English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
අධිකරණ වෛද්‍ය විශේෂඥයින් ප‍්‍රමාණවත් නැහැ - ජ්‍යෙෂ්ඨ මහාචාර්යරවීන්ද්‍ර ප‍්‍රනාන්දු
(2019-11-02)

<< Go Back
Share |   


කොළඹ විශ්ව විද්‍යාලයේ අධිකරණ වෛද්‍ය හා විෂවේදය පිළිබද සම්මාන මහාචාර්ය හා ශ‍්‍රිමත්  ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රවීන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා අධිකරණ වෛද්‍ය ක්ෂේත‍්‍රයේ වසර හතලිහකට වඩා අත්දැකීම් වලින් බහුල පුද්ගලයෙකි. ශ‍්‍රි ලංකාව තුල සිදුවන වධහිංසාව පිළිබද අයිතිය වෙබ් අඩවිය ඔහුගෙන් අදහස් වීමසිමක් කළ අතර මේ ඔහු එහිදි පල කළ අදහස්ය.

අධිකරණ වෛද්‍ය සේවය යනු

ලංකාවේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබද කටයුතු කරන වෛද්‍යවරුන් අධිකරණ වෛද්‍ය විශේෂඥයන් ලෙස සැලකෙනවා. අධිකරණ වෛද්‍ය විශේෂඥයන්ට අමතරව පර්යන්ත වල තිබෙන රෝහල් වල අධිකරණ වෛද්‍ය විද්‍යාව හදාරනවා විශේෂඥයින් නොවු වෛද්‍යවරුන්. මොවුන්ගේ කාර්යභාර්ය පොලිසිය විසින් යොමු කරන තුවාලකරුවන් පරික්ෂා කර ඒ පිළිබද පොලිසියට සහ අධිකරණයට වාර්තා ඉදිරිපත් කිරිම.මේ තුවාලකරුවන් හදිසි අනතුරකදී, රිය අනතුරකදී එසේ නැත්නම් ලිංගික අතවරයකට ලක් වු ආදි විවිධ කේෂත‍්‍ර වලින් වෛද්‍යවරු වෙත පැමිණෙනවා. මේ අයව පරික්ෂා කරලා, රෝග ඉතිහාසය සොයාගෙන පොලිසියටත් පසුව අධිකරණයටත් වාර්තා ඉදිරිපත් කරනවා. මේ වාර්තා වලින් තමයි අධිකරණයට තීරණයක් ගැනීමට හැකි වෙන්නේ.විශේෂඥ වෛද්‍යවරුන් මුලික එම්.බී.බී.එස් උපාධියෙන් පසුව විශේෂඥ උපාධියක් හදාරලා අවුරුදු 4-5 ක පුහුණුවකින් පසු තමා විශේෂඥ වෛද්‍යවරු වෙන්නේ.ලංකාවේ විශේෂඥවරු හැම රෝහලකම නැති නිසා අධිකරණ වෛද්‍ය විද්‍යාව පිලිබද පුහුණුව ලබන වෛද්‍යවරුන් මේ වාර්තා ඉදිරිපත් කරනවා.මේ වාර්තා ඉදිරිපත් කිරිමේදි ඔවුන්ට මුහුණ දෙන්න සිදුවෙන ගැටලු තියෙනවා. එසේම යම් යම් අවස්ථා වලදි ඔවුන්ගේ වාර්තා වල අධිකරණය ප‍්‍රශ්න ඉදිරිපත් කරනවා. කෙසේ හෝ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබ`දව කටයුතු කරන වෛද්‍යවරුන් ඉතාම උසස් සේවයක් ඉටු කරන බවයි මගේ හැගිම.

