English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
සමාජ විකාශනය සංස්කෘතික අපරාධ විද්‍යාව කෙරෙහි බලපාන ආකාරය - සංසන්දනාත්මක විග‍්‍රහයක්
(2019-07-19)

<< Go Back
Share |   


  


සමාජ විකාශනය සංස්කෘතික අපරාධ විද්‍යාව කෙරෙහි බලපාන ආකාරය - සංසන්දනාත්මක විග‍්‍රහයක්

බි‍්‍රතාන්‍ය අධිරාජ්‍ය වාදයට යටත් වූ කාලයෙන් පසු ලංකාවේ සමාජය විකාශනය වූ ආකාරයත් ඉන් ඉහතදී සමාජය පැවති ආකාරයත් අතර ඉතා පැහැදිළිව කැපී පෙනෙන වෙනස්කම් ගණනාවක් ඇත.

මුලින්ම එසේ කැපී පෙනෙන ලක්ෂණය නම් මුල් යුගයේ සිට බි‍්‍රතාන්‍යය පාලන ක‍්‍රමය දක්වාම මූලික වශයෙන්ම ලංකාවේ ආර්ථිකයත් ආර්ථිකයට අනුබද්ධව වැඩෙන සංස්කෘතියත් පදනම් වී  තිබුණේ කෘෂිකාර්මික පදනමකය. එසේ පැවති කෘෂි කාර්මික සමාජයේ ගම පදනම් කර ගත් සමාජ රටාවක් පැවතිණි. ගම් වල ජීවත් වූ බොහෝ දෙනෙක් එම ගමෙන් පිටතට ගියා නම් එසේ සිදු වූයේ ඉතා අල්ප මාත‍්‍ර පමණකිනි. ගමක පදිංචි කරුවෝ එම ගමෙහි සිටි සියල්ලන් හඳුනාගෙන සිටියේය. අහවලා අහවලාගේ පුතා ය හෝ දුව ය. අහවලා තවත් අයෙකුගේ මවය, පියාය, ආච්චිය, සීයාය ආදී වශයෙන් මෙන්ම ඔවුන්ගේ ජීවිත වල සිදු වූ විශේෂ සිදුවීම් පිළිබඳවද ස්වාභාවික මතකයක් කා අතරත් පැවතුනේය. අහවලා විවාහ වූයේ කුමන කාලයේද, එසේ විවාහ වූයේ ගමේම කෙනෙක්ද නැතහොත් වෙනත් ගමක කෙනෙක්ද ඔවුන් අයත් වූ කුළයන් මොනවාද, ජීවිතයේදී ඔවුන්ට සිදු වූ බරපතල අසනීප තත්වයන් හැදුනා නම් ඒ කුමක්ද ? යමෙක් ගමෙහි පැවති සෙල්ලම් වල දක්ෂතා දැක්වුවෙක් නම් ඒ පිළිබඳව මතකයද ආදී වශයෙන් එකිනෙකා පිළිබඳව දීර්ඝ මතකයක් මෙම ගම පදනම් කරගෙන ජීවත් වූ මිනිසුන් අතර පැවතියේය.

මෙය අපරාධ සම්බන්ධයෙන් ගත් කළ අතිශයින් වැදගත් වන දැනුමකි. අහවල් වරද අහවලාට කළේ කවුද යන්න සාමාන්‍යයෙන් ගැමියෝ දැන ගෙන සිටියේ එක්කෝ එම අපරාධය ඇසින් දුටු නිසා හෝ එය ඇසින් දුටු ඔවුන්ට කිට්ටුම අය සිද්ධිය විස්තර කළ ආකාරයත් නිසාය. මේ අනුව ගමක් පදනම් කරගෙන ජීවත් වන ජනයාගේ මතකය එම සමාජ ක‍්‍රමයත් විශේෂයේන්ම එම සමාජයේ අපරාධ පිළිබඳවත් කෙරෙන සාකච්ඡුාවකදී අත්‍යාවශ්‍ය අංගයක් බවට පත් වේ.

