English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ICCPR නම පවා අද වන විට ලංකාවේදී අවභාවිතා වෙනවා! - නීතිඥ විරංජන හේරත්
(2019-09-18)

<< Go Back
Share |   


වධහිංසාව කියන එක මේ වෙනකොට ලංකාවේ තුළ පමණක් නොවෙයි ලෝකයේත් බරපතල ප්‍රශ්නයක්. මානව සංහතියට එරෙහි දරුණු අපරාධයක්. මානව හිමිකම් ගැන කතා කරද්දි තියෙන ප්‍රධානතම අයිතියක්. වධහිංසාව කියන්නේ අපි සරලවම කිව්වොත් වහල් සමාජයේ තියෙන්න ඕන ගති ලක්ෂණයක්. එය කිසිසේත්ම දියුණු සමාජයක තිබිය හැකි ලක්ෂණයක් නොවෙයි. අද වනවිට අපි දියුණු සමාජයක් කියලා මේ සමාජයට කියනවා. ලංකාවේ සමාජයත් දියුණුයි කියලා අපි කියනවා. ලෝකයේ සමාජයත් දියුණුයි කියලා අපි කියනවා. හැබැයි වධහිංසාව කියන එක මේ දියුණු සමාජයන් ඇතුළේ බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ලෝකය පිළිගන්නා වර්තමාන මානව හිමිකම් ලේඛනය වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ පැහැදිළිව දක්වලා තියෙනවා වධහිංසාවෙන් තොර වීම සඳහා මානවයෙකුට තියෙන අයිතිය පිළිබඳව. ඉන් පසුව අපි ගත්තොත් ICCPR වගේ ලේඛන (සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව සම්මුතිය) තුළිනුත් මේ හිමිකම ලෝක ව්‍යාප්ත හිමිකමක් ලෙස පිළිගෙන තිබෙනවා. ඊට අමතරව කලාපීය මානව හිමිකම් යාන්ත්‍රණය තිබෙනවා. යුරෝපා මානව හිමිකම් ලේඛන, ඇමෙරිකානු රාජ්‍යයන්ගේ මානව හිමිකම් ලේඛන, අප්‍රිකානු රාජ්‍යයන්ගේ මානව හිමිකම් ලේඛන ආදිය මේ සියල්ලෙන් ම වධහිංසාවෙන් තොරවීම ඉහළ අයිතියක් ලෙස පිළිගෙන තියෙනවා. අපි දකුණු ආසියාව දිහාවට හැරුණොත් එහිත් වධහිසාවෙන් තොරව ජීවත් වීමට තියෙන අයිතිය සෑම ව්‍යවස්ථාවකම වාගේ ප්‍රකාශිතවම මානව හිමිකම් යටතේ පිළිඅරගෙන තියෙනවා. ඉන්දියානු ව්‍යවස්ථාවේ පැහැදිළිව අංකයක් යටතේ වධහිංසාවෙන් තොරවීම දක්වා නැතත් ජීවත් වීමේ අයිතිය 21 වන වගන්තිය යටතේ පිළිඅරගෙන තියෙනවා. ඒ යටතේ ඔවුන් අර්ථකථනය කරලා තියෙනවා වධහිංසාවෙන් තොරවීමත් ඒ හා සමාන අයිතියක් විදිහට.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1978 දෙවන ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 11 වන වගන්තිය පැහැදිළිව පිළිඅරන් තියෙනවා වධහිංසාවෙන් තොරවීම මූලික අයිතිවාසිකමක් විදිහට. මේ තමයි වධහිංසාව පැත්තෙන් තියෙන නීතිමය තත්වය. 11 වන වගන්තියේ 126 වන වගන්තිය සමග එක්ව කියවන විට අපිට අවස්ථාව දීලා තියෙනවා ලංකාවේ පුරවැසියන්ට පමනක් නෙවෙයි ඕනෑම පුද්ගලයෙකුට විධායක හෝ පරිපාලන අංශයකින් වධහිංසාවට ලක්වුවොත් ඒ වධහිංසාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා තමන්ට අවශ්‍ය සහන ලබා ගන්න අවශ්‍ය ප්‍රතිපාදන සලසලා තිබෙනවා. ඊට අමතරව පොලිසියට පැමිණිල්ලක් කරලා ඒ හරහා වධහිංසාවට එරෙහිව නෛතික රැකවරණය ලබා ගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසට පැමිණිලි කරලත් මේ සම්බන්ධව තමන්ට නීතියේ රැකවරණය ලබා ගන්න අවස්ථාව දීලා තියෙනවා.

