English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
විදේශගත වුවන්ට හා සිරකරුවන්ට ඡන්ද අයිතිය ලබා දිය හැකිද? - රෝහණ හෙට්ටිආරච්චි (පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක)
(2019-10-01)

<< Go Back
Share |   


පැෆරල් සංවිධානය හැටියට අපි ඉතාමත් සතුටු වෙනවා මේ විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ට සහ රිමාන්ඩ් බන්ධනාගාරගත වෙලා ඉන්න අයට ඡන්ද අයිතිය ලබා දීම පිළිබඳව. අපට වඩා ප්‍රජාතන්ත්‍රවාදය අඩුවෙන් ක්‍රියාත්මක වන ඇෆ්ගනිස්තානය වගේ රටකත් තලේබාන් සිරකරුවන්ට පවා ඡන්ද අයිතිය තියෙනවා. ඒ රටවල බන්ධනාගාර වලට ජංගම ඡන්ද පොළවල් ක්‍රියාත්මක වෙනවා. විදේශගතවුවන් සම්බන්ධ කාරණයේදී පැහැදිළි වැඩපිළිවෙලක් නොතිබුනොත් මේක අයතා විදිහට භාවිතා වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. අපි දන්නවා අපේ රටේ තානාපති කාර්යාල දේශපාලනීකරණය වෙලා තියෙන්නේ. ස්වාධින අයත් ඉන්න පුළුවන්. එහෙත් බැලූ බැල්මට දේශපාලනිකයි. බොහෝ රටවල් කරන්නේ තානාපති කාර්යාල හරහා තමයි ඡන්ද විමසලා රටට ගේන්නේ. නිශ්චිත වැඩපිළිවෙලක් නොතිබුනොත් යම් ආකාරයක බලපෑම් ඇති වෙන්න පුළුවන්. මිලියන දෙකක් විදේශගත වෙලා ඉන්නවා. ලක්ෂයක ඡන්ද ප්‍රමාණයක් වෙනස් වුණොත් තීරණාත්මක සාධකයක් වෙනවා. 2005 මැතිවරණයේදී ඡන්ද 128000 ක වෙනසක් තිබුනේ ඡන්ද 50000 - 60000 වෙනස් වුණා නම් ප්‍රතිඵලය වෙනස් වෙනවා. ඒනිසා විදේශගත පුද්ගලයන්ගේ ඡ්නදය ඉතාම වටිනවා. උත්සාහ කළ හැකි දෙයක් තිබෙනවා. රටතුළ මැතිවරණ දිනයේදී ඡන්දය පාවිච්චි කරන්න ඉඩකඩ අහිමි වන පිරිස් සඳහා යම් ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. උදාහරණයක් ලෙස මැතිවරණ නිරීක්ෂණයේ යෙදෙන අපි වගේ අයට මැතිවරණ දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාවක් නැහැ. ඒ සඳහා නිසි වැඩපිළිවෙලක් අවශ්‍යයි. පැෆරල් සංවිධානය විදිහට අපි ඉතාම පැහැදිළි තැනක ඉන්නේ. ඡන්දය ප්‍රකාශ කරන්න අවශ්‍ය අයට යන්න පුළුවන්. ඊළඟට යම් යම් ක්ෂේත්‍ර වල ඉන්න අයට ඡන්ද දිනයේදී ඔවුන්ට ඡන්දය දීමට පැමිණීමට නොහැකි නම් ඔවුන්ට එම අවස්ථාව අහිමි වෙනවා. සාධාරණ හේතුවක් සහිත අයට ඡන්දය පාවිච්චි කිරීම සඳහා වෙනත් ක්‍රමයක් අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. වෙනත් රටවලත් advance voting system එක තියෙනවා. මේ ආකාරයට රට ඇතුලෙම මැතිවරණ දිනයේ ඡන්දය දෙන්න බැරි වෙන අයට ඡන්දය දීම සඳහා ක්‍රමයක් සැකසීම ඉතාමත් අවශ්‍ය වෙනවා. ඒකට අවශ්‍ය නීතිමය සංශෝධන ව්‍යවස්ථා දායකය හරහා සකස් විය යුතුයි.   

පළාත් සභා මැතිවරණය දිගින් දිගටම කල් ගිහිල්ලා තියෙනවා. ඒ කල්යාමට රජය වගකිවයුතුයි කියලත් කියනවා. එහි වගකීම කාටද තියෙන්නේ....