බි‍්‍රතාන්‍යයන්ගෙන් පසු කාලය තුළ අපරාධ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම කෙරෙන්නේ සාක්ෂි සෙවීම පදනම් කොට ගෙනය. එම සාක්ෂි සෙවීම සිදුවන්නේ සාක්ෂි පිළිබඳව පවතින නීතිය පදනම් කරගෙනය. එම නීති පදනම් වන්නේ සාධාරණ විනිශ්චයක් සඳහා අපරාධයකට සම්බන්ධ වන පාර්ශවයන් දෙකේම ඇති අයිතිවාසිකම් පිළිබඳ මතවාදයන් පසුබිම් කරගෙනය. මෙසේ හුදෙක් මතකය මත පදනම් වූ දැනීම බි‍්‍රතාන්‍ය යුගයෙන් පසු අපරාධ පිළිබඳව පවතින ධර්මතාවයන් වලදී සළකනු ලබන්නේ ඉතාමත් අඩු වැදගත් කමකින් යුතුවය. යමෙක් යමක් ඇසින් හෝ ඉන්ද්‍රිය ගෝචරව දැනගෙන සිටියා නම් ඇත්තෙන්ම ඔහු එසේ දැක්කාද නැතහොත් ඇසුනාද ආදී ප‍්‍රශ්න ගණනාවක් වර්තමාන අපරාධ නීතියේ කේන්ද්‍රීය ප‍්‍රශ්න බවට පත් විය.

මෙයින් පෙනී යන්නේ ඉතා මෑත කාලයක් එනම් 1915 ට පසු කාලයත් ඊට පෙර කාලයත් අතර පැවති දැනීම පිළිබඳව පැවති අවබෝධය ඉතා විශාල වශයෙන් වෙනස් වූ අවබෝධයක් බවය. නිතර නිතර එකම දේවල් දැකීමෙන් හා එකම පුද්ගලයන් ඇසුරු කිරීමෙන් මනස තුළ ගොඩනැගෙන අදහස් පැරණි සමාජයේ ඉතා ප‍්‍රබල වූ දැනීම් පදනමක් සේ පැවතියේය. එහෙත් හුදු මතකය පමනක් වර්තමාන නීති පද්ධතිය තුළ සුවිශේෂ වැදගත් කමක් නොපවතිනවා පමනක් නොව, මතකය ඇත්තෙන්ම සැබෑ ද, එම මතකය බොහෝ දුරට අවුල් සහගත විය හැක්කේ කුමන ආකාරයකින් ආදී වශයෙන් මතකය පිළිබඳ විශාල සැක කිරීමක් වර්තමාන නීති පද්ධතියේ ඇත.

මෙසේ පෙර සමාජයේ හා අද සමාජයේ දැනීම පිළිබඳ ආකල්පය යුරෝපීය සමාජය තුළ බොහෝ දුරට අතුරුදහන් වූයේ ශතවර්ෂ ගණනාවකට ඉහතදීය. සොක‍්‍රටීස්ගේ යුගයේ ග‍්‍රීසිය තුළ දැනීම පිළිබඳව පැවති සංකල්පයන් ප්ලේටෝ විසින් සොක‍්‍රටීස් පිළිබඳව ලියා ඇති සාකච්ඡා අනුව බලන කල දැනීම ප‍්‍රශ්නයට භාජනය කිරීම එම සංස්කෘතිය තුළ ඉතා ප‍්‍රබලව දැනෙන්නට පටන් ගෙන තිබූ බව පෙනේ.

