English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
අධිකරණ වෛද්‍ය වාර්තා තක්සේරු වල මානසික වධහිංසනය ඇතුලත් විය යුතුයි! - වෛද්‍ය තාරක ප්‍රනාන්දු
(2019-08-12)

<< Go Back


අධිකරණ වෛද්‍ය වාර්තා තක්සේරු වල මානසික වධහිංසනය ඇතුලත් විය යුතුයි! - වෛද්‍ය තාරක ප්‍රනාන්දු

වධහිංසාව ගත් කල්හි එය ශාරිරිකව මෙන්ම මානසිකවද සිදු වේ. අප බොහෝ විට කථා කරන්නේ ශාරිරික වදහිංසාව පිලිබඳව පමණි. නමුත් මානසික වදහිංසාව පිලිබඳව මෙහිදි අපට අමතක කළ නොහැක. එහෙයින් මේ පිලිබඳව අප අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යාතනයේ අධිකරණ මනෝ වෛද්‍ය විද්‍යාව සම්බන්ධ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරි වෛද්‍ය තාරක ප්‍රනාන්දු මහතා සමග සාකච්ඡා කලෙමු. මෙම ලිපිය ඒ ඇසුරෙන් සැකසුණි.

බන්ධනාගාරය තුල සිදු වන වදහිංසාව

බන්ධනාගා අතුරින් ප්‍රධාන බන්ධනාගාරය වන්නේ වැලිකඩ බනධනාගාරයයි. එහි තාප්පයේ කරුණු දෙකක් සටහන් කර තිබේ. එනම් සිරකරුවෝද මනුෂ්‍යයෝය යන්න සහ බන්ධනාගාර ලාංජනය හා එහි ආදර්ශ පාඨයයි. එහි ආදර්ශ පාඨය වන්නේ රැකවරණය, ආරක්ෂාව හා පුනරුත්ථාපනය (Custody Care Correction) යන්නයි. නමුත් ප්‍රායෝගිකව මා දන්නා දේ වන්නේ දරා ගැනිමට නොහැකි සිරකරුවන් ප්‍රමාණයක් බන්ධනාගාරය තුල සිටින බවය. එමෙන්ම ඔවුන්ව අධිකරණ වලට ගෙන යාමේදි විශාල නිලධාරි හිඟයක් ඇත. එමෙන්ම පුහුණු සම්බන්ධයෙන් ගැටලු ඇත. ඒ නිසා බන්ධනාගාර නිලධාරින්, සුබසාධක නිලධාරින් හා සිරකරුවන් අතර ගැටලු පැන නැගේ. මා දකින ආකාරයට ඊට ඇති හොඳම, සුදුසුම දේ වන්නේ සහයෝගයෙන්, අවබෝධයෙන් යුක්තව වැඩටික කර ගැනිමට ඔවුන්ට පුහුණුවක් ලබා දිමය.

බන්ධනාගාරය ඇතුලේ සිදුවිම් සිදුවිය හැකිය. නමුත් එහි දෙපැත්තක් තිබේ. ඒ සිරකරුවාගේ පැත්තෙන් සහ නිලධාරියාගේ පැත්තෙනි. මා දකින ආකාරයට නම් බන්ධනාගාරය තුල මෙම දෙපාර්ශවයම වින්දිතයන් වි තිබේ. ඒ නිසා එසේ සිතා කටයුතු කළහොත් මෙය විසඳා ගත හැකිය.

දෙපාර්ශයවම වින්දිතයන් වන්නේ කෙසේද?

නිලධාරින් පැත්තෙන් ගත් කල ඔවුන් රාජකාරි කිරිමේදි ඇති වන ආතතිය නිසා මානසික පිඩාවට පත් වේ. වැඩ කරන්න සිටින්නේ සීමිත නිලධාරින් ප්‍රමාණයකි. ඉඩකඩ අඩුය. ඔවුන්ගේ පළමු රාජකාරිය සිරකරුවන්ව අධිකරණය වෙත රැගෙන යාමය. ඔවුන්ට රාජකාරිය තුල ඉටු කිරිමට ඉලක්ක තිබේ. ඒවා දරා ගැනිමට නොහැකි වු විට ඔවුන් පීඩා විඳිනු ලබයි. මෙහිදි බන්ධනාගාර  අරමුණ වු ආරක්ෂාව හා පුනරුත්ථාපනය සිදුවන්නේ නැත. මොවුන් රැකවරණය හෙවත් (Custody) යන වචනය තුල සිර විමට සිදු වේ. ඉන් එහාට ගමන් කිරිමට ක්‍රමවේදයක් සකස් කර ගත යුතවු ඇත.

