English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
මුස්ලිම් විවාහ නීතියේ ගැටළු හා කාති අධිකරණය - නීතිඥ ජාවෙඩ් යුසෆ් (මානව හිමිකම් ජනගත කරමු!)
(2019-07-30)

<< Go Back


මුස්ලිම් විවාහ නීතියේ ගැටළු හා කාති අධිකරණය - නීතිඥ ජාවෙඩ් යුසෆ් (මානව හිමිකම් ජනගත කරමු!)

මුස්ලිම්වරුන්ගේ හදවත ලෙස හඳුන්වන්නේ මඩකලපුව -කාත්තන්කුඩියය. එහි සිට නැගෙනහිර  පළාතේ විසිරි සිටින මුස්ලිම් ප‍්‍රජාව මෙන්ම සමස්ත මුස්ලිම් වැසියන් ඔවුන්ගේ අයිතිවාසිකම් පිලිබඳ තැකිමක් නොකරන්නේද යන්න  ඉකුත් දිනෙක සෞදි හිටපු තානාපති, මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සාමාජික නිතිඥ ජාවෙඩ් යුසුෆ් මහතාගෙන් විමසා සිටියෙමු. මේ ඔහු ඒ සම්බන්ධයෙන් පල කල අදහස්ය.

මුස්ලිම් සමාජය මානව හිමිකම් ගැන හිතන්නේ නැද්ද?

මා සිතන ආකාරයට මීට මුලිකම හේතුව වන්නේ මානව හිමිකම් පිලිබඳ මුස්ලිම් සමාජයේ ඇති දැනුම අඩු බවය. ඔවුන් තුල මානව හිමිකම් ක‍්‍රියාරිත්වය පවතින්නේද ඉතාම අවම වශයෙනි. ඇතැම් විට මානව හිමිකම් උල්ලංඝනය වුවත් මානව හිමිකම් උල්ලංඝනය වු ස්වරූපයෙන් පැමිණිලි එන්නේ නැත. ඊට හෙතු වන්නේ ඔවුන්ගේ දැනුවත් විමේ අඩු බවය.පොලිස් පහරදිමක් ,පොලිස් අත්අඩංගුවට ගෙන සිදු කල පහරදිමක් වැනි සිද්ධින් ඇතැම් දෙනා පොලිසිය ඔහොම තමා කියා සාමාන්‍ය ආකාරයෙන් සිතිමට පෙළඹි ඇත්තේද ඒ නිසා බව මා සිතමි. එමෙන්ම තවත් කරදරයක් ඇති කර ගැනිමට ඇති අකමැත්ත නිසා ඔවුන් නිහ`ඩ වන්නට  පුලුවන. නමුත් පොදුවේ ගත් කල මුස්ලිම් සමාජය තුල මානව හිමිකම් පිලිබඳ සන්නිවේදනය මදි බව මගේ අදහසය.

මුස්ලිම් ප‍්‍රජාවගේ පැමිණිලි විසඳන්නේ මුස්ලිම් පල්ලි හරහාද?

මුස්ලිම් පල්ලි හරහා පැමිණිලි විසඳන්නේ නැත. පල්ලි මැදිහත් වන්නේ සමාජ ප‍්‍රශ්න වලදිය. එයත් සෑම පල්ලියකම සිදු වන්නේ නැත. මානව හිමිකම් වලට සම්බන්ධ සිද්ධින් වලට පල්ලි මැදිහත් වි ක‍්‍රියා කරන බව මා සිතන්නේ නැත.

පාස්කු දින සිදු විමෙන් පසු මුස්ලිම් වැසියන් විශාල වශයෙන් අත්අඩංගුවට පත් වුණත් ඔවුන්ගේ මානව හිමිකම් කඩවිමක් වෙලා නැද්ද ?

පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන විමර්ශන පැවැත්විමෙන් පසු ඔවුන් සිතන්නේ දැන් නිදහස් වුණා. ඒ නිසා පොලිසිය සමග ගැටුමක් ඇති කර ගැනිම අවශ්‍ය නොවන බවය. නමුත් ලොකු සිදුවිමකදි ඔවුන් නිතිය සොයා යනු ඇත. ඊට හොඳම උදාහරණය වන්නේ වෛද්‍ය සාෆිගේ සිදුවිමය. එම ප‍්‍රශ්නය සමාජයේ ඉහළටම ගිය වෙනත් ස්වරූපයක් ගත් ප‍්‍රශ්නයක් හෙයින් ඔහු මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. එමෙන්ම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් පනවන ලද රජයේ කාර්යාල වලට අබාය හැඳිය නොහැකි බව, හිස ආවරණය කල නොහැකි බව ආදි ප‍්‍රශ්නයේදිද සෑහේන නඩු ප‍්‍රමාණයක් මේ වනවිට ගොනු කර තිබේ. ඉන් වැඩිම ප‍්‍රමාණයක් ගොනු කර ඇත්තේ මානව හිමිකම් කොමිෂන් සභාවේය. මිනුවන්ගොඩ, හෙට්ටිපොල ආදි ප‍්‍රදේශ වල සිදු වු මුස්ලිම් ප‍්‍රජාවට සිදු වු පහර දිම් වලදි ව්‍යාපාරික ස්ථාන වලට අලාභ හානි වුවා කියන පැමිණිල්ල මිස මානව හිමිකම් උල්ලංඝනය වු ලෙසින් එය සඳහන් වන්නේ නැත. මෑතකදි වෙන්නප්පුව ප‍්‍රදේශයේ මුස්ලිම් ව්‍යාපාරිකයෙකුට වෙළඳාම් කිරිමට නොදිම මුලික අයිතිවාසිකම් පිලිබඳ ව්‍යවස්ථාවට අනුව පටහැනිය. තමන්ට කැමති ව්‍යාපාරයක් කරගෙන යාමේ හැකියාව ඉන් ඇහිරි ඇත.නමුත් කිසිදු අයෙකු මෙහිදි එය වැරදි බව කියන්නට ඉදිරිපත් වුයේ නැත. මන්ද? සභාපතිවරයා හා ගැටුනහොත් නැවත වරක් එහි වෙළඳාමි කල නොහැකි බවට මතයක් ඉබේම ගොඩ නැගේ. එහිදි මානව හිමිකම් වලට පටහැනිව ක‍්‍රියා කල බවට පැමිණිලි නොපැමිණියේ ඒ නිසා විය හැකිය.

එල්.ටි.ටි.ඊ සංවිධානය 90 දශකයේ සියලුම මුස්ලිම් වැසියන් උතුරු පළාතෙන් පිටත් කිරිම, එමෙන්ම මෑත කාලයේ සිදු වු දිගන සිද්ධිය, අලුත්ගම සිද්ධිය ආදි සිදුවිම් මානව හිමිකම් පදනමින් ක‍්‍රියාත්මක වුයේ නැත. ඒක සමාජයේ ඇති නොදැනුවත්කම නිසා මිස මිට එරෙහිව යා යුතුය යන්න මතයක් තිබුණේ නැත.

අසාධාරණයට එරෙහිව කටයුතු කිරිම ගැන මුස්ලිම් ආගමේ ඉගැන්විමක්ද තිබේ. එනම් යමෙකු අසාධාරණයක් කලහොත් ඊට එරෙහිව යුක්තිය වෙනුවෙන් කථා කල යුතු බවය. නමුත් සමාජ මට්ටමෙන් මෙය දැනුවත් වි නොමැත. නමුත් මෙහිදි කිව යුතු එක් දෙයක් තිබේ. එනම් මිට වසර 20 කට පෙර තිබු මුස්ලිම් සමාජයට වඩා මේ වන විට ඔවුන් දියුණු තත්වයකට පැමිණ තිබේ. ඔවුන් මානව හිමිකම් පිලිබඳ දැනුමක් ලබා ගනිමින් තිබෙන බව වෛද්‍ය සාෆිගේ හා ආබායා ඇඳිමේ සිද්ධින් වලින් ප‍්‍රකට වේ. මේ සම්බන්ධයෙන් දෙමළ සමාජයට හොඳින්ම හුරුපුරුදුය. ඔවුන්ට මානව හිමිකම් පිලිබඳ හොඳ දැනුමක් තිබේ. ඒ සමාජය තුල නායකත්වයක් තිබේ. නමුත් අප සමාජයේ එසේ එකක් නැත.

