English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ලංකාවේ මාධ්‍ය ජාතිවාදීයි, ආගම්වාදීයි, ජාතිකවාදීයි. - නාලක ගුණවර්ධන (හිමිකම් ජනගත කරමු)
(2019-07-12)

<< Go Back
Share |   



ලංකාවේ මාධ්‍ය ජාතිවාදීයි, ආගම්වාදීයි, ජාතිකවාදීයි. - නාලක ගුණවර්ධන (හිමිකම් ජනගත කරමු)

ගිය පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟ මාධ්‍යයේ හැසිරීම පිළිබඳව අර්බුධයක් ඇති වුණා. ඒ සඳහා විශාල විවේචන ද එල්ල වුනා. ඒ ගැන ඔබතුමාගේ අදහස මොකද්ද ?

ලංකාවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය බහුතරයක් කලක සිටම ජාතිවාදීයි ආගම්වාදීයි ජාතිකවාදීයි. මේක දෙමළ ජාතිකවාදය පැත්තෙනුත් එහෙමයි. සිංහල ජාතිකවාදය පැත්තෙනුත් එහෙමයි. අප්‍රේල් 21 වෙනිදායින් පස්සේ මේක අපි දැක්කේ එළිපිට අමු අමුවේ ගෙඩිපිටින් කරනවා මිස මේක අලුත් ප්‍රපංචයක් නොවෙයි. මේ අන්තවාදී ජාතිවාදී ස්වරූපය මේ මාධ්‍ය තුළ කිඳා බැස ගෙන දැන් වසර දශක ගණනාවක් ගත වෙලා. පත්තර, රේඩියෝ, ටෙලිවිෂන් තුනේම බහුතරයක මේ පක්ෂග්‍රාහිත්වය මේ නැඹුරැව තියෙනවා. සමහර පත්තර වල කතුවරුන් ඉන්නවා ඔවුන් සිතන්නේ පොදු උන්නතිය ගැන පෙනී සිටිනවා වෙනුවට තමන්ගේ ජාතිය, ආගම, කුලය, ගෝත්‍රය වෙනුවෙන් තමයි තමන් මේ තනතුර හොබවන්නේ කියලා. සමාජ මාධ්‍ය ගැන එහෙම පොදු විග්‍රහයක් දෙන්න බෑ. සමාජය මාධ්‍ය කියන්නේ වේදිකාවක්. සමාජ මාධ්‍ය කියන්නේ සංවිධානගත, ආයතනගත වෘත්තීමය වශයෙන් කරන මාධ්‍ය නෙවෙයි. සමාජ මාධ්‍ය කියන්නේ යූටියුබ්, ෆේස්බුක්, ඉන්සටර්ග්‍රෑම්, ට්විටර් වැනි ගෝලීය වේදිකා වලට ගොඩනැගෙන අපේ ලාංකිකයෝ ඒ ඒ ගිණුම් අරඹා පෞද්ගලිකව සාමීචි කරනවා, පොදු සංනිවේදන වාද විවාද කරනවා. ඒවායේ සමස්ථ ලාංකික සමාජයේම සිද්ධ වෙන සංවාද වල පිළිබිඹුවක් අපි දකිනවා. එතකොට ඒක මහා මධ්‍යත් සමඟ කොහෙත්ම සංසන්දනය කරන්න බැහැ. ඒක අපි වෙනම තක්සේරුවකට ලක් කළ යුතුයි, ඒතුළ සිදුවන සංවාද ඇගයීමක් කරනවා නම්. දැන් අප්‍රේල් 21 වනදා ප්‍රහාර වලින් පැය කිහිපයක් ඇතුළත  රාජ්‍ය විසින් ලංකාවේ ප්‍රධාන පෙළේ සමාජ මාධ්‍ය කිහිපයක් අවහිර කළා. ලංකාවේ එදාමෙදා තුර කිසිම සමාජ මාධ්‍යක් තහනම් කරලා නැහැ. තාවකාලිකව තාක්ෂණික අවහිරයක් තමයි සිද්ද වුනේ. මේ අවහිරය දවස් නවයක් තිබුණා. දැන් රජය ඒ සඳහා සාධාරණීකරනය කරන්නට ගත්ත හේතුව තමයි බොරු, අසත්‍ය ප්‍රවෘත්ති මේ හරහා ගලා යනවාය කියලා. ඉතින් ඒ නිර්නායකය පාවිච්චි කළා නම් මේ රටේ පත්තර, ටෙලිවිෂන්, රේඩියෝ බහුතරයකටත් යම් ආකාරයක වාරණයක් දමන්නට වෙනවා. මොකද රටේ 80%ක් ගෙවල්වල තියෙන්නේ ටෙලිවිෂන්, 65% ගෙවල් වල තියෙන්නේ රේඩියෝ 30%ක් පත්තර ගන්නවා බලනවා 33% ක් අන්තර්ජාලය පාවිච්චි කරනවා. එතකොට දැන් මේ සමස්ථ තොරතුරැ ගලා යන ප්‍රභවයන් හා මාධ්‍යන් දිහා බලපුවහාම රටේ වැඩිපුරම පීච් එකක් නැත්නම් ජනසමාජයට යොමු වෙන්නේ, යොමු වීමේ හැකියාව තියෙන්නේ ටෙලිවිෂන් සහ රේඩියෝ වලට. මේ ටෙලිවිෂන් සහ රේඩියෝ වලින් කොතරම් ප්‍රමාණයක් අසත්‍යයන් එහෙමත් නැත්නම් අර්ධ සත්‍යයන්, ෆේක් නිවුස්, යනවද කියන එක පසුගිය දවස් වල අපි හොඳාකාරවම දැක්කා. ඒවාට කිසිම ආකාරයකින් සීමාවන් දණ්ඩනයන් නොපනවා මේ සමාජ මාධ්‍ය පමනක් අවහිර කිරීම කිසිසේත්ම සාර්ථක ක්‍රමෝපායක් නෙවෙයි. අපි පොදුවේ ප්‍රශ්නය දැකලා ඒක විග්‍රහ කළ යුතුයි, ඒ වගේම ඒකට දක්වන ප්‍රතිචාර ඒ ඒ සන්නිවේදන මාධ්‍ය වලින් වේදිකා වලින් ඒ ප්‍රශ්නයට දායක වන ප්‍රමාණයට සමානුපාතික විය යුතුයි. ඒකයි මගේ විග්‍රහය.

