English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
“අළුත් පාලම හදල ඉවරත් නෑ, පරණ පාලම කැඩිලත් නෑ!” - මහින්ද දේශප්‍රිය
(2019-08-01)

<< Go Back
Share |   


මෙරට පැවැත්වෙන සෑම මැතිවරණයකදිම එහි වගකිම පැවරෙන්නේ මැතිවරණ කොමිෂන් සභාවටය. මැතිවරණයක් පැවැත්විමට රජය තීරණය කල දා පටන්ම මැතිවරණ කොමිෂමට පැවරෙන්නේ වගකිම් දහසකි. ඒවා සීරු මාරුවට කළ යුතු වන්නේය. මෙකි සංකිර්ණ සමස්ථ ක‍්‍රියාවලියේම නායකයා වන්නේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතාය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසිම දිනෙන් දිනම කල් යාම හා මෙම වසරේ පැවැත්විමට නියමිත ජනාධිපතිවරණය පිලිබඳ අප මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා හමු වි විමසා සිටියෙමු. මේ එහිදි ඔහු පළ කළ අදහස්ය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසිමේ මැතිවරණයට අලුත් ක‍්‍රමයක් හඳුන්වාදෙනු ලැබු අතර, එකි ක‍්‍රමයේ අඩුපාඩු තිබේද ?