අපි දන්නවා පහුගිය කාලයේ වධහිංසාව සම්බන්ධයෙන් ලංකාවට තියෙන ඉතිහාසය එච්චර හොඳ එකක් නෙවෙයි. අපි අහලා තියෙනවා මෑත ඉතිහාසයේ 1971 අරගලය, ඒ අවස්ථාවේ ලංකාවේ තරුණ තරුණියන්ට දරුණු ලෙස වධහිංසාවට ලක්වුණා කියන කාරණය රහසක් නොවෙයි. ඉන් පස්සේ 1988-1989 කාලවකවාණුවේදී දකුණේ තිබුණු තත්ත්වය හරහා වධහිංසාව මහාපරිමාණයෙන් සිද්ද වුනාය කියන එකත් රහසක් නොවෙයි. ඒ වගේම තමයි දශක තුනක් පුරා උතුරු නැගෙනහිර පදනම්කර ගත් යුද්ධය නිසාත් වධහිංසාව කියන එක බරපතල ප්‍රශ්නයක් බවට මේ රටේ පත්වුනා. එය ලිඛිතව සාක්ෂි සහිතව තිබෙනවා. අද පවා මහා පරිමාන සිවිල් අරගලයක් රටතුළ දකින්නට නැති වුණත් වධහිංසාව කියන එක බරපතල මානව හිමිකම් කඩවීමේ ප්‍රශ්නයක්. නූතන ජනමාධ්‍ය දිහා බැලුවොත් අපිට පැහැදිළිව දකින්න පුළුවන් කාරණය තමයි දවසකට වධහිංසා සිද්ධීන් දෙක තුනක් වත් වාර්තා වෙනවා මේ වධහිංසාවට කුමන හෝ ආකාරයකින් සම්බන්ධ වන. ඒ වගේම මෙය කායික වධහිංසාව පමනක් නෙවෙයි මානසික හිංසනය පවා වධහිංසාව යටතට ගැනෙනවා. මෙවැනි තත්වයන් පිළිබඳව බහුලව වාර්තා වෙනවා ජනමාධ්‍ය තුළින්. ඒකෙන් පැහැදිළිව කියන්නේ වධහිංසාව කියන එක ලංකාවේ මානව හිමිකම් ක්ෂේත්‍රයේ තවමත් බරපතල වශයෙන් තිබෙන ප්‍රශ්නයක්. තවමත් නොවිසඳුන ප්‍රශ්නයක්.

මේ ප්‍රශ්නය දිහා ජනමාධ්‍ය පැත්තෙන් බලද්දි ජනමාධ්‍ය මේ ප්‍රශ්නය දිහා බලන්නේ කොහොමද කියන කාරණය මෙහිදී මූලික වශයෙන් අපට වැදගත් වෙනවා. මේ වධහිංසාව පිළිබඳ මාධ්‍ය වාර්තා ඇතැම් විට උත්කර්ෂයට නංවනවා. ප්‍රහස්‍යයට ලක් කරලා වාර්තා කරන ස්වරූපයක් දක්නට ලැබෙනවා. මෙය සම්පූර්ණයෙන් වැරදියි. ලංකාවේ ඇත්තටම අපිට කියන්න කණගාටුයි මාධ්‍ය සදාචාරය පැත්තෙන් ගත්තහම ආචාර ධාර්මික මාධ්‍ය වාර්තාකරණය පිළිබඳව තිබෙන ප්‍රවේශය ඉතාමත් පටුයි. කතෘ සංසදය විසින් පුවත්පත් ආචාරධර්ම මාලාවක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. නමුත් ඒ ආචාර ධර්ම මාලාව ලංකාවේ තියෙන ප්‍රධාන පුවත්පත් විසින් පිළිපදිනවද කියන එක බරපතල ප්‍රශ්නයක්. ඒ වගේම විද්‍යුත් මාධ්‍යට අදාළව ලංකාවේ එහෙම කිසිදු ආචාරධර්ම පද්ධතියක් නැහැ. ඒ නිසා මේ ආචාරධර්ම මාධ්‍ය වාර්තාකරණය කියන එකත් බරපතල ප්‍රශ්නයක්. අපි පෙරදී කිවූ වධහිංසාමය තත්වයන් පිළිබඳ වාර්තාකරණයේදී මාධ්‍ය කොහොමද වාර්තා කරන්න ඕන. මේකත් ඉතා ගැඹුරින් අවධානයට ලක්කළ යුතු කාරණයක්. උදාහරණයක් විදිහට