මේ සමාජ මාධ්‍ය අවහිර කිරීමත් සමඟ මිනිස්සු විවිධ කටකතා විශ්වාස කරන්න පටන් ගත්තා. රජයේ මාධ්‍යයන් හෝ වෙනත් මාධ්‍යයන් විසින් ඒකෙන් වන බලපෑම් අවම කරන්න කටයුතු කළේ නැහැ. රාජ්‍ය මාධ්‍ය ගැන හෝ ඒවායේ වගකීම ගැන මොකද කියන්නේ...

රජය අප්‍රේල් 21 වනදා ප්‍රහාරයෙන් මුළුමනින්ම තුෂ්නිම්භූත වෙලා ගිය බවක් අපි දැක්කා. රජයේ එකිනෙකා සමඟ එකඟ නොවන පාර්ශවයන් දෙකක් සිටිනවා අපි දකිනවා. මේ දෙගොල්ලම එකිනෙකාට චෝදනා කර ගන්නවා හැරෙන්න මේ සිද්ධ වූ දේ ගැන යම්කිසි ආකාරයකින් විග්‍රහයක් රටට කරන්නට ඒ හරහා මේ කම්පාවට පත් වූ ජනතාවට යම් තරමකට හෝ අස්වසන්නට කිසිම උත්සාහයක් ගත්තේ නැහැ. මේ සා ව්‍යසනයක් සිදු වී රාජ්‍ය පැත්තෙන් නිල වශයෙන් ප්‍රකාශයක් යම්කිසි ආකාරයකින් විස්තර කිරීමක් විග්‍රහයක් ලැබුනේ නෑ. ඒ හිදැස බරපතල විදිහට ඒ අවස්ථාවේ මිනිස්සුන්ට දැනුනා. ඒ හිදැස පුරවන්නට නොයෙක් නොයෙක් වෙනත් පිරිස් දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, තමන්ගේ න්‍යායපත්‍ර තියෙන තවත් පිරිස් මේ හිදැසට පැන්නා. මේ අතර ජාතිවාදී කණ්ඩායම් හිටියා. ජාතිකවාදීන් හිටියා. ඒ අතර සමහරුන් සමස්ථ මුස්ලිම් ජනයා මේ ප්‍රහාරයන් සම්බන්ධයෙන් චෝදනාවට ලක් කරන්නට සාර්ථකව ඒ හිදැස තුළ ක්‍රියා කළා. පමා වී හෝ රජය මෙම හිදැස මුළුමනින්ම පුරවන්නට සමත් වුනේ නෑ. අපි දැක්කා ප්‍රවෘත්ති සාකච්ඡා ඉඳහිට තියනවා. නමුත් අද වනවිට රජයේ නිල ප්‍රකාශකයන්ගේ විශ්වසනීයත්වය මුළුමනින්ම හීන වෙලා. හෑල්ලු වෙලා. ඒ නිසා ඒ අය කියන දේ බොහෝ වෙලාවට මිනිස්සු පිළිගන්නේ නැහැ. විශ්වාස කරන්නේ නැහැ. රටේ නායක දෙපළ වන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කියන දේත් අද වනවිට විශ්වාස කරන්නේ නැහැ. මොකද ඔවුන් පසුගිය දවස් වල කියපු කරපු දේවල් දිහා බලන කොට අපේ රටේ  බුද්ධිමත් ජනතාව දන්නවා. මහජන විශ්වාසය මුළුමනින්ම රජය පිළිබඳව පළුදු වී තිබෙන අවස්ථාවක තමයි මේ ව්‍යසනය සිද්ද වුනේ. එය තොරතුරැ හා භෞතික වශයෙන් කළමනාකරණය කරන්නට අපොහොසත්වීම තුළ තවදුරටත් මහජන විශ්වාසය පිරිහුනා. මෙවැනි දුර්වල විශ්වාසය පිරිහුනු රජයක් රාජ්‍ය පාලනය කරන කොට අවස්ථාවදීන්, අන්තවාදීන්, ජාතිකවාදීන් ඒ හිදැස තුළ පිනුම් ගහන්නට පටන් ගන්නවා. අපි අද දකින්නේ අන්න එවැනි අවාසනාවන්ත ඛේදජනක තත්වයක්.

මාධ්‍ය මේ අවස්ථාවේදී ආචාරධර්ම පැත්තෙන් හුඟාක් දුර්වල වුනා. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී, අවිආයුධ පරීක්ෂා කිරීමේදී, වින්දිතයන් බවට පත් වූ ළමයින් පිළිබඳ ප්‍රචාරය කිරීමේදී මාධ්‍ය ආචාරධර්ම පාවිච්චි කළේ නැහැ. සංවේදීව ඒවා පළ කළේ නැහැ. ඒනිසාම මිනිස්සුන් තුළ සැකයක් බියක් වර්ධනය වුනා. ඒ පිළිබඳව යම් අදහසක් කියනවා නම් .....