ඇත්තටම පළාත් පාලන ආයතන සංඛ්‍යා මේ ඡන්ද විමසිමේදි නෙමේ කලකට පෙර 1969 දි 9000 ක් වගේ සභිකයින් ඉඳලා තියෙනවා. දැන් අටදහස් ගාණක් ඉන්නවා. ඒත් දැන් තියෙන ප‍්‍රශ්නය මෑත කාලයේ 2011 වගේ හිටියේ 4000 ක් නිසා 2015 වෙනකොට මේක දෙගුණ වගේ පේනවා. ඒකට හේතු වුනේ මේ කොට්ඨාශ ක‍්‍රමය හඳුන්වා දිමයි. කාන්තා නියෝජනය වැඩි විමයි. මේක 6000 කට වගේ අඩු කර ගන්න පුලුවන්. නැවත සීමා නිර්ණයක් කරලා අනිවාර්ය කාන්තා නියෝජනය සියයට විසි පහ ,අපි දැන් සියයට දහයනේ කාන්තා නියෝජනය. ඒක සියයට පහලොවක් විස්සක් කලොත් එනම් කොට්ඨාශ සංඛ්‍යාවෙන් සියයට විස්සක් කාන්තාවන් තර`ග කරන්න ඕනේ කියලා අනිවාර්ය කලොත් අපට පුලවන් ඊළ`ගට නැවත සීමානිර්ණයක් කලොත් 60-40 අනුපාතය 65-35 කලොත් දෙකට එක වගේ යම් ආකාරයක අඩු කිරිමක් කරන්න පුලුවන්. හැබැයි ඒක 6000 කින් වගේ පහලට අඩු කරන්න බෑ කියන එක අපි හිතනවා. ජනතාව හිතන්නේ මේ නියෝජිතයෝ සල්ලි ගන්නවා විතරයි වැඩක් කරන්නේ නෑ කියලා. ප‍්‍රායෝගික මේ නියෝජිතයෝ ගම් වල ගැටලු විසඳා ජනතාවගේ ජිවන තත්වය නඟා සිටුවමින්, පරිසර ගැටලු විසඳා සංවර්ධනයට ක‍්‍රියාත්මක වෙනවනම් දේශපාලනය කියන එක ගම්වල ජනතාවගේ ඇගේම කොටසක් වෙනවා. පක්ෂ දේශපාලනය නෙමේ. දේශපාලකයා ගමේ ජනතාවට නායකයෙකු වෙලා වැඩ කරනවනම් ඔය ප‍්‍රශ්නය වෙන්නේ නෑ. නමුත් හුඟක් වෙලාවට වෙලා තියෙන්නේ මන්ත‍්‍රිවරයා මේ මළ ගෙදර කථා පවත්වන යෝජනා කරනවා විතරයි. අප ඉන් මිදෙන්න ඕනේ. අනෙක් ප‍්‍රශ්නය තමා මේකේ තියෙන මිශ‍්‍ර නියෝජිත ක‍්‍රමය. මේකේ තියෙන හොඳම ක‍්‍රමය දැනට තියෙන. නමුත් සියයට සියයක්ම නෙමේ. හැම ක‍්‍රමයකම අඩුපාඩුත් තියෙනවා. කොට්ඨාශයට මන්ත‍්‍රිවරයෙකු එනවා. ඒකත් හොඳයි. හැම ඡන්දයටම වටිනාකමක් ලැබිලා ඒකේ අනුපාතයටත් මන්ත‍්‍රිවරු එනවා. නමුත් මේ ක්‍රමේ තියෙන අඩුපාඩුව තමා එල්ලෙන ආසන තිබිම. අපි කියනවා ආසන තියෙන්න ඕනේ 112 කියලා නමුත් ආසන 119 ක් තියෙනවා කොළඹ නගර සභාවේ. හතක් වැඩි වුණා. ඒ හත වැඩිවිම වළක්වගන්න පනතට සුලු ගණිතමය වාක්‍යයක් එක් කල යුතු වෙනවා  අඩුම ඡන්ද සංඛ්‍යාවක් ගන්න පක්ෂය නැත්නම් කණ්ඩායම කැපිලා යන විදිහට. ඒ වගේම ඒ වාක්‍යට හඳුන්වා දෙන්න අවශ්‍ය 2.5 % කඩ ඉමක්. 60000 ක් ඡන්ද වැටෙන තැන් වල 1250 ක් ගත්තහම සභිකයෙක් තේරි පත් වෙනවා. ඒ 1250 ගන්නේ කොට්ඨාශ 25 කින් විතර. ඒකේ තේරුමක් නෑ. එයාලගේ නියෝජනයක් එන්න අවශ්‍ය බව ඇත්ත. නමුත් එකේ ප‍්‍රතිශතයක් තියෙන්න ඔනේ. ඒක එක කරුණක්. අනෙක් කරුණ තමා කොට්ඨාශ ක‍්‍රමය තියෙනවා අතුරු මැතිවරණ නෑ. මිය ගියොත් ඉල්ලා අස් වුනොත් විතරක් නෙමේ, මැතිවරණ දුෂණයකට වරදක් කරලා වැරදිකාරයා  වුනත් අතුරු මැතිවරණයක් නෑ. නුසුදුසු කෙනෙක් ඡන්දය ඉල්ලනවා කියලා හිතමු, එයා පුරවැසියෙකුත් නෙමේ, ඔප්පු වුණේ පස්සේ, නැත්තනම් එයා වයස අවුරුදු 18 ට අඩුයි, පස්සේ ඔප්පු වෙලා මෙයාගේ නම ලැයිස්තුවෙන් අයින් කරනවා පක්ෂයෙන්, ඒත් ඡන්දේ හම්බවුණා කියලා පක්ෂයට දෙනවා ඒක නම් කරන්න අයිතිය පක්ෂෙ ලේකම්ට තමා තියෙන්නේ, ඒක වැරදියි. කොට්ඨාශ ක‍්‍රමයක් තියෙනවනම් හැම එකකකටම අතුරු මැතිවරණයක් තියෙන්න අවශ්‍යයි. මේ අතුරු මැතිවරණ 1977 ට පෙර පනතේම තිබුණා. නමුත් 77 සිට 89 වෙනකම් සමහර අවස්ථා වල අතුරු මැතිවරණය තිබුණා. මේ අතුරු මැතිවරණ වලින් පාර්ලිමේන්තුවට ආපු මන්ත‍්‍රිවරු පාර්ලිමේනතුවේ ඉන්නවා. තරඟ කරපු මන්ත‍්‍රිවරු ඉන්නවා. මේ වත්මන් පාර්ලිමේන්තුවෙත් ඉන්නවා. එතකොට කියන්නේ හැමදාම ඡන්ද තියෙයි කියලා. ඒක වළක්වගන්න තියෙන්නේ ජනවාරි මාසේ 01 දා සිට ජුනි 30 දක්වා පුරප්පාඩු වෙන ඒවට අගෝස්තු මාසේ ඡන්ද තියෙනවා. ජුලි 01 දා ඉඳලා දෙසැම්බර් 31 වෙනකම් වෙන පුරප්පාඩු වෙන ඒවා මාර්තු මාසේ මුල් සතියේ තියෙනවා. කිසිම ප‍්‍රශ්නයක් නෑ. ඒනිසා මෙම ක‍්‍රමයේ තියෙන තියෙන අඩුපාඩු ලෙස මම දකින්නේ ඕවා .කොට්ඨාශ ක‍්‍රමය, කාන්තා නියෝජනය, මිශ‍්‍ර නියෝජන ක‍්‍රමය ඉතාම හොඳ එකක්.

