුණු සඳහා පුරවැසියන් සංවිධානය වීම කියන්නෙත් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අත්‍යවශ්‍ය දෙයක් බව. නිදසුනක් විදියට සමහර මානව අයිතිවාසිකම් සංවිධානවලට වඩා මරණාධාර සමිතියේ ප්‍රජාතන්ත්‍රවාදය තිබෙනවා. මරණාධාර සමිතිය වැනි ස්වේච්ඡා සංවිධාන ප්‍රජාතන්ත්‍රීය දේශපාලන වටිනාකම්, ප්‍රතිමානීය මූලධර්ම සහ භාවිතයන් පුහුණු කරන වඩා හොඳ පාසලක් විය හැකියි. දේශපාලන න්‍යායට අනුව මෙවැනි පුරවැසි සංවිධාන සහිත ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වන්නෙ සාංගමික ප්‍රජාතන්ත්‍රවාදය කියල. එහි තිබෙන වැදගත්ම මූලධර්මය පුරවැසියන් ජීවත් විය යුත්තේ තනි තනිව පමණක් නොව සාමූහික අවශ්‍යතා ඉටු කර ගැනීමට සංවිධාන ගත වීම තුළින් ඇති කර ගන්නා සාමූහික ක්‍රියාකාරකම් සමඟ බව. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වන්නේ එලෙස සංවිධානය වුන පුරවැසියන් සහිත සමාජයක මිස කුඩා කැබලිවලට කැඩුණු සමාජයක නොවෙයි. ලංකාවේ සිවිල් සමාජ ක්‍රියාකාරීකයන් මෙතෙක් අවබෝධකර නොගත්තත් අවශ්‍යයෙන්ම අවබෝධ කර ගත යුතු දේ තමයි අපේ රටේ ඉතා ශක්තිමත් සිවිල් සමාජයක් තිබෙන බව. එහි වැදගත්ම ලක්ෂණය වෘත්තීය සමිති, ගොවි සංවිධානවල සිට මරණාධාර සමිතිය දක්වා තල ගණනාවක පුරවැසියන් ස්වේච්ඡාවෙන් සංවිධානය වී තිබීම. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වීමට ප්‍රධාන හේතුවක්, පැතිරී ගිය, සක්‍රීය, පුරවැසියන් සහභාගී කර ගන්නා සිවිල් සමාජ සංවිධාන ජාලයක් පැවතීම.

සිවිල් සමාජයේ දේශපාලන ක්‍රියාකාරීත්වය ලංකාවේ මේ මොහොතට අදාළව කොහෙද තිබෙන්නෙ?