ඒ වෙනුවෙන් කළ හැකි දේ

අපරාධ නැත්තනම් වැරදි කරන පුද්ගලයින්ගේ මානසිකත්වය හඳුනාගත යුතුව ඇත. ඔවුන් අපරාධයක් කිරිමට පෙළඹෙන මුලික හේතු සොයා බැලිය යුතුය. එවැනි පුද්ගලයින්ට දඬුවම් පැමිණවිම තුලින් විශෝධනයක් කරන්නේ කෙසේද යන්න අවධානය යොමු කල යුතුය. බන්ධනාගාරයෙන් එළියට නැවත පැමිණිය යුත්තේ හැදුනු වෙනස් පුද්ගලයෙකු ලෙසිනි. එසේ නොමැතිව දඬුවම පමණක් ක්‍රියාත්මක කිරිම තුලින් විශෝධනයක් ඇති වන්නේ නැත. ඇතැම් විට මෙයින් අපරාධ වැඩි විය හැකිය. කිසිදු දෙයක් නොකර මනස අපරාධ කිරිම ඉගෙනිමට මෙහිදි යෙදවිය හැකිය. ඊට හැකියාව ඇති පිරිසක්ද සිටිති. එමෙන්ම තරහ, කෝපය ඇති වුවහොත් මනස ක්‍රියා කරන්නේද එදෙසටය. ඒ නිසා මෙකි කරුණු ආපිට හැරවිය හැකිය. බන්ධනාගාරයේ ඇයි ඉන්නේ කියන එක ගැන අදහසක් දිම, කළ අපරාධය පිලිබඳ පශ්චාත්තාපයක් ඇති කරවිම, මම වෙනස් විය යුතුයි කියලා හැඟිමක් දිම, සුහදව කටයුතු කිරිමට හැඟිමක් දිම යන්න ආදිය දෙපැත්තෙන්ම සිදු විය යුතුව ඇත. එසේ නොමැතිව බන්ධනාගාරයේ දෙපාර්ශවයම කා කොටා ගැනිමේ මානසිකත්වයකින් සිටිම නුසුදුසුය.

දඬුවම සහ විශෝධනය

දඬුවම් විවිධ ආකාරයෙන් තිබේ.උදාහරණයක් ලෙස දික්කසාද වි වන්දි ගෙවිමට නොහැකි වු විට පුරුෂයා සිර ගත කරනු ලබයි. එහිදි මහජනතාවගේ මුදලින් මොහුට කන්න, බොන්න දෙමින් පෝෂණය කරනු ලැබේ.

නමුත් ඇතැම් රට වල එවැනි සැකකරුවෙකුව අධික්ෂණයක් මත එළියේ තබා ඔහුට වැඩ කර මුදල් ඉපයිමට අවස්ථාවක් ලබා දේ. එම මුදල් සිය බැංකු ගිණුමට ආ පසු රජයට ගාස්තුවක් ගෙවිය යුතුව ඇත. මෙයින් පුද්ගලයාත් වින්දිතයාත් සන්තෝෂයට පත් වේ. එබැවින් අප දඬුවම් ක්‍රමවේදය ගැන සිතා බැලිය යුතුව ඇත. මන්ද ? දඬුවම් ක්‍රමවේදය රටක ඇති නීතිය ක්‍රියාත්මක විමකි. මෙහිදි නීතියේ වෙනස්කමක්ද අවශ්‍ය කර තිබේ. මේ සඳහා ජාත්‍යන්තර උදාහරණ ගත හැකිය. මෙහිදි නැවත වැරදි කිරිමේ ප්‍රතිශතය අඩු විමේ දේවල් ගැන අප අවධානයට ලක් කල යුතුය.

වරදක් කළ විට දඬුවම දණ්ඩන නීතිද?

සමහර පුද්ගලයෝ නීතිය නොතකා ක්‍රියාත්මක වේ. මේ පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක නොවන බවක් මහජනතාවට පෙනෙන හෙයින් ඔවුන්ට නීතිය පිලිබඳ වෙනස්කමක් ඇති විය හැකිය. නීතිය ක්‍රියාත්මක විමේදි ව්‍යුහාත්මක වෙනසක් අවශ්‍ය කරන්නේ එබැවිනි. එමෙන්ම දේශපාලනයේ හා බලධාරින් අතරද, මේ සම්බ්නධයෙන් ගරුත්වයක් තිබිය යුතුය. මේ සියල්ල එක් වු විට එක කොටසක් වේ. එමෙන්ම දඬුවමෙන් සියලු දේ නිවැරදි වන්නේ නම් මරණ දඬුවම වැඩිපුරම ක්‍රියාත්මක වන රටවල් වලත් අපරාධ සියල්ල නැති වී යා යුතුය. එසේ නොමැතිව සමාජය බිය ගැන්විමෙන් සියල්ල කල නොහැකිය. ස්වීඩනය වැනි රටවල් දණ්ඩනය හොඳින්ම භාවිතා කරනු ලබයි. අපරාධය කරපු පුද්ගලයාට මෙහිදී සිය වැරැද්ද අවබෝධ විය යුතුය.