මෙරට අධිකරණ වෛද්‍ය සේවය තුල අද පවතින ගැටලූ

ගැටලූ ගැන කථා කරද්දි අධිකරණ වෛද්‍ය විශේෂඥයින්ගේ හිගය බලපානවා. මේ නිසා සමහර අවස්ථා වලදි වාර්තා ඉදිරිපත් කිරිම ප‍්‍රමාද වෙනවා. එසේම අධිකරණ වෛද්‍ය විද්‍යාව හදාරන අය තවත් විශේෂ කාර්යයක් ඉටු කරනවා. ඒ හදිසි මරණ පරික්ෂකවරයෙකුගේ හෝ මහේස්ත‍්‍රාත්වරයෙකුගේ නියෝගය පරිදි පශ්චාත් මරණ පරික්ෂණ පැවැත්වීම. මෙහිදිත් අධික ලෙස පශ්චාත් මරණ පරික්ෂණ සදහා මිය ගිය අයගේ දේහ ලැබීම නිසා යම් යම් ප‍්‍රමාද අධිකරණ වෛද්‍ය කාර්යාල වල සිදු වෙනවා.නමුත් කෙසේ හෝ අද උදේ ලැබෙන දේහයක් අද කෙසේ හෝ මරණ පරික්ෂණය පවත්වලා ඥාතීන්ට දේහය භාර දීම ඔවුන් අතින් සිදු වෙනවා. ඒ වගේම මේ පිලිබද තවත් ගැටලූවක් තමයි මේ පිලිබද පරික්ෂණ කරන පොලිසියෙන් සිදු වන යම් යම් අතපසුවීම්. මේ නිසා ලංකාවේ බහුලවම වාර්තා වෙන සිද්ධීන් ගැන අපි කථා කරද්දි පොලිසියේ අතපසුවීම් නිසා මේවා සිදු වෙන බව අපි දන්නවා.

පොලිසියෙන් අධිකරණ වෛද්‍යවරු වෙත ඉදිරිපත් කරන පුද්ගලයින්ව ස්වාධීනව හා නිවැරදිව පරික්ෂාවට ලක් නොකරන බවට එල්ල වෙල චෝදනා

වෛද්‍යවරුන් වෙත ඉදිරිපත් වෙන මෙවැනි චෝදනා ඉතා කලාතුරකින් තමයි දකින්නට ලැබෙන්නේ. අපිට ඉදිරිපත් කරන රෝගියෙකු පිළිබද අපිට කිසිම දැනුමක් නැහැ, ඔහු වෙනුවෙන් හෝ ඔහුට විරුද්ධව වාර්තාවක් ලියන්නට වෛද්‍යවරුන්ට කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා එසේ ඉදිරිපත් කරන අය හොදින් පරික්ෂා කරලා බලලා, ඔවුන්ගේ තුවාල සටහන් කරලා ඒ පිළිබද වාර්තාවක් පොලිසියට භාර දෙනවා. පසුව අධිකරණයට භාර දෙනවා. මෙහිදි වෛද්‍යවරුන් අතින් කලාතුරකින් යම් යම් අඩුපාඩු සිදු වන්නට පුලූවනි. උදාහරණයක් ලෙස වාර්තා භාර දීමට ප‍්‍රමාදයක් සිදු වන්න පුලූවනි. එහෙමත් නැතිනම් වාර්තාව නිසි පරිදි සකසා නොතිබෙන්න පුලූවනි. නමුත් මේවා ඉතාම කලාතුරකින් වාර්තා වෙන දේවල්.

වධහිංසා සිද්ධියක් අධිකරණයක් තුල ඔප්පු කිරිමේදි අධිකරණ වෛද්‍ය වාර්තාවක ඇති වැදගත්කම