ලංකාවේ දේශපාලනික වශයෙන් සංවිධානය වෙලා හිටපු සිවිල් සමාජය සහ දේශපාලන පක්ෂ අතර තිබුණ සම්බන්ධතාවය අද වෙනස් වෙලා. ඒ වගේම දේශපාලනික වශයෙන් සංවිධානය වුන සිවිල් සමාජ කණ්ඩායම් අතර පවා තිබුන සම්බන්ධතාවය, මැතිවරණය වගේම 2015 ආණ්ඩුව සමඟ ඔවුන්ට තිබෙන අත්දැකීම් නිසා වෙනස් වී තිබෙනවා, මෙය සිවිල් සමාජය දේශපාලනීකරණය වීම නිසා ඇතිවන අනතුරක්. සිවිල් සමාජය හිතනවා සක්‍රීය දේශපාලන කටයුතුවල නිරත වෙලා ආණ්ඩු වෙනසක් ඇති කිරීමත් තමන්ගේ කාර්ය භාරයේ කොටසක් බව. මේක සිවිල් සමාජ සංවිධානවලට කරන්නත් සිදුවෙන නමුත් ඒ නිසාම සිවිල් සමාජයේ සූජාතභාවය ප්‍රශ්න කිරීමටත් තුඩු දෙන කාරණයක්. නිදසුනක් විදියට 1994දීත් ඊට පසුව 2015දීත් සිදුවුන දෙයක් තමයි මැතිවරණ ව්‍යාපාරයේදී සිවිල් සමාජය විපක්ෂය බලයට ගෙන ඒම සඳහා කටයුතු කරනවා සහ ඒනිසා මේ අයට සිදුවෙනවා ඒ ආණ්ඩුවේ තනතුරු ගන්න හෝ බලයේ සිටින ආණ්ඩුවේ දේශපාලඥයන් සමඟ සමීප මිත්‍ර සන්ධාන පවත්වා ගෙන යන්න. මෙයින් සිදුවෙන්නෙ සිවිල් සමාජයත් දේශපාලන සමාජයත් අතර තිබෙන දුරස්ථභාවය නැතිවෙලා ඔවුන් අතර තිබෙන වෙනස තුනී වීම. ඒක දේශපාලන ක්‍රියාකාරීත්වයේදී සිවිල් සමාජයට තිබෙන විශාල අභියෝගයක්. සිවිල් සමාජ කණ්ඩායම් ආණ්ඩු සමඟ, පාලකයන් සමඟ අනන්‍ය වෙනවා. එහි ප්‍රතිඵලයක් විදියට ඔවුන්ට දේශපාලන ස්වාධීනත්වය නැතිවෙනවා. ඒ නිසා මම හිතනවා මේ සෑම අවස්ථාවකින්ම සිවිල් සමාජයට ගන්න තිබෙන පාඩම තමයි සිවිල් සමාජ කණ්ඩායම් ආණ්ඩු වෙනස් කිරීමේ තලයේ දේශපාලනයට සහභාගී වුනත් ආණ්ඩුවලින් ස්වාධීන සිටිය යුතුයි. ඔවුන් දැනගත යුතුයි රාජ්‍ය සහ ආණ්ඩුව කියන දෙකෙන්ම ස්වාධීනව සිටම වැදගත් බව.

දේශපාලනික තලයේ තමන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව සාමූහික හැරී බැලීමකට නැතිනම් විචාරාත්මක සිතීමකට යොමු වෙන්න සිවිල් සමාජ ව්‍යාපාරය අද සමත් වෙලා තිබෙනවද?

මට පෙනෙන හැටියට එවැනි යොමුවීමකට සිවිල් සමාජ කණ්ඩායම්හි බොහෝ දෙනා උනන්දුවක් නැහැ. සිවිල් සමාජ සම්ප්‍රදාය තුළ ස්වයං විවේචනය පිළිබඳ භාවිතයක් නැහැ. ඉස්සර වමේ ව්‍යාපාරවල මේ ස්වයං විවේචනය කියන එක තිබුනා වුනත් එය පවා බොරුවක්. ප්‍රජාතන්ත්‍රවාදයේ තිබිය යුතු එක මූලික දෙයක් හැටියට මම දකින්නේ ප්‍රජාතන්ත්‍රවාදී චර්යා ධර්ම. ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයෙත් ප්‍රජාතන්ත්‍රවාදයේ තිබෙන අඩුවක් තමයි බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරීකයන් තුළ ප්‍රජාතන්ත්‍රවාදී චර්යා ධර්ම නොතිබීම. මේක සිවිල් සමාජයට විතරක් නෙවෙයි දේශපාලන පක්ෂවලට ශ්‍රේෂ්ඨාධිකරණයට පවා තිබිය යුතු දෙයක්. අපි ගත්තොත් රටක ශ්‍රේෂ්ඨාධිකරණය  ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක පුරවැසියාගේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට තිබෙන අවසන් බල පවුර. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නෙ ව්‍යුහාත්මක ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන තැනක් නෙවෙයි. එය අතිශයින්ම ප්‍රභූත්වයෙන් යුතු ඉතාම සුළු පිරිසක් විසින් මුළු රටටම බලපාන තීන්දු තීරණ ගන්නා තැනක්. නමුත් තමන්ගේ කාර්ය හැම විටම නිවැරදිව කරන ශ්‍රේෂ්ඨාධිකරණය නඩුකාරවරු කියන්නෙ තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතය ගැන සවිඥානිකව සිටින අය. දැන් දේශපාලන ක්‍රියාකාරිකයන්ගෙන් සමන්විත සිවිල් සමාජය කියන්නෙත් ලංකාවේ හැටියට එක්තරා ප්‍රභූත්වවාදී කණ්ඩායමක්. ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය තුළ ඉතා වැදගත් කාර්යක් කරනවා. නමුත් ඔවුන්ගේ චර්යාවන් තුළ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම නැහැ. මෙය ඔබ මතු කළ කාරණයට එක් නිදසුනක්. 2015දී සිවිල් සමාජ සංවිධානවලට දේශපාලන පක්ෂ සමඟ කළ යුතු කාර්ය සම්බන්ධයෙන් ස්වයං විවේචනයක් සාකච්ඡාවක් නැහැ. නමුත් සිවිල් සමාජ අවකාශය පුළුල් වෙන්නෙ මේ සාකච්ඡාව මඟින්. එවිට සිවිල් සමාජයට වඩා ශක්තිමත්ව දේශපාලන පක්ෂවලට කියන්න පුළුවන් දේශපාලන, සමාජ පරිවර්තනයක් සඳහා මේක තමයි හොඳම න්‍යාය පත්‍රය කියල. නමුත් අද සිවිල් සමාජයට එහෙම කියන්න බැහැ ඔවුන් දේශපාලන පක්ෂ සමඟ අනන්‍ය වෙලා තිබෙන නිසා. එනිසාම අද සිවිල් සමාජය ගැන තිබෙන්නෙ එක්කෝ පක්ෂග්‍රාහී අගය කිරීමක් නැතිනම් පක්ෂග්‍රාහී හෙළා දැකීමක්.