කියනවා නම් සමහර අවස්ථා වල අපි දකිනවා යම් පුද්ගලයෙක් වධහිංසාවට ලක් වුනාම ඒ පුද්ගලයාගේ ඡායාරූපය, වධහිංසාවට ලක්වූ ස්වරූපය විස්තර කර මාධ්‍ය වර්තා පල වෙනවා. ඒක කරන්න පුළුවන් ද ? එතනදි අපිට තවදුරටත් හිතන්න කොච්චර කරුණු කාරණා තියෙනවද ? අපි හිතුවොත් කාන්තාවක් වධහිංසාවට ලක් වෙලා ඉන්නවා. ඇයගේ සියලු තොරතුරු ඒ මාධ්‍ය වාර්තා එක්ක පල වෙනවා. ඇගේ ඡායාරූපය, නම නැතත් ලිපිනය සඳහන් වෙනවා. මේ වගේ සිද්ධියක් වුනාම මම නම් විශ්වාස කරන්නේ මාධ්‍ය වාර්තා කරන්න ඕන. මේ වගේ සිද්ධියක් වෙලා තියෙනවා, ඊට අදාළ නීතිමය පසුබිම කුමක්ද ? ඊට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න ඕන, ඒ වාර්තා කිරීම් කරන්න ඕන. එහෙම වාර්තා කළොත් තමයි මාධ්‍ය තුළින් යම් දෙයක් කරලා මේ තත්වයන් වළක්වා ගන්න පූළුවන් වෙන්නේ. නමුත් මෙතැනදී වෙන්නේ වින්දිතයාගේ සම්පූර්ණ ජීවිතයම මේ මාධ්‍ය හරහා තවත් මානසික වධහිංසාවක් බවට පත් කරනවා. කායිකව වධහිංසාවට ලක්වුන පුද්ගලයා මාධ්‍ය මගින් මානසිකව වධහිංසාවට ලක් කරන අවස්ථා අපිට හඳුනා ගන්න පුළුවන්. වධහිංසාවට ලක් වූ අය කව්ද කියන එක මුළු සමාජයටම නිරාවරණය කරලා තියෙනවා. නමුත් අදාළ සිද්ධිය දන්නේ කිහිප දෙනෙක් විතරක් වෙන්න පුළුවන්. නමුත් මාධ්‍ය වාර්තා හරහා ඒක මුළු සමාජයේම දැන ගන්න තත්වය නිර්මාණය වෙනවා. එහෙම වුනොත් ඇයට පාරේ බැහැල යන්න බැරිවෙන්න පුළුවන්. ඒ වගේම ඇයගේ දරුවන්ට පාරේ බැහැල යන්න බැරි වෙනවා. සමහර විට ඇයව වධහිංසාවට ලක් කරපු පුද්ගලයා පවා යම් දඬුවමක් විඳලා යළි සමාජගත වෙන්න ආවොත් ඔහුට පවා යළි සමාජගත වෙන්න ප්‍රශ්නයක් ඇති කරනවා. ඒ නිසා මේ මාධ්‍ය වාර්තාකරණය පිළිබඳව බෙහෙවින් සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන් පෞද්ගලිකත්වයට තියෙන ගරුකිරීම අනිවාර්යෙන් කළ යුතුයි. වින්දිතයන් පැහැදිළිව නිරාවරණය නොකළ යුතුයි. වධහිංසාවට ලක්වන සිද්ධීන් ප්‍රහර්ශයට නංවා වාර්තා නොකළ යුතුයි. කතන්දර ස්වරූපයෙන් වාර්තා නොකළ යුතුයි. වධහිංසාවට අදාළ නෛතික ප්‍රවේශය මොකද්ද ? නෛතික ක්‍රියාමාර්ග ගෙන තිබෙනවද ? ඒවට මොකද වෙලා තියෙන්නේ කියන එක ගැන පැත්තක් මේ හැම වාර්තාවකටම අඩංගු කළ යුතුයි. ඒ හරහා තමයි අපිට වධහිංසාව යනු තුරන් කළ යුතු දෙයක්, මෙය සමාජය විසින් පිළිකුල් කළ යුතු තත්ත්වයක් කියන මතය සමාජය තුළ ගොඩනැගෙන්නේ. මේ සම්බන්ධයෙන් ජනමාධ්‍යයට තියෙන කාර්යභාරය