ලංකාවේ පොලිස් පහරදීම් වලට ලක් වු අය අධිකරණ විශේෂඥයන් හෝ අධිකරණ වෛද්‍යවරුන් වෙත ඉදිරිපත් කරනවා. මෙහිදි වෛද්‍යවරයාගේ කාර්යභාර්ය මේ රෝගීයා පරික්ෂා කර බලා රෝගීයාගේ ඉතිහාසය ලියාගන්නවා. ඉතිහාසය ගැන විමසීමේදි අපි රෝගියාගෙන් ප‍්‍රශ්න කරනු ලබනවා කවදද ගැහුවේ, කොහේදිද ගැහුවේ, කවුද ගැහුවේ, පහර දුන් ආකාරය හෝ වෙනත් කෲර අමානුෂික වධහිංසා වලට ලක් කළ ආකාරය පිළිබදව රෝගියාගෙන් පැහැදිලිවම කරුණු විමසනවා. මේවා අපි වාර්තා කරනවා. ඊට පස්සේ ඒ රෝගියා අපි පරික්ෂා කරනවා ඒ රෝගියාගේ තුවාල මොනවද? එහෙමත් නැත්නම් බාහිරව දකින්නට ලැබෙන ලකුණු මොනවද? කියලා. මේ පිළිබද අපි ලකුණු කළාට පසුව අපිට සිදුවෙනවා සමහරවිට මේ රෝගීයා විශේෂඥ පරික්ෂාවන් සදහා යවන්න. බොහෝ විට අස්ථි බිදීම් ගැන සොයන්න එකස් රේ පරික්ෂාවට, උගුර කණ - නාසය පිළිබද පරික්ෂාවට, අක්ෂි පරික්ෂාවට, ශල්‍ය වෛද්‍යවරු වෙත ආදී වෛද්‍යවරු වෙත අපි යොමු කරනවා වැඩිදුරටත් වාර්තාවක් ලබා ගන්න. මේ අයගෙන් අපට ලැබෙන වාර්තා ඔක්කෝම ලබාගෙන තමයි අපි අවසන් වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කරන්නේ. මෙහිදි අපිට මතුවන ගැටලූ වන්නේ මා කලින් කී පරිදි මේ වාර්තා යැවීමට යම්කිසි ප‍්‍රමාදයක් සිදුවන්නට පුලූවන් රෝගියා වෙනත් වෛද්‍යවරුන්ට යොමු කිරිම නිසා. එහෙත් අපි පුලූවන් තරම් ඉක්මනින් මේ වාර්තා යවන්නට කටයුතු කරනවා.

පොලිසියෙන් කෙරෙන වධහිංසා පිළිබද සැකකරු හෙළිදරව් නොකළහොත්

සමහර අය අපිට කියන්න කැමැති නැහැ ඔවුන්ට සිදු වු වධ හිංසා පිළිබදව. ඊට හේතුව ඔවුන් හිතනවා ඔවුන්ට නැවත වරක් වධ දීමක් සිදු වෙයි කියලා. මෙහිදි අපි රෝගියාගේ ඉතිහාසය සටහන් කිරිමේදි සියලූම පොලිස් නිලධාරින් කාමරයෙන් ඉවතට යවනවා. එහිදි රෝගියා කියන කිසිවක් ඔවුන්ට අහන්නට හෝ දකින්නට ලැබෙන්නේ නැහැ. මේ අනුව අපිට රෝගියාගේ විශ්වාසය දිනාගෙන ඔවුන්ගෙන් අපිට ඒ කරුණු දැන ගන්න පුලූවනි කොයි ආකාරයෙන්ද වධදීම් සිදු වුනේ කියලා. නමුත් ඔහු කිසිම ආකාරයකින් එය කියන්නේ නැත්නම් අපිට සිදුවෙනවා ඔහුගේ තුවාල පරිකෂා කර යම්කිසි නිගමනයකට එළඹෙන්නට. මෙහිදි අපි පොලිසියට ඉදිරිපත් කරන්නේ කෙටි වාර්තාවක්. පුර්ණ වාර්තාව ඉදිරිපත් කරන්නේ අධිකරණය වෙත.

මානසිකව සිදුවන වධහිංසාව පරික්ෂා කිරිමේදි හැම ශාරිරික වධහිංසාවකදීම මානසික වධහිංසාවකුත් සිදු වෙනවා. මීට අමතරව මානසික වධහිංසාත් තියෙනවා, විශේෂයෙන්ම අපි දකිනවා සමහර වෙලාවට පුද්ගලයින් අදුරු කාමර වලට දමා තිබීම, ඔවුන්ට ආහාර පාන ලබා නොදීම, ඔවුන්ට වැසිකිලි පහසුකම් ලබා නොදීම, ඔවුන්ට සෙලවිය නොහැකි අයුරින් කූඩු කර තැබීම, එසේ නැතිනම් කිසිවෙකු සමග කථා නොකිරිමට ඉඩ සැලසීම ආදිය. මෙහිදි අපි මේ තොරතුරු සදහන් කර ගන්නවා. මෙයින් ඔහුට මානසික ආතතියක් ඇති වි තිබේ නම් අපිට සමහර අවස්ථා වල සිදු වෙනවා ඔහුව මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කරලා ඔහුගෙන් වාර්තාවක් ලබා ගැනීමට. මන්ද ඔහුට සිදු වී ඇති මානසික හානිය පිළිබද එම වාර්තා මගින් ඔප්පු කළ හැකි බැවින්.

