English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ලෝක ආගමික අන්තවාදය හා ලංකාව - ආචාර්ය ශාන්ත ප්‍රේමවර්ධන දේවගැතිතුමා
(2019-08-14)

<< Go Back
Share |   


ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් පවතින ආගමික අන්තවාදය හා මානව හිමිකම් ක‍්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් කරුණු විමසිමට අප මෙවර සම්බන්ධ කර ගනු ලැබුයේ ඇමරිකාවේ, චිකාගෝ වෙසෙන ඔම්නියා සන්දර්භීය නායකත්ව ආයතනයේ සභාපති ගෞරව ආචාර්ය ශාන්ත ප්‍රේමවර්ධන දේවගැතිතුමාවය. මේ එහිදි ඔහු පළ කළ අදහස්ය.

ජාත්‍යන්තර මට්ටමෙන් මේ වනවිට මානව හිමිකම් සංවර්ධනය වෙමින් පවතිනවා. ඒවා පුද්ගල සංවර්ධනයට බල පා තිබෙන්නේ කෙසේද?

මානව අයිතිවාසිකම් පිලිබඳ විශ්ව ප‍්‍රකාශනයක් ඇති වුයේ 1948 දිය. ලෝකයේ බොහෝ රටවල් එකතු වී මානව අයිතිවාසිකම් සඳහා එකඟත්වයක් ඇති විය යුතු බව ප‍්‍රතිඥා දුන්නා. මේ ප‍්‍රතිපත්ති අපට ඉතාමත් වැදගත් විය. යම් ආකාරයකින් අපගේ මානව අයිතිවාසිකම් මැනිය අවශ්‍ය නම් එකී ප‍්‍රකාශය අනුව කටයුතු කිරිම අපට බොහෝ වැදගත් විය. නමුත් බොහෝ රටවල් වල මානව අයිතිවාසිකම් උල්ලංඝනය විය. එසේ වු විට එකී රජයන් වලට පවතින බලය නිසා මානව අයිතිවාසිකම් පිලිබඳ තකන්නේ නැත. නමුත් අවට රටවල් එවිට සිතන්නේ අප කෙසේද මොවුන් සමඟ කටයුතු කළ යුත්තේ යන්නය. එහෙයින් මානව අයිතිවාසිකම් පොදු ප‍්‍රකාශනයක් තිබීම අතිශයින් වැදගත්ය. පුද්ගල අයිතිවාසිකම් ඇති නමුත් ඒවා පැමිණෙන්නේද මෙම රටාව තුලිනි. අප පුද්ගලික අයිතිවාසිකම් ගැන කථා කරන්නේද එසේ ඇති බැවිනි.  යම් රජයේ බලධාරින් ඒවා පිලිබඳ නිසියාකාරව ක‍්‍රියා නොකිරිම නිසා ඇතැම් විට පුද්ගලික අයිතිවාසිකම්  උල්ලංඝනය වන අවස්ථාද ඇත. නමුත් අප රටේ අයිතිවාසිකම් පිලිබඳ අධිකරණයද කරුණු යොමු කරන බැවින් අපගේ පුද්ගලික අයිතිවාසිකම් කඩ වීම අඩුය. නමුත් යම් යම් කාල වලදී උල්ලංඝනය වන අවස්ථා ඇති අතර එහිදි අපට හිරිහැර විඳීමට සිදු වේ.

අප රටේ ඇතැම් ආගමික නායකයින් විසින් මානව හිමිකම් බටහිර ව්‍යාපෘතියක් සේ සලකා කථා කරන අවස්ථා තිබුණි. ඒ පිලිබඳ ඔබේ අදහස?

