English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
බොහෝ චක්‍රලේඛ නිකුත් කර ඇත්තේ ගුරුවරුන්ට නොව, ජාත්‍යන්තරයටය. - ජෝශප් ස්ටාර්ලින්
(2019-08-19)

<< Go Back
Share |   


වදහිංසාව සම්බන්ධයෙන් අප කථා කිරිමේදී පාසල් දරුවන්ට ඊට ඇතුලත් වන බව අප අමතක නොකළ යුතු කරුණකි. එහෙයින් අප මේ සම්බන්ධයෙන් අප අත්දැකීම් බහුල පුද්ගලයෙකු වු ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතාගෙන් තොරතුරු විමසා සිටියෙමු.

පාසලක් තුලට ශාරීරික -මානසික දඬුවම් අවශ්‍යද?

අද පාසල් වල ශාරිරික දඬුවම් වැඩි වෙමින් පවතියි. මම හිතන විදිහට ළමයින්ට ශාරිරික දඬුවම් අවශ්‍ය නැත. මීට පෙර ඉතිහාසය පුරාම කියලා තිබුන දෙයක් වන්නේ ළමයින්ට දඬුවම් නොකළ යුතු බවය. රැපියල් තෙන්නකෝන් වගේ කවියන් මෙය පවසා තිබුණා. අධ්‍යාපනය ආරම්භ කළ අවධියේ සිටම පැවතියේ දරුවන්ට දඬුවම් කිරිම වැරදි යන්නය. අද මානව හිමිකම් සුරකින සංස්කෘතියක් තුල මේ වනවිට පාසල් පද්ධතියේ ශාරිරික දඬුවම කෙලින්ම ප්‍රතික්ෂේප කර තිබේ. 2015 සිට නිකුත් කල චක්‍රලේඛ වල, දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වෙලා තියෙන්නේ ළමයින්ට ශාරිරික දඬුවම් කිරිමෙන් වැලකී සිටින ලෙසටය. නමුත් බොහෝ චක්‍රලේඛ නිකුත් කර ඇත්තේ ගුරුවරුන්ට නොව, ජාත්‍යන්තරයටය.

12-2016 කියන චක්‍රලේඛය ශාරිරික දඬුවම් සම්බ්න්ධයෙන් නිකුත් කරනු ලැබුයේ GSP+ සහනය ලබා ගැනිමටය. මෙම චක්‍රලේඛයේ පළමු පිටපත යවා ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වෙතය. ඊළඟට ඇත්තේ ජාතික ප්‍රතිපත්ති හා සංවර්ධන කටයුතු අමාත්‍යාංශය, සංවර්ධන උපායමාර්ගික හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශයටය. ඒ අනුව මෙය යොමු කර ඇත්තේ ගුරුවරුන්ට නොවන බව පැහැදිලිය. ගුරුවරුන්ට මෙම චක්‍රලේඛය දි ඔවුන් අතර මෙය ක්‍රියාත්මක කරනවා වෙනුවට මෙහි සිදු කර ඇත්තේ මෙරට යහපැවැත්මක් ඇති බවට ඒත්තු ගැන්වීමට මෙකී චක්‍රලේඛ ජාත්‍යන්තරයට යැවිමය.

ඒ වගේම මානසිකවත් දඬුවම් කරන්න බැහැ. දඬුවමෙන් දරුවා යහ මගට යැවිමට හැකියාවක් නැත. දරුවෝ යහමගට යවන්න නම් ඔවුන්ට නිසි අධ්‍යාපනයක් දී යහපැවැත්මක් ඇති කල යුතුව ඇත. එසේ නොමැතිව ශාරිරිකව හෝ මානසිකව දඬුවම් කරලා දරුවන්ගේ අධ්‍යාපනය ඉහල නංවන්න හෝ යහ පැවැත්තම නිවැරදි කල නොහැකිය. එය අපි දැඩිව ප්‍රතික්ෂේප කරන අතර එසේ යමෙක් කරන්නේ නම් ඊට එරෙහිව කටයුතු කිරිමටද අප සුදානමින් සිටියි.

දරුවෙකුට පාසල තුලදි යම් දඬුවමක් ලබා දෙන්නේ නම් එය කළ යුතු ආකාරය පිලිබඳ යම් පනතක් -චක්‍රලේඛයක් තිබෙනවාද?