මාධ්‍ය ආචාරධර්ම ස්වයංනියාමනයේ මූලික රාමුවයි. අපේ රටේ මාධ්‍යම කලක සිට කියනවා ආණ්ඩුව අපිව පාලනය කරන්න එන්න එපා. කරන කියන දේ අපට නියම කරන්න එන්න එපා. අපි අපේම විනය අපේම සමාජ වගකීම අපි බලාගන්නම් කියලා. ඉතින් පසුගිය අවුරුදු 15 - 20 ක කාලය තුළ මේ ස්වයං නියාමනය කරනවාය කියලා පුවත්පත් පැමිණිලි කොමිසමක් හදා ගෙන මුද්‍රිත මාධ්‍ය යම් කිසි උත්සාහයක යෙදුනා. ඒ උත්සාහය මුළුමනින්ම අසාර්ථකයි. බහුතරයක් පත්තර වල කතුවරු මේ පුවත්පත් පැමිණිලි කොමිසම කියන නිර්දේශයන් නොතකා හරිනවා. මාධ්‍ය ආචාරධර්ම රාමුවක් කතෘ මණ්ඩල කතෘ සංසදය විසින් 2011 දී මුලින්ම ලේඛන ගත කරලා 2014 දී අවසන් වරට සංශෝධනය කරලා එහෙම භාෂා තුනෙන්ම ප්‍රසිද්ධ කරපු ආචාරධර්ම මාලාවක් තියෙනවා. ඒකෙදි මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන වාර්තාකරණයේදී ඡායාරූප සහ වීඩියෝ රූප හැසිරවීමේදී කළ යුතු දේ නොකළ යුතු දේ පැහැදිළිව සඳහන් කරලා තියෙනවා. ප්‍රමිතය ඒකයි. නමුත් මේ ප්‍රමිතියට අනුගත වෙන මාධ්‍ය අතලොස්සයි තියෙන්නේ. ඒකට එක එක හේතුත් කියනවා. සමහරු කියනවා ඔය ප්‍රමිතියට වැඩ කරන්න ගියොත් ලංකාවේ වෙළඳ පොළ තුළ අපට පවතින්නට බැහැය කියලා. තවත් සමහරු කියනවා කියන කොට එහෙමයි කරන කොට මෙහෙමයි කියලා. කතෘමණ්ඩල සංසදයේ වත්මන් ප්‍රධානියා කතුකම දරන ලංකාවේ ප්‍රධාන පෙළේ ජාතික පුවත්පතක් මේ ආචාරධර්ම මාලාවේ තියෙන ආචාරධර්ම දිනපතා අමු අමුවේ උල්ලංඝනය කරනවා. ඉතින් මහතැනගේ පත්තරය එහෙම කරන කොට සෙසු කතුවරුන් සහ සෙසු මාධ්‍යවේදීන් ගැන කවර කතාද ? මේක තියෙන්නේ මෙහෙම එකක් අපට තියෙනවා කියලා විදේශ රටවල මාධ්‍යවේදීන්ට පෙන්වන්න හෝ සමහර විදේශ ආධාර ගන්න. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය කියන්නේ විදේශ ආධාර ලබන භඨධ එකක්. කතෘ මණ්ඩල සංසදය කියන්නේ භඨධ එකක්. එතකොට මේවා තියෙන්නේ ඔවුන්ගේ කතෘ මණ්ඩල අභිවෘද්ධිය සඳහා ද රටේ මාධ්‍ය අභිවෘද්ධිය සඳහාද කියලා අපට ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. ආචාරධර්ම තිබුනට වැඩක් නෑ ඒවා පිළිනොපදින රටක. මාර්ග නීති තියෙන අපේ රටේ එම මාර්ග නීති පිළිනොපදින නිසා තමයි අද අපේ රටේ මේ තරම්ම මාර්ග අනතුරු සිද්ධ වෙන්නේ. මහාමාර්ග වල බයක් නැතිව බැහැල යන්න බැරිවෙලා තියෙන්නේ. හැබැයි ලස්සනම මාර්ග නීති රාමුවක් තියෙනවා. ප්‍රමිතීන් තියෙනවා මාර්ග හැදිය යුතු, පදිකයන් සහ වාහන හැසිරිය යුතු ආකාරය ගැන. නමුත් කෙරෙන්නේ නැහැ. අන්න ඒ වගේ ඛේදජනක තත්වයක් තමයි අද මාධ්‍ය ක්ෂේත්‍රයේ ආචාරධර්ම සම්බන්ධයෙන් මතුවෙලා තියෙන්නේ. මේක ඇතුළෙන්ම හදා ගන්න, අපි බලා ගෙන හිටියා මේක කෙරෙන කල්. මේක කෙරෙන්නෙ නෑ. දැන් ඉතින් වෙනම පිටතින් නියාමනයක් ගෙනෙන්න අවශ්‍යයි කියන තැනට මම අකමැත්තෙන් වුනත් දැන් ඇවිල්ලා තියෙනවා.