මානව හිමිකම් අපට අවශ්‍ය වන්නේ ලෝකයේ රටවල් අතර ඇති එකඟත්වය නිසාවෙනි. නමුත් ඇතැම් විට මෙම එකඟත්වයට තර්ජනයන් ඇති වේ. අපි සැවොම ඒ පිලිබඳ එකම විදිහට සිතන්නේ නැත. මෙහිදි මාගේ මතකයට නැගෙන්නේ කාන්තාවන්ට සමතැන ඉල්ලා සිටි අවස්ථාවය. කාන්තාවන්ට සමතැන ලබා දීමට බොහෝ රටවල් එකඟත්වය පළ කරද්දි අරාබිය වැනි රටවල් වලින් ඊට විරෝධයක් මතු විය. යම් රජයක හෝ යම් බලසම්පන්න පිරිසක් අතින් එසේ මානව හිමිකම් කඩවිමේදි ඔවුන් නිදහසට කරුණු ලෙස පවසා සිටින්නේ “ඕවා බටහිර දේවල්නේ” යනුවෙනි. එහිදි ඔවුන් ඊට තර්ජනය කරන්න පෙළඹේ.

වධහිංසාව හා අවමන් සහගත ලෙස සැලකිම ඇතැම් විට මේ සමාජය අනුමත කරන තත්ත්වයකට පත්ව තිබේ. එය දකින්නේ කුමන ආකාරයටද?

මිනිසුන්ට වධහිංසා කරන එක මානව අයිතිවාසිකම් වලට එරෙහිව යන එකකි. මොන තරම් සමාජයේ, රටේ අදහස් තිබුණත් අපි දැඩි හිංසා කරලා මිනිසුන්ගෙන් යම් යම් දේ දැන ගන්න ඕනේ කියලා අදහස් එන්නේ ඔවුන්ට හරියාකාරව තොරතුරු ලබා ගැනිමට නොහැකි වු විටය. නමුත් මෙහිදි අප සමාජයක් ලෙස එකඟ විය යුතු වන්නේ කවරෙකුගේ වුවද මානව අයිතිවාසිකම් වැදගත් බව සලකමිනි. අද මොහුට මෙය වුණානම් හෙට අපට මෙය සිදුවිය හැකිය යන්න අප අවබෝධ කර ගත යුතුය.

දෙවැනි ලෝක යුද සමයේ එක් දේවගැතිවරයෙකු පවසා සිටියේ කොමියුනිස්ට්කාරයින් සෙවීමට පැමිණි විට මා ඒ ගැන කථා නොකළේ මන්ද, මා කොමියුනිස්ට්කරුවෙකු නොවන නිසා බවය. වෘත්තිය සමිතිකරුවන් ආ  විට මා කිසිවක් නොපැවසුයේ මා වෘත්තිය සමිතිකරුවෙකු නොවන නිසාය. යුදෙව්වන් සෙවිමට පැමිණි විට මා කිසිවක් නොකිවේ මා යුදෙව්වෙක් නොවන නිසාය. ඒ විදිහට එක එක මිනිස්සු අල්ලන ආවත් මම ඒකට මොකුත් කිව්වේ නැත්තේ මා ඒ කිසිවෙකු නොවන බැවිනි. නමුත් අවසානයේ ඒ අය මා අල්ලන්නට පැමිණි විට කවුරුත් සිටියේ නැත මා බේරා ගැනිමට.  මන්ද රෑ ඊට පෙර සියලු දෙනාවම ගෙන ගොස් තිබු බැවිනි. අන්න ඒ තත්ත්වයට අප පැමිණිය යුතු නැත. හැමෝගෙම අයිතිවාසිකම් රැකුනහොත් අපට සමාජයක් ලෙස හොඳීන් සිටිය හැකි වේ.

එය වළක්වා ගැනිමට නම්

ආගම් වල ඇති වැදගත්කම අප සදාචාරාත්මක ලෙස හැසිරවිමය. අපගේ ඇතැම් මානුෂිය ගති ප‍්‍රචණ්ඩත්වයට නැඹුරුය. නමුත් ආගමේ සඳහන් වන්නේ ඒවා නිසියාකාරව නිසි තැනට යොදා ගත යුතුය යන්නය. ආගමට ඇතැම් බාහිර බලපෑම් පැමිණි විට ආගමේ ඇති ඇතැම් මුලධර්මයන් වියැකි යා හැකිය. එහෙයින් ආගමික නායකයින් මෙන්ම සියලු දෙනාම ඒ පිලිබඳ අවධානයෙන් සිටිය යුතු විම වැදගත්ය.