අධිකරණ වෛද්‍ය වාර්තා සහ අධිකරණ වෛද්‍ය වාර්තා තක්සේරු වල මානසික වදහිංසනය ඇතුලත් විය යුතුද?

අනිවාර්යෙන් ඇතුලත් විය යුතුයි. පුද්ගලයෙකුගේ කයක් නැති මනසකුත් නැහැ වගේම මනසක් නැති කයකුත් නැත. මේ දෙකම පීඩාවට පත් වේ. මෙහිදි මනසට වෙන පීඩාවත් අප සොයා බැලිය යුතුව ඇත. මන්ද මේ තුලින් තවත් අපරාධකරුවෙකු බිහි විය හැකිය. නීතිය ක්‍රියාත්මක කිරිමට ගොස් එවැනි අපරාධකරුවෙකු ඇතිවන්නේ නම් එය ගැටලුවකි. එහෙයින් අප ශාරිරික දඬුවම ගැන මිට වඩා සිතිය යුතුව ඇත. මන්ද? එක්තරා සීමාවකින් පසුව පුද්ගලයින්ට ජිවිතය ගැන වටිනාකමක් නැතුව යනු ලබයි. එහෙම වටිනාකමක් නැතුව ගිය කල්හි තව අයෙකුගේ ජිවිතයට අනතුරක් කිරිමට දෙවරක් සිතන්නේ නැත. එහෙයින් බන්ධනාගාරය තුලදි හෝ එළියේදි අපරාධකරුවෙකුට ජිවිතය පිලිබඳ හැඟිමක් ලබා දිමට නීතියේ අවධානය යොමු විය යුතුය.

මානසික වධහිංසාව පිලිබඳ සොයා බලන්නේ අධිකරණ මනෝ වෛද්‍යවරුන්, මනෝ වෛද්‍යවරුන් හා ළමා සහ යෞවන කටයුතු වෙනුවෙන් සිටින මනෝ වෛද්‍යවරුන්ය. ඒවා ක්‍රියාත්මක වුවත් එහි බහුලතාවය අඩුය. මනසට ඇති පීඩාවට  වඩා ශරිරියට ඇති පීඩාව සුව විමට ප්‍රතිකාර තිබේ. නමුත් ඇතැම් විට මනසට වෙන පීඩාව ජිවිතය පුරාවටම රැඳිය හැකිය.

වින්දිතයෝ සහ පීඩකයෝ ලෙස කොටස් දෙකක් තිබේ. මේ දෙගොල්ලන්ගේම ලක්ෂණ අඩු වැඩි වශයෙන් තිබේ. දරුවෙකු ප්‍රචණ්ඩ නම් තවත් පුද්ගලයෙකු කෝපයට පත් වේ. එහිදි දැක්විය යුතු හොඳම ප්‍රතිචාරය දරුවාට පහර දිම නොව ඊට වඩා වෙනස් දෙයකි. නමුත් එහිදි මේ සමාජයේ ඇති වෙනස්විම බාධාවක් ලෙස මම දකිමි. උදාහරණයක් ලෙස ඇතැම් වැඩසටහන් ප්‍රචණ්ඩත්වය උලුප්පා දක්වයි. මේ සියල්ලෙන් මානසික ආතතිය ඉහළ නංවන හෙයින් වඩාත් සුදුසු වන්නේ ඒවා නවත්වා ගන්නේ කෙසේද යන්න සිතා බැලිමය.