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඇති සියලුම චක්‍රලේඛ වල ඇත්තේ ශාරිරික දඬුවම් ලබා දිය නොහැකි බවය. පාසල තුල විනය ආරක්ෂා කිරිමට චක්‍රලේඛ තිබේ. අවසානයට නිකුත් වී ඇත්තේ  2016 -12 යන චක්‍රලේඛයයි. මෙහිදී පැහැදිලිව සඳහන් කර ඇත්තේ ළමයින්ට දඬුවම් කල නොහැකි බවය.

මේ ආකාරයට ලබා දෙන දඬුවම් සීමා කලොත් පාසලේ විනය පිරිහෙනවාද?

විදේශයේ දරුවන්ට පහර දෙන්නේ නැත. අපි දරුවන්ට ආදරය කිරිම අවශ්‍යය. පාසල් පද්ධතියේ අධ්‍යාපනය තුල ළමයාගේ යහපැවැත්ම වෙනුවෙන් කිසිම දෙයක් නැත. අධ්‍යාපනයේ ප්‍රතිපත්තියක් නැත. අධ්‍යාපනය කියා මේ රජය අද ගෙන යන්නේ ටැබ් දෙන එක හා 13 වසරක අධ්‍යාපනය වේ. නමුත් ඔවුන් කිසිලෙසකින් ළමයාගේ සංවර්ධනය පිලිබඳ කථා වෙන්නේ නැත. අප පාසල් පද්ධතියේ උපදේශන ක්‍රියාවලිය ශක්තිමත් කල යුතුව ඇත. දරුවන්ගේ දැනුම, ගුරුවරුන්ගේ දැනුම යාවත්කාලින කරන ක්‍රම ශක්තිමත් කල යුතුය. ඒවා කරන්නේ නම් මේවා අවශ්‍ය වන්නේ නැත. දඬුවම ඇත්තේ යල්පැන ගිය පන්ති කාමර, යල්පැන ගිය පාසල් පද්ධති තුලය. නමුත් අද ලෝකය කථා කරන්නේ බිත්ති නැති පන්ති කාමර පිලිබඳවය. ලෝකයේ අධ්‍යාපනය එවැනි දියුණු තැනකට යනවිට අප පමණක් අහුරපු පන්ති කාමර තුල සිට දරුවන් පිඩාවට පත් කල යුතු නැහැ. ඒ නිසා  දඬුවම අවශ්‍ය දෙයක් නොවන බව අප විශ්වාස කරනු ලබයි.

ගුරු සංගම් තුල මේ සම්බන්ධව ආචාරධර්ම පද්ධතියක් තිබේද?

දඬුවමට විරුද්ධ බව අප ගුරු සංගමයේ සාමාජිකයෝ සියලු දෙනා දනිති. ඉකුත් කාලයේ කුරුණෑගල ප්‍රදේශයේ ගුරුවරියක් දරුවෙකුට පහර දී වසර හතක් හිරේට ගියාය. සමහර ගුරු සංගම් විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ගුරු සංගම් අර ගුරුවරිය වෙනුවෙන් උද්ඝෝෂණ කලහ. නමුත් තවමත් ඇය සිටින්නේ හිරේය. අපි සිටින්නේ එැවැනි මතයක නොවේය. අපගේ මතය වන්නේ ගුරුවරුන් එවැනි තත්ත්වයට වැටීම වැලැක්විමය. අද ගුරුවරයෙක් ළමයෙකුට දඬුවමක් කළ  විට ඒ මව හෝ පියා, දරුවා පැමිණිලි කල විට එකී පැමිණිල්ල ස්වාධිනව පරික්ෂන ක්‍රමවේදයක් නැත. ඊට අධ්‍යාපන අමාත්‍යාංශයේ යාන්ත්‍රණයක් නැත. යම්කිසි ලෙසකින් ළමයෙකුට දඬුවම් කල විට ඒ දඬුවම සම්බන්ධයෙන් දෙමාපියන් ප්‍රශ්න කරන විට ඒ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින් මධ්‍යස්ථව ගුරුවරයා, ළමයා, විදුහල්පති, ඒ පහර දීපු අය සම්බන්ධයෙන් මධ්‍යස්ථ තැනකින් පරික්ෂණයක් කෙරෙන්නේ නැත. පරික්ෂණය කෙරෙන්නේම දරුවාට එරෙහිවය. ඒ ගුරුවරයා බේරා ගැනිමටය. එසේ කිරිම නිවැරදි වන්නේ නැත. අද අධ්‍යාපන පද්ධතියට අවශ්‍ය දෙමාපියන්ට විශ්වාස තැබිය හැකි යාන්ත්‍රණයකි. එනම් පැමිණිල්ලක් ලැබු විට පරික්ෂා කර දෙමාපියන්ට යුක්තිය ඉටු විය එකකි. එසේ නැති වු විට දෙමාපියන්ට නීතියට යාමට සිදු වේ. අද පොඩි සිද්ධියකට වුවද පොලීසී යන තත්ත්වයක් පැන නැගි ඇත්තේ හෙයිනි.