මෙරට අධිකරණ වෛද්‍ය සේවය දියුණු කිරිමට නම්

මේ සදහා ලංකාවේ අධිකරණ වෛද්‍ය  විශේෂඥයන් පුහුණු කළ යුතුයි. කොළඹ විශ්ව විද්‍යාලයේ පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනය මගින් අවුරුද්දකට පහකටත් දහයකටත් අතර වෛද්‍යවරු ප‍්‍රමාණයක් විශේෂඥයන් ලෙස සමත් කරනවා. ඉන්පසු ඔවුන් විදේශ රටකට ගිහින් වසරක පුහුණුවකින් පසු මෙරටට පැමිණියහම ඔවුන් විශේෂඥ වෛද්‍යවරුන් ලෙස අපි සහතික කරනවා. මෙහිදි එක ගැටලූවක් වන්නේ මේ වෛද්‍යවරු සමහරක් ලංකාවෙන් වෙනත් රටවලට වෙනත් රැුකියාවන් සදහා යනවා. අනික් දේ තමා මේ පුහුණු කරන වෛද්‍යවරු සංඛ්‍යාව වැඩි කළ යුතුයි. ඒ වගේම විශේෂඥයන් නොවුනත් අනෙක් පර්යන්ත රෝහල් වල සිටින අධිකරණ වෛද්‍ය කටයුතු වල යෙදෙන වෛද්‍යවරුන් පුහුණු කිරිම් සදහා තවත් පුහුණු පාඨමාලා ඇති කළ යුතුව තිබෙනවා.

වධහිංසාව මේ වන විට අඩුවීමක් දක්නට ලැබෙනවද?

පහුගිය වසර කිහිපය තුල ලංකාවේ පොලිස් පහර දීම් හා පොලිසිය විසින් කරන්නා වු වධහිංසා පැමිණ වීම් වල අඩුවක් අපිට දකින්නට ලැබුණා. නමුත් තවමත් මේක සිදු වෙනවා. මීට සති කිහිපයකට ඉහතදි රෝගී කාන්තාවක් පරිකෂාවට ලක් කළා. පොලිස් නිලධාරින් ඇයගේ නිවසට ඇවිත් ඇයව අත්අඩංගුවට අරගෙන පොලිසියට ගෙනිහින් වධහිංසා පමුණුවා තිබුණා. මේවා අපිට තවමත් දකින්නට ලැබෙනවා. නමුත් ඉස්සරට වඩා අඩුයි.

මේ වධහිංසා පැමිණවීමේ ක‍්‍රම විවිධයි. බහුලව සිදුවන දෙයක් තමා ඔවුන්ට පහර දීම, විශේෂයෙන්ම පොලිසිය අතැතිව ඇති බැටන් පොලූ වලින් පහර දීම. මීළගට ඔවුන්ට විවිධාකාරයේ වධහිංසා පැමිණවීම් සිදුවෙනවා ඔවුන්ගේ ශරිරයට හෝ ඇස් වලට හෝ හුස්ම ගැනීමට සැලැස්වීමෙන් මිරිස් කුඩු ගහනවා. ඔවුන්ව වතුරට බස්සනවා. ඒ මුහුණ දියේ ගිල්වීමෙන් ඔවුන්ට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති කරන්න. ඒ වගේම ඔලූවට බෑග් දමා හුස්ම ගන්න අපහසු කරනවා. අත් පා එල්ලා පහර දෙනවා. සමහර වේලාවට ඔවුන්ගේ දත් පවා ගලවනවා. මෙවැනි ආකාරයේ වධහිංසා පැමිණිවීම් තවමත් සිදුවෙනවා.

සාකච්ඡාව - ශානිකා මාධවී



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.