මාධ්‍ය හැසිරවීමේදී මානව හිමිකම් හෝ මූලික අයිතිවාසිකම් රකින බවක් පේන්නේ නෑ. ඒ නිසා ඔබට කියන්න පුළුවන්ද මාධ්‍ය සහ මානව හිමිකම් සම්බන්ධයෙන් මාධ්‍ය හැසිරීම පිළිබඳව ....

2019 මාර්තු 15 වැනිදා නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නගරයේදී මුස්ලිම් පල්ලි දෙකකට සුදු ස්වොත්තමවාදියෙකු විසින් මිලේච්ඡ විදිහට ප්‍රහාරයක් එල්ල කළා. ඔහු 50 දෙනෙකු ඝාතනය කරලා තවත් විශාල සංඛ්‍යාවක් තුවාල කරලා ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ සිදුවීමෙන් සමස්ථ ලෝකයම කම්පා වුනා. ඒ අවස්ථාවේදී නවසීලන්ත රජය සහ නවසීලන්ත මාධ්‍ය ක්‍රියාකළ ආකාරය අධ්‍යයනය කිරීම වටිනවා. නවසීලන්තය කියන්නේ අපිට වඩා බෙහෙවින්ම පරිණත වූ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන රටක්. අපට වඩා බෙහෙවින් පරිණත වූ මාධ්‍ය සංස්කෘතියක් තියෙන රටක්. ඒ රජය ඒ අවස්ථාවේදී ජනතාව කුපිත වීමට ඉඩ නොදී විපතට පත් මුස්ලිම් ජනයා වෙනුවෙන් පෙනී සිටින්නට ඒ අයගේ දුක්ගැනවිලි බෙදා ගන්නට ඉතාම ප්‍රසිද්ධියේ කටයුතු කළා. ඒ වගේම එම උන්මත්තක අපරාධකරයා අත්අඩංගුවට ගෙන නීතිය හා යුක්තිය දැන් සිදු වී ගෙන යනවා. ඒ අතරවාරයේ රජය එක ඉල්ලීමක් කළා. මේ අපරාධකාරයාගේ නම කිසිම අවස්ථාවක මාධ්‍ය වල කියන්න එපා කියලා. මේ අපරාධකාරයා බලාපොරාත්තු වුණු වඩාම ඔහුට ඕනෑ කල ප්‍රසිද්ධිය කියන දේ දෙන්න එපා කියලා. සියලුම නවසීලන්ත මාධ්‍ය, රාජ්‍ය මාධ්‍ය වැඩිපුර නෑ. තියෙන්නේ පෞද්ගලික මාධ්‍ය. තරඟකාරිත්වය මත පදනම් වුනු මාධ්‍ය සංස්කෘතියක් තිබුනත් අද දක්වා මේ අපරාධය කරපු ඔස්ටේ්‍රලියානු ජාතික පුද්ගලයාගේ නම අනන්‍යතාවය හෙළිදරව් කරලා නෑ. ඒ වගේ සාමූහික සංයමයකින් තමයි ඒ මාධ්‍ය දැඩි සමාජ වගකීමක් හික්මීමක් ඇතිව ඒ අවස්ථාවේ කටයුතු කළා. ඒ හික්මීම ඒ අවස්ථාවේ සමාජයේ ඇති වූ දැඩි කම්පනය සමනය කරන්න සමස්ථ නවසීලන්ත සමාජය තුෂ්නිම්භූත වූ අවස්ථාවක ඒ හදවත් සිසිල් කරන්න ඒ රටේ ජනමාධ්‍ය විශාල වශයෙන් සේවයක් කළා. තවමත් කරමින් සිටිනවා. ඒ වගේම අන්තවාදයට කොහොමද තරුණ තරුණියන් යොමු වෙන්නේ , අන්තවාදයේ මූලයන් මොනවාද, අන්තවාදය කල්තබා හදුනාගන්නේ කෙසේද , අන්තවාදයට ප්‍රතිවාර දැක්විය හැකි ප්‍රජාතන්තවාදී සහ වෙනත් ආකාරයේ ක්‍රමවේදයන් මොනවාද යන්න ගැන නවසීලන්ත මාධ්‍ය විසින් ලොකු සංවාදයක් ඇති කරලා තියෙනවා. ඕනෑම ව්‍යවසනයකින් මාධ්‍ය වලට නිසි ප්‍රතිචාර දැක්වීම හරහා හොඳ පරමාදර්ශී මාධ්‍යකරණයක් ඒ හරහා ඇති කර ගන්නට පුළුවනි. අපට අවශ්‍ය වෙන්නේ ඒ සඳහා නිසි මාධ්‍ය නායකත්වය, නිසි වෘත්තීය භාවයක් සහ ආචාරධර්මීය රාමුවක කටයුතු කරන්නට හැම කෙනාම තුළ තියෙන කැපවීම.