පළාත් සභා මැතිවරණය දිගින් දිගටම කල් යනවා. එය ඉක්මනින් පවත්වා ගැනිමට කුමක්ද කළ යුත්තේ?

පළාත් සභා ඡන්ද විමසිම නියමිත කාලයේ තියන්න ඕනේ කියන කාරණය ගැන අප කථා කරලා තියෙන්නේ 2017 සැප්තැම්බර් මාසේ අග. මේ පළාත් සභා තුන නැගෙනහිර, උතුරු මැදයි, සබරගමුවයි, විසිරෙන්න කලින් ඉඳලම අපි කථා කරලා තියෙනවා. මේක කල් දාන්න යන බවට ප‍්‍රශ්න තියෙනවා. අගොස්තු මාසයේ පවා අපි සාකච්ඡා කරලා තියෙනවා දේශපාලන පක්ෂ සමග. මේකට එරෙහිව ක‍්‍රියා කරන්න ඔනේ. එදා ඉඳලම අපි යෝජනා කලේ පනත ආවට පස්සේ අපට මොකුත් කරන්න බෑ. පාර්ලිමේන්තුවේ පනතට අනුව පෙබරවාරි මාසයේ සිමානිර්ණ කොමිෂන් සභාවේ වාර්තා සම්මත වුණාට පස්සේ ඒක පාර්ලිමේන්තුවට දාන්න තිබුණේ අප්‍රේල් මුල. ඒත් දැම්මේ නෑ. අපි එදා ඉඳලා ඒකට උත්සහ කරලා අගොස්තු මාසයේ තමා දම්මගන්න පුලුවන් වුනේ. එහිදි පාර්ලිමේන්තුවේ අනුමත වුණා. මාස දෙකක් සිමා නිර්ණ කමිටුවට කාලය හම්බ වුණා .ඒ කමිටුවේ නිල කාලය අවසන් වෙන්න දින දෙකකට පෙර අගමැති මාරු වුණා. නමුත් ඒ වාර්තාව දැන්වත් තාම දිලා නෑ. කවුරුත් අහන්නෙත් නෑ ඒකට මොකද වුණේ කියලා. ඒ නිසා මේ ඡන්දය දැන් තියන්න බැහැ. අපි ඒ හින්දා දේශපාලන පක්ෂ වලට කිව්වා උසාවියට යන්න කියලා. හැමෝම බනින්නේ කොමිසමට තියන්නේ නෑ කියලා. උසාවියෙන් තින්දුවක් ගන්න පරණ පනත අවලංගුයි දැන් ඒක ක‍්‍රියාත්මක කරන්න බෑ.