මුස්ලිම් සමාජයේ නීතිය

මේ රටේ මුස්ලිම් අයට විෂයන් දෙක -තුනක් සම්බන්ධයෙන් නිතියක් තිබෙනවා. ඉන් පළමුවැන්න විවාහය -දික්කසාදය හා එහි ප‍්‍රතිඵලය. දෙවැන්න වන්නේ මරණයෙන් පසු ඔප්පුවකින් තොරව දේපල බෙදීමේ නිතියය. තුන්වැන්න වන්නේ පල්ලි පාලනය කිරිමේ නිතියය. මේ නිති තුන හැරෙන්නට අනිත් කරුණු සියල්ලටම සාමාන්‍ය නිතිය බලපැවැත්වේ. මුස්ලිම් නිතියට අදාලව දික්කසාදයේදී කාති නැමැති අධිකරණය මගින් කටයුතු කරනු ලැබේ. නමුත් ඒ මුස්ලිම් නිතිය තුලම ආරම්භයේ සිටම  ආගමික නිතියට පටහැනි ඒවාත් තිබේ.

මුස්ලිම් විවාහ

පුද්ගලයෙකු කසාඳ බඳින විට එම කසාදය වලංගු වීමට නම් ස්වාමියා විසින් කාන්තාවට තෑග්ගක් ලබා දිය යුතු වේ. එය දෑවැද්දක් වගේ දෙයකි. එකි ත්‍යාග ලබා දිමෙන් පසුව විවාහය වලංගු වේ. නමුත් අපේ රටේ පවතින මුස්ලිම් නිතිය අනුව කයිකුලි නැමැති සංකල්පයක් පවතියි. එහිදි කාන්තාවගේ දෙමාපිය පාර්ශවය විසින් පිරිමියාට ලබා දිය යුතුය. මෙය ඉස්ලාම් ආගමේ ඉගැන්විමට හාත්පසින්ම පටහැනිය. මෙය පැමිණියේ දකුණු ඉන්දියාවෙනි. නමුත් මෙය ෂරියා නිතියට පටහැනිය.

කාති අධිකරණ

මෙම අධිකරණ වල නොයෙකුත් අඩුපාඩු තිබේ. මේවාට නිතිඥයින්ට යා නොහැක. දෙපාර්ශවය පමණක් සහභාගි වේ. දික්කසාදයේ ඇති පවුල් ප‍්‍රශ්න නිසා මෙහිදි ප‍්‍රසිද්ධියේ අසන්නේ නැත. එතැන පත් වන කාතිවරුන්ගේ දුර්වලතාව නිසා දැඩි අසාධාරණකම් වී තිබේ. මේ තත්වය නිවැරදි කිරිමට මුස්ලිම් සමාජයට අවශ්‍ය වුවත් මෙතෙක් එය කර ගැනිමට නොහැකි වි තිබේ.