උදාහරණයක් වශයෙන් සොක‍්‍රටීස් ඔහුගේ ජීවිතයේ දෙවන අවධියේදී ඔහුගේ මුළු කාලයම ගත කළේ යම් අය කියන දේ සත්‍යද නැද්ද යන්න පිළිබඳව ඔවුන්ගෙන් ප‍්‍රශ්න ඇසීමෙන්ද එමෙන්ම තමන් හිතන දේ හරිද වැරදිද යන්න තමන්ගෙන්ම ප‍්‍රශ්න ඇසීමේ මාර්ගයෙනි. උදාහරණයක් වශයෙන් තර්කකාරයන් වශයෙන් හඳුන්වනු ලැබූ සොෆිස් නමැති කණ්ඩායමේ අයගෙන් ඔහු කළ ප‍්‍රශ්න කිරීම් ප්ලේටෝ ගේ කෘතීන් වල අඩංගු වේ. මෙම සොෆිස් කණ්ඩායමට අයත් අයගෙන් දෙදෙනෙක් එම කණ්ඩායමට ඇතුළු වීමට පෙර කරන ලද රැුකියාව වූයේ විවිධ සටන් ක‍්‍රම පුහුණු කිරීමය. එම සටන් ක‍්‍රම කියා දීමෙන් ලැබෙන ආදායමට වඩා වැඩි ආදායමක් විවිධ තර්ක කිරීම තුළින් ප‍්‍රතිවාදීන් පරාජය කර උපයා ගත හැකි බව තේරුම් ගත් මෙම දෙදෙනා විවිධ දේවල් ප‍්‍රශ්නයට භාජනය කිරීම සඳහා තර්ක විතර්ක ඉදිරිපත් කිරීමට පුරුදු වූයේය. මෙම තර්ක විතර්ක වලින් බලාපොරොත්තු වූයේ සත්‍යය සොයා ගැනීම නොවේ. එය ජන ව්‍යවහාරයේ එන යමෙක් පල් කර දැමීම යන අර්ථයයි මෙම තර්ක විතර්ක කිරීම් වල පදනම වූයේ. අමූලික බොරුවක් පවා තර්ක කිරීම් මාර්ගයෙන් සත්‍යයක් සේ හුවා දැක්වීම සොෆිස් වරුන්ට පුරුදු කාර්යයක් විය. සොක‍්‍රටීස් මොවුන් දෙදෙනාගෙන් මේ පිළිබඳව දීර්ඝව ප‍්‍රශ්න කළේ් සත්‍යය හා ඔවුන් තර්කානුකූලව පෙන්වන්නට ගිය දෙය අතර වෙනස පෙන්වා දෙමිනි. ඒ මගින් පිළිගැනුනේ හුදු තර්ක කිරීම් මගින් තමන්ටම බොරු කාරයෙකු විය හැකි බවත් එහෙත් තමන් කියන දේ පිළිබඳව ප‍්‍රශ්න කර ගැනීම තුළින් සත්‍ය සෙවීමට ගන්නා උත්සාහය තුළ තමන්ටත් සමාජයටත් වැඩි ප‍්‍රතිඵලයක් ඇති දැනීමක් ඇති කර ගත හැකි බවත්ය. ප්ලේටෝ මෙම සාකච්ඡුා සියල්ල ලිඛිතව ඉදිරිපත් කිරීම මගින් බටහිර සංස්කෘතියේ ප‍්‍රධානම මූලාරම්භකයෙකු බවට පත් වූයේය. පසුකාලීනව වර්ධනය වූ විචාර බුද්ධියට පදනම සාදන ලද්දේ ඔහු විසින් ලේඛන බවට පත් කරන ලද මෙවැනි සාකච්ඡාවන්ය. ඔහුගෙන් පසුව ඇරිස්ටෝටල් තවදුරටත් මෙය ඉදිරියට ගෙන ගියේය.

මෙය පිටුපස පැවතියේ සොක‍්‍රටීස්ගේ කාලයටත් පෙර වර්ධනය තිබූ ගණිත විද්‍යාව (Mathematics)  පිළිබඳ දැනුමය. ගණිත විද්‍යාව මගින් යම් නිවැරදි නිගමන වලට බැසගත හැකි බව මේ වන විට ග‍්‍රීක සමාජයේ උගතුන් දැනුවත් වී තිබුණි. සොක‍්‍රටීස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල් ආදීන්ගේ උත්සාහය වූයේ හුදෙක් ගණිතයට සම්බන්ධ වූ විද්‍යාවන් පිළිබඳව පමනක් නොව විශේෂයෙන් සමාජ ආචාර ධර්ම සම්බන්ධයෙන් නිවැරදි නිගමන කරා පැමිණීම සඳහා විචාර බුද්ධිය පාවිච්චි කිරීමය. මේ මගින් ගණිත විද්‍යාවේ නිගමන වලට සමානම නිගමන වලට පැමිණිය හැකිය යන විශ්වාසය ඒ වන විට වර්ධනය වී තිබුනි.