2015 එක අරමුණක් වෙනුවෙන් පෙනී සිටි සිවිල් සමාජය අද යම් බෙදීමක් සහිතව විවිධ අරමුණු වෙනුවෙන් පෙනී සිටින බවකුයි පෙනෙන්නෙ.

ඔව්, මෙය පශ්චාත් නූතනත්වය තුළ තිබෙන එක ලක්ෂණයක්. fragmentation නැතිනම් ඛණ්ඩනය කියන්නේ අද ලෝකයටම පොදු ස්වභාවයක්. ඒකාබද්ධ ඒකාග්‍ර සංසිද්ධින්, සංස්කෘතීන් යැයි අපි හිතාගෙන ඉන්න දේවල් මේ ආකාරයෙන් ඛණ්ඩනයට ලක් වීම සිදුවෙනවා. දේශපාලන පක්ෂවලට පවා මේක පොදු තත්ත්වයක්. අපි ගත්තොත් එක්සත් ජාතික පක්ෂය තවදුරටත් එකම නායකයෙක් සහිත, එකම මතවාදයක් සහිත පක්ෂයක් නෙවෙයි. එය මතවාද ගණනාවක, කණ්ඩායම් ගණනාවක සන්ධානයක්. ඒ වගේ තමයි සිවිල් සමාජයත් එම ක්‍රියාවලියට ගොදුරු වෙනවා. එය වළක්වන්න බැහැ. එක අරමුණක හිටපු සිවිල් සමාජයත් අද දේශපාලනික වශයෙන් විසිරිලා තිබෙනවා. නමුත් අපි හිතන්න ඕන නිරන්තරයෙන් කැබලි වෙමින් යන සිවිල් සමාජ සංසිද්ධියක් තුළ කොහොමද අපි දේශපාලනය කරන්නෙ කියන දේ. මේ පිළිබඳ සාකච්ඡාවක් ඇති වීම අවශ්‍යයි. පසුගිය ඔක්තෝබර් 26 වැනිදාවෙන් පසුව විශේෂයෙන්ම පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණක් ඇති කර ගැනීම පිළිබඳ විකල්ප මාධ්‍ය හරහා යම් සාකච්ඡාවක් ඇති වුණා. නමුත් ක්‍රියාත්මක තලයේදී එවැන්නක් සිදුවුණේ නැහැ. දිගින් දිගටම මේ ඛණ්ඩනය වීම් සිදුවන වතාවරණයක් තුළ අපට ප්‍රගතිශීලි රැඩිකල් දේශපාලනය කිරීමේදී ඇත්ත වශයෙන්ම සන්ධාන හැදීම කියන කාරණය වැදගත්. මොකද ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තනි ධජයක් තනි අපේක්ෂකයෙක් යටතේ තවදුරටත් ගොඩනැගුණු කාලය අවසානයි. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාර එහෙම නැත්නම් සිවිල් සමාජ ව්‍යාපාර පවා පිළිගත යුතු වෙනවා මීට වඩා ශක්තිමත්ව ක්‍රියාකරන්න නම් සභාග සහ සන්ධාන අවශ්‍ය බව. තමන් මුහුණ දෙන මේ ප්‍රශ්නයට පිළිතුරක් ලෙස ප්‍රජාතන්තවාදී අරගල ඉදිරියට ගෙන යාමේ සන්ධාන හැදිය යුත්තේ කෙසේද කියන දේ පිළිබඳ සිවිල් සමාජ ව්‍යාපාර සිතා බැලිය යුතුයි. මොකද ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුළ තවදුරටත් සංවිධානාත්මක වශයෙන්, මතවාදීමය වශයෙන් ක්‍රියාකාරීත්වය සහ භාවිතමය වශයෙන් බහුත්වවාදී වීම අත්‍යවශ්‍යයි.

ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය අනුව සිවිල් සමාජය මුහුණ දෙන අභියෝගය කවරාකාරද?

ලංකාවේ එළැඹෙන ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ දිනුවත් සජිත් ප්‍රේමදාස දිනුවත් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා පවතින අරගලය අවසන් වෙන්නෙ නැහැ. ඒ අරගලය අලු‍ත් කළ යුතුයි. ඒ අරගලය අලු‍ත් කළ යුත්තේ කෙසේද යන්න වෙනුවෙන් බැරූරුම් සාකච්ඡාවක් ඇති කර ගත යුතුයි, 17 වැනිදාවෙන් පසුව කවුද දිනුවේ කියන සාධකයත් සමඟ. නමුත් මම දකින දේ තමයි මේ අපේක්ෂකයන් දෙදෙනා යටතේ ලංකා රාජ්‍ය සහ දේශපාලනය විශාල පරිවර්තනයකට ලක්වීමට නියමිතයි. දැනට මේ අපේක්ෂකයන් දෙදෙනාම ඊට ඉඟි සපයල තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ දැනටම විවෘතව සහ පැහැදිලිව ඉඟි දී තිබෙනවා නිර්ප්‍රජාතන්ත්‍රවාදී, අධිකාරීවාදී, පවුල්වාදී ආණ්ඩුතන්ත්‍රයක් පිළිබඳව. නමුත් සජිත් ප්‍රේමදාස යටතේ සිදුවිය හැකි රාජ්‍ය පරිවර්තනය කුමනාකාරද යන්න පිළිබඳ අදහසක් අපිට නැහැ. නමුත් ඔහු යම් යම් ඉඟි කිහිපයක් අපට දී තිබෙනවා. ඒ අනුව මට පෙනෙන හැටියට ඔහුගේ නායකත්වයක් යටතේ රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කර ක්‍රියාත්මක කළ නව ලිබරල්වාදී ආර්ථීක ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය අත්හැර සමාජ සුබසාධනවාදී ආර්ථීක වැඩපිළිවෙළක් ගෙන ඒම සිදුවනු ඇති. නමුත් මෙහිදී මතුවන ගැටලු‍ව තමයි විශාල ආර්ථීක අර්බුදයක් ඉදිරියේ කොහොමද සුබසාධනවාදී රාජ්‍යයක් ගොඩනගන්නෙ කියන එක. එහි තිබෙන දේශපාලන ප්‍රශ්නය රාජ්‍ය පිළිබඳ කාරණයක් විදියට ඉදිරි කාලයේ බැරැරූම්ව මතුවෙනවා. මේ තත්ත්වයන් යටතේ සිවිල් සමාජයට සිදුවෙනවා දේශපාලනික වශයෙන් අවදියෙන් ඉන්න. මොකද ප්‍රජාතන්ත්‍රවාදය සඳහා තිබෙන අරගලය මේ දෙන්නගෙන් කවුරු ආවත් අලු‍ත් වෙනවා.

සාකච්ඡා සටහන ජයනි අබේසේකර 

උපුටා ගැනීම – www.samabima.com



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.