වධහිංසා කරන්නේ පීඩකයෝ

වධහිංසා සඳහා බොහෝ වේලාවට ඉලක්ක කර ගනු ලබන්නේ මානසික වධහිංසාව ඇති පුද්ගලයින්ය. ඇතැම් විට ඔවුන්ද කලකට පෙර වින්දිතයන් විය හැකිය. ඔවුන්ගේ මානසිකත්වය මෙම මානසික වධහිංසාවට පුද්ගලයෙකු ලක් කරමින් එළියට පැමිණිය හැකිය. දෙවැනි කරුණ වන්නේ පරිසරයයි. නීතිය, යුක්තිය ක්‍රියාත්මක කරන්න බැඳිලා ඉන්න අය ඒවා ක්‍රියාත්මක කරන්න ගිය විට යම් යම් පීඩා ගෙන දිය හැකිය. එවිට ඔවුන්ද වින්දිතයෝය. එහෙත් ඔවුන්ගේ ප්‍රශ්න තබාගෙන තවකෙකුගේ ප්‍රශ්න විසඳිමට යාමේදි ඉබේම ඔවුන් වදහිංසාවට ලක් වේ. දැන් මෙය සංස්කෘතියක් බවට පත්ව ඇත. මෙම සංස්කෘතිය වෙනස් කල යුතුව තිබේ. තවත් පීඩකයෙකුට නීතිය සහාය විය යුත්තේ තවදුරටත් පීඩකයෙකු නොවන්නේ කෙසේද? යන්න මෙහිදි අවධානයට යොමු කල යුතුය.

සමාජයේ මානසික අර්බුදය

මේ සමාජය අපට දරන්න බැරි වේගයෙන් වෙනස් වෙමින් ඇත්තේය. මේ වනවිට සමාජය ඇත්තේ අර්බුදයකය. සියල්ලන්ම සිටින්නේ අසහනයෙන්ය. පුද්ගල මට්ටමෙන්, ආයතන මට්ටමෙන්, රටක් ලෙස ක්‍රියාත්මක විය යුතුව ඇත්තේ අපට බලපාන, පීඩා දෙන දේවල් වලින්, මානසික ආතතියෙන් ගැලවිය හැකි ආකාරය පිලිබඳවය. මිට වඩා පහසු ජිවන රටාවක් මිනිසුන්ට හඳුන්වා දිය යුතුය. එය කළ හැක්කේ රජයට පමණි. නැතහොත් ආයතන මට්ටමින්ය. එසේ නොමැතිව පුද්ගලයෙකු ලෙස මෙය තනිව කළ නොහැක.

මානසික වධහිංසාව සම්බන්ධයෙන් බන්ධනාගාරය තුල ක්‍රියාත්මක කර ඇති වැඩසටහන්

2015 වසරේදි මා බන්ධනාගාර සම්බන්ධව කටයුතු කරන්න පටන් ගතිමි. මානසික සෞඛ්‍ය සේවාව බන්ධනාගාර තුලට ගෙනයන්න ප්‍රමුඛව කටයුතු කළහ. එම අවස්ථාවේ අප හඳුනා ගත් දෙයක් වුයේ සිරකරුවන්ට ඇතුලේ ඇති අපහසුකම්ය. එමෙන්ම නිලධාරින් පවසා සිටියේ සමහර සිරකරුවන්ගේ ඇති ප්‍රචණ්ඩත්වය පිලිබඳවය. මෙහිදි අප සාකච්ඡා කරනු ලැබුයේ මෙයට කුමක් කරන්නේද යන්නය. එහිදි අපි බන්ධනාගාරය තුලින්ම ඉන්න පිරිසක් තොරා ගත යුතු බව වැටහුණි. ඒ අනුව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනය හා බන්ධනාගාර අධිකාරිය එක්ව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුග්‍රහය ඇතිව බන්ධනාගර පුනරුත්ථාපන නිලධාරින් වෙනුවෙන් පුහුණු වැඩසටහනක් ආරම්භ කරන ලදි. එවකට 120 කු සිටි අතර,  ඔවුන් කණ්ඩායම් 03 කට බෙදා අප ඔවුන්ට සරලව මානසික රෝග මොනවාද යන්න අවබෝධයක් ලබා දුන්නහ. ඒවා හඳුනාගන්නා ආකාරය හා ඒවාට ප්‍රතිකාර ඇති බවත්ය. එමෙන්ම මානසික රෝග හා ප්‍රචණ්ඩත්වය අතර, ඇති සබඳතාවයය. අවසානයේ බන්ධනාගාර සිරකරුවන්ගේ ජිවිත කථා, අත්දැකිම්, අපරාධයට ඇති සබඳතාවය පිලිබඳ සොයා ගත්හ. මෙහිදි එකි නිලධාරින්ට ප්‍රචණ්ඩත්වයෙන් තොරව සිරකරුවන් හැසිරවිය යුතු ආකාරය පිලිබඳ මනා අවබෝධයක් හිමි විය. මේ වනවිටත් වැලිකඩ බන්ධනාගාරයේ පමණක් සතියකට දින 02 ක සායනයක් පවත්වන්නේ සිරකරුවන්ගේ මානසික සෞඛ්‍ය වෙනුවෙන්ය.

-ශානිකා මාධවී පීරිස්-



Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.