පළාත් සභා මැතිවරණය කල් යාම සම්බන්ධයෙන් තියෙන වගකීමෙන් රජයට කිසිසේත්ම ගැලවෙන්න පුළුවන්කමක් නැහැ. කවුරු පාලකයා වුනත් ඔහුගේ වගකීම තමයි නියම කාලෙට මැතිවරණ තියන එක. මේ වෙලාවේ මේ පාලකයෝ දෙන්නම මේකට වගකියන්න ඕන. මේ පළාත් සභා මැතිවරණය කල් යාම සිද්ධ වෙන්නෙම දේශපාලන වුවමනාවක් මත. මේ පළාත් සභා මැතිවරණය සංශෝධනය කරන්න මුලින්ම එකම දිනයක මැතිවරණය පවත්වනවා කියලා පනතක් ගෙනාවා. අපි ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. තවත් කණ්ඩායම් ගියා. ඒ නිසා ඒක පරාජය වුණා. දෙවනි වතාවේ කාන්තා නියෝජනය කියන කාරණය ගෙනාවා. එක පිටුවක සංශෝධනයක්. ඒකට කාටත් විරුද්ධ වෙන්න බැහැ. කාන්තා නියෝජනය අපි කවුරුත් ඒකට කැමතියි. පාර්ලිමේන්තුවේ දෙවෙනි වර කියවන කොට සම්පූර්ණම අලුත් මැතිවරණ ක්‍රමයක් හඳුන්වලා දුන්නා පිටු 30ක. ඒ අලුත් මැතිවරණ ක්‍රමය පිළිබඳ ප්‍රශ්නයකුත් නැහැ. මේ දිගටම සංශෝධන ගෙනාවේ ආණ්ඩුවට සද්භාවයක් නැතුවම නෙවෙයි. හැබැයි සැබෑ වුවමනාව මැතිවරණය කල්දමා ගැනීම තමයි. දැන් මේ වෙනකොට මතු වෙලා තියෙන ප්‍රශ්නය තමයි මේකට වගකියන්න ඕන මුළු පාර්ලිමේන්තුවම. විපක්ෂයත් මේකට වගකියන්න ඕන. පාර්ලිමේන්තුවේ නීතියක් සම්පාදනය කරලා අතරමං කරලා දාලා තියෙනවා. පාර්ලිමේන්තුව කියන්නේ නීති සම්පාදනය කරන අය. හැබැයි මේගොල්ලෝ භාගෙට සම්පාදනය කරලා අතරමං කරලා තියෙනවා. මේ පනතට අනුව මැතිවරණය තියන්න නම් සීමා නීර්ණ වාර්තාව අවසන් කරලා පාර්ලිමේන්තුවේ ඒක සම්මත කරන්න ඕන. වර්තමාන ආණ්ඩුව අසමත් වෙනවා සීමානීර්ණය අවසන් කරන්න. ඒ පනතින්ම ප්‍රතිපාදනයක් දාලා තිබුනා. අපි දිගින් දිගටම අරගල කළා මේක කරන්න එපා කියලා මොකද මේක මැතිවරණය කල්යාමට හේතුවක් නිසා.  වර්තමාන කතානායකතුමාත් අපිට පෞද්ගලිකවත් කිව්වා මේකට කාල රාමුවක් දානවා, ඒ අනුව මැතිවරණය තියන්න ක්‍රියා කරනවා කියලා. ඇත්තටම කාල රාමුවක් දැම්මා. අපි ඒක අගය කරනවා. ඒක පාර්ලිමේන්තුවේ සම්මත වුනේ නැත්නම් මාසයක් ඇතුළත සමාලෝචන කමිටුවක් දාලා ඒක මාස දෙකක් ඇතුළත එම වාර්තාව සම්මත කරනවා කියලා. පාර්ලිමේන්තුව අසමත් වෙනවා එම සමාලෝචන කමිටුව නියමිත කාලය තුළ පත් කරන්න. මාස කිහිපයක් පරක්කු වෙලා සමාලෝචන කමිටුව පත් කලා. ඔවුන්ට මාස දෙක අවසන් වීමට පෙර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියා ව්‍යවස්ථා විරෝධීව. ඒනිසා දැන් මේක අතරමං වෙච්ච තත්ත්වයක් තමයි තියෙන්නේ. මේකට සාමූහිකව ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ පාර්ලිමේන්තුව වගකියන්න ඕන. මහජනතාව හැටියට අපියි ඒගොල්ලෝ පත් කරලා තියෙන්නේ. අපි වෙනුවෙන් අවශ්‍ය නීති සම්පදානය කරලා අපි වෙනුවෙන් අපේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න. එයාල එක අසමත් වෙනවා. දැන් එයාලට අවංකවම මේක කරන්න වුවමනාවක් තියෙනවා නම් කළ හැකි ක්‍රම දෙකක් තියෙනවා. සීමා නීර්ණය වාර්තාව අභියෝගයක් විදිහට අරගෙන මුළු වාර්තාවම ජනාධිපතිවරයා ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. ඒක අභියෝගයට ලක් කරන්න පුළුවන්. අග්‍රාමාත්‍යවරයා හිතනවනම් මේක කළ යුතුයි කියලා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගෙනැල්ලා කමිටුවක් පත් කරලා කරන්න පුළුවන්. අවංක උත්සාහයක් තියනවා නම් ලේසිම විදිහ තමයි මේ පනත ක්‍රියාත්මක වන දිනය 2020 හෝ 2021 ට කල් දාන එක. එතකොට එක වගන්තියයි ඇතුල් කරන්න අවශ්‍ය වෙන්නේ. කාටවත් විරුද්ධ වෙන්න බැහැ. කාන්තා නියෝජනයත් මැතිවරණ ක්‍රමයත් එහෙමම තියෙනවා. එකම වෙනස වෙන්නේ ඒක ක්‍රියාත්මක වෙන්නේ ඊළඟ මැතිවරණයේ ඉඳලා. ඒ නිසා පළාත් සභා මැතිවරණය විරුද්ධ වෙන්නේ නැතිව ඉක්මනින් පැවැත්වීමේ හැකියාව තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒ සඳහා අවශ්‍ය දේශපාලන කැමැත්ත මේ ගොල්ලන්ට නැහැ. මේ රටේ මැතිවරණ පවත්වන්නේ අවාසනාවකට පාලකයන්ට අවශ්‍ය විදිහට. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික වටිනාකම උඩ මැතිවරණ පවත්වන්නේ නැහැ. මැතිවරණයකදී ඡන්දදායකයාට තමන්ගේ පාලකයා තෝරා ගැනීමේ අයිතිය මත ඡන්දේ පවත්වන්නේ නැහැ. මේ මොහොතේ පාලකයෝ බලන්නේ මොන මැතිවරණයද තමන්ට වාසිදායක කියලා. මොන මැතිවරණයද මගේ පවුලේ අය සමඟ යාලුවෝ ටිකට වාසිසහගත වෙන්නේ කියලා. මොන මැතිවරණයද මගේ පක්ෂයට වාසිදායක වෙන්නේ මේ වෙලාවේ කියලා. අන්තිමට තමයි ප්‍රජාතන්ත්‍රවාදය සහ රට ගැන බලන්නේ. මේ පහුගිය කාලයේ මේ ආණ්ඩුවෙත් ගිය ආණ්ඩුවේත් දේශපාලකයන්ගේ හැසිරීම් දිහා බැලුවොත් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් හඳුනන්නේ නැති පාලකයෝ ඉන්න රටක මේක තමයි තත්ත්වය.

ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම ගැන.....

ජනාධිපතිවරයාට නීතිපති විමසලා පැරණි ක්‍රමයට යන්න පුළුවන්ද බැරිද කියලා සොයා බැලීමේ හැකියාවක් තියෙනවා. සීමානීර්ණය අවසන් වෙලා නැති අතරමැදි තත්ත්වයක් තුළ පාර්ලිමේන්තුවේ සම්මත නොවුනු සීමානීර්ණය වාර්තාව ගැසට් කරන්න පුළුවන්ද කියලා සොයා බැලීමේ හැකියාවක් තියෙනවා. මේ ඔක්කොම ක්‍රියාත්මක වෙන්නේ දේශපාලන කැමැත්ත තියෙනවා නම් විතරයි. නැත්නම් නාමිකව සමහර දේවල් ක්‍රියාත්මක කරනවා. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අවස්ථා කීයකදී නම් මැතිවරණ පවත්වන දින ගැන ප්‍රකාශ නිකුත් කළාද ?. මැතිවරණ කොමිසම මේ සම්බන්ධයෙන් සාධාරණ උත්සාහයක් දරමින් සිටිනවා. නමුත් මැතිවරණ කොමිසමේ සීමාවෙන් එහා මේ තත්වය තියෙන්නේ. නීතිය සම්මත වෙලා තිබුණා නම් කොමිසමට කාගෙන්වත් විමසීමකින් තොරව මැතිවරණය පවත්වන්න පුළුවන්. දැන් සීමා නීර්ණය අවසන් වෙලා මැතිවරණය කැඳවීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයාට දැන ගන්න ඕන එක එක දිස්ත්‍රික්කයේ කොට්ඨාශ කීයක් තියෙනවද කියලා. මොකද ඒකට තමයි නාමයෝජනා කැඳවන්නේ. සීමා නීර්ණය අවසන් නොකළහොත් මැතිවරණ කොමිසමට කළ හැක්කක් නැහැ. ඒ නිසා උත්සාහයක් දරන බව පේනවා. නමුත් ඒක අවංක උත්සාහයක් ද කියන එක ගැන බරපතල ප්‍රශ්නයක් තියෙනවා.

පළාත් පාලන මැතිවරණයත් කල් ගිය එකක්. ඒ අනුව අලුත් මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දුන්නා. එහි අඩුපාඩු තියෙනවද ?