මාර්තු මාසේ සිවිල් සංවිධානයක් ඇතලු දේශපාලන පක්ෂ දෙක තුනක් උසාවි ගියා. දැන් නඩුව යනවා. සැප්තැම්බර් 09 තමා අහන්න තියෙන්නේ. අපි මොෂන් එකක් දාලා ඉස්සරහට ගේන්න කියනවා. අධිකරණයට පුලුවන් කියන්න පරණ පනත වලංගුය, අලුත් පනත අක‍්‍රිය නිසා කියලා. අපි දැන් අලුතෙන් ඔක්කොම පාලම හදලා තියෙනවා. නමුත් තාම ඒක උස්සලා තියලා නෑ. නමුත් අපට එහා පැත්තට යන්න ඔනේ ගඟෙන්. අපිට තියෙන්නේ හරවන් ඇවිල්ලා ආපහු යන්න. හැබැයි හරවන් එන්න නියෝග දෙන්න ඔනේ අධිකරණය. දැන් අධිකරණයට ගිහිල්ලා තියෙනවා. මම දන්නේ නෑ ඒක දෙන්න පුලුවන්ද බැරිද කියලා. හැබැයි පාර්ලිමේන්තුවට පුලුවන්, මේ පාරෙන් එන්න බෑ, ගඟ දිගේ ආපහු ගිහින් පරණ පාලමට දාමු කියලා. එතකොට පරණ පාලම නැවත උස්සලා තියන්න ඕනේ. මොකද මේ අලුත් පාලම හදලා ඉවර නෑ. පරණ පාලම කැඩිලා නෑ. ඒක පැත්තක තියලා තමා අලුත් පාලමක් හදන්න ගියේ. අලුත් පාලම උස්සලා තියන්න පුලුවන් එතනට. ඒක කරන්න පුලුවන් පාර්ලිමේන්තුවට. අපි ඒක දිගින් දිගටම කියලා තියෙනවා. පාර්ලිමේන්තුව මේක සාකච්ඡා කලා සමාලෝචන කමිටුවත් බලාපෙරොත්තු වුණා. ගරු අග‍්‍රාමාත්‍යතුමාගේ ප‍්‍රධානත්වයෙන් තිබුණ අවස්ථාවේ පරණ ක‍්‍රමයට යන්න. ඒකට පනතක් ගේන්න හදද්දි තමා පාර්ලිමේන්තුව වෙනස් වුණේ. ඒ පාර ආපු දවස් 52 ආණ්ඩුව වත්මන් විපක්ෂ නායකතුමා අගමැති වෙලා ඉද්දි තිබුණ ආණ්ඩුව, ඒ ආණ්ඩුවෙන් පාර්ලිමේන්තුවට පනතක් ගෙනාවා කැබිනට් එකට දාන්න ආයේ පරණ ක‍්‍රමයට යන්න. කැබිනට් එක අනුමැතිය දුන්නා. ඒ වුනාට ඒක පාර්ලිමේන්තුවට දාන්න කලින් ඒ ආණ්ඩුව විසිරුණා. ඒක නිසා පනතක් ආවේ නෑ. පාර්ලිමේන්තුවයි වත්මන් කැබිනෙට්ටුවයි. ගරු අග‍්‍රාමාත්‍යතුමා පොරොන්දු වුණා අලුත් පනතක් දාලා අගොස්තු මාසේ ඡන්දය තියන්න. නමුත් පාසකු ප‍්‍රහාරය හෝ වේවා මොනයම් දෙයක් හෝ නිසා එය කර ගන්න බැරුව ගියා.

කථානායකතුමයි, අග‍්‍රාමාත්‍යතුමයි දෙන්නම දන්වා සිටියේ ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය තියන්න කිසිදු දේශපාලන පක්ෂයක් එකඟ නැති බව. නමුත් අපි මෙහිදි කිව්වේ ජනාධිපතිතුමාට මෙය ව්‍යවස්ථා විරෝධි වැඩක්, මෙහෙම කල් දාන්න බෑ කියලා. අහන්න කොයි ක‍්‍රමයද, කොයි නීතියද  සුදුසු කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන්. අපි හිතන් ඉන්නවා එතුමා ඒක අහයි කියලා. හැබැයි එතුමා අහලා, තින්දුවත් ඇවිල්ලා, අපට දවස් 60 ක් ඕනේ අඩුම  ගානේ පළාත් සභා ඡන්ද විමසුම තියන්න. ඒ කියන්නේ එහෙම තින්දුවක් එනවා නම් අගොස්තු 15 ට පෙර එන්න ඕනේ. ඔක්තෝමබර් 15 ට කලින් ඡන්දය තියන්න ඕනේ. ඔක්තෝමබර් 15 ට කලින් ඡන්දය තිබ්බේ නැත්නම් ජනාධිපතිවරණයට එක බාධාවක්. අපි ඒ නිසා කොයි වෙලාවකවත් ඔක්තෝමබර් මාසේ 15 න් පස්සේ පළාත් සභා ඡන්දය තියන්න කියලා නීතියක් ආවත්, අපි කියනවා ඒක තියන්න බෑ ජනාධිපතිවරණයට බාධා වන නිසා කියලා. මොකද අපි ජනාධිපතිවරණය නොවැම්බර් 15 ත් දෙසැම්බර් 07 ත් අතර තියන්න සුදානම් කරලා තියෙන්නේ.

ජනාධිපතිවරණයේදි 19 වෙනි සංශෝධනයට අනුව ද්විත්ව පුරවැසි පුද්ගලයන්ට හා දෙවරක් ජනාධිපතිධුරය දැරූ පුද්ගලයින්ට අපෙක්ෂකයෙකු විමට නොහැකි බව සඳහන් වෙනවා. යම් හෙයකින් එවැන්නෙකු නාම යෝජනා බාර දුන්නොත් මැතිවරණ කොමිසමට ගත හැකි ක‍්‍රියා මාර්ග මොනවාද?

