English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
මොකක්ද මේ “මරණ දණ්ඩනය අහෝසි කිරිම හා ආනුෂංගික විධිවිධාන පනත”? - ජනාධිපති නිතිඥ ජයම්පත‍්‍රි වික‍්‍රමරත්න
(2019-07-23)

<< Go Back
Share |   



මොකක්ද මේ “මරණ දණ්ඩනය අහෝසි කිරිම හා ආනුෂංගික විධිවිධාන පනත”? - ජනාධිපති නිතිඥ ජයම්පත‍්‍රි වික‍්‍රමරත්න

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ගෙන ආ මරණිය දණ්ඩනය ක‍්‍රියාත්මක කිරිමේ තීරණයට එරෙහිව ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා විසින් මරණ දණ්ඩනය අහෝසි කිරිම හා ආනුෂංගික විධිවිධාන සැලැස්විම පිණිස වු පෞද්ගලික පනත් කෙටුම්පතක් ඉකුත්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේය. එහිදි පාර්ලිමේන්තුව විසින් එකි පනත් කෙටුම්පත ගැසට් පත‍්‍රයකට මුද්‍රණය කරනු ලැබිය.

මෙම පනතෙන් කියවෙන්නේ කිසියම් පනතක මරණ දණ්ඩනය නියම කිරිම හෝ මරණ දඩුවමින් දඩුවම් කිරිම සම්බන්ධයෙන් කර ඇති සඳහනක් මෙම පනත ක‍්‍රියාත්මක විම සමග සහ ඉන් පසුව ජිවිතාන්තය දක්වා සිර දඩුවමින් දඩුවම් කිරිම ලෙස සංශෝධනය වුයේ යැයි සැලකිය යුතු බවය. එමෙන්ම මෙම පනත ක‍්‍රියාත්මක විමට පෙර යම් පුද්ගලයෙකුට මරණ දණ්ඩනය නියම කර තිබේනම් එම පුද්ගලයා වරද සම්බන්ධයෙන් ජිවිතාන්තය දක්වා සිර දඩුවමකට නියම වු පුද්ගලයෙකු ලෙසද සැලකේ.

මෙම නව පනත පිලිබඳ අප පාර්ලිමේන්තු මන්ත‍්‍රි, ජනාධිපති නිතිඥ ජයම්පත‍්‍රි වික‍්‍රමරත්න මහතාගෙන් විමසා සිටියෙමු. මේ ඔහු පළ කල අදහස්ය.

මරණ දඩුවම වරදවල් ගණනාවකට ලබා දිය හැකි බව මෙන්ම සමහර වරදවල් වලට මරණ දඩුවම ලබා දිය යුතු බවත්, අපේ නීති පොත් වල තිබෙනවා. නමුත් 1976 න් පසුව මෙරට මරණ දඩුවම ක‍්‍රියාත්මක වුණේ නෑ. මරණ දණ්ඩනය ක‍්‍රියාත්මක වුනත් සෑම ජනාධිපතිවරයෙක්ම එය ජිවිතාන්තය දක්වා සිර දඩුවමක් බවට පත් කර තිබේ. ඒ ජනාධිපතිවරයාට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් බලය දිලා තියෙන පරිදිය.ඊට අමතරව එක්සත් ජාතින්ගේ සංවිධානයට  අපි වසර දෙකකට වරක්  ඡන්දය දිලා තියෙනවා මරණ දඩුවම නීති පොතේ තිබුණට ක‍්‍රියාත්මක නොකළ යුතුයි කියන එකට. අපි ඉකුත් දෙසැම්බර් මාසයේදිත් ඊට අත්සන් තැබුවා. එයින් පැහැදිලිව කියවෙන්නේ අපේ රටේ  මරණ දඩුවම නීතිය තිබුණට එය ක‍්‍රියාත්මක නොවන බවය.