පළාත් පාලනයට අලුතෙන් හඳුන්වලා දීපු මැතිවරණ ක්‍රමයෙත් සීමා නීර්ණ ප්‍රශ්නය ආවා. පැෆරල් සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. නමුත් අවාසනාවකට ඉක්මන් මැතිවරණයක් ඉල්ලලා දාපු නඩුව අවුරුද්දයි මාස තුනක් ගියා. ඒ මැතිවරණ ක්‍රමයේ සාධනීය ලක්ෂණ ගණනාවක් අපි දැක්කා. ප්‍රධාන වෙනසක් තමයි කාන්තා නියෝජනය 25% ක් කිරීම. ප්‍රායෝගිකව කාන්තා නියෝජනය 23% වගේ ඒ ක්‍රමය තුළට ඇතුළත් කරලා තිබුනා. අපේ රටේ ප්‍රමාණවත් කාන්තා දේශපාලන නියෝජනත්වයක් තිබුනේ නැහැ. ඒ අතින් බැලුවම ඒක සාධනීයයි. ඒ වගේ සමාජය මතු කරපු ප්‍රධාන කාරණයක් තමයි කොට්ඨාශයට වගකියන මන්ත්‍රීවරයෙක් සිටිය යුතුයි කියලා. එතකොට ලොකු පරාසයක මැතිවරණ ව්‍යාපාරය ගෙනයන්න ඕන. විශාල මුදල් ප්‍රමාණයක් අවශ්‍යයයි කියලා ප්‍රකාශ වුනා. කොට්ඨාශයට වගකියන මන්ත්‍රීවරයෙක් සිටියහොත් ගමේ සංවර්ධනය සිද්ද වෙනවා කියලා කිව්වා. දැන් අපි ආපහු හැරිලා බැලුවොත් කොට්ඨාශයට මන්ත්‍රී වරයා ඇවිල්ලා ගම සංවර්ධනය වෙලාද කියලා නැවත හිතලා බලන්න ඕන. සමහර කොට්ඨාශ වලට මන්ත්‍රීවරු හතර පස් දෙනෙක් ඉන්නවා. සමහර ප්‍රදේශ වල පත්වෙලා ගියපු අය ඉතාම දක්ෂ විදිහට වැඩ කරනවා. සමස්ථයක් හැටියට වැඩි වෙච්ච මේ මන්ත්‍රීවරු ප්‍රමාණය ජනතාව අපේක්ෂා කරන සේවය ඉටු කරන්නේ නැහැ. 4000 ඉඳලා 8000 දක්වා දෙගුණයක් වැඩි වෙලා තියෙනවා. ලංකාවේ මේ වෙනකොට දළ වශයෙන් සෑම 2225 දෙනෙකුටම මහජන නියෝජිතයෙක් ඉන්නවා. මේ රට සුරපුරයක් වෙන්න ඕන ඒ මහජන නියෝජිතයෝ වැඩ කරනවා නම්. මේ අය මාසිකව ජනතාවගෙන් දීමනා ලබන අය. ඊලඟ පලාත් පාලන මැතිවරණයට පෙරාතුව අපි සැලසුම් කරනවා සභික සංඛ්‍යාව අනිවාර්යයෙන්ම අඩු කරන්න අවශ්‍යයි. මේක අඩු තරමින් භාගයකට අඩු කරන්න අවශ්‍යයි. මැතිවරණ ක්‍රමයට යම් සංශෝධනයක් එකතු කරලා මෙය කළ යුතුයි. එහෙම නැති වුනොත් මේක ජනතාවට බරක් වගේම අපේක්ෂා කරන ප්‍රතිඵලය ලබා ගන්න බැරි වෙනවා. මන්ත්‍රීවරු ගොඩක් ඉන්න කොට කවුරුත් වගකියන්නේ නැහැ. මේ වෙනකොට අපි අපේක්ෂා කරපු දේවල් නොලැබෙන තත්ත්වයක් තමයි මතු වෙලා තියෙන්නේ. මේකෙ ප්‍රධාන ගැටලුව තමයි මහජන ඉල්ලුමක් නැහැ. අපි පාලකයෝ පත් කරනවා ඊළඟ මැතිවරණය එනකල් අපි නිහඬව ඉන්නවා. ඒ නිසා මහජන ඉල්ලුමක් ඇති කිරීම අනිවාර්යයෙන්ම විය යුතුයි. ඉල්ලුමට තමයි අනිවාර්යයෙන්ම සැපයුම ලැබෙන්නේ. දේශපාලකයෝ කල්පනා කරන්නෙත් ජනතාව කොයි විදිහටද මේ දිහා බලන්නේ ඒ ඒ විදිහට දේශපාලකයෝ හැඩ ගැසෙනවා. ඒ නිසා අපි සිවිල් සංවිධාන හැටියට, මාධ්‍ය ආයතන හැටියට අපි සියලු දෙනා මහජන ඉල්ලුම පෙළගස්වන තැනට වැඩ කරන්න අවශ්‍යයි.

දැනට අධිකරණ වල අධිචෝදනා ගොනු කරලා තියෙන අය මැතිවරණ වලට ඉදිරිපත් වීම ගැන....