කමිෂන් සභාවට එම අවස්ථාවේ දෙන ඕනෑම නාම යෝජනා පත‍්‍රයක් නියමිත කාලය තුලදි එනම් පෙ:ව 9.00-11.00 අතර දෙන ඕනෑම දෙයක් අපි භාර ගන්නවා. විරෝධතා කාලය තියෙනවා 11.00 සිට 11.30 දක්වා, එහිදී පිළිගන්න නාම යෝජනා සහා ප්‍රතික්ෂේප වන නාම යෝජනා ගැන අපි අනාවරණය කරනවා.

සිරකරුවන්ට හා රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පුද්ගලයින්ට ඡන්දය පාවිච්චි කරන්න අවස්ථාවක් ලබා දෙන්න කියලා ඉල්ලිමක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ පිලිබඳ ඔබේ අදහස කුමක්ද?

රක්ෂිත බන්ධනාගාර වල සිටින අයට ඡන්ද අයිතිය දෙන්න නම් ලැයිස්තුවේ නම තියෙනවනම් ගමේ ඡන්ද පොලට ගිහින් ඡන්දය දාන්න ඔනේ. තැපැල් ඡන්ද දෙන්න අයිතිවාසිකමක් නෑ.

අපේ රටේ ඇඩ්වාන්ස් වෝටින් කියලා සිස්ටම් එකක් යෝජනා කරමින් යනවා ඡන්ද දිනයේදි ඡන්ද පොලෙන් බැහැරව, වෙන ස්ථානයක ඡන්දය දිමට. ඇඩ්වාන්ස් වෝටින් කියන්නේ තැපැල් ඡන්ද වලටනේ, මේක ඒකට අයිති නොවන එකක්. ඉල්ලුම්පත‍්‍ර දානව, එතකොට අපි බලාපෙරොත්තු වෙනවා රෝහල්වලදි, ප‍්‍රාදේශිය ලේකම් කාර්යාල වලදි, ඡන්දය තියන්න. ලංකාවේ තියෙන ඡන්ද පෙට්ටි 25 ම අපිට දෙන්න පුලුවන් ජනාධිපතිවරණයේදි, ජනමත මැතිවරණයේදි හා පාර්ලිමේන්තු මැතිවරණයේදි පමණයි. දිස්ත‍්‍රික් මට්ටමින් තියෙනවනම් ඡුන්ද පෙට්ටි 22 යි. එයාලට කලින් ඉල්ලන පුලුවන්. ඒ යෝජනාව සම්මත වුනොත් අපට පුලුවන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අයටත් ඡන්ද අයිතිය දෙන්න. මෙය සැකකරුවන්ට පමණක් නොව තමන්ගේ සේවය ඉටු කරන්න ඇවිත් තියටර් වල ඉන්න අය, පුද්ගලික ආරක්ෂකයින්, දොස්තරවරු වගේ අයත් වෙනවා. මෙහිදි තමන්ගේ ගමට නොගිහින් ඡන්දය දාන්න වැඩ පිලිවෙලක් සකස් කර දිමේ යෝජනාවක් තියෙනවා. එහෙම ආවොත් ක‍්‍රියාත්මක කරන්න පුලුවන්. හැබැයි මේක අපට කරන්න බෑ. ඒක කරන්න ඕනේ පාර්ලිමේන්තුවෙන්. අපි ඒකට කෙටුම්පතක් සකස් කරලා තියෙන්නේ.

මැතිවරණ අවස්ථා කිහිපයකදි යම් යම් අඩුපාඩු හා ප‍්‍රතිඵල නිකුත් කිරිමේදි සිදු වු ප‍්‍රමාද දෝෂයන් නිසා මැතිවරණ ක‍්‍රමය පිලිබඳ මහජනතාවට යම් සැකයක් ,අවිශ්වාසයක් ඇති වෙලා තියෙනවා.මේ පිලිබඳ ඔබගේ අදහස?