ඉතාමත් සුවිශේෂියි. ඉතාමත් සුවිශාලයි. නමුත් වර්තමාන ජනමාධ්‍ය වධහිංසාව තුරන් කරන්න ඊට එරෙහිව තමන් සතු කාර්යය හඳුනාගෙන තියෙනවද කියන එක මට ප්‍රශ්නයක්. එය සැබෑ ලෙස මාධ්‍ය විසින් හඳුනාගෙන නැහැ. ඒ නිසා වෙලා තියෙන්නේ මාධ්‍යට මේ වධහිංසාව තුරන් කරලා මානව අයිතීන් ආරක්ෂා කිරීමට දක්වන දායකත්වයට වඩා වධහිංසා සිද්ධි වාර්තා කිරීම තුළින් සමහර මාධ්‍ය ක්‍රියා කරන ආකාරයෙන් පෙනෙන්නේ මේ වගේ සමාජයේ තුරන් විය යුතු සංකල්ප පළවා හැරිය යුතු සංකල්ප සමාජය තුළම කැකෑරෙන බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙනවා.

අද වෙනකොට ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නරත වෙලා ඉන්න පුද්ගලයන්ට තියෙන බරපතලම ප්‍රශ්නයක් තමයි මේ ෂක්‍ක්‍ඡඍ පනත. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කියන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක්. අපේ නිරීක්ෂණයන්ට අනුව මේ වන විට ලංකාවේ මාධ්‍යවේදීන් තුළ බරපතල කුකුසක් ඇති වෙලා තියෙනවා මේ ICCPR පනත හරහා තමන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගනීද ? මේ තියෙන නීතිරීති තමන්ට එරෙහිව කොහොම අර්ථකථනය වෙයිද කියලා. උදාහරණයක් විදිහට කියනවා නම් සමහර මාධ්‍ය සිද්ධි තමන්ට ඕන විදිහට වාර්තා කරනවා. තමන්ට මොකක් හරි කියන්න ඕන නම් කවුරුහරි පුද්ගලයෙක් එතෙන්ට දාලා ඒවාට චරිත ආදේශ කරලා තමන්ට අවශ්‍ය කතාව කියනවා. ඒ මාධ්‍ය වාර්තාකරණය නෙවෙයි. මම කතා කරන්නේ ඒ මාධ්‍යවේදීන් ගැන නෙවෙයි. නමුත් මේ වනවිට රටේ තියෙන තත්ත්වයත් එක්ක සමාජ වගකීමකින් මාධ්‍ය වාර්තාකරණයක් කළ යුතු වෙලා තියෙනවා. ආචාරධාර්මිකව මාධ්‍ය කටයුතු වල නිරත වෙන සියලු පාර්ශවවල අදහස් වලට කන් දෙන මාධ්‍යවේදීන් අද වෙනවිට බරපතල ප්‍රශ්නයකට මුහුන දීලා ඉන්නවා මේ ICCPR නීතිය කියන්නේ මොකක්ද කියලා. ඒ නිසා අපේ ස්ථාවරය වෙන්නේ රජය වහාම මේ ICCPR පනත කියන එක යොදා ගන්නේ කුමන තත්ත්වයන් යටතේ ද? මෙය අදාළ වන්නේ කොහොමද ? කියන එක පිළිබඳව අධිකරණ ක්ෂේත්‍රයේත් ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙන්න පුළුවන්, නීතිපතිවරයා වෙන්න පුළුවන් මේ පාර්ශවත් සම්බන්ධ කර ගෙන ඒ වගේම මාධ්‍යයට සම්බන්ධ පාර්ශවත් එක් කර ගෙන පාර්ලිමේන්තුවේ අදාළ ආංශීක කාරකසභා මේ සියලු දෙනා එකතු කරගෙන මාර්ගෝපදේශන මාලාවක් සකස් කරන්න ඕන මේ ICCPR පනත අදාල වෙන්නේ කුමකටද