ඒ පිළිබඳව නිශ්චිත පිළිතුරක් දෙන්න පුළුවන් කමක් නැහැ. චෝදනා නොලබපු පිරිස් අපේ රටේ ඕන තරම් දේශපාලන ක්‍රියාවලියට ගන්නවනම් ඉන්නවා. චෝදනා ලබලා තියෙන්නේ ටික දෙනෙක් පමනයි. අනෙක් පැත්තට මහජනතාවත් එක්ක වැඩ කරන්න ගියොත් ගැටෙන්න ගියොත් අනිවාර්යයෙන්ම ඒ අයට දේශපාලනිකව චෝදනා එල්ල වීමේ හැකියාවක් තියෙනවා. අපේ රටේ නීතියට අනුව  චෝදනාවක් එල්ල කළ පමණින් වැරදිකාරයෙක් වෙන්නේ නැහැ. වැරදිකරුවෙක් උනොත් ඔහුට අවුරුදු හතක් යනතෙක් ඡන්දය දීමේ හෝ ඡන්දය ඉල්ලීමේ හැකියාවක් නැහැ. ප්‍රශ්නය තියෙන්නේ මේ චෝදනා සැබෑ ලෙසම එල්ල කරන චෝදනා ද නැත්නම් දේශපාලනිකව එල්ල කරන චෝදනා ද කියලා වටහා ගන්න ඕන. අපේ අධිකරණ ක්‍රියාවලිය අනුව සමහරුන්ට ඇත්තටම අපරාධය කරලා තිබුණත් අධිකරණයේදී ඔප්පු කර ගන්න බැරි වෙනවා. එතකොට ඔවුන් නිදහස් වෙනවා. සමහර වෙලාවට අධිකරණ ක්‍රියාවලිය තුළ නිවැරදිකරු අධිකරණයේදී යම් යම් සාක්ෂි නිසා වැරදිකරු වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා අපිට සෘජුව අපරාධ චෝදනා එල්ල වූ පමණින් වැරදිකරුවෙක් කියලා කියන්න පුළුවන්කමක් නැහැ. හැබැයි දේශපාලන පක්ෂ සැලකිලිමත් වෙන්න අවශ්‍යයි රටේ ජනතාව අතර අප්‍රසාදයක් ගොඩනැගිලා තියෙන අපරාධකරු උසාවිය ඉදිරියේ වැරදිකරු නොවුණත්, මුළු සමාජයම දන්නවා මොවුන් සමාජ විරෝධීන් කියලා. නමුත් මොවුන්ට දේශපාලනයේදී නාමයෝජනා ලැබෙනවා. මෙහි අනෙක් පැත්ත තමයි මහජන ඉල්ලුම කියන එක. පසුගිය පළාත් සභා මැතිවරණයේ එක පළාතක එක නියෝජිතයෙක් මංකොල්ලකෑමක් සම්බන්ධයෙන් රිමාන්ඞ් බන්ධනාගාරගත වෙලා හිටියා. ඔහු වැඩිම මනාපයෙන් ඒ පලාතේ ජනතාව තේරුවා. තව එක පළාතක පාර්ලිමේන්තු මැතිවරණ දෙකකදි මිනීමැරුම් චෝදනා ලබපු දෙන්නෙක් බන්ධනාගාර ගත වෙනවා. ඒ දෙන්නම වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට එනවා. එතකොට දේශපාලන පක්ෂ කල්පනා කරන්නේ කොහොමද ? ඉල්ලුමට සැපයුම. ජනතාව මේවා ප්‍රතික්ෂේප නොකරන තාක් කල් දේශපාලන පක්ෂ ඒකට අනුගත වෙනවා. පහුගිය කාලේ අපේ රටේ යම් මතයක් ගොඩනැගිලා තිබුනා එකපාරක් හරි හිරේ ගියොත් ඒක දේශපාලන සුදුසුකමක් කියලා. තවමත් එහි ලොකු වෙනසක් වෙලා නැහැ. අපේ මාධ්‍ය පවා හොරකම් වලට මංකොල්ල කෑම් වලට ප්‍රශ්න කරන්න පොලිසියට හෝ සීඅයිඩී එකට කැf    දව්වාම කවදාවත් මාධ්‍ය ඒක ගැන ප්‍රශ්න කරන්නේ නැහැ. මාධ්‍ය ඉදිරියේ දේශපාලන කතාවක් දීලා ලස්සනට හිනා වෙලා යනවා. ඔහු ජනප්‍රිය චරිතයක් බවට පත් වෙනවා. ඊළඟ මැතිවරණයේදී ඔහු ඡන්දය ඉල්ලනවා. ඒ ප්‍රවනතා අපි වෙනස් කරන්න ඕන. ජනතාව කිව්වොත් අපිට එපා අපරාධකාරයෝ අපිට එපා අපරාධ චෝදනා එල්ල වෙච්ච කෙනෙක්වත් කියලා දේශපාලන පක්ෂ වලට ඇහුම්කන් දෙන්න වෙනවා. නමුත් අවාසනාවකට අපේ රටේ තාමත් ඒ මහජන ඉල්ලුම, මහජන තෙරපුම දෙන්න අපි අසමත් වෙලා තියෙනවා. ඡන්දදායකයෝ දේශපාලනිකව සවිඥානික නැහැ. අපේ රටේ උගත් ඡන්දදායකයෝ පිරිසක් ඉන්නවා නමුත් දේශපාලන සාක්ෂරතාවය පිළිබඳ සැලකිය යුතු ප්‍රශ්නයක් තියෙනවා.

මාර්තු 12 ව්‍යාපාරය පිළිබඳව....