මෙවන් සමයක ජනාධිපතිවරයා සමහර වරදවල් වලට මරණ දඩුවම දිය යුතුයි, එය ක‍්‍රියාත්මක කළ යුතුයි කියලා අදහස් කරලා මරණ දණ්ඩනයට නියම වෙලා සිටින සිව් දෙනෙකුව එල්ලා මැරිමට නියෝග දුන් බව දැනගන්නට ලැබී තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණයට මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව මේ වනවිට එය තාවකාලිකව අත්හිටුවා තිබේ. එක්සත් ජාතින්ගේ සංවිධානයට ඡන්දය දුන් ආකාරයෙන් හා මරණ දඩුවම මෙරට වසර හතලිස් ගණනක් ක‍්‍රියාත්මක නොකිරිමෙන් ගම්‍ය වන එක දෙයක් තිබේ. එනම් අපේ රටේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය වන්නේ මරණ දඩුවම ක‍්‍රියාත්මක නොකරන බවය.

මරණ දඩුවම ක‍්‍රියාත්මක කිරිමෙන් ඇති වන බලපෑම්

දියුණු වු රටවල් මරණ දඩුවම ක‍්‍රියාත්මක කරන්නේ නැත. විශේෂයෙන් යුරෝපයේ ක‍්‍රියාත්මක වන්නේ නැත. එමෙන්ම මරණ දඩුවම ක‍්‍රියාත්මක වන රටවල් සමග මරණ දඩුවම ක‍්‍රියාත්මක නොවන රටවල් වැදගත් තොරතුරු හුවමාරු කර ගන්නේ නැත. විශේෂයෙන්ම බල අපරාධ සම්බන්ධව. උදාහරණයක් ලෙස මත්ද්‍රව්‍ය සම්බන්ධ කිසිදු තොරතුරක් හුවමාරු වන්නේ නැත. එය මරණ දඩුවම ක‍්‍රියාත්මක නොකරන රටවල ප‍්‍රතිපත්තිය වේ. එහෙයින් මෙරට මරණ දඩුවම ක‍්‍රියාත්මක කෙරුනහොත් එය විශාල ගැටලුවක් බවට පත් වනු නොඅනුමානය. ත‍්‍රස්තවාදය හා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අපට තොරතුරු ලබා ගත හැකි ජාත්‍යන්තර සබඳතා මින් කඩා වැටේ. එය අපේ අපරාධ යුක්ති ක‍්‍රියාවලියට අගතිදායක ලෙස බලපෑම් කරනු ලැබේ. එහෙයින් අපගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයෙකු විසින් මරණිය දණ්ඩනය අහෝසි කිරිමේ පනතක් ගෙන එනු ලැබුවා. පාර්ලිමේන්තුවේදි එය විශේෂයෙන්ම අනුමත කර ගනු ලැබුයේ මෙම තත්වය සැලකිල්ල ගෙනය. පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයෙකු පාර්ලිමේන්තුවට ගෙන එන පුද්ගලික යෝජනාවකට සාමාන්‍යයෙන් මාස හයක් පමණ ගත වුවත් එය අත්හිටුවා මෙය ගැසට් පත‍්‍රයට යවන්න පාර්ලිමේන්තුව තිරණය කරනු ලැබිය. එය දැන් ගැසට් පත‍්‍රයට යොදා ඇති අතර ලබන සතිය වන විට පාර්ලිමේන්තුවේදී එහි පළමු කියවිමට ඉඩ තිබේ. ඉන්පසු අයෙකුට මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකි ය. නමුත් මා සිතන අන්දමින් මෙය එහිදි ගැටලුවක් ඇති නොකරයි. ඉන්පසු මෙය පාර්ලිමේන්තුවේ විවාදයට ගත හැකිය. මා දකින ආකාරයට මෙය ඉතාමත් ධනාත්මක පනතකි.

මෙම පනත මගින් ලංකාවේ අපරාධ වැඩි විය හැකිද?