ආගමික අන්තවාදය යන්න?

හැම ආගමකම හොද පැත්තක් තිබේ. ඒ වගේම අන්තවාදි පැත්තකුත් ඇත. මේවා ඇතිවන්නට ප‍්‍රධාන හේතුවක් වන්නේ බාහිර බලපෑම් ආගමට ඇතුල් විම නිසාය. ඇතැම් විට ඒවා දේශපාලන හෝ මුදල් පිලිබඳ බාහිර බලපෑම් විය හැකිය. කෙසේ නමුදු සෑම ආගමකම අන්තවාදයට යන පිරිසක් සිටින බව අප අමතක නොකල යුතුය. මන්ද ඔවුන්ගේ බලය නිසිලෙස ලබා ගත යුතු බැවිනි. මෙම අන්තවාදය ප‍්‍රචණ්ඩත්වයට හෝ හිංසාකාරිබවට පෙරලුනහොත් එය ඉතාම භයානක වේ. එසේ වු විට අපට පෙනෙන්නේ බෝම්බ ගසන ඒවා හෝ වෙඩි තබන ඒවාය. නැතහොත් ගිනි තබන ඒවාය. මෙසේ වන්නේ අන්තවාදය අන්තයටම ගිය විටදිය. මෙය වැලැක්විම සඳහා පෙරමුණ ගත යුතු වන්නේද ආගමික නායකයින්ය. එහිදි ඔවුන් ප‍්‍රවේශම් විය යුත්තේ මෙය හසුරුවන ආකාරය පිලිබඳවය. බුද්ධාගමේ වේවා, කතෝලික වේවා සියලු ආගම් වල හොඳ ප‍්‍රතිපත්ති ඇත. නමුත් ඉතා සුලු පිරිසක් ප‍්‍රචණ්ඩත්වයට යොමු වූ විට එය මුලු ආගමටම බලපෑම් කරවනු ලබයි. මේ දිනවල මුස්ලිම් වැසියන්ට සිදුව ඇත්තේ එයය.

ලංකාවේ අන්තවාදය

මේ බව අපට පෙනී ගියේ ඉකුත් අප්‍රෙල් 21 දාය. මේවා ඇතිවන්නට හේතුව විදේශයෙන් පැමිණි බලවේගය. ශත වර්ෂ හතර හමාරක් පුරා අධිරාජ්‍යවාදය තිබු අතර, මෙය අප ඉතිහාසයේ ඉතාමත් අසිරු යුගයක් විය. වර්තමානයේද ඇතැම් පුද්ගලයින් උද්ඝෝෂණ ඇති කර බුද්ධාගමේ අන්තවාදයක් ඇති කරනු ලබයි. නමුත් මේ බව වටහාගෙන නිවැරදිව මඟ පෙන්වීම බෞද්ධ නායකයින්ගේ යුතුකමකි.

මේ අන්තවාදයට අප පිළිතුරු දිය යුත්තේ කෙසේද?

ගම්වල නැගී එන ප‍්‍රශ්න සන්දර්භීයව නිරාකරණය කර ගැනිමට අපට හැකි විය යුතුව ඇත. අප සියලු ආගම් නියෝජනය කරමින් සන්දර්භික සාමකාමි සමුහයක් ඇති කල යුතුය. එහිදි ගමේ, නගරයේ ඇති වන ප‍්‍රශ්න විසඳීමට ඔවුන්ට හැකියාව තිබිය යුතුය. ආගමික අය එකතු වු විට යමක් හරියාකාරව කර ගැනිමේ හැකියාව ඇත. මේ ගැන අප ඔවුන්ට මනා වැටහිමක් ලබා දිය යුතුව ඇත. බලය ඇති තරමට අප ක‍්‍රියා කළ යුතුව ඇත.

-ශානිකා මාධවී-

Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.