අපේ ලංකාවේ මෙහෙම සිද්ධියක් සිදු වුනාම අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව දින කිහිපයක් යන තුරු යම්කිසි ආකාරයක සාපේක්ෂ සංයමයක් අපි දැක්කා ටෙලිවිෂන් ආයතන වල. මළසිරුරු පෙන්නුවේ නැහැ. තුවාලකරුවන් පෙන්නුවේ නෑ ලේ සමඟ. නමුත් ඒ දින කිහිපය ගෙවී යත්ම මාධ්‍ය ආයතන අතර තියෙන තරඟකාරිත්වය නිසා මුලින් තිබුනු සංයමය බිඳුනා. ඊට පස්සේ අපි දකින්නේ ඒ වින්දිතයන්ගේ අයිතිවාසිකම් නොතකා හැරීම, සැකකරුවන් ත්‍රස්තවාදීන් කිරීම, අත්අඩංගුවට ගත් හෝ ප්‍රශ්නකරනු ලැබූ ඕනෑම කෙනෙකු මාධ්‍ය විසින් හංවඩු ගසනු ලැබීම, ත්‍රස්ත්‍රයන් හැටියට ලේබල් ගසනු ලැබීම, ජීවිතයම අඳුරු කරන කාලකන්නි කරන විදිහේ ක්‍රියා විශේෂයෙන් ටෙලිවිෂන් මාධ්‍යයේ තත්පර කිහිපයක නොසැලකිලිමත් ආවරණයෙන් සිදු වුණා. මේ වගේ දේවල් සිදු වෙද්දී පැමිණිලි කරන්නටවත් තැනක් නෑ. රේඩියෝ ටෙලිවිෂන් මගින් අගතියට පත් වන කෙනෙකුට යන්නට තැනක් නෑ. දුක කියා ගන්නට පැමිනිලි කරන්නට තැනක් නෑ. යාන්ත්‍රනයක් නෑ. මේ වගේ දේවල් අපි හදා ගන්නට ඕනෑ.