ඇත්තටම මාර්තු 12 ව්‍යාපාරයේ වගේ ව්‍යාපාරයක අරමුණු ගෙවල් හදනවා වගේ නිශ්චිත වැඩක් නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ කටයුතු වලදි එහෙම සෘජු ක්ෂණික ප්‍රතිඵල අපිට බලන්න බැහැ. හැබැයි අපි මේ වෙනකොට යම් සාර්ථකත්වයක් තියෙනවා. පළමු වැනි එක තමයි විවිධ ක්ෂේත්‍ර වල වෙන වෙනම වැඩ කරපු සිවිල් සංවිධාන, වෘත්තීයවේදීන්, කලාකරුවන් එක තැනකට ගේන්න අපි සමත් වෙලා තියෙනවා. ව්‍යාපෘති මානසිකත්වයෙන් ඒ අය ගලවා ගෙන පොදු අරමුණු වලට පෙළගස්වන්න හැකි වෙලා තියෙනවා. ඒක අවුරුදු කිහිපයක් තිස්සේ ක්‍රියාත්මක වෙනවා. ඒවා සම්පත් මත පදනම් නොවී දිස්ත්‍රික්ක මට්ටමින් ක්‍රියාත්මක වෙනවා. අපේ සමස්ථ ක්‍රියාවලියට මිනිස්සු විශාල දායකත්වයක් දීලා තියෙනවා. හොඳ වෙනසක් අපි ඇති කරලා තියෙනවා. රටේ ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ සියල්ලම එක තැනකට ගෙනැල්ලා 2015 දී යම් නිර්නායක වලට එකඟ වෙලා තියෙනවා. 2015 වෙනකොට රටේ විශාල පෙළගැස්මක් තිබුනා කලාකරුවෝ, ක්‍රීඩකයෝ වගේ ජනප්‍රිය චරිත මැතිවරණ වලට ඉදිරිපත් කරන්න. ඊට පෙර මැතිවරණ වලදි එහෙම ජයග්‍රහණය කලා. මාර්තු 12 ව්‍යාපාරය ගොඩනැගීමත් එක්ක පසුගිය මැතිවරණයේදී එවැනි අයට ඉඩකඩක් තිබුනේ නැහැ. හුදු ජනප්‍රියත්වය මත පමණක් කිසිදු දේශපාලන දැනුමක් නැතිව එන්න එපා කියන පණිවිඩය අපි ගෙනගියා. ඒක විශාල ලෙස සමාජ කතිකාවකට ඇවිල්ලා අපිට පුළුවන් වුනා එය වළක්වා ගන්න. මේ වෙනකාට රටේ විශාල සංවාදයක් ඇති වෙලා තියෙනවා. මාර්තු 12 ව්‍යාපාරයත් සිහින ජනපති කියන තේමාව යටතේ දිස්ත්‍රික්ක මට්ටමින් දැනුවත් කිරීමේ සංවාදයක් පටන් තියෙනවා, ඉදිරි ජනාධිපතිවරණයේදී කවර ආකාරයේ පුද්ගලයෙක්ද අපට අවශ්‍ය කරන්නේ කියලා. ජනාධිපතිවරයාගේ ආකල්ප, අරමුණු, හැකියාවන් ගැන මිනිස්සු බලන්න ඕන. දේශපාලන පක්ෂ, පුද්ගලයා දිහා බලන්නේ නැතිව ජනාධිපතිවරයා කවර ආකාරයේ පුද්ගලයෙකු විය යුතුද යන්න දැනුවත් විය යුතුයි. ජනාධිපතිවරයා කියන්නේ කටයුතු ගණනාවක් එකවර බලන්න ඕන කෙනෙක්. මේ වනවිට විවිධ සමාජ කණ්ඩායම් ගොඩනැගිලා තියෙනවා. ඒවා මාර්තු 12 ව්‍යාපාරය සමඟ සමබන්ධ වෙලා නැහැ. එහෙම අවශ්‍යයත් නැහැ. මේක කරන්නේ කවුද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ ඒ සංවාදය රටපුරා ගොඩනැගීමයි. ඒනිසා මාර්තු  12 ව්‍යාපාරය ආරම්භ කරපු ඒ සංවාදය මේ වෙනකොට විවිධ පාර්ශවයන් විවිධ විදිහට අරගෙන යනවා. ඒකම අපි ජයග්‍රහණයක් හැටියට දකිනවා. හැබැයි තවමත් අපි කියපු මහජන ඉල්ලුම ගොඩනගන්න අසමත් වෙලා තියෙනවා. ඒකට ටික කාලයක් ගත වෙනවා. එම මහජන ඉල්ලුම ගොඩනැගීම දක්වා අපි කටයුතු කරනවා. මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න නම් ජනතාව වෙනස් කළ යුතුමයි. අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට යහපත්ව ඉන්න කියනවා නම් එහෙම ඉන්න පුළුවන් පරිසරයක් අපි ගොඩනගන්න ඕන. අද අපි මළ ගෙයක් වුනාම මන්ත්‍රීවරයාගෙන් පුටු ටික, හට් එක, කෑම වේලක් අපේක්ෂා කරනවා. ඉතින් මන්ත්‍රීවරයෙක්ට තමන්ගේ පාක්ෂිකයාට ඒවගේ දෙක තුනක් මාසයකට දෙන්න වුනොත් මන්ත්‍රීවරයාට හොරකම් කරන්න සිද්ද වෙනවා. එතකොට මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න වෙනවා. මිනිස්සු හිතන්නේ රැකියාව දෙන්නේ, මළ ගෙදරට මගුල් ගෙදරට එන කෙනා නම් හොඳ වෙන්නේ එහෙම නම් අපි දේශපාලනඥයෝ දිහා බලන්නේ එතකොට ඒ ජාතියේ මන්ත්‍රීවරු තමයි අපිට හම්බ වෙන්නේ. නීති සම්පාදකයෝ අපිට හම්බ වෙන්නේ නැහැ. මේ පිළිබඳව පුළුල් සමාජ කතිකාවක් ඇති කිරීම අවශ්‍යයි. ඉදිරි කාලය වැඩිපුරම මේ සමජය වෙනස් කිරීම සඳහා ඡන්දදායකයා පුරවැසියා බවට පත් කිරීම සඳහා පෙරමුණ ගත යුතුව තිබෙනවා.