මෙසේ වර්ධනය වෙමින් පැවති දර්ශන විද්‍යාව තීරණාත්මක වෙනසක් සිදු කළේ රෙනේ ඩෙකාට්ස් නමැති පඬිවරයාය. ඔහු  ඕනෑම මතයක් හෝ නිගමනයක් මුලින්ම සැකයට භාජනය කළ යුතු බවත්, එම සැකය තුළ බැහැර කළ හැකි දේවල් පමනක් සත්‍යයට කිට්ටු අදහස් සේ පිළිගැනීමත් යන අදහස තීරණාත්මකව යුරෝපීය සංස්කෘතිය තුළට එකතු කළේය. මෙයින් අදහස් කළේ මිනිසුන්ගේ දැනුම අත්දැකීම් වලින් පදනම් වන බවත් එම අත්දැකීම් වලින් උගන්නා දෙය මුලින්ම බරපතලව සැකයට භාජනය කළ යුතු බවත් එම සැකය තර්කානුකූලව බැහැර කළ හැකි අවස්ථා වල පමනක් එය සත්‍යයට කිට්ටුද නැද්ද යන්න නිගමනය කළ යුතු බවත්ය.

එම මතවාදය ඉන්පසුව බොහෝ දර්ශනවාදීන් විසින් වර්ධනය කරන ලදිි. පසුකාලීනව විද්‍යාවට පදනම සාදන ලද්දේ මෙවැනි තර්ක ක‍්‍රමයකිනි. එය ලෝකයේ අද පවතින විශාල විද්‍යාත්මක දියුණුවටත් එම දියුණුව මත ගොඩනැගුනු යාන්ත‍්‍රික දියුණුවටත් විශාල වශයෙන් බලපෑවේය.

මෙහිදී අප දකින්නේ දැනීම හෝ ඥානය පිළිබඳව සමාජයේ පැවති සංස්කෘතික ගතිගුණ වල විශාල වෙනසක් ශතවර්ෂ ගණනාවක් ඔස්සේ වර්ධනය වී වැඩුණු බවය. මීට සමාන දියුණුවක් බුදුන් වහන්සේගේ දර්ශනයේද දකින්නට හැකිය. බුදුන් වහන්සේ එදා පැවති සියලූම බ‍්‍රාහ්මණික මතවාදයන් බොහෝ කාලයක් ගෙන හදාරමින් ඒවා තර්කයට භාජනය කරමින් ඒවා බොහෝ දුරට බැහැර කරමින් තමන් වහන්සේගේ ධර්මය ටිකෙන් ටික ප‍්‍රකාශයට පත් කරන ලදි. මෙම දර්ශනවාදය ඉතා කෙටි කාලයක් තුළ ඉන්දියාවේ බොහෝ ප‍්‍රදේශ වල පැතිර ගොස් ඉන්දීය ජනයාගෙන් වැඩි පිරිසක් එම ධර්මය පිළිගන්නා තත්වයක් ඇති විය. විශාල ප‍්‍රදේශයන් ගණනාවක ප‍්‍රබල දර්ශනවාදය බවට පත් වූයේ බුදුන් වහන්සේගේ ධර්මයයි. එම ධර්මය පිළිගැනීම තුළින්ම බ‍්‍රාහ්මණ දර්ශනවාදය ඉවත් කිරීමක් සිදුවිය.

ලාංකික සමාජයට ද එහි මුල් මහින්ද හිමියන්ගේ සම්ප‍්‍රාප්තියෙන් පසු කාලය තුළ මෙම ප‍්‍රශ්න කිරීම් මගින් ගැඹුරට යම් මතයන් බැහැර කරමින් සත්‍යයට වඩාත් කිට්ටු වන ආකාරයට දේවල් අවබෝධ කර ගැනීම පිළිබඳ විධික‍්‍රමය ඇතුළු විය. එහෙත් මේ විධි ක‍්‍රමය බොහෝ දුරට රැුදුනේ සංඝ සමාජය තුළය. එදා පැවති සමාජය තුළ ප‍්‍රබල බුද්ධිමතෙකු බවට පත් වූයේ හා ගැඹුරු අධ්‍යාපනයකට හිමිකම් කීවේ සංඝ සමාජයේ සාමාජිකයන් අතරය. බෞද්ධ දර්ශනයේ මූලික අදහස් කියවා ගැනීමටත් ඒ මත තම ජීවන රටාව ගොඩනැගීමේ උත්සාහය බොහෝ දුරට සංඝ සමාජය විසින් කරන ලදි. එහෙත් එය ජන සමාජය තුළට ඇතුළු වූ පුරුද්දක් බවට පත් වූයේ නැත. සාමාන්‍ය ජනතාව ඔවුන්ට කියා දුන් ධර්මය පිළිගෙන ඒ අනුව ජීවත් වීමට උත්සාහ කරන ලදි. මෙය බොහෝ ආගමික දර්ශනවාදයන් තුළ සිදු වී ඇති ආකාරයෙන්ම මෙහිද සිදු විය.