පළාත් සභා ඡන්ද වෙන වෙනම තියෙන 2008 දි නැගෙනහිර පළාතේ එක්තරා ඡන්ද විමසිමකදි එවකට හිටපු තේරිම් භාර නිලධාරිවරයා ඡන්ද පෙට්ටියක තිබුණ ගාණ වෙනස් කර ප‍්‍රතිඵල වෙනස් කල බවට දේශපාලඥයෙකු විසින් ප‍්‍රකාශ කළා. ඒක සම්පුර්ණයෙන්ම බොරුවක්. ඡන්ද පෙට්ටියක තියෙන ඡන්ද ගාණ ඡන්ද පොලේදිම දන්නවා. ඡන්ද පොල නියෝජිතයෝ, කාර්ය මණ්ඩලය, එස්.පි.ඕ එනවා. හැම දේශපාලන පක්ෂයකම අය ඉදිරිපිට විවෘත කරලා ගණන් කරන්නේ. දාහක් තිබිය යුතු තැන එකසිය දහයක් තිබුනොත් නැවත ඒක දාහ කරන්න කච්චරෙියේ කාමරයේ ඉන්න ප‍්‍රතිඵල නිකුත් කරන දිසාපතිවරයාට හැකියාවක් නෑ. මෙවැනි කථා වලින් වෙන්නේ ඡන්ද ක‍්‍රමය ගැන අවිශ්වාසයක් ඇති වෙනවා. එහෙම කරන්න එපා කියලා අපි ඉල්ලනවා.

ඒ වගේම 2010 ඡන්දෙදී ජනාධිපතිවරණයේදි ප‍්‍රතිඵල නිකුත් කරන්න ප‍්‍රමාද වීම් උනා. එහිදී හැමෝම කිව්වා කම්පියුටර් ජිල් මාට් කියලා. නමුත් මෙහිදී දෙවන ස්ථානයට තේරී පත් වූ, මහත්මයට අපි ප්‍රතිපල ලේඛණය පෙන්වූවා.

ඒ වගේම 2015 දි පැයක විතර කාලයක් ප‍්‍රතිපල නිකුත් කිරිම ප‍්‍රමාද වුණා. හැමෝම අපේ තොරතුරු තාක්ෂණ ක‍්‍රමවේදය හරහා අපේ වෙබ් එකට ලොග් වෙන්න ඇවිල්ලා, ඒක අපි නොහිතපු ප‍්‍රමාණයට ඇවිත් බ්ලොක් වෙලා තිබුණා. අපි සම්පුර්ණ ප‍්‍රකාශයක් නිකුත් කළා, ඒක භාරව ක‍්‍රියා කලේ කොළඹ විශ්ව විද්‍යාලයයි.

නමුත් මිට වඩා අවුලක් වුයේ 2018 දිය. අපි හිතන් හිටියේ රාත‍්‍රි 8.00 වන විට ප‍්‍රතිඵළ නිකුත් කිරිමටය. හැබැයි එදා උදේ 10.00 ට විතර මට තෙරුණා මේක අවුල් වේගන වගේ යනවා කියලා. මොකද අපි මෙවර කොළඹ විශ්ව විද්‍යාලයත් එක්ක මේ කටයුතු කලේ කැළණිය කණ්ඩායමක් එක්ක. ඒ අයට මේකේ අත්දැකිමක් තිබුනේ නෑ. අපිටත් මේ ඡන්දය වෙනත් ඡන්ද වලට වඩා අමාරු වුණා. ඒ නිසා ඒකේ ප‍්‍රතිඵල අපට 1.00 වන තුරුත් දෙන්න බැරි වුණා. ඒක ෆේල් වෙලා පස්සේ මැනුවල් සිස්ටම් එකට ගියා. ප්ලෑන් A ෆේල් වුණා. ප්ලෑන් B ෆේල් වුණා. ප්ලෑන් C එකෙන් තමා දුවන්න වුනේ. ප‍්‍රතිඵල හුඟක් පරක්කු වුණා. අලුත් ක‍්‍රමයකට යනකොට ඒක වරදක් වෙන්න පුලුවන්.

නමුත් ජනතාව කියන්න පුලුවන් මේගොල්ල මේ ඡන්ද හොර කරන්න හදනවා කියලා. විශ්වාසය කඩ කරගන්න එපා. අපි ඡන්ද විමසිම නිවැරදිව තියනවා. එන්න බය නැතුව ඡන්දය දාන්න. නිවැරදිව ප‍්‍රතිඵල දෙනවා. ඔබේ ඡන්දයට බලපෑම් කරන්න කිසිවෙකුට අයිතියක් නෑ.

සාකච්ඡාව - නිතිඥ දුලාන් දිසානායක
සටහන - ශානිකා මාධවී

Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.