19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන....

19 වන සංශෝධනය අනුව නීතිය ඉතාම පැහැදිළියි. විදේශ පුරවැසිභාවය සහිත කෙනෙකුට ඡන්දය ඉල්ලීමේ හැකියාවක් නැහැ. හැබැයි ඔහු හෝ ඇය විදේශ පුරවැසිභාවය ඉවත් කර ගත්තොත් ශ්‍රී ලාංකික පුරවැසියෙක් බවට පත් වෙනවා නම් ඔහුට හෝ ඇයට ඡන්දය ඉල්ලීමේ හැකියාවක් තියෙනවා. වර්තමාන ජනාධිපතිවරයාට ඡන්දය ඉල්ලන්න නීත්‍යානුකූලව ඔහුට බාධාවක් නැහැ. අපි පුරවැසියෝ හැටියට කල්පනා කරන්න ඕන අපේක්ෂකයෝ දේශපාලන පක්ෂ දිහා නොබලා මේ දේශපාලන සංවාදය ඇති කර ගන්න. අපිට ජනාධිපතිවරු ගණනාවක් හිටියා. මේ සියලු අත්දැකීම් එකතු කරගෙන අපේ අනාගතයට ඕන කරන්නේ කොයි වගේ ජනාධිපතිවරයෙක්ද කියලා අපි තීරණය කරන්න ඕන. කිසිදු නීතිමය බාධාවක් වර්තමාන ජනාධිපතිවරයාට නැහැ, ඒවගේම ඝෝඨාභය රාජපක්ෂ මහතාටත් විදේශීය පුරවැසිභාවය ඉවත් කර ගෙන නම් කිසිදු බාධාවක් නැහැ මැතිවරණයට ඉදිරිපත් වෙන්න. එකම දේ දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වෙන්නේ නැත්නම් ඔහු හෝ ඇය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න ඕන. මෑත කාලයේදී මතු වෙලා තියෙන තවත් කාරණයක් තමයි නීතිමය රාමුව ඇතුලේ දේශපාලන පක්ෂයක් නොමැති නමුත් රටේ යම් පිළිගැනීමක් සහිතව ස්වාධීනව  ඉදිරිපත් වෙන අයට ක්‍රමවේදයක් නැහැ. මේ කාලය තුළ දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කරන්න බැහැ. ඒකට අදාළ නීතියක් නැහැ. එතකොට මැතිවරණ කොමසාරිස් වරයාට ඒ සම්බන්ධයෙන් කළ හැකි යමකුත් නැහැ. නීතිය ඉතාම පැහැදිළියි. මැතිවරණ කොමිසමට බලතල තියෙනවා දෙසැම්බර් මාසේ 09 වෙනිදාට පෙරාතුව නීතියට අනුව වර්තමාන ජනාධිපතිවරයාගේ නිලකාලය අවසන්වීමට මසකට පෙර නව ජනාධිපතිවරයා තේරී පත්විය යුතු වෙනවා. ජනවාරි 09 ට මසකට පෙර ඔහු හෝ ඇය පත්වීම අනිවාර්්‍යයි.

19 වන සංශෝධනයේ ප්‍රතිපාදනයක් තමයි කොමිෂන් සභා ඇති කිරීම. මේවායේ තත්වය කොහොමද ?