අනුරාධපුර යුගයෙන් පසු කාලයේදී ලාංකීය සමාජයට බ‍්‍රාහ්මණ මතවාදයන් නැවතවරක් ඇතුළු විය. එසේ වීමට මූලික හේතුව වූයේ ඉන්දීය ආක‍්‍රමණයන් නිසාය. එම ආක‍්‍රමණයන් මෙහෙයවූ රජවරුන් තමන්ගේ රටේ පැවති සිරිත් විරිත් හා මතවාදයන් ලංකාව තුළද පැළපදියම් කරන ලදි. මෙය ලංකාවේ සිදුවීමට පෙර ඉන්දියාවේ එසේම සිදු විය. ඉන්දියාවේ බුදුදහම මුළුමනින්ම මෙන් යටපත් කර අමතක කර දැමීමක් සිදු විය. නිදහස සඳහා සටන තුළදී ඇති වූ පහත් කුළයේ යැයි සැලකෙන සමහර බුද්ධිමතුන් හනම් ආචාර්ය බී.ආර්. අම්බෙඞ්කාර් වැනි අය හා ඔහුට ගුරුන් වූ සමහරුත් නැවත බුදුදහම ඉන්දියාවේ පිහිටුවීමට කරන ලද උත්සාහයෙන් පසු ඉන්දියාවේ සංඛ්‍යා ලේඛනවල ඉතා අඩුම ප‍්‍රතිශතයක් සේ සැලකිය හැකි පමනට වත් බුදුදහම පිළිගන්නා කණ්ඩායමක් බිහි විය. ඉන් පෙර කොතෙක් දුරට මෙම ධර්මය යටත් කර දැමුවාදැයි මෙයින් පෙනේ.

මෙහිදී පෙනී යන්නේ ගම පදනම් කරගෙන පැවති සමාජය තුළ බුද්ධි වර්ධනය පිළිබඳව ඇතිව තිබූ වර්ධනය, දැනීම සැකකිරීම මත හා සැකය යථාර්ථවාදීව බැහැර කිරීමට කරන උත්සාහය තුළ නිර්මාණය වූ එකක් නොවන බවය. බි‍්‍රතාන්‍යය අධිරාජ්‍යවාදී යුගය තුළ කිරීමට දරන ලද උත්සාහය වූයේ යුරෝපයේ පැවති බුද්ධිය පිළිබඳ අවබෝධය තුළින් නිර්මාණය වූ නීතිය පිළිබඳ සංකල්පයකුත් එම නීතියට අනුව අපරාධ හඳුනාගැනීමට හැකි වන නව දර්ශනවාදයකුත්ය.

එහෙත් බලවත් ප‍්‍රශ්නයක් වූයේ කොතෙක් දුරට අතීතයේ පැවති බුද්ධිමය සම්ප‍්‍රදාය වෙනස් කිරීමට අලූතෙන් ගෙනෙන ලද බුද්ධිමය සම්ප‍්‍රදාය සමත් වූවාද යන්න පිළිබඳවය. යුරෝපයේ මෙම වර්ධනය බද්ධ වී ඇත්තේ මුළු සමාජ ක‍්‍රමය තුළම විද්‍යාත්මක දියුණුව තුළින් ඇති කරන ලද විශාල සමාජ පරිවර්තනය ඔස්සේය. මෙම විශාල සමාජ පරිවර්තනය ඔස්සේ සාමාන්‍ය ජනතාව තුළටද විද්‍යාත්මකව සිතීමේ හෝ විචාර බුද්ධියට අනුව කල්පනා කිරීමේ හැකියාව ඇතුළු විය. සකල සමාජයක් තුළම කාර්මික විප්ලය සිදු වන අවස්ථාවක ඒ තුළ තමන්ගේ පැවැත්ම ගෙනයාමට උත්සාහ කරන සියලූ දෙනාටම එම යුගයේ පදනම සලසන බුද්ධිමය සම්ප‍්‍රදාය නොතකා සිටීමට බැරිය. මේ නිසා පළල්ව ගත් කළ සමාජයේ බුද්ධිමය සම්ප‍්‍රදායේ විශාල වෙනසක් යුරෝපීය සංස්කෘතිය තුළ සිදු වූ අතර එම වෙනස පසුකාලීනව ඇමරිකා එක්සත් ජනපදය හා ඔස්ටේ‍්‍රලියාවට ද පැතිර ගියේය. යුරෝපය තුළ පැවති රුසියාව හා වෙනත් කාර්මික විප්ලවය ඒ යුගයේදී සිදු නොවූ රටවල් තුළ මෙවැනි විශාල බුද්ධිමය පරිවර්තනයක් ඇති වූයේ නැත. එහි සමහර උගත් කණ්ඩායම් යුරෝපීය ආභාෂය ඔස්සේ මෙම බුද්ධිමය සම්ප‍්‍රදායන් උකහා ගත් නමුත් ජනතාව තුළට මේවා පැතිර යාම සිදු වූයේ ඉතා සුළු වශයෙනි.