කියලා. නැත්නම් වෙන්නේ මේ ICCPR පනතේ තියෙන යම් ප්‍රතිපාදනයක් අරගෙන එය පොලිසිය විසින් පාවිච්චි කරනවා එහෙම නැත්නම් කවුරු හෝ පෙන්වා දෙනවා මේ යටතේ කටයුතු කරන්න කියලා. ඒ අනුව ඔවුන් තමන්ට අදාල වෙන පුද්ගලයාට විතරක් මේ පනතේ ප්‍රතිපාදන මත කටයුතු කරනවා. මෙතන තියෙන බරපතලම ප්‍රශ්නය තමයි ෂක්‍ක්‍ඡඍ පනත යටතේ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තහම එකට චෝදනා නගන්නේ 3 වන වගන්තිය යටතේ

එම 3 වන වගන්තිය යටතේ චෝදනාවකට ජාතීන් අතර නොසන්සුන්තාවය ඇති කිරීම, ආගම් අතර බේද ඇති කිරීම එහෙමත් නැත්නම් යුදමය තත්ත්වයක් රටතුළ නිර්මාණය කිරීමට දායක වීම ආදී කටයුතු මේකට අදාල කරගන්න පුළුවන්. මේ පනත යටතේ පොලිසිය බි වාර්තාවක් මගින් වැරැද්දක් කරලා තියෙනවා මොහුට විරැද්ධව පරීක්ෂණ කරන්න ඕන, මොහුව රිමාන්ඞ් කරන්න ඕන අපි මේ ගැන පරීක්ෂණ පවත්වන්න ඕන කියලා අධිකරණයට කරුණු වාර්තා කළාම පහළම උසාවිය වන මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නෑ ඇපවත් නියම කරන්න. ඒ නිසා පොලිසිය සමහර විට මේ පරීක්ෂණ කල් ගත වෙන්න පුළුවන්. මාස ගණන් ඇදෙන්න පුළුවන්. ඒ වෙනකල් අර පුද්ගලයාට රක්ෂිත බන්ධානාගාරගත වෙන්න සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් මෑත කාලයේ කෙටිකතාවක් ලියපු ලේඛකයෙක් වන ශක්තික සත්කුමාරගේ අත්අඩංගුවට ගැනීම. ඔහු යම් නිර්මානයක් කරලා තියනවා. ලංකා ඉතිහාසයේ මීට පෙර නීතිය ක්‍රියාත්මක වූ විදිහ තියෙනවා. මේ පිළිබඳව පොලිසිය පැමිණිල්ලක් කරනවා. ආගමික අපහාසයක් වුනානම් දණ්ඩනීති සංග්‍රහය තුළ ඊට අදාළ ප්‍රතිපාදන තියෙනවා. එහෙම නැත්නම් වෙනත් අපහාසයක් වුනානම් ඒකට අදාළ සිවිල් නීතිය තියෙනවා. පොත් තහනම් කරනවා. වාරණ නියෝග ගන්නවා. ඒ ගැන ක්‍රියාමාර්ග තියෙනවා. මේ ක්‍රියාමාර්ග මගහැර ගෙන ගිහිල්ලා ගන්න පුළුවන් නරකම ක්‍රියාමාර්ගය තමයි පොලිසිය ඒ ලේඛකයාට විරැද්ධව අරන් තියෙන්නේ. පොලිසිය විසින් අධිකරණයට කරැණු වාර්තා කරන අවස්ථාවේ ඔවුන් මුහුණු පොතේ දාල තිබුන කෙටිකතාව එය ඉන් ඉවත් කරගෙනත් තිබිලා. පොලිසිය නඩුව දානකොටත් ඒ කොටස ඉවරයි. ඔහුට යම් පිරිසක් පෙන්වා දුන්නාම මෙහි වෙනසක් තියෙනවා. ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා කියලා ඔහු අඩියක් පස්සට තියලා ඒ කතාව එතැනින් ඉවත් කරලා තියෙනවා. එහෙම තියෙද්දි ඒ පුද්ගලයා අරගෙන ඇවිල්ලා අධිකරණයට කරුණු වාර්තා කරනවා ඒ අනුව පොලිස් පරීක්ෂණ මාස ගණනාවක් ඇදන් ගියා. ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ. අපි අද වෙන විදිහකට ගත්තොත් සමාජ මාධ්‍යයේ ආගම් අතර වෛරය පතුරුවන ප්‍රකාශ තියෙනවද, ආගමික නායකයින්ට අපහාස කරන ප්‍රකාශ තියෙනවද ? ඇත්තටම සමහර ප්‍රකාශ කරන්නේ ආගමික නායකයින්. රටෙ දේශපාලනඥයන්, ඔවුන්ට කෙසේද නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ. ලේඛකයන්, ජනමාධ්‍යවේදීන්, මානව හිමිකම් ගරැකරන පිරිස් වලට සාධාරණව මේ ප්‍රශ්නය දිහා බලන ඕනෑම පුරවැසියෙක් තුළ ප්‍රශ්නයක් ඇති වෙනවා මොකක්ද මේ වෙන්නේ කියලා. ඔහු මාස 3ක් බන්ධනාගාරගත වෙලා ඉන්නවා. තව පිරිසක් තවදුරටත් ඒ ප්‍රකාශ කරමින් යනවා. ඉතින් මේ ICCPR නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳව ඉතාම බරපතල ප්‍රශ්නයක්. එය සමස්ථ සමාජයේම තියෙන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අනියමාර්ථයෙන් පාලනය කරන තත්ත්වයක්. ඒ වගේ නීතියක් තියෙන කොට මිනිස්සු තමන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කරන්නේ නැහැ. මෙය එක්තරා ආකාරයක සමාජයම වෙලා ගත්ත වාරණයක් විදිහටයි මම දකින්නේ. වර්තමාන රජයෙන් මාධ්‍ය නිදහස පිළිබඳ සාධාරණ ප්‍රවේශයක් තිබුනා. පසුගිය කාල සීමාව තුළ කිසිම මාධ්‍ය වේදියෙක් ඝාතනයට ලක් වුනේ නැහැ. එය හොඳ තත්ත්වයක්. අපිට ඕන වඩාත් හොඳ මාධ්‍ය නිදහසක් මිසක පෙරට වඩා හොඳ තත්ත්වයක් නොවෙයි. මිනිස්සුන්ට අදහස් ප්‍රකාශ කිරීමේදී බියෙන් සැකෙන් තොරව අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙන්න ඕන. වහාම ඉදිරිපත් වෙලා මේ රජය මෙය නිවැරදි කළ යුතුයි. නැත්නම් මෙය මුළු රටම වෙලාගත් දැවැන්ත ප්‍රශ්නයක් බවට පත් වෙනවා.

ඒ වගේම මේකට අදාල තව ප්‍රශ්නයක් තියෙනවා. ICCPR පනත කියන්නේ මානව හිමිකම් විශ්ව ප්‍රකාශනයෙන් හඳුන්වා දුන් මානව අයිතිවාසිකම් බලගැන්වීම සඳහා ඇතිකර ගත් යාන්ත්‍රණයක්. මානව අයිතිවාසිකම් බලගන්වන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන්න ඇති කරගත්ත පනතකින් දැන් වෙන්නේ මානව අයිතිවාසිකම් බලගන්වන හැක. මේ නව ICCPR කියන නම ලෝකය පුරා මානව අයිතිවාසිකම් ගරු කරන සියලු දෙනාගේම ඉතා ඉහළින් අගය කරන නමක්. ඒ නම පවා අද වන විට ලංකාවේ අවභාවිතා වෙනවා කියලා තමයි මගේ නිරීක්ෂණය.



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.