සලීම් මාර්ෂුට් යෝජනාවලිය

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මාර්ෂුට්ගේ නායකත්වය යටතේ වසර නවයක් පුරා යෝජනා කිහිපයක් ඉදිරිපත් වි ඇත. මිට වැඩි දෙනාගේ එකඟතාවයක් තිබේ. නමුත් මෙහි යොජනා 10 ක් පමණ එකඟතාවයකින් තොර බැවින් එම කමිටු සාමාජිකයින් විසින් වෙන අදහසක් ඉදිරිපත් කරනු ලැබිය. කෙසේ නමුදු අවසානයේ මෙහි තිරණ ගැනිමට මුස්ලිම් මන්ත‍්‍රිවරුන්ට භාර විය. ඒ අනුව මුස්ලිම් මන්ත‍්‍රිවරු මේ වනවිට යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබේ. ඊට ජෙමිල් තුල් උලමා කියන සංවිධානයෙන් අකමැත්ත ප‍්‍රකාශ කර තිබේ. එහෙයින් මේ වන විට ඒ පිලිබඳ සාකච්ඡාවක් ඇතිව තිබේ. එමෙන්ම කාති අධිකරණ සඳහා වයසින් වැඩි පරිණත අය පත් කර ගත යුතු බවට යෝජනා වි තිබේ. ඒ කාති අධිකරණය ශක්තිමත් කිරිම සඳහාය. නිතිඥවරයෙකු පත් කිරිම තුලින් නිතියත් ආගමත් සම්බන්ධ කර කටයුතු කල බවටද යෝජනා වි තිබේ. එමෙන්ම මෙහිදි ආන්දෝලයට තුඩු දුන්නේ කාන්තාවක් කාතිවරියක් ලෙස පත් කල හැකිද යන්නය. මිට හේතු වුයේ පිරිමින් කාතිවරු ලෙස සිටියහොත් කාන්තාවන්ට සිය ප‍්‍රශ්න ඉදිරිපත් කිරිමේ හැකියාවක් නොමැති නිසාය. නමුත් එහි අනෙක් පැත්ත පිරිමින්ටද පොදුය. එනම් කාන්තාවක් සිටියහොත් පිරිමින්ට සිය ප‍්‍රශ්න ඔවුන්ට පැවසිමට නොහැකිය. එහෙයින් තවම මෙහි අවසාන තිරණයක් ගෙන නැත්තේය.

මුස්ලිම් විවාහ නිතිය

මුස්ලිම් විවාහය ලිඛිත විය යුතු බවට වලංගු නිතියක් නැත. සාක්ෂිකරුවන් කිහිප දෙනෙකු ඉදිරිපිට කරන විවාහය වලංගු වේ. නමුත් ප‍්‍රායෝගිකව මෙම විවාහය ලියාපදිංචි නොවුනහොත් ඉන් ගැටලු මතු වේ. එනම් පියා කවුද යන්න සෙවිමට, දේපල බෙදා ගැනිමට ආදිය වේ. එහෙයින් විවාහයෙන් මාස 2 කට පසු විවාහය ලියාපදිංචි කිරිමට පුරුෂයා බැඳි සිටින්නේය. ගැහැණු දරුවෙකු වැඩිවියට පත් විමෙන් පසු ඇයව විවාහ කර දිමට හැකියාව ඇත. නමුත් මෙය අනිවාර්ය නොවේ. එය හැකියාවක් පමණි. නමුත්  අධ්‍යාපනයේ කියවෙන පරිදි දරුවෙකු වසර 13 ක් අනිවාර්යෙන් අධ්‍යාපනය ලැබිය යුතුය. ඒ අනුව දරුවෙකු විවාහ විමෙන් පසු පාසල් යන්නේද යන්න ගැටලුවක් පැන නැගේ. ඒ නිසා මේ වනවිට මතයක් ගෙඩ නැගෙමින් පවතින්නේ කාන්තා විවාහයේ වයස අවුරුදු 16-18 තෙක් වැඩි කළාට ගැටලුවක් නොවන බවටය. එය හරියට මුස්ලිම් අයට මස් කෑමට අවසර දි ඇතත් එය අනිවාර්ය නොවේය යන්න වැනිය. ඉදිරියේදි මේ සම්බන්ධව යම් නිතියක් ගොඩ නැගෙනු ඇත.

-ශානිකා මාධවී -

Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.