මානව හිමිකම්, වැටුප් කළමනාකරණය පිළිබඳ පුහුණු වූ මාධ්‍ය වේදීන් දැන් වයසට ගිහිල්ලා. එක්කෝ රට ගිහිල්ලා. දැන් ඉන්න තරුණ මාධ්‍ය වේදීන්ට මේ සම්බන්ධයෙන් පුහුණුවකුත් නෑ දැනුමකුත් නෑ. මාධ්‍ය ආයතන මේක ප්‍රවර්ධනය කරන්නෙත් නෑ. ඒ ගැන ඔබට මොනව හරි කියන්න තියෙනවද ?

ලංකාවේ මාධ්‍ය ආයතන එදාවේල පදනමකින් ක්‍රියාකරන ආයතන තමයි බහුතරයක් තියෙන්නේ. ඒ අයට යම් යම් ආර්ථික අභියෝගයන් දුෂ්කරතා තියෙනවා. බොහෝ කුඩා හා මධ්‍යම පරිමාණ මාධ්‍ය ආයතන අමාරුවෙන් දුවන්නේ. නමුත් ඉතාම ලාභ ලබන මහා මාධ්‍ය ආයතන පවා තනිකරම සමාජ වගකීම නොදැක්කා සේ පැහැර හරිමින් තමයි කටයුතු කරන්නේ. මෙය හුදෙක් හිමිකරුවන්ගේ හෝ කළමනාකරුවන්ගේ වරද නිසාම විතරක් නෙවෙයි මම නම් වැඩිපුරම වරද දකින්නේ දෙටු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ගේ ඒකියන්නේ ප්‍රවෘත්ති සංස්කාරකවරුන්ගේ, කතුවරුන්ගේ, ජ්‍යෙෂ්ඨ මට්ටමේ සිටින සමාජයේ දැවැන්ත මාධ්‍ය ප්‍රතිරෑපයන් කියලා හිතාගෙන ඉන්න අය තමයි වැඩිපුරම වංක, කුහක. ඒ අය තමයි ඊළඟ පරම්පරාවටත් ඒ නරක දරැණු පූර්වාදර්ශයන් සපයන්නේ. මේක මම දන්නේ නෑ කොතනින් කොහොම ප්‍රතිසංස්කරණ ආරම්භ කරන්නද කියලා. මේ අය සමාජයේ හැමෝම අනෙත් අයව විවේචනය කරනවා. විවේචනය කිරීම මාධ්‍ය වල අයිතිය. මාධ්‍ය ඒක කරන අතර ස්වයං විවේචනයක් තමන් දෙසට එම විචාරය එල්ල කර ගැනීමක් සිද්ධ වෙන්නේම නැති තරම්. මාධ්‍ය සමාජය කියන්නේ අද ලංකාවේ ඉහළ මට්ටමට යන කොට ඉතාම වැඩවසම් ඉතාම කුමක ඉතාම ආත්මාර්තකාමීන් කිහිප දෙනෙකු විසින් හසුරුවනු ලබන කර්මාන්තයක්. හිමිකරුවෝ හැමතිස්සේම බැනුම් අහනවා. හිමිකරුවන්ටත් යම්කිසි ප්‍රමාණයක දෝෂාරෝපනයක් යා යුතුයි. නමුත් හිමිකරුවන්ට මෙහා මාධ්‍යවේදීන් කියා ගන්නා අය කරන හානිය ඉතා විශාලයි. ඉතින් අපි මේක ඊළඟ පරම්පරාවෙන් හරි දා ගන්නට ඕන. මට තියෙන බය තමයි ජ්‍යෙෂ්ඨයෝ ප්‍රතිරූපධාරී නාමධාරී දැවැන්තයෝ අර විදිහට අයාලේ යන කොට පක්ෂග්‍රාහී වන කොට ජාතිවාදී, ආගම්වාදී හෝ දේශපාලන ගැති වෙනකොට ඒ හරහා වරප්‍රසාද ලබන කොට ඊළඟට මේ වෘත්තියට පිවිසෙන දැන් කනිටු මට්ටමේ ඉන්න මාධ්‍යවේදීනුත් ඒ පැත්තටම යයිද කියලා.




Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.