සංස්කෘතික අපරාධ විද්‍යාව පිළිබඳව සාකච්ඡා කිරීමේදී ඉහත සඳහන් කරන ලද රටේ බුද්ධිමය අත්දැකීම් සැලකිල්ලට ගත යුතු වෙයි. යුරෝපයේ සංස්කෘතික අපරාධ විද්‍යාව වර්ධනය වන්නේ කාර්මික විප්ලවයත්, දර්ශනවාදය තුළ විද්‍යාත්මක විධික‍්‍රමය පැතිරී යෑම යන කරුණු දෙකම ඉෂ්ඨ වීමෙන් පසුය. සංස්කෘතික අපරාධ විද්‍යාව නිර්මාණ කරණයේ යෙදුන වුන් ඒ වන විටත් මෙම පළල් බුද්ධිමය සම්ප‍්‍රදායේ කොටස්කරුවන් බවට පත් වී හමාරය. ඔවුන්ගේ බුද්ධිමය සම්ප‍්‍රදාය, මානසික ගති ලක්ෂණ, යම් දෙයක් පිළිබඳ හදාරන ආකාරය ආදිය පිළිබඳ සම්ප‍්‍රදායන් පැන නැගෙන්නේ පොදුවේ විද්‍යාව පිළිබඳව පැවතුනු සම්ප‍්‍රදායන් යටතේමය.

මෙවැනි ප‍්‍රබල වෙනසක් ලංකාවේ තවම සිදු වී නැත. කාර්මිකව අතිශයින් පසුගාමී තත්වයක පසුවන සමාජයක එම වර්ධනය සිදුවීමට ඇති ඉඩකඩ ද බොහෝ සේ අඩුය. එසේ වුවත් අපරාධ පිළිබඳ සංකල්ප රටේ පවතින බුද්ධිමය සම්ප‍්‍රදායේ ඇති ගතිලක්ෂණ වලින් වෙන් කළ නොහැකිය. මේ නිසා සංස්කෘතික අපරාධ විද්‍යාව හැදෑරීමේදී රටේ පවතින බුද්ධිමය සම්ප‍්‍රදායේ ගතිලක්ෂණ මොනවාද යන්න හඳුනා ගැනීම අත්‍යවශය වේ. අපරාධ මර්දන යන්ත‍්‍රනයක් ලංකාවේ කි‍්‍රයාත්මක වන්නේ කෙසේද ? නැතහොත් එවැනි යාන්ත‍්‍රනයක කි‍්‍රයාකාරීත්වය ඇනහිට පවතින්නේ ඇයි ? ආදී ප‍්‍රශ්න ද නීතිය යන්නෙන් අදහස් වන්නේ කුමන වර්ගයේ සංකල්පයක් දැයි ජනතාව අවබෝධ කර ගන්නේ කෙසේද ? ආදී සංස්කෘතික අපරාධ විද්‍යාවට අදාල බොහෝ කරුණු සලකා බලන විට අත්‍යාවශ්‍යයෙන්ම තිබිය යුතු පදනම වන්නේ ලංකාව තුළ ඇත්තෙන්ම පවතින බුද්ධිමය සම්ප‍්‍රදාය කුමක්ද යන්නය. ඇත්ත නැත්ත වෙන් කර හඳුනා ගැනීම සඳහා ඇති වී ඇති මානසික වර්ධනය කොයි ආකාරද ?



නීතිඥ බැසිල් ප්‍රනාන්දු


Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.