19 වන සංශෝනය සම්මත කරන වේලාවේ මිනිස්සු අතර මතයක් තිබුණා මේක සම්මත වුණාට පස්සේ මාරයි.. ඔක්කොම හරියට සිද්ද වෙයි කියලා. හැම රාජ්‍ය යාන්ත්‍රණයක්ම ස්වාධීනව ක්‍රියාත්මක වෙයි කියලා. හැබැයි අපි අපේක්ෂා කරපු මට්ටමට ඇවිල්ලා නැතත් යම් සාර්ථකත්වයක් මේ වෙන කොට තියෙනවා. ඒ තියෙන නිසාම තමයි දේශපාලන අධිකාරිය දැන් 19 වන සංශෝධනය හොඳයි කියපු අධිකාරියම මේක වෙනස් කරන්න ඕන කියලා කියන්නේ. මොකද ඔවුන්ට අවශ්‍ය පරිදි රාජ්‍ය යාන්ත්‍රණය හසුරුවා ගැනීමේ හැකියාවක් නැහැ. ඒකෙන් බාධාවන් වෙලා තියෙනවා. තනි පාලකයෙකුට තනි අධිකාරියකට බලය පවරනවා වෙනුවට බලය විමධ්‍යගත කරලා තියෙනවා. එතකොට ඒ හැමෝටම සාධාරණව බලන්න අවකාශයක් ඒ හරහා ගොඩනැගිලා තියෙනවා. ඒ නිසා ස්වාධීන කොමිෂන් සභා ආරම්භ වීම මොන අඩුපාඩුවක් සහිතව වුණත් ඒක ඉතාම සාධනීයයි. පැෆරල් සංවිධානය හැටියට අපි අධ්‍යනයක් ආරම්භ කරලා තියෙනවා ස්වාධීන කොමිෂන් සභා සම්බන්ධයෙන් බොහොම මැදහත්ව ක්‍රියා කරපු සිවිල් ක්‍රියාධරයෙකුත් විශව විද්‍යාල ආචාර්්‍යවරයෙකුත් එකතු කරගෙන මේ ස්වාධීන කොමිෂන් සභා කොතෙක් දුරට සාර්ථක වුණාද ? අරමුණු කරා ළඟා වෙලා තියෙනවද ? නැත්නම් එසේ සිදු වූයේ ඇයි ? යන්නත් පිළිබඳව. මේක අපි සුබවාදී කෝණයෙන් තමයි බලන්නේ. විවේචනය කිරීම සඳහා නෙවෙයි. ස්වාධීන කොමිෂන් සභා වල අපේක්ෂිත අරමුණු ඉෂ්ඨ වුනේ නැතිනම් ඇයි එසේ වෙලා නැත්තේ ඒකට මූල්‍යමය ස්වාධීනභාවය පිළිබඳ ප්‍රශ්නයක්ද ? පත් කිරීම පිළිබඳ ප්‍රශ්නයක්ද ? නැත්නම් වැඩපිළිවෙලේ ප්‍රශ්නයක්ද ? තාක්ෂණික ගැටලුවක්ද යන්න හඳුනා ගන්න හඳුනා ගනිමින් තිබෙනවා මේ වෙන කොට. ඉදිරි මාස දෙක තුනකදී අපිට මේ පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන්න පුළුවන්.

සමහර කොමිෂන් සභා නාමිකව පත් වුණත් සමහර ඒවාට මැන්ඬේට් එකවත් හැදිලා නැහැ. ස්වාධීන කොමිෂන් සභා ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වපසරිය 19 වන සංශෝධනයෙන් සිද්ද වුනේ නැහැ. ස්වාධින කොමිෂන් සභා ගේන්න උනන්දුව තිබුණු අයගෙත් සම්බන්ධයෙන් එතරම් දකින්නට තිබුනේ නැහැ. ඒ නිසා සමහර කාරණා වලදි මේවා පසුගාමී තත්වයට ගිහිල්ලා තියෙනවා.

ඒ වගේම මැතිවරණ කොමිසම සම්බන්ධයෙන් සුවිශේෂී තත්ත්වයක් තියෙනවා. ආසියානු කලාපය දිහා බැලුවොත් ලංකාව ඉතාම සුබවාදීයි. මැතිවරණ කොමිසමක් නැතුවත් මැතිවරණ දෙපාර්තමේන්තුව තියෙද්දිත් එහි මධ්‍යස්ථභාවය පිළිබඳව බරපතල ප්‍රශ්නයක් තිබුනේ නැහැ. යම් යම් අඩුපාඩු තිබුණත් ඒගොල්ලෝ හොඳට වැඩ කළා. මේ පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ දෙකම කල් යන්නේ මැතිවරණ කොමිසමේ ප්‍රශ්නයක් හින්දා නෙවෙයි. මහජන නියෝජිතයෝ පිළිබඳ ප්‍රශ්නයක් නිසා. මේ දෙකේදීම නීති සම්පාදකයෝ නීතිය ගෙනැල්ලා අතරමං කරලා නිකන් හිටියා. අවශ්‍ය ක්‍රියාමර්ග ගත්තේ නැහැ. මේක සම්පූර්ණ කිරීමේ වගකීම තියෙන්නේ ව්‍යවස්ථාදායකයට. කළින් දෙපාර්තමෙන්තුවට වඩා ස්වාධීන කොමිසම කියන ලේබලය යටතේ මැතිවරණයක් පවත්වා ගැනීමට අවශ්‍ය නීතියේ අඩුපාඩු තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් වැඩි මැදහත්වීමක් කිරීමේ ඉඩකඩක් තියෙනවා.



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.