පාස්කු ප්‍රහාරයෙන් පසුව මුස්ලිම් ගුරුවරියන්ට හා සිසුවියන්ට විවිධ ගැටලු වලට මුහුණ දීමට සිදුවිය. ඇතැම් විට ඔවුන්ගේ මුලික අයිතිවාසිකම් පවා උල්ලංඝනය විය. මෙය ඔබ දකින ආකාරය

මේ සිදු වු සිදුවීම් අපි දැඩි ලෙස හෙළා දකින්නෙමු. අධ්‍යාපන පද්ධතිය තුල සහජීවනය ඇති කිරිමට සිදුව ඇති බව මෙයින් පෙනී යන කරුණකි. අද අධ්‍යාපන පද්ධතිය තුල ගුරුවරුන්, නිලධාරින් තුල සහජීවනය, සංහිඳියාව ඇති කරවීම සම්බන්ධ ආකල්ප වලින් වැඩ කල යුතුව ඇත. අද අධ්‍යාපනයේ සාම අධ්‍යාපන නමින් ඒකක ඇත. ඒවා සල්ලි කන තැන් ලෙස මා දකිමි. ඔවුන් ළමයින්ට යහපතක් කිරිම පිණිස කිසිදු දෙයක් කරන්නේ නැත. අපි ඉකුත් කාලයේ ඇතැම් ගුරුවරුන් දරුවන්ට කළ අඩත්තේට්ටම් පිලිබඳ අප පළාත් කාර්යාල වලට පවා පැමිණිලි කලෙමු. මේවා නිවැරදි විය යුතුව ඇත. එහෙයින් අප අධ්‍යාපන ඇමතිවරයාගෙන් මෙන්ම ලේකම්වරයාගෙනුත් ඉල්ලා සිටිනුයේ යම් චක්‍රලේඛයක් හෝ නිකුත් කර සහජීවනය ඇති කරවීමට කටයුතු කරන ලෙසය.

එදා සිට අද වෙනතුරු අධ්‍යාපනයේ ඊළාම් අරගලයක් තිබුණි. යුද්ධ තිබුණි. මේ සියලු අවස්ථාවන්හිදි ජාතීන් අතර ඇති විරසකයන් නැති කර සහජීවනය ඇති කරවීමට අධ්‍යාපන අමාත්‍යාංශයට මුදල් වෙන් වී තිබුණත් ඉන් කිසිදු ප්‍රයෝජනයක් ලැබි නොමැති බව මෙම පීඩාවන් නිසා පෙනී යන කරුණකි. එහෙයින් දැන්වත් අධ්‍යාපන බලධාරීන් මෙම තත්ත්වය වෙනස් කල යුතුව ඇත. මේ ආකාරයට වාර්ගිකව සිතන පුද්ගලයින් අධ්‍යාපන බලධාරින් තුලද සිටින බැවින් මොවුන්ට අපක්ෂපාති ලෙස සියලු දෙනාගේ මානව හිමිකම් රැකිය යුතුයි කියන ආකල්පයෙන් කටයුතු කරන තත්ත්වයට ඔවුන් ගෙන ආ යුතුය. මේ සඳහා රජය මැදිහත් වී කටයුතු කල යුතු අතර, එය රජයේ වගකීමකි.

 -ශානිකා මාධවී පීරිස්-

Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.