ලෝකයේ රටවල් වලින් ලැබෙන සංඛාලේඛන අනුව පෙනි යන එක් කරුණක් වන්නේ මරණ දඩුවම තිබු පමණින් බල අපරාධ අඩු නොවන බවය. ඊට හොඳම උදාහරණය වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. එහි ප‍්‍රාන්ත වලින් සමහර ප‍්‍රාන්ත වල පමණක් මරණ දඩුවම ක‍්‍රියාත්මක වේ. සමහර ඒවායේ නැත. නමුත් මරණ දඩුවම ක‍්‍රියාත්මක වන ප‍්‍රාන්ත වල බල අපරාධ අඩු වි නැත. හදිසි කෝපය වැනි අවස්ථාවක කරන අපරාධ මිනි මැරුම් නොවන අතර ඒවා අනියම් මිනි මැරුම් ලෙස සැලකේ. ඊට මරණ දඩුවම හිමි වන්නේ නැත. මරණ දඩුවම ලබා දෙනුයේ ඊට වඩා බරපතල අපරාධ වලටය. විශේෂයෙන්ම සැලසුම් කර කරන අපරාධ වලට මරණ දඩුවම හිමි වේ. සැලසුම් සහගත අපරාධකරුවන් දඩුවම දෙස බලන්නේ නැත. ඔවුන් සිතන්නේ අසු නොවන බවය. මුලු ජිවිතේම සිරේ තැපිමට ඔවුන් සිතන්නේ නැත. එහෙයින් මරණ දඩුවම තිබිම හෝ නොතිබිම නොව වැදගත්ම කරුණ වන්නේ අපරාධ යුක්තිය නිසිලෙස ඉටුවෙනවාද යන්නය. යම්කිසි රටක අපරාධ යුක්ති ක‍්‍රියාවලිය හොඳනම් එනම් අපරාධය වු අවස්ථාවේ සිට අභියාචනාධිකරණය දක්වාම ගෙන යා හැකි නම් එහි සියලුම අවස්ථා කාර්යක්ෂම වන්නේ නම් මිනිසුන් අපරාධ කිරිමට බිය වේ. නමුත් ලංකාවේ නැත්තේද මෙවැනි අපරාධ යුක්ති ක‍්‍රියාවලියකි. මෙහිදි අපි කළ යුතුව ඇත්තේ එයය.

මෙම ගෙන එන නව පනත මගින් අතිතයේ සිදු වු වැරදි වලට දඩුවම් කිරිමේ හැකියාවක් පවතින්නේද?

අපේ නීතිය අනුව ආපස්සට නීතිය ක‍්‍රියාත්මක කිරිමේ හැකියාව පවතියි. එසේ ක‍්‍රියාත්මක කළ නොහැකි එක් අවස්ථාවක් තිබේ. යම් කිසි ක‍්‍රියාවක් කරන අවස්ථාවේ  වරදක් නොවි පසුව එය වරදක් බවට පත් කල නොහැකිය. එහෙත් එසේ කිරිමේ හැකියාවද එක් වස්ථාවක පවතියි. ඒ ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප‍්‍රඥ්ප්තියක් තිබේනම්ය. ඊට හොඳම උදාහරණය වන්නේ සේපාල ඒකනායක නඩුවය. අලිතාලියා ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් කොල්ල කෑ ඔහුට නඩු පැවරිමට විශේෂ නිතියක් ගෙන ආවේය. මේ මරණ දණ්ඩනය අහෝසි කිරිමේ පනත තුල ඇති දේ දැනටත් කෙරිගෙන යන දෙයකි. වසර හතලිස් ගණනක් ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි ක‍්‍රියාත්මක කෙරුණු මෙය මේ පනත මගින් නීතියක් බවට පත් වේ.

 - සාකච්ඡාවක් ඇසුරින් සකස් කලේ ශානිකා මාධවී පීරිස් -

Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.